ලක්ෂ සංඛ්‍යාත රාජ්‍ය සේවකයෝ ජනාධිපතිට ඉල්ලා අස්වන ලෙස බලකරමින් වැඩ වර්ජනය කරති

ජනාධිපති ගෙදර යනු! ආන්ඩුව ඉල්ලා අස්වනු!, භාන්ඩ හිඟය සහ බඩු මිල ඉහල දැමීම් නතර කරනු! ආදී සටන් පාඨ මතු කරමින් සිකුරාදා රාජ්‍ය සේවකයෝ ලක්ෂ ගනනක් දිවයින පුරා එක්දින වැඩවර්ජනයක් පැවැත්වූහ. වර්ජනය කැඳවූ සමිති ප්‍රකාශ කලේ ඊට 500,000 ක් පමන සහභාගී වූ බවයි.

මේ අතර, සෞඛ්‍ය සේවකයින්, විශ්වවිද්‍යාල සිසුන් ඇතුලු තවත් කන්ඩායම් දහස් ගනනක් සහභාගී වූ විරෝධතා පැවැත්වූහ.

මහනුවර , පිලිමතලාවේ 2022 අප්‍රේල් 8 දින පැවති පිකට්වැට (ලෝසවෙඅ මාධ්‍ය)


ශ්‍රී ලංකාව පුරා පැතිර යන ආන්ඩු විරෝධී විරෝධතා දෙවන සතියට එලැඹ තිබේ. කම්කරුවන්, ගෘහනියන්, විශ්වවිද්‍යාල සහ පාසල් සිසුන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල දිනපතා විරෝධතා සහ පාගමන් සංවිධානය කරති. අහස උසට නැග ඇති උද්ධමනය, ඉන්ධන සහ අනෙකුත් මූලික භාන්ඩ හිඟය සහ සෑම දිනකම පැය ගනන් විදුලිය කප්පාදුව නොසා විරෝධතාකරුවන්ගේ කෝපය දිනපතා ඉහල යමින් තිබේ.

රාජපක්ෂ ආන්ඩුව, කොවිඩ්-19 සහ යුක්‍රේනයේ එක්සත් ජනපද-නේටෝ ප්‍රොක්සි යුද්ධය විසින් තීව්‍ර කරන ලද අර්බුදයේ බර ඔවුන් මත මුදාහරින බැවින් මිලියන ගනන් දුක් විඳිමින් සිටිති.

වර්ජිත රාජ්‍ය සේවකයෝ 1000 ක් පමන ඊයේ සවස කොලඹදී බැනර් සහ පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් ලිප්ටන් වටරවුම අසල උද්ඝෝෂනයක් පැවැත්වූ අතර එහි මෙවැනි සටන්පාඨ විය: 'ජන අරගලයට ජයවේවා', 'ආන්ඩුව පන්නා දමනු', 'දූෂිතයින්ට දඩුවම් දෙනු', 'ගෝඨා-මහින්ද-බැසිල්-නාමල් ගෙදර යනු.'

ඊයේ රාජ්‍ය සේවක විරෝධතාව කැඳවනු ලැබුවේ වෘත්තීය සමිති දුසිම් හතරක පමන එකතුවක් වන 'වෘත්තීය සමිති සම්බන්ධීකරන මධ්‍යස්ථානය' විසිනි. සමහර වෘත්තීය සමිති ජනතා විමුක්ති පෙරමුන විසින් පාලනය කරන අතර අනෙක්වා ස්වාධීන යැයි කියා සිටින ඒ්වා ය.

කෙසේ වෙතත්, මෙම සියලු වෘත්තීය සමිති පසුගිය වසරවල කම්කරුවන්ගේ වැඩ වර්ජන සහ විරෝධතා මාලාවක් පාවා දුන් ඒවාය. රටේ පවතින දරුනු ආර්ථික අර්බුදය තමන් දන්නා නිසා වැටුප් ඉල්ලීම් දෙන ලෙස බල නොකරන බව මෙම වෘත්තීය සමිති ප්‍රසිද්ධියේ කියා ඇත. කෙසේ වෙතත්, ආන්ඩුවට එරෙහිව වැඩකරන ජනතාවගේ අඛන්ඩ අරගලයට සම්බන්ධ වන ලෙස කම්කරුවන් අතරින් එන පීඩනය මධ්‍යයේ සමිතිවලට වර්ජනය කැඳවීමට බලකෙරුනි. එහෙත් මෙම සමිති වර්ජනය එක දිනකට සිමා කලහ.

