ඉදිරිදර්ශන

එක්සත් ජනපදය සහ නේටෝව රුසියාවට එරෙහි යුද තර්ජන උත්සන්න කරයි: ඔබ තුන්වන ලෝක යුද්ධයට සූදානම්ද?

[මෙය US-NATO escalate war threats against Russia: Are you ready for World War III? මැයෙන් 2022 ජනවාරි 28 වැනි දින පල වූ ලිපියේ පරිවර්තනයයි.]

යුක්රේනය සම්බන්ධයෙන් වොෂින්ටනය රුසියාවට එරෙහි ව අවුලුවාලමින් සිටින ගැටුම, නොමිනියහැකි ව්‍යසනයක තර්ජනය ලෝකවාසීන්ට මතු කරයි. නොවිසඳිය හැකි අභ්‍යන්තර අර්බුදයන්ගෙන් සහ කෑදර භූදේශපාලනික අභිලාෂයෙන්ගෙන් පෙලඹුනු එක්සත් ජනපද අධිරාජ්‍යවාදය අන්තරාය ගනනට නොගෙන තුන්වන ලෝක යුද්ධයේ අද්දරට ගමන් කරමින් සිටී.

යුක්‍රේනය පිලිබඳ අර්බුදය, එක්සත් ජනපදය හා එහි නේටෝ සහචරයෝ මුසාවන් මත පදනම්ව නිෂ්පාදනය කර ඇත. බයිඩන් පරිපාලනය, රුසියාව තම දේශසීමාව තුල හමුදාවන් එහා මෙහා ගෙ යාම හෙලා දකී. රුසියාව විසින් දියත් කිරීමට නියමිත ඉතා ආසන්න යුක්‍රේන ආක්‍රමනයක් පිලිබඳ ප්‍රකාශය ධවල මන්දිරය නිමක් නැතිව පුනරුච්චාරනය කරන අතර ජන මාධ්‍ය ප්‍රශ්න කිරීමකින් තොරව එය ප්‍රතිරාවය කරයි.

එය හිස්ටීරික යුද ප්‍රචාරනයකි. රුසියාව කිසි විටෙකත් යුක්‍රේනය ආක්‍රමනය කිරීමට තර්ජනය කර නැත. කෙසේ වෙතත්, යුක්‍රේනය නේටෝවේ කොටසක් වීම ඉවසිය නොහැකි බව මොස්කව් ප්‍රකාශ කර ඇත.

යුක්‍රේන මිලිටරියේ සාමාජිකයින්, සන්නද්ධ හමුදාවන්ගේ ස්වේච්ඡා හමුදා ඒකක, 2022 ජනවාරි 22 වන දින යුක්‍රේනයේ කියෙව්හි නගර වනෝද්‍යානයක පුහුනුව ලබමින්. (ඒපී ඡායාරූප/එෆ්‍රෙම් ලුකැට්ස්කි, ගොනුව)

උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය යනු “ප්‍රජාතන්ත්‍රවාදී” රාජ්‍යවල කලාපීය සන්ධානයක් නොව, රුසියාව සහ අනෙකුත් රටවලට එරෙහි ව යුද්ධය සඳහා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රන කල්ලියකි. යුක්රේනය ඈඳාගැනීම මගින් රුසියාවේ ආසන්න දේශසීමාවේ නේටෝ අවි සහ හමුදා ස්ථානගත කරනු ඇති අතර, එය මොස්කව් සමඟ ගැටුමක් අවුලුවාලූ අවස්ථාවක, නේටෝ ගිවිසුමේ 5 වැනි වගන්තිය යටතේ, නව-නාසීන් සහ ෆැසිස්ට්වාදීන් සමග බැඳුනු කියෙව්හි අන්ත දක්ෂිනාංශික තන්ත‍්‍රය වෙනුවෙන් යුද්ධයට යාමට එක්සත් ජනපද හා බටහිර යුරෝපීය අධිරාජ්‍යවාදයේ බලවේග බැඳ තබනු ඇත.

