කම්කරුවන්ට පුද්ගලීකරනයට එරෙහි ව සටන් වැදිය හැක්කේ කෙසේ ද

[මෙහි පලවන්නේ How Sri Lankan workers can fight privatisation නමින් නොවැම්බර් 6, 2021 දින පලවූ සමාජවාදී සමානතා පක්ෂ ප්‍රකාශයේ පරිවර්තනයයි.]

පුද්ගලීකරනය සඳහා ආන්ඩුව තවදුරටත් ගනිමින් සිටින පියවරයන්ට විරුද්ධ ව, ලංකා විදුලිබල මන්ඩලයේ (ලංවිම), ශ්‍රී ලංකා වරාය අධිකාරියේ (එස්එල්පීඒ) හා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (සීපීසී) සේවකයන් දහස් ගනනක්, මේ සතියේ දී කොලඹ හා අනෙකුත් නගරවල දී විරෝධතා පැවැත්වූ හ.

ගාල්ලේ විරෝධතාවේ යෙදෙන ලංවිම කම්කරුවන් (ලෝසවෙඅ මාධ්‍ය )

මෙම පුද්ගලීකරන පියවරයන්, රටෙහි ගැඹුරු වන ආර්ථික අර්බුදයෙහි බර කම්කරුවන්ගේ හා දුගීන්ගේ කර මතට පැටවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා ඔහුගේ ආන්ඩුව විසින් මුදා හරින ප්‍රහාරයේ කොටසකි.

•රජයට අයත් වෙස්ට් කෝස්ට් සමාගම විසින් පාලනය කරන, කෙරවලපිටිය ස්වාභාවික ගෑස් (එල්එන්ජී) විදුලි බලාගාරයේ කොටස්වලින් සියයට 40ක්, එක්සත් ජනපදයේ නිව් ෆෝට්රෙස් එනර්ජි සමාගමට විකිනීම සඳහා ආන්ඩුව එලඹුනු ගිවිසුම අහෝසි කරන ලෙස 20,000ක් වන ලංවිම ශ්‍රම බලකාය ඉල්ලා සිටී. ගිවිසුමට අනුව ලංවිමහි දැනට පවතින හා අනාගත සියලු එල්එන්ජී බලාගාරයන්ට එල්එන්ජී නිපදවා සම්පාදනය කිරීමේ හිමිකම ද එක්සත් ජනපද සමාගම සතු වනු ඇත.

•චීන සමාගමක් විසින් පාලනය කරනු ලබන කොලඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයට නෞකා භාන්ඩ සේවා සැපයුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා ඉඩම් අක්කර 13ක් කල් බදු දීමට වරාය අධිකාරියේ සේවකයෝ විරෝධය පලකරති. කොලඹ වරායේ බටහිර ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය ඉදිකිරීම සඳහා පිලිවෙලින් ඉන්දියානු අදානි සංගතයට හා දේශීය ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමට කොටස්වලින් සියයට 51 හා 34 බැගින් වරාය අධිකාරිය විසින් ප්‍රදානය කර ඇත. කොලඹ වරායේ හා අනෙකුත් වරායවල ආසන්න වසයෙන් කම්කරුවන් 10,000ක් පමන සේවය කරති.

•රටෙහි සියලු ඉන්ධන අවශ්‍යතාවන් ආනයනය, බෙදාහැරීම, මිශ්‍ර කිරීම හා විකිනීම පිනිස දේශීය හා විදේශීය පුද්ගලික සමාගම්වලට ඉඩදීමට, ඛනිජ තෙල් සංස්ථාව (සීපීසී) පාලනය කරන 1961 පනත සංශෝධනය කිරීමේ ආන්ඩුවේ සැලසුමට එහි කම්කරුවෝ විරුද්ධ වෙති. සීපීසීය කම්කරුවන් 6,000ක් පමන සේවයේ යොදවයි. පනත සංශෝධනය කලහොත්, එය සංස්ථාව දියකර හැරීම දෙසට ගන්නා ප්‍රධාන පියවරක් වනු ඇත. දැනට මත්, ඉන්ධන ප්‍රවාහනය හා බෙදාහැරීම නියෝජිත සමාගම්වලට පවරනු ලැබ ඇත.

