දරුවන්ගේ ජීවිත අනතුරේ හෙලමින් වසංගතය මැද පාසල් විවෘත කිරීමට එරෙහිවනු!

රට තුල කොව්ඩ්-19 ආසාදිත රෝගීන්ගේ සීමිත අඩුවීම හුවා දක්වමින්, සිසුන් 200 ට අඩු පාසල් 3000 ක පමන ප්‍රාථමික අංශ අද සිට විවෘත කිරීමට රාජපක්ෂ ආන්ඩුව පියවර ගෙන තිබේ. අදියර හතරක් යටතේ ඉදිරි සති කිහිපය තුල 10,500 ක් වන රටේ සියලූම පාසල් විවෘත කිරීම ආන්ඩුවේ එල්ලයයි.

විශාල වශයෙන් සීමා කරන ලද පරීක්ෂන මගින් පවා තවමත් දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 500 ට වැඩි අගයක් ගෙන තිබේ. ප්‍රතිකාර ලබමින් සිටින සක්‍රීය රෝගීන් සංඛ්‍යාව 25,000 ක් පමන වන අතර දිනපතා දුසිම් කිහිපයක් වසංගතයෙන් මරනයට පත් වේ. රට තුල පැතිර පවතින්නේ මාරාන්තික ඩෙල්ටා ප්‍රභේදයයි.

සෞඛ්‍ය පුරුදු ගැන දැනුවත් කර “බය නැතුව දරුවන් පාසලට එවන්නැ“ යි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සුසී පෙරේරා ඊයේ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියා ය. කොලඹ මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය මහීන් කොතලාවල පසුගිය සතියේ සන්ඩේ ටයිම්ස් සමග සාකච්ජාවකට එක් වෙමින් එම සෞඛ්‍ය පුරුදු කවරේද යන්න පැහැදිලිකොට තිබුනි. ඔහුට අනුව, දරුවන් පාසලට යනවිට මුඛ ආවරන කිහිපයක් ගෙනයාම, අපිරිසිදු වන මුව ආවරන දැමීමට තවත් බෑගයක් භාවිතා කිරීම, මුව ආවරන ගලවා කෑම ගැනීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගෙන යෑම හා පිරිසිදු කාරක දියර භාවිතා කිරීම ආදී පුරුදු අනුගමනය කලයුතු වෙයි.

ආන්ඩුවෙන් කවර හෝ ආධාරයක් ලබා නොදෙන තතු යටතේ, තම දරුවාට දිනකට මුව ආවරන කීපයක් සහ සපයාදීම බොහෝ දෙමාපියන්ට කල නොහැක්කකි. පාසල් යන වයසේ දරුවන් කීපදෙනෙකු සිටින පවුල් වලට එය වඩාත් අසීරු වනු ඇත. මුව ආවරන සහ විෂබීජහාරක දියර කෙසේ හෝ ලබා දුන්නද, එවැනි බැරෑරුම් හැසිරීම් රටාවක් කෙලිදෙලෙන් යුත් දරුවන්ගෙන් කිසිසේත් බලාපොරොත්තු විය නො හැකි බව ගුරුවරුන් වන අපගේ අත්දැකීමයි.

එවන් තත්වයක් තුල පාසල් යලි විවෘත කිරීම දරුවන්ගේ ජීවිත අනතුරේ හෙලීමක් බවත් වසංගතයේ ව්‍යාප්තිය තවදුරටත් වේගවත් කිරීමට හේතුවක් වන බවත් පෙන්වා දෙන ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කමිටුව, වසංගතය මැද පාසල් විවෘත කිරීමට එරෙහි වන ලෙස සියලු දෙමාපියන්ගෙන්, ගුරුවරුන්ගෙන් සහ අවශේෂ කම්කරු පීඩිත මහජනයාගෙන් ඉල්ලා සිටී. ඒ සමගම, “වසංගතය සමග ජීවත්වීමේ“ ආන්ඩුවේ පිලිවෙතට එරෙහිව, ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග ඒකාබද්ධ වෙමින් වසංගතය ගෝලීය පරිමානව මුලිනුපුටා දැමීමේ කර්තව්‍යයට උරදීමේ තීරනාත්මකභාවය අපි අවධාරනය කරන්නෙමු.

