ඔමික්‍රෝන් ආසාදන ඉහල යද්දී ශ්‍රී ලංකා ජනාධිපති සාපරාධී ලෙස නිහඬතාවය රකියි

[මෙය Sri Lankan president maintains criminal silence as Omicron cases surge යන මැයෙන් 2022 ජනවාරි 27 වැනි දා පලවූ ලිපියේ පරිවර්තනයයි.]

ශ්‍රී ලංකාව පුරා ඔමික්‍රොන් ආසාදන සංඛ්‍යාව ඉහල යමින් පවතින අතර එයින් පෙන්නුම් කරන්නේ, රට අධික ලෙස බෝවන කොරෝනා වෛරස් ප්‍රභේදයේ දැවැන්ත වැඩිවීමක් අද්දර සිටින බවයි. රෝහල් බලධාරීන් වාර්තා කරන්නේ රෝහල්ගතවීම් වැඩි වී ඇති අතර දැඩි සත්කාර ඇඳන් සහ ඔක්සිජන් සඳහා වැඩි ඉල්ලුමක් පවතින බවයි.

අඟහරුවාදා, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව පුද්ගලික රූපවාහිනී ජාලයකට පැවසුවේ පර්යේෂන ආයතන දෙකක, අනුපිලිවෙලට සකස් කරන ලද කොවිඩ්-19 සාම්පලවලින් සියයට 95 කට වැඩි ප්‍රමානයක් ඔමික්‍රෝන් බවයි.

එක්සත් ජනපදය, යුරෝපා සංගමය, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව ඉහලම රේට්ටු වාර්තා කරන, ඔමික්‍රෝන් හි දැවැන්ත ගෝලීය වැඩිවීමක් සමඟ ශ්‍රී ලංකාවේ නව පැතිර යාම සිදුවෙමින් පවතී.

මහනුවර පාසලක සමාජ දුරස්ථභාවයකින් තොරව පන්ති පවත්වයි [ලෝසවෙඅ මාධ්‍ය]

ජනවාරි මුල් සතියේ ශ්‍රී ලංකාවේ දෛනික ආසාදන සංඛ්‍යාව 480 ඉක්ම වූ අතර, එය සිව්වන සතියේදී 900 කට ආසන්න විය. දිවයිනේ මුලු කොවිඩ්-19 මරන සංඛ්‍යාව දැනට 15,330 ඉක්මවා ඇති අතර ආසාදන 603,650 කට වඩා වැඩිය.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ නිල කොවිඩ්-19 සංඛ්‍යා අවතක්සේරු කර ඇති අතර සාවද්‍ය වේ. වසංගතය ආරම්භයේ සිටම, තත්ත්වය පාලනය කර ඇති බව පැවසීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව හිතාමතාම පීසීආර් පරීක්ෂන අඩු මට්ටමක තබා ඇත.

ඔමික්‍රොන් ආසාදන වැඩිවීම සහ සෞඛ්‍ය විශේෂඥයින් විසින් නව ප්‍රභේදය පිලිබඳ නැවත නැවතත් කරන අනතුරු ඇඟවීම් තිබියදීත්, පසුගිය සති දෙක තුල පීසීආර් පරීක්ෂනවල දෛනික සාමාන්‍යය 7,443 ක් ලෙස පවතී.

  • සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ්-19 සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි හෙලි කර ඇත්තේ රජයේ රෝහල්වල සම්පූර්න ඇඳන් ධාරිතාවෙන් සියයට 40 ක—ආසන්න වශයෙන් 5,400 ක්—කොවිඩ්-19 රෝගීන් සිටින බවයි.
  • රටේ ප්‍රමුඛතම බෝවන රෝග ප්‍රතිකාර මධ්‍යස්ථානය වන බෝවන රෝග රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත ඒකනායක අඟහරුවාදා හෙලි කලේ පසුගිය සතිය තුල කොරෝනා වෛරස් රෝගීන් ඇතුලත් කිරීම් සියයට 50 කින් ඉහල ගොස් ඇති බවයි. පීසීආර් පරීක්ෂනවලින් සියයට 50 සිට 60 දක්වා කොවිඩ්-19 ආසාදිත බවත්, ඉදිරි සති දෙක තුල ශ්‍රී ලංකාව පුරා විශාල ව්‍යාප්තියක් සිදුවනු ඇති බවත් ඔහු පැවසීය.
  • කොලඹ ජාතික රෝහලේ විශේෂිත කොරෝනා වෛරස් ප්‍රතිකාර වාට්ටු වල ඔක්සිජන් භාවිතයේ විශාල වැඩිවීමක් වාර්තා වී ඇත. කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව වැඩි වීම නිසා “සාමාන්‍ය සැත්කම් සඳහා ප්‍රමුඛතාවය” අඩු වී ඇති බව රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය.
  • සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය ජී. විජේසූරිය, ශ්‍රී ලංකාවේ ප්‍රධාන ලමා රෝහල වන රිජ්වේ ආර්යා රෝහලේ ලමුන් 40 ක් ප්‍රතිකාර ලබන බවත්, කොරෝනා ආසාදිත දරුවන්ගේ සංඛ්‍යාව ඉහල යමින් පවතින බවත් වාර්තා කලේය.
  • මේ වසරේ සම්පූර්නයෙන්ම නැවත විවෘත කරන ලද පාසල්, ඔමික්‍රෝන් ආසාදනයේ තෝතැනි වීමට ඉඩ ඇත. පසුගිය ඔක්තෝම්බර් මාසයේදී අධ්‍යාපන වෘත්තීය සමිති විසින් ගුරුවරුන්ගේ වැටුප් අරගලය පාවා දීම සහ සියලු පාසල් ක්‍රමානුකූලව යලි විවෘත කිරීමට ඉඩ දීමට ඔවුන් එකඟ වීමත් සමග මේ තත්වය පැමින තිබේ.

මහනුවර, පානදුර සහ කළුතර වැනි නගරවල ඇතැම් පාසල් කොරෝනා වෛරස් ආසාදනය හේතුවෙන් වසා දමා ඇත. මීරිගම ගුරු අභ්‍යාස විද්‍යාලය ජනවාරි දෙවන සතියේදී නැවත විවෘත කරනු ලැබුවේ එහි ආසාදන 50 ක් වාර්තා වීමෙන් පසුවය.

රාජ්‍ය සෞඛ්‍ය හා අධ්‍යාපන බලධාරීන්ට අනුව, ආසාදිත සිසුන් සහ ගුරුවරුන් හඳුනාගනු ලැබුවහොත්, නිරෝධායනය කිරීමට අවශ්‍ය වන්නේ එම පුද්ගලයන් සහ සමීප ආශ්‍රිතයන් කිහිප දෙනෙකු පමනි.

  • කර්මාන්තශාලාවල, විශේෂයෙන්ම නිදහස් වෙලඳ කලාපවල සහ වෙනත් තැන්වල ඇඟලුම් කම්හල්වල ආසාදන සංඛ්‍යාව වැඩි වෙමින් පවතී. කටුනායක නිදහස් වෙලඳ කලාපයේ ස්මාර්ට් ෂර්ට් කම්හලේ ආසාදිත සේවකයෙක් පසුගිය සතියේ ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසුවේ තම කම්හල ද ඇතුලුව කලාපයේ බොහෝ කම්කරුවන් ආසාදනය වී ඇති බවයි.
  • රෝහල් සේවකයින් සිය ගනනක් ආසාදනය වී ඇති අතර, ඔවුන්ගේ “රෝග ලක්ෂන මෘදු නම්” දිගටම වැඩ කිරීමට ඔවුන් යොමු කරනු ලැබේ. පසුගිය සතියේ කොලඹ ජාතික රෝහලේ ගැබිනි හෙදියන් තිදෙනෙකු ඇතුලු හෙද හෙදියන් 62 දෙනෙකු ආසාදනය විය.

කොරෝනා වෛරස් රෝගීන් සංඛ්‍යාව ඉහල යමින් තිබියදීත්, ජනාධිපති රාජපක්ෂ සාපරාධී නිශ්ශබ්දතාවයක් රකිමින්, අධික ලෙස බෝවන ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිරීම වැලැක්වීමට තම ආන්ඩුව කිසිවක් නොකරන බව අඟවයි.

