කම්කරු පන්තියට එරෙහි රුදුරු ප්‍රහාර වසං කිරීමට ආන්ඩුව සර්ව පාක්ෂික සමුලුවක් කැඳවයි

විදේශ සංචිත සිඳී යාම හේතුවෙන් ආන්ඩුව මුහුන දී සිටින පෙර නොවූ විරූ ආර්ථික අර්බුදය මැද පසුගිය බදාදා ජනධිපති ගෝඨාභය රාජපක්ෂ සර්වපාක්ෂික සමුලුවක් කැඳවූවේ ය. සමුලුව කැඳවීම සඳහා මූලික ඉල්ලිම ඉදිරිපත් කලේ ආන්ඩුවේ ප්‍රධාන හවුල්කාර පාර්ශවය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි (ශ්‍රීලනිප). ශ්‍රීලනිපට අමතර ව එක්සත් ජාතික පක්ෂය (එජාපය), මහජන එක්සත් පෙරමුන, දෙමල ජාතික සන්ධානය (දෙජාස), ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුලු ධනපති පක්ෂ ගනනාවක් සමුලුවට සම්බන්ධ වූහ. ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය (සජබ) සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සමුලුව වර්ජනය කලහ.

“රට මුහුන දී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා වන ජාතික අවශ්‍යතාවයක්” ලෙස රාජපක්ෂ විසින් මෙම සමුලුව නම් කරනු ලැබුවත් එහි සැබෑ අරමුන වූයේ අනෙකකි. ඔඩු දුවමින් පවතින ආර්ථික අර්බුදය මධ්‍යයේ තමන් මුහුන දෙන දරාගත නොහැකි ජීවන කොන්දේසි වලට එරෙහිව කම්කරුවන් සහ අවශේෂ පීඩිතයන් අතර වර්ධනය වන සටන්කාමීත්වය රුදුරු ආඥාදායක පාලන විධික්‍රම යොදාගනිමින් මර්දනය කිරීමට ආන්ඩුව සූදානම් වෙමින් සිටියි. ජනතාවට සහන සැලසීම සඳහා අනෙකුත් ධනපති පක්ෂවල අදහස් විමසීමේ මුවාවෙන් එම මර්දනයට ඔවුන්ගේ සහය ලබාගැනීමත්, සූදානම් කෙරෙන ප්‍රහාරය වසං කරගැනීමත් රාජපක්ෂගේ ඉලක්කයයි.

ඩොලරයට සාපේක්ෂව රුපියල සීඝ්‍රයෙන් කඩා වැටෙමින් පවතින තත්වයක් තුල ඉන්ධන, ගෑස්, ඖෂධ ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟ වීම, ජීවන වියදම අහස උසට වැඩි වීම සහ දෛනික විදුලි කප්පාදු ආදී දුෂ්කර කොන්දේසි වලට මුහුන දෙන කම්කරු පන්තිය සහ පීඩිත ජනයා අතර ආන්ඩුවට එරෙහි ව බරපතල කෝපයක් වර්ධනය වෙමින් තිබේ.

ඉන්ධන පෝලිම් සහ ගෑස් පෝලිම් වල පැය ගනන් රස්තියාදු වන මහජනතාව ආන්ඩුවට එරෙහි විරෝධය විවෘත ව ම ප්‍රකාශ කරන්නට පටන්ගෙන තිබේ. ආන්ඩුව දැනටමත් පිරවුම් හල් අසලට හමුදාව යොදා ඇත්තේ මහජනතාව බියවැද්දීමේ ආරම්භක පියවරක් ලෙසයි. රට පුරා ප්‍රධාන නගරවලට දෛනික ව රැස්වෙන මහජනතාව විරෝධතා සංවිධානය කරමින් තවදුරටත් ඉවසා දරාගත නොහැකි ජීවන තත්වයන් වහා විසඳිය නොහැකි නම් ඉල්ලා අස්වන ලෙස ආන්ඩුවට බල කරමින් සිටියි.

