ආන්ඩුවේ බඩු මිල ඉහල දැමීම්වලට විරුද්ධ වනු!

[මෙය Oppose the Sri Lankan government’s massive price hikes! යන මැයෙන් 2021 ඔක්තෝබර් 19දා පලවූ ලිපියේ පරිවර්තනය යි.]

කප්පාදු අයවැයක් ඉදිරිපත් කිරීමට සූදානම් වන ලංකාවේ ආන්ඩුව, කම්කරුවන්ගේ හා ගම්බද දුගීන්ගේ ජීවන වියදම පිම්මේ ඉහල දමමින්, මෑත සති කිහිපයේ දී අත්‍යවශ්‍ය භාන්ඩ කිහිපයකම මිල පාලනය ඉවත් කලේය.

නැගෙනහිර පලාතේ, මුතූර් රෝහල ඉදිරිපිට හෙදියන් පිකට් කරමින් (ඡායාරූප: ෆේස්බුක්/ජීඑන්ඕඒ)

සැප්තැම්බර් අග හා ඔක්තෝබර් මුල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් රැස්වීම්, හාල්, ආහාර පිසීමට ගන්නා ගෑස්, තිරිඟු පිටි, කිරි පිටි හා සිමෙන්ති මත පනවා තිබූ මිල සීමාවන් ඉවත් කලේ ය. මෙම තීරන, විශාල සහල් මෝල් හිමියන්ට හා ආනයනකරුවන්ට පෙර නුවූ විරූ මිල ඉහල දැමීම් පැනවීමට මාවත විවර කර දුන්නේ ය:

  • පහල ම වර්ගයේ සහල් කිලෝවක මිල රුපියල් 115 තෙක් හෙවත් සියයට 17කින් ද ඊලඟ වර්ගය වන සම්බා කිලෝවක මිල රුපියල් 145 තෙක් හෙවත් සියයට 37කින් ද ඉහල ගියේ ය. හාල් යනු ලංකාවේ ප්‍රධාන ආහාරය යි.
  • කෑම පිසීමට යොදා ගැනෙන කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2,675 දක්වා හෙවත් සියයට 80කින් ඉහල ගියේ ය.
  • කිරිපිටි කිලෝවක මිල රුපියල් 1,195 දක්වා සියයට 26කින් ඉහල දමා තිබේ.
  • තිරිඟු පිටි කිලෝවක මිල සියයට 11.5කින් රුපියල් 97 දක්වා ඉහල ගිය අතර, එය පාන් හා බේකරි නිෂ්පාදනවල මිල ඉහල යාමට තුඩු දී ඇත.
  • කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1,098 දක්වා සියයට 9.2කින් ඉහල දැමුනි.
  • ඉන්ධන මිල ඉහල දැමීම නුදුරේ දී නිවේදනය කිරීමට නියමිත ය.
මහනුවර වෙලඳසැලක් ඉදිරිපිට කිරිපිටි මිල දී ගැනීමට පෝලිමක රැඳී සිටින ජනතාව [ලෝසවෙඅ]

ඔක්තෝබර් 7දා, මුදල් ඇමති බැසිල් රාජපක්ෂ, 2022 සඳහා වන සිය අයවැය විසර්ජන පනත පලමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේ, වැඩ කරන ජනයා මතට ආර්ථික අර්බුදයේ බර පැටවීම පිනිස කොලඹ ආන්ඩුව සැලසුම් කරන්නේ කෙසේදැයි ඉඟි කරමිනි. 2022 සවිස්තර අයවැය යෝජනා නොවැම්බර් 12දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.

අත්‍යවශ්‍ය භාන්ඩවල මිල මෑත දී බරපතල ලෙස ඉහල දැමීමේ අර්ථය වනුයේ, වසංගතයෙන් ගැඹුරු කෙරුනු ආර්ථික දුෂ්කරතාවන්ගෙන් දැනට මත් බැටකන වැඩ කරන ජනයා, දෛනික ආහාර වේල සොයා ගැනීමේ කටුක අරගලයක යෙදී සිටින බවයි. ගෑස් මිල අධික ලෙස ඉහල දැමීම නිසා සමහර පවුල්වලට දර හෝ භූමිතෙල් උදුන් භාවිතා කිරීමට බලකෙරී ඇත.

