සෞඛ්‍ය සේවකයන් ස්වාධීන ක්‍රියාකාරී කමිටු තනමින් තම ඉල්ලීම් දිනා ගැනීමේ සටන සියතට ගත යුත්තේ ඇයි?

නොවැම්බර් 9 වන දා හෙද, පරිපූරක වෛද්‍ය සහ අතුරු වෛද්‍ය ක්ෂේත්‍රයන්හි සෞඛ්‍ය සේවකයන් ඉල්ලීම් අටක් මත, සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. වර්ජනය කැඳවා ඇත්තේ වෘත්තීය සමිති 16 කින් සැදුම් ලත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය විසිනි.

වර්ජනය ප්‍රධාන වශයෙන් ඉල්ලීම් හයක් මත පාදක වේ. ඊට 2021 ජූලි 05 වනදා අමාත්‍ය මන්ඩලය විසින් අනුමත කල චක්‍රලේඛ ක්‍රියාවට දැමීම, වැටුප් විෂමතා ඉවත් කිරීමට 'රනුග් වැටුප් කමිටු වාර්තාව' ක්‍රියාත්මක කිරීම, දැනට රු. 3000 වන විශේෂ රාජකාරී දීමනාව රු. 10,000 දක්වා ඉහල දැමීම, අතිකාල රේට්ටු අගය නිර්නයේදී සියලු සෞඛ්‍ය වෘත්තීන් සඳහා මූලික වැටුපෙන් 1/80 ක් ලෙස ගනනය කිරීම, වෘත්තීයවේදී උපාධියට අදාල නිවැරදි වැටුප් පරිමානය ස්ථාපිත කර ගැලපෙන රැකියා අවස්ථා හිමිකර දීම, සියලු සෞඛ්‍ය වෘත්තිකයින් නියෝජනය වන සෞඛ්‍ය පරිපාලක සේවය ස්ථාපිත කිරීම යන ඉල්ලීම් මීට ඇතුලත් ය.

මෙය සෞඛ්‍ය කම්කරුවන් අතර අඛන්ඩව පැන නැගෙමින් පවතින විරෝධතා රැල්ලේ කොටසකි. මීට පෙර සැප්තැම්බර් 22, 27 සහ ඔක්තෝබර් 8 වනදා වසංගතයට අදාල දීමනා කපා දැමීම ඇතුලු තවත් ඉල්ලීම් කීපයක් මත සෞඛ්‍ය සේවකයෝ වර්ජන වල නිරත වූහ.

2021 සැප්තැම්බර් 27 වැනි දා, කොලඹ, කලුබෝවිල රෝහලේ හෙදියන් පිකට් කරමින් (ඡායාරූප: ෆේස්බුක්/ජීඑන්ඕඒ)

සෞඛ්‍ය සේවකයන් දිගින් දිගටම අරගල වලට පැමිනීම මගින් පෙන්නුම් කරන්නේ ඔවුන්ට සිය ඉල්ලීම් දිනා ගැනීමට ඇති දැවෙන උවමනාවයි.

කොවිඩ්-19 ආසාදිතයින් සමග සමීපව කටයුතු කරන සෞඛ්‍ය සේවකයන්ට නිසි ආරක්ෂක උපකරන සහ සෞඛ්‍ය ආරක්ෂාව සහිත ප්‍රවාහන පහසුකම් නොසැපයීම ආදී කරුනු හේතුවෙන් ඔවුහු විශාල වශයෙන් රෝගයට ගොදුරු වෙති. මීට අමතරව, සුවිසල් සේවක හිගයක් සහිතව ඉහල රෝගීන් සංඛ්‍යාවකට ප්‍රතිකාර ලබා දීමට සිදු වී‌මෙන් ඔවුනගේ සේවා කොන්දේසි ඉතාමත් දුෂ්කර තත්වයට ඇද වැටී ඇත.

අනෙක් අතට, රාජපක්ෂ ආන්ඩුව භාන්ඩ මත පනවා තිබූ මිල සීමාවන් ඉවත් කිරීමත් සමග ඒවායේ මිල සීඝ්‍රයෙන් ඉහල යන තතු තුල, කම්කරු පන්තියේ අනෙකුත් කොටස් මෙන්ම සෞඛ්‍ය කම්කරුවන් ද සිය සොච්චම් වැටුපෙන් ජීවිතය ගැට ගසා ගැනීම අරගලයක නිරත වී සිටිති. කම්කරුවන් අරගල වලට කැඳවා ඇත්තේ මෙම උහුලා ගත නොහැකි සේවා සහ ජීවන කොන්දේසි මගිනි.

