ලංකාවේ මහ බැංකු අධිපති: තවතවත් කප්පාදුවලට සූදානම් වන්න

[මෙය Sri Lankan Central Bank governor: Prepare for more austerity මැයෙන් 2022 අප්‍රේල් 11දා පල වූ ලිපියේ පරිවර්තනයයි.]

අලුතින් පත්කරන ලද ලංකාවේ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සිකුරාදා මෙසේ කීවේ ය: “අපේ වැඩපිලිවෙලෙහි ප්‍රතිඵලය වනු ඇත්තේ තත්ත්වය ආපසු හැරවීමකට පෙර වඩා නරක තත්ත්වයක් බව අපි මහජනතාවට කිව යුතුයි.”

හදිසි නයක පිරිවැය ලෙස, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) ම්ලේච්ඡ කප්පාදු පියවරයන් නියෝග කරනු ඇති බව, වීරසිංහ අනතුරු ඇඟවී ය. සිකුරාදා ඔහු සිදු කල පලමු ක්‍රියාව වූයේ, රටෙහි පොලී අනුපාතය සියයට 14.50 දක්වා සියයට 7කින් සුවිශාල ලෙස ඉහල දැමීම වන අතර, එම පියවර වැඩකරන ජනයාට හා කුඩා ව්‍යාපාරවලට දැඩි ලෙස පහර දෙනු ඇත.

වීරසිංහ මෙම අදහස් පලකලේ, ඔහු තනතුරට පත්කරනු ලැබීමෙන් යන්තම් පැය ගනනකට පසුව, ස්වර්නවාහිනී රූපවාහිනී නාලිකාව සමග පැවති සාකච්ඡාවක දී ය. මහ බැංකුවේ සිට විශ්‍රාම ලැබූ නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ඔහුගෙන්, නව තනතුර භාරගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා සිටියේ, ජාමූඅ සමග සාකච්ඡා සඳහා නියෝජිත පිරිසක් ගොනු කරගැනීමට මංමුලා සහගත ලෙස උත්සාහ දරද්දී ය.

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ (ඡායාරූපය: මහ බැංකු ට්විටර් ගිනුම)

මුදල් ඇමති අලි සබ්‍රි නායකත්වය දෙන නියෝජිත පිරිසක්, අප්‍රේල් 18 වැනි දා නිව් යෝක් බලා පිටත් වීමට නියමිත ය. පැහැදිලි ව ම මෙම තනතුර අවශ්‍ය නො කරන සබ්‍රි, පසුගිය සඳුදා (අප්‍රේල් 4) මුදල් ඇමති තනතුරට පත්කරනු ලැබීමෙන් පැය 24ක් ගත වන්නටත් මත්තෙන්, එම ධූරයෙන් ඉල්ලා අස් විය. එම තනතුරට පුද්ගලයෙකු සොයා ගැනීම සඳහා දින ගනනක් ගත කිරීමෙන් පසු, තමන් සබ්‍රිගේ ඉල්ලා අස් වීම පිලි නො ගන්නා බව ජනාධිපතිවරයා නිවේදනය කලේ ය. සිකුරාදා සබ්‍රි අකමැත්තෙන් යුතු ව නිවේදනය කලේ, තමන් දිගට ම තනතුර දරන බවයි.

වීරසිංහ මෙසේ අනතුරු ඇඟවී ය: “අවුරුදු දෙකක් තිස්සේ ඇති කරන ලද අර්බුදයක් අපට දවස් දෙකකින් ප්‍රකෘතිමත් කරන්න බැහැ. ජාමූඅ හෝ අපේ නය දෙන්නන් සමග ප්‍රතිව්‍යුහකරනය සාකච්ඡා කිරීමේ දී, වගකිව යුතු අධිකාරිය කවරක්දැයි ඔවුන් ප්‍රශ්න කරනවා.” රටට “ස්ථාවර ආන්ඩුවක්” අවශ්‍ය යයි ඔහු ප්‍රකාශ කලේ, “අපට සමාජ හා දේශපාලන ස්ථාවරත්වය කරා කොතරම් ඉක්මනින් ලඟා විය හැකි ද යන්න මත ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම රඳා පවතිනවා” යි වැඩිදුරටත් පවසමිනි.

“මහජනයා බර දරාගත යුතු බව ඔවුන්ට විස්තර කොට ඒත්තු ගන්වා, ඔවුන්ගේ සහයෝගය ලබාගත යුතු යි. අපට මෙය කරගෙන යා හැක්කේ ඒ ආකාරයෙන් පමනයි. පසුගිය මාසයේ සියයට 17.5ක් වූ උද්ධමනය, ලබන මාසයේ දී සියයට 25ක් වනු ඇති. මහජනයා වීදිවලට පැමින, මෙයට එකඟ නැති බව ඔවුන් කියනවා නම්, සිදුවනු ඇත්තේ තත්ත්වය වඩාත් නරක් වීම පමනයි...පවතින විසඳුම ඔවුන්ට පැහැදිලි කල යුතු” යැයි ඔහු කීවේ ය.

