ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය කම්කරුවෝ රටපුරා වැඩවර්ජනයකට එක් වෙති

[මෙය Sri Lankan health workers join national stoppage යන මැයෙන් 2021 ඔක්තෝබර් 12 වෙනිදා පලවූ ලිපියේ පරිවර්තනයයි.]

යුද්ධයෙන් විනාශ වූ උතුරු නැගෙනහිර ද ඇතුළුව, ශ්‍රී ලංකාව පුරා සෞඛ්‍ය සේවකයින් 25,000 ක් පමන පසුගිය සිකුරාදා උදෑසන සිට දහවල් දක්වා පැය 5 ක වැඩ වර්ජනයක නිරත වෙමින් කොවිඩ්-19 විශේෂ මාසික දීමනාව නැවත ලබා දෙන ලෙස ඉල්ලා සිටියහ. සැප්තැම්බර් 22 දා පැවති, දිවා ආහාරය වේලාවේ විරෝධතාවය සහ සැප්තැම්බර් 27 දින රට පුරා සෞඛ්‍ය සේවකයින්ගේ වැඩ වර්ජනයකින් පසුව සිදු වූ මෙම වැඩ වර්ජනය ද කැඳවා තිබුනේ ප්‍රධාන වශයෙන් එම ඉල්ලීම් මතම ය.

2021 සැප්තැම්බර් 27 වැනි දා, කොලඹ, කලුබෝවිල රෝහලේ හෙදියන් පිකට් කරමින් (ඡායාරූප: ෆේස්බුක්/ජීඑන්ඕඒ)

කොලඹ සහ මහනුවර ජාතික රෝහල්, කොලඹ දකුන කළුබෝවිල රෝහල, ගාල්ල කරාපිටිය රෝහල සහ මාතර, නුවරඑලිය, බදුල්ල, ගම්පොල, මාලිගාවත්ත, අවිස්සාවේල්ල සහ නැගෙනහිර පලාතේ මුතූර් ඇතුළු අනෙකුත් රෝහල්වල ද සෞඛ්‍ය සේවකයින් ඔවුන්ගේ රෝහල් ඉදිරිපිට වර්ජනයේ නිරත වූහ. ඔවුන් වැඩට යාමට පෙර පැයක පමන කාලයක්, තම ඉල්ලීම් පුවරු ප්‍රදර්ශනය කරමින්, සටන් පාඨ කීහ.

ආන්ඩුව, වසංගත දීමනාව මාස තුනක් සඳහා ලබා දීමෙන් පසු සැප්තැම්බර් මාසයේ සිට නවතා දැමීය. වසංගතය තුල ඇති අනාරක්ෂිත තත්වය සහ අධික වැඩ බර හේතුවෙන්, සෞඛ්‍ය සේවකයින් තම මූලික වැටුපෙන් සියයට 78 කට සමාන විශේෂ දීමනාවක් ඉල්ලා ජුනි 11 දා පැවති විරෝධතා හා වැඩ වර්ජනයද ඇතුළුව රට පුරා අරගලවල නිරත වී ඇත. වෘත්තීය සමිති උද්ඝෝෂනය පාවා දුන්නේ රුපියල් 7,500 ක (ඇමරිකානු ඩොලර් 37) දීමනාවකට එකඟ වෙමිනි, එය කම්කරුවන්ගේ ඉල්ලීමෙන් පහෙන් එකක් පමනි.

සිකුරාදා වැඩ වර්ජනයේදී මතු කරන ලද සෞඛ්‍ය සේවකයින්ගේ අනෙකුත් ඉල්ලීම් අතරට ප්‍රමානවත් තරම් පුද්ගලික ආරක්‍ෂක උපකරන (පීපීඊ) ලබා දීම, සේවා ස්ථානවලට ආරක්ෂිත ප්‍රවාහන පහසුකම් සැපයීම, වසංගතය හේතුවෙන් වැඩ අධික වැඩ සහිත සේවකයින් සඳහා විශේෂ නිවාඩු, පුරප්පාඩු පිරවීම සහ අතිකාල දීමනා සහ සීමා රහිතව සිදු කරන වැඩ සඳහා නිවාඩු ගෙවීම් ඇතුලත් වේ.