කෙසේ වෙතත්, ඔවුන් අත්දකිමින් සිටින්නේ තම අරගල මුදුනේ අරක්ගෙන සිටින වෘත්තීය සමිති විසින් එකී අරගල ආන්ඩුවේ ව්‍යාජ පොරොන්දු මත නැවත නැවතත් පාවාදීම් වලට ලක් කරමින් සිටින බවයි. මෙම තතු තුල, සමිති නායකයන් තොරොම්බල් කරන ක්‍රියාමාර්ගයන් ඉහත ඉල්ලීම් දිනාගැනීමේ ලා ඓතිහාසික වශයෙන් ශක්‍ය ද නැතහොත් වලංගු ද යන්න ගැන සියලු කම්කරුවන් බරපතල අවධානයක් යොමුකල යුතුය.

මෙම සමිති විසින් නොවැම්බර් 09 දාට කැඳවා ඇති වර්ජනයේදී ඉදිරිපත් කරන සහ සැප්තැම්බර් 22, 27 සහ ඔක්තෝබර් 8 වනදා පැවති වැඩ වර්ජන වල දී ඉදිරිපත් කල ඉල්ලීම් සසඳා බැලූ සැනින් පෙනී යන්නේ, හරයාත්මක වශයෙන් එකම ඉල්ලීම් මාලාව නැවත නැවතත් ඉදිරිපත් කෙරෙන බව සහ ඒවා යලියලිත් ප්‍රතික්ෂේප කෙරෙන බවයි. එමගින් තහවුරු කෙරී ඇත්තේ, වෘත්තීය සමිති එම අරගල පාදක කරන 'ආන්ඩුවට බලපෑම් යොදා ඉල්ලීම් දිනා ගැනීමේ' ක්‍රියාමාර්ගයේ ආන්තික බංකෙලොත්භාවය යි.

වසංගතයෙන් ගැඹුරු කෙරුනු ගෝලීය ධනවාදයේ පද්ධතිගත අර්බුදය තුල සෑම රටකම පාලක පංතීන්, තම අර්බුදයේ බර කම්කරු-පීඩිත මහජනතාව මත පටවමින්, ඔවුනගේ සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සියල්ල පාගා දමමින් සිටිති. රාජපක්ෂ ආන්ඩුව ද අනුයන්නේ එයයි.

2022 වසර සඳහා ආන්ඩුව ඉදිරිපත් කිරීමට නියමිත අයවැය පිලිබඳ මාධ්‍ය වාර්තා වලින් ප්‍රකාශයට පත් වන්නේ එය කප්පාදුවේ අය වැයක් බවයි. ඒ බවට ඉඟි කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ නොවැම්බර් 01 දා මාධ්‍ය හමුවකදී කියා සිටියේ “ජනතාවට ලැබෙන්න නෙවෙයි යන්නෙ. ජනතාවගෙන් ගන්නයි වෙන්නෙ” යනුවෙන් පිලිතුරු දුන්නේය.

මෙහි කොටසක් ලෙස, 2022 සඳහා සෞඛ්‍ය සේවයට වෙන්කර ඇති මුදල පසුගිය වසරට සාපේක්ෂව බිලියන 6 කින් කපා දමා රුපියල් බිලියන 153 දක්වා අඩුකර ඇත. මෙම වසර සඳහා සෞඛ්‍යයට වෙන් කල මුදල 2019 දී වෙන් කල මුදලින් රුපියල් බිලියන 28ක කපා දැමීමකි. 2021 වසර සඳහා කොවිඩ් මර්දනයට රුපියල් බිලියන 18ක් වෙන් කෙරුන අතර ඒම මුදලද ලබන වසර සඳහා බිලියන 12ට අඩු කර තිබේ.