තම රැකියා, වැටුප් හා සේවා කොන්දේසිවලට එල්ලවන බලපෑම ගැන උත්සුක කම්කරුවන් දහස් ගනනක්, මේ සතියේ විරෝධතාවන්ට සහභාගි වූ හ. එහෙත්, මෙම විරෝධතාවන් සංවිධානය කල වෘත්තීය සමිතිවලට, රාජපක්ෂ ආන්ඩුවට එරෙහි දේශපාලන අරගලයකට නායකත්වය දීමේ අභිප්‍රායයක් නැත. අතීතයේ බොහෝ අවස්ථාවල දී කර ඇති පරිදි, ඔවුන්ගේ අධිෂ්ඨානය වන්නේ, මෙම අරගල සීමා කොට, නිෂ්ක්‍රීය කර පාවාදීම යි.

ලංවිම විරෝධතාව කැඳවන ලද්දේ, පිලිවෙලින් ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) හා සමගි ජන බලවේගය (සජබ) යන දේශපාලන පක්ෂවලට අනුබද්ධ ලංකා විදුලි සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය හා ජාතික සේවක සංගමය යන ඒවායෙන් සමන්විත වන එක්සත් වෘත්තීය සමිති සන්ධානය විසිනි. වරාය හා ඛනිජ තෙල් යන අංශවල වෘත්තීය සමිති ද ප්‍රධාන වසයෙන් පාලනය කරනු ලබන්නේ මෙම පක්ෂ විසින් ම ය.

යාපනයේ දී විරෝධතාවේ යෙදන විදුලිබල කම්කරුවන් (ලෝසවෙඅ මාධ්‍ය)

මෙම සියලු සමිති ආන්ඩුවේ පුද්ගලීකරන සැලසුම් බලපෑම් දමා ආපසු හැරවිය හැකි ය යන මිථ්‍යාව තොරොම්බල් කරමින් සිටිති.

“අපට වැඩ වර්ජනයකට යාමට අවශ්‍ය නො වුනත්, මෙම විරෝධතාව සංඥාවක් ලෙස අවබෝධ කරගෙන, ආන්ඩුව ගිවිසුම හකුලාගනු ඇතැයි අප සිතනවා” යි ලංවිම වෘත්තීය සමිති පෙරමුනේ නායක රන්ජන් ජයලාල් විරෝධතාකරුවන්ට කීවේ ය. “පිට කොන්දක් නැති ආන්ඩුවට බය වෙන්න එපා. ඔවුන් ගිවිසුම රහසිගත ව අත්සන් කලේ ඒ නිසා. ගිවිසුම හකුලා ගැනීමට සිකුරාදා තෙක් අපි කල් දෙනවා.”

එහෙත් ආන්ඩුව බරපතල ආර්ථික හා මූල්‍ය දුෂ්කරතාවන් තුල ගිලී සිටී. තම අයවැයට මුදල් සොයා ගැනීම සඳහා හැකි සෑම දෙයක් ම විකුනා දැමීමට එය මංමුලා සහගත ව උත්සාහ දරමින් සිටී. එලඹෙන සතියේ ඉදිරිපත් කිරීමට නියමිත අයවැය සූදානම් කරමින් සිටින රාජ්‍ය නිලධාරීන්, අයවැය පරතරය දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) සියයට 14.7ක් තරම් ඉහල අගයක සිට, සියයට 4.5 සිට 5 දක්වා තරම් අගයකට විශාල වසයෙන් කපා හැරීමට ආන්ඩුව සැලසුම් කරන බව ප්‍රකාශ කර තිබේ.

කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ, පසුගිය වසරේ දී ආර්ථිකය හැකිලුනි. සංචාරක කර්මාන්තය ඇදවැටෙද්දී, අපනයන හා විදේශීය කම්කරුවන්ගෙන් ලැබෙන ප්‍රේෂන ඛාදනය විය. යන්තම් මාස එකහමාරක ආනයනවලට ප්‍රමානවත් වන එක්සත් ජනපද ඩොලර් බිලියන 2ක මට්ටමට විදෙස් සංචිත සිඳී ගොස් තිබෙන ලංකාව දැන් සිටින්නේ නය පැහැර හැරීමක් අද්දර ය.

පුද්ගලීකරනය නවත්වන ලෙස කම්කරුවන් කරන ඉල්ලීම්වලටත්, රැකියා, වැටුප් හා අනෙකුත් අයිතීන් ආරක්ෂා කරගැනීම පිනිස අනෙකුත් කම්කරුවන් කරන ඉල්ලීම්වලටත්, රාජපක්ෂ පාලන තන්ත්‍රයේ ප්‍රතිචාරය වී ඇත්තේ, විෂඝෝර පොලිස්-රාජ්‍ය පියවරයන් ක්‍රියාවට දැමීම යි.

බලශක්ති, වරාය, තැපැල්, බැංකු සහ රාජ්‍ය, පලාත් සභා හා ප්‍රාදේශීය පරිපාලන ක්ෂේත්‍රයන් තුල වැඩ වර්ජන තහනම් කිරීම සඳහා, පසුගිය සතියේ දී ජනාධිපතිවරයා අත්‍යවශ්‍ය මහජන සේවා පනත යලිත් බලාත්මක කලේ ය. සිර දඬුවම්, දඩ හා අනාගත රැකියා ලේඛනවලින් නම් ඉවත් කිරීම ඇතුලු දැඩි දඬුවම්වලට, මෙම නීති උල්ලංඝනය කරන හෝ ඒවා උල්ලංඝනය කිරීමට අනෙකුත් පුද්ගලයන් පොලඹවන අය මුහුන දෙති.

ව්‍යාපාරවලට නිෂ්පාදන හා ලාභ උත්පාදනය යලි ඇරඹිය හැකි පරිදි, කොවිඩ්-19 වසංගතය සීමා කිරීම සඳහා පනවා තිබූ සීමිත මහජන සෞඛ්‍ය පියවරයන් ද අත්හැර දැමීම මගින්, ආන්ඩුවේ ප්‍රමුඛතාවන් කවරේ ද යන්න හෙලිදරව් කෙරේ. මේ දක්වා 14,000ක් පමන මියගොස්, 544,000ට අධික පිරිසක් ආසාදනයට ලක්වී ඇති අතර, අඩු තරමින් කම්කරුවන් 500,000කට ඔවුන්ගේ රැකියා අහිමි වී තිබේ.

“වෛරසය සමග ජීවත් වෙනු” යන මෙම සාපරාධී පිලිවෙතින් පැහැදිලි කෙරෙන්නේ, ලාභය සඳහා ධාවනයේ දී කම්කරුවන්ගේ සෞඛ්‍යය හා ජීවිත අනතුරේ හෙලීම ඇතුලු ගත හැකි සෑම පියවරක්ම ගැනීමෙන් මෙහා රාජපක්ෂ නතරවනු නැති බවයි.

ජවිපෙ, සජබ හා ශ්‍රීලනිප නායකයින් සමග මෙම වෘත්තීය සමිති ම සාකච්ඡා පවත්වමින් සිටින්නේ, මෙම අපකීර්තිමත් විරුද්ධ පක්ෂ කම්කරුවන්ට සහයෝගය දෙමින්, ඔවුන් ආරක්ෂා කිරීම සඳහා “මහජන ව්‍යාපාරයක්” ගොඩනැගීමට උදව් වනු ඇතැයි කියාපාමිනි.

