ආන්ඩුව තම පාලනය විවේචනය කරන රාජ්‍ය නිලධාරීන් දඩයම් කිරීමට සැරසේ

පසුගිය සතිය මුලදී රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් විසින් සියලුම දිස්ත්‍රික් ලේකම් වරුන් වෙත යොමුකරනු ලැබූ චක්‍රලේඛයකින්, “රජය සහ රජයේ ප්‍රතිපත්ති විවේචනය කරන රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා” බව දන්වනු ලැබ තිබේ. එමෙන්ම, තමන් යටතේ සිටින නිලධාරීන්, “සමාජ මාධ්‍ය ජාලා භාවිත කරමින් රාජ්‍ය සේවය අපකීර්තියට පත්වන ආකාරයට කටයුතු නොකරන” බවට දිස්ත්‍රික් ලේකම්වරුන් වගබලා ගත යුතු බව එම චක්‍රලේඛයෙන් නියෝග කෙරේ.

ආන්ඩුව විවේචනය කරන ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන්ට පිලිබඳ තොරතුරු වාර්තා වෙමින් පවතින බවත්, ඔවුන්ට අවශ්‍ය පියවර ගන්නා බවත් චක්‍රලේඛයේ විශේෂයෙන් සඳහන් වෙයි. එසේ වුවත් රාජපක්ෂ ආන්ඩුව සූදානම් කරන මෙම ප්‍රහාරය සමස්ත රාජ්‍ය සේවකයන්ට පමනක් සීමා නොවන අතර මෙන්ම ආන්ඩුවට එරෙහිව අරගලයට පිවිසෙමින් සිටින පුලුල් කම්කරු පන්තියේ කන්ඩායම් ඉලක්ක කරගන්නා බරපතල මර්දනයක ආරම්භක පියවරකි.

ඉහත සඳහන් නිලධාරීන් සම්බන්ධයෙන්, තොරතුරු තාක්ෂන අංශවලද සහය ලබාගනිමින් විමර්ශන ආරම්භ කර ඇති බව චක්‍රලේඛයේ සඳහන් වීමෙන්, ආන්ඩුව නිලධාරීන් සහ කම්කරුවන් ඉලක්ක කරගත් පුලුල් ඔත්තු බැලීමේ යාන්ත්‍රනයක් ක්‍රියාත්මක කර ඇති බව පැහැදිලිය.

කම්කරු පන්තිය සහ අවශේෂ පීඩිතයින් ආන්ඩුවේ මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා කලාපයන් එකහෙලාම ප්‍රතික්ෂේප කල යුතු වන අතරම එහි බරපතල ඇඟවුම් අවබෝධ කරගත යුතුය.

රාජපක්ෂ ආන්ඩුවේ සිය පරිපාලනයේ සෑම අංශයක් තුලදීම ක්‍රියාත්මක වෙමින් සිටින්නේ කොවිඩ්-19 මගින් ගැඹුරු කර ඇති ආර්ථික අර්බුදය, අනුකම්පා විරහිත ලෙස මහජනයා මතට පැටවීම සඳහාය. තමන්ගේ අයවැය මහජනයාට කිසිවක් නො දෙනු ඇති බවත්, ඒ වෙනුවට ඔවුන්ගෙන් ගනු ඇති බවත්, ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ විසින් රුදුරු කප්පාදු වලින් පිරි අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට සම්මත කරගෙන තිබේ.

ඉහල යන උද්ධමනය හා අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිඟයන් කම්කරුවන් හා දුගීන් මත දැනටමත් සුවිසල් ප්‍රහාරයක් එල්ල කර ඇත. තමන්ට රිසි පරිදි ඉහල වෙලඳපොල මිල ගනන් නියම කිරීමේ නිදහස මහ ව්‍යාපාරිකයට පවරමින් ආන්ඩුව අත්‍යවශ්‍ය භාන්ඩවල සියලු මිල පාලනයන් හකුලා ගත්තේය.

ආන්ඩුව ලබන වසරේ අයවැය පරතරය පියවීමට අවශ්‍ය රුපියල් ට්‍රිලියන 1.7ක් පමන වන මුදල් සපයා ගනු ඇත්තේ, තව තවත් දේශීය හා විදේශීය නයගැනීම් හා වැඩ කරන ජනයා මත පටවනු ලබන බදු ඉහල දැමීම් හරහා ය. ඊට අමතරව රාජ්‍ය අංශයේ වියදම් බරපතල ලෙස කප්පාදු කර දැමීම ආන්ඩුවේ ප්‍රධානතම ඉලක්කයකි. ඒ බව හෙලි කරමින් පසුගියදා පැවති අයවැය සමාලෝචනයකදී බැසිල් රාජපක්ෂ විවෘතවම මාධ්‍යට ප්‍රකාශ කලේ “රාජ්‍ය සේවය ආන්ඩුවට දැරිය නොහැකි බරක්” බවයි.

