ඉදිරිදර්ශන

2022 මැයි දිනයේ අභියෝගය: ධනේශ්වර ක්‍රමයට, ජාතික ස්වෝත්තමතාවාදයට හා යුද්ධයට එරෙහිව කම්කරු පන්තියේ ජාත්‍යන්තර එක්සත්කම සඳහා!

[මෙය The Challenge of May Day 2022: For the International Unity of the Working Class against Capitalism, National Chauvinism and War! මැයෙන් 2022 අප්‍රේල් 18 දින පල වූ ඉදිරිදර්ශනයේ පරිවර්තනයයි.]

2022 පෙබරවාරි 24 වන දින ඇවිලී ගිය යුද්ධය ලෝක ඓතිහාසික වැදගත්කමකින් යුත් සිදුවීමකි. සියලු ප්‍රධාන ගැටුම්වල දී මෙන්ම මෙහිදී ද, 'පලමු වෙඩිල්ල තැබුවේ කවුරුන්ද' යන ප්‍රශ්නය අත්පත් කර ගන්නේ මුලුමනින්ම ද්වීතීයික වැදගත්කමකි. රුසියාවේ යුක්‍රේන ආක්‍රමනයෙහි වූ නොසැලකිලිමත්, අසමර්ථ හා මංමුලා සහගත ස්වභාවය පුටින් තන්ත්‍රයේ දේශපාලන බංකොලොත්භාවය හා ප්‍රතිගාමී ස්වභාවය හෙලිපෙහෙලි කරන මුත්, එ මගින් යුද්ධයේ ගැඹුරු හේතූන් පැහැදිලි නොකෙරේ.

යුක්‍රේනයේ යුද්ධය පුපුරා යාම දීර්ඝ කාලයක් පුරා පෙර දක්නා ලද්දකි. සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසු නැටෝවේ නිර්දය ප්‍රසාරනය සෑම කල්හි ම මෙහෙයැවී තිබුනේ රුසියාව සමඟ යුද්ධයක දිශාවටය. 2014 පෙබරවාරියේ එක්සත් ජනපදය සංවිධානය කොට මූල්‍ය සම්පාදනය කල කුමන්ත්‍රනයක් තුලින් වික්ටර් යනුකොවිච් විසින් නායකත්වය දෙන ලද ආන්ඩුව පෙරලා දැමීම වූ කලී, යුක්‍රේනය නැටෝවේ කක්ෂය තුලට ගෙන එමින් රුසියාවට එරෙහි අනාගත යුද්ධයක දියත් කිරීමේ වේදිකාවක් බවට එය පරිවර්තනය කර ගැනීම සඳහා දරන ලද නොසැඟවූ ප්‍රයත්නයක් විය. හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව එහි 2014 මැයි දින රැලියේ දී පැහැදිලි කල පරිදි:

“මෙම කුමන්ත්‍රනයේ අරමුන වූයේ, යුක්‍රේනය එක්සත් ජනපද හා ජර්මානු අධිරාජ්‍යවාදයේ ඍජු පාලනය යටතේ පිහිටුවනු ලබන තන්ත්‍රයක් බලයට ගෙන ඒමය. මෙම කුමන්ත්‍රනය රුසියාව සමඟ ගැටුමක් කරා මඟ පාදන බව වොෂින්ටනයේ හා බර්ලිනයේ කුමන්ත්‍රනකරුවෝ වටහා ගෙන සිටියෝය. ඇත්තෙන්ම, ගැටුමක් වැලැක්වීමට යත්න දැරීමට බෙහෙවින් පටහැනි ලෙස, රුසියාව සමඟ ගැටුමක් පුලුල් පරාසයක පැතිරුනු සිය භූ දේශපාලන උත්සුකයන් සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය වෙතැයි ජර්මනිය සහ එක්සත් ජනපදය යන දෙපාර්ශ්වයම විශ්වාස කරති.”

එජ-නැටෝ හමුදා විසින් කුපිත කරනු ලැබූ මෙම යුද්ධය දැන් ඇරැඹී ඇත. නිවාස අහිමි ව ගිය, තුවාල ලද, හෝ මිය ගිය පවා කිසිවෙක් හෝ, යුද්ධයට මඟ කැපූ ප්‍රතිපත්ති හා තීරන කෙරේ කිසිදු වගකීමක් දරන්නෝ නොවෙති. එහෙත් යුද්ධයට මඟ පෑදූ දේශපාලන හා ආර්ථික උත්සුකයන් අනාවරනය කිරීම අවහිර කිරීමට පමනක් නොව, ගැටුම තීව්‍ර කිරීම සඳහා අත්‍යවශ්‍ය මට්ටමකින් රුසියානු විරෝධී වෛරය දල්වා තැබීමට ද යුද්ධයට ගොදුරු වූ අහිංසකයන්ගේ දුක් වේදනා නරුම අයුරින් ගසා කනු ලැබේ.