කොලඹ දී, සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකයෝ “ශ්‍රී ලංකාවේ රාජපක්ෂ ආන්ඩුව පෙරලා දමනු! විධායක ජනාධිපති ධුරය අහෝසි කරනු! කප්පාදුව හා කුසගින්න එපා! සියල්ලන්ට ආහාර, ඉන්ධන හා ඖෂධ සුරක්ෂිත කරගැනීම සඳහා සමාජවාදී ක්‍රියා මාර්ගයකට සටන් කිරීමට ක්‍රියාකාරී කමිටු ගොඩනගනු!' යන මැයෙන් නිකුත් කර ඇති ප්‍රකාශය මෙම කම්කරුවන් අතර බෙදූහ.

මහනුවරට නුදුරින් පිහිටි පිලිමතලාවේදී රාජ්‍ය සේවකයන් සිය දෙනෙකු පමන සහභාගිවූ විරෝධතාවයක් පැවැත්වුනි. ඔවුහු “අපට මහජනයා රකින පාලනයක් අවශ්‍යයි, අවුරුදු 74ක් රට විනාශ කල හොරු අපට එපා' ආදී සටන් පාඨ හඬ නැගුහ'

සසප සාමාජිකයින් කන්ඩායමක් ද තමන්ගේ ම සටන් පාඨ සහිතව මෙම විරෝධතාවයට එක්වුහ. ආන්ඩුව පෙරලා දමනු!, විදේශ නය ප්‍රතික්ෂේප කරනු!, මහා සමාගම් ජනසතු කරනු! කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩ නගනු! කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කරනු! ආදී සටන් පාඨ ඒ අතර විය.

පැයක් පුරා පැවති උද්ඝෝෂනයෙන් පසුව ඊට සහභාගිවී සිටි විශ්‍රාමික ගුරුවරයෙකු වූ බන්ඩාරනායක “අපට ජනතා හිතවාදී ආන්ඩුවක් අවශ්‍ය” බව පවසමින් සසප සාමාජිකයන් ඒ ගැන සිතන්නේ කුමක්දැයි දැන ගැනීමට කැමති බව කීවේය.

සසප සාමාජික ගාමිනී කරුනාතිලක පිලිතුරු දෙමින් මෙසේ කීවේය: “සියලු උද්ඝෝෂනවල දී ඉස්මතු වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ගෙදර යැවීම යි. අපිත් මේ ඉල්ලීමට එකඟයි. කෙසේ වෙතත්, ප්‍රශ්නය වන්නේ ඊලඟට කුමක් ද යන්නයි. කම්කරුවන්ට තම අයිතීන් ආරක්ෂා කර ගැනීමට වැඩ කරන ජනතාවට සේවය කරන පාලනයක් ගෙන ආ යුතුයි. ඒ සඳහා වැඩපිලිවෙලක් සහ සංවිධානයක් අවශ්‍ය වෙනවා.'

එවැනි වැඩපිලිවෙලක් සඳහා සටන් කිරීමට සේවා ස්ථානවල සහ අසල්වැසි ප්‍රදේශවල ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමේ අවශ්‍යතාව කරුනාතිලක අවධාරනය කලේය. “විශාල සමාගම් ජනසතු කිරීම සහ විදේශ නය ප්‍රතික්ෂේප කිරීම අවශ්‍යයි. මෙය ගෝලීය වශයෙන් ධනේශ්වර ක්‍රමයට එරෙහි සටනකි. මෙම සටනේදී අපගේ ප්‍රකාශය වන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියයි. අරගලය මෙහෙයවීමට කම්කරුවන්ට පක්ෂයක් අවශ්‍යයි. අප සසප ගොඩනගන්නේ ඒ සඳහායි.”

