සෞඛ්‍ය සේවක වර්ජනයට 60,000 අධික පිරිසක් සහභාගී වෙති

වැටුප් හා සේවා කොන්දේසි වලට අදාල ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සෞඛ්‍ය සේවකයන් 7 වෙනිදා ආරම්භ කල දීපව්‍යාප්ත අඛන්ඩ වැඩ වර්ජනය තුන් වන දිනට එලැඹී ඇත. හෙද, පරිපූරක වෛද්‍ය විකීරන ශිල්පීන්, වෛද්‍ය රසායනාගාර තාක්ෂනවේදීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ඇතුලු 60,000 ට අධික සෞඛ්‍ය සේවකයෝ ඊට සහභාගිවී සිටිති.

මාතෘ, ලමා, පිලිකා, සහ වකුගඩු රෝහල් වල සහ මධ්‍යම ලේ බැංකුව ඇතුලු විශේෂිත රෝහල් හා සෞඛ්‍ය ආයතන කිහිපයක හැර දිවයින පුරා සියලු රෝහල් තුල වර්ජනය ක්‍රියාත්මක වේ. කොලඹ ජාතික රෝහල, මහනුවර ජාතික රෝහල, පේරාදෙනිය යාපනය, කෑගල්ල, ගාල්ල, කරාපිටිය, මාතර ඇතුලු දිවයිනේ ප්‍රිධාන රෝහල් සමග දහසකට අධික රජයේ රෝහල්වල සේවකයෝ බහුතරයක් වර්ජනයට සම්බන්ධ වී ඇත්තාහ. වර්ජනය ක්‍රියාත්මක වන රෝහල්වල සේවකයන්ගෙන් සියයට 80 සිට 100 දක්වා ප්‍රතිශතයක් ඊට සහභාගි වී සිටින බව වර්ජනය කැඳවුම් කල සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය (සෞවෘස) පවසයි.

වැටුප් විෂමතා ප්‍රතිශෝධනය කිරීම, හොඳ ප්‍රවාහන පහසුකම්, හදිසි කැඳවීම් දීමනා—රුපියල් 3,000 සිට 10,000 දක්වා—අතිකාල ගාස්තු වැඩි කිරීම සහ උසස්වීම් ක්‍රියා පටිපාටි වැඩි දියුනු කිරීම ඇතුලු ඉල්ලීම් හතක් ඔවුන් ඉදිරිපත් කර ඇත.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිනි සෞඛ්‍ය සේවකයෝ 3000 ක් පමන අඟහරුවාදා කොලඹ පැවති වීරෝධතා උද්ඝෝෂනයට සහභාගිවුහ. විහාරමහාදේවි උද්‍යානය අසලින් ආරම්භ කල පාගමනකින් සෞඛ්‍ය අමාත්‍යංශය දක්වා පැමිනි ඔවුහු ඉල්ලීම් ඇතුලත් සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් සහ ඒවා හඬ නගමින් පැය දෙකක පමන කාලයක් උද්ඝෝෂනය කලහ.

අඟහරුවාදා කොලඹ විහාරමහදේවි උද්‍යානයේ පැවති සෞඛ්‍ය සේවක විරෝධතාව

වර්ජනයට සෞඛ්‍ය සේවකයන් දසදහස් ගනනකගේ සහභාගිත්වය සහ අඟහරුවාදා උද්ඝෝෂනයේ දී ඔවුන් තුල පැවති උද්‍යෝගය තුලින් තම අයිතීන් සඳහා සටන් කිරීමට සෞඛ්‍ය සේවකයන් අතර පවතින දැවෙන උවමනාව සහ අධිෂ්ඨානය පෙන්නුම් කෙරුනි.

සෞඛ්‍ය සේවක අරගලය, රාජපක්ෂ ආන්ඩුව තම ජීවන තත්වයන්ට සහ රැකියා, වැටුප් ඇතුලු සමාජ අයිතීන්ට එල්ල කරන ප්‍රහාරවලට එරෙහිව කම්කරු පන්තිය තුල ගැඹුරින් වර්ධනය වන කෝපය සහ සටන්කාමිත්වයේ ප්‍රකාශනයකි. එමෙන් ම එය කෝවිඩ්-19 වසංගත විසින් ගැඹුරු කර ඇති ලෝක ධනවාදී අර්බුදයේ බර ධනපති පාලක පන්තීන් විසින් තමා මත පැටවීමට විරුද්ධව පැනනැගෙමින් පවත්නා, ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර කම්කරු පන්තියේ අරගලවල කොටසකි.

