වැඩි වැටුප් හා දීමනා ඉල්ලා සංවර්ධන නිලධාරීහු විරෝධතාවයේ යෙදෙති

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයකට රාජපක්ෂ ආන්ඩුවෙන් විසඳුම් ඉල්ලා රට පුරා සංවර්ධන නිලධාරීන් හා රැකියාලාභී උපාධීධාරීහු පසුගිය 14 දා එක් දින වර්ජනයක නිරත වූහ. වර්ජනයට සමගාමීව ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඉදිරිපිට විරෝධතා සංවිධානය කර පැවතුනි.

ගමන් වියදම් ඇතුලු අනෙකුත් දීමනා ඉහල දැමීම, අධ්‍යාපන සුදුසුකම් මත වැටුප් වර්ධක ක්‍රියාවට නැගීම, නිශ්චිත රාජකාරී ලැයිස්තුවක් ලබා දීම, ස්ථාන මාරුවීම් විධිමත් කිරීම, අභ්‍යන්තර උසස් වීම් ක්‍රියාවට නැගීම, කාර්ය සාධන ඇගයීම් ක්‍රමය යලි ක්‍රියාත්මක කිරීම, 2016 දී අහිමි කරන ලද පූර්න විශ්‍රාම වැටුප් හිමිකම යලි ලබාදීම අනෙකුත් ඉල්ලීම් අතර වේ.

සංවර්ධන නිලධාරීන්ගේ මෙම වර්ජනය කැඳවා තිබුනේ ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) සම්බන්ධ සංගම් දෙකක් වන සංවර්ධන නිලධාරී සේවා සංගමය (සනිසේස) සහ රැකියාලාභී උපාධිධාරී සංගමය (රැඋස) විසිනි. වර්ජනයට පෙර දින සනිසේස මුහුනු පොතේ ප්‍රකාශයක් කල එහි කැඳවුම්කරු චන්දන සූරියආරච්චි කියා සිටියේ මෙම එක් දින වර්ජනය 2021 නොවැම්බර් මස පැවති විරෝධතාවල ම දිගුවක් බවයි.

විරෝධතා පැවති දිස්ත්‍රික්කවල උද්ඝෝෂනවලට සැලකිය යුතු මට්ටමේ සහභාගීත්වය පෙන්නුම් කලේ, ආන්ඩුව අත්‍යාවශ්‍ය භාන්ඩ මිල ගනන් ඉහිලිය නො හැකි මට්ටමින් ඉහල දමා ඇති තත්වය හමුවේ කඩා වැටෙන තම ජීවන මට්ටම් රැක ගැනීමට සංවර්ධන නිලධාරීන් තුල ද පවත්නා දැඩි අවශ්‍යතාවයයි.

නමුත්, සංවර්ධන නිලධරීන්ගේ හා උපාධීධාරීන්ගේ එම සටන්කාමීත්වයට ප්‍රතිකූලව, සනිසේස සහ රැඋස මෙම සීමිත වර්ජන හා විරෝධතා කැඳවනු ලැබ ඇත්තේ, ආන්ඩුවට බලපෑම් දැමීමේ ක්‍රියා මගින් ඉල්ලීම් දිනාගත හැකිය යන මිත්‍යාව තොරොම්බල් කරමින්, හුදකලා හා නිස්සාර විරෝධතා තුල සිරකර සේවක විරුද්ධත්වය වාෂ්ප කිරීමටයි.

පසුගිය අය-වැය ට පෙර රාජ්‍ය අංශයේ සේවකයන්ට රුපියල් 18,000කින් වැටුප් වැඩි කරන්නැයි සංවර්ධන, ග්‍රාම නිලධාරී, කෘෂි පර්යේෂන, සෞඛ්‍යය, තැපැල්, කාර්යාල සහායක, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවකයෝ, ශ්‍රි ලංකා රාජ්‍ය වෘත්තීය සමිති සම්මේලනය විසින් පසුගිය වසරේ නොවැම්බර් මස 29 දා හා දෙසැම්බර් මස 06 දක්වා දිවයින පුරා කැඳවන ලද විරෝධතාවලට සම්බන්ධ වූහ. ඊට සනිසේස හා උරැස ද සම්බන්ධ විය.

