වසංගතය නොතකා විශ්වවිද්‍යාල විවෘත කිරීමට අවිශිබම ගෙනයන උද්ඝෝෂනය ප්‍රතික්ෂේප කරනු! සිසු-ගුරු ජීවිත හා අධ්‍යාපනය රැක ගැනීමේ වැඩ පිලිවෙලකට සටන් කරමු!

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) විශ්ව විද්‍යාල වහා ම විවෘත කල යුතු බවට උද්ඝෝෂනයක් ඉස්මත්තට ගෙන ඇත. ඒ යටතේ විශ්ව විද්‍යාල මට්ටමින් උද්ඝෝෂන ද අවිශිබම ෆේස්බුක් පිටුවේ ශිෂ්‍ය ක්‍රියාකාරීකයන්ගේ වීඩියෝ ප්‍රකාශ පල කිරීම ද සංවිධානය කරනු ලැබ ඇත.

ජනවාරි 11 වැනි දා ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා විරෝධතා පා ගමනක් මෙහෙයවීමෙන් පසු අවිශිබම කැඳවුම්කරු වසන්ත මුදලිගේ මාධ්‍යයට සඳහන් කලේ ප්‍රතිපාදන කොමිසමේ සභාපති සිසුන් සියයට 50ක් කැඳවමින් ආයතන විවෘත කලත් සමස්තයක් ලෙස 10,000 වත් ඒවාට ගෙන්වා නැතිබවයි.“වහා ම විශ්වවිද්‍යාල විවෘත කිරීමට අදාල ව රටේ මහ එක්කෙනා මැදිහත් වෙන්නේ නැති නම් විවෘත කරන දිනයක් දෙන තුරු මේ ගුබ්බෑයම් වට කර ගෙන ඉන්න අපි සූදානම්,” මුදලිගේ තර්ජනාත්මකව පැවසුවේය.

වසංගතය පැතිරීමත් සමග විශ්වවිද්‍යාල වසා දැමීම නිසා සිය අධ්‍යාපනය කඩාකප්පල් වීම ගැන සිසුන් අතර මහත් උත්සුකයක් ඇත. සිසුන් අතර වැඩෙන මෙම කනස්සල්ල ගසා කා අධ්‍යාපන ආයතන විවෘත කිරීමට අවිශිබම ගෙනයන උද්ඝෝෂනය මගින් සිසුන් හා ආචාර්යවරුන් වසංගතයේ මර උගුලක් තුලට තල්ලු කිරීමට තැත් කරන බවට සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ හා තරුනයෝ (සසජාතාශි) සංවිධානය චෝදනා කරයි.

කිසි දිනෙක කෝවිඩ්-19 වසංගතයේ මිනීමරු ප්‍රතිවිපාක බැරෑරුම්ව ගනන් නොගත් අවිශිබම නායකයන් දැන් මේ උද්ඝෝෂනය ගෙන යන්නේ එහි තවත් ප්‍රභේදයක් වන ඔමික්‍රෝන් ලොව පුරා පැතිරෙමින් ලංකාව තුල ද එහි බියකරු රැල්ලක අනතුර මතුව තිබියදීය.

ඔමික්‍රෝන් සමග පැතිරෙන නව ආසාදන ගෝලීයව මිලියන දෙකත් තුනත් අතර සංඛ්‍යාවක් දෛනිකව හඳුනා ගනු ලැබේ. එක්සත් ජනපදය, ප්‍රන්සය, එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල් ගනනාවක ශිෂ්‍යයෝ හා ආචාර්යවරු පාසල් හා අනෙකුත් අධ්‍යාපන ආයතන වසා දමන ලෙස බලකරමින් වර්ජන හා විරෝධතා දියත් කරති. නව ව්‍යසනකාරී තත්වය පැනනැගී ඇත්තේ මේවන විටත් සාර්ස්-කොව්-2 වසංගතයෙන් ලොව පුරා මිලියන 5.6 ක් මරනයට පත්ව තිබියදීය.

ලංකාව තුල, පාසල් හා විශ්ව විද්‍යාල සිසුන් දුසිම් ගනනක් මේ වනවිට ඔමික්‍රෝන් රැල්ලට ගොදුරුව සිටිති. කොලඹ රිජ්වේ ආර්යා ලමා රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිත ලමුන් ගනන වේගයෙන් ඉහල යමින් පවතින බව විශේෂඥ වෛද්‍යවරුන් නිවේදනය කර ඇත.

