මුරුත්තෙට්ටුවේ ආනන්ද සෞඛ්‍ය සේවක අරගල බිඳ දැමීම සඳහා ජනාධිපති සමග සාකච්ඡා කරයි

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ (රාසේඑහෙස) සභාපති මුරුත්තෙට්ටුව් ආනන්ද භික්ෂුව පෙබරවාරි 17 වෙනිදා ජනාධිපති සමග පැවති සාකච්ඡාවක දී සෞඛ්‍ය සේවක අරගල මැඩීම සඳහා ආන්ඩුව සමග ඍජුව පෙල ගැසීමට සුදානම් බව යලි වතාවක් පෙන්නුම් කර ඇත. වාර්තාවන ආකාරයට ජනාධිපති සහ සෞඛ්‍ය බලධාරීන් සමග පැවති උක්ත සාකච්ඡාව සංවිධානය කෙරී ඇත්තේ ද ආනන්දගේ ඉල්ලීමකට අනුව ය.

එහිදී ඔහු මෙසේ ප්‍රකාශ කර ඇත: 'අපි දන්නවා රටේ තත්වය මොකක් ද කියන එක. අපි කොච්චර ඒවා (සෞඛ්‍ය සේවකයන්ගේ ඉල්ලීම්) අමතක කලත් ඒවා මතුකරන අය වැඩියි. ඒ නිසා අපි පුලුවන් තරම් ඔබ තුමාට ශක්තිය ලබා දෙන්නම්. ඒ නිසා අපටත් උදව් උපකාර කරන්න'.

ආනන්ද 'රටේ තත්වය' යනුවෙන් සඳහන් කරන්නේ රාජපක්ෂ ආන්ඩුව මුහුන දී සිටින බරපතල දේශපාලන, ආර්ථික සහ මුල්‍ය අර්බුදයයි.

විශේෂයෙන්ම ඔහුගේ උත්සුකය යොමුව ඇත්තේ, ආන්ඩුවට එරෙහිව කම්කරු-පීඩිත මහජනතාව අතර වැඩී ඇති වෛරය සහ අඛන්ඩව වැඩෙන ‌පංති අරගල මාලාව සම්බන්ධයෙනි. එම තත්වය තුල, යලියලිත් මතුවන සෞඛ්‍ය සේවක අරගල බිඳ දැමීම සඳහා ජනාධිපතිට හැකි උපරිමයෙන් 'ශක්තිය' ලබාදීමට ඔහු සපථ කර ඇත.

සෞඛ්‍ය සේවකයෝ, වැටුප්, දීමනා සහ වර්ධිත උසස්වීම් පරිපාටියක් ඇතුලු ඉල්ලීම් මත පෙබරවාරි 7 වෙනිදා සිට 16 වෙනිදා දක්වා දින 9 ක අඛන්ඩ වර්ජනයක යෙදී සිටියහ. හෙද, අතුරු වෛද්‍ය, වෛද්‍ය රසායනාගාර තාක්ෂන ශිල්පී සහ ඖෂධවේදී ක්ෂේත්‍රයන්හි සේවකයන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුලු 65,000 කට අධික සෞඛ්‍ය කම්කරුවෝ එම වර්ජනයට සහභාගී වුහ.

මෙම ඉල්ලීම් අරභයා පසුගිය වසර පුරාත් මෙම වසරේත් ඔවුහු නැවත නැවතත් වර්ජන, පෙලපාලි සහ උද්ඝෝෂන වල නිරත වුහ. සෞඛ්‍ය සේවකයන්ගේ මෙම අරගල, කොවිඩ්-19 වසංගතයෙන් වඩ වඩා ගැඹුරු වන ලෝක ධනවාදයේ අර්බුදය සහ වසංගතයේ ව්‍යසනය ධනපති පාලක පන්තීන් විසින් කම්කරු පන්තීන් මත පැටවීමට එරෙහිව වර්ධනය වන ගෝලීය පන්ති අරගලයේ කොටසකි.

