මානව හිමිකම් කවුන්සිලය එක්සත් ජනපද පිටුබලය ලත් ශ්‍රී ලංකා මානව හිමිකම් යෝජනාව ක්‍රියාත්මක කිරීමට තල්ලුව දෙයි

[මෙහි පලවන්නේ UNHRC session pushes for implementation of US-backed human rights resolution on Sri Lanka මැයෙන් 2021 සැප්තැම්බර් 25දා පලවූ ලිපියේ පරිවර්තනයයි.]

මේ මාසයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (යූඑන්එච්ආර්සී) සමුලුවේ දී, මාර්තු මාසයේ පැවති එහි රැස්වීමේ දී සම්මත කරගන්නා ලද ශ්‍රී ලංකාව පිලිබඳ මානව හිමිකම් යෝජනාවක් ක්‍රියාත්මක කල යුතු බව, මහ කොමසාරිස් මිචෙල් බැචලේ, එක්සත් ජාතීන්ගේ බ්‍රිතාන්‍ය නියෝජිත සයිමන් මැන්ලි සහ යුරෝපා සංගම් නියෝජිත කන්ඩායම අවධාරනය කල හ.

-2009 ජනවාරි යුද්ධය සමයේ පලායන දෙමල පවුල් (මූලාශ්‍රය: විකිමීඩියා)

එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව, මාලාවි රාජ්‍යය සහ මොන්ටිනීග්‍රෝ යන රටවල් ඇතුලත් වන, ශ්‍රී ලංකාව පිලිබඳ කන්ඩායම විසින්, එක්සත් ජනපදය විසින් පිටුබලය දෙන මෙම යෝජනාව ඉදිරිපත් කරන ලදී. දෙමල ප්‍රභූවට බලය බෙදීම, මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) “විමර්ශනය කිරීම,” වගවීම, ආගමික නිදහසට ගරුකිරීම හා මානව හිමිකම් රකින්නන් ආරක්ෂා කිරීම සඳහා එම යෝජනාව කැඳවුම් කලේ ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ තීව්‍ර කර ඇති මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත ප්‍රහාරයන් එල්ල කිරීම්වල බරපතල වාර්තාවක් ශ්‍රී ලංකාවේ ආන්ඩුට එරෙහිව තිබේ. එහෙත්, යෝජනාවේ යථා අභිප්‍රායය වන්නේ, බෙයිජිනයෙන් බිඳී වෙන් වී, චීනයට එරෙහි ව ඉන්දු-පැසිෆික් කලාපය තුල වොෂින්ටනයේ මිලිටරි-මූලෝපායික ගොඩනැගීම සමග පෙලගැසෙන ලෙස ශ්‍රී ලංකාවට පීඩනය යෙදීම යි.

සැප්තැම්බර් 13දා කල කතාවක දී, ශ්‍රී ලංකාව තුල “මිලිටරීකරනය හා වගවීම නැති කම” “මූලික අයිතීන් මත ඛාදනීය බලපෑමක්” දිගට ම ඇති කරන බව බැචලේ කීවා ය. ලංකාව තුල මෑතක දී හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීම, සිවිල් සමාජ කන්ඩායම් මත රෙගුලාසි පැනවීම, අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් හා රඳවා ගැනීම් හා ආන්ඩුව අධිකරන ක්‍රියා දාමයට නිරතුරුව අතපෙවීම ගැන ඇය සඳහන් කලා ය.

ශ්‍රී ලංකාව පිලිබඳ තොරතුරු හා සාක්ෂි ලෙකන හා භාන්ඩ 120,000ට ආසන්න සංඛ්‍යාවක් සහිත ලේඛනාගාරයක් තම කාර්යාලය වර්ධනය කරගෙන ඇතැයි වැඩි දුරටත් කී බැචලේ, මාර්තු යෝජනාව සම්පූර්නයෙන් ක්‍රියාවට දැමීමට අවශ්‍ය අරමුදල් සම්පාදනය කරන ලෙස යූඑන්එච්ආර්සී සාමාජික රටවලින් ඉල්ලා සිටියා ය. ශ්‍රී ලංකාවේ අනාගත වගවීමේ ක්‍රියාවලීන් සඳහා “තොරතුරු හා සාක්ෂි එක්රැස් කර, ඒකාබද්ධ කර විශ්ලේෂනය කිරීම” මගින් ගොදුරු වූවන්ට හා ජීවත් ව සිටින්නන්ට, යූඑන්එච්ආර්සී අධිකරන ක්‍රියා දාමයන් විසින් කරන විමර්ශනයන්ටත් උදවු කිරීම එම කාර්යාලය මගින් කරනු ඇති බව ඇය කීවා ය.

