ආන්ඩුව ඉන්ධන මිල ඉහල දමමින් කම්කරු-පීඩිත මහජනතාවට එරෙහි ප්‍රහාරය උග්‍ර කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව, වසංගතයෙන් ගැඹුරුවන ධනේශ්වර ආර්ථික අර්බූදයේ බර මහජනතාව මත පැටවීමේ වැඩපිලිවෙල ඉදිරියටම ගෙනයමින් ඉන්ධන මිල යලි වතාවක් ඉහල දමා සමාජ ව්‍යසනයකට කොන්දේසි සකසා ඇත.

රාජ්‍ය ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත් කල නිවේදනයට අනුව දෙසැම්බර් 21 දින සිට පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල පිලිවෙලින්, රුපියල් 23කින්, 15 කින් සහ 10කින් ඉහල දමා ඇත. නව මිල ගනන් අනුව, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 203 ක්ද, සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 159 ක්ද, භූමිතෙල් ලීටරයක් රුපියල් 87 ක් ද වේ.

මෙම නව ඉහල දැමීම සිදුකර ඇත්තේ පසුගිය ජූනි මාසයේ පෙට්‍රල් ලීටරයක මිල සියයට 14.5කින් ද, ඩීසල් සහ භූමිතෙල් මිල පිලිවෙලින් සියයට 6කින් සහ 10කින් ඉහල දැමීමෙන් යන්තම් මාස හයකට පසුවය. ඉන්ධන මිල ඉහල දැමීම, සියලු අත්‍යවශ්‍ය භාන්ඩයන්ගේ සහ සේවාවන්ගේ මිල ඉහල නංවා මහජනයා දරිද්‍රතාවයට ඇද වැටීම වඩාත් වේගවත් කරනු ඇත.

දැනටමත් වාර්තාවී ඇත්තේ ඉන්ධන මිල ඉහල යාමත් සමඟ රුපියල් 14ක් වන අවම බස් ගාස්තුව රුපියල් 25ක් දක්වා ඉහළ දැමිය යුතු බවට පෞද්ගලික බස් සමාගම් යෝජනා කර ඇති බවයි. එමෙන්ම ලබන වසරේ ජනවාරි මස සිට පාසල් බස්රථ ගාස්තුව ද ඉහල දැමීමට සිදුවන බව සමස්ත ලංකා පාසල් ලමුන් ප්‍රවාහන සංගමයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා පවසා ඇත.

පාන් ඇතුළු බේකරි නිෂ්පාදන සඳහා වන පාලන මිලෙන් ඉවත් වන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන ප්‍රකාශ කර ඇති අතර, ත්‍රිරෝද රථ ගාස්තු ඉහල දැමීමට ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමය තීරනය කර තිබේ. එහි සභාපති ලලිත් ධර්මසේන සඳහන් කර ඇත්තේ, පලමු කිලෝමීටරය රුපියල් 60 සිට 80ක උපරිමයකටත් දෙවන කිලෝමීටරයේ සිට රුපියල් 45ක් දක්වාත් ගාස්තු වැඩිකිරීමට තීරනය කල බවය.

ආන්ඩුව මෙම මිල ඉහල දැමීම සිදුකර ඇත්තේ, නොවැම්බර් මාසයේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) මගින් මනිනු ලබන සමස්ත උද්ධමනය, දශකයකට වැඩි කාලයක් තුල පලමු වරට ඉලක්කම් දෙකක මට්ටමට ගමන් කර ඇති තත්වයකයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ (DCS) වාර්තාවන්ට අනුව නොවැම්බර් මාසයේ උද්ධමනය, ඔක්තෝබර් මාසයේ අගය වන සියයට 8.3 සිට 11.1 දක්වා ඉහල යාමට ප්‍රධාන වශයෙන් ආහාර සහ ආහාර නොවන ඛාන්ඩ දෙකෙහිම පවතින ඉහල මිල මට්ටම් හේතු වී ඇත.

ලංකාව සතු විදේශ මුල්‍ය සංචිතය සිඳීගොස් ඇති තතු තුල, ඉන්ධන ආයෝජනය සඳහා වැය කෙරෙන විනිමය හැකිතාක් පහත හෙලනුවස් ඉන්ධන පරිභෝජනය අවම කිරීම, ඒවායේ මිල යලියලිත් වැඩි කිරීමේ ප්‍රධාන අරමුනකි. භූමිතෙල් මත සුවිසල් ව යැපුනු දුගී ජනයා, විශේෂයෙන්ම වතුකරයේ කම්කරු ජනයා, වඩවඩාත් දර භාවිතයට හැරෙමින් සිටිති.

දුගී ධීවරයන්ට මෙම ඉන්ධන මිල වැඩි කිරීම මගින් එල්ල කෙරී ඇත්තේ මරු පහරකි. කුඩා යාන්ත්‍රික බෝට්ටු මගින් තම ජීවිකාව කරගත් දහස් සංඛ්‍යාත ධීවරයන්ට, යලි හබල් ඔරු වලට යොමුවීමට හෝ ධීවර රැකියාව අත්හැර දැමීමට බලකෙරී ඇත.