මෙම විරෝධතාවන් රට තුල වර්ධනය වෙමින් පවතින පන්ති අරගල රැල්ල තවත් වේගවත් කරමින් සමස්ත ධනපති පාලක පන්තියට අභියෝග කරන මට්ටමක් කරා එලඹෙනු ඇතැයි ආන්ඩුව තදින්ම භීතියට පත්ව සිටී. පසුගිය මාස කිහිපය මුලුල්ලේ අධ්‍යාපන, සෞඛ්‍ය, බලශක්ති ආදී කම්කරු පන්තියේ තීරනාත්මක ක්ෂේත්‍ර තුල පුපුරා ගිය වැඩ වර්ජන වෘත්තීය සමිති වල පාවාදීම් වල උදව්වෙන් ආපසු හරවනු ලැබුවත් එම අරගල තවදුරටත් යටපත් කරගත නොහැකි සීමාවකට ලඟා වී ඇත.

මාර්තු 16 වනදා ජාතිය අමතා කල කතාවේදී රාජපක්ෂ පැවසුවේ, ආන්ඩුව මෙම අර්බුදය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමුඅ) සහය ලබා ගැනීම බලාපොරොත්තු වන බවයි. ආන්ඩුව දැනටමත් ජාමූඅ නියෝග ක්‍රියාත්මක කර ඇති තත්වයක් තුලදී රාජපක්ෂ පවසන්නේ එම කප්පාදු පිලිවෙත් ඉදිරියේ දී වඩාත් දැඩි කරන බවයි.

ජාමූඅ නියෝග වලට අඩංගු වන්නේ රජයේ සහනාධාර කැපීම, රැකියා සහ වැටුප් කපාදමමින් රාජ්‍ය සේවය ප්‍රතිව්‍යුහගත කිරීම, රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරනය කිරීම සහ මහජනතාව මත බදු බර ඉහල නැංවීම ඇතුලු විෂඝෝර කප්පාදු වැඩපිලිවෙලකි. එය ක්‍රියාත්මක කිරීමේ දී නිසැක වශයෙන්ම තියුනු කෙරෙන පන්ති අරගල රුදුරු ලෙස තලා දැමීම ආන්ඩුවේ එල්ලයයි.

කම්කරු-පීඩිත මහජනතාවන්ගේ විරෝධය සමස්ත පාලක පන්තිය දෙසට එල්ල වූවක් බව දන්නා අනෙකුත් ධනපති පක්ෂ රාජපක්ෂගේ මෙම ආඥාදායක ගමනට සහයෝගය ලබාදීමට සූදානම්‍ ය. ඔවුන් අතර යම් උපායික මතභේද පැවතියත් වැඩෙන අර්බුදයේ බර කම්කරු පන්තියේ උරමත තැබීම ගැන ඔවුන්ට කිසිදු නොඑකඟතාවක් නැත.

එජාප නායක රනිල් වික්‍රමසිංහ එවැනි ප්‍රහාරයක් දියත් කල යුත්තේ කෙසේද යන්න පිලිබඳව ආන්ඩුවට උපදෙස් දෙමින් කියා සිටියේ “ඉදිරි වසර දෙක තුලදී ආර්ථිකය ස්ථාවර කිරීමට සහ ශක්තිමත් කිරීමට නම් දේශීය සහ විදේශීය ආයෝජකයින්ගේ විශ්වාසය පලුදු කිරීමට හේතුවී ඇති ආර්ථික ප්‍රතිපත්ති ආපසු හැරවිය යුතු” බවයි.

ආයෝජකයන්ගේ විශ්වාසය ඇති කිරීමට පවතින එකම මාර්ගය ඔවුන්ගේ ලාභ ඉහල දමා ගැනීම සඳහා කම්කරුවන් දරුනු ම සූරාකෑමට ලක්කිරීමට ඉඩ කඩ ලැබෙන කොන්දේසි සකස් කර දීම මිස අනෙකක් නොවේ. ජාමූඅ නියෝග ඉක්මනින්ම ක්‍රියාවට දැමීමට තම එකඟතාව පලකරමින්, වික්‍රමසිංහ මුදල් ඇමති බැසිල් රාජපක්ෂගෙන් ඉල්ලා සිටියේ ලංකාව පිලිබඳ ජාමුඅ වාර්තාව නොපමාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසයි.