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සිසුන් 31ක් රෝගයට ගොදුරුවී ඇත. අග්නිදිග විශ්ව විද්‍යාලයේ නේවාසික සිසුන් 25 දෙනෙකු ආසාදිතයන් බව තහවුරු වී ඇති අතර තවත් සිය දෙනෙකු පමන රෝග ලක්ෂන පෙන්නුම් කරති. මීරිගම අධ්‍යාපන පීඨයේ සිසුවියෝ 50ක් වෛරසයට ගොදුරුව ඇත. මෙවර පහේ ශිෂ්‍යත්ව විභාගයට සිසුන් 238ක් සහභාගී වූයේ රෝගී තත්වයෙනි.

ලැයිස්තුව දීර්ඝ ය. රටපුරා මහජනතාව සමස්තයක් ලෙස අනතුරට මුහුන දී සිටිති. දැනටමත් වසංගතය මතුවූ තැන පටන් ලංකාවේ 15,000 කට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇත. අවිශිබම නායකයෝ සිය යෝජනාව කරන විට කොරෝනා වෛරසයේ මේ බිහිසුනුකම හා මිනිස් ජීවිත බිලිගැනීම ගනන් නොගනිති.

අවීශිබම නායකයන් අනුගමනය කරන්නේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව 'වසංගතය සමග ජීවත්වීම' නව සාමාන්‍යය ලෙස පිලිගන්නා ලෙස මහජනතාවට බල කරමින් ගෙනයන ප්‍රතිපත්තියයි. මෙය අධිරාජ්‍යවාදී රටවල පටන් සකල සියලු ධනපති ආන්ඩුවල පිලිවෙතයි. එය තීන්දුවී ඇත්තේ ලාභය උපයා ගැනීම මිනිස් ජීවිතවලට ඉහලින් තැබීමේ ධනපති පන්තියේ උවමනාව මත ය.

අවිශිබම අවධාරනය කරන්නේ පාසල්, පෙර පාසල්, උපකාරක පන්ති ආදී සියල්ලක්ම 'විවෘත කිරීමට හැකියාව පවතී නම් විශ්වවිද්‍යාල පමනක් විවෘත කිරීමට කිසිදු බාධාවක්' නැති බවයි. 'විශ්වවිද්‍යාල සහ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් විධිමත් ප්‍රායෝගික යෝජනාවලියක් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමන්ඩල විසින් සකස් කර ආන්ඩුවට භාරදුන් අතර තවමත් ඊට අවධානය යොමු වී ඇති බවක් පෙනෙන්නට නැත' යි එය චෝදනා කරයි.

පාසල් විවෘත කොට විශ්වවිද්‍යාල වසා තැබීම 'අධ්‍යාපනය අර්බුදයට යැවීමේ [ආන්ඩුවේ] වැඩපිලිවෙලහිම දිගුවක්' යයි සඳහන් කල අවිශිබම 'සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරමින්' විශ්වවිද්‍යාල වහා විවෘත කිරීමට බලකර සිටියේය.

කල යුතුව තිබුනේ, පාසල් විවෘත කිරීමේ අන්තරාය පෙන්වා දෙමින් ආන්ඩුවේ පිලිවෙතෙහි භයානකකම හෙලිදරවු කිරීමට සිසුන් මෙහෙයවීමයි. අවිශිබම එය ප්‍රතික්ෂේප කලේය.

වසංගත තත්වය තුල විශ්ව විද්‍යාල වසා තැබීමෙන් සිසුන්ගේ අධ්‍යාපනය 'කඩාකප්පල්වීම ' ගැන අවිශිබම නායකයන් දක්වන උත්සුකය ව්‍යාජ ය. එය, ධනපති පන්තියේ පිලිවෙත් නිසා ලොව අලලා ගත්, තුරන් කල යුතු, භයංකර වසංගතයක් ලෙස කෝවිඩ්-19 නොදකී. එවන් බියකරු තත්වයක් යටතේ, ශක්තිමත් මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමයක් ලෙස අධ්‍යාපනය පවත්වා ගෙනයාමේ විකල්පයකට සටන් කිරීමද ප්‍රතික්ෂේප කරයි.

'නව සාමාන්‍යය' අනුව ආර්ථිකය විවෘත කිරීමේ දී ඉතිරිව තිබූ සීමාවන් ද අයින් කරමින් ක්‍රියාකිරීමට පසුගිය ඔක්තෝබරයේ උපදෙස් දුන් ජනාධිපති රාජපක්ෂ ආන්ඩුව පාසැල් යලි විවෘත කිරීමට පියවර ගත්තේ, ගුරු අරගලය පාවාදෙමින් ඊට එකඟ වූ වෘත්තීය සමිතිවල අධාරය ඇතිවය.