මෙම සම්මේලනයේ නායකයෝ ධනපති ක්‍රමයට සිය ගැතිකම ප්‍රදර්ශනය කරමින් “ආන්ඩුව මුහුන දී සිටින අර්බූදය සලකා බලා“ රුපියල් 18,000ක් වූ අවම වැටුප් වැඩිවීමක් ලබාදෙන ලෙසට කල ඉල්ලීම රුපියල්10,000 දක්වා ස්වේච්ඡාවෙන්ම අඩුකර ගත්හ. ඔවුන් එසේ සිදු කලේ සාමාජිකත්වය සමග කිසිදු සාකච්ඡාවකින් තොරව ය. මෙලෙස ඔවුන් ඉල්ලීම කප්පාදු කලේ ධනපති අර්බුදයට අනුව කම්කරුවන් තමන්ගේ පටි තදකර ගතයුතුය යන මහ ව්‍යාපාරිකයන්ගේ සහ ආන්ඩුවල උපදෙස් පිලිපදිමිනි.

ආන්ඩුව අය-වැයෙන් රාජ්‍ය සේවකයන් සඳහා වැඩි කලේ රුපියල් 5,000 ක දීමනාවක් පමනි. එම සොච්චම පිලිගත් මෙම සමිති නායකයෝ, ඒ ඒ අංශවල හුදකලා විරෝධතා සංවිධානය කරමින් කම්කරුවන්ගෙන් එල්ල වන කෝපය යටපත් කරගැනීමේ තැතක යෙදී සිටිති.

රටක් රටක් පාසා පාලක පන්තිය කම්කරු පන්තිය මත එල්ල කරමින් සිටින ප්‍රහාර ගෝලීය වසංගතය මගින් හා යුක්‍රේනය අලලා වර්ධනය වන ලෝක යුද තත්වය හමුවේ තවත් ගැඹුරු වෙමින් පවතින අතර ඊට එරෙහිව කම්කරු පන්තියේ පන්ති සටන් අවුලුවා තිබේ.

මේ දිනවල ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්ස්ටාස් ප්‍රාන්තයේ පාසල් ගුරුවරු වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා ගෙන යන අරගලය, ඕස්ට්‍රේලියාවේ, තුර්කියේ හා තවත් රටවල සෞඛ්‍ය සේවකයන්ගේ අරගල මින් කිහිපයකි. ලංකාවේ පැන නංවා ඇති අරගල ජාත්‍යන්තර පන්ති අරගලයේ කොටසකි.

අපනයන ආදයම් කඩාවැටෙමින් විදේශ සංචිත දරුනු ලෙස සිදීයෑම ලෙස ලෝක අර්බූදය ලංකාව තුල තියුනුව ප්‍රකාශයට පත්ව ඇත. කඳු ගැසුනු නය ආපසු ගෙවීමේ අර්බුදයක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව ගිලී ඇත. ආන්ඩුව අර්බුදය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග (ජාමූඅ) වැඩකරන බව ගිය සතියේ රාජපක්ෂ නිවේදනය කලේය. රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරනය, සුභසාධන කප්පාදුව හා බදු ඉහල දැමීම සහ රුපියල අවප්‍රමානය කිරීම ඇතුලු කොන්දේසි ජාමුඅ නිර්දේශ කර ඇත.

රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව අඩුකිරීම, වැටුප් යම් ප්‍රති ශතයකින් කැපීම, විශ්‍රාම වැටුප් කප්පාදුව ආදී ප්‍රහාර ජාමුඅ නිර්දේශ කිරීමට නියමිත ය.

මේ තතු තුල කම්කරුවන්ට තම ඉල්ලීම් දිනා ගත හැක්කේ ධනපතියන්ගේ හා එහි ආන්ඩුවේ ප්‍රතිපත්ති පරාජය කිරීමෙන් පමනකි. සමිති නිලධරයන් කියන පරිදි, ධනපති ක්‍රමයේ හා ආන්ඩුවේ අර්බුදයට කරගසා කම්කරුවන් හා දුගීන් තම පරිපීඩිත ජීවන හා සමාජ කොන්දේසි වනසා ගතයුතු නැත. කම්කරු පන්තියට විකල්පයක් ඇත.