රුසියාවේ සහ යුක්‍රේනයේ දේශසීමා වෙත හමුදා භටයින් 50,000 ක් දක්වා යෙදවීමට සැලසුම් කර ඇති බව එක්සත් ජනපද නිලධාරීහු අනාවරනය කර ඇත. බදාදා, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන්, යුක්‍රේනය නේටෝවට ඈඳාගැනීමට ඉඩ නොදෙන බවට සහතික කිරීම සඳහා මොස්කව්හි ලිඛිත ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශයක් ඉදිරිපත් කලේය. බයිඩන් පරිපාලනය සාකච්ඡා කරන්නේ නැත. ඔවුන් උත්සාහ කරන්නේ ආතතීන් සමනය කිරීමට නොව පුටින් ආක්‍රමනිකයා ලෙස ඉදිරිපත් කල හැකි වන පරිදි සන්නද්ධ ගැටුමකට රුසියාව ප්‍රකෝප කිරීමටයි.

එක්සත් ජනපද හා නේටෝ හමුදා බලමුලු ගන්වද්දී, වොෂින්ටනය ආර්ථික යුද්ධයේ උපකරනය ක්‍රියාත්මක කර ඇත. බයිඩන් සහ බ්ලින්කන් යන දෙදෙනාම මොස්කව්වලට එරෙහිව “දැඩි ආර්ථික සම්බාධක” තර්ජනය කර ඇති අතර රුසියාව වොෂින්ටනයට සූදානම් වන්නේ එක්සත් ජනපද ඩොලර් ගනුදෙනු සඳහා ගෝලීය ස්විෆ්ට් (SWIFT) මූල්‍ය පද්ධතියට ප්‍රවේශය කපා හැරීමට ය, එය බොහෝ සෙයින් ලෝක ආර්ථිකයෙන් රට බැහැර කර තබනු ඇත.

එක්සත් ජනපදය ලොව පුරා රටවල් ආක්‍රමනය කර ඇති අතර, එය අතින් තමාට අත්වන ඉරනම කුමක්දැයි පුටින් දනී. මැනුවෙල් නොරීගා සහ ස්ලොබොඩන් මිලෝසෙවික් සිරගෙදරදී මිය ගියහ; මුවම්මර් ගඩාෆි අමානුෂික ලෙස ඝාතනය කරන ලද අතර සදාම් හුසේන් එල්ලා මරා දමන ලදී. වොෂින්ටනයට අවශ්‍ය වන්නේ පුටින් මරා දැමීමට ය.

බයිඩන් පරිපාලනය විසින් පුටින් සහ රුසියාව පැවැත්මේ තර්ජනයක් ලෙස අර්ථ දැක්විය යුතු තත්වයක් නිර්මානය කර ඇත. සම්පූර්න යටත් වීමකින් තොරව නේටෝ හමුදාවන්ගේ ඉදිරි ගමන වැලැක්විය හැකි කිසිදු සහනයක් මොස්කෝවට දිය හැකි නොවේ. නේටෝව එහි දොරකඩ සිටින විට, එය, දැන් යුද්ධයක් හෝ නුදුරු අනාගතයේ යුද්ධයක් යන දෙකෙන් එකක් තෝරා ගැනීමට මුහුන දෙයි.

ධවල මන්දිරය නොසැලකිලිමත් ලෙස යුද්ධය කරා ගමන් කරමින් සිටින නමුත් එහි ඇඟවුම් ගැන කිසිවෙකු සාකච්ඡා කරන්නේ නැත. නරකම අවස්ථාව කුමක් විය හැකිදැයි කිසිදු වාර්තාකරුවෙකු බයිඩන්ගෙන් අසන්නේ නැති අතර, න්‍යෂ්ටික අවි භාවිතයට හේතු විය හැකිදැයි කිසිවෙක් විමසා නැත. වොෂින්ටනය ක්‍රියා කරන්නේ තමන් හඹා යන ගැටුම ඩොන්බාස්හි කොටුකර තබාගත හැකි සහ යුක්‍රේනයේ නැඟෙනහිර ප්‍රදේශයන් තුල මනාව පාලනය වනු ඇතිවාක් මෙනි.