වසංගත තත්වය තුල විසඳුම වන්නේ අනාරක්ෂිත තත්ත්වයක් යටතේ විශ්ව විද්‍යාල විවෘත කර ආසාදනයට ගොදුරු වී ජීවිත පරදුවට තැබීම නොවේ. ආසාදිත ව සුව වුව ද ගෙවීමට සිදු වන වන්දිය සුලුපටු නොවේ. ඊට ගොදුරු වීමෙන් පසු ඇති විය හැකි 'දිගු කාලීන කෝවිඩ්' තත්ත්වයන් කායික දුබලතාවන් ජනනය කරන අතර මානසික ශක්තීන් ද දුර්වල කරයි.

අවිශිබම වැඩපිලිවෙල සහ විද්‍යාත්මක වැඩපිලිවෙල

පසුගිය වසරේ ජූනි මාසයේ දී, අවිශිබම “වසංගත තත්ත්වය මත අඩපන වී ඇති පාසල් සහ සරසවි අධ්‍යාපනය විධිමත් කිරීම සඳහා කඩිනම් යෝජනාවලිය” යන මැයෙන් ප්‍රකාශයක් නිතුත් කලේ ය. එහි තේමාව වූයේ “වසංගතය සමග වසර කීපයක් ගත කිරීමට සිදු වන බව සෞඛ්‍ය අංශ අවධාරනය කර ඇති බැවින්” සෞඛ්‍යාරක්ෂන පියවර තහවුරු කරමින් කායික ව පන්ති කාමර විවෘත කල යුතු බවට ආන්ඩුවට අවධාරනය කිරීමයි.

ඔන්ලයින් අධ්‍යාපනය සඳහා ඇති දුෂ්කරතා වෙනස් කල නොහැකි දෙයක් සේ හුවා දක්වමින් එම අධ්‍යාපන ක්‍රමය ප්‍රතික්ෂේප කර දැමීමට තර්ක පිට තර්ක ඇඹරීමට ලියවිල්ල වෙන් ව තිබුනි.

“වසංගතය සමග වසර කීපයක් ගත කිරීමට සිදු ව ඇත්තේ” සෞඛ්‍ය විද්‍යාත්මක අර්බුදයක් නිසා නොවේ. ධනපති ආන්ඩුවල නිශ්චිත පන්ති ප්‍රතිපත්තියක් නිසා ය. “සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින්” අධ්‍යාපන ආයතන විවෘත කල යුතු බවට කෙරෙන සැඳහුම් තම සාපරාධී ඉල්ලීමේ ධනපති ගැතිභාවය වසන් කර ගැනීමට යොදා ගැනෙන කඩතුරාවන් ය. “සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින්” වසංගතයක් මැද මහජනයා ගැවසෙන තැන් විවෘත කල නොහැකි ය. මෙය වසංගතවේදයට මුලුමනින් ම පටහැනි අවිද්‍යාත්මක ප්‍රකාශයකි.

“සෞඛ්‍යරක්ෂාව තහවුරු කරමින්” සාමාන්‍ය ජීවිතය ගෙන යා හැකි මාර්ගයක් සම්බන්ධයෙන් චීනය උදාහරනයක් සම්පාදනය කර ඇති ආකාරය, කෝවිඩ්-19 වසංගතයෙහි පන්ති මූලයන් විභාග කරන ජාත්‍යන්තර කමිටුවේ ගෝලීය කම්කරු පරික්ෂනයට විද්‍යාඥයෙකු ඉදිරිපත් කල ප්‍රකාශයකින් පැහැදිලි කරනු ලැබුනි. එහි දී මිලියන සංඛ්‍යාත ජනකායන් සතියකට අඩු කාලයක් තුල දී මුලුමනින් ම පරීක්ෂාවන්ට ලක් කිරීම, නවීන තොරතුරු තාක්ෂනික උපක්‍රම යොදා ගනිමින් ආශ්‍රිතයන් හඳුනා ගෙන නිරෝධායනය කිරීම, අවශ්‍ය විට ජන ජීවිතයට අත්‍යවශ්‍ය ආයතන හැර ලොක්ඩවුන් පැනවීම ආදී මහජන සෞඛ්‍ය පියවර ගැනීම ප්‍රධාන තැනක් ගනී.