මෙම තතු තුල ධනපති ආන්ඩුවට ඉල්ලීම් ඉෂ්ඨ කරන ලෙස ඉල්ලා බලපෑම් දැමීම මුලුමනින්ම නිශ්ඵලය. අනෙකුත් කම්කරුවන්ට මෙන්ම, සෞඛ්‍ය කම්කරුවන්ට ද තම ඉල්ලීම් දිනාගත හැක්කේ, ආන්ඩුවටත් සමස්ත ධනපති ක්‍රමයටත් එරෙහි කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන අරගලයක් තුලින් පමනි. වර්ජන සහ විරෝධතා කැඳවීමට සමිති පෙලැඹී ඇත්තේ තමන් මුහුන දෙන කොන්දේසි වලට එරෙහිව කම්කරුවන් අතර වැඩෙන විරුද්ධත්වය එවන් දේශපාලන අරගලයක් ලෙස වර්ධනයවීම වැලැක්වීමේ අරමුනෙනි.

ධනපති ක්‍රමයට තදින් බැඳී ඇති වෘත්තීය සමිති තුල තීන්දු තීරන ගනු ලබන්නේ සාමාජිකයින් අතරේ කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවකින් තොරවයි. අරගල කැඳවන්නේ ද, ඒවා පාදක කෙරෙන ක්‍රියාමාර්ගය නිර්නය කරන්නේ ද අවසානයේදී ඒවා පාවාදීමකින් අවසන් කරන්නේ ද නිලධරයේ කීපදෙනෙකු විසින් ගන්නා තීන්දු තීරන මතය.

මෙලෙස පසුගිය කාල පරිච්ඡේදය පුරාම අරගල වලදී සිදුවී ඇත්තේ මෙම සමිති ආන්ඩුවේ ප්‍රහාර සෞඛ්‍ය කම්කරුවන් මත පැටවෙන ආකාරයෙන් ආන්ඩු සමග ගනුදෙනු වලට යාමයි. වසංගතයට අදාල මාසික දීමනාවක් ලෙස මාසික වැටුපෙන් සියයට 78 ක් ඉල්ලා දියත් කෙරුනු ජුනි 11 වනදා අරගලය, මාස තුනකට පමනක් අදාලව රුපියල් 7500 ක දීමනාවක් දක්වා කප්පාදු කර නවතා දැමීමට මෙම සමිති කටයුතු කලහ.

නොවැම්බර් 09 දා විරෝධතාවයේ ඉල්ලීම් වලින් වසංගතයට අදාල සියලු ඉල්ලීම් කපා දමා ඇත. ධනපතියන්ගේ ලාභ උත්පාදනය අබාධිතව ඉදිරියට ගෙනයාම සඳහා ආන්ඩුව අනුයන 'වසංගතය සමග ජීවත්වීමේ' මිනීමරු පිලිවෙතට අනුරූපව සමිති විසින් එම ඉල්ලීම් කපා දැමීම මගින් ඔවුන් විසින් නියෝජනය කරන්නේ ධනපති පංතියේ අවශ්‍යතා මිස කම්කරුවන්ගේ අවශ්‍යතා නොවන බව යලිත් කහවුරු කොට ඇත.

වසංගත පාලනය කොට ඇති බවට ආන්ඩුව පතුරුවන ප්‍රලාපයට විපරීතව, වසංගතය අන්තරායකාරී අයුරින් ව්‍යාප්ත වන බවට වෛද්‍ය විශේෂඥයන් සහ විද්‍යාඥයන් යලියලිත් අනතුරු අඟවයි. එසේ පැවතියදී, පෞද්ගලික සෞඛ්‍ය ආරක්ෂක උපකරන(පීපීඊ) සහ වසංගත දීමනා පිලිබඳ අවශ්‍යතාවයෙන් සෞඛ්‍ය කම්කරුවන් බලගතු ලෙස පෙලේ.

මෙම තතු යටතේ සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව (සෞකක්‍රික) කම්කරුවන්ට අවධාරනය කර සිටින්නේ අරගල ඉදිරියට ගෙන යාමට නම් ඒවා වෘත්තීය සමිති වලින් තමන් අතට ගත යුතු බවයි. එමෙන්ම මෙම අරගලය තමන් හා සමාන කොන්දේසි වලට මුහුන දී සිටින අනෙකුත් කම්කරු කොටස් සමග ඒකාබද්ධ කල යුතුය. එහිදී දැනටමත් අරගලයට පැමින සිටින ගුරුවරුන්, විදුලි බල සහ වරාය ආදී ක්ෂේත්‍රයන්හි කම්කරු පන්තික කොටස් සමග සහයෝගීතාව ගොඩනගා ගැනීම තීරනාත්මකය.