එක්සත් ජනපදය 1991 සිට යුද්ධ මාලාවක් දියත් කර ඇති අතර, ඒ සෑම එකක්ම විනාශයෙන් අවසන් විය. මිලියන ගනනක් මිය ගොස් ඇති අතර මැද පෙරදිග සහ මධ්‍යම ආසියාවේ සමස්ත සමාජයම සුන්බුන් බවට පත් කර ඇත. ඔවුන් ප්‍රාථමිකව සන්නද්ධ වූවන් ය. ලොව දෙවන විශාලතම න්‍යෂ්ටික අවි ගබඩාව ඇති රට දැන් වොෂින්ටනය සතුව ඇත.

න්‍යෂ්ටික යුද්ධයේ දැවැන්ත අන්තරාය මතු නොකර රුසියාවට එරෙහිව පැවැත්මේ තර්ජනයක් එල්ල කල හැකි බව එක්සත් ජනපදය හා නේටෝව ඒත්තු ගෙන ඇත්නම්, එය තමන්වම රවටා ගැනීමකි. ඔවුන් මෙම ඉඩකඩ බැහැර කරන්නේ කෙසේද? ඔවුන් අවදානම දන්නේ නම්, ඔවුන්ගේ ක්‍රියාවන් උමතු සහගත ය.

එක්සත් ජනපදයේ සහ නේටෝවේ සියලුම යුද ප්‍රචාරන පුටින් සිහිය විකල් වූ අපරාධකරුවෙකු ලෙස නිරූපනය කරයි; ඔවුන්ගේ සියලු උපාය මාර්ග රඳා පවතින්නේ ඔහුගේ හැසිරීම ඔවුන්ගේ හැසිරීමට වඩා ඥානාන්විත වීම මත ය. රුසියානු පාලක ප්‍රභූව හා මිලිටරි කවයන් තුල ගැඹුරිම ප්‍රතිගාමී කන්ඩායමක් ඇත. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් තුල සියලු ආකාරයේ ෆැසිස්ට් සංකල්ප පිරී ඇත.

යුද්ධයට එයටම ආවේනික වූ නොබිඳිය හැකි තර්කනයක් ඇත; ඕවල් කාර්යාලයේ පිරිසිදු මේසය මත සකස් කර ඇති උපක්‍රම එය පිලිපදින්නේ නැත. වොෂින්ටනය ක්‍රියාත්මක කරමින් සිටින මිලිටරි සුලිය මහා බලවතුන් ගෝලීය ගැටුමකට ඇද දමනු ඇත.

චීනය, සිය ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය අතහැර වසංගතයට එහි මිලියන සංඛ්‍යාත ජනතාව මරා දැමීමට ඉඩ දෙන ලෙස කරනුලබන වොෂින්ටනයේ ඉල්ලීමට මුහුන දෙයි. රුසියාවට මුහුනදීමට සිදුවන තරමටම පාහේ දියුනු වූ ආසියා පැසිෆික් කලාපයේ එක්සත් ජනපද යුද ධාවනය, බීජිනයට ඉදිරිපත් කරන්නේ ඒ හා සමාන පැවැත්මේ තර්ජනයකි. එක්සත් ජනපදය විසින් තායිවානය වෙත හමුදා යෙදවීම චීනය දකින්නේ යුක්‍රේනයේ වර්ධනයන්ට සෘජුවම සමාන්තරව ය.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය, යලිත් සොල්දාදු හිස්වැසුම් පැලඳ, යුද ධාවනයට සේවය කිරීම සඳහා තමන්ගේම බොරු නිර්මානය කරයි. වොෂින්ටනය ජර්මානු ධනේශ්වරයට බලපෑම් කරන්නේ සෝවියට් පුරවැසියන් මිලියන 28 කගේ ලෙයින් තෙත් වූ හෘදය සාක්ෂිය සමග තම දැක්ම නැවත නැඟෙනහිර දෙසට තබන ලෙසට ය.

රුසියාව සමග යුද්ධයක් මුදා හැරීම සති කිහිපයකින්—දින නොවේනම්—ඉරානය, ඊශ්‍රායලය, චීනය සහ තායිවානය තුලට ද ඇදී යනු ඇත. ජපානය සහ ඕස්ට්‍රේලියාව දිනෙන් දින ප්‍රසාරනය වන ගැටුමට වේගයෙන් හසු වනු ඇත. මිලිටරි විධානයන්, සියල්ල තම අතට ගනු ඇත. ලෝකය එයින් ගිලී යනු ඇත. සූදානම් කෙරෙමින් පවතින ජීවිත හානිය අපමනය.

