වෘත්තීය සමිතිවල පාවාදීම තිබියදී රට පුරා ගුරුවරු දහස් ගනනක් උද්ඝෝෂනය කරති

[මෙය Thousands of teachers protest across Sri Lanka despite unions’ betrayal යන මැයෙන් 2021 ඔක්තෝබර් 27 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

ඉහල වැටුප් ඉල්ලා වසර 24ක් තිස්සේ ගෙන යන අරගලයේ කොටසක් ලෙස, වතුකරයේ සහ යුද්ධයෙන් ඉරි තැලී ගිය උතුර හා නැගෙනහිර ඇතුලු රට පුරා රජයේ පාසල්වල ගුරුවරු හා විදුහල්පතිවරු පසුගිය සඳුදා (ඔක්තෝබර් 25) ලංකාවේ ප්‍රධාන නගරවල දී විරෝධතා දැක්වූ හ. කොලඹ කොටුව දුම්රිය ස්ථානය අසල පැවැත්වූ ප්‍රධාන විරෝධතාවට ගුරුවරු දහසකට වැඩි ගනනක් සහභාගි වූ හ.

ලංකා ගුරු සංගමය (ලංගුස), ජනතා විමුක්ති පෙරමුන විසින් නායකත්වය දෙන ලංකා ගුරු සේවා සංගමය (ලංගුසේස) හා ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් පාලනය කරන එක්සත් ගුරු සේවා සංගමය ඇතුලත් වන ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය විසින් විරෝධතා කැඳවන ලදී.

2021 ඔක්තෝබර් 25 හෝමාගම දී විරෝධතාවයේ යෙදෙන ගුරුවරු [ලෝසවෙඅ]

පසුගිය සතියේ 250,000ක් පමන වන ගුරුවරුන් හා විදුහල්පතිවරුන් සහභාගි වී දින 100ක් තිස්සේ ගෙන ගිය මාර්ගගත ඉගෙනුම් වර්ජනය පාවාදීමෙන් පසු, වෘත්තීය සමිති මෙම විරෝධතා සංවිධානය කලහ. තම පාවාදීම වසං කරගනු පිනිස වෘත්තීය සමිති සඳුදා විරෝධතා කැඳවා තිබූ අතර, සුවිශාල සහභගීත්වය යලි වතාවක් පෙන්නුම් කලේ, වඩා හොඳ ජීවන හා වැඩ කොන්දේසි සඳහාත්, නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරගැනීම සඳහාත්, අඛන්ඩ ව අරගලයේ යෙදීමට ගුරුවරුන්ට පවතින අධිෂ්ඨානයයි.

තමන් ගැඹුරු ආර්ථික අර්බුදයකට මුහුන දෙන බව පවසමින්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව ගුරුවරුන්ගේ වැටුප් ඉල්ලීම යලි යලිත් ප්‍රතික්ෂේප කර ඇත. එහෙත් වැඩ වර්ජනය අවසන් කිරීමට වෘත්තීය සමිති අසමත් වූ තතු තුල, වාරික හතරකින් ගෙවනු ලබන ගුරුවරුන්ගේ ආරම්භක ඉල්ලීමෙන් තුනෙන් පංගුවකට සමාන කුඩා වැටුප් කිරීමකට ආන්ඩුව එකඟ විය. වැඩ වර්ජනය නවතා දැමීමට මංමුලා සහගත ව ක්‍රියා කල වෘත්තීය එයට එක් වනම එකඟ වුව ද එම දීමනාව එක වාරිකයකින් ගෙවන ලෙස ඉල්ලා සිටිය හ.

ආන්ඩුව සොච්චම් වැටුප් වැඩි කිරීම වාරික තුනකින් ගෙවනු ඇති බව පසුගිය සතියේ අගමැති මහින්ද රාජපක්ෂ වෘත්තීය සමිති නිලධරයන්ට කීවේ ය. නොවැම්බරයේ ඉදිරිපත් කරනු ලබන අයවැයේ දී වැඩි කිරීම නිවේදනය කෙරෙනු ඇති අතර, 2022 දී පලමු වාරිකය ගෙවනු ලබයි.

තමන් මෙම දීමනාව “ප්‍රතික්ෂේප කල” බව ව්‍යාජ ලෙස ගුරුවරුන්ට කියමින් ප්‍රතිචාර දැක්වූ වෘත්තීය සමිති, ඔක්තෝබර් 21දා වැඩ වර්ජනය අවසන් කෙරෙනු ඇති බව ප්‍රකාශ කරමින්, ඔක්තෝබර් 25දා පාසල්වල ප්‍රාථමික අංශවල ගුරුවරුන්ට සේවයට වාර්තා කරන්නැයි නියෝග කල හ. ආන්ඩුව ඒ වන විටත්, සිසුන් 200ට අඩු ගනනක් ඉගෙනුම ලබන පාසල්වල ප්‍රාථමික අංශ 5,000ක් යලි විවෘත කිරීම නිවේදනය කර තිබුනි.