ආන්ඩුව රාජ්‍ය අංශය තුල වියදම් කප්පාදුව ඉදිරියට ගෙන යමින් පවතින අනෙක් රූපාකාරය වනුයේ ආන්ඩුවට අයත් ව්‍යවසායන් පුලුල් ලෙස පෞද්ගලීකරනය කිරීමයි. ඒ යටතේ වරාය, ඛනිජ තෙල් සහ බලශක්ති ඇතුලු ක්ෂේත්‍ර ගනනාවක දැනටමත් ක්‍රියාත්මක විදෙස් ආයෝජකයන් වෙත කෙරෙන විකුනාදැමීම් වේගවත් කෙරෙනු ඇත.

මේ සියලු ප්‍රහාරයන් කම්කරු පන්තියේ පුලුල් කොටස් හා ගම්බද දුගීන්ගේ අරගල තවත් තීව්‍ර කර ඇත. ගෙවුනු මාස කිහිපය තුල, තම ජීවන හා සමාජ කොන්දේසිවලට ආන්ඩුව එල්ල කරන ප්‍රහාරයන්ට එරෙහිව ඔවුන් පෙලපාලි, විරෝධතා හා වැඩ වර්ජන මගින් ප්‍රතිරෝධය දක්වා තිබේ. සෞඛ්‍ය, අධ්‍යාපන, දුම්රිය හා රාජ්‍ය පරිපාලන අංශවල සේවකයන් සහ වතු කම්කරුවන් මෙම අරගලවල නියැලී ඇත.

විදුලිබල, ඛනිජතෙල් හා වරාය කම්කරුවෝ ද මේ මස මුල දී ජාතික පරිමාන විරෝධතා දක්වමින්, ආන්ඩුවේ වානිජකරන හා පුද්ගලීකරන න්‍යාය පත්‍රයට ප්‍රතිරෝධය දැක්වූ හ. වගාව සඳහා අවශ්‍ය පොහොර හිඟයෙන් කෝපයට පත් ගොවියෝ අඛන්ඩ ව විරෝධය පල කරමින් සිටිති.

මෙම විරෝධතා තීව්‍ර කිරීමට හේතුකාරක වන පරිදි ආන්ඩුවට එරෙහි විවේචන ඉදිරිපත් කරන්නන්ට එරෙහිව පුලුල් මට්ටමේ දඩයමක් දියත් කිරීම ආන්ඩුවේ ඉලක්කයයි. ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාව, ආයතනන සංග්‍රහය ආදියෙහි අඩංගු ධනපති නීති රෙගුලාසි වල වඩාත්ම ප්‍රතිගාමී අංගයන් සියල්ලක්ම ඉස්මතු කර ගනිමින් තම මර්දන යන්ත්‍රය ශක්තිමත් කිරීමටත්, විශේෂයෙන්ම ප්‍රකාශනයට ඇති නිදහස අවුරමින් සමාජ මාධ්‍ය වාරනය කෙරෙන නව නීති හඳුන්වා දීමටත් ආන්ඩුව සූදානම් වෙයි. පරිපාලන සේවා අමාත්‍යංශ ලේකම්ගේ උක්ත ලිපියේ උපුටා දක්වන පරිදි ආයතන සංග්‍රහයේ 47වන පරිච්ඡේදයට අනුව රාජ්‍ය නිලධාරියෙකු රජය හා රාජ්‍ය ප්‍රතිපත්ති විවේචනය කිරීමට බරපතල දඬුවම් ලබිය හැකි වරදකි.

පසුගිය සඳුඳා ජනධිපති රාජපක්ෂ පොහොර හා කෘෂි රසායන භාවිතය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති නිල නිවසේදී රාජ්‍ය නිලධාරින් සමඟ පැවැත්වූ හමුවකදී ආන්ඩුවේ ප්‍රතිපත්ති විවේචනය කරන නිලධාරීන්ට එරෙහිව කඩාපැන්නේ, “කෘෂිකර්ම ලේකම් වුනත්, පොහොර අධ්‍යක්ෂක වුනත් රජයේ ප්‍රතිපත්ති විවේචනය කරනව නම් ඒ තනතුරු වලින් අයින් වෙල යන්න ඕනෙ” යැයි කියමිනි. මෙවැනි නියෝග, මිලිටරිය මත පාදක ජනාධිපති ආඥාදායකත්වයක් කරා රාජපක්ෂ යන වේගවත් ගමන සමග බැඳී පවතී.