විදේශ සංචිත හිඳී යාමට ප්‍රතිචාරී වශයෙන් ආනයන සීමා කිරීම හා පාරිභෝගික භාන්ඩ මත වක්‍ර බදු පැනවීම මගින් අත්‍යවශ්‍ය භාන්ඩ මිල පිම්මේ ඉහල නංවා කම්කරු පීඩිත මහජනයා මත ඉමහත් බරක් ආන්ඩුව මේ වන විටත් පටවා ඇත. ගැඹුරුවන මුල්‍ය අර්බූදය හමුවේ ආන්ඩුවේ එකම විකල්පය තවදුරටත් රුදුරු කප්පාදු පියවර ක්‍රියාවට නගමින් අර්බූදයේ බර කම්කරු-පීඩිත මහජනතාව මත රුදුරු ලෙස කඩාපාත් කිරීමයි.

මේ පසුබිම තුල වැඩි වැටුප් ඉල්ලා ලකාවේ විවිධ ක්ෂේත්‍රයන්හි කම්කරුවෝ සටන් වලට අවතීර්න වී සිටිති. රුපියල් 10,000 කින් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා දෙසැම්බර් 08 දා ප්‍රාදේශීය සභා, පලාත් සභා, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ආයතනයන්හි, සේවකයන් ලක්ෂ හයක් පමන අසනීප නිවාඩු වාර්තා කර සංකේත වර්ජනයක නිරත වූ අතර තැපැල් සේවකයෝද සටනට අවතීර්න වූහ.

මීට අමතරව, සෞඛ්‍යය සේවකයන් පසුගිය වසර පුරා අරගල මාලාවකින් ද, පාසල් ගුරුවරුන් මාස තුනක් පුරා අඛන්ඩ වර්ජනයකින් ද නැගී සිටියේ ශිෂ්ඨ සම්පන්න ජීවිතයක් ගත කිරීමට සරිලන වැටුපක් ඉල්ලා සිටිමිනි. අධික වැඩබර පැටවීමට සහ වැටුප් කප්පාදුවට එරෙහිව වතු කම්කරුවන් යලියලිත් සටන් වදිමින් සිටින අතර, වැඩෙන ආර්ථික අර්බුදය හමුවේ වේගවත් කර ඇති පෞද්ගලීකරනයට එරෙහිව වරාය හා විදුලිබල මන්ඩල කම්කරුවෝ අඛන්ඩව අරගලයෙහි යෙදී සිටිති.

ආනයන සීමා කිරීමේ වැඩපිලිවෙලේ කොටසක් ලෙස රාජපක්ෂ ආන්ඩුව ක්‍රියාවට නැංවූ පොහොර ඇතුලු කෘෂි රසායනික තහනම හේතුවෙන් තම වගා කටයුතු කිසිසේත් කරගත නොහැකි තත්වයට ඇද වැටුනු දසදහස් සංඛ්‍යාත ගොවීන්, පොහොර ඉල්ලා ගෙනගිය උද්ඝෝෂන මාලාවෙන් රටම ඇවුලුනු අතර, එය තවදුරටත් ඉදිරියට ඇදී යමින් පවතී.

මෙවර වී අස්වැන්න, පසුගිය කන්නයන්ට සාපේක්ෂව සියයට 60 ක් දක්වා පහල බසින බවට විශේෂඥයන් විසින් ප්‍රක්ෂේපනය කොට ඇති අතර, එලවලු නිෂ්පාදනය දැවැන්ත පරිමානව පහත වැටී ඇත. දඹුල්ල සහ වැලිමඩ ආර්ථික මධ්‍යස්ථානයන්හි කලමනාකරුවන් මාධ්‍යයට කියා සිටියේ තම ආයතනයන්ට දෛනිකව සැපයෙන එලවලු ප්‍රමානය අඩකටත් වඩා පහත වැටී ඇති බවයි. ආන්ඩුවට එරෙහි ගොවියන්ගේ මැසිවිලි සහ තම පාලු වූ වගාවන් උගුල්ලා දමමින් කෝපය ප්‍රකාශ කරන දර්ශන වලින් සමන්විත රූපවාහිනී වාර්තා දෛනිකව විකාශය වෙමින් පවතී.

දුගීන්ට කිසිසේත් දැරිය නොහැකි මට්ටම් වලට එලවලු මිල ද නැගී ඇති අතර, සිය ගනන් ජනයා සලාක ක්‍රමයට සහල් ලබා ගැනීම සඳහා පෝලිම්වල රැඳී සිටිති. ර‌ට වේගයෙන් ඇදී යමින් පවතින්නේ සාගතයක් දෙසටයි.