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මැදිහත් වීමක් සඳහා එක්සත් ජාතීන්ගේ ආයතනයක් විසින් සුවිශේෂී පියවරයන් කැටිකොට දැක්වූ පලමු අවස්ථාව එය විය. ශ්‍රී ලංකාව “මහ කොමසාරිස්වරිය සමග මුලුමනින් සහයෝගී ව” කටයුතු කල යුතු යයි මැන්ලි හා යුරෝපා සංගම් නියෝජිත කන්ඩායම කැඳවුම් කල හ.

බෙදුම්වාදී දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි ව ශ්‍රී ලංකා ආන්ඩුව ගෙන ගිය වාර්ගික යුද්ධයෙහි අවසන් මාස කිහිපය තුල, ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවන් සිදු කල අපරාධ මත යූඑන්එච්ආර්සීයේ අවධානය කලින් කේන්ද්‍රගත විය. දැන් එය, වර්තමාන රාජපක්ෂ ආන්ඩුව විසින් ක්‍රියාවට දමන ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවරයන් ඇතුලත් කරගැනීම දක්වා විස්තාරනය කරනු ලැබ ඇත.

රාජ්‍යයේ මූලික තනතුරුවලට, දැනට සේවයේ සිටින හා විශ්‍රාමික ජ්‍යෙෂ්ට මිලිටරි නිලධාරීන් පත්කිරීම මගින්, 2019 නොවැම්බරයේ බලයට පැමිනි තැන් පටන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඔහුගේ පරිපාලනයේ මූලික අංශ මිලිටරීකරනය කර තිබේ. මුස්ලිම් දේශපාලන නායකයන්, ක්‍රියාකාරිකයන්, කලා කරුවන් හා ලේඛකයන් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම හා රඳවා තබා ගැනීම පිනිස, පීටීඒ වැනි මර්දනීය නීති සේවයට කැඳවාගනු ලැබ ඇත.

මාර්තු මාසයේ දී, පීටීඒ පනතට ඊනියා “රැඩිකලීහරන රෙගුලාසි” ද එක්කරනු ලැබී ය. “ත්‍රස්තවාදයට සම්බන්ධ” යයි දෙමල හා මුස්ලිම් කන්ඩායම් සහ පුද්ගලයින් 300ක් මෙම නීති විසින් හන්වඩුගසා ඇත. මේ අතර, රාජපක්ෂ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ කඩතුරාව යටතේ, යුද කාලයට සමාන හදිසි තත්ත්වයක්ද අගෝස්තු 30දා ප්‍රකාශයට පත්කලේ ය.

යුද අපරාධ සිදුකලවුන්ට එරෙහි නෛතික ක්‍රියා අවලංගු කරමින්, අධිකරන ක්‍රියාවලියට ආන්ඩුවේ බලහත්කාරී ප්‍රවේශ වීම බහුල වී ඇත. 2008-2009 සමයේ තරුනයන් 11ක් “අතුරුදන් කිරීම්” සඳහා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට අධිචෝදනා නැගීම ඉවත් කිරීම ද මෙයට ඇතුලත් ය.

