විදේශ විනිමය අර්බුදය ලංකාව තුල ඖෂධ හිඟයක තර්ජනය මතු කරයි

ගෝ්‍ඨාභය රාජපක්ෂ ආන්ඩුව කම්කරු පීඩිත මහජනයා මත දිගේලි කරන ප්‍රහාර තවත් දැඩි කරමින් රට තුල අත්‍යාවශ්‍ය ඖෂධවල දරුනු හිඟයක් හා මිල ගනන් තවදුරටත් ඉහල යෑමක් සඳහා කොන්දේසි නිර්මානය කරමින් පවතී. අත්‍යාවශ්‍ය භාන්ඩ රැසක මිල ඉහල යෑමට හේතූ වූ ආන්ඩුවේ විදේශ විනිමය අර්බුදය මීට හේතු වී ඇත.

සමස්ත ලංකා ඖෂධ අලෙවිසැල් සංගමයේ සභාපති චන්දන ගනකධාරට අනුව දැනටමත් රට තුල සියයට 5 ක ඖෂධ හිඟයක් පවතී. මුත්‍රා මාර්ගය ආශ්‍රිත ආසාදනවලට හා නිව්මෝනියාවට අවශ්‍ය ප්‍රතිජීවක, හෘදය ආශ්‍රිත රෝගවලට, අධික රුධිර පීඩනය වැනි බරපතල රෝගවලට අවශ්‍ය ඖෂධ හා පැරසිටමෝල් වත්මන් හිඟයට ඇතුලත් වේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය (ජාඖනිඅ) ඖෂධ ආනයනය සම්බන්ධ නව ලියාපදිංචි කිරීම් කල්පමා කිරීමෙන් හා රජයේ බැංකු විසින් අපනයනකරුවන්ට ඩොලර් අවශ්‍ය වේලාවට නිකුත් නො කිරීම හේතුවෙන් ඖෂධ හිඟය තව සති දෙකකින් තවත් දරුනු අතට හැරෙන බව ලංකා ඖෂධ කර්මාන්ත මන්ඩලයේ (ශ්‍රිඖකම) සභාපති සංජීව වීරසේකර ඊයේ මාධ්‍යයට ප්‍රකාශ කලේ ය.

මෙම ව්‍යාපාරික මන්ඩලවල උත්සුකය තම සමාගම්වල ලාභ කඩා වැටීම පිලිබඳව වුවද, ඖෂධ සම්බන්ධයෙන් කම්කරු පීඩිත මහජනතාවට අත්විඳීමට සිදුවන දුෂ්කරතාව ඔවුනගේ ඉහත ප්‍රකාශ මගින් අනාවරනය කෙරේ. ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල වඩාත් අවප්‍රමානය වන තත්වයේ දී ආනයනය කරන ඖෂධවලින් සියයට 60 ක ප්‍රමානයකට පවතින පාලන මිල ගනන් යටතේ තවදුරටත් ඖෂධ අලෙවි කල නො හැකි බවත්, මිල ඉහල දැමීමට තම මන්ඩලය ආන්ඩුවෙන් ඉල්ලා ඇති බවත් වීරසේකර වැඩිදුරටත් කියා සිටියේ ය.

දේශීය ඖෂධ නිෂ්පාදනය ලංකාවේ ඖෂධ අවශ්‍යතාවයෙන් සියයට 15ක ප්‍රමානයකට දායකත්වය දක්වන බව වාර්තා වන අතර, අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය සීමා වීම හේතුවෙන් එම නිෂ්පාදනය ද පසුගිය මස හතර තුල සියයට 50කින් පහත ගොස් තිබේ. ශ්‍රි ලංකා ඖෂධ නිෂ්පාදකයන්ගේ සංගමය තම ඖෂධවල මිල ගනන් සියයට 10 කින් ඉහල දැමීමට ආන්ඩුවෙන් ඉල්ලා ඇත.

