කොවිඩ්-19 රෝගයෙන් මියගිය අයගේ පවුල්වලට “වන්දි” ලෙස සොච්චමක් ගෙවීමට ඉන්දියාව සූදානම් වෙයි

[මෙය India to provide pittance in “compensation” to families of COVID-19 dead යන මැයෙන් 2021 ඔක්තෝබර් 07 වැනි දා පලවූ ලිපියේ පරිවර්තනයයි.]

කොවිඩ්-19 හේතුවෙන් මියගොස් ඇති ඉන්දියානුවන්ගේ පවුල්වලට, ආපදා සහන වන්දි ලෙස රුපියල් 50,000ක (ඇමෙරිකන් ඩොලර් 671) සොච්චම් වන්දියක් ගෙවනු ලබන බව, අගමැති නරේන්ද්‍ර මෝදිගේ අන්ත-දක්ෂිනාංශික භාරතීය ජනතා පක්ෂ (බීජේපී) ආන්ඩුව නිවේදනය කර ඇත.

ඉන්දියාවේ මුම්බායි නගරයේ ඩියොනාර් පැල්පත් ප්‍රදේශයේ දී කොවිඩ්-19 රෝග ලක්ෂන සඳහා සෞඛ්‍ය කම්කරුවෝ පදිංචිකරුවන් පිරික්සා බලති. 2020 ජූලි 11 සෙනසුරාදා (ඒපී ඡායාරූප/ රාජානිෂ් කකාඩේ)

උසාවියේ පැවැරූ නඩුවකින් අනතුරුව පමනක් ආන්ඩුව විසින් ඉදිරියට දැමූ වන්දි සැලසුම සමාන වන්නේ පෑරුනු තුවාලයකට ලුනු තැවරීමකට ය.

රෝහල් ඇඳන්, ඔක්සිජන්, ඖෂධ හා පුහුනු කාර්ය මන්ඩලය හිඟ වීම හේතුවෙන්, පසුගිය වසන්තයේ පැවති ඉන්දියාවේ දෙවන වසංගත රැල්ල සමයේ තම ඥාතීන් මිය යනවා බියකරු ලෙස අත්විඳි මිලියන ගනනකට, ඒ අය මිය ගියේ කොවිඩ්-19 නිසා බව ඉන්දියානු බලධාරීන්ට ඒත්තු යන ලෙස සනාථ කිරීම පිනිස, විවිධාකාර නිලධාරිවාදී අනපනත් හරහා පැනීමට සිදුවනු ඇත. පවුලේ උපයන්නා අහිමි වීම හෝ ඔවුන්ගේ මානසික සන්තාපයට වන්දි සම්පාදනය කිරීම පසෙකින් තැබුවත්, බොහෝ අවස්ථාවල දී ඔවුන්ගේ ආදරනීයයන්ගේ වෛද්‍ය හා ආදාහන (හෝ භූමදාන) වියදම්වලින් සුලු කොටසක් වත් ආවරනය නො කරන, දැවැන්ත වියදමක් වෙනුවෙනි මෙම සොච්චම ප්‍රදානය කර ඇත්තේ.

රුපියල් 50,000ක දීමනාව යනු, 2005 ඉන්දීය ජාතික ආපදා කලමනාකරන පනත යටතේ ආපදාවන්ට භාජනය වූවන්ට ගෙවිය යුතු මුදලින් අටෙන් පංගුවකි. එහෙත්, ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරනය සඳුදා (ඔක්තෝබර් 4) මෙම වන්දි සැලැස්මට සිය අනුමැතිය දුන්නේ ය. විකාර සහගත ලෙස, ඉන්දියාවේ ඉහල ම අධිකරනය ආන්ඩුවේ නො මසුරුභාවයට හා වසංගතයට එය දක්වන ව්‍යසනීය ප්‍රතිචාරය ප්‍රශංසාවට ලක්කිරීම දක්වා ඉදිරියට ගියේ ය. “වින්දිතයන්ගේ කඳුලු පිසදැමිම සඳහා යමක් සිදුව තිබීම ගැන අපි බෙහෙවින් සතුටට පත්වෙමු” යැයි විනිසුරු එම්. ආර්. ෂා ප්‍රකාශ කලේ ය. “ඉන්දියාව සිදුකර ඇත්තේ වෙනත් කිසිම රටකට කල නො හැකි දෙයක් ඉන්දියාව කර තිබෙන බව අපි අධිකරනයේ සටහන් කල යුතු යි.”

