ඉන්ධන හිඟය ජනතාවගේ රැකියා සහ ජීවන තත්වයන් ට බරපතල පහරක් එල්ල කරයි

තීව්‍ර වන ඉන්ධන හිඟයත් එය හේතුකොටගෙන සිදු කෙරෙන විදුලි කප්පාදුවත් නිසා රටේ ආර්ථික ක්‍රියාකාරිත්වයට මෙන්ම, දෙවසරක් ඉක්මවා වසංගතයෙන් බැටකන මහජනතාවගේ ජීවනෝපායන්ට සහ ජීවන තත්වයන්‌ට ව්‍යසනකාරී බලපෑමක් ඇතිකර තිබේ.

කොලඹ ඉන්ධන පිරවුම්හලක රැඳී සිටින රථවාහන පෝලිම [මූලාශ්‍රය: ෆේස්බුක්]

ඉන්ධන හිඟය නිසා භාන්ඩ සහ මගී ප්‍රවාහනය දැනටමත් හරි අඩකින් පමන කඩා වැටී ඇති අතර, විදුලි කප්පාදුව හේතුකොට ගෙන ජල සම්පාදනය ද බිඳ වැටෙනු ඇතැයි ජල සම්පාදන මන්ඩලය අනතුරු අඟවා තිබේ. මෙලෙස ආර්ථිකයට සහ ජන ජීවිතයට අත්‍යාවශ්‍ය මුලික සැපයුම් බිඳ වැටී පවතී.

විදුලිය කප්පාදුව දිනකට පැය 7.5 ක් දක්වා මේ වන විට දීර්ඝ කර තිබේ. ඉන්ධන හිඟය නිසා ඉන්ධන යොදාගෙන විදුලිය උත්පාදනය කරන විදුලි බලාගාර 10 න් සොජිට්ස් සහ උතුරු ජනනී බලාගාර දෙක හැර සෙසු බලාගාර අට ම මේ වන විට වසා දමා ඇත.

ඉන්ධන හිඟය සහ විදුලි කප්පාදුව ලක්ෂ ගනනක් කම්කරුවන්ගේ රැකියා වලට බරපතර තර්ජනයක් මතු කර තිබේ. මෙම බලශක්ති අර්බුදය, නිදහස් වෙලඳ කලාප 14 තුල සහ ඉන් පිටත් පිහිට 300 ට ආසන්න කර්මාන්ත ශාලාවලට බෙහෙවින් බලපා ඇති බව ආයෝජකයන්ගේ සංගමයේ ලේකම් ධම්මික ප්‍රනාන්දු මාර්තු 2 වෙනිදා මාධ්‍යට සඳහන් කර තිබුනි.

නිෂ්පාදන කටයුතු අඩාල වී ඇති බවත්, නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය ප්‍රවාහනය නිසි ලෙස කල නොහැකි බවත් ඔහු සඳහන් කර තිබේ. දිගටම එම තත්වය පවතින්නේ නම් කර්මාන්ත වැසීගොස් ලක්ෂ 4 කට අධික කම්කරුවන්ගේ රැකියා අහිමි විය හැකි බව ද ඔහු පවසා ඇත.

වසංගතය නිසා පසුගිය දෙවසර තුල පුද්ගලික අංශයේ කම්කරුවන් 150,000 කට රැකියා අහිමි විය. ලක්ෂ දෙකකට අධික කම්කරුවන් සේවයේ නියුතු තේ සහ රබර් කර්මාන්තය ද සෙසු මහාපරිමාන සහ සුළු පරිමාන කර්මාන්ත ද ඒ ආකාරයෙන් ම ඉන්ධන හිඟයට සහ විදුලි කප්පාදුවට මුහුන දී ඇති තතු තුල තවත් ලක්ෂ 5 ට අධික කම්කරුවන්ගේ වැටුප් කප්පාදු කිරීමේ සහ රැකියා අහිමිවීමේ තර්ජනය පවතී. රාජ්‍ය අංශයේ කම්කරුවන් ද මුහුන දී සිටින්නේ ඒ හා සමාන අන්තරායකට ය.

සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් ඍ්යේ මාධ්‍යයට පවසා තිබුනේ, දිවයින පුරා පිහිටි හෝටල්, ආපනශාලා සහ බේකරි වලින් සියයට 60 කට වැඩි ප්‍රමානයක් ගෑස් හිඟය නිසා වසා දමා ඇති බවයි. ගෑස් හිඟය ආදාහනාගාරවල ක්‍රියාකාරිත්වයට ද බෙහෙවින් බලපා ඇත.

ඉන්ධන හිඟය නිසා මේ වන විට පුද්ගලික බස් රථ වලින් සියයට 50 ක් ධාවනය නොකෙරෙන බව පුද්ගලික බස් හිමියන්ගේ සංගම් පවසති. දිවයින පුරා ධාවනය කෙරෙන පුද්ගලික බස් රථ සංඛ්‍යාව 18,000 කි. ඉන් සියයට 50 ක් ධාවනයෙන් ඉවත් වීම යනු රියදුරු සහ කොන්දාස්තරවරුන් 18,000 ක රැකියා අහිමි වීමකි.

