ඉදිරිදර්ශන

වසංගතය අවසන් කරන්නේ කෙසේද

[මෙය How to end the pandemic යන මැයෙන් 2021 ඔක්තෝබර් 25 වනදා පලවූ ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය (ක්‍රික-ජාකස) විසින් සංවිධානය කල, “වසංගතය අවසන් කරන්නේ කෙසේද” හිසින් යුතු, ඔක්තෝබර් 24 දින වෙබ්නාර් සාකච්ඡාවේදී ඩේවිඩ් නෝර්ත් විසින් කල ආරම්භක සැඳහුම් පහත දැක්වේ. නෝර්ත් ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සහ එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ සභාපතිවරයා ය.

“වසංගතය අවසන් කරන්නේ කෙසේද” යන මාතෘකාවෙන්ම අරමුන පැහැදිලිව දක්වා ඇති මෙම ජාත්‍යන්තර වෙබිනාර් රැස්වීම වෙත ලොව පුරා සිටින නරඹන්නන් පිලිගැනීමට මම කැමතියි. එයට අනුග්‍රහය දක්වනු ලබන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ ක්‍රියාකාරී කමිටු වල ජාත්‍යන්තර කම්කරු සන්ධානය විසිනි. මගේ නම ඩේවිඩ් නෝර්ත්. මම ලෝසවෙඅ හි ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සහ එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ සභාපති වෙමි. මෙම සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මා විසිනි. මට ඒ සඳහා සහය වන්නේ, වසංගතය ආවරනය කිරීමේදී ලෝසවෙඅ සමඟ සමීපව කටයුතු කල වෛද්‍යවරයෙක් වන ආචාර්ය බෙන්ජමින් මැටියස් ය. 2020 ජනවාරි 24 වන දින මෙම විෂය පිලිබඳ එහි පලමු පලකිරීමේ සිට, ලෝක සමාජවාදී වෙබ් අඩවිය වසංගතය පිලිබඳ ලිපි 4,000 කට වඩා ප්‍රකාශයට පත් කර ඇත. මෙම ලිපි වලින් 240 ක් ලියා ඇත්තේ ආචාර්ය මැටියස් විසිනි.

ගෝලීය පරිමානයෙන් සතිපතා මරන තවමත් තනි ඉලක්කම් වලින් ගනිනු ලැබූ සහ කොවිඩ් යනු ගෘහමය වචනයක් වීමට පෙර වසංගතයේ මුල් දිනවල සිටම—ක්ෂනික සහ සම්බන්ධීකෘත ගෝලීය ප්‍රතිචාරයකින් ප්‍රතික්‍රියා නොදැක්වුවහොත්—වසංගතය මිනිස් ජීවිතයට විනාශකාරී හානියක් සිදු කරනු ඇති බවට ලෝසවෙඅ අනතුරු අඟවමින් සිටියේය. අපි පේන කියන්නන් නොවෙමු. ඇත්ත වශයෙන්ම, අපගේ වාර්තාකරනය සහ විශ්ලේෂනය පදනම් වී ඇත්තේ වසංගත රෝග විද්‍යාඥයින් සහ අදාල ක්ෂේත්‍රවල සේවය කරන විද්‍යාඥයින් විසින් සිදු කරන ලද විද්‍යාත්මක පර්යේෂනවල ප්‍රතිඵල හොඳින් අධ්‍යයනය කිරීම මතය. ලෝසවෙඅ විසින් සමීපව අනුගමනය කල අය අතර, අද දින සාකච්ඡා මඬුල්ලේ සාමාජිකයින් කිහිප දෙනෙක් ද සිටිති.