කම්කරු පන්තියෙන් අතිශය රුදුරු ආකාරයෙන් අතිරික්ත වටිනාකම් ඉසුඹුවකින් තොර ව උපුටා ගැනීම හා ලාභ පද්ධතිය රැක ගැනීම තම මූලික කර්තව්‍යය කර ගත් ධනපති පාලක පන්තීන් මෙ බඳු මහජන සෞඛ්‍ය පියවර ක්‍රියාවට දැමීමට සූදානම් නැත.

මිනීමරු “රංචු ප්‍රතිශක්තිකරන' පිලිවෙත යටතේ ක්‍රියා කරන ඔවුහු --ඇමරිකාවේ ජෝ බයිඩන්ගේ පටන් ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි හා ලංකාවේ රාජපක්ෂ දක්වා--කෝවිඩ්-19 ප්‍රතිශක්තිරන එන්නත පමනක් වසංගතය පාලනය කිරීමට ප්‍රමානවත් බව පෙන්වා දෙති. ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද ධනපති පන්ති අවශ්‍යතා උදෙසා “එන්නත පමනක් එක ම විසඳුම” යයි පවසමින් මහජනතාව ආසාදනය කිරීමේ ප්‍රතිපත්තිය පෙරට ගෙන යයි.

අවිශිබම, රාජපක්ෂ ආන්ඩුවේ වැඩපිලිවෙල ශිෂ්‍යයන්ගේ විඥානයට කාවද්දන්නේ මෙසේ ය: “වසංගතය පැතිර යාම අවම කිරීම සඳහා මේ මොහොතේ සාපේක්ෂ ව සාර්ථක ම විසඳුම එන්නත්කරනයයි.”

එන්නත, කෝවිඩ්-19 ට එරෙහි වැදගත් අවියක් වුවද, වසංගතය තුරන් කිරීම සඳහා පරීක්ෂාවන්ට ලක් කිරීම, ආශ්‍රිතයන් හඳුනා ගෙන නිරෝධායනය කිරීම, හා මහජන සෞඛ්‍ය සේවා දැවැන්තව වර්ධනය කිරීම අවශ්‍යවෙයි. ඒවාට බිලියන ගනනින් මුදල් වෙන් කිරීමට ලාභයෙන් කොටසක් වැයවන නිසා ධනපති පන්තිය ඊට සූදානම් නැත. රාජපක්ෂ ආන්ඩුව වසංගතය මධ්‍යයේ පසුගිය අවුරුදු දෙකේ හා මේ වසරේ සෞඛ්‍ය හා අධ්‍යාපන වියදම් කප්පාදු කිරීම අහම්බයක් නොවේ.

අවිශිබමය සහ පෙසප ධනපති ගැති දේශපාලනය

අවිශිබම ප්‍රතිපත්ති තීන්දුවී ඇත්තේ ඊට දේශපාලන නායකත්වය සම්පාදනය කරන ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) දේශපාලනයෙනි. අවිශිබම, විශ්වවිද්‍යාල සිසුන් දහස් ගනනක් පෙසප දේශපාලනයට යටකර තිබේ. වසංගතය ආරම්භයේ දී ම අගමැති මහින්ද රාජපක්ෂට ලියූ පෙසප, වසංගතය සම්බන්ධයෙන් ⁣'පෙර අත්දැකීම් නොමැතිකම නිසා අඩුපාඩු සිදු වුවත් ආන්ඩුවේ ප්‍රතිචාරය ප්‍රශංසනීය බව සඳහන් කලේ ය. (වැඩිදුර කියවන්න: වසංගත අර්බුදය හමුවේ ධනපති පක්ෂ ගොඩනගාගත් එකමුතුවට ව්‍යාජ-වාම පෙසප කොල එලිය දල්වයි )

ආර්ථිකය යලි විවෘත කිරීමට ද වැඩපොලවල කම්කරුවන් සමාගම්වල අර්බුදයට යට කිරීමට ද පෙසප සහයෝගය දුන්නේය. ජනවාරි 21 දින සිරස රූපවාහිනී නාලිකාවේ 'පැතිකඩ' සංවාදයට එක්වෙමින් පෙසප නායකයෙකු වන පුබුදු ජයගොඩ මෙසේ ප්‍රකාශ කලේය: 'විශ්වවිද්‍යාල වසා දැමුවේ කොවිඩ් නිසා කියලනෙ ... විශ්වවිද්‍යාල විවෘත නොකර සිටීමට කොවිඩ් ප්‍රශ්නයක් නැහැ.'

