ආන්ඩුවේ වර්ජන තහනම් කිරීම් ප්‍රතික්ෂේප කරමින්, ගුරුවරු ජාතික පරිමානව අරගලයේ යෙදෙති

[මෙය 2021 ඔක්තෝබර් 07 වැනි දින Sri Lankan teachers take nationwide action, defying government bans යන මැයෙන් පල වූ ලිපියේ පරිවර්තනයයි.]

ලංකාවේ ගුරුවරුන් වැඩි වැටුප් ඉල්ලා ගෙන යන උද්ඝෝෂනයේ කොටසක් ලෙස, යුද්ධයෙන් ඉරිතැලී ගිය උතුර හා නැගෙනහිර ද ඇතුලු ව දිවයින පුරා, වැඩ වර්ජිත ගුරුවරු හා විදුහල්පතිවරු දහස් ගනනක් ඔක්තෝබර් 6දා විරෝධතාවේ නිරත වූ හ. ශිෂ්ට සම්පන්න වැටුප් ඉල්ලා, 250,000ක් පමන වන රජයේ පාසල් ගුරුවරු පසුගිය මාස තුනක් මුලුල්ලේ ඔන්ලයින් ඉගැන්වීමේ වර්ජනයක නියැලී සිටිති.

ඔක්තෝබර් 5දා කොලඹ දී විරෝධතාවේ යෙදෙන ගුරුවරියක් (ලෝසවෙඅ මාධ්‍ය)

ජාතික ගුරු දිනය සමග සමපාත වූ මෙම විරෝධතා, අධ්‍යාපන කලාප 300ක දී පවත්වද්දී ඒ සෑම ස්ථානයක දී ම 200ට අධික ගුරුවරු සංඛ්‍යාවක් ඒවාට සහභාගි වූයේ, ගුරු වෘත්තීය සමිති විසින් ඒවා සංවිධානය කිරීමට අවම උත්සාහයක් පමනක් ගනිද්දී ය.

ආන්ඩුවට එරෙහි ව සටන් පාඨ හඬ නගමින් සහ “සුභ ගුරු දිනයක් නමුත් ගුරුවරුන් ඉන්නේ අසන්තෝෂයෙන්, ගුරුවරුන්ට නියමිත වැටුප් ගෙවනු, නිදහස් අධ්‍යාපනය රැකගනු” හා “ගුරුවරුන් දඩයම් කිරීම නතර කරනු” යනාදී සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින්, ගුරුවරු උදෑසන කාලයේ දී ප්‍රසිද්ධ ස්ථානවලට රැස්වූහ.

“අපි ත්‍රස්තවාදය පරාජය කල අයුරින් ම ගුරු වැඩ වර්ජනය මර්දනය කරන” බවට, සති දෙකකට පෙර මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර තර්ජනය කලේ ය. බදාදා පැවති විරෝධතාවන්ට ප්‍රතිචාර දක්වමින් ඔහු ප්‍රකාශ කලේ, වැඩ වර්ජකයන් සම්බන්ධයෙන් ආන්ඩුවේ ප්‍රතිචාරය “වඩා මෘදු” වී ඇති බවත්, අනාගතයේ දී “දැඩි ක්‍රියාමාර්ග” ගනු ඇති බවත් ය. මීට පෙර පැවති විරෝධතාවල දී ගුරුවරුන් දුසිම් ගනනක් අත්අඩංගුවට ගන්නා ලදී.

විරෝධතාවේ යෙදෙන ගුරුවරුන් බියවැද්දීම පිනිස, රාජපක්ෂ ආන්ඩුව බදාදා තම හෙංචයියන් ප්‍රදේශ කිහිපයකට දිගේලි කලේ ය. කොවිඩ්-19 සමාජ දුරස්ථකරන රෙගුලාසි උල්ලංඝනය කරන බවට ගුරුවරුන්ට චෝදනා කරමින්, නැගෙනහිර පලාතේ දෙහිඅත්තකන්ඩිය අධ්‍යාපන කලාපයේ විරෝධතාවක් කඩාකප්පල් කිරීමට සෞඛ්‍ය නිලධාරීහු සහ පොලීසිය උත්සාහ දැරූ හ.

ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සමග එක් ව වැඩ කරන ආන්ඩුව, “වසංගත සමය තුල” ගුරුවරුන්ගේ වැටුප් ඉල්ලීම් “අසාධාරන” බව ප්‍රකාශ කරමින් ද “වැඩ වර්ජනය හේතුවෙන් ලමුන්ගේ අධ්‍යාපනය බිඳ වැටී ඇත” යි ව්‍යාජ ලෙස කියාපාමින් ද ගුරුවරුන්ට එරෙහි ව මහජන මනෝගතියක් ඇවිලවීමට උත්සාහ දරමින් සිටියි.

ආන්ඩුවේ ප්‍රහාරවලට විරුද්ධ ව කම්කරු-පන්තික සහයෝගය රැලි කරගැනීමට ගුරු වෘත්තීය සමිති නායකත්වය කිසිවක් කර නැත. ඒ වෙනුවට බදාදා විරෝධතා කැඳවන ලද්දේ, ආන්ඩුවට බංකොලොත් ආයාචනා කිරීම දෙසට ගුරුවරුන්ව වඩ වඩා අපසරනය කිරීමට යි.

“ආන්ඩුව අප සමග සාකච්ඡා කිරීම දිගට ම ප්‍රතික්ෂේප කරනවා නම්, මහපාරට බසින්නේ නැතුව අපට කල හැක්කේ කුමක්දැ” යි අඟහරුවාදා උදෑසන පැවති මාධ්‍ය හමුවක දී ලංකා ගුරු සංගමයේ (ලංගුස) ලේකම් ජෝසෆ් ස්ටාලින් ක්ෂමාලාපී ලෙස කීවේ ය.

ආන්ඩුවේ සොච්චම් වැටුප් දීමනාව පිලිගැනීමේ මනාපය දැනට මත් පැහැදිලි කර ඇති වෘත්තීය සමිති, ආන්ඩුවෙන් මුහුන බේරාගැනීමේ “පොරොන්දුවක්” ලබාගෙන වැඩ වර්ජනය අවසන් කිරීම සඳහා, වඩ වඩා සාකච්ඡා වෙනුවෙන් ආයාචනා කරමින් සිටිති.

කොලඹ වැඩ වර්ජිත ගුරුවරු වැටුප් වැඩිවීම් ඉල්ලති (ලෝසවෙඅ මාධ්‍ය)

පලමු පන්තියේ ගුරුවරුන්ට රුපියල් 31,000ක වැටුප් වැඩි කිරීමක් ද අලුතෙන් බඳවා ගන්නා ආරම්භක පන්තියේ ගුරුවරුන්ට රුපියල් 10,000ක වැටුප් වැඩි කිරීමක් ද ගුරුවරු ඉල්ලා ඇත. ආන්ඩුව පිලිවෙලින් රුපියල් 11,000ක් හා 5,000ක් යෝජනා කර ඇත්තේ, අනෙකුත් ශ්‍රේනිවලට ඒ හා සමාන කුඩා මුදල් ප්‍රමාන යෝජනා කරමිනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කරන ලද කැබිනට් අනුකමිටුවක්, තමන් විසින් යෝජිත වැඩි කිරීම් නොවැම්බරයේ ඉදිරිපත් කරනු ලබන ආන්ඩුවේ අයවැයේ දී නිවේදනය කරනු ඇති බවත්, ඒවා වාර්ෂික වාරික හතරකින් ගෙවනු ලබන බවත් කියා තිබේ.

ගුරුවරුන්ගේ ඉල්ලීම් පාවාදීම සඳහා වෘත්තීය සමිතිවලට පවතින සූදානම ඉඟිකරමින්, මාධ්‍ය හමුවේ දී ස්ටැලින් මෙසේ කීවේ ය: “අපි මස් රාත්තල ම ඉල්ලන්නේ නැහැ. අපි අඩියක් පස්සට අරන් තිබෙනවා. වාරිකවලින් තොර ව ආන්ඩුව පොරොන්දු වූ මුදල් අපට එකවර දෙන්න. එය විසඳා ගැනීම සඳහා අපට තවත් සාකච්ඡාවක් දෙන්න.”

