ඉදිරිදර්ශන

බ්‍රිතාන්‍ය දෙමව්පියෝ ඔක්තෝබර් 1 වන දින පාසල් වර්ජනය කිරීමට සැරසෙති

වසංගතයට එරෙහි සටනේ වැදගත් ඉදිරි පියවරක්

[මෙය British parents plan October 1 school strike : An important step forward in the fight against the pandemic යන මැයෙන් 2021 සැප්තැම්බර් 26 වැනි දින පල වූ ලිපියේ පරිවර්තනයයි.]

පාලක පැලැන්තියේ මිනීමරු වසංගත ප්‍රතිපත්ති කෙරෙහි ජාත්‍යන්තර කම්කරු පන්තිය තුල වැඩෙන විරෝධය පිලිබිඹු කරමින්, සිකුරාදා, බ්‍රිතාන්‍ය මවක වන ලීසා ඩයස් ට්විටර් පනිවුඩයක් ඔස්සේ වීඩියෝ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔක්තෝබර් 1 වෙනිදා එක්සත් රාජධානියේ රට පුරා පාසල් වර්ජනයක් කැඳවන ලදී. පාසල් නැවත විවෘත කර පලමු සති දෙක තුලදී, බ්‍රිතාන්‍යයේ 59,000 කට වැඩි ලමයින් සංඛ්‍යාවකට කොවිඩ්-19 ආසාදනය වූ අතර, තම දරුවන් නිවසේ තබාගෙන වෛරසයෙන් ආරක්ෂා වීමට ස්වාධීන පියවර ගන්නා ලෙස ඇය දෙමාපියන් උනන්දු කලාය. මෙම වීඩියෝව මේ වන විට 75,000 වාරයක් නරඹා ඇති අතර 2,350 වාරයකටත් වඩා වැඩි ප්‍රමානයක් ලයික් (like) කර ඇත, 1,340 වාරයකට වඩා ට්වීට් පනිවුඩය බෙදා හැර (retweet කර) ඇත.

ලීසා, සේෆ්-එඩ්-ෆෝ-ඕල් (සියලු දෙනා සඳහා ආරක්ෂිත අධ්‍යාපනයක් - SafeEdForAll) කන්ඩායමේ සාමාජිකාවක වන අතර එක්සත් රාජධානියේ අධ්‍යාපන සේවකයින්ගේ ක්‍රියාකාරී ආරක්ෂක කමිටුව සමඟ කටයුතු කරයි. බොරිස් ජොන්සන් පරිපාලනයේ සාපරාධී ලෙස පාසල් නැවත විවෘත කිරීමේ පිලිවෙත හෙලා දකින ඇගේ වීඩියෝවලට ප්‍රතිචාර වශයෙන් ට්විටර් ඔස්සේ විශාල ප්‍රේක්‍ෂකත්වයක් ලැබී තිබේ. වෛරසය ජනගහනය හරහා පැතිර යාමට ඉඩ සලසන “රංචු ප්‍රතිශක්තිය” උපායමාර්ගය ක්‍රියාත්මක කරන එංගලන්තය පුරා ඇති පාසල්වලට වසංගතය අවම කිරීමේ පියවරයන් කිසිසේත් නොමැත. සිකුරාදා වීඩියෝ පටයේ ලීසා සඳහන් කලේ, “අපට බොරු අහලා ඇති වෙලා. විකාර කතා අහලා ඇති වෙලා. ඔබ විද්‍යාඥයින්ට මුදල් ගෙවා කියවාගන්නා පාසැලේදී ලමයින්ට වසංගතය ආසාදනය නොවේ, එය සිදු වන්නේ බසයෙන් ගමන් කරද්දී වැනි හාස්‍ය ජනක කතා අපට අහලා ඇති වෙලා. මේ බොරුවලට අපිව රවටන්න බෑ. අපි එය තවදුරටත් භාර නොගනිමු.”

ලීසා ඩයස් සහ ඇගේ දියනිය (අනුග්‍රහය @Sandyboots2020 ට්විටර්) [Photo: Liza Diaz (@Sandyboots2020/Twitter)/WSWS]

එක්සත් රාජධානියේ පාසල් වර්ජනයක් සඳහා වන කැඳවීම, පන්ති අරගලයේ නව අවධියකට පිවිසෙමින් සිටින කම්කරු පන්තියේ වර්ධනය වන ප්‍රතිරෝධ රැල්ලක කොටසකි. එයට සෑම රටකම කම්කරුවන්ගේ සහයෝගය අවශ්‍ය වන අතර ජාත්‍යන්තරව ඒ හා සමාන වැඩ වර්ජන හා සේවා ස්ථාන ක්‍රියාමාර්ග සම්බන්ධීකරනය කිරීමට උත්සාහ කල යුතුය.