මොන තරම් නම් වංචාවක්ද! මේ සියලු පක්ෂවලට ඇත්තේ ආන්ඩු බලයේ සිටිය දී පුද්ගලීකරනයන් ක්‍රියාවට දැමීමේ වාර්තාවකි. සජබ නායකයෝ, 1970 ගනන් අග දී වෙලඳපොල-ගැති ප්‍රතිව්‍යූහකරයන් හා පුද්ගලීකරනය ආරම්භ කල දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයේ (එජාප) හවුල්කරුවෝ වූ හ. එජාපය, තම කම්කරු පන්ති-විරෝධී පිලිවෙත්වලට එරෙහි ව පැනනැගුනු මහා වැඩ වර්ජනයක් බිඳීම සඳහා, රාජ්‍ය අංශයේ කම්කරුවන් ලක්ෂ ගනනක් නෙරපා හැරියේ ය.

1990 ගනන්වල දී සිය සමාජවාදී පූච්චානම් අද බෑම අතහැර දැමූ ජවිපෙ, 2004 දී ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ ශ්‍රීලනිපය නායකත්වය දුන් ආන්ඩුවට හවුල් වී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) කල විධානයන් කම්කරු පන්තිය මත පැටවීමට උදවු විය. කොලඹ දේශපාලන සංස්ථාපිතයට මුලුමනින් ම ඒකාග්‍ර වී සිටින ජවිපෙ, මූල්‍ය ප්‍රාග්ධනයේ විධානයන් ක්‍රියාවට දැමූ මහින්ද රාජපක්ෂගේ හා මෛත්‍රීපාල සිරිසේනගේ ආන්ඩුවලට යලි යලිත් පිටුබලය දී ඇත.

මේ සියලු පක්ෂ ධනපති ක්‍රමය ආරක්ෂා කරති. රාජපක්ෂ ආන්ඩුවේ විරුද්ධවාදීන් ලෙස පෙනී සිටිමින්, කම්කරුවන්ගේ කෝපය ගසාකෑමට ඔවුහු උත්සාහ දරති. එහෙත් ඔවුන් බලයට පැමිනිය ද වර්තමාන ආන්ඩුව මෙන් ඔවුන් ද කම්කරු පන්තියේ වියදමින් මහ ව්‍යාපාරිකය ගලවා ගැනීමට උත්සාහ දරනු ඇත.

කෙරවලපිටිය බලාගාරය එක්සත් ජනපද සමාගමකට විකිනීමට විරුද්ධ බව කියා පාන, ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය සහ සිංහල අන්තවාදී ජාතික නිදහස් පෙරමුන හා පිවිතුරු හෙල උරුමය ඇතුලු පාලක සභාගයේ කොටස්කරුවන් වන කුඩා පක්ෂ 10 සම්බන්ධයෙන් ද එය සත්‍ය වේ.

පුද්ගලීකරනයට එරෙහි ඕනෑ ම අව්‍යාජ සටනක පලමු පියවර වන්නේ, වෘත්තීය සමිතිවලින් හා ඔවුන් බද්ධ වී සිටින විවිධාකාර ධනපති පක්ෂවලින් ස්වාධීන වන හා ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරා පත්කර ගන්නා විශ්වාසවන්ත කම්කරුවන් විසින් නායකත්වය දෙන, ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම යි.

සෑම වැඩපොලක ම ස්ථාපිත කල යුතු එවන් ක්‍රියාකාරී කමිටු, තම මූලික සමාජ අයිතීන් සඳහා සටන් වදින අනෙකුත් කම්කරු කොටස් වෙත හැරීම අවශ්‍ය ය. මෑත මාස කිහිපය තුල දී, වැටුප් හා සේවා කොන්දේසි අරබයා, ගුරුවරුන්, සෞඛ්‍ය, පරිපාලන හා වතු කම්කරුවන් යන සියලු දෙනා වැඩ වර්ජන හා විරෝධතාවල නියැලී ඇත.

සැප්තැම්බරයේ දී, ඉහල යන උද්ධමනය නො තකා, හාල්, පිටි, කිරිපිටි හා කෑම පිසීමට ගන්නා ගෑස් වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල පාලනයන් ඉවත් කිරීමට ආන්ඩුව කටයුතු කලේ ය. වැඩකරන ජනයාට සැබෑ දුෂ්කරතාවන් නිර්මානය කරමින් හා වැටුප් වැඩි කරගැනීමේ අරගලයන් අවුලුවමින්, පසුගිය මාස 12 තුල ආහාර මිල සියයට 12.8කින් ඉහල ගොස් තිබේ.