ඇමරිකානු පාලක පන්තිය පෙන්වා දී ඇත්තේ තමන් සමූහ ඝාතනයට අපාරගම්‍ය බවයි. වසර දෙකකට අඩු කාලයකදී ඇමරිකානුවන් 900,000 කට වැඩි පිරිසක් කොවිඩ්-19 නිසා මිය ගොස් ඇති මුත් බයිඩන් ධවල මන්දිරයෙන් ඒ ගැන සඳහනක්වත් නැත. සන්ධ්‍යා ප්‍රවෘත්ති නිවේදනය සාකච්ඡා කරන්නේ දෛනික කාලගුනය මිස දෛනික මරන ගැන නොවේ. ව්‍යසනකාරී ගෝලීය යුද්ධයක් ආරම්භ කිරීමෙන් වොෂින්ටනය වලක්වන හෘදය සාක්ෂියක අංශු මාත්‍රයක්වත් පෙනෙන්නට නැත.

මේ පිලිවෙත තුල උමතුවක් ඇත, නමුත් එය වෛශයික හේතු සහිත උමතුවකි. යුද්ධයට තල්ලුව අවුලුවාලනු ලබන්නේ, ව්‍යාකූල භූ දේශපාලන අභිලාෂයන් සහ නොවිසඳියහැකි අභ්‍යන්තර අර්බුදයක විසකුරු මිශ්‍රනයකිනි.

ගැටුම ගලා එන්නේ සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසු, තම භූ දේශපාලන ආධිපත්‍යය යථා තත්ත්වයට පත් කිරීමට සහ ආර්ථික දුෂ්කරතා මිලිටරි මාර්ගවලින් පියවා ගැනීමට එක්සත් ජනපදය දරන මංමුලා සහගත උත්සාහයන් මගිනි. ස්ටැලින්වාදී නිලධරය සෝවියට් සංගමය විසුරුවා හරින විට, අධිරාජ්‍යවාදී බලවතුන් කිරා බැලුවේ ඊ ලඟ සමාජ විනාශයෙන් හොඳම ලාභය ගරා ගන්නේ කෙසේද යන්නයි.

1992 දී, ප්‍රමුඛ විදේශ ප්‍රතිපත්ති ශාස්ත්‍රඥයෙකු වන වෝල්ටර් රසල් මීඩ්, වර්ල්ඩ් පොලිසි ජර්නල් හි, “සීතල යුද්ධයෙන් පසු එක්සත් ජනපද ප්‍රතිපත්තිය සඳහා නිහතමානී යෝජනාවක්” යන උපසිරැසි දරන වැදගත් ලිපියක් ප්‍රකාශයට පත් කලේය. එක්සත් ජනපදය විසින් දරිද්‍රතාවයෙන් පෙලෙන රුසියානු ජාතියෙන් සයිබීරියාව අත්පත් කර ගත යුතු බවත්, “සයිබීරියාවේ අති විශාල ස්වභාවික සම්පත් පුද්ගලීකරනය කිරීමෙන්” ලාභ ලැබිය යුතු බවත් ඔහු යෝජනා කලේය.

“මෙම ප්රදේශයේ තෙල්, ගෑස්, දියමන්ති සහ රත්රන් වල ලෝකයේ වටිනාම තැන්පතු කිහිපයක් අඩංගු වේ” යනුවෙන් මීඩ් ලිවීය. “විශාල දැව කඳන් ඇත; විශාල ඛනිජ නිධි පවතී. මෙම සියලු සම්පත් රුසියාවේ කොටසක් ලෙස වඩා එක්සත් ජනපදයේ කොටසක් ලෙස වටී.” ”ආසියාවේ හොඳම වරායන්ගෙන් එකක්” වන ව්ලැඩිවොස්ටොක් අත්පත් කර ගැනීමේ වටිනාකම සහ ජපන් ජාතිකයින්ට සහනවලින් සුරක්ෂිත කල යුතු පරමාධිකාරය ගැන ඔහු ලිවීය. මෙය අධිරාජ්‍ය කොල්ලයේ භාෂාවයි.