කම්කරුවන් අතර එම සහයෝගීතාව ගොඩනැගිය හැකි බලගතු ඉල්ලීමක් වන, 'පාරිභෝගික භාන්ඩයන්හි සහ සේවාවන්හි මිල ඉහල යාමට අනුපාතිකව ස්වයංක්‍රීය ලෙස වැටුප් ඉහල දමනු! යන්නට එරෙහිව, “රනුග් ගේ වැටුප් වාර්තාව” නමින් 2018 වසරේදී රාජ්‍ය සේවාවට අදාල වැටුප් විෂමතා විසඳීමට පත්කල කමිටු වාර්තාවක් සමිති විසින් ඉදිරියට ගෙන ඇත. එය යටතේ හෙද, පරිපූරක වෛද්‍ය, අතුරු වෛද්‍ය ක්ෂේත්‍රයන්හි සේවකයින්ගේ වැටුප් අවම වශයෙන් රුපියල් 5000 කට ආසන්න ප්‍රමානයකින් වැඩි කිරීමට යෝජනා කර ඇත. කෙසේ වෙතත් භාන්ඩ මිල ඉහල යන තතු තුල මෙම සොච්චම් වැටුප් වැඩීවීමේ ඉල්ලීම් පවා කම්කරුවන් මුහුන දෙන ජීවන අර්බුදය විසඳීමට ප්‍රමානවත් නොවේ.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය වැඩ වර්ජනයට නිකුත් කල නිවේදනයෙන් මෙම සමිති වල ප්‍රතිගාමිත්වය යහමින් ප්‍රකාශයට පත් වෙයි. “වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු ගන්නා ලද සමහර සාධනීය විසඳුම් තීරන පවා ක්‍රියාත්මක වීමේ ප්‍රමාදය නිසා, වෘත්තීය ක්‍රියාමාර්ග වෙත අවතීර්න නොවී' ගැටලු විසඳා ගැනීමට විකල්පයක් නොමැති බව එය ප්‍රකාශ කරයි.

සම්මේලනය උත්කර්ශයට නංවමින් සිටින්නේ ධනපති ආන්ඩුවට බලපෑම් දැමීමෙන් විසඳුම් ලබා ගත හැකිය යන මිථ්‍යාවයි. ඒ ඔස්සේ යමින් ඔවුන් ආන්ඩුව දෙසට බලාපොරොත්තු රඳවමින් රජය “සාධනීය විසඳුම්” ලබා දී ඇති බවත් ප්‍රමාදය ඇත්තේ ඒවා ක්‍රියාත්මක කිරීමේදී බවත් සඳහන් කරයි. නිවේදනයට අනුව ඉහත වැටුප් වාර්තාව 2020 ජනවාරි 1 වනදා සිට ක්‍රියාවට දැමීමට අමාත්‍ය මන්ඩලය තීරනය කර තිබුනද එය ක්‍රියාවට දමා නැත.

සමිති වල ධනපති ගැති ස්වභාවය ඔවුන්ගේ ක්‍රියාමාර්ගය හරහාම එලිමහනට පැමිනෙයි. කම්කරුවන්ගේ පන්ති ශක්තිය ප්‍රකාශයට පත් කෙරෙන වැඩ වර්ජනයක් වෙනුවට ඔවුන් කැඳවා ඇත්තේ ධනපති ක්‍රමයට කිසිදු අභියෝගයක් නොකෙරෙන අසනීප නිවාඩු වාර්තා කර සේවයට නොපැමිනීමකි.

ආන්ඩුව තම පොරොන්දු ක්‍රියාවට නොදමා ඇත්තේ ප්‍රමාදයක් හේතුවෙන් නොව, ධනේශ්වර ආර්ථික අර්බුදය හමුවේ රාජපක්ෂ තන්ත්‍රය ඇතුලු ලොවපුරා ධනපති ආන්ඩුවලට බල කෙරී ඇත්තේ කම්කරුවන්ගේ ඉල්ලීම් ලබා දීමට නොව ඔවුන්ගේ ජීවන හා සමාජ තත්වයන් කාබාසිනියා කිරීමට බැවිනි.

අනෙක් අතට ආන්ඩුව මෙම කප්පාදු වලට එරෙහිව වැඩෙන මහජන විරෝධය කුමන හෝ ආකාරයෙකින් තලා දැමීම අරමුනු කොටගෙන සිටී. ඒ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වැඩ වර්ජන සහ විරෝධතා වලට කඩා පැනිය හැකි ආකාරයට රුදුරු හදිසි නීති සහ වර්ජන තහනම් කෙරෙන අත්‍යාවශ්‍ය සේවා ක්‍රියාවට දමා ඇත.