සෞඛ්‍ය සේවකයෝ වැටුප් සහ දීමනා ඉල්ලීම් අරබයා පසුගිය වසරේ 30 ට අධික වර්ජන හා විරෝධතා උද්ඝෝෂන ක්‍රියාවන්හි ද පසුගිය මාසයේ පලාත් මට්ටමේ සංකේත වර්ජන 10 ක ද නිරත වුහ. සෞඛ්‍ය වෘත්තීය සමිති ක්‍රියාත්මක වුයේ එම අරගල හැකි තරම් සීමා කිරීමට සහ ආන්ඩුවේ බොරු පොරොන්දුවලට යටත් කොට පාවාදීමට ය.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය (රාසේඑහෙස ) සහ ජනතා විමුක්ති පෙරමුන විසින් මෙහෙයවනු ලබන සමස්ත ලංකා සුව සේවා සංගමය (සලසුසේස) වර්ජනයට සම්බන්ධවීම ප්‍රතික්ෂේප කර ඇත. 'ඒකාබද්ධ අරගයක් නොවන නිසා එයට සහභාගී නොවන' බව පවසමින් සලසුසේස ඉන් කර ඇර සිටින අතර රාජපක්ෂ ආන්ඩුවේ ඍජු පන්දමෙකු වන රාසේඑහෙස නායක මුරුත්තෙට්ටුවේ ආනන්ද ඉල්ලීම් හතෙන් හතරක් දීමට ආන්ඩුව එකඟවී ඇති බව කියාපාමින් වර්ජනයට හොරිකඩකම් කිරීමෙන් නොනැවතී ඊට එරෙහිව රාජ්‍ය මර්දනය උසිගැන්වීමේ නිරතව සිටී.

අඟහරුවාදා මාධ්‍ය සාකච්ඡාවක දී ඔහු මෙසේ පැවසීය: 'රෝහල් දෙක තුනක් හැර අනෙක් රෝහල් වල සේවකයන්ගේ කිසිම අඩුවක් නැහැ. ඊයේ සමහර වෘත්තීය සමිති ත්‍රස්තවාදී වැඩ කලා. මේවා පාලනය කරන්න ආන්ඩුවට කොන්දක් නැහැ. අපි කියනවා ඉදිරියේදීවත් කොන්දක් ඇතිව වැඩකරන්න කියල.' සඳුදා පැවති මාධ්‍ය සාකච්ඡාවක දී, වර්ජනය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව පවසමින් එය මර්දනය කිරීමට මැදිහත් වන ලෙස ඔහු සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ගෙන් ඉල්ලා සිටියේ ය

සෞවෘස විසින් මෙම අඛන්ඩ වර්ජනය කැඳවා ඇත්තේ, තම ඉල්ලීම් වලට විසඳුම් නොලැබීම නිසාවෙන් සෞඛ්‍ය සේවකයන් අතර නොසසුන්කම වැඩි වර්ධනය වන කොන්දේසි තුල ය. ගුරු අරගලයේ දී මෙන් ආන්ඩුවට වැඩි බලපෑමක් කිරීම තුලින් හා ඒ හරහා ආන්ඩුව සමග සාකච්ඡා කිරීමෙන් ඉල්ලීම් දිනා ගත හැකිය යන බරපතල මිත්‍යාවකට සෞවෘස විසින් ඔවුන් කොටුකරනු ලැබ ඇත.

'ගුරුවරු ඔවුන්ගේ අරගලය තුල හැමදාම මහපාරේ හිටියේ. ඒ නිසා ආන්ඩුවට ඉල්ලීම් දෙන්න සිද්ධවුනා. එහෙම කලොත් අපිටත් අපේ ඉල්ලීම් දිනා ගන්න පුලුවන්' යැයි, 6 වෙනිදා මහනුවර රෝහලේ පැවති සෞඛ්‍ය සේවක රැස්වීමක දී සෞවෘස සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය පැවසීය. ඒ සමගම ඔහු ගුරුවරුන්ට සෞඛ්‍ය සේවකයන්ට වඩා වැටුප් වැඩිවීමක් ලැබී ඇති බවත් ඒ අනුව සමහර ශ්‍රේනිවල ගුරුවරුන්ගේ වැටුප රුපියල් 50,000 කින් පමන වැඩි වී ඇති බවත් පැවසීය.