එහෙත්, එක්සත් ජනපදයේ හා අනෙකුත් බටහිර බලයන්ගේ “මානව හිමිකම්” උද්ඝෝෂන පිටුපස තිබෙන ධාවක බලය වන්නේ, ශ්‍රී ලංකාව තුල ප්‍රජාතන්ත්‍රවාදය හා මූලික අයිතීන් නිර්දය ලෙස ඛාදනය වීම නො වේ. එල්ටීටීඊයේ මිලිටරි පරාජය සමගින් 2009 මැයි මාසයේ දී අවසන් වූ ලේවැකි වාර්ගික යුද්ධයට මෙම බලයෝ මුලුමනින් පිටුබලය දුන් හ. යුද්ධයේ අවසන් මාස කිහිපය තුල 40,000ට අධික සිවිල් වැසියන් සංඛ්‍යාවක් මරා දමන ලද බව එක්සත් ජාතීන් තක්සේරු කර ඇත. හමුදාවට යටත් වූ තරුන පුද්ගලයන් සිය ගනනක් සරල ව අතුරුදන් වූ අතර, එල්ටීටීඊ නායකයන් කිහිප දෙනෙකු ඝාතනය කරන ලදී.

පසුගිය දශක තුන තුල පමනක්, ඇෆ්ගනිස්තානය, ඉරාකය හා අනෙකුත් ස්ථානවල බියකරු යුද අපරාධ වාර්තාවක් සහිත එක්සත් ජනපදයේ, එක්සත් රාජධානියේ හා අනෙකුත් අධිරාජ්‍යවාදී බලයන්ගේ මානව හිමිකම් මවාපෑම් මුලුමනින් ම ව්‍යාජ ය. ශ්‍රී ලංකාව මත යොදන පීඩනයෙහි ඉලක්කය වන්නේ, බෙයිජිනයෙන් බිඳී, චීනයට එරෙහි ව වොෂින්ටනය තීව්‍ර කරන යුද සූදානම්වීම්වලට පූර්න වසයෙන් කැපවන ලෙස රාජපක්ෂ පාලනයට බලකිරීම යි.

යුද්ධයේ අවසන් වසරවල දී, වර්තමාන ජනාධිපතිගේ සහෝදරයා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, මූල්‍ය සහයෝගය හා අවි ආයුධ ලබාගැනීම සඳහා, චීනය සමග සමීප ආර්ථික සබඳතා වර්ධනය කරගත්තේ ය. බෙයිජිනය රාජ්‍යතාන්ත්‍රික ව හුදකලා කොට එය මිලිටරිමය ලෙස කොටු කිරීම සඳහා “ආසියාවට හැරීම” වර්ධනය කරගනිමින් සිටි වොෂින්ටනය, චීනය සමග කොලඹ සබඳතා කෙරෙහි අතිශයින් හතුරු විය. එක්සත් ජනපද භූ-මූලෝපායික න්‍යාය පත්‍රයට මුලුමනින් අනුමැතිය දීම පිනිස කොලඹට පීඩනය යෙදීම සඳහා, එය යූඑන්එච්ආර්සී යුද අපරාධ යෝජනා කිහිපයකට ම අනුග්‍රහය දුන්නේ ය.

අවසානයේ 2015 දී, ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉවත් කොට, ඔහුගේ තැනට එක්සත් ජනපද-ගැති මෛත්‍රීපාල සිරිසේන පත්කිරීම සඳහා, වොෂින්ටනය තන්ත්‍ර-මාරු මෙහෙයුමක් ක්‍රියාවට දැමී ය. වොෂින්ටනයට පක්ෂපාතී ලෙස රටෙහි විදෙස් පිලිවෙත මාරු කල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ, මිලිටරිය එක්සත් ජනපදයේ ඉන්දු-පැසිෆික් බලකාය සමග සමීප ව ඒකාග්‍ර කල හ.

එහෙත්, 2019 නොවැම්බරයේ බලයට පැමිනි තැන් පටන්, වර්තමාන ජනාධිපති රාජපක්ෂ සහ මුදල් හිඟයෙන් පෙලෙන ඔහුගේ ආන්ඩුව මූල්‍යමය සහයෝගය පතා වඩ වඩා බෙයිජිනය වෙත හැරී ඇත. ගෝලීය කොවිඩ්-19 වසංගතය විසින් සුනු විසුනු කරන ලද ශ්‍රී ලංකාවේ ආර්ථිකය පෙර නුවූ විරූ අර්බුදයකට මුහුන දෙයි.