වර්තමාන රාජපක්ෂ පාලන තන්ත්‍රය ද ඇතුලු අනුප්‍රාප්තික ආන්ඩු, වෘත්තීය සමිතිවල ආධාරය හා අනුබලය ලබමින්, පසුගිය වසර 24 පුරා ගුරුවරුන්ගේ වැටුප් ඉල්ලීම් ප්‍රතික්ෂේප කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, ලංකාවේ ගුරුවරුන් දැන් සිටින්නේ, රට තුල රාජ්‍ය අංශ කම්කරුවන්ගේ අඩුවෙන් ම වැටුප් ලබන කම්කරුවන් අතර ය. මෙවර වෘත්තීය සමිතිවල ද්‍රෝහීත්වය, ගෙවීගිය දශක දෙකට වඩා වෙනසක් නැත.

සාකච්ඡා ඉල්ලමින් වෘත්තීය සමිති නිහීන ලෙස ආන්ඩුවට ආයාචනා කරන අතරතුර, වැඩ වර්ජිත ගුරුවරු ඔවුන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීම අරබයා ආන්ඩුව හා අධ්‍යාපන බලධාරීන් ව හෙලාදුටුවෝ ය. එක් ගුරුවරයෙක් මෙසේ කීවේ ය: “අපේ ප්‍රශ්න දෙස බැලීමක් පවා නො කර පාලකයෝ හැම දෙයක් ම භුක්ති විඳිනවා.” තවත් ගුරුවරියක් තමන් “පාලකයන්ට ශාප කරන” බව මාධ්‍ය වෙත කීවා ය.

පොලීසිය හා සෞඛ්‍ය බලධාරීන් ඔවුන්ගේ විරෝධතා විසුරුවා හැරීමට උත්සාහ දැරූ විට “(කොවිඩ්-19) සංචරන සීමා ඉවත් කිරීමෙන් පසු, ආන්ඩුව සෑම තැනක ම පවතින රථවාහන තදබදය නො තකා හැර ඇතත්, සෞඛ්‍ය මාර්ගෝපදේශනවලට අනුව පවත්වනු ලබන ගුරු විරෝධතා නවතා දැමීමට දැන් උත්සාහ කරනවා” යි ගුරුවරු කෝපයෙන් යුතුව ප්‍රකාශ කලහ.

ආන්ඩුව විසින් සංවිධානය කරන ලද ගුරු දින උත්සවයක් අමතමින්, අගමැති මහින්ද රාජපක්ෂ නරුම ලෙස මෙසේ ප්‍රකාශ කලේ ය: “වෘත්තීයක අයිතිවාසිකම් දිනාගැනීමේ අරගලයට සීමාවන් නැහැ, ඒත් ගුරු වෘත්තියේ ගරුත්වය සෑමවිට ම ආරක්ෂා කරගත යුතු යි...ශිෂ්‍යයන් යලි නියමිත මාවතට ගැනීම සම්බන්ධයෙන් වගකීම දරන්නේ ගුරුවරු.” වෙනත් වචනවලින් කියන්නේ නම්, ගුරුවරු ඔවුන්ගේ වැඩ වර්ජන ක්‍රියා මාර්ගය අවසන් කොට, රටපුරා කොවිඩ්-19 වසංගතය වේගයෙන් පැතිර යද්දී පාසල් යලි විවෘත කිරීමේ ආන්ඩුවේ සැලැස්ම පිලිගත යුතු ය.

බෞද්ධ භික්ෂුවක් හා රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ (පීඑස්යූඑන්යූ) නායකයා වන මුරුත්තෙට්ටුවේ ආනන්ද, “ගුරුවරුන්ගේ ගැටලු විසඳීම සඳහා ආන්ඩුවට බල කිරීමට” එදින ම සර්ව-පාක්ෂික සමුලුවක් පැවැත්වී ය. රාජපක්ෂගේ දීර්ඝ කාලීන ආධාරකරුවෙක් වන ආනන්ද, වර්තමාන ආන්ඩුව බලයට ගෙන ඒමට වැඩ කලේ ය.

ගුරුවරුන්ගේ අරගලයට “මැදිහත් වන” ලෙස ඉල්ලමින්, ඊට කලින් දින ජනාධිපති හා අගමැති තමන්ට පෞද්ගලික ව දුරකථනයෙන් ඇමතූ බව පීඑස්යූඑන්යූ නායකයා එම සමුලුවට කීවේ ය. “මෙම ප්‍රශ්නය ඔබේ අතට ගන්න, අපි සාකච්ඡා හරහා ගුරුවරුන්ගේ ගැටලු විසඳනවා” යි ජනාධිපති ඉල්ලා සිටි බව ආනන්ද කීවේ ය. ආන්ඩුව වෙනුවෙන් ක්‍රියා කරමින් ගුරුවරුන්ගේ අරගලය මර්දනය කොට වැඩ වර්ජනය අවසන් කිරීම සඳහා තමන් ක්‍රියා කරමින් සිටින බව ආනන්දගේ ප්‍රකාශය පැහැදිලි කරයි.