යතාර්ථයේදී ගත්කල, මෝදි හා ඉන්දීය පාලක පන්තිය සිදුකර ඇත්තේ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයකි. නිල ගනන්හිලව්වලට අනුව, අද දිනයේ යන්තමින් 450,000ට අඩු වන ඉන්දියාවේ කොවිඩ්-19 මරන සංඛ්‍යාව, ලෝකයේ තුන්වැනි විශාලතම කොවිඩ් මරන ගනනයි. එහෙත්, වසංගතය සමයේ ඉන්දියාව තුල සිදු වූ අතිරික්ත මරන සංඛ්‍යාව පිලිබඳ විද්‍යාත්මක අධ්‍යයනයන් ගනනාවක් ම පෙන්වා දී ඇත්තේ, ඉන්දියානුවන් මිලියන 5ක් හෝ ඊටත් වැඩියෙන් කොවිඩ්-19 විසින් මරා දමා ඇති බවයි.

උතුරු ඇමරිකානු හා යුරෝපීය අධිරාජ්‍යවාදී බලයන් මෙන් ම, මෝදි හා ඔහුගේ බීජේපී ආන්ඩුව ද මිනිස් ජීවිත ආරක්ෂා කිරීමට වඩා ක්‍රමිකව ප්‍රමුඛත්වය දී ඇත්තේ සංගත ලාභවලට ය. 2020 වසන්තයේ දී, ඔවුහු කෝටි ගනනක් වන සංක්‍රමනික කම්කරුවන්ට එක් රැයකින් සියලු ජීවිකාවන් අහිමි කරමින්, ජනගහනයෙන් බහුතරයක් ජීවත් වන ගම්බද ඉන්දියාව පුරා මාරාන්තික වෛරසය පැතිරීමට පිටුබලය දුන් කෙටි-කාලීන හා මැනවින් සූදානම් නොකල අගුලු දැමීමක් පැනවූහ. ඉන්පසු ඉව බවක් නැතිව ආර්ථිකය විවෘත කිරීම දෙසට හැරුනු ඔවුන් ඊ ලඟ මාස පහ පුරා ආසාදන හා මරන සීඝ්‍රයෙන් ඉහල යද්දී, එය අඛන්ඩ ව කරගෙන ගියෝ ය.

2021 මාර්තු සිට ජුනි දක්වා පැවති, ඉන්දියාවේ වඩාත් බිහිසුනු වසංගතයේ දෙවැනි රැල්ල, කොයි හැටියෙන් සලකතත්, වඩා පැහැදිලි ලෙස සාපරාධී විය. ඩෙල්ටා ප්‍රභේදයේ ඉස්මතු වීම සහ නව ආසාදනවල ක්ෂනික සුනාමියක් පිලිබඳ ව, තමන්ගේ ම වෛද්‍ය විශේෂඥයන් ඇතුලු විද්‍යාඥයන්ගේ අනතුරු ඇඟවීම් සති ගනනක් තිස්සේ නො තකා හල ආන්ඩුව, වෛරසය පැතිර යාම නැවැත්වීම සඳහා හදිසි පියවර ගන්නා ලෙස කල කැඳවීම්වලට දැඩි ලෙස ප්‍රතිරෝධය දැක්වූයේ ය. ඉන්දියාව දෛනික ආසාදන හා මරන ගනන අතින් නව වාර්තා තබද්දී, රූපවාහිනියෙන් ජාතිය ඇමතූ මෝදි, තමන් රට කොවිඩ්-19න් නො ව “අගුලු දැමීමෙන් ආරක්ෂා ගන්නා” බවට සපථ කලේ ය.