බෙයිජිනයෙන් අරමුදල් යොදවා සමුද්‍රයට මුහුනලා තිබෙන ගොඩකල බිම්කඩක් මත ඉදිකරනු ලබන, කොලඹ වරාය නගරය (සීපීසී) කොලඹ ආන්ඩුව විසින් ආරම්භ කිරීම, විශේෂයෙන් ම එක්සත් ජනපදය හා එහි මූලෝපායික සගයා වන ඉන්දියාව කෝප ගන්වා ඇත. එක්සත් ජනපද තර්ජනයන්ට ප්‍රතිප්‍රහාර දැක්වීමට, තම ආයෝජනයන් ආරක්ෂා කිරීමට සහ ඉන්දියන් සාගරය හරහා ඇති එහි තීරනාත්මක වෙලඳ ගමන් මාර්ග ආරක්ෂා කරගැනීමට ආරම්භ කර ඇති මූලෝපායික “එක් තීරුවක් එක් මාවතක්” (බීආර්අයි) ආරම්භකත්වයේ වැදගත් සංරචකයක් ලෙස චීනය සීපීසීය සලකයි.

යූඑන්එච්ආර්සී මානව හිමිකම් යෝජනාව අරබයා, ගැඹුරු තිගැස්මක් දැන් ශ්‍රී ලංකාවේ පාලක කවයන් තුල ඇත.

සැප්තැම්බර් 14දා වර්තමාන යූඑන්එච්ආර්සී සැසිය ඇමතූ ලංකාවේ විදේශ ඇමති ජී. එල්. පීරිස්, ශ්‍රී ලංකාව සිටින්නේ එහි මානව හිමිකම්වලට කැපවීමේ මාවතේ ඉතා යහපත් ස්ථානයක බව සහභාගි වූවන්ට ඒත්තු ගැන්වීමට මංමුලා සහගත ලෙස උත්සාහ දැරී ය. අතුරුදන් වූ පුද්ගලයන්ගේ කාර්යාලය (ඕඑම්පී) සුමට ව ක්‍රියාත්මක වන බවත්, සංහිඳියා ක්‍රියා දාමය ඉදිරියට යන බවත්, ඔහු කියා සිටියේ ය.

2018 දී පැවති ආන්ඩුව විසින් ස්ථාපිත කරන ලද බලතල රහිත ආයතනයක් වන ඕඑම්පී, යුද්ධය සමයේ අතුරුදන් වූ පුද්ගලයන් පිලිබඳ තොරතුරු එක්රැස් කරනු ඇතැයි අපේක්ෂිත ය. එහි ඊනියා විමර්ශනයන්ගෙන් කිසිදු ප්‍රතිඵලයක් ලැබී නැත. සංහිඳියා ක්‍රියා දාමය යනු දෙමල ප්‍රභූව සමග වන බලය බෙදා ගැනීමේ සැලසුම් සඳහා වන කේත පදයකි. ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූව හා එහි සිංහල-බෞද්ධ ඡන්දාසය, එවන් කිසිදු බලය බෙදීමකට විරුද්ධ ය.

පීරිස් සිය කතාව තුල දී, මානව හිමිකම් විමර්ශනය කිරීම පිලිබඳ ව “බාහිර ආරම්භකත්වයක්” ගැනීමේ අවශ්‍යතාව ද ප්‍රශ්න කලේ ය. මිලිටරියේ සහයෝගය මත රැඳී සිටින රාජපක්ෂ ආන්ඩුව, යුද අපරාධ විමර්ශනවලට විරුද්ධ වෙයි. යුද්ධයේ අවසන් අදියර සමයේ ආරක්ෂක ලේකම් වූ ජනාධිපතිවරයා වද, එවන් ඕනෑ ම විමර්ශනයක් තුල චෝදනාවට ලක්විමෙ ඉඩකඩක් ඇත. සත්‍ය වසයෙන් ම, ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූවේ සෑම කොටසක් ම, මිලිටරියේ සහයෝගය මත රැඳී සිටී.