මෙය ගුරුවරුන් සහ සෞඛ්‍ය සේවකයන් අතර ක්ෂේත්‍රවාදී භේදයක් නිර්මානය කිරීමේ තැතකි. එමන් ම, සෞවෘස කියන පරිදි ගුරුවරුන්ට විශාල වැටුප් වැඩිවීමක් ලැබී නැත. ඔවුන්ට ලැබී ඇත්තේ ඉල්ලා සිටි වැටුප් වැඩිවීමෙන් තුනෙන් එකකි. එය ගුරු අරගලය ගබ්සා කර දැමීම සඳහා ආන්ඩුව සහ ගුරු සමිති අතර ඇතිකරගත් සම්මුතියකින් ගුරුවරුන් මත පැටවුවකි. එය 'ජයග්‍රහනයක්' නොව පාවාදීමකි.

සෞවෘස විසින් වගා දිගා කරනු ලබන එම මිත්‍යාව දැනටමත් කුඩු පට්ටම් වී ඇත. සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල, සෞඛ්‍ය බලධාරීන් සහ සෞවෘස අතර අඟහරුවාදා පැවති සාකච්ඡාවේදී අතිකාල දීමනාවලට අදාල ඉල්ලීම් දෙකක් හැර සෙසු මුලික ඉල්ලීම් සියල්ලම ඇමති රඹුක්වැල්ල ප්‍රතික්ෂේප කර තිබේ.

'රටෙහි පවතින තත්ත්වය මත මේ මොහොතේ ඇතැම් ඉල්ලීම් සම්බන්ධයෙන් විසඳුම් ලබාදීම අපහසු' බවත්, විවිධ ක්ෂේත්‍ර සඳහා නව තනතුරු ඇතිකිරීම වැනි කටයුතු මෙම වසර තුල සිදු නොකිරීමට රජය ප්‍රතිපතිමය තීරනයක් ගෙන ඇති' බවත් රඹුක්වැල්ල එහි දී පවසා ඇත. 'සෞඛ්‍ය සේවාවේ වැටුප් හා අනෙකුත් දීමනා සඳහා විශාල මුදලක් වැය වන' බව සහ 'එය අනෙකුත් සේවාවන් වලට සාපේක්ෂව ඉහල වැය කිරීමක්' බව ඔහු තවදුරටත් පවසා තිබේ.

සෞඛ්‍ය සේවකයන්ගේ අරගලය නතර කිරීමට සමිති නායකයන් අතට තුරුම්පුවක් දෙමින් 'සෞඛ්‍ය සේවාවන්හි ඉදිරි වැඩපිලිවෙල පිලිබඳව සැලැසුමක් වෙනුවෙන් වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුලු කමිටුවක් පත් කිරීමට රඹුක්වැල්ල කල යෝජනාවට සෞවෘස එකඟ වී ඇත.

ආන්ඩුව ඉල්ලීම් වලට විසඳුමක් දෙන්නේ නම් වර්ජනය 'වහාම නතර කිරීමට සුදානම්' බව රත්නප්‍රිය අඟහරුවාදා මාධ්‍යට පවසා තිබුනි. 'ඉල්ලීම් ගැන කැබිනට් තීන්දුවක් අවශ්‍ය නැහැ. අඩුතරමින් කැබිනට් එකට ඉදිරිපත් කලේ මොනවද කියලවත් කිවයුතු' බව වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් සඳහන් කර තිබේ.

ධනපති මාධ්‍ය සහ ආන්ඩුව සෞඛ්‍ය සේවක වර්ජනය බිඳීමේ ප්‍රකෝපකාරී උද්ඝෝෂනයක් මුදාහැර තිබේ. වර්ජනය නිසා රෝගීන් 'අපහසුතාවයට' පත්වී ඇතැයි කිඹුල් කඳුලු හෙලමින් ධනපති මාධ්‍ය වර්ජනයට එරෙහිව මහජනයා ඇවිස්සීමේ ව්‍යායාමයක යෙදී සිටින අතර ආන්ඩුවේ දේශපාලනඥයන් වර්ජකයන්ට විරුද්ධව රාජ්‍ය අනුග්‍රහය ලත් මැර ප්‍රහාරයක් සැලසුම් කරමින් සිටී.

“අනුර කුමාරට බිත්තර පූජාව ලැබුනා. විජිත හේරත්ට ගල් පූජාව ලැබුනා. … මම රටේ ජනතාවට මතක් කරනවා උද්ඝෝෂනය කරන අයට පොලු පූජාව දෙන්න අත්වැල් බැඳ ගමු කියලා” යැයි පවසමින්, පන්ති අරගලවලට එරෙහිව කඩා පැනීමට ආන්ඩු පක්ෂයේ දේශපාලකයන් සමග එක් වන්නැයි පොදු ජන පෙරමුනේ මන්ත්‍රීයෙකු වන තිස්ස කුට්ටිආරච්චි පෙබරිවාරි 8 වැනි දා මාධ්‍ය හමුවක දී සඳහන් කලේ ය.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන් සමග කතාකල සෞඛ්‍ය සේවකයෝ ආන්ඩුව කෙරෙහි කෝපයත් වෘත්තීය සමිති පිලිබද අවිශ්වාසයත් පල කලහ