පසුගිය මැයි මාසයේදීද වසංගතය පිලිබඳ සත්‍ය කරුනු මහජනතාවට හෙලිකරන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන් ඇතුලු සේවකයන්ට එරෙහිවද රාජපක්ෂ මෙවැනිම වාරනයක් පැනවීය. මෙම වාරනයේ කොටසක් ලෙස, මැයි 10 දා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් මේජර් ජනරාල් එස්.එච්. මුනසිංහ ලවා, සෞඛ්‍ය සේවකයන්ට “ජන මාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කිරීම“ වලකා ලන චක්‍රලේඛයක් නිකුත් කරවීමට රාජපක්ෂ පියවර ගත්තේය.

මැයි 21 දා පැවති කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකා රැස්වීමක දී “ජනයා භීතියට පත් කරන ප්‍රකාශ මාධ්‍යයට නිකුත් නො කර කොවිඩ් තත්වය සම්බන්ධ යම් ගැටලුවක් තිබෙනවා නම් ඍජුව මට දැනුම් දෙන්නැයි” රාජපක්ෂ පැවසුවේය. “ජනයා භීතියට පත්කරන ප්‍රකාශ නිකුත් නොකරන්න” යැයි රාජපක්ෂ සෞඛ්‍ය සේවකයන්ට නියෝග කරද්දී එහි අරමුන වූයේ මරන සහ ආසාදන පිලිබඳ සැබෑ සංඛ්‍යාලේඛන, රෝහල් ධාරිතාව පිලිබඳ යථා තත්වය ආදිය මහජනතාවගෙන් වසන් කිරීමයි.

සෞඛ්‍ය අංශයට මෙම වාරනය පැනවීමට දින කිහිපයකට පෙර වනාන්තර විනාශය සම්බන්ධව තම මුහුනු පොතේ පලකල සටහනක් හේතුවෙන්, “අසත්‍ය තොරතුරු” පලකිරීමේ චෝදනාව මත කොත්මලේ සහකාර ඉඩම් කොමසාරිස් පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය. ඊට පෙරාතුව අවස්ථා කිහිපයකදිම “අන්තර්ජාලය ඔස්සේ අසත්‍ය හෝ ද්වේශ සහගත ප්‍රකාශ පලකරන්නන්ට එරෙහි නීතිමය පියවර ගැනීමේ” නාමයෙන් විශ්ව විද්‍යාල ශිෂයන් ඇතුලු සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ජනාධිපති රාජපක්ෂ මෙවැනි මර්දන නීති එක මත එක පනවන්නේ තමන් අතට දැනටමත් දැවැන්ත මර්දන බලතල ගොනුකරදී තිබෙන හදිසි නීතිය හා රාජ්‍ය සේවකයන් බහුතරයකට වැඩවර්ජන තහනම් කෙරුනු විෂඝෝර 'අත්‍යවශ්‍ය සේවා' නියෝග වලට අතිරේකවයි. කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායේ ප්‍රධානී තනතුර යුද හමුදාපතිවරයාට ලබා දීම ඇතුලුව, තීරනාත්මක අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තු ආදී ආයතනවල මුල් පුටු රාජපක්ෂ විසින් හමුදා නිලධාරීන්ගෙන් පුරවනු ලැබ ඇත්තේ තම ආඥාදායක පාලනය වෙත යාමේදී මිලිටරිය එහි මුදුනත තබා ගැනීම සඳහාය.

ගෝලීය වසංගතය මගින් ගැඹුරු කෙරුනු ලෝක ධනේශ්වර අර්බූදයේ බර කම්කරු-පීඩිත මහජනතාව මත පැටවීම සහ වසංගතය සම්බන්ධයෙන් තමා ගෙනයන සාපරාධී පිලිවෙතට එරෙහිව වැඩෙන මහජන විරෝධය, තම ආන්ඩුවට පමනක් නොව ධනපති ක්‍රමයටම අභියෝග කෙරෙන දැවැන්ත අරගල ලෙස පුපුරා යතැයි ගනන් බලන රාජපක්ෂ, එම අරගල ලෙයින් මැඩීම සඳහා සියලු පියවර ගනිමින් සිටී.

රාජපක්ෂ පාලන තන්ත්‍රයේ මෙම ප්‍රතිගාමිත්වයට එරෙහිව සාමූහික ප්‍රහාරයක් දියත් කිරීම සඳහා, වෘත්තීය සමිති වලින් ස්වාධීනවූ ක්‍රියාකාරී කමිටු සෑම වැඩපොලකම පිහිටුවා ගනිමින් සහ එම කමිටුවල සන්ධානයක් ගොඩනගමින් සංවිධානය වීම කම්කරු පන්තියේ ප්‍රමුඛ කර්තව්‍යය බවට පත්ව තිබේ.

Loading