සඳුදා විරෝධතාවේ යෙදුනු ගුරුවරු, ඉහල වැටුප්, අධ්‍යාපනය පුද්ගලීකරනය අවසන් කිරීම, අධ්‍යාපනයට දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) සියයට 6ක් වෙන් කිරීම, ගුරුවරුන්ට හා සිසුන්ට මාර්ගගත අධ්‍යාපනය සඳහා පූර්න පහසුකම් සහ ගුරුවරුන් රාජ්‍ය මර්දනයට ලක්කිරීම නැවැත්වීම යන සටන්පාඨ හඬනැගූ හ.

අධ්‍යාපනය පුද්ගලීකරනය කිරීම රාජපක්ෂ පාලනය විසින් තීව්‍ර කර ඇති අතර, අනුප්‍රාප්තික ආන්ඩු අධ්‍යාපන පිරිවැය දදේනියෙන් සියයට 1.5කට පමන කපා දමා ඇත. තම සොච්චම් වැටුපෙන් මාර්ගගත ඉගැන්වීමේ පිරිවැය දැරීමට බල කෙරී ඇති ගුරුවරුන්ට, මාර්ගගත අධ්‍යාපනය සඳහා පහසුකම් සම්පාදනය කිරීමට ද ආන්ඩුව අසමත් වී තිබේ. විරෝධතා සංවිධානය කිරීම නිසා ගුරු ක්‍රියාකාරිකයන් ව මහජන ආරක්ෂක ඇමතිගේ නියෝග මත පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබී ය.

පාසලෙන් තම දරුවන් රැගෙන යන දෙමව්පියෝ (ලෝසවෙඅ මාධ්‍ය)

වැඩ වර්ජනයේ යෙදෙන ගුරුවරු විනයගත කොට ඔවුන්ගේ වැටුප් කපාහරින ලෙස වයඹ පලාත් ආන්ඩුකාර රාජා කොල්ලුරේ කල කැඳවීමට විරෝධය පලකරමින්, සඳුදා කුරුනෑගල දී විරෝධතාවේ යෙදුනු ගුරුවරු ඔහුගේ කාර්යාලය වට කල හ. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති වන කොල්ලුරේ ආන්ඩුකාර තනතුරට පත්කරන ලද්දේ ජනාධිපති රාජපක්ෂ විසිනි. පාලක සභාගයේ හවුල්කරුවෙක් වන ස්ටැලින්වාදී පක්ෂයට, සමාජ කොන්දේසි හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත ආන්ඩු එල්ල කරන ප්‍රහාරවලට සහයෝගය දීමේ දීර්ඝ ඉතිහාසයක් තිබේ.

වෘත්තීය සමිතිවල සම්පූර්න සහයෝගය සහිත ව, සිසුන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික අංශ යලි විවෘත කිරීමට රාජපක්ෂ ගත් තීරනය, රට පුරා තවමත් කොවිඩ්-19 රෝගය හැල්මේ පැතිර යන කොන්දේසි යටතේ සියලු පාසල් සම්පූර්නයෙන් යලි විවෘත කිරීම දෙසට ගන්නා පලමු පියවර යි. එක්සත් ජනපදයේ හා අන් තැන්වල අධ්‍යාපන වෘත්තීය සමිති මෙන් ලංකාවේ වෘත්තීය සමිති ද ගුරුවරුන් හා ශිෂ්‍යයන් දහස් ගනනකගේ ජීවිත අනතුරේ හෙලමින්, කෙටි අගුලු දැමීම්වලින් පසුව ආර්ථිකය හා පාසල් යලි විවෘත කිරීමට මුල පටන් ම සහයෝගය දී ඇත.

ශ්‍රී ලංකාවේ පිරී ඉතිරී ගිය පන්ති කාමර හා අතිශයින් තදබද පොදු ප්‍රවාහන පද්ධතිය, දිවයින පුරා කොවිඩ්-19 රෝගයේ ක්ෂනික පැතිර යාමකට කොන්දේසි නිර්මානය කරමින් තිබේ. ආදායම් රහිත ව දරිද්‍රතාවෙන් පෙලෙන පවුල්වල බොහෝ ශිෂ්‍යයන්ට මුහුනු ආවරන සම්පාදනය කිරීමට වත් එම පවුල්වලට නො හැක.

ගුරුවරුන්ගේ අරගලය “නව වටයකින්” ආරම්භ වී ඇති බව සඳුදා කොලඹ පැවති විරෝධතාවේ දී ලංගුසේස නායක මහින්ද ජයසිංහ කියා සිටියේ, “ඊලඟ අයවැයෙන් අපේ ඉල්ලීම් ඉටු නො වුනහොත්, බරපතල ක්‍රියාමාර්ගයක් ගන්නා” බව තව දුරටත් පවසමිනි.