වැඩ නැවැත්වීම් වලට සහභාගී වන්නන්ට වසර 5 දක්වා සිර දඬුවම් නියම කරන බවට තර්ජනය කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රුදුරු අත්‍යවශ්‍ය සේවා නීතියට එරෙහිව හෙදියන්, උපස්ථායකයින්, පරිපූරක වෛද්‍ය සේවකයින්, කාර්යාල කාර්ය මන්ඩල සහ කනිෂ්ඨ කාර්ය මන්ඩල, කාර්මික ක්‍රියාවලියට සහභාගී වූහ. වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් මාස තුනක කාලයක් මාර්ගගත ගුරු වැඩ වර්ජනයක යෙදී සිටි පාසල් ගුරුවරුන්ගේ ඔක්තෝම්බර් 6 වන දින රට පුරා පැවති පෙලපාලි ගැන සඳහන් කරමින්, මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර වර්ජකයන්ට එරෙහිව 'දැඩි පියවර ගන්නා' බවට තර්ජනය කලේය.

කරාපිටිය රෝහලේ රෝහල් සේවකයින් පිකට් කරමින් (ඡායාරූප: ෆේස්බුක්/ජීඑන්ඕඒ)

වෘත්තීය ක්‍රියාමාර්ගය සියලුම රෝහල් වල පැවැත්වුනේ නැත. වෘත්තීය සමිති, වර්ජනය දුර්වල ලෙස සංවිධානය කිරීම ගැන සෞඛ්‍ය සේවකයින් සිය පිලිකුල ප්‍රකාශ කලහ. ඇතැම් රෝහල් වල සෞඛ්‍ය සේවකයින් පැවසුවේ වර්ජනය ගැන කිසිසේත් දැනුවත් නොකල බවයි.

මහරගම අපේක්ෂා රෝහලේ කනිෂ්ඨ මාන්ඩලික නිලධාරියෙක් ලෝසවෙඅ වෙත මෙසේ පැවසීය: “සේවකයින්ගේ පීඩනය හේතුවෙන් වර්ජනය කැඳවීමට වෘත්තීය සමිතිවලට බල කෙරුනා. ඔවුන් එය කලේ අකමැත්තෙන් අතර ඔවුන්ගේ සැබෑ අරමුන අරගලය දියකර හැරීමයි.”

හෙදියන්, පරිපූරක වෛද්‍ය සේවකයින්, කනිෂ්ඨ කාර්ය මන්ඩල සහ කාර්යාල කාර්ය මන්ඩල ආවරනය වන පරිදි සෞඛ්‍ය සංගම් 44 ක සන්ධානයක් වන සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති සාමූහිකය (එච්එස්යූසී) විසින් වර්ජනය කැඳවා තිබේ. ආන්ඩුවට විවෘතවම මුක්කු ගසන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (ජීඑම්ඕඒ) සහ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය (පීඑස්යූඑන්යූ) වර්ජනයට සහයෝගය නොදැක්වීය.

පීඑස්යූඑන්යූ නායක හා බෞද්ධ භික්ෂුවක් වන මුරුත්තෙට්ටුවේ ආනන්ද, තම ඉල්ලීම් ඉටු කරන බවට රජය පොරොන්දු වූ බවට ව්‍යාජ ලෙස කියාපාමින්, ඇතැම් රෝහල් වලට පෞද්ගලිකව මැදිහත් වූයේ වර්ජනයට සහභාගී නොවන ලෙස ඉල්ලමිනි. පීඑස්යූඑන්යූ සාමාජිකයින් ඔහුගේ නියෝග නොතකා සැප්තැම්බර් 27 දා සිදු වූ අවසන් වැඩ වර්ජනයට එක් වූහ.

එච්එස්යූසී හි වෘත්තීය සමිති ඇතුළු අනෙකුත් වෘත්තීය සමිති විසින් සෞඛ්‍ය සේවකයින්ගේ අරගලය හුදකලා කරමින්, එය ආන්ඩුවට සහ සෞඛ්‍ය බලධාරීන්ට බලපෑම් දැමීමේ පල රහිත මගක ගෙන යමින් තිබේ.

නැගෙනහිර පලාතේ, මුතූර් රෝහල ඉදිරිපිට හෙදියන් පිකට් කරමින් (ඡායාරූප: ෆේස්බුක්/ජීඑන්ඕඒ)

එච්එස්යූසී හි ප්‍රධාන සාමාජිකයෙකු වන රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ (ජීඑන්ඕයූ) නායක සමන් රත්නප්‍රිය වර්ජනය අතරතුර පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ, ආන්ඩුව සමඟ “සාකච්ඡාවක්” ලබා ගැනීම එකම ඉලක්කය බවයි. රජය සාකච්ඡාවක් කැඳෙව්වේ නැත්නම් වෘත්තීය සමිති තම පීඩනය තීව්‍ර කරන බව ඔහු පැවසීය. වර්ජනයට විසඳුමක් නොලැබේ නම් එච්එස්යූසී කුමක් කරන්නේදැයි විමසූ විට ඔහු පැවසුවේ “සමහර අරගල මේ ආකාරයට ඇදි ඇදී යන” බවයි.