වසංගතයට සම්බන්ධ විශේෂ දීමනා අඛන්ඩ ව ගෙවීම හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන, සෞඛ්‍ය කම්කරුවන් 90,000ට අධික පිරිසක් සැප්තැම්බර් 27දා පැවැත්වූ ජාතික වැඩ වර්ජනයට සම්බන්ධ නො වන ලෙස, ආනන්දගේ පීඑස්යූඑන්යූව සිය සාමාජිකයන්ට විධානය කලේ ය.

ජූලි මාසය මුල දී, රුපියල් 10,000ක ආපදා, පැමිනීමේ හා ප්‍රවාහන දීමානවක්, වැඩි කරන ලද නිල ඇඳුම් දීමනාවක් හා දින පහේ වැඩ සතියක් ඉල්ලමින් හෙදියන් 30,000ක් පමන නිරත වූ වැඩ වර්ජනයක් නවතා දැමීමේ දී, ආනන්ද මූලික භූමිකාවක් ඉටු කලේ ය. වැඩ වර්ජනයෙහි දෙවන දිනයේ අගමැති මහින්ද රාජපක්ෂ මුනගැසුනු ආනන්ද, ඔහුගේ ව්‍යාජ “පොරොන්දුවලට” එකඟ වී හෙදියන්ගේ කාර්මික ක්‍රියාව නවතා දැමී ය.

ගුරුවරුන්ගේ වැටුප් ඉල්ලීම් ප්‍රතික්‌ෂේප කර තිබුනු කලින් පැවති ආන්ඩුවල නියෝජිතයෝ, පීඑස්යූඑන්යූවේ ඊනියා සර්ව-පාක්ෂික සමුලුවට සහභාගි වූ හ. ගුරුවරුන්ගේ ක්‍රියාව කම්කරු පන්තියේ පලල් දේශපාලන ව්‍යාපාරයක් සඳහා උත්ප්‍රේරකයක් වනු ඇතැයි පාලක ප්‍රභූවේ අනෙකුත් කන්ඩායම් මෙන් ම බියවන, පාර්ලිමේන්තු විපක්ෂ නායක සමගි ජන බලවේගයේ (සජබ) සජිත් ප්‍රේමදාස සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඔවුන් අතරට ඇතුලත් වූහ.

සමාජවාදී සමානතා පක්ෂය විසින් ආරම්භ කරන ලද ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කමිටුව (ටීඑස්පීඑස්සී) විරෝධතාවේ යෙදෙන ගුරුවරුන්ට ආමන්ත්‍රනය කරන විශේෂ ප්‍රකාශයක් පලකලේ ය. “රාජපක්ෂ ආන්ඩුවේ මර්දන පිලිවෙත් පරාජය කරමු! ක්‍රියාකාරී කමිටු ගොඩනගමින් ගුරු වැටුප් අරගලයට අවශේෂ කම්කරුවන්ගේ සහයෝගය ගොනු කරමු!” යන හිසින් යුත් එම ප්‍රකාශය, ගුරුවරුන් මුහුන දෙන දේශපාලන අභියෝග හා සටන ඉදිරියට ගෙන යා හැක්කේ කෙසේ ද යන්න පැහැදිලි කලේ ය.

2021 ඔක්තෝබර් 6 වැනි දා නුවරඑලියේ විරෝධතාවේ යෙදෙන ගුරුවරු (ඡායාරූපය සඳහා ස්තුතිය: ෆේස්බුක්, මලයග කුරුවි)

“විරෝධතාවන්ට තවත් ගුරුවරු සහභාගි විය හැකි ව තිබුනත් ඔවුන් වෘත්තීය සමිති නායකයන් ව අවිශ්වාස කරනවා” යි විරෝධතාවේ යෙදෙමින් සිටි අම්බලන්ගොඩ ප්‍රදේශයේ ගුරුවරියක් ලෝසවෙඅ වෙත කීවා ය. “අනෙකුත් කම්කරුවන්ගේ සහයෝගය කැඳවුම් කරමින් වෘත්තීය සමිති වචනයක් වත් ප්‍රකාශ නො කිරීම” ගැන පුදුමය පලකල ඇය, “අපේ අරගලය ආරක්ෂා කිරීම සඳහා එය අත්‍යවශ්‍ය” බව තව දුරටත් කීවා ය.