ජයසිංහගේ ප්‍රකාශයන් සම්පූර්නයෙන් ව්‍යාජ ය. ගුරුවරුන්ගේ වැටුප් ඉල්ලීමෙන් තුනෙන් පංගුවක් පමනක් වාරික තුනකින් ගෙවනු ඇති බව ආන්ඩුව ඒ වන විටත් නිවේදනය කර තිබුනි. පසුගිය වසර 24 පුරා ගුරුවරුන් ව වෘත්තීය සමිති විසින් ක්‍රමානුකූල ව පාවාදීමෙහි අර්ථය වන්නේ, ලංකාවේ ගුරුවරුන් අඩු ම ගෙවීම් ලබන රාජ්‍ය අංශ කම්කරුවන් අතරට අයත් වන බවයි.

ගුරුවරුන්ගේ සොච්චම් වැටුප් වැඩිකිරීම පැවතිය ද රාජපක්ෂ ආන්ඩුවේ එලඹෙන අයවැය කම්කරු පන්තියේ සමාජ තත්ත්වය මත පූර්න පරිමාන ප්‍රහාරයකින් සමන්විත වනු ඇත.

සේවකයන්ට වැටුප් දීමනා ගෙවීම් හෝ නව බඳවා ගැනීම්වලින් තොර ව සියලු අමාත්‍යාංශවල පිරිවැය කපා හරින ලෙස මුදල් ඇමති බැසිල් රාජපක්ෂ දැනටමත් නියෝග කර ඇත. කම්කරුවන්ගේ හා දුගීන්ගේ සමාජ දුෂ්කරතාවන් විශාල ලෙස ඉහල දමමින්, අත්‍යවශ්‍ය භාන්ඩවල මිල සුවිශාල ලෙස ඉහල දැමීමටත් ආන්ඩුව ක්‍රියාකර ඇත. මෙම පියවරයන්, ගුරුවරුන් ඇතුලු කම්කරු පන්තියේ සෑම කොටසක් ම, ඔවුන්ගේ ජීවන හා සමාජ කොන්දේසි ආරක්ෂා කරගැනීමේ අරගලයන්ට යොමු කරනු ඇත.

ලංකාවේ ඉස්මතු වන සමාජීය ව පුපුරනසුලු තත්ත්වය ගැන ඉඟි කරමින්, අධ්‍යාපන, සෞඛ්‍ය, තැපැල්, වරාය, දුම්රිය හා වතු කම්කරුවෝ මෑත මාසවල දී වැඩ වර්ජන හා විරෝධතාවල නිරත වී ඇත.

ආන්ඩුවේ ප්‍රතිගාමී පිලිවෙත්වලට එරෙහි දේශපාලන අරගලයක් තුල කම්කරු පන්තියේ අනෙකුත් කොටස් සමග ගුරුවරුන් එකමුතු විය යුත්තේ මන් ද හා කෙසේ ද යන්න විස්තර කර ඇත්තේ ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කමිටුව හා සමාජවාදී සමානතා පක්ෂය (සසප) පමනි. සටන්කාමීත්වය වැදගත් වන නමුත්, ගුරුවරුන් මුහුන දෙන දේශපාලන අභියෝග සමග ගනුදෙනු කිරීමට එය පමනක් ප්‍රමානවත් නො වන බව අපි අවධාරනය කර ඇත්තෙමු. කම්කරුවන්ගේ ජාත්‍යන්තර ක්‍රියාකාරී කමිටු සන්ධානය සමග ක්‍රියාකාරී කමිටු වර්ධනය කරමින් හා ප්‍රසාරනය කරමින් ද සමාජවාදී පිලිවෙත් සඳහා සටන් වැදෙමින් ද ගුරුවරුන් ඔවුන්ගේ අරගලය තමන්ගේ ම අතට ගතයුතු බව සසප හා ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කමිටුව ඉල්ලා ඇත.

සඳුදා විරෝධතාවල දී ගුරුවරුන් කිහිප දෙනෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවිය සමග කතා කල හ.

මස්කෙලියේ ගුරුවරයෙක් මෙසේ කීවේ ය: “කොවිඩ්-19 වසංගතයට අවශ්‍ය කිසිදු ආරක්ෂක පියවර ගැනීමකින් තොර ව ආන්ඩුව පාසල් විවෘත කර තිබෙනවා, එය ගුරුවරුන්ට හා ශිෂ්‍යයන්ට අතිශයින් අනතුරුදායක යි. ඒ පිලිබඳ ව කරදර නො වන පාලකයන්ට අවශ්‍ය වුනේ අපේ වැඩ වර්ජනය බිඳ දැමීමට විතරයි. අපේ පාසල් ශිෂ්‍යයන්ගෙන් බහුතරයක් වතු කම්කරුවන්ගේ දරුවන්, ලමුන්ට මුහුනු ආවරනයක් මිලට ගැනීම පවා වත්මන් තත්ත්වයේ දී වතු කම්කරුවන්ට සැබෑ බරක්.

