ඉදිරිදර්ශන

ආන්ඩුවේ කප්පාදු වැඩ වලට විරුද්ධ වීමට නම් කම්කරුවන්, ක්‍රියාකාරී කමිටු ගොඩ නඟාගෙන සමාජවාදී ප්‍රතිපත්ති සඳහා සටන් වැදිය යුතුය

[මෙය To oppose government austerity, Sri Lankan workers need to build action committees and fight for socialist policies යන මැයනේ 2021 දෙසැම්බර් 23 වැනි දින පල වූ ලිපියේ පරිවර්තනයයි.]

කම්කරුවන්ගේ වැඩෙන වැඩ වර්ජන හා විරෝධතා රැල්ල, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව හා සමස්ත ධනපති පන්තිය සමග දේශපාලන ගැටුමක් කරා වේගයෙන් ඇදී යයි.

2021 දෙසැම්බර් 08 වැනි දා, වැඩි වැටුප් සහ විශ්‍රාම වැටුප් ඉල්ලමින්, වැටුප් වැඩිකර ගැනීමේ වෘත්තීය සමිති එකමුතුව පාර්ලිමේන්තු වට රවුමේ දී පැවැත් වූ පිකට් උද්ඝෝෂනය

COVID-19 විසින් අවුලුවන ලද ගෝලීය අර්බුදය ආර්ථිකයට තියුනු ලෙස බලපා ඇති අතර, ආන්ඩුව සහ එහි මහා ව්‍යාපාරික හවුල්කරුවන් විසින් පටවනු ලැබ ඇති නොඉවසිය හැකි සමාජ කොන්දේසිවලට සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාරවලට විරුද්ධව කම්කරුවන් සහ දුගීන් අරගලයට තල්ලු කර ඇත.

ලක්ෂ ගනනක් ගුරුවරුන්, සෞඛ්‍ය සේවකයින් සහ අනෙකුත් රාජ්‍ය අංශයේ සේවකයින් මෙන්ම වතු කම්කරුවන් ද ඇතුලුව මිලියනයකට අධික කම්කරුවන් මෙම වසර මුල සිට වැඩ වර්ජන හා විරෝධතාවලට සම්බන්ධ වී ඇත. පසුගිය සති කිහිපය තුල මෙම සමාජ නොසන්සුන්තාව රට පුරා උත්සන්නව පවතියි.

  • දෙසැම්බර් 8දා අඩ මිලියනයකට වැඩි රාජ්‍ය සේවකයන් දිනක වැඩවර්ජනයකට එක්වූ අතර දස දහස් ගනනක් රාජ්‍ය අංශයේ සෞඛ්‍ය සේවකයෝ පලාත් මට්ටමින් එක්දින ලෙඩ නිවාඩු විරෝධතා මාලාවක් ද ආරම්භ කලහ. ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම් වූයේ වැඩි වැටුප් හා යහපත් සේවා කොන්දේසි ය.

    එදිනම ලංකා විදුලි බල මණ්ඩලයේ (ලංවිම), වරායේ හා ඛනිජ තෙල් සංස්ථාවේ කම්කරුවන් 500 කට අධික පිරිසක්, එම ව්‍යවසායන් පුද්ගලීකරනය කිරීමට ආන්ඩුව ගෙන යන පියවරට විරෝධය පල කරමින් ඒකාබද්ධව කොලඹ මධ්‍යයේ උද්ඝෝෂන පැවැත්වීය.
  • දෙසැම්බර් 13 දා ආගරපතන වැවිලි සමාගමට අයත් තේ වතු 12 ක 10,000 ක් පමන කම්කරුවෝ රැකියාවේ වැඩි බර පැටවීමට හා වැටුප් කැපීමට එරෙහිව සතියක වැඩ වර්ජනයක් ආරම්භ කලහ.
  • දෙසැම්බර් 14දා තැපැල් සේවකයන් 16,000ක් පමන එක්දින ජාතික වැඩ වර්ජනයක් පැවැත්වීය.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සමගාමීව, දස දහස් ගනනක් දුප්පත් ගම්බද ගොවීන් පොහොර සහ අනෙකුත් කෘෂිකාර්මික සහනාධාර ඉල්ලා අගෝස්තු මාසයේ ආරම්භ කල විරෝධතා වන්හි අඛන්ඬව යෙදී සිටියි.