ඇත්ත වශයෙන්ම, ආන්ඩුවේ හිස් පොරොන්දු මත වෘත්තීය සමිති නැවත නැවතත් ඒවා විකිනීමත් සමඟම වසර ගනනාවක් තිස්සේ සෞඛ්‍ය සේවකයින්ගේ ඉල්ලීම් “ඇදි ඇදී” යමින් තිබේ.

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) මූලිකත්වයෙන් පිහිටුවන ලද සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටුවේ (එච්ඩබ්ලිව්ඒසී) සාමාජිකයින් සමඟ පැවති සාකච්ඡාවලදී වැඩ වර්ජනයේ යෙදී සිටි සෞඛ්‍ය සේවකයින් තම පිලිකුල ප්‍රකාශ කලහ.

මහනුවර රෝහලේ හෙදියක් පැවසුවේ: “මම වර්ජනයට සහයෝගය දුන්නත් මේ සටන ජයග්‍රහනය කරයි කියලා මට කිසිම විශ්වාසයක් නැහැ. ලබන වසර සඳහා වන සෞඛ්‍ය අයවැයෙන් ආන්ඩුව රුපියල් බිලියන හයක් කපා හැරලයි තියෙන්නෙ. ඔවුන් ඉතිරි දීමනාත් කපා හැරීමට යනවා. සියළුම අත්‍යවශ්‍ය දෑ අහස උසට නැගලා. වෘත්තීය සමිති අපේ මාසික වැටුපෙන් රුපියල් 250 ක් උදුරා ගන්නවා. අපට විකල්පයක් තිබිය යුතුයි.”

මහනුවර රෝහලේ තවත් හෙදියක් පැවසුවේ: “මේ බංකොලොත් වෘත්තීය සමිති අරගල මත අපට යැපෙන්න බැහැ. මම දකින දෙය නම් වෘත්තීය සමිති එක සංවිධානයක් ලෙස එක්සත් කිරීම කල හැක්කක් නොවන බවයි. මෙවරත් ආන්ඩුවට ගැති සමහර වෘත්තීය සමිති වර්ජනයට සහයෝගය දැක්වූයේ නැහැ. එබැවින් අප ඉදිරියට ගෙන යා යුතු ස්වරූපය ස්වාධීන ක්‍රියාකාරී කමිටු බව මම පිලිගනිමි.”

ගම්පොල රෝහල් සෞඛ්‍ය සේවකයින් පිකට් කරමින් (ඡායාරූප: ලෝසවෙඅ මාධ්‍ය)

ගම්පොල රෝහලේ කනිෂ්ඨ කාර්යමන්ඩල සේවකයෙක් මෙසේ පැවසීය: “වෘත්තීය සමිති, කම්කරුවන් භේද කරමින් සිටින අතර මෙම බෙදීම් ආන්ඩුවේ අරමුන ඉටු කරයි. අරගලය ජයග්‍රහනය කිරීම සඳහා සෞඛ්‍ය සේවකයින් වශයෙන් පමනක් නොව, වැඩ වර්ජනය කරන ගුරුවරුන් සහ සෙසු කම්කරු පන්තිය සමඟ ද අප සමඟිය ඇති කර ගත යුතුය යන අදහසට මම එකඟ වෙමි.

එච්ඩබ්ලිව්ඒසී සාමාජිකයින් මහනුවර, ගම්පොල සහ මහරගම රෝහල් වල වැඩ වර්ජනයේ යෙදී සිටි සේවකයින් අතර, “අපි අපේ අරගලය අනෙකුත් කම්කරු අරගල සමඟ එක්සත් කර සමාජවාදී වැඩපිලිවෙලක් සමඟ ඉදිරියට ගෙන යමු!” යන හිසින් යුතු ප්‍රකාශයක් බෙදා හැරියහ.

එම ප්‍රකාශය, කම්කරු පන්තිය සමස්තයක් වශයෙන් ආන්ඩුවේ ප්‍රහාරයට මුහුන දෙන හෙයින්, සෞඛ්‍ය සේවකයින් ශ්‍රේනි හරහා එක්සත් කිරීමේ සහ අනෙකුත් සේවකයින්ගේ අරගල සමඟ එක්සත් වීමේ වැදගත්කම පැහැදිලි කලේය.