සසප සාමාජිකයා 2011 දී ඊජිප්තුවේ විප්ලවවාදී නැගිටීමක් සිදුවූ බව පැවසුවේය. එහෙත් කම්කරුවන්ට විප්ලවවාදී පක්ෂයක් තිබුනේ නැහැ. එයින් ඉඩ ලබා ගත් හමුදාව ඇමරිකාවේ පිටුබලය ඇතිව නැගිටීම පරාජය කොට ආඥාදායකත්වය යලි ස්ථාපිත කලා.'

පෙලපාලියට සහභාගිවී සිටි අනෙක් අය ද සසප සාමාජිකයාගේ පිලිතුර සාවධානව අසා සිටියහ. සසප ප්‍රකාශයේ මුද්‍රිත පිටපත් ඔවුන්ට ලැබිනි.

මහනුවරදී හෙදියන්, සෞඛ්‍ය වෘත්තිකයන්, කාර්මික ශිල්පීන්, සහායක සේවකයන්, පවුල් සෞඛ්‍ය සේවිකාවන් ඇතුලු සෞඛ්‍ය සේවකයන් 800 ක් පමන මහනුවරදී බලගතු විරෝධතාවයක නිරත වූහ. ඔවුහු රෝහලේ සිට මහනුවර නගරයට කිලෝමීටර් භාගයක් පමන පා ගමනින් ගොස් ආපසු පැමිනියහ.

'74 වසරක ශාපය නිමා කරමු', 'ජනතා විරෝධී ආන්ඩුව පලවා හරිමු', 'මර්දන නීති අහෝසි කරනු', 'ජනතාව මත ආර්ථික බර පටවන ආන්ඩුව ගෙදර යවමු', වැනි සටන් පාඨ ඇතුලත් අත් අකුරින් ලියැවුනු පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුන් ඒවා හඬ නැඟූහ.

සසප සාමාජිකයින් පක්ෂයේ ප්‍රකාශය මුද්‍රනය කරන ලද පත්‍රිකා පෙලපාලිකරුවන් අතර බෙදා හරින ලදී.


විශ්වවිද්‍යාල සිසුන් 2022 අප්‍රේල් 8 දින කොලඹදී පැවති විරෝධතා පාගමන (ලෝසවෙඅ මාධ්‍ය)

ඊයේ කැලනිය විශ්වවිද්‍යාලයේ සිට සැතපුම් පහක් එපිටින් පිහිටි පාර්ලිමේන්තුව දක්වා සිසුන් 2000 ක් පමන පා ගමනකින් පැමිනියහ. ඔවුන් ජනාධිපති සහ ආන්ඩුව ඉල්ලා අස්විය යුතු බවට සටන් පාඨ හඬ නැගුහ. කැරලි මර්දන පොලිසිය, සිසුන්ගේ පා ගමන අතරමග අවහිර කල අතර ඔවුන්ට ජල ප්‍රහාර සහ කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කලේය.

සසප සාමාජිකයින් අප්‍රේල් 7 ජවිපෙ විසින් පාලනය කරන සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ සම්මේලනයකට පැමිනි වරාය කම්කරුවන් අතර පක්ෂ ප්‍රකාශ පත්‍රිකා බෙදාහරිමින් කොලඹ කොටුවේ උද්ඝෝෂනයක නිරත විය.

රට තුල දිග හැරෙමින් පවතින සමාජ ව්‍යසනයට ආමන්ත්‍රනය කිරීම සඳහා සසප විසින් ඉදිරිපත් කරන ලද වැඩපිලිවෙල පිලිබඳ සාකච්ඡාවකට කම්කරුවන් සම්බන්ධ කරගැනීම වලක්වමින් ඔවුන් කඩිමුඩියේ සම්මන්ත්‍රන ශාලාව තුලට ගෙන යාමට වෘත්තීය සමිති නායකයෝ පියවර ගත්හ. සසප සාමාජිකයින් කොලඹ ජනාකීර්න බ්‍රිස්ටල් වීදියේ ගමන් කරමින් සිටි කම්කරුවන් හා තරුනයින් අතර සිය උද්ඝෝෂනය ගෙන ගියහ.