වෘත්තීය සමිති විසින් 1980 ජූලි මාසයේ දී රාජ්‍ය සේවකයින්ගේ මහා වැඩවර්ජනය පාවා දීමේ තැන් පටන් මේ දක්වා, මේ වසරේ පැවති පරිමානයේ කාර්මික ක්‍රියාවන් සහ මෙවන් විරෝධතා සංඛ්‍යාවක් දක්නට නොලැබුනි.

2021 දෙසැම්බර් 08 වැනි දා, වරාය, විදුලිබල සහ පෙට්‍රෝලියම් කම්කරුවන් කොටුව දුම්රියපල ඉදිරිපිට පැවැත් වූ විරෝධතාවය

මේ වසරේ පැවති වැඩවර්ජන සහ විරෝධතා තුල, ජීවන තත්වයන් සහ සමාජ කොන්දේසි ආරක්ෂා කර ගැනීමේ පොදු පන්ති අධිෂ්ඨානය ඉස්මතු කරමින් සිංහල, දෙමල සහ මුස්ලිම් වාර්ගික රේඛා කපාගෙන කම්කරුවන් එක්සත් කර ඇත.

කෙසේ වෙතත් මෙම අරගල සහ වෘත්තීය සමිති විසින් ඒවා පාවාදීම පැහැදිලිවම හෙලිදරව් කර ඇත්තේ, සටන්කාමීත්වය පමනක් ප්‍රමානවත් නොවන බවයි. කම්කරුවන්ට තම අයිතීන් ආරක්ෂා කර ගත හැක්කේ සමාජවාදී වැඩපිලිවෙලක් මත ස්වාධීනව බලමුලු ගැන්වෙමින් පමනි. ධනේශ්වර ක්‍රමයට හා රාජ්‍යයට බැඳී සිටින වෘත්තීය සමිති, එවන් ඕනෑම අරගලයකට විරුද්ධ වන අතර එය වැලැක්වීමට සෑම දෙයක්ම කරමින් සිටීති.

වසංගතයෙන් නිර්මිත සෞඛ්‍ය අර්බුදය, ආහාර හිඟය, අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල මිල අහස උසට නැගීම සහ ආන්ඩුවේ කප්පාදු පියවර පිලිබඳ මහජන කෝපයට ප්‍රතිචාරයක් ලෙස, මෙම වසරේ වෘත්තීය ක්‍රියාමාර්ග කැඳවුම් කිරීමට වෘත්තීය සමිතිවලට බල කෙරුනි. වෘත්තීය සමිති, ආන්ඩුව හෝ මහා ව්‍යාපාරිකයන් සමග ගඳගහන කුනු ගිවිසුම්වලට එලබෙමින්, ඉක්මනින්ම වැඩ වර්ජන පාවා දුන්හ.

ජුලි 12දා, 250,000කට අධික ගුරුවරු, ඉහල වැටුප් සඳහා වූ දශක ගනනාවක් දිග්ගැසුන ඉල්ලීමේ කොටසක් ලෙස, දින 100 වැඩ වර්ජනයක් ආරම්භ කලහ. ආන්ඩුව, කිසිදු වැටුප් වැඩිවීමක් තරයේ ප්‍රතික්ෂේප කලේය.

ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය ඇතුළු ගුරු-විදුහල්පති සංගම්, ගුරුවරුන්ගේ කෝපය වෙනතකට හැරවීම සඳහා විවිධ විරෝධතා කැඳවූහ. ඉන්පසුව ඔවුහු, මුලින් ඉල්ලා සිටි වැටුප් වැඩිවීමෙන් තුනෙන් එකක් පමනක් භාර ගැනීමට ආන්ඩුව සමග එකඟතාවකට එළඹ වර්ජනය අවසන් කලහ. ආණ්ඩුව එකඟ වූ එම ඉල්ලීම මේ වන තෙක් ක්‍රියාවට දමා නැත. COVID-19 මධ්‍යයේ අනාරක්ෂිත ලෙස ඔක්තෝබර් 21 දින සිට පාසල් නැවත විවෘත කිරීමට ද වෘත්තීය සමිති එකඟ විය.

මේ වසරේ සෞඛ්‍ය සේවකයින්, වෘත්තීය සමිති විසින් වෙන වෙනම හෝ සෞඛ්‍ය සේවක වෘත්තීය සමිති එකමුතුව යටතේ කැඳවන ලද වැඩ වර්ජන සහ විරෝධතා 30 කට වත් සහභාගී වී ඇත. ජූනි මාසයේදී වෘත්තීය සමිති සාමුහිකය ආන්ඩුවේ සොච්චම් දීමනාවක් පිලිගෙන දිගු කලක් තිස්සේ ඉල්ලා සිටි වැටුප් වැඩිවීම කල් දැමීමට එකඟ විය.