එලැඹෙන ආහාර අර්බුදයක් ගැන අනතුරු ඇඟවූ කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ, එම ඇඟවීමෙන් දිනකට පසු, එනම් දෙසැම්බර් 22 දින, සේවයෙන් පහ කිරීමට ආන්ඩුව වහා කටයුතු කලේය. ජයසිංහ මෙසේ පවසා ඇත: “වර්තමානයේ අප මුහුන දෙන ආර්ථික හා සමාජීය ප්‍රශ්න නිසා ආහාර හිඟයක් ඇති වීමට ඉඩ තිබෙනවා. ආහාර හිඟයට මුහුන දීමට ජනතාව කැපකිරීම් කිරීමට සූදානම් විය යුතුයි.”

ධනපති අර්බුදයේ බර කම්කරු-පීඩිත මහජනතාව දැරියයුතු බවට ජයසිංහ ප්‍රකාශ කල ද, ආන්ඩුවේ අමාත්‍යංශයක ලේකම්වරයෙකු විසින්ම සාගතයක් ගැන කෙරෙන අනතුරු ඇඟවීමක් මගින් පවා, ආන්ඩුවට එරෙහිව වැඩී ඇති මහජන කෝපය අවුලුවා සමාජ පිපිරීමක් නිර්මානය වෙතැයි රාජපක්ෂ ආන්ඩුව ගනන් බලා තිබේ.

ධනේශ්වර අර්බුදයෙන් පැන නංවන රුදුරු ප්‍රහාර හමුවේ, කම්කරුවන්ගේ හා ගම්බද දුගීන්ගේ නැඟී එන සටන්කාමීත්වයට, ලොවපුරා අනෙකුත් ආන්ඩුවල මෙන්ම රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රතිචාරය වන්නේ, කුරිරු රාජ්‍ය මර්දනයකට සරිලන පරිදි ආඥාදායක පාලනයකට මාරුවීමයි. මිලිටරිය මත පාදක ජනාධිපති ආඥාදායකත්වයක් වෙතට රාජපක්ෂ දැනටමත් පියවර ගනනාවක්ම තබා ඇත. තම ජනාධිපති ධුර කාලය පුරා සිය පරිපාලනය මිලිටරීකරනය කිරීම වේගවත් කර ඇති ඔහු සෞඛ්‍යය, අධ්‍යාපනය සහ අනෙකුත් සමාජ ශුභසාධන කපා දමමින්, ආරක්ෂක වියදම් දැවැන්ත පරිමානව ඉහල නංවා ඇත.

දෙසැම්බර් 26 දා සමාජවාදී සමානතා පක්ෂය (සසප) නිකුත් කල ප්‍රකාශයේ මෙසේ සඳහන් කෙරුනි: 'මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, විදේශ මුදල් හිඟය ලබන වසර දක්වා දිග්ගැස්සෙන බවට පසුගියදා අනතුරු ඇඟවූ නමුත්, රට තුල “සාගතයකට” ආන්ඩුව ඉඩ නොතබන බවට මහජනතාවට සහතික විය. යතාර්ථය නම්, බොහෝ දෙනෙක් දැනටමත් කුසගින්නෙන් පෙලෙන ශ්‍රී ලංකාව මහා සාගින්නක අද්දරට පැමින ඇති බවයි. මෙම නරක අතට හැරෙන තත්වය, කිසිදු රටකට ගැලවීමේ ජාතික මාර්ගයක් නොමැති, ධනවාදයේ ගෝලීය අර්බුදයේ කොටසකි.'

ඉන්ධන මිල ඉහල දැමීම ඇතුලු ගෝලීය ධනපති ප්‍රහාරයන් පරාජය කිරීමේ සටන රාජපක්ෂ පාලනයට සහ ධනේශ්වර ලාභ පද්ධතියට එරෙහි දේශපාලන අරගලයකි. 'ඉහල ගිය තෙල් මිල පහත හෙලා ජනතාවට කඩිනම් සහන සලසන්න' යන තේමාව යටතේ ජනතා විමුක්ති පෙරමුන ආරම්භ කර ඇති උද්ඝෝෂනය එවන් අරගලයකට මුලුමනින්ම එරෙහිව පිහිටා සිටී.

කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන අරගලයක් සඳහා කම්කරුවන් ධනේශ්වරයේ සෑම කන්ඩායමකින්ම හා ඔවුන්ගේ ව්‍යාජ වාම හෙංචයියන්ගෙන් කැඩී වෙන්වීම අත්‍යවශ්‍ය ය. ඉහත සසප ප්‍රකාශය පෙන්වා දුන් පරිදි, කම්කරුවන් එම අරගලය තුල, 'ජාත්‍යන්තර සමාජවාදය සඳහා වන පුලුල් අරගලයේ කොටසක් ලෙස ගම්බද දුගීන් පෙලගස්වා ගෙන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කල යුතුය. එවන් සටනක් ගෙන යා හැක්කේ ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග එක්සත් වීමෙන් පමනි.'

Loading