ශ්‍රීලනිප සර්ව පාක්ෂික සමුලුව සඳහා යෝජනා 21කින් යුතු ලියවිල්ලක් ඉදිරිපත් කලේ ය. ඒ අතරින් බොහොමයක් මහ ධනපතියන්ගේ ලාභ ආරක්ෂා කර දීම සඳහා වෙන් වී තිබූ අතර අනෙක්වා මහජනතාව මුහුනදෙන දුෂ්කරතාවයන් කිහිපයක් සඳහන් කරමින් ඒවා “විසඳීම සඳහා” ඉදිරිපත් කෙරුනු පුස් යෝජනාවන් ය. “සිංහල අලුත් අවුරුදු සමය තුල මහජනතාවට සහන ලබාදීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම, භාන්ඩවල ඉහල යන මිල සහ ඒවායේ ගුනාත්මකභාවය ගැන නිරන්තර ව සොයා බැලීම ඒ අතර විය.

කම්කරු පන්තියේ කෝපය අවුලුවාලන අර්බුදයක් මතු ව එන සෑම මොහොතක දී ම පාලක පන්තියේ වඩාත් සවිඥානක කොටස් බියෙන් ඇලලී යති. කොවිඩ්-19 වසංගතය වඩාත් උග්‍ර ලෙස පැතිර යමින් ආන්ඩුව තම ජීවිත ගැන දක්වන ලද නොසැලකිල්ල පිලිබඳ ව මහජනතාව අතර විරෝධතා වැඩුනු පසුගිය වසර වලදී සෑම ධනපති පක්ෂයක්ම “සර්ව-පාක්ෂික යාන්ත්‍රනයක” අවශ්‍යතාව නිරන්තරවම මතු කලේය.

මහජනතාවට සහන සැලසීම පිලිබඳ මෙවර සමුලුවේ දී සඳහන් කෙරුනු සියලු බේගලයන්ට විපරීත ව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල්ට සැබෑ තත්වය හෙලිදරව් කිරීමට බල කෙරුනි. ඔහු පැවසුවේ, “සාර්ව ආර්ථික ස්ථායීතාවය සහ නය තිරසාරත්වය නැවත ස්ථාපිත කිරීම සඳහා විශ්වාසනීය උපායමාර්ග ක්‍රියාවට නැංවීමේ කඩිනම් අවශ්‍යතාවය පිලිබඳ ව ජාමූඅ මෑතක දී ලංකාවට අවධාරනය කර තිබුනා. එනිසා ඉදිරියේදී ආර්ථික කටයුතු සම්බන්ධයෙන් ඔවුන් සමඟ ගනුදෙනු කරන විට ඔවුන්ගේ ප්‍රතිපත්ති දැඩි විය හැකි බව ද අප මතක තබා ගත යුතු” බවයි. සමුලුවේ කිසිවෙකුත් කවර අන්දමේ දරුනු ජාමූඅ නියෝගයක් වුව ද පිලිපැදීමට එරෙහි ව කිසිදු විරෝධතාවක් දැක්වූයේ නැත.

සජබ හෝ ජවිපෙ මෙම සමුලුවට සහභාගී නොවූයේ ඔවුන්ට රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රතිපත්ති වලට එරෙහි ව සැබෑ විරෝධයක් පවතින නිසායැයි කවර හෝ මිත්‍යාවක් කම්කරු පන්තිය තුල නොපැවතිය යුතුය. මේ වනවිට රාජපක්ෂ ආන්ඩුවේ අර්බුදය ගසා කමින් බලයට පැන ගැනීමට වලිකමින් සිටින තතු යටතේ මෙම පක්ෂ දෙක සමුලුවට සහභාගී නොවීම ආන්ඩුවට එරෙහි ව දැක්වූ පුහු විරෝධයක් පමනි.