'වසර ගනනාවක් වෛරසය සමග ජීවත්වීමට සිදුවන බැවින්' එන්නත සහ අත සෝදා ගැනීමට සබන් පාවිච්චි කිරීම වැනි බලධාරීන් යෝජනා කරන ක්‍රම වලින් සෑහීමට පත්ව විශ්වවිද්‍යාල විවෘත කිරීමට ඔවුන් යෝජනා කරන්නේත් ඔන්ලයින් අධ්‍යාපනය “සාපේක්ෂ ව සාර්ථක විසඳුමක්” නොවන්නේ යයි තර්ක කරන්නෙත් එය ධනපති පන්තියේ ලාභ වුමනාවන්ට හරහට සිටින බැවිනි.

සමාජවාදී වැඩපිලිවෙල

සිසුන්ට හා ආචාර්යවරුන්ට වසංගතයෙන් ආරක්ෂාවෙමින් අධ්‍යාපන අයිතිය රැක ගැනීමේ විකල්ප වැඩපිලිවෙලක් තිබේ.

ගෝලීය වශයෙන් වර්ධනය වන මෙම අනාරක්ෂිත තත්ත්වය තුල අධ්‍යාපන ආයතන වසා දමා ඔන්ලයින් ක්‍රමවේදයන්ට යොමු විය යුතු බවත් වසංගතය තුරන් කර දැමීමට අවශ්‍ය සෙසු පියවර ගත යුතු බවත් බල කරමින් ව්‍යාපාරයක් වර්ධනය වෙමින් පවතී. ප්‍රංශයේ, එක්සත් ජනපදයේ හා තවත් රටවල ගුරුවරුන් හා සිසුන් දහස් ගනන් අනාරක්ෂිත කොන්දේසි යටතේ පාසල් විවෘත කිරීමට විරෝධය පල කරමින් වර්ජනවල නිරතවෙති.

චිකාගෝ නගරයේ පිල්සෙන් ප්‍රදේශයේ ගුරුවරු අනාරක්ෂිත ව පාසල් විවෘත කිරීමට එරෙහි ව විරෝධතා පා ගමනක [Credit: Twitter, @rcoppo1]

මෙම අරගලයේ ප්‍රවනතාව උඩ පදනම් වන සමාජවාදී සමානතා පක්ෂයේ තරුන සහ ශිෂ්‍ය සංවිධානය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ වසංගතය තුරන් කර දැමීමට හා අධ්‍යාපනය ඇතුලු අයිතීන් රැක ගැනීමට විකල්ප සමාජවාදී විසඳුමක් ඉදිරිපත් කරයි.

බිලියන ගනනින් මුදල් වෙන් කරමින් මාර්ගගත අධ්‍යාපනය විශ්වවිද්‍යාල හා පාසල් සිසුන්ට ලබා දීමට ගත හැකි සෑම පියවරක්ම ගතයුතුය. කම්කරුවන්ගේ හා දුගින්ගේ අයිතීන් උදුරා ගනිමින් අර්බුදයේ බරපැටවීමට ක්‍රියා කරන ආන්ඩුව හා ධනපතියන් ඊට සූදානම් නැත.

මෙවන් වැඩපිලිවෙක් ක්‍රියාවට දැමීමට හැක්කේ සුලුතරයකගේ ලාභ සඳහා නොව සමාජයේ බහුතරයේ යහපත සඳහා නිෂ්පාදන ක්‍රමය ප්‍රතිසංවිධානය කිරීමෙනි- එනම්, සමාජවාදී නිෂ්පාදන ක්‍රමයක් තහවුරු කර ගැනීමෙනි.

ලංකාවේ විශ්වවිද්‍යාල සිසුන් ගෝලීයව දැන් පැන නගිමින් පවතින අරගල සමග ඒකාබද්ධතාව ගොඩනගා ගනිමින් සමාජවාදී පිලිවෙත්වලට සටන් කිරීමට පෙරට ආයුතු වේ. එහි කොටසක් ලෙසට, රාජපක්ෂ ආන්ඩුවේ හා සමස්ත ධනපති පන්තියේ විනාශකාරී වැඩපිලිවෙලට එරෙහිව අරගලවලට පිවිසෙමින් සිටින ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් වෙතට හැරී, වසංගතය තුරන් කිරීමට හා අයිතීන් රැකගැනීමට සමාජවාදී වැඩපිලිවෙල ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සටන් කිරීමේ විකල්පය අපි ඉදිරිපත් කරමු.

සසජාතශි ශාඛා විශ්ව විද්‍යාල තුල ගොඩනගමින් මේ අරගලයට එක් වන්න.

Loading