ඉන්දියාවේ කොවිඩ්-19 මරන දල -හිතාමතා කල, යන්න මෙයට එකතු කල යුතුය- අවතක්සේරුවක් බව පෙන්වා දුන් අධ්‍යයන, මෝදි ආන්ඩුව විසින් එකහෙලා හෙලා දැක්කේ ය. කාරනය වල දැමීමට ආන්ඩුවට උදව් කර ඇති සංගත මාධ්‍ය සහ තමන් ප්‍රාන්ත ආන්ඩුවල බලය දරන තැන්වල දී ජීවිතවලට පෙර ලාභය යන පිලිවෙත ක්‍රියාත්මක කර ඇති විරුද්ධ පක්ෂවල සහය මෙහි දී ආන්ඩුවට ලැබී ඇත.

කෙසේ වෙතත්, ව්‍යවස්ථානුකූල ව බලාත්මක මුදලින් අටෙන් පංගුවක මුදලක් වන්දි වසයෙන් ගෙවීම් කිරීම පිනිස ශ්‍රේෂ්ඨාධිකරනයෙන් බලය ලබා ගැනීමේ උත්සාහයන්ගේ කොටසක් ලෙස, හුදෙක් මරනයට හේතුව වන්නේ කොවිඩ්-19 හෝ මියුකොමයිකෝසිස් (එනම් කොවිඩ් රෝගයට සම්බන්ධ කලු දිලීර රෝගය) බව මරන සහතිකවල සඳහන් කරන පවුල්වලට අමතර ව වෙනත් පවුල්වලට ද ගෙවීමට නව දිල්ලි ආන්ඩුව එකඟ වී ඇත. ශ්‍රේෂ්ඨාධිකරනයෙන් අනුමැතිය ලැබුනු සැලසුම යටතේ, කොවිඩ්-19 පරීක්ෂන ප්‍රතිඵලය 'පොසිටිව්' වීමෙන් දින 30ක් ඇතුලත මියගිය ඕනෑ ම අයෙකුගේ පවුල් සොච්චම් රුපියල් 50,000 ගෙවීම ලැබීමට සුදුසුකම් ලබනු ඇත.

නීතියෙන් බලාත්මක රුපියල් 400,000 (එක්සත් ජනපද ඩොලර් 5,345) දීමනාවෙන් අටෙන් පංගුවක් පමනක් වන “වන්දියක්” ලැබීම සඳහා වන සුදුසුකම යම් ආකාරයකින් ප්‍රසාරනය කිරීම, දැනට කොවිඩ් රෝගයෙන් මියගොස් ඇතැයි හඳුනාගනු ලබන පවුල්වලට සම්පූර්න මුදල ගෙවීමට අඩු පිරිවැය සහිත බව සනාථ වනු ඇති ය යන මාරක ගනනයක් මත මෙය නිසැක ව ම පදනම් කරනු ලැබී ය.

ආන්ඩුව විසින් ප්‍රසාරනය කරන ලද සුදුසුකම් ලැබීමේ නිර්නායක, කොවිඩ් රෝග මරන මිලියන 5න් අතිමහත් බහුතරයේ පවුල් මත ඇතිකරනු ඇත්තේ අල්ප වෙනසක් බව ආන්ඩුව හොඳින් ම දනී. වසංගතයට පෙර අවධියේ පවා, යෝග්‍ය මරන සහතික නිකුත් කරන ලද්දේ, මරන හතරෙන් එකකට අඩු ගනනකට පමනි. බීජේපී හෝ කොංග්‍රස් යන කවර පක්ෂයක් නායකත්වය දුන්නේ වුවත්, දශක ගනනක් තිස්සේ අනුප්‍රාප්තික ආන්ඩු විසින් ක්‍රමානුකූල ව අරමුදල් කප්පාදු කරන ලද ඉන්දියාවේ ගරාවැටුනු සෞඛ්‍යාරක්ෂන පද්ධතිය විසින්, ආසාදනය වූවන්ගෙන් සුවිශාල බහුතරය කිසිදා පරීක්ෂනයට බඳුන් කරනු ලැබුවේ නැත. සෞඛ්‍ය බලධාරීන් විසින් කරන ලද 'සීරෝපොසිටිව්' (වෛරසයට නිරාවරනය වීමෙන් සිරුර තුල ප්‍රතිදේහ නිපදවී තිබීම හා සම්බන්ධ) අධ්‍යයනයන්ට අනුව, ඉන්දියාවේ ජනගහනය බහුල ම ප්‍රාන්තය වන උත්තර් ප්‍රදේශ්හි ආසාදනය වූ 100 දෙනෙකුගෙන් එක් අයෙකු තුල පමනක් ප්‍රතිදේහ නිපදවී තිබූ අතර, ජනගහනය අතින් තුන්වැනි බහුල ම ප්‍රාන්තය වන බිහාරයේ හසුකරගෙන ඇත්තේ 120කින් එක් අයෙකු පමනි.