ලෝසවෙඅ හි වසංගතය පිලිබඳ ආවරනය 2020 ජනවාරි දක්වා දිව යන්නේ පුරසාරම් දෙඩීමේ අරමුන සඳහා නොවන බවට අවධානය යොමු කරන්න. ඒ වෙනුවට, බොරුව ප්‍රතික්ෂේප කිරීම සඳහා—සමහර විට ආන්ඩු සහ මාධ්‍ය වලින් ගලා ආ බොරුවේ වඩාත් හානිකර උදම් රල—එනම්, මෙම වසංගතයේ ප්‍රතිවිපාක කල්තියා පැවසිය නොහැකි බවත්, එය පැමිනෙන බව කිසිවෙකු නොදැන සිටි බවත්, සහ—එය ආරම්භ වූ පසු—එය නැවැත්වීමට කුමක් කල යුතු දැයි කිසිවෙකු නොදැන සිටි බවත් ප්‍රතික්ෂේප කිරීම සඳහා ය. සත්‍යය නම්, ව්‍යසනකාරී වසංගතයක අවදානම පිලිබඳ පසුගිය දශක දෙක තුල හදිසි අනතුරු ඇඟවීම් නිතර නිතර සිදු වූ බවයි. එපමනක් නොව, වසංගතය ආරම්භ වූ පසු, වසංගත රෝග විද්‍යාඥයින්ට සහ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ක්‍රියාකාරී අනෙකුත් විද්‍යාඥයින්ට එය ඉක්මනින් පාලනය කිරීමට කල යුතු දේ පිලිබඳව ඉතා පැහැදිලි අවබෝධයක් තිබුනි. අද දින මඬුල්ලට, අනතුරු ඇඟවීමේ සංඤා නාද කල සහ දැවැන්ත ජීවිත හානියක් වැලැක්වීමට අවශ්‍ය පියවර හඳුනාගෙන සිටි අය අතර වූ විද්‍යාඥයන් ද ඇතුලත් ය.

විද්‍යාඥයන්ට සවන් දීම ආන්ඩු විසින් හිතාමතාම ප්‍රතික්ෂේප කිරීම නිසා ලෝකයට දැනටමත් දරුනු වන්දියක් ගෙවීමට සිදුව ඇත.

වසංගතයේ දෙවන වසර අවසන් වන විට, අපි දැන් සිටින්නේ කොහිද?

වසංගතයේ පලමු වසර අවසානයේ—එනම් 2020 දෙසැම්බර් 31 දිනට—නිල ගෝලීය මරන සංඛ්‍යාව 1,950,000 ක් විය.

ඊයේ වන විට, 2021 අවසන් වීමට මාස දෙකකටත් වඩා ඉතිරිව තිබියදී, මුළු නිල මරන සංඛ්‍යාව 4,958,947 ක් විය.

මාධ්‍යවල දෛනික ප්‍රකාශයන්ට පටහැනිව, වසංගතය ඇත්තේ පහව යමින් නොවේ, එමෙන්ම, කොවිඩ්-19, සෙම්ප්‍රතිශ්‍යාවට සමාන දෙයක් බවට පරිනාමය නොවේ. 2021 අගෝස්තු 24 වැනි දින—යන්තම් මාස දෙකකට පෙර—ලෝසවෙඅ වසංගතය පිලිබඳ ජාත්‍යන්තර වෙබිනාර් සාකච්ඡාවකට අනුග්‍රහය දැක්වීය. එතැන් සිට, ගෝලීය වශයෙන් මුළු රෝගීන් සංඛ්‍යාව මිලියන 213 සිට මිලියන 244 දක්වා වැඩි වී තිබේ. නිල මරන සංඛ්‍යාව මිලියන භාගයකට වඩා ප්‍රමානයකින් වැඩි වී තිබේ.

වැඩිම මරන සංඛ්‍යාවක් තිබෙන රටවල් පමනක් ලැයිස්තු ගත කිරීමේදී, එක්සත් ජනපදය—ලොව ධනවත්ම හා වඩාත්ම තාක්ෂනිකව දියුනු ධනපති රට—කොවිඩ්-19 වින්දිතයින් අතර ලෝකයේ අංක එකේ සිටී. බ්‍රසීලයේ—මිනීමරු උන්මත්තකයෙකු වන බොල්සොනාරෝ විසින් පාලනය කරනු ලැබේ—පුද්ගලයින් 605,569 ක් මියගොස් තිබේ. ඉන්දියාවේ මියගිය සංඛ්‍යාව 459,301 කි. මෙක්සිකෝවේ පුරවැසියන් 286,259 ක් අහිමි වී ඇත. පේරු හි මරන සංඛ්‍යාව 200,000 කි. රුසියාවේ—එය දැන් තවත් විනාශකාරී රැල්ලක ග්‍රහනයේ පවතී—229,528 කි. රටේ අගමැතිවරයා, 'සිරුරු දහස් ගනනින් ගොඩ ගැසුනාවේ' යනුවෙන් ප්‍රකාශ කල එක්සත් රාජධානියේ, මේ වන විට පුද්ගලයින් 139,461 ක් මියගොස් ඇත. බොරිස් ජොන්සන් ඔහුගේ ප්‍රාර්ථනය ඉටු වන බව දකියි. ඉරානයේ මියගිය සංඛ්‍යාව 125,052 කි.