ආන්ඩු වලට බලපෑම් දැමීමෙන් සෞඛ්‍ය සේවකයින්ගේ දැවෙන ගැටලු විසඳිය නොහැකි බව කලින් වෘත්තීය සමිති ක්‍රියා වල අත්දැකීම් වලින් පෙන්නුම් කරන ආකාරය එච්ඩබ්ලිව්ඒසී ප්‍රකාශනයෙන් පෙන්වා දී ඇත. වසංගතය විසින් තීව්‍ර කරන ලද ආර්ථික, දේශපාලන හා සමාජ අර්බුද මධ්‍යයේ, කම්කරු පන්තියේ සහ පීඩිත ජනතාවගේ ජීවන කොන්දේසි වලට එරෙහිව දැවැන්ත ප්‍රහාර එල්ල කරමින් සහ ඔවුන්ගේ අරගල වලට එරෙහිව රාජ්‍ය මර්දනය ශක්තිමත් කරමින් විශාල ව්‍යාපාර ලාභ ඉහල නැංවීමට රාජපක්ෂ ආන්ඩුව කටයුතු කරමින් සිටි බව එය පැහැදිලි කලේ ය.

බදුල්ල රෝහල් සෞඛ්‍ය සේවකයින් පිකට් කරති (ඡායාරූප: ෆේස්බුක්/ජීඑන්ඕඒ)

එම ප්‍රකාශය මෙසේ නිගමනය කලේය: “මෙම කොන්දේසි යටතේ, ධනේශ්වර පාලනය පෙරලා දමා, සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන, කම්කරු හා ගොවි ආන්ඩුවක් පිහිටුවීම සඳහා ඉදිරියට යාම තුලින් තම අයිතිවාසිකම් දිනා ගැනීම හැර වෙනත් විකල්පයක් කම්කරුවන්ට නැති බව එච්ඩබ්ලිව්ඒසී අවධාරනය කරයි. ජාත්‍යන්තර සමාජවාදී සමූහාන්ඩු එකමුතුවක කොටසක් ලෙස ස්ථාපිත කෙරෙන මෙම ආන්ඩුව, කම්කරුවන්ගේ පාලනය යටතේ ඇති දැවැන්ත බැංකු, කර්මාන්ත ශාලා සහ වතු ජනසතු කරන අතර ධනේශ්වර ලාභ අවශ්‍යතා නොව, මානව අවශ්‍යතා සපුරාලමින් ගෝලීය ආර්ථිකය ප්‍රතිසංවිධානය කිරීම සඳහා ජාත්‍යන්තර කම්කරු පන්තිය සමඟ එක්ව සටන් කරනු ඇත.”

'ධනපති ක්‍රමයට සමීපව බැඳී සිටින වෘත්තීය සමිති මෙම වැඩපිලිවෙලට මුළුමනින්ම සතුරු වන බැවින්' සෞඛ්‍ය සේවකයින් ඇතුළු සියළුම සේවකයින් “වෘත්තීය සමිති වලින් කැඩී වෙන් වී සංවිධානාත්මකව ක්‍රියාකාරී කමිටු ගොඩනඟන ලෙස එම නිවේදනයෙන් ඉල්ලා සිටී. ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදීව තීරන ගත හැකි අතර එම වැඩපිලිවෙල මත අරගලය ඉදිරියට ගෙන යා හැකිය.”

සියළුම රෝහල් සහ සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන වල ශ්‍රේනි භේද කපාගෙන එවැනි කමිටු ගොඩනැගීමේ අවශ්‍යතාවය පැහැදිලි කරමින් එම ප්‍රකාශය මෙසේ පැවසීය: “සමාන ප්‍රහාරයන්ට මුහුන දෙන සහ සමාන අරගල වලට අවතීර්න වී ඇති මිලියන සංඛ්‍යාත ජාත්‍යන්තර කම්කරුවන් සමඟ ඒකාබද්ධ අරගලයකින් තොරව ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයට එරෙහි මෙම අරගලය ජයග්‍රහනය කල නොහැකි බව අපි අවධාරනය කරමු. ක්‍රියාකාරී කමිටු වල ජාත්‍යන්තර කම්කරු සන්ධානයක් සඳහා අපි සටන් කරන්නේ එබැවිනි.”

Loading