ගුරුවරුන් විරෝධතාවේ යෙදෙන්නේ, ඔවුන්ගේ සොච්චම් වැටුප්වලින් ඔවුන්ට ජීවත් විය නො හැකි නිසා බව ගෙලිඔය ප්‍රදේශයේ ගුරුවරයෙක් සඳහන් කලේ ය. “අපි මේ ක්‍රියා මාර්ගයට සහභාගි වන්නේ වෘත්තීය සමිති කැඳවන නිසා නෙවෙයි. ඇත්ත වසයෙන් ම, මෙවර විරෝධතාවයට වෘත්තීය සමිති සුදුසු ප්‍රචාරයක් වත් සම්පාදනය කලේ නැහැ. අපට මේ අරගලය අත්හරින්න බැරි බව පෙන්වීමට පවතින අධිෂ්ටානය නිසා ගුරුවරුන් ම මෙයට සහභාගි වෙනවා” යි ඔහු කීවේ ය.

උතුරේ දෙමල කතා කරන ගුරුවරු වැඩ වර්ජනයේ නිරත නො වන බවට ආන්ඩුව හා මාධ්‍ය කරන කියාපෑම්, යාපනය ප්‍රදේශයේ ගුරුවරයෙක් වන ප්‍රදීපන් විසින් ප්‍රතික්ෂේප කලේ ය. “මේ අරගලයට දෙමල ගුරුවරු සහභාගි නො වනවා යයි කීම බොරුවක්. වව්නියාව, මන්නාරම හා කිලිනොච්චි ඇතුලු සෑම තැනක ම විරෝධතා පැවැත්වෙමින් තිබෙනවා. සියලු ගුරුවරු එක හා සමාන ව ජීවත් වීමට අරගලයේ යෙදෙනවා. තෘප්තියෙන් යුතුව වැඩ කිරීමට ගුරුවරුන්ට ශිෂ්ට සම්පන්න වැටුපක් අවශ්‍ය යි. ඒක පොදු අවශ්‍යතාවක්” යි ප්‍රදීපන් කීවේ ය.

2021 ඔක්තෝබර් 6 වැනි දා යාපනයේ දී විරෝධතාවේ යෙදෙන ගුරුවරු (ලෝසවෙඅ මාධ්‍ය)

ටීඑස්පීඑස්සී ප්‍රකාශය ගුරුවරුන්ට සහයෝගය දෙන ලෙස කම්කරු පන්තියේ අවශේෂ කොටස්වලින් ඉල්ලා සිටියේ ය. ශ්‍රී ලංකාවේ කම්කරුවෝ, “ගුරු අරගලය සමග එකමුතු වෙමින්, පාසල්, නිවහන් ප්‍රදේශ හා වැඩපොලවල වෘත්තීය සමිතිවලින් ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගා, විරෝධතා හා වැඩ වර්ජන වැනි අනෙකුත් පන්ති ක්‍රියාවන් සංවිධානය කල යුතුයි” යි ප්‍රකාශය සඳහන් කලේ ය.

“සහනාධාර දිනාගැනීම සඳහා ධනපති ආන්ඩුවලට පීඩනය යෙදීමේ බංකොලොත් ක්‍රියා මාර්ගය වෙනුවට, ධනපති ක්‍රමය පෙරලා දමා, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ස්ථාපිත කිරීම හා ජාත්‍යන්තර සමාජවාදය සඳහා” මෙම ක්‍රියාකාරී කමිටු සටන් වැදිය යුතු බව ප්‍රකාශය තව දුරටත් කීවේ ය.

පසුගිය සතිය පුරා, ටීඑස්පීඑස්සී සාමාජිකයෝ සෞඛ්‍ය අංශයේ ක්‍රියාකාරී කමිටු කිහිපයක සාමාජිකයන් සමග මෙම ක්‍රියා මාර්ගය පිලිබඳ ව සාකච්ඡා පවත්වා ඇත.

Loading