“වසංගතයට මුහුන දීම සඳහා පාසල් පිරිසිදු කිරීම හා අනෙකුත් ආරක්ෂක පියවරයන් ගැනීම ඇතුලු සෑම දෙයක් ම කරන්න වෙලා තියෙන්නෙ ගුරුවරුන්ට, ඒ සඳහා සමහර අවස්ථාවල දී ඔවුන්ගේ කුඩා පඩියෙන් මුදල් වියදම් කරන්නෙ සිද්ද වෙනවා. වතු වෘත්තීය සමිති ආන්ඩුවට හා සමාගම්වලට සහයෝගය දෙනවා. මෙම වෘත්තීය සමිතිවල සමහර නිලධරයන් ආන්ඩුවේ ඇමතිවරු, ඔවුන්ට කිසි දෙයක් ගැන තැකීමක් නැහැ.”

ආගරපතන ප්‍රදේශයේ ගුරුවරයෙක් සඳහන් කලේ: “ගුරු ඉල්ලීම් දිනාගැනීම සඳහා මෙවර ගුරුවරු ශක්තිමත් ව එකමුතු වී සිටිනවා. මම පලමු පන්තියේ ගුරුවරයෙක්, මගේ මූලික වැටුප රුපියල් 90,000ක් විය යුතු වුවත් මට දැනට ලැබෙන්නේ රුපියල් 40,000ක් විතරයි.

“බලධාරීන් මට හිඟ වැටුප් වසයෙන් රුපියල් මිලියන 4.8ක් ගෙවිය යුතු වුවත්, ඒ කිසිවක් ගෙවන්නේ නැහැ. අනෙක් සියලු ගුරුවරුත් ඒ හා සමාන තත්ත්වයකට මුහුන දෙනවා. අද මම මගේ පාසලේ ලමුන්ගේ දෙමව්පියන් මුනගැසී අපේ අරගලය ඔවුන්ට විස්තර කලා. ඔවුන් හරි ම අනුග්‍රහශීලීයි. සෑම පාසලක ම ගුරු, සිසු, දෙමාපිය ක්‍රියාකාරී කමිටු සංවිධානය කල යුතු බවටත්, ජාත්‍යන්තර ව අරගලයේ යෙදෙන ගුරුවරු සමග එකමුතු විය යුතු බවටත්, ඔබ කරන යෝජනාව සමග මම එකඟයි.”

මහනුවර ප්‍රදේශයේ ගුරුවරයෙක් කීවේ: “වෘත්තීය සමිති අප අතර නිරන්තරයෙන් මැදිහත් වී නැති නිසා, බොහෝ ගුරුවරු වෘත්තීය සමිතියකට සම්බන්ධ වෙලා නැහැ. රුපියල් 50,000ක් විතර වෙන, කිසිදිනක සම්පූර්නයෙන් නො ගෙවන මගේ වැටුපෙන් ජීවත් වීමට උත්සාහ කිරීමේ දී පවතින දුෂ්කරතා නිසා මම මේ අරගලයට සම්බන්ධ වී සිටිනවා. අනෙක් සියලු ම ගුරුවරුන්ගෙන් ම වගේ මගේ පඩියෙනුත් විශාල කොටසක් නයවලට කැපෙනවා.”

කොලඹ ගනිත ගුරුවරයෙක් වන ග්‍රේෂාන් මෙසේ කීවේ ය: “මාස තුනකටත් වැඩි කාලයක් අපි වර්ජනය කලත් අවසානයේ සිද්ද වෙන්නෙ ආන්ඩුවට ඕන කරන දේ. කිසිදු වැටුප් වැඩි කිරීමකින් තොර ව ආපහු වැඩට යන්න ගුරුවරුන්ට සිදුවෙලා තියෙනවා. බොහෝ ගුරුවරු වෘත්තීය සමිතිවල තීරනවලට විරුද්ධ යි. ආන්ඩුවේ ආර්ථික අර්බුදයේ විශාලත්වය ගත්ත ම, කම්කරුවන්ගේ යහපත තකා කිසි මුදලක් වෙන් කරන්න ඔවුන්‌ට බැහැ කියන එක අපිට පිලිගන්න පුලුවන් ද? ධනපති ක්‍රමය තුල කිසිවක් ජයග්‍රහනය කරන්න බැහැ කියන එක පැහැදිලියි.”

Loading