මාස 18ක් මුලුල්ලේ රඳවා තබාගැනීමෙන් පසු ශ්‍රී ලංකාවේ අධිකරනය අහ්නාෆ් ජසීම් මුස්ලිම් කවියා ඇප මත මුදාහරියි

[මෙය Sri Lankan court bails out Muslim poet Ahnaf Jazeem, after 18 months detention යන මැයෙන් 2021 දෙසැම්බර් 21 පලවූ ලිපියේ පරිවර්තනයයි.]

මාස 18කට අධික කාලයක් තිස්සේ අත්අඩංගුවේ රඳවාගැනුනු තරුන ශ්‍රී ලාංකික මුස්ලිම් කවියකු හා ගුරුවරයකු වන අහ්නාෆ් ජසීම් වයඹ පලාතේ පුත්තලම මහාධිකරනය විසින් දරුනු ඇප කොන්දේසි යටතේ මුදාහැර තිබේ.

ඇප ලැබීමෙන් පසු අහනාෆ් ජසීම් තම මව පියා සහ සහෝදරයා සමඟ සිටියි (ලෝසවෙඅ මාධ්‍ය)

ඉස්ලාම් අන්තවාදය ප්‍රචාරය කිරීම පිලිබඳ ගොතන ලද චෝදනා නඟමින් 2020 මැයි 16 වැනි දින 25 හැවිරිදි කවියා කුප්‍රකට ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය (ටීඅයිඩී) විසින් අත්අඩංගුවට ගැනුනු අතර රුදුරු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා තබාගන්නා ලදි.

ඇප ලබා දෙන මෙන් විනිසුරුගේ නියෝගය තිබිය දීත් අධිකරනයේ රේජිස්ට්‍රාර්වරයා බන්ධනාගාර නිලධාරීන්ට ජසීම් මුදාහැරීම සඳහා අනුමැතිය දීම ප්‍රතික්ෂේප කලේ ඔහු කොලඹ මහේස්ත්‍රාත් අධිකරනයෙහි තවත් නඩුවකට මුහුන දී සිටින බව හේතුවක් ලෙස දක්වමිනි. කෙසේ වෙතත්, මහාධිකරන ඇප නියෝගය එම නඩු දෙකට ම අදාල ය.

ජසීම් ආපසු වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත ගෙන යන ලද අතර අවසානයේ ඔහු මුදාහැරුනේ ඊලඟ දිනයේ සවස ඔහුගේ නීතඥ සංජය විල්සන් ජයසේකර මහේස්ත්‍රාත් අධිකරනයට මෝසමක් ඉදිරිපත් කල පසු ව ය. ජසීම්ට එරෙහිව නඟා ඇති එක ද ව්‍යාජ චෝදනාවක් හෝ ඉවත් කරනු ලැබ නැත.

තරුන කවියා වෙනුවෙන් රුපියල් 500,000 ක ශරීර ඇප තුනක් නියම කෙරුනු අතර ඔහු ත්‍රස්ත හා විමර්ශන ඒකකයේ සුපරීක්ෂාව යටතේ පසු වනු ඇත. ඔහු සෑම මසක ම පලමු හා අවසන් ඉරිදා පුත්තලම පොලිසියේ ටීඅයිඩී කාර්යාලයට වාර්තා කල යුතු වෙයි.

සෙසු ඇප කොන්දේසි ලෙස ඔහුට එරෙහි නඩුවෙහි සාක්ෂිකරුවන් සමඟ කිසිදු සම්බන්ධයක් පැවැත්වීම හෝ බලපෑමක් සිදු නොකල යුතු අතර ඔහුගේ ස්ථිර ලිපිනය වෙනස් වන්නේ නම් ඒ බව අධිකරනයට දැනුම් දිය යුතු වෙයි. තව ද ජසීම් වෙනුවෙන් විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් නොකරන මෙන් අධිකරනය ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට නියෝග කල අතර දැනට තමන් සතුව විදේශ ගමන් බලපත්‍රයක් නොමැති බවට ඔහු දිවුරුම් ප්‍රකාශයක් ලබා දිය යුතු විය.

ජසීම්ට එරෙහි දඩයම වූ මුස්ලිම් හා දෙමල ප්‍රජාවන්ට එරෙහි ව කල රාජපක්ෂ ආන්ඩුව අඛන්ඩ ව සිදු කරන වර්ගවාදී ප්‍රකෝපකරනයන්ගේ කොටසකි.