කම්කරු පන්තිය මත මේ සියලු ප්‍රහාර තීන්දු කෙරී ඇත්තේ, ලංකාවේ හා ජාත්‍යන්තර ව ගැඹුරු වෙමින් පවතින ලාභ පද්ධතියේ අර්බුදයෙනි. ධනවත් සුලුතරයකගේ ලාභ අවශ්‍යතා වෙනුවට වැඩකරන ජනයාගේ අවශ්‍යතාවන්ට ප්‍රමුඛත්වය දෙන සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත කම්කරුවන්ගේ ප්‍රතිප්‍රහාරය පදනම් කරනු ලැබිය යුතු ය.

හුදෙක් “පුද්ගලීකරනයට එරෙහි වීම” ප්‍රමානවත් නො වේ. දශක ගනනාවක අරගල හරහා රාජ්‍ය අංශ ව්‍යවසායයන්වල කම්කරුවන් විසින් දිනාගෙන ඇති ජයග්‍රහන, වෘත්තීය සමිතිවල ද සහයෝගය සහිත ව අනුප්‍රාප්තික ආන්ඩු විසින් විනාශ කර දමා තිබේ. ධනපති ආන්ඩු විසින් මෙහෙයවනු ලබන රජයට අයත් ව්‍යවසායයන්, සෑම විට ම සේවය කර ඇත්තේ පුද්ගලික ලාභ අවශ්‍යතාවන්ට ය. දැන් පවතින දේශීය හා විදේශීය පුද්ගලික ආයෝජකයන්ට සෑම දෙයක් ම විවෘත කිරීමේ නො නවතින තල්ලුව මධ්‍යයේ, ඒවා ලාභ උපදවන ව්‍යවසායයන් බවට හරවා ඉහල ම ගැනුම්කරුවාට විකුනා දැමීම පිනිස ප්‍රතිව්‍යූහකරනය හා වානිජකරනය කරනු ලබමින් තිබේ.

ඉන්ධන හා විදුලිබලය වැනි අත්‍යවශ්‍ය නිෂ්පාදන, අධ්‍යාපනය හා සෞඛ්‍යය වැනි අත්‍යවශ්‍ය සේවාවන් සමගින්, වැඩකරන ජනයාට වියදමකින් තොර ව ලැබීම අවශ්‍ය ය. මෙම ව්‍යවසායයන් හා සේවාවන්වල කම්කරුවන්ට, ශිෂ්ට සම්පන්න වැටුප්, සුරක්ෂිත රැකියා හා වර්තමාන වසංගතය මධ්‍යයේ ඔවුන්ගේ සෞඛ්‍යයට හා ජීවිතවලට යථා ආරක්ෂාව තිබිය යුතු ය.

සහන පතා රාජපක්ෂ ආන්ඩුවට බලපෑම් දැමීම අත්‍යන්තයෙන් නිරර්ථක ය. කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ මහා සමාගම්, වතු හා බැංකු ජනසතු කිරීම ඇතුලු සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන ඉල්ලීම වටා, වෙනස් ක්ෂේත්‍රවල සියලු කම්කරුවන්ගේ අරගලයන් ඒකාබද්ධ කිරීම අවශ්‍ය වේ.

ලංකාවේ කම්කරුවන්ට ඔවුන්ගේ අයිතීන් ආරක්ෂා කරගැනීමට සාර්ථක ව සටන් කල හැක්කේ, ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග එකමුතු වීමෙන් පමනි. හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) විසින් දියත් කර තිබෙන කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයේ කොටසක් ලෙස ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස අපි කම්කරුවන්ගෙන් ඉල්ලමු.

ලංකාව තුල මෙම ඉදිරි දර්ශනයට සටන් වදින්නේ සසප පමනි. මෙම දේශපාලන අරගලයේ දී අප සමග එක් වන ලෙස අපි කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලමු.

Loading