“රටේ පවතින මුදල් තත්ත්වය” නිසි ලෙස අවබෝධ කර ගනිමින් සමස්ත රාජ්‍ය සේවයට බලපෑමක් නොවන ආකාරයට 'අනුමත කල' හෙද ඉල්ලීම් ලබාදීමට පියවර ගන්නැයි ජනාධිපති එහි දී සෞඛ්‍ය බලධාරීන්ට පවසා ඇත. අනුමත කල හෙද ඉල්ලීම් වන්නේ නිල ඇඳුම් දීමනාව වැඩි කිරීම සහ හෙද විශ්ව විද්‍යාලයක් පිහිටු වීමයි. හෙද සේවකයන් ඉල්ලා ඇත්තේ දැනට ගෙවන රුපියල් 15,000 වාර්ෂික නිල ඇඳුම් දීමනාව 20,000 දක්වා වැඩි කරන ලෙස ය.

එහෙත් 'රටේ පවතින මුදල් තත්වයට අනුව' ඉල්ලීම් දීම යන කොන්දේසිය යටතේ හෙද සේවකයන් ගේ එම ඉල්ලීම ලැබෙන බවට සහතිකයක් නැත.

පවත්නා හෙද විදුහල් පද්ධතිය 'ජාතික හෙද විශ්ව විද්‍යාලය' බවට පරිවර්තනය කිරීමටත්, එය ජාතික විශ්ව විද්‍යාල පනතට යටත් නොවන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වැන්නක් ලෙස ස්ථාපිත කිරීමටත් පියවර ගන්නා ලෙස ජනාධිපති එහිදී නිලධාරීන්ට උපදෙස් දී ඇත. මේ වනාහි, හෙද උපාධිය මුදලට විකුනන විශ්ව විද්‍යාලයකි.

රුපියල් 3,000 සිට 10,000 දක්වා ප්‍රවාහන හා අඛන්ඩ වැඩ දීමනා වැඩි කිරීම, ඉහල අතිකාල රේට්ටු ලබාදීම සහ වැඩි වර්ධිත උසස් වීමේ පටිපාටියක් ඇතුලු සෞඛ්‍ය සේවකයන්ගේ සෙසු ඉල්ලීම් කිසිවක් ඔවුන්ට නොලැබෙනු ඇත.

හෙද සේවකයන් ට එරෙහිව රාජපක්ෂ ආන්ඩුවේ අත්ඩිගෙයක් ලෙස වැඩ කරන මුරුත්තෙට්ටුවේ ආනන්ද හෙද සේවකයන් ගේ ඉල්ලීම් යටපත් කිරීම සඳහා ජනාධිපතිට 'ශක්තියක්' වී ඇත්තේ ඒ ආකාරයට ය.

රාසේඑහෙස සහ ජනතා විමුක්ති පෙරමුන විසින් පාලනය කරනු ලබන සමස්ත ලංකා සුව සේවක සංගමය (සලසුසේස) විවෘතව වර්ජනයට හොරිකඩකම් කල අතර මුරුත්තෙට්ටුවේ ආනන්ද එය මර්දනය කරන ලෙස ද ජනාධිපතිගෙන් ඉල්ලා සිටියේ ය. රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට අධිකරන වාරන නියෝග නිකුත් කරමින් සහ සෞඛ්‍ය සේවාව 'අත්‍යාවශ්‍ය සේවාවක්' බවට පත් කරමින් සෞඛ්‍ය සේවකයන් ගේ වැඩ වර්ජනයට එරෙහිව රාජ්‍ය මර්දනයක් දිගේලි කිරීමට ආන්ඩුවට හැකියාව ලැබුනේ මුරුත්තෙට්ටුවේ ආනන්ද ගේ මෙම ද්‍රෝහී ක්‍රියාකලාපයෙන් සහ ජවිපෙ සලසුසේසයේ හොරිකඩකමෙනි.