අනිත් රටවල මෙන් ම කෝවිඩ්-19 වසංගතය කම්කරු පන්ති අරගල රැල්ලකට මුහුන පා සිටින ශ්‍රී ලංකාවේ ධනවාදයට හා රාජපක්ෂ තන්ත්‍රයට ගැඹුරු ආර්ථික අර්බුදයක් නිර්මානය කර තිබේ. කොලඹ මෙයට ප්‍රතිචාර දක්වා ඇත්තේ කම්කරු පන්තිය බෙදීමේ ප්‍රයත්නයක් තුල වර්ගවාදී හා ප්‍රජාගනවාදී ආතතීන් ඇවිලවීම මඟිනි.

මුස්ලිම් අන්තවාදය ප්‍රචාරය කිරීම පිලිබඳ බොරු චෝදනා එල්ල කොට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ සිර කොට සිටින කලාකරුවන්, මාධ්‍යවේදීන් හා දේශපාලනඥයින් ඇතුලු විශාල පිරිසකගෙන් කෙනෙකි ජසීම්. අයිඑස්අයිඑස් හා සම්බන්ධ ශ්‍රී ලාංකීය කන්ඩායමක් විසින් 2019 පාස්කු ඉරිදා දේවස්ථාන හා හෝටල් ගනනාවකට එල්ල කරන ලද ත්‍රස්තවාදී ප්‍රහාරවලට පසු ශ්‍රී ලංකාවේ සියලු ධනපති දේශපාලන පක්ෂ විසින් මුස්ලිම් විරෝධී ප්‍රජාගනවාදය අවුලුවනු ලැබිනි.

බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි 30 අවුරුදු දෙමල විරෝධී වාර්ගික යුද්ධය සමයෙහි පුලුල් ව යොදාගන්නා ලද ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත, ඕනෑ ම කෙනෙකු 'සැක පිට' අත්තනෝමතික අන්දමින් අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීමේ ඉඩ ලබා දෙයි. ඒ යටතේ අධිචෝදනා ඉදිරිපත් කෙරුනු චූදිතයින්ට වදදීම මඟින් ලබාගන්නා ලද පාපෝච්චාරන අධිකරන නඩු විභාගවල සාක්ෂි හැටියට ඉදිරිපත් කල හැකි ය.

යුද්ධයෙන් දැදුරු වූ උතුරු පලාතේ මන්නාරම දිස්ත්‍රික්කයෙහි උපන් ජසීම් ඉගැන්වූ ස්කූල් ඔෆ් එක්සලන්ස් පාසැලේ ඉගැන්වීම සඳහා පුත්තලමට පැමිනි ඔහු අඩු වරප්‍රසාදිත ලමුන් වෙනුවෙන් ක්‍රියාත්මක වන පුන්‍යායතනයක් වන 'සෙව් ද පර්ල්ස්' හි නවාතැන් ගත්තේ ය. ගොතන ලද චෝදනා මත මෙම පුන්‍යායතනයයෙහි අධ්‍යක්ෂ මන්ඩල සාමාජිකයකු වූ ප්‍රමුඛ මානව හිමිකම් නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගත් පොලිසිය එම ආයතනය අන්තවාදී ප්‍රචාරනය හා සම්බන්ධ කිරීමට තැත් කොට තිබේ.

ටීඅයිඩීය ජසීම් අත්අඩංගුවට ගත්තේ ඔහු මන්නාරමුදු අහ්නාෆ් යන ලේඛක නාමයෙන් ලියා ඇති කාව්‍ය සංග්‍රහයක් අන්තවාදය ප්‍රචාරය කරන බව හා ඔහු පාස්කු ප්‍රහාරයට සම්බන්ධයක් ඇති බව කියමිනි. එහෙත් සැබැවින් ම පොත අයිඑස්අයිඑස් සංවිධානයේ මිනීමරු පිලිවෙල මෙන් ම එක්සත් ජනපදයේ නායකත්වයෙන් කෙරෙන අධිරාජ්‍යවාදී යුද්ධ හෙලාදුටු අතර, සාමය හා වාර්ගික එක්සත්කම ප්‍රවර්ධනය කලේ ය.