“මිල [නැගීමේ] සුනාමියට හසු වී සිටින මහජනයාට ගැලවීමේ මාවතක් තිබේ ද?” යන හිසින්, ඔක්තෝබර් 17දා සන්ඩේ ටයිම්ස්හි පල කල කතුවැකියක්, “ගංවතුරක් මෙන් පැමිනෙන මිල ඉහල දැමීම් රාජ්‍ය අංශයේ සහ සිය වැටුප් අර්ධයකින් කැපීමට ලක්ව සිටින පුද්ගලික අංශයේ ස්ථාවර වැටුප් සහිත සේවකයන් මත බරපතල ලෙස බලපා ඇතැ” යි තැතිගැනීමකින් යුතු ව සටහන් කලේ ය.

වසංගතයේ ප්‍රහාරයට ලක් වන අනියම් සහ ස්වයං-රැකියාවල නිරත කම්කරුවන් ලක්ෂ ගනනක් මෙයින් පීඩාකාරී ලෙස බලපෑමට ලක් ව .සිටිති.

1978 දී “විවෘත ආර්ථික” පිලිවෙත් හඳුන්වා දුන් තැන් පටන්, සමහර අත්‍යවශ්‍ය භාන්ඩ කිහිපයක් හැරුනු කොට, ආන්ඩුවේ මිල පාලනයන් ක්‍රමානුකූල ව ඉවත් කරනු ලැබ තිබේ. දැන් විනාශකාරී ආර්ථික තත්ත්වයකට මුහුන දෙන රාජපක්ෂ ආන්ඩුව, පලල් පුද්ගලීකරන වැඩපිලිවෙලක කොටසක් ලෙස, ඉතිරි ව තිබෙන සියලු පාලනයන් අහෝසි කිරීමට හා සහනාධාර කපා හැරීමට අධිෂ්ටානවත් ව සිටී.

විසර්ජන පනතට අනුව, 2022 සඳහා සමස්ත අයවැය වියදම රුපියල් බිලියන 2,505ක් වනු ඇති අතර, එය මේ වසරට සාපේක්ෂ ව රුපියල් බිලියන 173කින් අඩු වන්නේ, එලඹෙන වසරේ වියදම් බරපතල ලෙස කපා දැමීම ගැන ඉඟි කරමිනි.

මෙම කප්පාදු පිලිවෙත් ධාවනය කෙරෙන්නේ, පැතිර පවතින කොරෝනා වෛරස් වසංගතය විසින් ගැඹුරු කරනු ලබන ගෝලීය ආර්ථික අර්බුදය සහ ධනපති ආන්ඩුවල “වෛරසය සමග ජීවත්වීමේ” සාපරාධී පිලිවෙත් මගිනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නවතම ලෝක ආර්ථික දැක්මට අනුව, පසුගිය වසර තුල එක්සත් ජනපදයේ ආහාර පිරිවැය සියයට 12.6කින් නැගීමත් සමග, සෑම තැනක ම උද්ධමන පීඩනයන් වැඩෙමින් පවතී.

ජාමූඅ මේ වසර සඳහා වන සිය තක්සේරුගත ගෝලීය වර්ධන රේට්ටුව සියයට 5.9 දක්වා කපා හැර, ඊ ලඟ වසරේ වර්ධනය සියයට 4.9ක් යයි පුරෝකථනය කරයි. සියයට 5ක් ලෙස මහ බැංකුව විසින් තක්සේරු කල ලංකාවේ වර්ධන රේට්ටුව මුල්‍ය අරමුදල විසින් සියයට 3.6 දක්වා පහත දමා තිබේ.