පාසල් විවෘත කිරීමට ආන්ඩුව යුහුසුලු වන්නේ දරුවන්ගේ අධ්‍යාපනය හා අනාගතය සම්බන්ධ කවර හෝ උත්සුකයකින් නොවේ. ලොව පුරා සහචර පාලක පන්තීන් සේම, මහ ව්‍යාපාරිකයන්ගේ ලාභ උත්පාදන ක්‍රියාවලිය අඛන්ඩව ඉදිරියට ගෙන යෑම සඳහා ආර්ථිකය මුලුමනින් විවෘත කොට ඇති රාජපක්ෂ ආන්ඩුව ද ගනන් බලන්නේ දරුවන් නිවෙස් තුල රැඳී සිටීම දෙමාපියන් වැඩබිම් තුලට ගාල් කිරීමට බාධාවක් ලෙසයි.

වැඩිවැටුප් ඉල්ලා තෙමසකට අධික කාලයක් ගුරුවරුන් ගෙනගිය වැඩ වර්ජනය බිඳ දැමීම අද දින පාසල් විවෘත කිරීමේ තවත් එල්ලයක් විය. වසංගතය මනාලෙස පාලනය කරන තෙක් තවදුරටත් පාසල් වසා තබමින්, ඔවුනට ඔන්ලයින් අධ්‍යාපනයට අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා බිලියන සංඛ්‍යාත මුදල් ‌යොදවනු වෙනුවට, දරුවන් පාසල් වලට ගාල්කොට ඉන් අතසෝදා ගැනීම ආන්ඩුවේ අනෙක් අරමුනයි.

රටේ දරුවන්ගෙන් සියයට 60 කටම ඔන්ලයින් අධ්‍යාපනයට පහසුකම් නොමැති තත්වයේ දී ඒ සඳහා පහසුකම් සැපයීම ප්‍රතික්ෂේප කොට ඔවුනගේ අධ්‍යාපනය කඩාකප්පල් කල රාජපක්ෂ ආන්ඩුව අතිශය කුහක ලෙස අධ්‍යාපනය බිඳ වැටීමේ වරද ගුරුවරුන් මත පැටවීමේ උත්සාහයක නියැලුනේ ඔවුන් තම වියදමෙන් ඔන්ලයින් ඉගැන්වීම්වල නිරතවූ තත්වයකය.

“දරුවන්ගේ දෙමාපියන් බහුතරයක් එන්නත්කරනයට ලක් කර තිබීම“ පාසල් විවෘත කිරීම යුක්ති සහගත කිරීම සඳහා ආන්ඩුව යොදා ගන්නා තවත් කුතර්කයකි. පාසල් විවෘත කිරීම මගින් දරුවන් වසංගතයට ගොදුරු වීම පිලිබඳ ජාත්‍යන්තර දත්ත සහ වෙනත් වෛද්‍ය විද්‍යාත්මක හෙලිදරව් කිරීම් මගින් ආන්ඩුවේ පිලිවෙතේ ඇති සාපරාධීභාවය පැහැදිලි කර ගැනීම අපහසු නොවේ.

ලංකාවේ පවුල් සෞඛ්‍යය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මේ මස 08 දා මාධ්‍යයට හෙලිදරව් කලේ ලංකාවේ වාර්තාවන කොව්ඩ් ආසාදිත දරුවන් සංඛ්‍යාව ඒ වන විටත් 59,000 ක් තරම් ඉහල අගයක් ගෙන ඇති බවයි. ඒ අතරින් ලමුන් 67 ක් මිය ගොස් ඇත. ඉන් 13 ම මරනයට පත් වී ඇත්තේ නිවෙස් තුල දී ය.

කොලඹ රිච්වේ ආර්යා ලමා රෝහලේ විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මේ මස 17 දා පැවති මාධ්‍ය හමුවකදී අනතුරු ඇඟවූයේ බහුවිධ ඉන්ද්‍රීය ප්‍රදාහය නැමැති පසු කොවිඩ් රෝගී තත්වයක් රටපුරා ආසාදිත දරුවන් අතර පැතිරෙමින් පවතින බවයි. වෛද්‍යවරයාට අනුව, එකී රෝගී තත්වයෙන් පසුගිය සතියේ එම රෝහලේ ලමුන් දෙදෙනෙක් මිය ගොස් ඇත. මේ දක්වා මෙම රෝග තත්වයට ගොදුරු වූ ලමුන් 200 ක් පමන රෝහලට පැමින ඇති අතර ඉන් 80 ක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාරවලට යොමු කර තිබේ.