සෞඛ්‍ය කම්කරුවන්ගේ අරගලය මෙම අභියෝගයන්ට සෘජුවම මුහුන දී ඇත. එමගින් ද කම්කරු පන්තිය තුල ඒකාබද්ධතාව පිලිබඳ කාරනාව ඉස්මත්තට ගෙන ඇත. එවන් ඒකාබද්ධතාවයකට මුලුමනින්ම සතුරු වෘත්තීය සමිති කම්කරුවන් බෙදීම සඳහා ශ්‍රේනිවාදය සහ කට්ටිවාදය වඩාත් ඉස්මත්තට ගනිමින් සිටිති. ව්‍යාජ එකමුතුවක් පෙන්වා සිටින සමිති සම්මේලනයට පවා කම්කරුවන්ගේ අරගල ඒකාබද්ධ කෙරෙන ජීවන වියදමට සරිලන වැටුප් වැඩිවීමක ඉල්ලීම ක් පවා ඉදිරිපත් නොකරන්නේ එබැවිනි.

ඔවුන් එකමුතුව සිටින්නේ කම්කරුවන්ගේ අරගල ජයග්‍රහනය කිරීමට නොව ඒවා පාවා දීමටය. මෙම තතු තුල සෞඛ්‍ය සේවකයන්ගේ ඉල්ලීම් දිනා ගැනීම සඳහා කෙරෙන අව්‍යාජ අරගලයක්, වෘත්තීය සමිති සහ ධනපති රාජ්‍යය යන දෙකටම එරෙහිව පිහිටයි. එවන් අරගලයක් ගෙන යා හැක්කේ තමන්ගේම ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවන් මගින් තීන්දු ගැනෙන ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගැනීමෙනි.

එවන් අව්‍යාජ අරගලයක් පහත ඉල්ලීම් මත පාදක විය යුතු සෞකක්‍රික කියා සිටී.

  • රුපියල් 7,500 මාසික වසංගත දීමනාව වැටුපෙන් සියයට 78ක් ලෙස වැඩි කර දිගටම ලබා දෙනු!
  • නිසි පුද්ගල සෞඛ්‍ය ආරක්ෂක උපකරන (පීපීඊ) හා ආරක්ෂිත ප්‍රවාහන පහසුකම් වහාම ලබා දෙනු!
  • “ඉහල යන වැටුප් පරිමානයක්.' එනම්, පාරිභෝගික භාන්ඩ සහ සේවාවන්හි වල මිල ඉහල යාමට අනුපාතිකව ස්වයංක්‍රීය ලෙස වැටුප්වල ඉහල යාමක් වහාම ලබා දෙනු!
  • මහජන සෞඛ්‍ය සේවය වැඩි දියුනු කිරීමට බිලියන ගනනින් මුදල් සමිපාදනය කරනු!
  • සියලු රෝහල් තුල ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩ නගා ජාත්‍යන්තර කම්කරු සන්ධානයක් සඳහා පෙරට යමු!

ඉහත ඉල්ලීම් ධනපති ආන්ඩුවේ කප්පාදු පියවරයන්ට අභිමුඛව පවතින බැවින්, මෙම ඉල්ලීම් ක්‍රියාවට දැමිය හැක්කේ සමස්ත ධනපති ක්‍රමයට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදය සඳහා කෙරෙන දේශපාලන අරගලයක් මගින් පමනි.

රටෙහි අන‍්‍ය ක්ෂේත්‍රයන්හි සහ අන්‍ය රටවල කම්කරුවෝ මුහුන දී සිටින්නේ එකම කොන්දේසි වලට සහ එතම ප්‍රහාරයකටය. ඒවා පරාජය කිරීමට නම් කම්කරුවන්ගේ ඒකාබද්ධතාවය තීරනාත්මක වේ. සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව එවන් ක්‍රියාකාරී කමිටු ජාලයක් සඳහා සටන් වදින අතර, තමන්ගේ රෝහල් සහ ආයතන තුල ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගන්නා ලෙස සියලු සෞඛ්‍ය කම්කරුවන්ට කැඳවුම් කර සිටී.

Loading