පසුගිය සතියේ පාර්ලිමේන්තුවට සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ඔහු මෙසේ ප්‍රකාශ කලේය: “ජනගහනයෙන් සියයට 85 කට වඩා එන්නත් කර රෝග තත්ත්වය පාලනය කර ගෙන සාමාන්‍ය ජන ජීවිතය නැවත ආරම්භ කිරීමට අපට හැකි වී තිබේ...”

පසුගිය දෙවසර තුල තම ආන්ඩුව විසින් අකමැත්තෙන් පනවන ලද කෙටි හා ඉතා සීමිත අගුලු දැමීම් රටේ සියලු ආර්ථික ව්‍යසනවල ප්‍රධාන මූලාශ්‍රය ලෙස දොස් පැවරූ රාජපක්ෂ, එවැනි ක්‍රියාමාර්ගවලින් වැලකිය යුතු බව ඇඟවුම් කලේය.

ප්‍රධාන ධනේශ්වර බලවතුන් විසින් අනුගමනය කරනු ලබන, ලාභය මත පදනම් වූ රංචු ප්‍රතිශක්තිකරන ප්‍රතිපත්තිවලට අනුකූලව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සඳුදා මාධ්‍ය වෙත පැවසුවේ, අගුලු දැමීම් ආර්ථිකයට දැඩි ලෙස බලපාන බැවින් ඒ සඳහා කිසිදු සූදානමක් නොමැති බවයි.

රඹුක්වැල්ල කියා සිටියේ පොදු ස්ථානවලට පැමිනෙන පුද්ගලයින්ට එන්නත් මාත්‍රා තුනක් අනිවාර්ය කිරීමට ආන්ඩුව සැලසුම් කර ඇති බවයි. ඒ, එන්නත් ලබා දීමෙන් පමනක් වසංගතය පැතිරීම වැලැක්විය හැකිය යන මිත්‍යාව ප්‍රවර්ධනය කිරීම සඳහා ය. සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් ද පුද්ගලයන් මත වගකීම පටවමින්, “වගකීමෙන් ක්‍රියා කරන ලෙසත්”, මුහුනු ආවරන පැලඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා ගන්නා ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටිති.

ඊනියා නව සාමාන්‍ය තත්වය තුල මිනිසුන් “වෛරසය සමඟ ජීවත් විය යුතුය” යන ප්‍රතිගාමී ප්‍රකාශය පුනරුච්චාරනය කරමින් ආන්ඩුව අන්තරායන් දිගටම අවතක්සේරු කරයි. අනාරක්ෂිත, අනතුරුදායක ලෙස තදබද වූ කර්මාන්තශාලා, වැඩපලවල් සහ කාර්යාලවල දිගටම වැඩ කිරීමට සහ තදබදයෙන් පිරුනු පොදු ප්‍රවාහනය භාවිතා කිරීමට ශ්‍රී ලාංකික කම්කරුවන්ට බල කෙරෙමින් පවතී.

අවම හෝ සෞඛ්‍ය මාර්ගෝපදේශ නොමැතිව කර්මාන්තශාලා “සුපුරුදු පරිදි” ක්‍රියාත්මක වන අතර, වැඩ අධික වූ රජයේ රෝහල්, කොවිඩ්-19 රෝග ලක්ෂන ඇති රෝගීන් සඳහා පරීක්ෂන පැවැත්වීමෙන් වැලකී, බෙහෙත් වට්ටෝරු සහ බෙහෙත් සමඟ ඔවුන්ව ගෙදර යැවීමට කැමැත්තක් දක්වයි.

පසුගිය සති අන්තයේ සන්ඩේ ටයිම්ස් පුවත්පත හෙලිදරව් කලේ “නිවස පදනම් කරගත් ප්‍රතිකාර” ශ්‍රී ලංකාව තුල “පලදායක” බවයි. එම පුවත්පත වාර්තා කලේ, රෝගීන් 130,000 ක් පමන නිවෙස්වල ප්‍රතිකාර ලබන බවත්, රෝහල් ගත කිරීම අවශ්‍ය වන්නේ ආසාදනවලින් සියයට 1.5 ක් පමනක් බවත් ය.