සාමාන්‍යයෙන් රජයේ රෝහල්වල සායනවල දී රෝගීන්ට සිදු වන්නේ වෛද්‍යවරයා ලබා දෙන බෙහෙත් වට්ටෝ‍රුවේ බොහෝ බෙහෙත් වර්ග පෞද්ගලික ඖෂධ සැල්වලින් මිල දී ගැනීමටයි. පෞද්ගලික රෝහල්වල එක් වරක් සඳහා වන චැනල් සහ ඖෂධ ගාස්තු සාමාන්‍ය කම්කරුවකුගේ සතියක වැටුපට වඩා වැඩි ය. නව ඖෂධ හිඟය හා මිල ඉහල යෑම් මධ්‍යයේ කම්කරු-පීඩිත මහජනතාවට මෙම වියදම් කිසිසේත් දරාගත නොහැකිවනු ඇත.

අනෙක් අතින් ඖෂධ හිඟයක් නිර්මානය කෙරෙමින් පවතින්නේ අවශේෂ රෝගාබාධ තීව්‍ර කරමින් මහජන සෞඛ්‍යයට තර්ජනය කරන කොවිඩ්-19 වසංගතයේ වේගවත් පැතිරීමක් සහිත ඔමික්‍රෝන් ප්‍රභේදය ලංකාව පුරා පැතුරුනු තත්වයක් යටතේ ය. ඇමරිකා එක්සත් ජනපදය ඇතුලු ලොව පුරා සහචර ධනපති ආන්ඩු ගෙන යන “එන්නත්කරනය එකම විසඳුම“ යන අවිද්‍යාත්මක ක්‍රමෝපාය මත පදනම් වන රාජපක්ෂ ආන්ඩුව වසංගත පාලනය සම්බන්ධ සියලූම සෞඛ්‍යාරක්ෂන පිලිවෙත් ඉවත දමා මහ ව්‍යාපාරිකයන්ගේ ලාභ උත්පාදනය ක්‍රියාවලිය බාධාවකින් තොරව ඉදිරියට ගෙන යෑම සඳහා “වසංගතය සමග ජීවත් වීමේ“ මිනිමරු පිලිවෙත ඉදිරියට දමා තිබේ.

වසංගතයේ පාලනයකින් තොර පැතිරීම තවත් දරුනු ප්‍රභේද බිහිවීමට හේතු වන බවට ලොව පුරා වෛද්‍ය විද්‍යාඥයන්ගේ අඛන්ඩ අනතුරු ඇඟවීම් බීඒ-2 ලෙස දැනට නම් කොට ඇති ඔමික්‍රෝන් උප-ප්‍රභේදයේ අන්තරායකාරී ස්වභාවය මගින් යලි සනාථ කෙරෙමින් තිබේ.

කොරෝනා වසංගතය ලෝක ධනේෂ්වර ක්‍රමයේ ආර්ථික අර්බුදය උග්‍ර කර ඇත. අපනයන නිෂ්පාදන, සංචාරක කර්මාන්තය හා විදේශ ප්‍රේෂන යන අංශ මගින් ලංකාවේ ආර්ථිකයට ලැබුනු ආදායම් අඛන්ඩව පහල බසිමින් තිබේ. ඊට ප්‍රතිකූලව අත්‍යාවශ්‍ය ආනයන භාන්ඩවල මිල ගනන් ඉහල යන තත්වයේ දී රටේ විදේශ නය අර්බුදය දිනෙන් දින උග්‍ර කරමින් මෙම ලෝක අර්බුදය ලංකාව තුල තියුනු ප්‍රකාශනයක් අත්කර ගෙන තිබේ. යුක්ක්‍රේනය තුල වර්ධනය වන යුද තත්වය මෙම අර්බුදයන් තවත් තීව්‍ර කරමින් ඇත.

ඩොලර් වලින් මුදල් ගෙවා ගත නො හැකිව වරායේ අත්‍යාවශ්‍ය භාන්ඩ කන්ටේනර් 2,500 ක් සිර වී ඇතැයි වාර්තා වේ. විදේශ සංචිත හිදී යෑමට ප්‍රතිචාරී වශයෙන් ආන්ඩුව දැඩි ආනයන සීමාවන් පනවා ඇත. පාරිභෝගික භාන්ඩ මත ඉහල වක්‍ර බදු පනවන ආන්ඩුව, මහ ව්‍යාපාරිකයන්ට අවශ්‍ය පරිදි වෙලඳපලේ මිල ගනන් තීන්දු කිරීමට හැකි වන පරිදි අත්‍යාවශ්‍ය භාන්ඩවල මිල පාලනයන් ඉවත් කොට තිබේ.