හෝමාගම මූලික රෝහලේ හෙදියක්.මෙසේ පැවසුවාය: 'ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීමක් කල නිසා නෙවෙයි අපි අරගලයට ඇවිල්ලා ඉන්නේ. එහෙම කියනවනම් ඒක වැරදියි. මම දැක්කා සමහර සමාජ මාධ්‍යි වල ගුරුවරුන්ගෙයි, හෙද සේවයෙයි වැටුප් සංසන්දනය කරලා අපේ ඉල්ලීම් අසාධාරනයි කියල කියනවා. අපි අතිකාල වලින් රුපියල් 30000ක් විතර උපයගන්නවා. ඒක ඇත්ත. ඒත් අපි ඒක කරන්නේ නින්දක් නැතුව වැඩ කරල. '

'හෝමාගම රෝහල කෝවිඩ් රෝහලක්. දැන් රෝගීන් ඇතුලත්වෙන වේගය රෝහලට දරාගන්න බැහැ. ඇඳන් නැතුව බිමත් රෝගීන් ඉන්නවා. ගොඩක් දෙනා පොඩි ලමයි. අපි ඔවුන් අතර වැඩ කරන්නේ ජීවිතය පරදුවට තියලයි. මූලික ආරක්ෂක උපකරන කිහිපයක් විතරයි ලැබෙන්නේ. අනිත් ඒව ගන්නේ අපේ වියදමෙන්. කාර්ය මන්ඩලයේ 60 ක් විතර කෝවිඩ් පොසිටිව්. කාර්යාල වල ඉන්න අය පවා වාට්ටු වලට දාගෙනයි දැන් වැඩ කරගෙන යන්නේ. ඒකයි සෞඛ්‍ය සේවකයින්ගේ තත්වය. මූලික වැටුපේ වැඩි වීමක් වෙනව නම් අපිත් කැමතියි ටිකක් නිදහසේ වැඩ කරන්න'.

මහනුවර මහ රෝහලේ හෙද සොහොයුරියක් තමන් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සාමාජිකාවක් වුවද, කිසිදු වෘත්තීය සමිතියක් ගැන විශ්වාසයක් නැති බව කීවාය. 'කොටසක් පමනක් වර්ජනය කරලා ඉල්ලීම් දිනා ගන්න බැහැ. ඒකාබද්ධ අරගලයක් කරන්න ඕනා. වෘත්තීය සමිති කැමති නැහැ එහෙම කරන්න. සමිති ගැන කලකිරිලා ඉන්නේ ඒ නිසා වර්ජනයට සම්බන්ධ වෙන්නේ නැහැ.'

රෝහල් කාර්ය මන්ඩලයේ විශාල පිරිසකට කෝවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවත් ඇන්ටිජන් කට්ටල හිඟ නිසා සමහර රෝගීන් පරික්ෂා නොකර ම ඇතුලට ගන්නා බවත් ඇය පැවසුවාය. 'බරපතල පීඩනයක් සහ අනතුරක් හමුවේ වැඩකලත් අපට කිසි සහනයක් නැහැ. ඕටී කපනව. ගුරුවරුන්ටලබා දුන් නිසා අපිටත් පඩි වැඩිකරන්නයි කියන ඉල්ලීමට මම විරුද්ධයි. අපිට ඔිනෑ ජීවත් විය හැකි වැටුපක්. ගුරුවරුන්ට ලැබුනු 3000 හෝ10000 ලැබුනට වැඩක් නැහැ. බඩු මිල වැඩි වීම මඟින් ඒ මුදල් නැවත වාෂ්ප වෙලා යනවා මුදල් අච්චු ගහලා පඩි ගෙවනවා.'

'ගුරුවරුන්ට පමනක් නෙවෙයි හැමෝටම බර පැටවිලා. සටන් කල යුත්තේ ජීවත් විය හැකි වැටුපකට. මීට පෙර වර්ජනය කරලා රුපියල් 7500 මාසික දීමනා තුනකට සමස්. වර්ජනයම පාවා දුන්නා. සමිති හරහා ඒකාබද්ධ අරගලයක් කරන්න පුලුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා ඔබලා යෝජනා කරන කම්කරු ක්‍රියාකාරී කමිටු ඒ සඳහා පිලිගත හැකි සංවිධාන රූපයක් කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මම ඔබලාගේ වට්ස් ඇප් ගෲප් එකටත් ඇතුල් වෙන්න කැමතියි'

Loading