ඊනියා නිවස පදනම් කරගත් ප්‍රතිකාර ආන්ඩුව විසින් ප්‍රවර්ධනය කරනු ලබන්නේ අනුප්‍රාප්තික ආන්ඩු විසින්, ක්‍රමානුකූලව පිරිහී ඇති මහජන සෞඛ්‍ය පද්ධතිය නංවාලීමට අවශ්‍ය රුපියල් බිලියන ගනනින් වියදම් කිරීම ප්‍රතික්ෂේප කරන බැවිනි. වසංගතය ආරම්භ වූ දා සිට සෞඛ්‍ය අරමුදල් අඩු කල රාජපක්ෂ පාලනය ද මෙයට ඇතුලත් ය.

මහජනතාව වසංගතයට බිලිදීමේ රාජපක්ෂ තන්ත‍්‍රයේ ප‍්‍රතිගාමී පිලිවෙත කම්කරුවන් විසින් ප‍්‍රතික්ෂේප කල යුතු අතර මහා ආසාදන සහ එහි ප‍්‍රතිඵලයක් ලෙස සිදුවන මරන සාමාන්‍යකරනයට දරන සියලූ උත්සාහයන්ට විරුද්ධ විය යුතුය. වෛද්‍ය විද්‍යාව හෙලිදරව් කර ඇති පරිදි, රෝගයෙන් “සුවය ලබන” අය දිගුකාලීන කොවිඩ් රෝගයේ දුර්වල කිරීමේ ප්‍රතිවිපාකවලට මුහුන දෙති.

තම පාලන තන්ත්‍රය වසංගතය පාලනය යටතට ගෙන, “සාමාන්‍ය ජන ජීවිතය” යලි ආරම්භ කිරීම සඳහා කොන්දේසි නිර්මානය කල බවට රාජපක්ෂගේ ප්‍රකාශය, ශ්‍රී ලංකාවේ ඔමික්‍රොන් මතුවීම මගින් පුපුරවා හැර තිබේ.

පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂ සහ වෘත්තීය සමිති, ඔමික්‍රෝන් පැතිර යාම සහ ආන්ඩුව දිගින්දිගට මතුරන “වෛරසය සමඟ ජීවත් වීමේ” මන්ත්‍රය ගැන වචනයක්වත් ප්‍රකාශ නොකිරීම පුදුමයක් නොවේ.

මහජන සෞඛ්‍ය යටිතල ව්‍යුහය පුලුල් කිරීම සහ සංවර්ධනය කිරීම සඳහා ක්ෂනික අරමුදල් සම්පාදනය කිරීම සහ වසංගතය තුරන් කිරීම සඳහා ගෝලීය වශයෙන් සම්බන්ධීකරනය කරන ලද විද්‍යාත්මක වැඩපිලිවෙලක් ඇතුලුව, මහා පරිමාන පරීක්ෂන, ලුහුබැඳීම, හුදකලා කිරීම, අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන අගුලු දැමීම, ඇතුලුව ජීවිත ආරක්ෂා කිරීම සඳහා පුලුල් මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග කම්කරුවන් ඉල්ලා සිටිය යුතුය.

මේ සඳහා ලාභ පද්ධතියට එරෙහිව කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීම සහ ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානයේ කොටසක් ලෙස සෑම සේවා ස්ථානයකදීම ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම අවශ්‍ය වේ.

ලොව පුරා ධනේශ්වර ආන්ඩු විසින් වසංගතය සාපරාධී ලෙස හැසිරවීම හෙලිදරව් කිරීමට සහ වෛරසය තුරන් කිරීම සඳහා සටන් කිරීමට අවශ්‍ය විද්‍යාත්මක දැනුමෙන් කම්කරු පන්තිය සන්නද්ධ කිරීමට ලෝසවෙඅ විසින් දියත් කරන ලද ගෝලීය කම්කරු පරීක්‍ෂනයට කම්කරුවන් හා තරුනයින් ද සහාය දිය යුතුය.

Loading