රැකියා නියුක්තිය, භාන්ඩ සඳහා ප්‍රවේශය සහ ඉහල යන පාරිභෝගික මිල ගනන් ආදිය මත වසංගතයෙන් ඇති කෙරුනු බලපෑම නිසා අඩු ආදායම් ලාභී හා සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුන දෙන තත්ත්වය ගැඹුරු කර ඇතැයි ජාමූඅ සටහන් කරයි. මිල ඉහල යාම් ජනනය කරන මූලික සාධකයක් ලෙස එය පෙන්වා දී ඇත්තේ, වසංගතය නිසා සැපයුම් ක්‍රියාවලියේ ඇතිකර තිබෙන ගැටලු ය.

මූඩිස් වර්ගීකරන ආයතනයට අනුව, මේ වන විට ශ්‍රී ලංකාවේ 2021 අයවැය පරතරය, දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) සියයට 12කි.

අයවැය පරතරය පියවීම හා නය ගෙවීම පිනිස රුපියල් බිලියන 3,184ක් දක්වා වන දැවැන්ත අතිරේක නය ලබා ගැනීමට මුදල් ඇමති රාජපක්ෂගේ විසර්ජන පනත ආන්ඩුවට අවස්ථාව සම්පාදනය කරයි. දැනට මත් ආන්ඩුව 2025 වසර දක්වා, වාර්ෂික ව ඩොලර් බිලියන 5 දක්වා නය ගෙවීම් කල යුතු ය.

අගෝස්තුවේ දී, ආන්ඩුවේ ශුද්ධ විදේශ මුදල් ප්‍රමානය ඍන ඩොලර් බිලියන 1ක් පමන දක්වා ඇද වැටුනි. චීනයෙන් ලබා ගන්නා ඩොලර් බිලියන 1.5ක හුවමාරු නයක් ද සමග දල සංචිත ප්‍රමානය යන්තම් ඩොලර් බිලියන 4කට වැඩි ගනනක් යයි ගනන් බලා ඇත. පසුගිය වසර මුල සිට රුපියලේ අගය සියයට 27කින් අවප්‍රමානය වී ඇති අතර, ආන්ඩුවේ මුද්‍රිත මුදල් තොගය සියයට 35කින් රුපියල් ට්‍රිලියන 2.8 දක්වා නැග තිබේ.

ආන්ඩුව මුහුන දෙන වඩාත් ම තීරනාත්මක ප්‍රශ්නය නය ගෙවීම පැහැර හැරීමක් වලක්වා ගැනීම වන අතර, එහි නය ආපසු ගෙවීම් හේතුවෙන් විදෙස් මුදල් හිඟය උග්‍ර කෙරෙමින් සහ අයවැය පරතරය බිඳ වැටීමේ ලක්ෂ්‍යය කරා තල්ලු කෙරෙමින් පවතී.

මෙයට කොලඹ ආන්ඩුවේ ප්‍රතිචාරය වී ඇත්තේ, බදු ඉහල දැමීම, සහනාධාර කප්පාදුව සහ අත්‍යවශ්‍ය භාන්ඩ මිල අහස උසට නැංවීම මගින් මෙම අර්බුදයේ බර කම්කරු පන්තිය මතට පැටවීම යි. විදුලි බල, ජල සම්පාදන හා ඛනිජ තෙල් අංශ පුද්ගලීකරනය කිරීම දැනට මත් සිදු වෙමින් පවත්නේ, එම අංශවල ඉතිරි වී ඇති සහනාධාර විනාශ කිරීම මගින් උපයෝගිතා මිල තව දුර ඉහල දමමිනි.

සෞඛ්‍යය, පලාත් සභා, සමෘද්ධි, ජල සම්පාදන, කාන්තා හා ලමා සංවර්ධන, ග්‍රාමීය නිවාස සහ කම්කරු යන අංශවල පිරිවැය තියුනු ලෙස කප්පාදු කරන බව ද විසර්ජන පනත පෙන්නුම් කරයි. අධ්‍යාපනය සඳහා වන මුදල රුපියල් බිලියනයකින්, එනම් බිලියන 127 දක්වා වැඩි කර ඇතත්, යතා තත්ත්වයන්ගෙන් ගත් කල එය කප්පාදුවකි.