යූඑන්එච්ආර්සී සැසියේ මාධ්‍ය ආවරනය තුල ද ශ්‍රී ලංකා පාලක ප්‍රභූවේ උත්සුකතා පිලිබිඹු විය. උදාහරනයක් ලෙස, “ජිනීවාහි දී ඉහල පිරිවැයක් ගෙවීම” නමැති සන්ඩේ ටයිම්ස් කතුවැකිය, “නිවාරක රාජ්‍යතාන්ත්‍රිකත්වයේ දී ගැඹුරින් අසාර්ථක වීම” ගැන ආන්ඩුවට දොස් පැවරී ය. සරල බසට පෙරලූ විට, පුවත්පතෙහි ප්‍රධාන උත්සුකය වන්නේ, වොෂින්ටනය සැනසීම පිනිස රාජපක්ෂ ආන්ඩුව ඇති තරම් දේවල් නො කිරීම ගැන ය.

යූඑන්එච්ආර්සී සැසියට පෙරාතුව, කොලඹ සිටින එක්සත් ජනපද රාජ්‍යතාන්ත්‍රිකයෝ විශේෂයෙන් ම දෙමල ජාතික සන්ධානය (දෙජාස) ඇතුලු දෙමල ධනේශ්වර පක්ෂවල සහයෝගය ලබාගැනීමට උත්සාහ දැරූ හ. දෙජාස නායකයෝ ජූලි හා අගෝස්තු මාසවල දී එක්සත් ජනපද තානාපතිනිය සමග සාකච්ඡා කිහිපයක් පැවැත්වූ හ. තමන්ට යම් බලතල හා වරප්‍රසාද වැඩි ප්‍රමානයක් ප්‍රදානය කිරීම සඳහා වොෂින්ටනය කොලඹට පීඩනය යොදනු ඇතැයි අපේක්ෂාවෙන්, දෙමල ප්‍රභූ තන්ත්‍රය චීනයට එරෙහි එක්සත් ජනපද භූ-දේශපාලනික පියවරයන්ට පිටුබලය දෙයි.

ඔහුගේ උන්මත්තක ජාතිකවාදී පූච්චානම් තිබියදීම, බෙයිජිනය සමග සිය තුලනාත්මක ක්‍රියාව පවත්වාගෙන යන අතර ම, රාජපක්ෂ වොෂින්ටනයේ පීඩනය සීරුමාරු කරගැනීමට මංමුලා සහගත ලෙස උත්සාහ කරයි. ඉන්දු-පැසිෆික් බලකාය සමග ශ්‍රී ලංකාවේ මිලිටරි සබඳතා අවසන් කර නැති ඔහු, රජයට අයත් කෙරවලපිටිය වෙස්ට් කෝස්ට් බලාගාරයෙන් සියයට 40ක් එක්සත් ජනපදයට අයත් නිව් ෆෝට්‍රෙස් බලශක්ති සමාගමට විකිනීම සඳහා මේ සතියේ අත්සන් තැබී ය. එම සමාගම ශ්‍රී ලංකාවට සැපයුම් කරනු ඇති නව වෙරලබඩ ස්වාභාවික වායු පර්යන්තයක් ඉදිකිරීමේ අයිතිය ද ලබාගෙන ඇත. එක්සත් ජනපද ආයෝජනයන් සඳහා භූමිය ද සම්පාදනය කරනු ලැබ ඇතැයි වාර්තා වේ.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදය චීනයට එරෙහි යුද සැලසුම් වේගවත් කරද්දී, බෙයිජිනය හා වොෂින්ටනය අතර තුලනය කිරීමට රාජපක්ෂ දරන උත්සාහයන් සුනු විසුනු වී යනු ඇත. චීනයට එරෙහි ව පසුගිය සතියේ එක්සත් ජනපදය, එක්සත් රාජධානිය හා ඕස්ට්‍රේලියාව අත්සන් කල ඒයූකේයූඑස් මිලිටරි ගිවිසුම සමගින් උපාමාරු දැමීමට තිබෙන ඉඩකඩට වැඩි දුර වලකපන ලදී. “චීනයේ වෙරලේ වඩා කාර්යක්ෂම ලෙස මුර සංචාරය කිරීම” සඳහා න්‍යෂ්ටික සබ්මැරීනයන් ඕස්ට්‍රේලියාවට සම්පාදනය කිරීම ගනුදෙනුවට ඇතුලත් වේ.

Loading