බහාලුම් (කන්ටේනර්) ප්‍රවාහනය කරන බර වාහන වලින් සියයට 20 ක් සේවයෙන් ඉවත් කල බව බහාලුම් ප්‍රවාහනය කරන්නන් ගේ සංගමය බ්‍රහස්පතින්දා මාධ්‍යට ප්‍රකාශ කලේ ය. ඉන්ධන හිඟය දිගටම පවතින්නේනම් බහාලුම් ප්‍රවාහනය ඇනහිටීනු ඇතයි ද සංගමය අනතුරු අඟවා තිබේ.

ඩීසල් ප්‍රමානවත් තරම් නොලැබීම නිසා ධීවර කර්මාන්තය ද එලවලු සහ අනෙකුත් අත්‍යාවශ්‍ය භාන්ඩ ප්‍රවාහනය ද අඩාල වී තිබේ. බහුදින ධීවර බෝට්ටු වලින් සැලකිය යුතු සංඛ්‍යාවක් මුහුදු යාමෙන් වැලකී සිටින අතර යාපනයෙන් සහ නුවර එලියෙන් දඹුල්ල සහ කොලඹ මැනින් වෙලඳපලට සැපයෙන එලවලු ප්‍රමානය සියයට 50 කින් පහල වැටී ඇත.

තම එලවලු අලවිකර ගත නොහැකි තත්වයකට ගොවීන් මුහුන දී සිටින අතර පාරිභෝගිකයාට දැරිය නොහැකි මට්ටමට මාළු සහ එලවලු මිල ඉහල ගොස් ඇත. මහජනතාව මෙම තත්වයට මුහුන දෙන්නේ සෙසු අත්‍යාවශය බඩු මිල පිම්මේ ඉහල යාමේ සහ ආදායම පහත වැටෙන කොන්දේසි තුලය.

ඉන්ධන ලබා ගැනීම සඳහා පිරවුම්හල වෙත පැමිනෙන වාහන කිලෝ මීටර් 2-3 දිගු පෝලිම් වල සිර වී සිටිනු දැකිය හැකි අතර ඉන්ධන නැතිව වාහන අතර මග නැවතීමෙන් ජනයා අතරමංවෙති. පසුගිය සති අන්තයේ නුවර එලියේ සංචාරයේ යෙදුන300 පමන පිරිසක් ඉන්ධන ලබා ගත නොහැකිව දින ගනනාවක් එහි සිර වී සිටින බව ට මාධ්‍ය වාර්තා පල වී ඇත.

හිඟයට අමතරව ඉන්ධන මිල ඉහල යාම නිසාවෙන් මහජනයා වඩාත් දුෂ්කර තත්වයකට ඇද වැටී තිබේ. ලංකා ඉන්දියානු තෙල් සමාගම පෙබරවාරි 6 වෙනිදා පෙට්‍රල් මිල රුපියල් 7 කින් සහ ඩීසල් මිල රුපියල් 3 කින් වැඩි කල අතර පෙබරවාරි 25 වෙනිදා නැවතත් පෙට්‍රල් මිල රුපියල් 20 කින් සහ ඩීසල් මිල රුපියල් 15 කින් වැඩි කලේ ය.

ඩීසල් සහ පෙට්‍රල් මත පිලිවෙලින් ලීටරයකට රුපියල් 52 ක සහ රුපියල් 19 ක බද්දක් පනවා ඇති බවත් ඛනිජ තෙල් සංස්ථාව ලබන පාඩුව අවම කර ගැනීම සඳහා එම බදු ඉවත් කරන ලෙස මුදල් ඇමතිගෙන් ඉල්ලා ඇති බවත් එසේ නොවුනොත් ඒ හා සමානව ඩීසල් සහ පෙට්‍රල් මිල ඉහල දැමීමට සිදුවන බවත් හිටපු බලශක්ති ඇමති උදය ගම්මන්පිල, ඇමතිධූරයෙන් ඉවත් කිරීමට දින කීපයකට පෙර පැවසුවේය.

ඉන්ධන සහ විදුලි අර්බුදය සම්බන්ධයෙන් අදාල අමාත්‍යංශ නිලධාරීන් හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර 2 වෙනිදා පැවති සාකච්ඡාවක දී 5 වෙනිදායින් පසුව විදුලිය නොකපන බවට විදුලි බල මන්ඩලයේ බලධාරීන් 'පොරොන්දු' වූ නමුත් විදුලිය කැපීම දිගටම සිදුවෙමින් පවතී.

තෙල් මෙට්‍රික් ටොන්37,000 ක් රැගත් නැවක් කොලඹ වරායට පැමින ඇති බවත් ඉදිරි සතිය තුල තවත් තෙල් නැව්හතරක් පැමිනීමට නියමිත බවත් ආන්ඩුව පවසයි. ඇවිලෙන මහජන විරෝධය සහ මහ ව්‍යාපාරිකයේ පීඩනය මධ්‍යයේ ජනාධිපති රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව අර්බුදය 'විසඳන' බවට පොරොන්දු දුන්න ද ගැඹුරුවන ආර්ථික අර්බුදය හමුවේ, ඒවා යතාර්ථයක් නොවනු ඇත.