මෝදි පුද්ගලික ව ප්‍රධානත්වය දරන ජාතික ආපදා කලමනාකරන ඒජන්සිය, වන්දි ගෙවීම් කපා දැමිය යුතු බවට කුහක ලෙස තර්ක කිරීම පිනිස, කොවිඩ් මරන සංඛ්‍යාව වැඩිවනු ඇත යන්න යොදාගත හැකිය කරන කරුන උපුටා දැක්වී ය. “දුරදිග යන මූල්‍ය සකසුරුවම්බව විධානය කර සිටින්නේ, මරන සංඛ්‍යාව ඉහල යන්නේ නම්, විශාල පුද්ගලයන් ප්‍රමානයකට සහයෝගය සම්පාදනය කල හැකි ආකාරයෙන් අප සැලසුම් සකස්කල යුතු බව” යැයි එය ලිවී ය.

යතාර්ථයේ දී මෙය වනාහි, තවමත් පවතින සීමිත කොවිඩ් සීමාකිරීම් ඉවත්කිරීමට කෙරෙන ධාවනය සහ වෛරසයට එරෙහි එක ම ආරක්ෂාව ලෙස අසංවිධිතව කෙරෙන එන්නත්කරනය මත රැඳී සිටීම, ආසාදන හා මරනවල යෝධ තුන්වන රැල්ලක් සඳහා කොන්දේසි නිර්මානය කරමින් පවතීය යන කාරනය ආන්ඩුව දැනුවත්ව සිටින බව පිලිගැනීමකි.

ජාතික ආපදා කලමනාකරන පනත යටතේ වසංගතය ජාතික ආපදාවක් ලෙස ප්‍රකාශයට පත්කර තිබුනු ආන්ඩුවට, පනතෙහි 12 (iii) වගන්තිය මගින් සහතික කර ඇති රුපියල් 400,000 වන්දිය, කොවිඩ් හෝ කලු දිලීර රෝගවලින් මිය ගොස් ඇති සියල්ලන්ගේ පවුල්වලට ගෙවීමට නියෝග කරන ලෙස, ඉන්දියාවේ විනාශකාරී දෙවන රැල්ල මධ්‍යයේ ශ්‍රේෂ්ඨාධිකරනයෙන් ඉල්ලමින්, ගවුරව් කුමාර් බන්සාල් හා රීපැක් කන්සාල් යන නීතිඥවරු මැයි 25දා පෙත්සමක් ගොනු කල හ. මෙම පෙත්සම ප්‍රතික්ෂේප කිරීම මගින්, අනාගත ආපදාවන්ගේ බලපෑමට ලක්වන පවුල්වලට ගෙවන වන්දි අඩු කිරීම සඳහා ආන්ඩුවට ඉඩ ලබා දෙන පූර්වාදර්ශයක්, ශ්‍රේෂ්ඨාධිකරනය විසින් නිර්මානය කර ඇත.