දෙසැම්බර් 8 වැනිදා එක්දින ජාතික වැඩවර්ජනය කැඳවූ ශ්‍රී ලංකා රජයේ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සම්මේලනයට මුලින් අවශ්‍ය වූයේ රුපියල් 18,000ක මාසික වැටුප් වැඩිවීමකි. එහෙත් ඔවුන් ජනාධිපති රාජපක්ෂට පැවසුවේ, “ආන්ඩුවේ අර්බුදය සැලකිල්ලට ගනිමින්,” තම වැටුප් ඉල්ලීම යන්තම් රුපියල් 10,000 දක්වා අඩු කරන බවයි. මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්ආර් ආටිගල, භාන්ඬාගාරයේ මුදල් නොමැති බව ප්‍රකාශ කරමින් සංගමයේ නව ඉල්ලීම එකහෙලා ප්‍රතික්ෂේප කලේය.

ඒ හා සමානව පුද්ගලික අංශයේ වෘත්තීය සමිති, මහා වතු සමාගම්වල සහ නිදහස් වෙලඳ කලාප සමාගම්වල වැටුප් හා රැකියා කප්පාදුවලට සහ ඉහල ඵලදායිතා ඉල්ලීම් වලට පිටුබලය දී ඇත.

2021 දෙසැම්බර් 08 වැනි දා, වරාය, විදුලිබල සහ පෙට්‍රෝලියම් කම්කරුවන් කොටුව දුම්රියපල ඉදිරිපිට පැවැත් වූ විරෝධතාවයෙන් අනතුරු ව ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට පාගමනේ යෙදෙමින්

නිර්දය ලෙස ආර්ථික අර්බුදයේ බර වැඩකරන ජනතාව මත පැටවීමේ රාජපක්ෂ ආන්ඩුවෙහි පියවරයන්ට මෙම සියලු වෘත්තීය සමිති පහසුකම් සලසා ඇත. යටහත් පහත් ලෙස ආන්ඩුවට සහ මහා ව්‍යාපාරිකයන්ට ආයාචනා කරන වෘත්තීය සමිති, ආන්ඩුවට පීඩනය යොදා වැටුප් වැඩි කිරීමට, සේවා කොන්දේසි වැඩි දියුනු කිරීමට සහ පුද්ගලීකරනය නැවැත්වීමට එයට බල කල හැකිය යන මිත්‍යාව කම්කරුවන් හමුවේ ප්‍රවර්ධනය කරති.

කෙසේ වෙතත් ආන්ඩුව පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට මුහුන දී සිටින අතර සම්මුතියකට ඉඩක් නැත. පසුගිය වසරේ වර්ධන වේගය සෘන සියයට 3.6 දක්වා පහත වැටුනි, මේ මාසයේ විදේශ සංචිත ඩොලර් බිලියන 1.6 දක්වා පහත වැටී ඇත, ආන්ඩුව විදේශ නය පැහැර හැරීමේ අද්දර සිටී.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, විදේශ මුදල් හිඟය ලබන වසර දක්වා දිග්ගැස්සෙන බවට පසුගියදා අනතුරු ඇඟවූ නමුත්, රට තුල “සාගතයකට” ආන්ඩුව ඉඩ නොතබන බවට මහජනතාවට සහතික විය. යථාර්තය නම්, බොහෝ දෙනෙක් දැනටමත් කුසගින්නෙන් පෙලෙන ශ්‍රී ලංකාව මහා සාගින්නක අද්දරට පැමින ඇති බවයි. මෙම නරක අතට හැරෙන තත්වය, කිසිදු රටකට ගැලවීමේ ජාතික මාර්ගයක් නොමැති, ධනවාදයේ ගෝලීය අර්බුදයේ කොටසකි.

රාජපක්ෂ පාලන තන්ත‍්‍රය, මහ ව්‍යාපාරිකයන්ට සහ ආයෝජකයින්ට ලාභ පොදිගසා ගැනීම සහතික කිරීම සඳහා හැකි සෑම දෙයක්ම කරමින් සිටින අතර, සිය දැවැන්ත විදේශ නය ආපසු ගෙවන බවට ජාත්‍යන්තර මූල්‍ය සම්පාදකයන්ට සහතික වෙයි.