මිලියන භාගයක ආසාදන හා 13,500ට අධික වාර්තාගත මරන සමගින් වසංගතය වේගයෙන් පැතිරුන ද ඊ ලඟ වසරේ සෞඛ්‍ය ප්‍රතිපාදනය රුපියල් බිලියන 6කින් කපා දමා ඇත. මෙය පැටවෙන්නේ, 2019 වසරට සාපේක්ෂ ව මේ වසරේ අයවැය රුපියල් බිලියන 28කින් කප්පාදු කිරීම මත ය. ඊ ලඟ වසර සඳහා “කොවිඩ් පාලනය කිරීමට” රුපියල් බිලියන 12ක අතිරේක මුදලක් වෙන් කරනු ලැබ ඇතත්, මේ වසරේ රුපියල් බිලියන 18ට සාපේක්ෂ ව එය කප්පාදුවකි. සෞඛ්‍ය අයවැයේ මෙම කප්පාදු, කොලඹ ආන්ඩුව වැඩකරන ජනයාගේ ජීවිත කෙරෙහි දක්වන සාපරාධී නොතැකීම හෙලිදරව් කරයි.

මෙලෙස මහජනයා මත බර පටවන අතරතුර, පුද්ගලික හා සංගත ආදායම් බදු රේට්ටු සියයට 28 සිට සියයට 14 හා 24 දක්වා අතර වන අනුපාතයන්ට අඩු කරමින් ද වෙලඳාම හා මූල්‍යමය කටයුතු සඳහා බදු අනුපාත සියයට 24 දක්වා අඩු කරමින් ද දේශීය හා විදේශීය ආයෝජකයන්ට බදු සහන ආන්ඩුව විසින් ප්‍රදානය කර ඇත. මැයි මාසයේ දී, වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත යටතේ සිදු කරන ආයෝජන සඳහා, 40-අවුරුදු බදු මුක්තියක් සම්පාදනය කිරීමට ආන්ඩුව කටයුතු කලේ ය.

බදු කප්පාදු හා මහ බැංකුව විසින් ලබා දෙන ලාභදායී අරමුදල්වල ප්‍රතිඵලයක් ලෙස, කොලඹ කොටස් වෙලඳපොලේ හා බැංකුවල අවසර ලත් සංගත, වසංගතය දිවයින පුරා පැතිර යද්දී, යෝධ ලාභ උපයාගෙන තිබේ.

එහෙත්, කම්කරුවන්ගේ හා ගම්බද දුගීන්ගේ වැඩෙන විරෝධයට රාජපක්ෂ ආන්ඩුව මුහුන දෙයි. ගුරුවරු 250,000ක් පමන ශිෂ්ට සම්පන්න ජීවිතයකට සරිලන වැටුප් ඉල්ලමින් නියැලී සිටින වැඩ වර්ජනය, දැන් එහි හතරවන මාසයට එලැඹී ඇත, සෞඛ්‍යය, වතු, වරාය, ඛනිජ තෙල්, විදුලි බල හා ඇඟලුම් ඇතුලු අනෙකුත් ක්ෂේත්‍රවල කම්කරුවන්, වැටුප් වැඩිකිරීම්, දීමනා සහ කොඳු කැඩෙන වැඩ බර ඉවත් කිරීම ඉල්ලමින් අරගලවලට පිවිස සිටිති. පොහොර හා කෘමිනාශක ඉල්ලා ගොවීන් නිරත වන විරෝධතා රට පුරා වර්ධනය වෙමින් පවතී.