ඉන්ධන අර්බුදය ට හේතුව ආන්ඩුව මුහුන දී සිටින බරපතල ආර්ථික අර්බුදයයි. ඉන්ධන මෙන් ම අනෙකුත් අත්‍යාවශ්‍ය භාන්ඩ ආනයනය සීමා කිරීමට හේතුව ආන්ඩුවේ විදේශ සංචිත හිඳී යාමයි. ඉදිරි මාස තුන සඳහා තෙල් ආනයනය සඳහා ඩොලර් මිලියන 1,285 අවශ්‍ය නමුත් ඒ සඳහා ඉන්දියාවෙන් සහ තවත් රටවලින් ඉල්ලා ඇති නය අප්‍රේල් මාසය වන තුරු නොලැබෙන බව වාර්තා වේ.

එක්සත් ජනපදය සහ නැටෝව විසින් ප්‍රකුපිත යුක්රේන්- රුසියන් යුද්ධය ඇවිලී යාමත් සමග ලෝක වෙලඳපලේ තෙල් මිල ඉහල නැගෙමින් ඇත. සතියකට පෙරාතුව ඩොලර් 97 ක් වූ බොර තෙල් බැරලයක මිල මේ වන විට ඩොලර් 130 ට නැග තිබේ. තෙල් මිලේ සීග්‍ර ඉහලයාම බරපතල ඩොලර් හිඟයකට සහ කරවටක් නය අර්බුදයක එරී සිටින රාජපක්ෂ ආන්ඩුවේ මුල්‍ය අර්බුදය තවත් ගැඹුරු කිරීමට තුඩුදෙනු ඇත.

නය අර්බුදය ලිහිල් කර ගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය පතන ලෙස මහ ව්‍යාපාරිකය ආන්ඩුවෙන් ඉල්ලා ඇත. මාර්තු 02 නිකුත් කල ප්‍රකාශයකින්, එය තව දුරටත් පමා නොකරන ලෙස ලංකා වානිජ මන්ඩලය අවධාරනය කර තිබේ.

'ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයෝගය ඇතිව නය ප්‍රතිව්‍යුහගත කිරීමට, ක්‍රමානුකුල සහ විධික්‍රමික ප්‍රවිෂ්ටයක් එහි වැදගත් බැඳීම් ඉටු කිරීමට සහ ආර්ථික ක්‍රියාකාරිත්වයන් ට උපකාර කිරීමට බෙහෙවින් අවශ්‍ය වන්නා වූ විදේශ විනිමය ලබා ගැනීමට සහ විදේශ නය සාර්ථක ලෙස කලමනාකරනය කිරීමට ආන්ඩුවට උදව්කාරක වනු ඇතැයි වානිජ මන්ඩලය විශ්වාස කරන' බව එහි සඳහන් වේ.

මහ ව්‍යාපාරිකයේ උත්සුකතාවයන්ට අනුකුලව සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුන සහ එක්සත් ජාතික පක්ෂය ද ඒ සඳහා පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් උඝෝෂනයක යෙදී සිටිති.

සමාජ සහන කැපීම සහ පුද්ගලීකරනය ඇතුළු ආර්ථික ප්‍රතිසංස්කරන ක්ෂනිකව ක්‍රියාවට දැමීමෙන් දැනටමත් ගොජදමන මහජන වෛරය ආන්ඩුවට එරෙහිව පුපුරා යනු ඇතැයි යන උත්සුකයෙන්, ජාමුඅ සහයෝගය ලබා ගැනීම මඟ හැර සිටීමට ආන්ඩුව උත්සාහ කල නමුත් ගැඹුරුවන මුල්‍ය අර්බුදය මධ්‍යයේ එවන් අවකාශයක් නොලැබෙනු ඇත.

ආන්ඩුවේ ගැඹුරු වන ආර්ථික අර්බුදයේ බර යලි යලිත් පැටවෙන්නේ මහජනතාව මතටය. බඩු හා තෙල් මිල ඉහලයාමත් සමග මිල උද්ධමනය ද වේගයෙන් ඉහල යමින් ඇත. දෙසැම්බර් මාසයේ සියයට 14 ක් වූ මිල උද්ධමනය ජනවාරි මාසයේ සියයට 16.8 දක්වා ඉහල නැගුනි.

අර්බුදගත ධනපති ක්‍රමය තුල මහජනතාව මුහුන දෙන කිසිදු ප්‍රශ්නයකට විසඳුමක් නැත. ඒ සඳහා විසඳුම් සම්පාදනය කරගත හැක්කේ ධනේශ්වර ලාභ පද්ධතියට සහ ධනපති පන්ති පාලනය ට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදය සඳහා කරන අරගලය තුලින් පමනි.

Loading