ඔක්තෝබර් මාසයේ දී රාජපක්ෂ ආන්ඩුව, අපාලිත උද්ධමනය මුදා හරිමින් මිල පාලනය ඉවත් කිරීම ආරම්භ කලේ ය. වාර්ෂික පදනමක තක්සේරු කරන මිල දර්ශකය නොවැම්බර් මාසයේදී සියයට 9.9 දක්වා ඉහල නැඟුන අතර එය වසර 12 කින් පසුව වාර්තාවූ ඉහලම අගයයි. මෙම ම්ලේච්ඡ සමාජ ප්‍රහාරයන්ට ප්‍රතිකුලව, ආන්ඩුව මහා ව්‍යාපාරිකයින්ට සහ විදේශීය ආයෝජකයින්ට විශාල බදු කැපීම් සහ අනෙකුත් සහන ලබා දී ඇත. සියලුම ඉතිහාසගත වාර්තා අභිබවා යමින් ලැයිස්තුගත සමාගම්, මේ වසරේ පලමු මාස නවය තුල රුපියල් බිලියන 292 ක ඒකාබද්ධ ලාභයක් හිමිකරගෙන ඇත.

ආන්ඩුවේ සමස්ත ප්‍රතිපත්තිය වන්නේ, මිනිසුන්ගේ ජීවිත සාපේක්ෂව නොවටිනා දෙයක් බවයි. ඉතා අඩුවෙන් ගනන් බලා ඇති නිල සංඛ්‍යාලේඛනවලට අනුව පවා, කෝවිඩ් -19 මගින් 15,000කට ආසන්න මරන සංඛ්‍යාවකට සහ ආසාදන 577,000කට අධික සංඛ්‍යාවකට තුඩු දී ඇති වසංගතය කෙරේ දක්වන සාපරාධී නොසැලකිලිමත් ප්‍රතිචාරය මඟින් මෙය පෙන්නුම් කෙරේ.

එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, යුරෝපය, ඕස්ට්‍රේලියාව සහ අනෙකුත් රටවල් පුරා පැතිර යන ඔමික්රොන් ප්‍රභේදය දැන් ශ්‍රී ලංකාවට ද පැමින ඇත. කොලඹ පාලනය, බෝවීමේ වේගය ඉහල අගයක් ගන්නා ප්‍රභේදය මුලුමනින්ම නොසලකා හැර ඇති අතර “වෛරසය සමඟ ජීවත් වීමේ” සිය මිනීමරු ප්‍රතිපත්ති දිගටම අනුගමනය කරයි.

කම්කරුවන්ගේ හා ගම්බද දුගීන්ගේ නැඟී එන සටන්කාමීත්වය පිලිබඳ රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රතිචාරය, කුරිරු රාජ්‍ය මර්දනයකට ශීඝ්‍රයෙන් සූදානම් වන අතරම, මෙම අරගල පීලි පැන්නවීමට වෘත්තීය සමිති යොදා ගැනීමයි.

මෙම සූදානමට රාජ්‍ය සේවකයන් මිලියනයක් පමන ආවරනය වන පරිදි වර්ජන සහ අනෙකුත් කාර්මික ක්‍රියාමාර්ග වලට එරෙහිව දැඩි දඩ සහ දිගු සිර දඬුවම් සමග එම ක්‍රියාවන් තහනම් කරන කුරිරු අත්‍යවශ්‍ය මහජන සේවා පනත පැනවීම ඇතුලත් වේ. මෙම කුරිරු නීතියට කිසිදු වෘත්තීය සමිතියක් විරුද්ධ වී නැත.

ගැඹුරුවන දේශපාලන හා ආර්ථික අර්බුදය මධ්‍යයේ මේ මස මුලදී ජනාධිපති රාජපක්ෂ හදිසියේම පාර්ලිමේන්තුව දෙසැම්බර් 12 සිට ජනවාරි 18 දක්වා කල් තැබීය. ශ්‍රී ලංකාවේ මහා ව්‍යාපාරික ඩේලිඑෆ්ටී එම තීරනයට සහයෝගය දක්වමින් කියා සිටියේ, “වත්මන් සහ නැගී එන ආර්ථික තත්ත්වය වඩා හොදින් පිලිබිඹු කරමින් වඩා හොඳ ස්ථාවරත්වයක් [සඳහා] … ප්‍රත්‍යක්ෂ පියවර ප්‍රකාශයට පත් කිරීම සඳහා” එමඟින් ජනාධිපතිට ඉඩ සැලසෙන බවයි. පාලක ප්‍රභූව විසින් ඉල්ලා සිටින “වඩා හොඳ ස්ථාවරත්වය” කම්කරු පන්තිය නිර්දය ලෙස මර්දනය කිරීම සඳහා ය.