එහෙත්, අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල අහස උසට නැගි මිල ගනන්, ඉන්ධන හා පිසීමට ගන්නා ගෑස් හිඟයන් සහ දෛනික දීර්ඝ විදුලි කප්පාදු ආදියෙන්, වැඩකරන ජනයා දැනට මත් දරාගත නො හැකි බරට මුහුන දෙති.

කම්කරුවන් හා තරුනයන් ලක්ෂ ගනනක්, සතියකට පෙර රට පුරා ආරම්භ කල විරෝධතාවල අඛන්ඩ ව නියැලෙති. ජනාධිපති රාජපක්ෂට හා ඔහුගේ ආන්ඩුවට වහා ම ඉල්ලා අස්වන ලෙස බලකරන ඔවුහු, අර්බුදයට විසඳුමක් ඉල්ලති.

සෙනසුරාදා 20,000ට අධික තරුන ජනයා කොලඹ ගාලු මුවදොර පිට්ටනියට එකතු වූ අතර, ඉරිදා යලි වතාවක් 10,000ක් පමන එතැනට රැස්වූ හ.

මහ බැංකු අධිපතිවරයා “දේශපාලන හා සමාජ ස්ථාවරත්වයට” කැඳවුම් කරන්නේ, පලල් වසයෙන් වෛරයට පාත්‍ර ආන්ඩුවකිනි. පසුගිය සතියේ මන්ත්‍රීවරු 41ක් ස්වාධීන ව කටයුතු කරන බව ප්‍රකාශ කිරීමෙන් පසු, එම ආන්ඩුවට පවතින්නේ ඉතා තුනී බහුතරයක් පමනි.

එම මන්ත්‍රීවරුන් ආපසු පාලක සභාගයට කැඳවා ගැනීමේ අරමුනින් යුතු ව, ජනාධිපති රාජපක්ෂ ඊයේ ඔවුන් සමග සාකච්ඡා ආරම්භ කලේ ය. අන්තර්වාර පාලන තන්ත්‍රයක් බිහිකිරීම සඳහා, රාජපක්ෂ යලිත් විරුද්ධ පක්ෂවලට කැඳවුම් කර ඇත. පසුගිය සතියේ දී විරුද්ධ පක්ෂ ඒ හා සමාන කැඳවීමක් ප්‍රතික්ෂේප කල හ.

(ඡායාරූපය: ෆේස්බුක්)මුදල් ඇමති අලි සබ්රි

ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රමය ලෙස හුවා දක්වනු ලබන ජාමූඅ වැඩපිලිවෙල, පසුගිය මාසයේ දී ඉදිරිපත් කරනු ලැබිනි. ආදායම් හා එකතු කල අගය මත බදු ඉහල දැමීම්; ඉන්ධන හා විදුලි බල මිල ගනන් වැඩි දුර ඉහල දැමීම්; වෙලඳපොල මගින් නීර්නය කරනු ලබන නම්‍යශීලී හුවමාරු අනුපාත; රජයට අයත් ව්‍යවසායයන් ප්‍රතිව්‍යුහකරනය හා පුද්ගලීකරනය; රාජ්‍ය වියදම් ගැඹුරු ලෙස කපා දැමීම්; සහ මිල පාලනය හා සහනාධාර වැඩි දුර කපා දැමීම එයට ඇතුලත් ය.

මාර්තු මුල වන විට ම, වෙලඳපොල මත පදනම් ව රුපියල අවප්‍රමානය කිරීම ක්‍රියාවට දැමුනි. එතැන් පටන්, එක්සත් ජනපද ඩොලරයක නිල අනුපාතය රුපියල් 203 සිට 325 දක්වා ඉහල නංවනු ලැබ ඇති අතර, එය සියයට 60කින් අවප්‍රමානය වීමකි. ආනයනික ආහාර ද්‍රව්‍ය, ඉන්ධන, ඖෂධ හා අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල මෙ මගින් ඉහල දමා ඇත.

ලංකාවේ ආර්ථික අර්බුදය, කෝවිඩ්-19 වසංගතය විසින් අවුලුවාලන සහ යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ කුලීකාර යුද්ධය විසින් වේගවත් කරනු ලබන ගෝලීය අර්බුදයේ අතිශය තියුනු ප්‍රකාශනයකි. සංචාරක කර්මාන්තයට බරපතල ලෙස පහර වැදෙද්දී, අපනයන කඩාවැටී ඇත. යන්තම් එක්සත් ජනපද ඩොලර් බිලියන 1.9ක විදෙස් සංචිත පමනක් හිමි ශ්‍රී ලංකාව, මේ වසරේ දී ඩොලර් බිලියන 7ක විදේශ නය ආපසු ගෙවිය යුතු ය.

ලංකාවේ අවදානම් සහගත බව ඉස්මතු කරමින් අප්‍රේල් 7දා කතුවැකියක් පලකල ෆයිනෑන්ෂියල් ටයිම්ස් පත්‍රය මෙසේ අනතුරු ඇඟවී ය: “මාස කිහිපයක් ඇතුලත ඩොලර් බිලියනයක බැඳුම්කර ආපසු ගෙවීමට රටට නියමිත වුවත්, එය සතුව ඇත්තේ ඩොලර් මිලියන 500ක් තරම් කුඩා විදෙස් සංචිත ප්‍රමානයක් පමනි.” “ආර්ථික වියැවුලෙන් ඇද වැටෙන, නැගී එන වෙලඳපොලවල් මාලාවකින් පලමුවැන්න ශ්‍රී ලංකාව විය හැකි බවට බිය වැඩෙමින් පවතින” බව එය ප්‍රකාශ කලේ ය.