නමුත් මෙම සංඛ්‍යාලේඛන, වසංගතයේ මස් වෙලෙන්දාගේ බිල්පතේ සම්පූර්න ප්‍රමානය හා භීෂනය හෙලි නොකරයි. ද ඉකොනොමිස්ට්—සමාජවාදී නැඹුරුතාවන් ගැන කිසිවෙකු චෝදනා නොකරන ප්‍රකාශනයකි—'වසංගතයේ සැබෑ මරන සංඛ්‍යාව' යන මාතෘකාවෙන් යුත් ලිපියක් ලියා තිබේ. එහි මෙසේ සඳහන් වේ:

කොවිඩ්-19 මගින් සිදු වූ නිල මරන සංඛ්‍යාව දැන් මිලියන 4.9 ක් වුවද, අපගේ එකම සහ හොඳම ඇස්තමේන්තුව වන්නේ සැබෑ සංඛ්‍යාව මිලියන 16.5 ක් බවයි. අතිරේක මරන වල සත්‍ය අගය මිලියන 10.2 සහ මිලියන 19.2 අතර අගයක් වීමට සියයට 95 සම්භාවිතාවක් ඇති බව අපට පෙනී යයි.

යුද්ධයක මිනිස් පිරිවැය නිර්නය කිරීමේදී, සංඛ්‍යාලේඛනවලට මියගිය අය පමනක් නොව, තුවාල ලැබූවන් ද ඇතුලත් වේ. කොවිඩ්-19 හි මිනිස් පිරිවැයට මියගිය අය පමනක් නොව, රෝගයෙන් පීඩාවට පත් වූ සියල්ලන් සහ විශේෂයෙන් “දිගු කාලීන කොවිඩ්” ලෙස හැඳින්වෙන ආසාදනවල අඛන්ඩ බලපෑමෙන් පෙලෙන “දිගු කාලින බලපෑමට ලක් වූවන් ද” ඇතුලත් වේ. වසර ගනනාවක් තිස්සේ රෝගය විඳදරාගන්නා අය සැලකිල්ලට ගත් විට, කොවිඩ්, පෝලියෝ වලට භයානක සමානකමක් දරයි.

පසුගිය මාසය තුල එක්සත් ජනපදයේ දිනකට පුද්ගලයින් 1,700 ක් පමන මිය ගොස් ඇත. දෛනික මරන තවදුරටත් වාර්තා නොවේ. සුප්‍රසිද්ධ කියමනට අනුව, “එක් මරනයක් යනු ඛේදවාචකයකි; මිලියනයක මරනය යනු සංඛ්‍යාලේඛනයකි,” යන්න තහවුරු වෙමින් තිබේ. මෙම අඛන්ඩ ව්‍යසනයේ යථාර්ථයට මුහුන දෙමින්, කොවිඩ් “වසංගතයක්” ලෙස පමනක් නොව සමාජීය “සමූල ඝාතනයේ” ස්වරූපයක් ලෙස ද හැඳින්වීම ආරම්භ කල යුත්තේ කුමන අවස්ථාවේදීද?

අපි වසංගතයේ තුන්වන වසරේ ආරම්භයට ලඟා වෙමින් සිටිමු. මෙම වෙබිනාර් සාකච්ඡාව, එය අවසන් කල යුතුය යන යෝජනාවට කැප වී ඇත. මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා, පහත සඳහන් කරුනු තේරුම් ගැනීම අවශ්‍ය වේ:

1. කොවිඩ්-19 ඇති කරන වෛරසය වන Sars-CoV-2 හි ඉලක්කය වන්නේ පුද්ගලයන් නොව සමස්ත සමාජයම ය. වෛරසය සම්ප්‍රේෂනය වීමේ ක්‍රමය යොමු වී ඇත්තේ විශාල ආසාදනයක් ඇති කිරීම සඳහා ය. Sars-CoV-2 ජීව විද්‍යාත්මකව පරිනාමය වී ඇති ඇත්තේ බිලියන ගනනකට පහර දීමට වන අතර එසේ කිරීමෙන් මිලියන ගනනක් මරා දමයි.