මර්දනකාරී පියවර යොදා ගනිමින් හා ආඥාදායක පාලන ක්‍රම වෙත හැරීම වේගවත් කරමින්, කොලඹ ආන්ඩුව මෙම සමාජ විරෝධයට ප්‍රතිචාර දක්වා ඇත. මෙය සමග ගැලපෙන අයුරින්, විසර්ජන පනත මිලිටරි අයවැය මේ වසරට සාපේක්ෂ ව රුපියල් බිලියන 18කින් ඉහල දමමින් බිලියන 373ක් දක්වා සවිමත් කර ඇති අතර, පොලීසිය මත වියදම රුපියල් බිලියන 10කින් බිලියන 106 දක්වා ඉහල දමා තිබේ.

ඔක්තෝබර් 10දා මිලිටරි රෙජිමේන්තුවක් අමතමින් කතා කල රාජපක්ෂ මෙසේ අවධාරනය කලේ ය: “මම ත්‍රිවිධ හමුදාවල හා බුද්ධි සේවාවල ආත්ම ධෛර්යය ඉහල දමා තිබෙනවා ...ඔවුන්ගේ රාජකාරී කරගෙන යාමට අවශ්‍ය බලතල ඔවුන්ට දී තිබෙනවා.” මූලික අමාත්‍යාංශවල හා රජයට අයත් ව්‍යවසායයන්වල ප්‍රධාන තනතුරුවලට මිලිටරි ප්‍රධානීන් දැනට මත් පත්කර ඇති ඔහු, දිස්ත්‍රික්කවල ජ්‍යෙෂ්ට තානාන්තරයන්ට මිලිටරි නිලධාරීන් පත් කර ඇත.

වැඩ වර්ජන තහනම් කරන විෂඝෝර අත්‍යවශ්‍ය සේවා නියෝග ජනාධිපතිවරයාට අත්තනෝමතික බලතල ලබා දෙමින්, වැඩ වර්ජකයන්ට බරපතල සිර දඬුවම් හා අනෙකුත් දඬුවම් පැනවීමට තර්ජනය කරයි.

ආන්ඩුවේ සමාජ ප්‍රහාර සහ වසංගතය සම්බන්ධයෙන් එය අනුයන “ලාභ ඉපයීම ජීවිතවලට ඉහලින්” තැබීමේ පිලිවෙත ක්‍රියාවට දමා ඇත්තේ, විරුද්ධ පක්ෂවල සම්පූර්න සහයෝගය ඇතිවය.

එක්සත් ජනපද-ගැති එක්සත් ජාතික පක්ෂයේ හා ඉන් බිඳී ගිය සමගි ජන බලවේගයේ සිට ජනතා විමුක්ති පෙරමුන හා ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය දක්වා වන සියලු පක්ෂ, ආන්ඩුවේ “වෛරසය සමග ජීවත්වීමේ” පිලිවෙතට සහයෝගය දෙති. ඔවුන් ආන්ඩුවේ අත්‍යවශ්‍ය සේවා නියෝගය ගැන නිහඬ ව සිටින්නේ එයට වක්‍ර ව පිටුබලය දෙමිනි.

වෘත්තීය සමිති, ව්‍යාජ-වාම හා ඊනියා විරුද්ධ පක්ෂවලින් ස්වාධීන ව, කම්කරු පන්තිය රාජපක්ෂ ආන්ඩුවේ පන්ති-යුද පියවරයන්ට එරෙහි සිය අරගලය සූදානම් කල යුතු ය. පහත සඳහන් ඉල්ලීම් සඳහා කම්කරු පන්තියේ කාර්මික ශක්තිය දේශපාලනික ව ස්වාධීන ලෙස බලමුල්ගැන්වීම මත, මෙම ප්‍රහාරය පදනම් කල යුතු වෙයි:

  • සෑම අංශයකට ම “ඉහල යන වැටුප් පරිමානයක්.' එනම්, පාරිභෝගික භාන්වල මිල ඉහල යාමට අනුපාතික ව ස්වයංක්‍රීය ලෙස වැටුප්වල ඉහල යාමක්.
  • ගෝලීය බැංකුකරුවන් වෙත නය ගෙවීම ප්‍රතික්ෂේප කිරීමක්.
  • ව්‍යාපාරික බලවතුන්ගේ හා ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ ලාභ පිම්බීම වෙනුවට, වසංගතය මුලිනුපුටා දැමීම සඳහා සමාජයේ සම්පත් වෙන් කරනු ලැබිය යුතු ය.
  • කම්කරුවන්ගේ හා කුඩා ව්‍යාපාර හිමියන්ගේ ආදායම් අහිමිවීවලට සම්පූර්න වන්දි ගෙවීම් සමගින් අත්‍යවශ්‍ය නො වන සියලු සේවා වසා දැමීම්.
  • කොවිඩ්-19 වසංගතය මුලිනුපුටා දමන තෙක්, මාර්ගගත අධ්‍යාපනයේ යෙදීමට ගුරුවරුන්ට හා ශිෂ්‍යයන්ට අවශ්‍ය පහසුකම් නොමිලේ සම්පාදනය කිරීම.

වෘත්තීය සමිතිවලින් බිඳී, තරුන ජනයාගේ හා ගම්බද දුගීන්ගේ සහයෝගය සහිත ව, කම්කරුවන් වැඩපොලවල තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු සංවිධානය කරමින්, ඉහත ඉල්ලීම් සඳහා සටන් කිරීම අවශ්‍ය ය. සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) දේශපාලනික මගපෙන්වීම යටතේ, සෞඛ්‍ය, අධ්‍යාපන හා වතු කම්කරුවන් අතර ක්‍රියාකාරී කමිටු ගොඩනගනු ලැබ ඇත. මෙම ආරම්භකත්වයන් වැඩි දුර වර්ධනය කල යුතු ය.

කම්කරුවන් තමන්ගේ අරගල සිය ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන් සමග ඒකාබද්ධ කිරීම සඳහා, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (කජාක්‍රිකස) ගොඩනැගීම පිනිස සසප හා හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) සමග එක්විය යුතු ය.

ඉහත ඉල්ලීම් සඳහා වන සටන, කම්කරු පන්තිය සමස්ත දේශපාලන සංස්ථාපිතය හා එය විසින් ආරක්ෂා කරන පුද්ගලික දේපොල පද්ධතිය සමග ඍජු දේශපාලන ගැටුමකට ගෙන එනු ඇත. දුගී ගොවීන් ඇතුලු පීඩිත ජනයා රැලි කරගත යුතු කම්කරුවන්, ධනපති පාලනය පෙරලා දමමින්, ප්‍රධාන සංගත, බැංකු හා වතු, කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට ගෙන ඒම ඇතුලු සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ස්ථාපිත කිරීමට සටන් කල යුතු ය.

සසප සෑමවිට ම අවධාරනය කර ඇති පරිදි, මෙම සටන ජාත්‍යන්තර අරගලයක් විය යුතු ය. ලොව පුරා ක්‍රියාවට දමනු ලැබෙමින් තිබෙන කප්පාදු පියවරයන්ට එරෙහි ව, ජාත්‍යන්තර සමාජවාදය සඳහා වන පොදු අරගලයක පදනම මත, ජාත්‍යන්තර කම්කරුවන් සමග ලංකාවේ කම්කරු පන්තිය එකමුතු විය යුතු ය.

කොවිඩ්-19 මුලිනුපුටා දැමීමේ සටන සියතට ගන්නා ලෙසත්, ලෝක සමාජවාදී වෙබ් අඩවිය හා කජාක්‍රිකස ඔක්තෝබර් 24 ඉරිදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 10.30ට පවත්වන, “වසංගතය අවසන් කරන්නේ කෙසේ ද: මුලිනුපුටා දැමීම සඳහා අවස්ථාව” නමැති ඔන්ලයින් සාකච්ඡාවට සහභාගි වන ලෙසත්, කම්කරුවන්ගෙන් හා දුගීන්ගෙන් අපි ඉල්ලමු.

Loading