මීඩ් සයිබීරියාව මිලදී ගැනීමට යෝජනා කලේය. දැන් වොෂින්ටනය රට ඛන්ඩනය කිරීමට මිලිටරි ආක‍්‍රමනය මගින් සමාන අරමුනු සොයයි. හිට්ලර් රුසියාව සැලකුවේ ආහාර ගබඩාවක් ලෙස ය. එක්සත් ජනපදයට ඊට වඩා විශාල සැලසුම් ඇත.

ඊටත් වඩා තීරනාත්මක ලෙස, පාලක පන්තිය යුද්ධයට තල්ලු කරන්නේ වසංගතයේ පුපුරන සුලු සමාජ අර්බුදය සහ විවෘත පන්ති අරගලයේ මතුවීමයි. ගෝලීය වසංගතය විසින් නිෂ්පාදනය කරන ලද සමාජ ජීවිතයේ දැවැන්ත බිඳවැටීම සියලු ධනේශ්වර පාලන තන්ත්‍රයන් මූලික වශයෙන් අස්ථාවර කර ඇත.

නිව් යෝර්ක්ටයිම්ස් පුවත්පතේ බදාදා මතවාද කොලමෙහි ප්‍රකාශයට පත් කරන ලද තෝමස් එඩ්සාල්ගේ මතයට අනුව, දැඩි සමාජ ධ්‍රැවීකරනය විසින් එක්සත් ජනපදය “සිතියම් නොකල හා ඉතා භයානක ප්‍රදේශයක” තබා ඇත. සාර්ථක “විධ්‍රැවීකරනය කිරීමේ සිදුවීමක්” “හේතු විනිවිද පෙනෙන ලෙස බාහිර වන” එකක් විය යුතු බව ප්‍රකාශ කල දේශපාලන විද්‍යාඥයෙකුගෙන් ඔහු උපුටා දැක්වීය.

සියල්ලටම වඩා යුද්ධය සඳහා තල්ලුවට ඉන්ධන සපයන්නේ මෙයයි. රුසියාව සමග යුද්ධය ඇමරිකානු පාලක පන්තියට සමාජ කෝපය පිටතට ගෙන ඒම සඳහා ජාතිකවාදය භාවිතා කිරීමට සහ දේශපාලන විරුද්ධත්වය මර්දනය කිරීමට එය කඩතුරාවක් සම්පාදනය කර ගැනීමට ඉඩ සලසයි. වසංගතය විසින් තියුනු කරන ලද ධනවාදයේ අර්බුදය, විසඳිය නොහැකි උභතෝකෝටිකයක් ධනේශ්වරයට මුන ගස්වන අතර, මෙය විසඳා ගැනීමේ මගක් සෙවීමට යුද්ධයක් දෙසට හැරේ.

දැන් පවතින ලොකුම අන්තරාය පවතින්නේ අනතුරේ පරිමානය සහ ඒ පිලිබඳව මහජනතාව දැනුවත් කිරීම අතර ඇති විශාල අගාධයයි. කම්කරු පන්තිය අඳුරේ තබා, බොරු කියමින්, වසංගතයෙන් බැටකන ඔවුන්ට නැවත වැඩට යාමට බල කෙරෙමින් පවතී.

වසංගතය පැතිරීම වැලැක්වීමට සහ සමාජ අසමානතාවයේ සහ සූරාකෑමේ නිර්දය වර්ධනයට එරෙහිව සටන් කරන කම්කරු පන්තිය, ප්‍රභූවේ යුද සැලසුම් පිලිබඳ දේශපාලනිකව දැනුවත් කල යුතුය.

යුක්‍රේනය මත ඇති වූ ප්‍රකෝපකරනයන්ගේ ක්ෂනික ප්‍රතිඵලය කුමක් වුවත්, තත්වය අතිශයින් භයානක ය. කම්කරු පන්තිය මෙම පදනම මත ඉදිරියට යා යුතුය. අවශ්‍ය වන්නේ බියෙන් “අනේ හපොයි” යැයි විස්සෝප නොවී නිවැරදි ප්‍රතිපත්තියක් සඳහා සටන් කිරීමයි. යුද විරෝධී ජාත්‍යන්තර කම්කරු පන්ති ව්‍යාපාරයක් වර්ධනය කිරීම හරහා පමනක් වැලැක්විය හැකි ව්‍යසනයක් අධිරාජ්‍යවාදය සූදානම් කරමින් සිටී.