එම කවි වැරදියට පරිවර්තනය කොට, පොතෙන් ප්‍රචන්ඩත්වය අවුලන බව, ලිංගික හැඟීම් පුබුදුවන බව, සියදිවි නසාගැනීම ප්‍රවර්ධනය කරන බව, මරනය උත්කර්ෂයට නංවන බව හා මුස්ලිම් ජනතාවට එරෙහි ප්‍රචන්ඩ ක්‍රියා සිදු කරන්නන්ට එරෙහි වෛරය අවුලුවන බව සඳහන් කරමින් අධිකරනයට ඉදිරිපත් කෙරුනු වාර්තාවක ඇතුලත් කෙරිනි.

තරුන කවියා රැඳවුම් භාරයේ සිටිය දී පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ප්‍රකාශ උකහා ගැනීමේ වෑයම තුල මානසික හා ශාරීරික වධ හිංසාවලට ලක් විය. සති කිහිපයක් තිස්සේ ඔහුට මාංචු දමා කකුල් මේසයක ගැට ගසා තිබුනු අතර ඔහුට හරිහැටි නින්දක් නොලැබින.

දැන් ජසීම්ට එරෙහි සාක්ෂිකරුවන් බවට පත් ව සිටින පොලිස් නිලධාරීහු ඔහු නලීමියා ඉස්ලාමීය අධ්‍යයන ආයතනයෙහි උගනිමින් සිටිය දී මුස්ලිම් මූලධර්මවාදියකු බවට පත් වූ බවට පාපෝච්චාරනය කරවාගැනීමට තැත් කලහ. ඔවුහු ඔහු බියවැද්දීමේ ප්‍රයත්නයක යෙදෙමින්, වදහිංසාවලට ලක් වෙමින් සිටි වෙනත් මුස්ලිම් රැඳවියන්ගේ ඡායාරූප තරුන කවියාට පෙන්වූහ.

අවසානයේ අධිචෝදනා ඉදිරිපත් කිරීමෙන් තොරව මාස18කටත් වඩා ඔහු රඳවාගැනීමෙන් පසු නීතිපති ගිය මස ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ පුත්තලම මහාධිකරනයේ දී අධිචෝදනා ගොනු කලේ ය. 2019 ඔක්තෝබර් 1 සිට නොවැම්බර් 30 දක්වා කාලය තුල ජසීම් ඉගැන්වීමෙහි යෙදෙන අතර 'කථනය හෝ සංඥා මඟින් නැතහොත් දෘශ්‍යමය නිරූපන මඟින් කියැවීම සඳහා ඇති වචන ඔස්සේ' 'විවිධ ප්‍රජාවන් හෝ වාර්ගික හෝ ආගමික කන්ඩායම් අතර ආගමික, වාර්ගික හෝ ජනවාර්ගික භේදයන් හෝ ක්‍රෝධය හෝ වෛරීභාවය' හෝ ප්‍රචන්ඩත්වය දිරිගැන්වී ය යි අධිචෝදනා පත්‍රය ප්‍රකාශ කරයි.

මේ පුලුල් පරාසයක පැතිරෙන චෝදනා ඕනෑ ම කෙනෙකුට අධිචෝදනා කර කොටු කිරීමට යොදාගත හැකි ය. ගොනු කරන ලද අධිචෝදනාවලට අනුව වරදකරු වුව හොත් වසර 15 සිට 20 දක්වා කාලයකට කවියා සිරගත කල හැකි ය.

ජසීම් ඇප පිට මුදාහැරුනේ ඔහු අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමට එරෙහි ව කම්කරුවන්, තරුනයින් හා මානව හිමිකම් ක්‍රියාධර කන්ඩායම් ජාත්‍යන්තරව හා ශ්‍රී ලංකාව තුල සිදු කල පුලුල් උද්ඝෝෂනවලින් පසු ව ය.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව (කප්‍රනිආක) ඔහු වහා කොන්දේසි විරහිතව නිදහස් කරන මෙන් ඉල්ලමින් බලගතු ආරක්ෂක උද්ඝෝෂනයක් දියත් කලේ ය. ලෝක සමාජවාදී වෙබ් අඩවිය තුල ලිපි හා ප්‍රකාශ පල කෙරුනු අතර කප්‍රනිආක දියත් කල ඔන්ලයින් පෙත්සමට 1700කට අධික දෙනෙක් අත්සන් තබා ඇත.