2019 අගෝස්තුවේ දී මුස්ලිම් බහුතරයක් ජීවත් වන එක ම ඉන්දියානු ප්‍රාන්තය වන ජම්මු-කාෂ්මීරයේ අර්ධ-ස්වාධීන තත්ත්වය ඉවත් කිරීමේ ව්‍යවස්ථාමය කුමන්ත්‍රනයේ සිට, බිමට සමතලා කරන ලද බාබ්‍රි මස්ජීද් මුස්ලිම් පල්ලිය පැවති ස්ථානයේ රාම් නමැති හින්දු දෙවියාට කැපකල පන්සලක් ඉදිකිරීම දක්වා වසයෙන්, ඉන්දියාවේ ඉහල ම අධිකරනය, මෝදි ආන්ඩුවේ ඒකාධිපති ක්‍රියාවන්ට හා හින්දු ස්වෝත්තමවාදී ප්‍රකෝපකරනයන්ට යලි යලිත් සිය නෛතික අනුමැතිය ලබා දී ඇත. ඊටත් වඩා මූලික දෙය වන්නේ, අධිකරනය යනු ධනපති පාලනයේ ආරක්ෂක ප්‍රාකාරයක් වීම යි. ආන්ඩුවේ ව්‍යාජ කොවිඩ්-19 වන්දි සැලසුම උසාවිය විසින් බලාත්මක කිරීම, ඉන්දියානු පාලක ප්‍රභූවේ සාපරාධී වසංගත පිලිවෙත අනුමත කරමින් හා බලාත්මක කරමින් ලබා දී ඇති තීන්දු මාලාවක කොටසකි.

නිල වසයෙන් කොවිඩ්-19 හේතුවෙන් මියගිය 450,000 දෙනාගේ සියලු පවුල්වලට වේවා, ඉන්දියාවේ වසංගත මරන මිලියන 5ට ම වේවා, උසාවියෙන් බලය දී තිබෙන රුපියල් 50,000 ගෙවීම සිදු කරනු ලැබුව ද වසංගත සමය තුල ඉන්දියාවේ සුපිරි-ධනවතුන් සමුච්ඡය කරගත් යෝධ ධනයට සන්සන්දනාත්මක ව එය තාමත් නියෝජනය කරනු ඇත්තේ ඉතා සුලු මුදලක් පමනි.

පලමුව කී සංඛ්‍යාව අනුව, එවන් වන්දි ගෙවීමක සමස්ත මුදල යන්තම් ඇමෙරිකන් ඩොලර් මිලියන 300ක් වනු ඇති අතර, දෙවනුවට සඳහන් මුදල ගෙවුවහොත් එය ඩොලර් බිලියන 3.35කි. මීට විපරීත ව, 2020 මාර්තුවේ පටන් ඉන්දියාවේ බිලියනපතියන්ගේ ධනය ඩොලර් බිලියන කිහිප සියයකින් ඉහල ගොස් ඇත.

ඉන්දියාවේ විශාලතම එන්නත් නිෂ්පාදකයා වන ඉන්දීය සීරම් ආයතනයේ ප්‍රධානී සයිරුස් පූනවල්ලා මෙහි දී ලාක්ෂනික උදාහරනයකි. පසුගිය සතියේ නිකුත් කල හුරුන් ඉන්දියා 2021 ධනවතුන්ගේ ලැයිස්තුවට අනුව, පසුගිය වසර පුරා ඔහු ඔහුගේ ධනය ඩොලර් බිලියන 9ට අධික ප්‍රමානයකින් ඉහල ගොස් ඇති අතර, එය සියයට 70ක වැඩි වීමකි. මෙම ධන සමුච්ඡයෙන් වැඩිකොටසකට වගකියන්නේ, ඉන්දියානු රජයට අයත් වෛද්‍ය අංශය එන්නත් නිපදවීම සඳහා යොදා නො ගැනීමට බීජේපී ආන්ඩුව ගත් තීරනය සහ ජීවිත ආරක්ෂා කරන එන්නත්වලට ඉහල මිලක් ඔවුන්ගේ ම මුදලින් ගෙවීමට මහජනයාට බලකරමින්, සියලු දෙනාට කොවිඩ්-19 එන්නත් නොමිලේ සම්පාදනය කිරීමට හිතුවක්කාරී ලෙස මාස ගනනක් තිස්සේ ආන්ඩුව විසින් ප්‍රතික්ෂේප කිරීම යි.

පසුගිය වසර පුරා, ඉන්දියානු බිලියනපතියන් ගනන 238 දක්වා 58කින් ඉහල ගිය බව හුරුන් වාර්තා කරයි. ජනවාරි මාසයේ ඩාවෝස්හි පැවති ලෝක ආර්ථික සන්සදයේ දී නිකුත් කරන ලද ඔක්ස්ෆෑම් “අසමානතා වෛරස් වාර්තාව,” කොවිඩ්-19 වසංගතයේ පලමු වසර තුල, ඉන්දියාවේ බිලියනපතියන් ඔවුන්ගේ ධනය සියයට 35කින් නොහොත් ඩොලර් බිලියන 185කින් ඉහල දමාගෙන තිබුනු බව පෙන්වා දුන්නේ ය.