“අනිවාර්යයෙන්ම අපි ‘ගෝඨා ගෙදර යනු’ යන්නෙන් ඔබ්බට යා යුතුයි. ගෝඨා ගෙදර යන්නැයි අපි කියන්නේ සජිත් ප්‍රේමදාස බලයට පත් කිරීම සඳහා නොවෙයි” පෞද්ගලික අංශයේ සේවකයෙක් එම සාකච්ඡාවේදී පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නියෝග යටතේ ක්‍රියාවට නංවන කප්පාදු පියවරයන් ගැන ද සාකච්ඡාව වර්ධනය විය. “ජාමූඅ නියෝග ගැන කිසිවෙක් කතා කරන්නේ නැහැ. සජබ (සමගි ජන බලවේගය) හෝ ජවිපෙ වත් ඒවා ගැන කතා කරන්නේ නැහැ. ඒ කියන්නේ එයාලත් ඒකට විරුද්ධ නැහැ. එහෙම නේද?' ඔහු විමසීය.

ජාමූඅහි ප්‍රධාන නියෝගයක් වන රාජ්‍ය අංශය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන ද ඔහු කතා කලේය. 'ප්‍රතිව්‍යුහගත කිරීම යනුවෙන් අදහස් කරන්නේ තවත් කම්කරුවන් රැකියාවලින් නෙරපා හරිනු ඇති බවයි. කම්කරුවන් වැඩි යයි ඔවුන් පවසනු ඇත. නමුත් ඔවුන් වැඩි ඇයි? ඔවුන් එය කියන්නේ ලාභ ලබන ධනවාදය වෙනුවෙන්.'

මෙම ප්‍රහාර පරාජය කිරීමට නම්, සමාජවාදී ප්‍රතිපත්ති වලට සටන් කිරීමට කම්කරුවන් තමන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම අවශ්‍ය බව උද්ඝෝෂකයෝ පැහැදිලි කලහ.

තරුන මනූෂ මෙසේ පැවසීය: “රාජපක්ෂ ආන්ඩුව වට්ටලා කරන්න යන දේ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඔබේ විසඳුම කුමක්ද?' කම්කරු පන්තියේ අරගලයට සම්බන්ධ වෙමින් කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා තරුනයින් සටන් කල යුතු බව ඔහුට පවසන ලදී.

බ්‍රහස්පතින්දා දිවයිනේ ප්‍රධාන නගරවල උසස් පාසල් සිසුන්ගේ විරෝධතා ගනනාවක් පැවැත්විනි. ගම්පහ ප්‍රධාන දුම්රිය ස්ථානය අසල සිය ගනනක් පාසල් සිසුන් සහභාගී වූ විරෝධතාවයකට සසප හා සසජාතශි උද්ඝෝෂකයින් කන්ඩායමක් මැදිහත් විය. “ගොඨා ගෙදර යනු, 'ඔබලා හැප්පුනෙ වැරදි පරම්පරාව සමග, සොරාගත් ධනය යලි පවරා ගෙන ජනසතු කරනු, “අපෙන් හොරකම් කල මුදල් ආපසු දෙනු” යන සටන් පාඨ ඔවුහු හඬනැගූහ.

ලබන මැයි මාසයේ පැවැත්වෙන 11 වැනි ශ්‍රේනියේ සාමාන්‍ය පෙල විභාගයට මුහුන දෙන ජයංගා ශිරෝමි සිසුවිය රාජ්‍ය විරෝධී උද්ඝෝෂනවලට සහභාගි වීමට තමන් තල්ලූ වූයේ කුමන කොන්දේසි යටතේද යන්න පැහැදිලි කලාය. “විභාගය ලඟ නිසා උපකාරක පන්තිවලට විශාල මුදලක් වැය වෙනවා. මගේ පියා මිය ගිහින්. මගේ මව ලිපිකාරිනියක ලෙස සේවය කරනවා. සියලුම වියදම් පිරිමසා ගන්නේ ඇගේ වැටුපෙන්. අධ්‍යාපනයට වියදම් කරන්න අමාරුයි. ඒ නිසා මට ස්වයං රැකියාවක නියැලෙන්න සිදු වී තිබෙනවා”, ඇය පැවසුවාය.