රාජපක්ෂ ආන්ඩුවට පිටුබලය දෙමින් “නව සාමාන්‍යයට“ මහජනයා යට කරන ධනපති මාධ්‍ය හා රාජපක්ෂ ආන්ඩුවේ ඒජන්සියක් වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (රවෛනිස) ඇතුලු ප්‍රතිගාමී වෛද්‍ය කන්ඩායම් මුහුන දී සිටින අන්තරාය සම්බන්ධයෙන් මහජනයා අඳුරේ තබා තිබේ.

පාසල් වසා දැමීමෙන් දරුවන් පරිගනක ක්‍රීඩාවලට ඇබ්බැහිවීම, වැරදි ආහාර රටාවන්ට යොමු වීම හා සමාජ සම්බන්ධතා ගිලිහීම වැනි කරුනු වලට ඇඟිල්ල දිගු කරමින්, රවෛනිස, ආන්ඩුවේ පාසල් විවෘත කිරීමට මුලුමනින්ම සහයෝගය දී තිබේ. ජාත්‍යන්තරව පවත්නා විද්‍යාත්මක ඥානය සහ සම්පත් ඒකාග්‍ර කරගත් ගෝලීය ප්‍රයත්නයක් මගින් මෙම වසංගතය මාස දෙකක් වැනි කාලයකින් මුලිනුපුටා දැමිය හැකිව තිබියදී එයට එරෙහිව “වසංගතය සමග ජීවත් වනු“ යන පිලිවෙත අනුයන ධනපති පාලකයන් මෙන්ම, එයට පිටුබලය දෙන රවෛනිස වැනි ප්‍රතිගාමී සංවිධාන ලමුන් මුහුන දෙන මෙම තත්වයට වගකිවයුතු වෙයි.

එන්නත්කරනය සාර්ථකව සිදුකල රටවල් ලෙස සැලකෙන ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය වැනි රටවලත්, ඊට අඩු ප්‍රතිශතයක් එන්නත්කරනය කල බ්‍රසීලය සහ ඉන්දුනීසියාව වැනි රටවලත් පාසල් විවෘත කිරීමෙන් රෝග ව්‍යාප්තිය වේගවත් වී අනාගත පරම්පරාවක්ම අප දන්නා හා නො දන්නා සංකූලතාවන්ට ගොදුරු කර ඇත්තේ ඔවුන් අතරින් දසදහස් ගනනකගේ ජීවිත අහිමි කරමිනි.

මෑතම අධ්‍යයනයකින් පෙන්වා දී තිබෙන්නේ ජාත්‍යන්තර පරිමානව, ආසාදනය වන දරුවන් හතකින් එක් අයෙකු ආසාදනය වී මාස කිහිපයකින් ශරීරය දුර්වල කරවන රෝග ලක්ෂනවලින් පීඩා ගෙන දෙන දිගුකාලීන කොවිඩ් (ලෝන්ග් කොවිඩ්) තත්වයට ගොදුරු වන බවයි. පසුගිය සතියේ ඇමරිකා එක්සත් ජනපදයේ ලමුන් 22 ක් මරනයට පත් වීමෙන් එරට සමස්ත කොවිඩ් ලමා මරන සංඛ්‍යාව 520 ක් දක්වා ඉහල ගියේ ය. බ්‍රිතාන්‍යයේ දරුවන් 95 ක් සහ ගුරුවරුන් ඇතුලු අධ්‍යාපන වෘත්තිකයන් 5,70 ක් මරනයට පත්ව තිබේ. බ්‍රසීලය, ඉන්දියාව, ඉන්දුනීසියාව ඇතුලු රටවල් ගනනාවක තත්වය වඩාත් ඛේදනීය වේ.

වසංගතය මධ්‍යයේ පාසල් විවෘත කිරීමට විරෝධය පල කිරීමක් ලෙස මේ මාසයේ 01 දා 15 දා දරුවන් පාසල් නොයවන ලෙස බ්‍රිතාන්‍යයේ දෙදරු මවක් වන ලීසා ඩයස් කල කැඳවුම, ලොවපුරා දෙමාපියන්ගේ හා අවශේෂ කම්කරු පන්තියේ බලගතු සහයෝගයක් දිනා ගැනීමට සමත් විය. බ්‍රිතාන්‍යයේත් ලෝකය පුරාමත් පාසල් විවෘත කිරීමට පක්ෂව සිටින වෘත්තීය සමිතිවලට පිටින් වර්ධනය වූ මෙම වර්ජන වසංගතය මුලිනුපුටා දැමීම සඳහා වන ජාත්‍යන්තර කම්කරු පන්තියේ ස්වාධීන මැදිහත්වීමේ වැදගත් ඉදිරි පියවරකි.