ඉහත ඉල්ලීම් මත ම, පසුගිය වසරේ ජුලි මාසයේ 1-2 දෙදින තුල හෙද සේවකයන් 30,000 ක් සහභාගී වූ වර්ජනය ආනන්ද භික්ෂුව විසින් පාවාදෙනු ලැබීය. ජුලි 2 වෙනිදා ජනාධිපති රාජපක්ෂ හමු වූ ඔහු ඉල්ලීම් පහෙන් හතකට විසඳුම් ලැබුන බවත් සෙසු ඉල්ලීම් 2 සඳහා අයවැයෙන් විසඳුම් ලබාදීමට පොරොන්දු වූ බවටත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් හෙද සේවකයන් මුලුමනින් ම නොමග යැවීය.

එමෙන් ම සෞඛ්‍ය සේවක අරගලය දුර්මුඛ කොට බිඳ විසුරුවා හැරීමේ දී එය මෙහෙය වූ වෘත්තීය සමිති 18 ක එකතුවක් වන සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ (සෞවෘස) සහ රාසේඑහෙස හා සලංසුසේස යේ ද්‍රෝහී ක්‍රියාකලාපය අතර මුලික වෙනසක් නැත. කිසිදු ඉල්ලීමක් දිනා නොගනිමින් සෞඛ්‍ය සේවකයන්ගේ දින 9 ක අධිෂ්ඨානශීලී අඛන්ඩ වැඩ වර්ජනය සෞවෘස විසින් පෙබරවාරි 16 වෙනිදා පාවා දෙනු ලැබීය. සෞඛ්‍ය කම්කරුවන් සිය අරගලය ඉදිරියට ගෙන ගියේ ආන්ඩුවේ අත්‍යාවශ්‍ය සේවා නීති නොතකමිනි.

වර්ජනය නතර කලේ 'තාවකාලිකව' බව පැවසූ සෞවෘස යේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් 'අර්බුදයට මැදිහත්වන ලෙස ජනාධිපතිට බැගෑපත්ව ආයාචනය කලේ ය. මෙම නිර්ලජ්ජිත පාවාදීම කෙරෙහි සෞඛ්‍ය කම්කරුවන්ගේ කෝපය අපසරනය කරනුවස් “ජනාධිපතිතුමා අපේ දුක්ගැනවිලිවලට සංයුක්ත විසඳුම් නො දුන්න හොත්, ඕනෑ ම අවස්ථාවක දී” සෞවෘස සාමාජිකයන් වැඩ වර්ජන ක්‍රියාව යලි අරඹනු ඇති බවත් ඔහු පැවසීය.

මුරුත්තෙට්ටුවේ ආනන්ද මෙන් ම සෞවෘස නායකයන් ද උත්සුක වන්නේ සෞඛ්‍ය සේවකයන්ගේ අයිතීන් ගැන නොව, රාජපක්ෂ ආන්ඩුව මුහුන දී සිටින අර්බුදයෙන් එය ගලවා ගැනීම කෙරෙහිය. වෘත්තිකයන් වන තම සාමාජිකයන් “රට මුහුන දෙමින් සිටින මූල්‍ය දුෂ්කරතාව පිලිබඳ ව දන්නා” බවත්, “මේ මොහොතේ දී මුදල් සඳහා වෘත්තීය සමිති තල්ලුව නො දෙන්නේ” ඒ නිසා බවත්, ඕනෑ ම එකඟතාවක් “ප්‍රතිපත්තිමය” පමනක් වනු ඇති බවත් කුමුදේශ් මාධ්‍ය වෙත පැවසී ය. එනම් ජනාධිපති සෞඛ්‍ය සේවකයන් රැවටීමේ කඩදාසි පොරොන්දුවක් දුන්නොත් ප්‍රමානවත් ය.

සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවෙත්, ජාත්‍යන්තරවත් වෘත්තීය සමිතිවල පොදු පිලිවෙත වී ඇත්තේ ධනවාදයේ අර්බුදයට කම්කරු පන්තිය යටත් කිරීමයි. සමාජවාදී සමානතා පක්ෂය යලියලිත් කියා සිටින්නේ, ධනේශ්වර සමාජයේ සැබෑ නිෂ්පාදකයන් වන කම්කරුවන් ධනවාදයේ අර්බුදය වෙනුවෙන් කවර හෝ කැප කිරීමක් නොකලයුතු බවයි.

Loading