“හැමදේටම වඩා අමාරු රෑට පාඩම් කරනකොට විදුලිය විසන්ධි වෙන එක. භූමිතෙල් නැති නිසා ලාම්පුවක් පත්තු කරගන්න වත් විදිහක් නැහැ. ඉටිපන්දම් මිලත් ඉහල ගිහින්. අපේ අම්මලා තාත්තලා ජීවිතේ විඳවලා දැන් අපිත් දුක් විඳිනවා. මේ දුක්වල කෙලවරක් නැද්ද? මෙය අවසන් කල යුතුයි,' ඇය වැඩිදුරටත් පැවසුවාය.

,” මම කිසිම දේශපාලන පක්ෂයකට සහය නොදක්වන්නයි තීරනය කරලා තිබුනේ ඔවුන් අපේ කිසිම ප්‍රශ්නයකට අවධානය යොමු කර නැති නිසා. නමුත් ඕනෑම අරගලයක් ඉදිරියට ගෙන යාමට නිවැරදි දේශපාලන අවබෝධයක් අවශ්‍ය බව ඔබේ පැහැදිලි කිරීමෙන් පසුව මට වැටහුනා. නැත්නම් මෙක මිනිස්සුන්ගෙ කේන්තිය පිටකිරිමකට වැඩිය වෙන දෙයක් වෙන්නෙ නැ,” ඇය පැවසුවාය.

තවත් ශිෂ්‍යයෙකු වන උදාර ලක්ෂාන් සසප උද්ඝෝෂකයින් පෙන්වා දෙන කරුනු ගැන මෙසේ පැවසුවේය: 'රාජපක්ෂගෙන් පසුව බලයට පත්වන ඕනෑම ධනේශ්වර ආන්ඩුවක් එම පිලිවෙත්ම අනුගමනය කරයි. සමගි ජන බලවේගයේ ආන්ඩුවක් හෝ ජවිපෙ ආන්ඩුවක් වේවා, එය ජාමූඅ කප්පාදු පියවර ක්‍රියාත්මක කිරීමට එකඟ වනු ඇත. මිනිසුන්ට ඔවුන්ගේ රැකියා සහ ආහාර නැති වී දුක් විඳීමට සිදුවනු ඇත.'

ශ්‍රී ලංකාවේ වැඩකරන ජනතාවගේ හා තරුනයන්ගේ අඛන්ඩව වර්ධනය වන ව්‍යාපාරය ආන්ඩුව හා මහා ව්‍යාපාරිකයන් ද ජාත්‍යන්තර බැංකුකරුවන් ද භීතියෙන් තැතිගන්වා ඇත.

අපනයනකරුවන්, ආනයනකරුවන්, නිෂ්පාදකයින්, සංචාරක අංශය, නාවික සහ සැපයුම් සපයන්නන් සහ අනෙකුත් සේවා සපයන්නන් නියෝජනය කරන සංවිධාන 38ක් බ්‍රහස්පතින්දා කථානායකවරයාට, පක්ෂ නායකයින්ට, මන්ත්‍රීවරුන්ට සහ ජනාධිපතිට ලිපියක් යවා වහාම “දේශපාලන ස්ථාවරත්වය” ඉල්ලා සිටියේය.

'දැවැන්ත මහජන නැගිටීමකට තුඩු දී ඇති,මහජනයාගේ ගැටළු විසඳීම සඳහා' පාර්ලිමේන්තු සිටින මන්ත්‍රීවරුන් විධායකය සමඟ එක්ව ප්‍රායෝගික අන්තර් කාලින විසඳුමක් ගෙන එන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.

Loading