සෙනසුරාදා රොයිටර් පුවත් සේවයට කතා කල මුදල් ඇමති සබ්‍රි මෙසේ පැවසීය: “ඉන්ධන හා ඖෂධ ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයුම් ප්‍රතිස්ථාපනය කිරීම සඳහා, ඊ ලඟ මාස හයේ කාලයට ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3ක පමන බාහිර සහයෝගය අවශ්‍ය වෙනවා.” “ආන්ඩුව මාස හයක් ඇතුලත බදු හා ඉන්ධන මිල ගනන් ඉහල දමන බවටත්, පාඩු ලබන රජයට අයත් ව්‍යවසායයන් ප්‍රතිසංස්කරනය කරන” බවටත්, ජාමූඅ සමග සාකච්ඡා ආසන්නයේ දී, ඔහු පොරොන්දු විය.

විරුද්ධ පක්ෂ රාජපක්ෂට ඉල්ලා අස්වන ලෙස බලකරමින් වීදිවල සිටින මහජනයා කෙරෙහි ඔවුන්ගේ සහානුමතිය ප්‍රකාශ කරති. එහෙත්, ජාමූඅ කප්පාදු න්‍යාය පත්‍රය මගින් සමාජ ප්‍රහාර තීව්‍ර කිරීම පමනක් සිදු කෙරෙන බව දන්නා එම පක්ෂ, එහි අද්වකාත්වරු වෙති.

සිකුරාදා පාර්ලිමේන්තුවේ දී කතා කල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙසේ ප්‍රකාශ කලේ ය: “අපට (ජාමූඅ වෙතින්) මූල්‍යාධාර ලැබීම අවශ්‍ය නම්, නය ආපසුගෙවීමේ තිරසරබව ගොඩනැගීමේ සැලසුමක් අපි ජාමූඅ වෙත ඉදිරිපත් කල යුතු වෙනවා.” මුල පටන් ම ජාමූඅ වෙත යන ලෙස ආන්ඩුවට අවධාරනය කරමින් සිටි බවට පම්පෝරි ගසන සමගි ජන බලවේගයට ඔහු නායකත්වය දෙයි.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, තමන් ඉහල පෙලේ ජාමූඅ නිලධාරීන් සමග පුද්ගලික ව රටෙහි අර්බුදය පිලිබඳ ව කතා කර ඇති බවත්, ජාමූඅ උදවු කිරීමට සූදානම් බව තහවුරු කල බවත්, පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට දැමීමේ ආන්ඩුවේ සැලසුම් ගැන, ජනතා විමුක්ති පෙරමුන දෙපිටකාට්ටු නිශ්ශබ්දතාවක් පවත්වාගෙන යයි.

ජාමූඅ කප්පාදු න්‍යාය පත්‍රය ලංකාවේ ආර්ථික අර්බුදය අවසන් කරනු ඇතැයි කිසිවෙක් කිසිදු මිථ්‍යාවක් තබා නො ගත යුතු ය. එය වනාහි, ජාත්‍යන්තර බැංකු, මූල්‍ය ආයතන හා විදෙස් නය දෙන්නන්ට නය ආපසු ගෙවීම් තහවුරු කිරීම පිනිස, රටෙහි කම්කරු පන්තිය හා ගම්බද ජනයා මත නව බර පැටවීම් සඳහා බලකිරීමේ යාන්ත්‍රනයකි.

සමාජවාදී සමානතා පක්ෂය (සසප), කම්කරු පන්තියට එහි පන්ති අවශ්‍යතා සඳහා සටන් කිරීමට, සමාජවාදී වැඩපිලිවෙලක් ඉදිරිපත් කර ඇත.

  • රාජපක්ෂ ආන්ඩුව පෙරලා දමනු!
  • විධායක ජනාධිපති ධූරය අහෝසි කරනු!
  • සියලු විදේශ නය ප්‍රතික්ෂේප කරනු!
  • සියලු දෙනාට ආහාර, ඉන්ධන හා ඖෂධ සුරක්ෂිත කිරීම සඳහා නිෂ්පාදනයේ හා බෙදාහැරීමේ මාධ්‍යයන්වල පාලනය අල්ලා ගැනීමට ක්‍රියාකාරී කමිටු ගොඩනගනු. සුපිරි ධනවතුන්ගේ ලාභ තහවුරු කිරීමට කිසිවෙකු බඩගින්නේ මිය නො යා යුතු ය!

මෙම සටන් පලල් ම පෙරමුනක් මත ගෙන යාම සඳහා, සමාජවාදී සමානතා පක්ෂයට බැඳෙන ලෙස අපි කම්කරුවන්ට හා තරුනයන්ට කැඳවුම් කරමු.

Loading