මෙම වර්ධනය පැන නගින්නේ කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් උග්‍ර වී ඇති ලෝක ධනවාදයේ ගැඹුරු අර්බුදයෙනි. 2020 ජනවාරි සිට මේ දක්වා, නිල වාර්තා අනුව, මිලියන 4.76 ක ජනතාවක් කොවිඩ්-19 හේතුවෙන් මියගොස් ඇති අතර සැබෑ ගෝලීය මරන සංඛ්‍යාව මිලියන 15 ඉක්මවා ඇතැයි ගනන් බලා තිබේ. වර්තමානය වන විට සෑම දිනකම දල වශයෙන් පුද්ගලයින් 466,000 කට කොවිඩ්-19 ආසාදනය වන අතර ලොව පුරා නිල වශයෙන් පුද්ගලයින් 8,000 කට ආසන්න සංඛ්‍යාවක් වෛරසය හේතුවෙන් මිය යති.

එන්නත් නිපදවීම සහ බෙදා හැරීම ඖෂධ දැවැන්තයින්ගේ ලාභ අවශ්‍යතා සහ අධිරාජ්‍යවාදයේ භූදේශපාලනයට යටත් වීමත් සමඟ, පූර්න එන්නත ලබා දී ඇත්තේ ලෝක ජනගහනයෙන් සියයට 32.6 කට පමනි. ඉන් අති මහත් බහුතරය පොහොසත්ම රටවල් 10ක ය.

එක් එක් රටවල පාලක පන්තියේ කොටස් වල සහ වෘත්තීය සමිතිවල ප්‍රකාශයන්ට පටහැනිව, එන්නත් කිරීමෙන් පමනක් හෝ සීමිත මහජන සෞඛ්‍ය පියවර මගින් හෝ මේ දෙකේ ආවාට ගියාට කරන සංයෝජනයක් මඟින් හෝ වසංගතය පාලනය කල නොහැක.

ඩිමොක්‍රටික් පක්ෂය විසින් පාලනය කරනු ලබන එක්සත් ජනපදයේ විශාල ප්‍රදේශ ඇතුලුව බොහෝ රටවල, මුහුනු ආවර නියෝග සහ වෙනත් අවම කිරීමේ පියවරයන් සමග පාසල් සම්පූර්නයෙන්ම නැවත විවෘත කර ඇතත් වෛරසය තවමත් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. දරුවන් පාසල් තුල රැඳෙන කාලය උපරිම කිරීම සඳහා වසංගතය අවම කිරීමේ පියවරයන් ක්‍රියාත්මක කර ඇති සෑම තැනකම—නිව් යෝර්ක් නගරය සහ ලොස් ඇන්ජලීස් ඇතුලුව සෑම තැනකම—ඒවා ඉක්මනින් ඉවත් කෙරේ. සමස්තයක් වශයෙන් පාසල් නැවත විවෘත කිරීමට හේතුව නම් සංගත ලාභ සහ මූල්‍ය ප්‍රභූ පැලැන්තිය පොහොසත් කිරීම සඳහා දෙමාපියන් නැවත රැකියාවට යැවීමයි. වසංගතයේ මුල් මාස 18 තුල පමනක් ඇමරිකාවේ බිලියනපතියන් ඩොලර් ට්‍රිලියන 1.8 ක් රැස් කල අතර එය ඔවුන්ගේ සාමූහික ධනය සියයට 62කින් වැඩි වීමකි.

සෑම රටකම ගුරු සංගම් පාසල් නැවත විවෘත කිරීමට ඉඩ සලසා ඇති අතර, පසුගිය වසර තුල ලොව පුරා දහස් ගනන් ලමුන්, අධ්‍යාපන සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් මිය යාමට එමගින් ඉඩ විවර කර දී ඇත. සෑම රටකම, වෘත්තීය සමිති එක්කෝ පාසල් නැවත විවෘත කිරීමට විරුද්ධව කිසිවක් කර නැත; නැතහොත් මෙම ක්‍රියාවලියේදී වඩාත් ක්‍රියාශීලි උද්යෝගිමත් හවුල්කරුවෝ වූහ. එක්සත් ජනපදය තුල කොවිඩ්-19 හේතුවෙන් වාර්තාගත ලෙස දරුවන් අසනීප වී මිය යද්දී, ඇමරිකානු ගුරු සම්මේලනයේ (ඒඑෆ්ටී) සභාපති රැන්ඩි වීන්ගාර්ටන් අගෝස්තු මාසයේදී පූර්න වශයෙන් පාසැල් විවෘත කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රාන්ත 20 ක, “සැවොම පාසලට” ලෙස නම් කල සංචාරයක් සිදු කලා ය.