සමිති විසින් පටවා ඇති සියලු භේදකරිත්වයන් කපා හෙලමින් තම අයිතීන් රැක ගැනීමට, තමන් මෙන්ම ප්‍රහාරයට ලක්ව සිටින ජාත්‍යන්තර පන්ති සහෝදරයන් සමග එකමුතුවෙමින්, කම්කරුවන් තමන්ගේ ඒකාබද්ධ ප්‍රහාරයක් සුදානම් කල යුතුය. වෘත්තීය සමිති එවන් අරගලයකට එරෙහිව සිටිති. මෙම සන්විධාන, ඒ ඒ කම්කරු කොටසේ “වැටුප් විෂමතා“ විසඳීම පිලිබඳ ඉල්ලීම ඉදිරියට දමා ඇත්තේ ඔවුන් අතර භේදකාරිත්වයක් නිර්මානය කිරීමටය.

මන්ද යත්, කම්කරුවන් එකාබද්ධව දියත් කරන අරගලයක් ධනපති පන්ති පාලනයට අභියෝගයක් ලෙස වර්ධනය වනු ඇති හෙයිනි. වෘත්තීය සමිති ධනපති ක්‍රමයට ගැට ගැසී ඇති සංවිධානයන් ය. සමිතිවලින් හා ඒවායේ නිලධරයන් ගෙන් ස්වාධීනව සෑම වැඩපොලකම තම අරගලය ගෙන යාමට ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගන්නා ලෙස කම්කරුවන් ගෙන් අපි ඉල්ලා සිටින්නේ මේ නිසාය.

විශේෂයෙන් පසුගිය මාස කිහිපය තුල සිදු වී ඇති ජීවන වියදමේ බරපතල ඉහල යෑම් සමග සැසදීමේ දී රුපියල් 5,000 ක වැඩිවීම ඊට අලගු තැබීමටත් ප්‍රමානවත් නැත. ආන්ඩුවේ පසුගිය වසරේ අග සංඛ්‍යාලේඛන අනුව හතර දෙනෙකුගෙන් යුතු පවුලකට ජීවත් වීමට අවම වශයෙන් 73,230 ක් අවශ්‍ය වේ. එවන් වැටුප් මට්ටමක් බහුතරයක් කම්කරුවන්ට නොමැති අතර 2019 සිට රාජ්‍ය සේවයේ වැටුපේ මූර්ත අගය අඛන්ඩව පහත වැටී තිබේ.

ඉහල යන ජීවන වියදමට සමාන්තරව වැඩිවන වැටුපක් නැතහොත් ශිෂ්ඨ සම්පන්න ජීවිතයක් ගත කිරීමට සරිලන වැටුපක් සඳහා කම්කරු පන්තිය පොදුවේ සටන් වැඳිය යුතු ය.

කම්කරුවන් අවශේෂ දුගී ජනයාගේ ද සහාය දිනාගෙන ජාත්‍යන්තර සමාජවාදයේ ඉදිරිදර්ශනය යටතේ සමාජවාදී වැඩපිලිවෙලකට සහ එය ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සටන් කිරීමෙන් පමනක් ම ධනපති පන්තියේ හා ආන්ඩුවේ ප්‍රහාරය පරාජය කල හැකිය.