තම ජනාධිපති ධුර කාලය පුරාවටම රාජපක්ෂ සිය පරිපාලනය මිලිටරීකරනය කිරීම වේගවත් කර ඇත. කොලඹ ආන්ඩුව, ආරක්ෂක වියදම් අධික ලෙස ඉහල නංවන අතරම වැටුප් වැඩිකිරීම්, මහජන සෞඛ්‍ය හා අධ්‍යාපනය හෝ ගොවීන් සඳහා පොහොර සහනාධාර සඳහා “මුදල් නොමැති” බව අවධාරනය කරයි.

ඒ අතරම, ආන්ඩුවට පීඩනය යෙදීම සඳහා 'පුළුල් පෙරමුනක්' අවශ්‍ය බව පවසමින් වෘත්තීය සමිති හා ව්‍යාජ වාම කන්ඩායම්, සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුන වැනි විපක්ෂයේ ධනේශ්වර පක්ෂවලට කම්කරුවන් ගැටගැසීමේ උත්සාහයන් දිගටම ගෙන යයි.

කම්කරුවන්ගේ හා දුගීන්ගේ අයිතීන් මර්දනය කිරීමේ දීර්ඝ වාර්තාවක් ඇති මෙම පක්ෂවලට, රාජපක්ෂ පාලනය සමග මූලික වෙනස්කමක් නොමැතිවාක් මෙන්ම ඔවුන් බලයේ සිටියේ නම් කරනු ඇත්තේ ද එවැනිම කප්පාදු පියවරයන් ක්‍රියාත්මක කිරීම බව නිසැකය.

කම්කරු පන්තිය දැවැන්ත අන්තරායන්ට මුහුන දී සිටින අතර දේශපාලන ප්‍රශ්න සියතට ගැනීම අවශ්‍ය ය.

පලමුව කම්කරුවන්ට තම අරගල ඉදිරියට ගෙන යාම සඳහා, වෘත්තීය සමිති වලින් ස්වාධීන සහ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ තමන්ගේම නියෝජිතයින් සහිත ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීම වහා අවශ්‍ය වේ.

දෙවනුව, කම්කරුවන් ධනේශ්වරයේ සෑම කන්ඩායමකින්ම හා ඔවුන්ගේ ව්‍යාජ වාම හෙංචයියන්ගෙන් කැඩී රාජපක්ෂ පාලනයට සහ ධනේශ්වර ලාභ පද්ධතියට එරෙහිව දේශපාලන අරගලයක් දියත් කිරීමේ ව්‍යාපාරයක් ගොඩ නැගිය යුතුය.

සියලු විදේශ නය ගෙවීම් ප්‍රතික්ෂේප කල යුතුය. සුළු පිරිසකගේ ලාභ අවශ්‍යතා සඳහා නොව බහුතරයකගේ අවශ්‍යතා ඉටු කිරීම සඳහා ආර්ථිකය ඉහල සිට පහලට ප්‍රතිසංවිධානය කල යුත්තේ ය. සියලු මහා සමාගම්, වතු හා බැංකු ජනසතු කල යුතු අතර ඒවා කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට පත් කල යුතුය.

මෙම වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා කම්කරුවන් ජාත්‍යන්තර සමාජවාදය සඳහා වන පුලුල් අරගලයේ කොටසක් ලෙස ගම්බද දුගීන් පෙලගස්වා ගෙන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කල යුතුය. එවන් සටනක් ගෙන යා හැක්කේ ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග එක්සත් වීමෙන් පමනි. ජාතික විසඳුමක් නැත. සෑම රටකම කම්කරුවන්ට එරෙහි ප්‍රහාරයේ මූලාශ්‍රය වන්නේ කෝවිඩ් -19 වසංගතය මගින් උත්සන්න කර තිබෙන ගෝලීය ධනවාදයේ අර්බුදයයි.

මෙම ජාත්‍යන්තර අරගලය සංවිධානය කිරීම සඳහා, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් දියත් කරන ලද ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානයට බැඳිය යුතුය. සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ඉදිරිදර්ශනය මෙයයි. අපගේ ක්‍රියාමාර්ගය අධ්‍යයනය කර මෙම සටනට අප හා එක්වන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

Loading