ඔක්තෝබර් 1 වැනි දා, එක්සත් රාජධානියේ පාසල් වර්ජනයේ කේන්ද්‍රීය වැදගත්කම නම්, එය වෘත්තීය සමිති හා ධනපති දේශපාලන පක්ෂ වලින් ස්වාධීනව සංවිධානය වී ඇති අතර ලොව පුරා දෙමාපියන් හා කම්කරුවන් අතර බලවත් ප්‍රතිචාරයක් ජනිත කර තිබීමයි. වසංගතයට එරෙහි සටන වැඩි වැඩියෙන් කම්කරු පන්තිය විසින් කරන සමාජ අරගලවල ස්වරූපය ගන්නා බව එයින් පැහැදිලි වේ, එය, ස්වාධීන ක්‍රියාකාරී කමිටු හරහා සවිඥානිකව සංවිධානය කර ඒකාබද්ධ කල යුතු ය.

එක්සත් ජනපදයේ ගතවූ සති පහ තුල නිල වශයෙන් කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ ලමුන් මිලියනයකට අධික සංඛ්‍යාවක් වාර්තා වූ අතර සෑම දිනකම සාමාන්‍යයෙන් දරුවන් තිදෙනෙක් සහ අවම වශයෙන් ගුරුවරු තිදෙනෙක් මිය යති. චිකාගෝ, නිව් යෝර්ක් නගරය, ඩෙට්‍රොයිට් සහ කැලිෆෝනියාවේ, ටෙක්සාස්, ටෙනසි, පෙන්සිල්වේනියාව, වොෂිංටනය සහ අනෙකුත් ප්‍රාන්තවල දෙමාපියෝ සහ ගුරුවරු එක්සත් රාජධානියේ පාසල් වර්ජනයක් සඳහා වූ ඉල්ලීම අනුමත කර ඇති අතර ඔවුන්ගේ පාසල් දිස්ත්‍රික්කවල ද එවැනිම විරෝධතා සැලසුම් කරමින් සිටිති. කැලිෆෝනියාවේ, වොෂිංටනයේ, ටෙක්සාස් සහ ටෙනසි හි ගුරුවරුන්ගේ සහ දෙමාපියන්ගේ ක්‍රියාකාරී කමිටු සති අන්තයේ රැස් වූ අතර මේ සතියේ එක්සත් රාජධානියේ පාසල් වර්ජනයට සහයෝගය පල කරන ප්‍රකාශයක් නිකුත් කරනු ඇත.

ගුරුවරුන්ට අමතරව වඩු කාර්මිකයෝ 2000 කට වැඩි පිරිසක් වොෂිංටනයේ සියැටල් හි වර්ජනයේ යෙදී සිටිති. ඒ දශක ගනනාවක් තිස්සේ අනුග්‍රාහක ගිවිසුම් (concessions contracts) පනවා ඇති යුනයිටඩ් බ්‍රදර්හුඩ් ඔ‍ෆ් කාපෙන්ටර්ස් (යූබීසී) වෘත්තීය සමිතියට එරෙහිව ය. වැඩි වන කොවිඩ්-19 ව්‍යාප්තය මධ්‍යයේ නිෂ්පාදනය නැවැත්වීමට සහ යහපත් ජීවන තත්ත්වයන් හා සේවා කොන්දේසි සඳහා අරගල කිරීම සඳහා එක්සත් ජනපදය පුරා මෝටර් රථ සේවකයින්, සංස්ථාපිත යුනයිටඩ් ඔටෝ වර්කර්ස් (යූඒඩබ්ලිව්) වෘත්තීය සමිතියෙන් ස්වාධීනව, ක්‍රියාකාරී කමිටු පිහිටුවා ඇත.