2016 දී, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ යුද ධාවනයේ තීව්‍රතාවය එවක දී ම හඳුනා ගනිමින්, ජාත්‍යන්තර කමිටුව අධිරාජ්‍යවාදයට එරෙහි ව කම්කරු පන්තියේ හා තරුනයන්ගේ ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනැගීමට කැඳවුම් කරමින් “යුද්ධයට එරෙහිව සමාජවාදය සඳහා සටන” නම් ප්‍රකාශයක් ප්‍රකාශයට පත් කලේය. ජාත්‍යන්තර කමිටුව මෙම යුද විරෝධී ව්‍යාපාරයේ තීරනාත්මක මූලධර්ම මෙසේ සාරාංශගත කලේය:

  • යුද්ධයට එරෙහි අරගලය, සමාජය තුල සිටින මහා විප්ලවවාදී බලවේගය වන කම්කරු පන්තිය මත පදනම් විය යුතුය. කම්කරු පන්තිය ජනගහනයේ අවශේෂ සියලු ප‍්‍රගතිශීලී ජනතාවන් තමන් පසුපස පෙලගස්වා ගන්නවා ඇත.
  • නව යුද විරෝධී ව්‍යාපාරයක් ධනේශ්වර විරෝධී හා සමාජවාදී විය යුතුය. මක්නිසා ද යත්, මූල්‍ය ප‍්‍රාග්ධනයේ ආඥාපතිත්වය හා මිලිටරිවාදය ද යුද්ධය ද සඳහා වන මූලික හේතුව වන, යල් පිනූ, ආර්ථික ක‍්‍රමය අවසන් කිරීමේ සටනකින් තොරව, යුද්ධයට එරෙහි බැරෑරුම් අරගලයක් ගෙන යා නොහැකි බැවිනි.
  • එබැවින්, නව යුද විරෝධී ව්‍යාපාරය අවශ්‍යයෙන්ම, මුලුමනින්ම හා පැහැදිලිවම ධනපති පන්තියේ සියලු දේශපාලන පක්ෂ හා සංවිධාන වලට සතුරු හා ඒවායින් ස්වාධීන විය යුතුය.
  • සියල්ලටත් වඩා නව යුද විරෝධී ව්‍යාපාරය, ජාත්‍යන්තර විය යුතුය. එය කම්කරු පන්තියේ දැවැන්ත ශක්තිය, අධිරාජ්‍යවාදයට එරෙහි එක්සත් ගෝලීය අරගලයක් තුල බලමුලු ගැන්විය යුතුය. ධනවාදයේ නොනවතින යුද්ධයට, කම්කරු පන්තිය, නොනවතින විප්ලවයේ ඉදිරිදර්ශනයෙන් පිලිතුරු දිය යුතුය. එහි මූලෝපායික එල්ලය වන්නේ, ජාතික රාජ්‍ය පද්ධතිය අහෝසි කිරීම හා ලෝක සමාජවාදී සමූහාන්ඩුවක් ගොඩනැගීමයි. ගෝලීය සම්පත් සහේතුක හා සැලසුම්ගත සංවර්ධනයකට එමගින් කොන්දේසි සැකසෙන අතර, එම පදනම මත, දුප්පත්කම තුරන්කර මානව සංස්කෘතිය නව ඉහලකට ඔසවා තැබෙනු ඇත.

මේ ව්‍යාපාරය ගොඩනැගීමේ හදිසි අවශ්‍යතාව තව තවත් වැඩි වී තිබේ. වඩාත්ම තීරනාත්මක ප්‍රශ්නය වන්නේ කම්කරු පන්තිය තුල මෙම ප්‍රතිපත්ති සඳහා අරගලයයි. මෙම ඉදිරිදර්ශනයට එකඟ වන සියල්ලන්ම මෙම සටන ඉදිරියට ගෙනයාම සඳහා සමාජවාදී සමානතා පක්ෂයට බැඳීම අවශ්‍ය වේ.

Loading