සසපට සහ ලෝසවෙඅට උද්ඝෝෂනය පිලිබඳ ස්තුතිය පල කල කවියාගේ ඥාතියෙක් මුල දී දඩයමට ලක් වෙතැයි බියෙන් වැඩි දෙනෙක් මෙම අත්අඩංගුවට ගැනීම හෙලා නොදුටු බව සඳහන් කලේ ය. කප්‍රනිආක දියත් කල ඔන්ලයින් පෙත්සම නිශ්ශබ්දතාව බිඳිමින් ජනතාවට පෙරට පැමින සිය විරෝධය පල කිරීමට මාධ්‍යයක් සපයා දුනි. මන්නාරමට හා පුත්තලමට පැමින එම ප්‍රදේශවල දුගී වැසියන්ට උන්හිටිතැන් අහිමි වීම හා ඔවුන් මුහුන පා සිටින තත්වය ගැන ලියන මෙන් ඔහු ලෝසවෙඅ වෙතින් ඉල්ලා සිටියේ ය.

ජසීම්ට ඇප දෙනු ලැබුනේ රාජපක්ෂ ආන්ඩුවේ මානව හිමිකම් උල්ලංඝනයන් හා කොලඹ ආන්ඩුව එල්ටීටීඊයට එරෙහි ව ගෙන ගිය යුද්ධයේ දී සිදු කරන ලද යුද අපරාධ සම්බන්ධයෙන් නොකඩවා එල්ල වන ජාත්‍යන්තර විවේචන වෙනතක හැරවම සඳහා ආන්ඩුව දරන ප්‍රයත්න මධ්‍යයෙහි ය.

වොෂිංටනයේ නායකත්වයෙන් සිදු වන මේ උද්ඝෝෂනයට ශ්‍රී ලංකාව තුල මානව හිමිකම් ආරක්ෂා කිරීම හෝ යුද අපරාධ එලිදරවු කිරීම සමඟ මොන ම සම්බන්ධයක් හෝ නොමැත. ඒ වෙනුවට එය යොදාගැනෙන්නේ බෙයිජිනය සමඟ පවත්වන සබඳතා බිඳදමමින්, චීනයට එරෙහි ව එක්සත් ජනපදය ගෙන යන ආක්‍රමනකාරීත්වය සමඟ පෙලගැසෙන මෙන් රාජපක්ෂ ආන්ඩුවට පීඩනය යොදනු පිනිස ය.

ගිය මාසයේ ශ්‍රී ලංකාවේ අධිකරනය පාස්කු ඉරිදා ප්‍රහාරවලට සම්බන්ධ ය යි චෝදනා කරමින් අත්අඩංගුවට ගනු ලැබ සිටි පසුගිය ආන්ඩුවේ ඇමතියකු වූ රිෂාඩ් බදියුද්දීන් ඇප මත මුදාහැරියේ ය. හිටපු බස්නාහිර පලාත් ආන්ඩුකාර අසාත් සාලි ද නිදොස් කොට නිදහස් කෙරුනේ පොලිසිය ඔහු අන්තවාදය ප්‍රචාරය කල බවට කොටු කිරීම සඳහා කතාවක් ගොතන ලද බව නඩු විභාගය තුල අනාවරනය වූ පසු ව ය. මාධ්‍යවේදීන් ඇතුලු තවත් දෙමල හා මුස්ලිම් පුද්ගලයින් ගනනාවක් ම මෑත දී ඇප මත මුදාහරිනු ලැබූහ.

මේ ක්‍රියාවන් ජනාධිපති රාජපක්ෂයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවර හා ආඥාදායකත්වය කරා ධාවනය ආපසු හැරවීමක් කිසි සේත් ඇඟවුම් නොකරයි. පසු ගිය මාසයේ ඔහු සිය 'එක රටක්, එක නීතියක්' නමැති වර්ගවාදී වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීමට ව්‍යවස්ථා කෙටුම්පත් සැකසීම සඳහා අන්ත දක්ෂිනාංශික බොදු බල සේනා නායක ගලගොඩඅත්තේ ඥානසාර පත් කලේ ය.

ප්‍රකාශනයේ නිදහස ඇතුලු සියලු ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කිරීමට හා අහ්නාෆ් ජසීම්ට එරෙහි චෝදනා කොන්දේසි විරහිත ව ඉවත් කොට සෙසු සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරන මෙන් බල කරමින් පෙරට එන මෙන් අපි කම්කරුවන්ගෙන් හා තරුනයින්ගෙන් ඉල්ලා සිටිමු.

Loading