සංවර්ධන නිලධාරීන් විසින් පැවැත් වූ මාර්තු 14 දා වර්ජනයේ ප්‍රධාන විරෝධතාවය පැවති බත්තරමුල්ල ඉසුරුපාය ඉදිරිපිට දී මාධ්‍යයට අදහස් දැක් වූ සූරියආරච්චි ආන්ඩුව පැත්තෙන් කිසිදු ප්‍රතිචාරයක් නො දක්වා ඇති තත්වයක දීත් “[මාර්තු] 14 දා වර්ජනය සියයට 90 ක් සාර්ථක“ යයි සනිසේස මුහුනු පොතේ ප්‍රකාශයක් පල කර තිබේ. රටපුරා ලක්ෂයකට ආසන්න සංවර්ධන නිලධාරීන් මාර්තු 14 දා කොලඹට ගෙන්වීමට තීන්දු කර පැවතියත්, රටේ ඉන්දන අර්බූදය හුවා දක්වා විරෝධතා දිස්ත්‍රික්ක මට්ටමින් පැවැත්වීමට සමිති විසින් තීරනය කරන ලද්දේ කම්කරුවන් විසුරුවා තැබීමේ පියවරක් ලෙසය.

මහනුවර උද්ඝෝෂනය දහවල් 12 සිට 1දක්වා ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානය අභියස පැවැත්විනි. සංවර්ධන නිලධාරීහු 400ක් පමන සටන් පාඨ කියමින් ඊට සහභාගී වූහ. අවසානයේ පිරිස ඇමතූ උපාධිධාරී සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක සම්පත් වික්‍රමසිංහ නැමැත්තාගේ ප්‍රකාශ මගින් සමිති නිලධරයේ බංකොලොත්භාවය තවත් එලිමහනට පැමිනියේ ය.

“අවුරුදු 16ක සිට මේ ඉල්ලීම් අපි ඉදිරිපත් කරන්නේ ඒත් මේ තකතීරු ආන්ඩුවට ගානක් නෑ. වැටුප් ප්‍රශ්නය ගැන අඩුතරමින් ලියුමක් ගහන්න බෑ“ යයි ඔහු ප්‍රකාශ කලේ ය. වික්‍රමසිංහ එසේ කීවේ හරියට 'බුද්ධිමත් ආන්ඩුවක්' නම් ඉල්ලීම් දෙනු ඇතැයි අඟවමිනි. මොන ආන්ඩුවක් බලයේ සිටියත් සමස්ත ලෝකයම ඉහවහා ගිය ධනපති අර්බුදය තුල කම්කරුවන්ගේ හෝ දුගීන්ගේ මොනම අයිතියක් වත් දීමට ඒවාට නොහැකිය. එවෙනුවට, ඒවා අර්බුදයේ බර මහජනයා පවටවීමට ක්‍රියා කරනු ඇත.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවවෝ ප්‍රදේශ කිහිපයක සංවර්ධන නිලධාරීන් සමග ජීවන වියදම ඉහල යෑම පිලිබඳවත්, ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින් සටන්වැඳීමේ අවශ්‍යතාවය ගැනත් සාකච්ඡා කලහ.

වසර 9 ක සේවා කාලයක් ඇති ආර්ථික සංවර්ධන නිලධාරීවරයෙකු කියා සිටියේ මෑතක දී රාජ්‍ය සේවකයන්ට ලබා දුන් රුපියල් 5,000 ක දීමනාවත් සමග ඔහුගේ මූලික වැටුප 37,000 ක් පමන වන බවයි.

“සියලු දීමනා සමග 44,000 ක පමන මුලු වැටුපක් ලැබෙනවා. ඒත් නයවලට කැපිලා ගියාම අතට ලැබෙන්නේ 20,000 ක විතර මුදලක්. ඒකෙන් කොහොම ද ජීවත් වෙන්නේ“ යයි ප්‍රශ්න කලේ ය.

“වර්ජනය පිලිබඳව සේවකයන් දැනුවත් කිරීමට සමිති වැඩ කලේ නෑ. සේවකයන් වර්ජනයට සහභාගී වීම සම්බන්ධව ව්‍යාකූලත්වයක හිටියේ. පසුගිය වතාවන්වල දී අපි වර්ජනයේ නිරතව සිටිය දී සමිති නායකයන් වර්ජනය පාවා දීලා වැඩට ගියා. ඒනිසා පහල සාමාජිකත්වය තුල සමිති කෙරෙහි විශ්වාසයක් නෑ“ යයි යාපනය දිස්ත්‍රික්කයේ සංවර්ධන නිලධාරියෙක් ප්‍රකාශ කලේ ය.

Loading