ජර්මනියේ ප්‍රවාහන කම්කරුවන්, සෞඛ්‍ය සේවා සේවකයින්, ගුවන් සේවකයින් සහ අනෙකුත් කම්කරු පන්තියේ කොටස් අතර පසුගිය මාස කිහිපය තුල විශාල අරගල පුපුරා ගොස් තිබේ. පාසල් සම්පූර්නයෙන් නැවත විවෘත කිරීම මධ්‍යයේ කොවිඩ්-19 රෝගීන් නැවත වරක් ඉහල යත්ම, ජර්මනියේ බොහෝ දෙමාපියන් සහ අධ්‍යාපන සේවකයින් ඔක්තෝබර් 1 වන දින එක්සත් රාජධානියේ පාසල් වැඩ වර්ජනය සඳහා වූ කැඳවීම අනුමත කර ඇත. දැඩි ආබාධිත පුත්‍රයෙකුගේ සහ ඇදුම සහිත පාසල් වයසේ සිටින දරුවෙකුගේ මව වන පෙගී ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසුවේ “මේක හරි ම වැදගත්! අපි මේ පාසල් වර්ජනයට එකතු විය යුතුයි! අපේ දරුවන්ගේ ආරක්ෂාව සඳහා! 01.10.2021 දින #ParentsStrike! වර්ජනයට සම්බන්ධ වෙමු”

පසුගිය සතියේ, දල වශයෙන් 30,000 ක් පමන වූ ශ්‍රී ලාංකික සෞඛ්‍ය සේවකයින් රට පුරා උද්ඝෝෂනයක් පැවැත් වූවේ කොවිඩ්-19ට ප්‍රතිකාර කරන රෝහල් පහසුකම් වැඩිදියුනු කරන ලෙස ඉල්ලමිනි. ඒ කාර්මික ක්‍රියාවන් තහනම් කරන රජයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී නීති නොතකා ය. වැටුප් වැඩි වීම් ඉල්ලමින් මාස දෙකකටත් වඩා වැඩ වර්ජනයක යෙදී සිටින දල වශයෙන් 250,000 ක් පමන වූ ගුරුවරු සමඟ ඔවුහු එසේ එකතු වූහ.

පාසල් සම්පූර්නයෙන් නැවත විවෘත කිරීම මධ්‍යයේ වසංගතයේ හතරවන රැල්ලට පිවිස ඇති කැනඩාවේ, බ්‍රිතාන්‍ය කොලොම්බියාවේ (British Columbia) දෙමාපියන් මෙම සිකුරාදා එක්සත් රාජධානියේ පාසල් වැඩ වර්ජනය සමඟ සහයෝගිතා පෙලපාලි සූදානම් කරමින් සිටිති. වයස අවුරුදු 20 ට අඩු තරුනයින් අතර 6,964 ක සක්‍රීය ආසාදන සහිත රටේ වඩාත්ම පීඩාවට පත් ප්‍රදේශය වන ඇල්බර්ටා හි රෝහල් ධාරිතාවයෙන් සියයට 87 ක් පිරී ගොස් ඇති අතර තොරා ගත් රෝගීන්ට පමනක් ප්‍රතිකාර කිරීමට සිදු වන තත්ත්වයක් අද්දරට පැමින ඇත. ඇල්බර්ටා හි වෛද්‍යවරුන් සහ විද්‍යාඥයින් ඉල්ලා සිටින්නේ වෛරස් සම්ප්‍රේෂන දාමය බිඳ දැමිය හැකි ආකාරයේ (ෆයර්බ්‍රේක් ලොක්ඩවුන්) අගුලු දැමීමකි. #FirebreakAB සහ #GeneralStrikeAB යන හැෂ් ටැග්, දැන් ට්විටර් තුල ජනප්‍රිය වෙමින් පවතී.

ඇයගේ කැඳවුමට ජාත්‍යන්තර ව ලැබුනු ප්‍රතිචාරය ගැන ලීසා ඩයස් ලෝක සමාජවාදී වෙබ් අඩවියට මෙසේ පැවසුවාය: “ලොව පුරා සිටින දෙමාපියන් හා කම්කරුවන්ගෙන් මට පුදුමාකාර සහයෝගයක් ලැබුනා! කෙසේ වෙතත්, එක්සත් රාජධානිය තුල ද පවත්වාගෙන යන බොරුව වන කොවිඩ් යනු ලමුන් තුල ඇති වන සුලු අසනීපයක්, එය ආසාදනය වීම එතරම් සැලකියුතු දෙයක් නොවේය යන්නයි. ආන්ඩු සහ මාධ්‍ය වපුරන මෙ බඳු පච විනිවිද දකින වෙනත් දෙමාපියන් ද සිටින බව දැන ගන්නට ලැබීම ආස්වාදජනකයි. මම තනි වී නෑ.”