2. එබැවින්, සෑම මහාද්වීපයකම, සෑම කලාපයකම සහ සෑම රටකම වෛරසය තුරන් කිරීම අරමුනු කරගත් ගෝලීය වශයෙන් සම්බන්ධීකෘත ව්‍යාපාරයක් මත පදනම් වීම එකම ඵලදායි උපායමාර්ගය වේ. මෙම වසංගතයට ඵලදායී ජාතික විසඳුමක් නොමැත. විශාල සාමූහික හා සැබැවින්ම පරාර්ථකාමී ගෝලීය උත්සාහයක් තුලින් මානව වර්ගයා—සියලු වාර්ගික, ජනවාර්ගික හා ජාතීන්ට අයත් මිනිසුන්—මෙම අභියෝගයට මුහුන දී එය ජය ගත යුතුය.

3. වසංගතය පුපුරා යාමෙන් පසු සෑම ආන්ඩුවක්ම පාහේ අනුගමනය කල ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කල යුතුය. සමාජ ප්‍රතිපත්තියේ අවිවාදිත ප්‍රමුඛතාවය විය යුතු දේ—එනම්, මිනිස් ජීවිතය ආරක්ෂා කිරීම—ආයතනික ලාභ සහ පුද්ගලික ධනය ගොඩගසා ගැනීමේ අවශ්‍යතා සඳහා යටපත් කිරීමට—දිගින් දිගට ඉඩ දිය නොහැක.

4. ගෝලීය තුරන් කිරීම සඳහා යොමු කරන ලද උපාය මාර්ගයකට තීරනාත්මක හැරීමක් ගෙන ඒමේ මුලපිරීම පැමිනිය යුත්තේ, මිලියන සංඛ්‍යාත ජනයාගේ සමාජ සවිඤ්ඤානක ව්‍යාපාරයකිනි.

5. මෙම ගෝලීය ව්‍යාපාරය විද්‍යාත්මක පර්යේෂන සඳහා යොමු විය යුතුය. විද්‍යාඥයින්ට හිංසා කිරීම්—ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් තම ජීවනෝපායයන්ට සහ ඔවුන්ගේ ජීවිතවලට පවා තර්ජන යටතේ වැඩ කරති—අවසන් කල යුතුය. වෛරසය ගෝලීය වශයෙන් තුරන් කිරීම සඳහා කම්කරු පන්තිය—සමාජයේ මහා ජනතාව—සහ විද්‍යාත්මක ප්‍රජාව අතර සමීපතම ක්‍රියාකාරී සන්ධානයක් අවශ්‍ය වේ.

ආන්ඩු, විද්‍යාඥයින්ට ඇහුම්කන් නොදෙන මුත් වැඩ කරන ජනතාව සවන් දෙනු ඇත. දිගු කාලීන කොවිඩ්, ජල බිඳිති මගින් වාතය හරහා සම්ප්‍රේෂනය වීම, එන්නත් වල කාර්යක්ෂමතාව හා වර්ධනය, කොවිඩ් වල ලමයින් කෙරෙහි බලපෑම, වෛරස් සම්ප්‍රේෂනයේ දී පාසල් වල ක්‍රියාකලාපය, දරුවන්ට කොවිඩ් වල බලපෑම, වසංගතය සහ දේශගුනික විපර්යාස අතර සම්බන්ධතා සහ වෛරසය ජනගහනය හරහා පැතිර යාමට ඉඩ දීම තුලින් “රංචු ප්‍රතිශක්තිය” ලඟා කර ගැනීම පිලිබඳ මිථ්‍යාව බිඳ දැමීම යන මාතෘකා පිළිබඳව මහජනතාව අතට පත්විය යුතු තීරනාත්මක තොරතුරු අද අපේ විද්වත් මන්ඩලය ඉදිරිපත් කරනු ඇත. වැදගත්ම දෙය නම්, අපි විද්‍යාත්මක උපාය මාර්ගයක් ගෙනහැර දක්වන අතර එය ක්‍රියාත්මක කලහොත්, SARS-CoV-2 ගෝලීය වශයෙන් තුරන් කිරීම, වසංගතයේ ඵලදායී අවසානය සහ ලොව පුරා මිලියන ගනනක් ජීවිත බේරා ගැනීම දක්වා හේතු විය හැකිය.

කාරනය අභියෝගාත්මක වනු ඇත. අපේ මූලික සාකච්ඡාවලදී බෙන්ජමින් සහ මම, මන්ඩලයේ සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටියේ, වසංගතය පිලිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය සංකල්ප ඉදිරිපත් කිරීමට සහ එය අවසන් කිරීමට කුමක් කල යුතුද යන්න පැහැදිලි කිරීමට අවධානය යොමු කරන ලෙසයි.

Loading