නිල සංඛ්‍යාලේඛනවලට අනුව, ජනවාරී මාසයේ වාර්ෂික උද්ධමනය සියයට 16.8 ක් දක්වා ඉහල ගොස් ඇති අතර දෙසැම්බර් මාසයේ එය පැවතියේ සියයට 14ක මට්ටමේ ය. ආහාර උද්ධමනය පසුගිය මාසයේ සියයට 24.4 දක්වා දැවැන්ත පරිමානයකින් ඉහල ගියේ ය. ඖෂධවල හිඟය හා මිල ඉහල යෑම් සිදු වන්නේ මේ තත්වය තුලයි.

විදේශ විනිමය අත්‍යාවශ්‍ය ඉන්ධන ආනයනය සීමා කිරීමට ද බල කෙරී ඇත. එහි ප්‍රතිඵලයක් වන විදුලි බල කප්පාදුව සහ ජල කප්පාදුවට අමතරව, පොදු මගී ප්‍රවාහනය හා අත්‍යාවශ්‍ය භාන්ඩ ප්‍රවාහනය අඩාල වී පවතී.

මෙලෙස ඖෂධ ඇතුලු මහජනයාගේ මූලික අවශ්‍යතා සියල්ල ම පාහේ තර්ජනයට ලක්වීම හේතුවෙන් ආන්ඩුවටත් සමස්ත ධනේෂ්වර සංස්ථාපිතයටත් එරෙහිව බරපතල මහජන විරුද්ධත්වයක් පැන නංවා ඇත.

පීඩිත මහජනතාවට ඖෂධ හිඟය බලපා ඇති ආකාරය සම්බන්ධයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවිය කල කරුනු විමසීමකදී, අපස්මාර රෝගියෙකුට අවශ්‍ය ඖෂධයක් සොයා ප්‍රදේශ කිහිපයකම රස්තියාදු වූ එම රෝගියාගේ ඥාති සහෝදරයෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට මෙසේ පැවසීය: “ආන්ඩුවව මහජනයාට මරන වරෙන්තුවක් දීලා තියෙනවා දිනයක් නැතුව. ඒ වගේ තත්වයක් දැන් උත්ගත වෙලා තියෙන්නේ. ඉන්ධන නැ. විදුලිය නැ. ජීවන වියදම ඉහල යනවා. වසංගතය පැතිරෙනවා. මේක දුෂ්ඨ ආන්ඩුවක්.”

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයක සේවයේ නියුතු හෙදියක් උද්ගත වෙමින් තිබෙන අර්බුදය සම්බන්ධ ව මෙසේ ප්‍රකාශ කලා ය: “රජයේ රෝහල්වල නොමිලේ දෙන බෙහෙත් කප්පාදු කරලා සෞඛ්‍ය සේවාව බරපතල ලෙස පෞද්ගලීකරනය කිරීම ගැන සාකච්ඡාවක් දැන් සිදු වෙනවා කියලා දැන ගන්න ලැබෙනවා. වසංගතය හේතුවෙන් රුපියල් 7,500 ක අවදානම් දීමනාව ලැබුනේ මාස 2 ට විතරයි. දැන් සේවක වැටුප් ගෙවීම් පවා බැරි තැනකට ආන්ඩුව යමින් තියෙන්නේ.”

“ඖෂධ හිඟයක් නිර්මානය වුනොත් සෞඛ්‍ය පද්ධතියට ම බරපතල ප්‍රහාරයක් එල්ල වෙනවා. යුක්ක්‍රේනය ආශ්‍රිතව වර්ධනය වන යුද තත්වය මේ විනාශයන් තවත් වැඩි කරනවා” යයි ඇය තවදුරටත් ප්‍රකාශ කලා ය.

පෞද්ගලික ඖෂධ අලෙවි සැලක හිමිකරුවෙක් මෙසේ පැවසීය: “පසුගිය මාස කිහිපය පුරාම තිබුන ප්‍රමාදයට වැඩි ප්‍රමාදයක් දැන් තියෙනවා. හේමාස් සමාගමෙන් ගෙන්වන බේත් හා එස්පීසී බේත් පවා දැන් ප්‍රමාද වෙනවා.”

Loading