ඇය තවදුරටත් පැවසුවේ “මිලියන ගනනක් මිනිසුන් මරනයට පත් කරන ‘කොවිඩ් සමඟ ජීවත් වීමක්’ නැත. දිගුකාලීන කොවිඩ්හි කාය ශක්තිය දුර්වල කිරීමේ රෝග ලක්ෂන සමඟ තවත් මිලියන ගනනක් ජීවත් වනු ඇත. මෙම වෛරසය සමඟ අපට සහනශීලි විය නොහැක. අපි එය අතුගා දැමිය යුතුයි. මෙය දවල් සිහිනයක් නොවේ. එය සාක්ෂාත් කරගත හැකි ය. අපට අවශ්‍ය වන්නේ දේශපාලන අධිෂ්ඨානය පමනි. අපට කොවිඩ් මුලිනුපුටා උපාය මාර්ගයක් අවශ්‍යයි. මැදුම් පිලිවෙතක් නැත.” යනුවෙනි.

ඇත්ත වශයෙන්ම, චීනයේ, නවසීලන්තයේ සහ වෙනත් රටවල සිදු වී ඇති පරිදි, ඕනෑම භූගෝලීය ප්‍රදේශයකින් කොවිඩ් -19 තුරන් කල හැකි බවත් අවසානයේ එය ලොව පුරා මුලිනුපුටා දැමිය හැකි බවත් විද්‍යාවට අනුව පැහැදිලි ය. කෙසේ වෙතත්, අවශ්‍ය පියවර ක්‍රියාත්මක කල හැක්කේ වෘත්තීය සමිති හා ධනේශ්වර දේශපාලන පක්ෂ වලින් ස්වාධීනව ක්‍රියාකාරී කමිටු හරහා සංවිධානය වූ කම්කරු පන්තියේ මහජන බලමුලු ගැන්වීම ඔස්සේ පමනි.

කොවිඩ් -19 ව්‍යාප්ත වන සෑම තැනකම මෙම කමිටු සියලුම පාසල් සහ අත්‍යවශ්‍ය නොවන සේවා ස්ථාන වසා දැමීම, සෑම තැනකදීම මුහුනු ආවරන පැලදීම, පරීක්‍ෂා කිරීම, සම්බන්ධතා සොයා යාම, ආසාදිත රෝගීන් ආරක්ෂිතව හුදකලා කිරීම සහ වෛරස් සම්ප්‍රේෂන දාමය බිඳ දැමීම සඳහා සටන් කල යුතුය. අගුලු දැමීමෙන් පීඩාවට පත් වූ කම්කරුවන්ට වසංගතය අතරතුර පොහොසතුන් විසින් රැස් කරන ලද දැවැන්ත ලාභ වලින් ගෙවිය යුතු අතර පූර්න ආදායම් ආරක්‍ෂාවක් සහතික කල යුතුය.

2021 මැයි දිනයේදී පිහිටුවන ලද, ක්‍රියාකාරී කමිටු වල ජාත්‍යන්තර කම්කරු සන්ධානය, (ක්‍රික-ජාකස), කර්මාන්ත හා ජාතික සීමාවන් හරහා වැඩ කරන සියලුම කම්කරුවන්ගේ අරගල එක්සත් කිරීම සඳහා සටන් කරනු ඇත. ඔක්තෝබර් 1 වන දින එක්සත් රාජධානියේ පාසල් වර්ජනය සඳහා වූ කැඳවීම, කොවිඩ්-19 මුලිනුපුටා දැමීමේ සටනේ සැලකිය යුතු ආරම්භක පියවරක් සනිටුහන් කරන අතර එය කම්කරුවන්ට ආශ්වාදයක් ලබා දෙනු ඇත. වසංගතය අවසන් කිරීම සහ මිලියන ගනනකගේ ජීවිත බේරා ගැනීම සඳහා වූ ජාත්‍යන්තර කම්කරු පන්තියේ ගෝලීය වශයෙන් සම්බන්ධීකෘත අරගලයේ කොටසක් ලෙස සෑම කර්මාන්තයකම සහ සෑම රටකම ඊට සමාන ක්‍රියාමාර්ග සූදානම් කල යුතුය.

Loading