අපගේ ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කමිටුවද ඇතුලත් 'ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයේ' හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) මූලිකත්වයෙන් මේ මස 24 දා 'වසංගතය මුලිනුපුටා දමන්නේ කෙසේ ද' යන ශීර්ෂය යටතේ, ලොව ප්‍රකට වෛද්‍ය විද්‍යාඥයින් සම්බන්ධ වන ප්‍රසිද්ධ වෙබිනාර් රැස්වීම වසංගතයට තිත තැබීම සඳහා අවශ්‍ය කෙරෙන විද්‍යාත්මක සත්‍යය හා දේශපාලන ඉදිරිදර්ශනය සම්පාදනය කිරීම සඳහා වන තවත් එවන් මූලිකත්වය ගැනීමකි.

ලාභ ගරන ධනපති ක්‍රමයට තදින්ම බැඳීගත් වෘත්තීය සමිති, මහා ව්‍යාපාරිකයන්ගේ ලාභය සඳහා ආර්ථිකය විවෘත කිරීමේ කොටසක් ලෙස පාසල් යලි ඇරඹීමට ජාත්‍යන්තර පරිමානව සහයෝගය දෙති. තම ජාත්‍යන්තර සගයන් අනුයමින්, ලංකා ගුරු සංගමය, ජනතා විමුක්ති පෙරමුනට අයත් ලංකා ගුරු සේවා සංගමය, ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ඒකාබද්ධ ගුරු සේවා සංගමය ඇතුලු ගුරු විදුහල්පති සමිති සන්ධානය, පාසල් යලි ඇරඹීමට පූර්න සහාය පල කරති.

වසංගතය මුලිනුපුටා දැමීමටත්, දරුවන්ගේ ජීවිත රැක ගනිමින් අධ්‍යාපනය ඉදිරියට ගෙන යෑමටත් අපි පහත ඉල්ලීම් ඉදිරිපත් කරමු.

  • පාසල් තාවකාලිකව වසා දමනු ! වසංගතය නිසි පරිදි පාලනය කරන තුරු සැමට ඔන්ලයින් අධ්‍යාපනයට අවශ්‍ය පරිගනක හා අධිවේගි අන්තර්ජාල පහසුකම් නොමිලේ ලබාදෙනු!
  • කම්කරුවන්ට හා අවශේෂ ජන කොටස්වලට වැටුප් හා දීමනා සහිතව අත්‍යාවශ්‍ය නොවන නිෂ්පාදන වසා දමනු !
  • රෝගීන් හඳුනා ගැනීමේ පරීක්ෂන ඉහල දැමීමට, නිසි නිරෝධායනයට යොමු කිරීමට හා සෞඛ්‍ය පද්ධතිය නගා සිටුවීමට බිලියන ගනනින් මුදල් වෙන් කරනු !
  • ලෝකවාසී සෑම කෙනෙකුම හැකි ඉක්මනින් එන්නත්කරනට භාජනය කරනු !
  • ජාත්‍යන්තර කම්කරු පන්තියේ ගෝලීය පරිමාන සම්බන්ධීකෘත වැඩපිලිවෙලක් යටතේ වසංගතය මුලිනුපුටා දමනු !

අතලොස්සක් ධනපතියන්ගේ ලාභය සඳහා නිෂ්පාදනය කරන සහ පසමිතුරු ජාතික රාජ්‍ය පද්ධතියක මුල්බැස ඇති යල්පැන ගිය ධනපති ක්‍රමය යටතේ මෙම ඉල්ලීම් සාක්ෂාත් කරගත නො හැක. එය සාක්ෂාත් කල හැක්කේ, ධනපති ක්‍රමය පෙරලා දමමින්, මනුෂ්‍ය අවශ්‍යතා සපුරාලන පරිදි ගෝලීය ආර්ථිකය සමාජවාදී පිලිවෙත් යටතේ ප්‍රතිසංවිධානය කිරීමෙන් පමනි.

ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් මත පාදක වූ ක්‍රියාකාරී කමිටුවවල ජාත්‍යන්තර සන්ධානයක් ගොඩනැගීමේ කොටසක් ලෙස, ඔබගේ පාසලේ, වැඩ බිමේ හා නිවහන් ප්‍රදේශයේ වෘත්තීය සමිතිවලින් ස්වාධීන වූ ක්‍රියාකාරී කමිටු පිහිටුවමින් මෙම අරගලයට ඒකාබද්ධ වන ලෙස අපි කම්කරුවන්ට, ශිෂ්‍යයන්ට කැඳවුම් කර සිටිමු.

Loading