සජබය සර්වපාක්ෂික සමුලුව වර්ජනය කලේ, එය ජනතාව රැවටීම සඳහා කෙරෙන මාධ්‍ය සංදර්ශනයක් බව පවසමිනි. එහෙත් පසුගිය වසරේදී මැයි මාසයේදී කෝවිඩ් අර්බුදයට මුහුනදීමේදී සර්වපාක්ෂික වැඩපිලිවෙලක් සඳහා සජබ මූලිකත්වයෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කෙරුනු අතර එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේ, “ආන්ඩුව සමඟ දේශපාලන සටන් විරාමයකට යමින්” ඔවුන් ආන්ඩුවට සහය වීමට සූදානම් බවයි.

මෙවර සමුලුවට සහභාගී නොවුනත්, සජබය මෙම ආර්ථික අර්බුදයට “විසඳුම්” ලෙස ඉදිරිපත් කරන්නේ රාජපක්ෂ ආන්ඩුවට වෙනස් වැඩපිලිවෙලක් නොවේ. තමන් ජාමුඅ සහය පැතීමට බලාපොරොත්තු වන රාජපක්ෂ විසින් නිවේදනය කිරීමෙන් පසු සජබය තුල ආර්ථික විශේෂඥයෙකු ලෙස පෙනී සිටින හර්ෂ ද සිල්වා පැවැසුවේ, “ජාමූඅ සමඟ සාකච්ඡාවලට යා යුතුව තිබුනේ මීට පෙර බවත් ප්‍රමාද වී හෝ ආන්ඩුව නිවැරදි තීන්දුවක් ගෙන ඇති” බවත් ය. වෙනත් වචනවලින් පවසන්නේ නම් සජබයට අනුව, කම්කරු-පීඩිත මහජනතාවන්ගේ පටි තදකර ධනපති ආර්ථිකය ආරක්ෂා කරගැනීමට මීටත් පෙර ම ක්‍රියාත්මක විය යුතු ව තිබුනි.

සර්ව පාක්ෂික සමුලුව රටේ ආර්ථික අර්බුදය විසඳීමේ සැබෑ අරමුනකින් නොකැඳවන බවත් එහි අරමුන ආන්ඩුව ඇතුලේ දේශපාලන අර්බුදය විසඳාගැනීම බවත් පවසමින් තමන් ඊට සහභාගී නොවන බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කර තිබුනි.

තමන් සර්ව පාක්ෂික සමුලුවට සහභාගී වූයේ නම් පවසන එකම දෙය වන්නේ, “ගෝඨාභය, දැන් ඇති. ඔයා බැහැල යන්න” බව මාර්තු 18 වනදා නුගේගොඩදී පැවති ජාතික ජන බලවේගයේ (ජාජබ) රැලියක දී දිසානායක පැවසුවේ ය. රාජපක්ෂට එරෙහිව වර්ධනය වී ඇති මහජන විරෝධය මතට පැනගැනීමේ අවස්ථාවාදී අරමුනෙන් ඔහු එසේ පැවසුවත් ජවිපෙ සිය ඉතිහාසය පුරා කලේ ධනපති පක්ෂ බලයට ගෙන ඒමට වැඩ කිරීම සහ ඔවුන්ගේ ආන්ඩු තුල අමාත්‍ය ධූර පවා දරමින් ධනපති පාලක පන්තියට ඉතා සමීප ව කටයුතු කිරීමයි.

ලංකාව තුල වසංගතය ව්‍යසනකාරීව පැතිර යාමත් රාජපක්ෂ ආන්ඩුවට එරෙහි සමාජ කෝපය යටපත් කිරීම සඳහා ජවිපෙ මහජනතාවගෙන් ඉල්ලා සිටියේ, “සියලු භේද පසෙක තබා කොරෝනා වසංගතය මර්දනයට ඒකාබද්ධ වන” ලෙසයි. එමෙන්ම වසංගත මර්දනය සඳහා විපක්ෂයන් සම්බන්ධ කරගත් “සර්ව පාක්ෂික යාන්ත්‍රනයක්” සකස් කිරීම සඳහා උද්ඝෝෂනයේ යෙදුනු කන්ඩායම් අතරින් ජවිපෙ පෙරමුනේම සිටියේ ය.