ඉන්දියාවේ ධනවතුන්ගේ හා සුපිරි-ධනවතුන්ගේ ධනය යෝධ ලෙස ඉහල යාමට පිටුබලය දෙමින්, බැංකුවලට හා මූල්‍ය වෙලඳපොලවලට ඩොලර් බිලියන ගනන් පොම්ප කර ඇති මෝදි ආන්ඩුවට, කොවිඩ්-19 වසංගතය විසින් විනාශභාග් කරනු ලැබ ඇති මිලියන ගනන් ජනයාට සහයෝගය පිනිස මෙලෙස අයුතු ලෙස රාශි කරගත් ධනයෙන් ලේශමාත්‍රයක්වත් වෙන් කිරීම සුදුසු යැයි සිතීමටවත් නොහැක.

වසංගත සමය තුල, රාජ්‍ය අරමුදල් බාධාවකින්‌තොර ව සුපිරි-ධනවතුන්ගේ බැංකු ගිනුම්වලට හා කොටස් පත් ඉරු තුලට ගලා ඇවිත් ඇති අතර, මෝදි ආන්ඩුව අවඥා සහගත කොවිඩ්-19 ආපදා ගෙවීම්වලට ප්‍රවේශ වීමේ ක්‍රියා දාමය හැකි තරම් පීඩාකාරී බවට පත්වීම තහවුරු කරමින් සිටී. ජාතික ආපදා සහන අරමුදලින් මුදල් වෙන්කරනු වෙනුවට, ප්‍රාන්ත ආපදා ප්‍රතිචාර අරමුදලින් (එස්ඩීආර්එෆ්) සහනාධාර සහයෝගය සම්පාදනය කරන ලෙස, ආන්ඩුව ප්‍රාන්ත ආන්ඩුවලට නියෝග කර ඇත. දැනට මත් මුදල් හිඟයෙන් පෙලෙන ප්‍රාන්තවලට මෙය අමතර බරක් එක් කරනු ඇත.

විරුද්ධ පක්ෂ විසින් පාලනය කරනු ලබන සමහර ප්‍රාන්ත විසින් මෙම තීරනය හෙලා දැක ඇත. “ඔබට (මරන වන්දි ගෙවීම්) ප්‍රාන්ත මත පැටවිය නො හැකි යි. ...එය මධ්‍යම ආන්ඩුව විසින් එහි සහන අරමුදල් යොදාගෙන සිදුකල යුතු යි. ...මෙය එක් ප්‍රාන්තයකට පමනක් බලපා ඇති දෙයක් නො ව, වසංගතයකි. එය ජාතික ආපදා සහන අරමුදල යටතේ ආවරනය කල යුතු යි” යි රාජස්ථානයේ කොංග්‍රස් පක්ෂ ප්‍රාන්ත සභාපති හා අධ්‍යාපන රාජ්‍ය ඇමති ගෝවින්ද් සිං දොතසාරා ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පතට කීවේ ය.

සත්‍යය වන්නේ, මෙම ප්‍රකාශය මත් “රංචු ප්‍රතිශක්ති” වසංගත පිලිවෙතක් ක්‍රියාත්මක කිරීමේ දී, මෝදි සමග මුලුමනින් ම එකට ගමන් කර ඇති කොංග්‍රස් පක්ෂයට ද එරෙහි අභිචෝදනාවක් බව යි. ව්‍යාජ වන්දි සැලැස්මේ බිල ගෙවිය යුත්තේ කවුරුන් ද යන්න අරබයා කොංග්‍රස් දේශපාලනඥයන්ට මධ්‍යම ආන්ඩුව සමග දබර කල හැකි වුවත්, ඉන්දීය ජනගහනය අලලා පැතිර ගොස් ඇති මහා පරිමාන ආසාදනයේ හා මරනයේ රැලි සම්බන්ධයෙන් ඔවුන් ද එක හා සමාන ව වගකිව යුතු ය.

Loading