පසුගිය සැප්තැම්බර් මාසයේ දී සජබ නායක ප්‍රේමදාස විසින් අවස්ථාවාදී එල්ලයක් සහිත ව මහමැතිවරනයක් පැවැත්වීමේ යෝජනාවක් ගෙන ඒමෙන් පසුව දිසානායක පැවසුවේ, “මේ මොහොතේ මැතිවරනයක් ඉල්ලන පුද්ගලයින්ගේ මොලය පරික්ෂා කලයුතු” බවත් “දේශපාලන පක්ෂවල වගකීම විය යුත්තේ සමස්ත සමාජය කොරෝනා ව්‍යසනයෙන් මුදවාගැනීමේ දිශාවට යොමු කිරීම සඳහා ආන්ඩුවට වැඩි වැඩියෙන් පෙලඹවීම් ඇති කිරීම” බවත් ය. එහිදී ධනපති ක්‍රමය ආරක්ෂා කිරීමට කැප වී සිටින ජවිපෙ නයකයාගේ උත්සුකය වූයේ පාලක පන්තියට එරෙහි ව මහජනතාව අතර වැඩෙන විරෝධය කවර අයුරකින් හෝ ප්‍රකාශයට පත්වීම වලක්වා ගැනීමයි.

සමුලුවට සහභාගී වූ දෙජාස නායක ආර්.සම්බන්ධන් “එක් රටක්, එක් ජාතියක් ලෙස මෙම අර්බුදයට මුහුනදිය යුතු බව පවසමින්” ආන්ඩුවේ වැඩපිලිවෙලට එකඟතාව පල කලේ ය. ධනපති පාලක පන්තියේ පොදු අවශ්‍යතාවයන් එක ලෙස ම නියෝජනය කරන දෙමල ධනපති පක්ෂ, සුවිශේෂ ව දෙමල ධනේශවරයේ ඉල්ලීම් පෙරට දමමින් කොලඹ ආන්ඩුවට සහය දැක්වීමේ නිරත ව සිටියි.

සර්ව පාක්ෂික සමුලුවට සමගාමීව ඊට දින දෙකකට පසු දෙජාස ප්‍රමුඛ දෙමල ධනපති පක්ෂ වලට ජනාධිපති සමඟ වෙනම සාකච්ඡාවක් ලැබුනි. මාධ්‍ය වාර්තා වලට අනුව සාකච්ඡාවට පෙර දෙජාස නායක එම්.ඒ. සුමන්දිරන් විසින් ජනාධිපතිට යොමුකරන ලද ලිපියක අන්තර්ගතය වූයේ, “නව ව්‍යවස්ථාමය සංශෝධනයක් ඔස්සේ ලංකාවේ ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක්” ලබාදීමයි.

දෙමල ධනපති පක්ෂ දීර්ඝ කාලයක් තිස්සේ කොලඹ ආන්ඩුවෙන් කරන මෙම ඉල්ලීම සහ දෙමල මහජනතාවගේ ජීවන කොන්දේසි ඉහල නැංවීම අතර කවර හෝ සම්බන්ධයක් නැත. ආන්ඩුව මුහුන දෙන තියුනු ම අර්බුදය මධ්‍යයේ දෙමල ධනේෂ්වරයේ වරප්‍රසාද ආරක්ෂා කරගැනීම සඳහා ඔවුහු මාන බලති.

ආන්ඩුව සියලු ධනපති පක්ෂ එක පෙරමුනකට ගොනුකර ගනිමින් සූදානම් කරන අඥාදායක ප්‍රහාරය පරාජය කිරීමට කම්කරුවන් තමන්ගේ ස්වාධීන ව්‍යාපාරයක් ගොඩනැගිය යුතු ය. එහි දී අති මූලික කර්තව්‍යය වන්නේ ද්‍රෝහී වෘත්තීය සමිති වලින් බිඳී වෙන්වීමයි.

Loading