ඇමරිකානු හා යුරෝපීය අධිරාජ්‍යවාදයේ ප්‍රචාරක හොරනෑවලට අනුව, ක්‍රෙම්ලිනය සිය නිර්දෝෂී අසල්වැසියාට එරෙහිව සහමුලින්ම කිසිදු පෙලඹවීමකින් තොර ප්‍රහාරයක් දියත් කරන තුරු සාමයෙන් ප්‍රමුදිත ව ජීවත් වෙමින් සිටියේ යැයි කියනු ලබන ලෝකයේ හෘදය සාක්ෂිය රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමනය කරනු ලැබීමෙන් කම්පනයට පත් ව ඇත.

කෙතරම් සුවිසල් හා කුහක මුසාවක් ද ! පසුගිය තිස් වසර මුලුල්ලේ එක්සත් ජනපදය, මුලුමහත් ලෝකය පුරාම ගැටුම් අවුස්සා ලමින්, අඛන්ඩ ව යුද්ධයේ නිමග්න වී සිටියේ ය. එක්සත් ජනපදය - නිරතුරු ව එහි නැටෝ අන්තේවාසිකයන්ගේ ඍජු සහාය ලබමින් - මධ්‍යම ආසියාවේ, මැද පෙරදිග, අප්‍රිකාවේ, බෝල්කන් ප්‍රදේශයේ හා, සැබැවින්ම, කැරිබියානු රටවලට බෝම්බ හෙලීම සහ / හෝ ඒවා ආක්‍රමනය කිරීම සිදු කර ඇත.

මධ්‍යම තොරතුරු කාර්යාංශය (සීඅයිඒ) විසින් ගිල්ලවනු ලැබ බයිඩන් පාලනය හා ඇමරිකානු මාධ්‍ය විසින් වමාරනු ලබන දෛනික සාකච්ඡාවලට මාතෘකා වී ඇති - සිවිල් වැසියන් හා හමුදා යන දෙපිරිස ම ඇතුලත් - යුක්‍රේනියානු ජීවිත හානි පිලිබඳ කියාසිටීම් සියල්ල සත්‍යයැයි යමෙකු භාර ගත්තේ වී වුව, එම සංඛ්‍යා එක්සත් ජනපදය විසින් දියත් කරන ලද යුද්ධවල මරන සංඛ්‍යාව ලෙස දක්වා ඇති සංඛ්‍යාවන්ට වඩා කිහිප ගුනයකින් අඩු ය. ඇමරිකානු සරසවියේ මානව විද්‍යා මහාචාර්යවරයෙකු වන ඩේවිඩ් වයින් විසින් රචිත යුද්ධයේ එක්සත් ජනපදය (United States of War) කෘතියට අනුව:

ඇෆ්ගනිස්තානය, ඉරාකය, සිරියාව, පකිස්ථානය හා යේමනය තුල පමනක්, එක්සත් ජනපද හමුදා එකී රටවල සටන් කිරීමට ආරම්භ කල තැන් පටන්, මෙකී සෑම පාර්ශ්වයකින් ම සිවිල් වැසියන් හා යුද වැදී සිටියවුන් මිය ගිය සංඛ්‍යාව 755,000 ත් 786,000 ත් අතර වන බවට තක්සේරු කර ඇත. මෙම සංඛ්‍යාව, හානි වූ එජ ජීවිත සංඛ්‍යාව මෙන් පනස් ගුනයක් පමන වේ.

එහෙත් ඒ හුදෙක් සටන් තුල මිය ගිය සෙබලුන්ගේ හා සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව පමනෙකි. යුද්ධ හා සෞඛ්‍ය සේවා පද්ධති, රැකියා, සෞඛ්‍යාරක්ෂක සේවා හා සෙසු ප්‍රාදේශීය යටිතල ව්‍යුහයන් විනාශයට පත් වීම හේතුවෙන් ඇති වූ රෝගාබාධවල, කුසගින්නේ හා මන්ද පෝෂනයේ ප්‍රතිඵල ලෙස තවත් බොහෝ දෙනා මිය ගොස් ඇත්තාහ. මෙම මරන තවමත් පර්යේෂකයන් විසින් ගනනය කෙරෙමින් හා විවාද කෙරෙමින් පවතින අතර එහි ඓක්‍යය අවම වශයෙන් මිලියන් තුනක් කරා ලඟා වනු ඇත. එය එජ මරන සංඛ්‍යාව මෙන් දෙසිය ගුනයක් පමන වේ. මරන සංඛ්‍යාව මිලියන 4 ක් ලෙස සැලකීම වඩාත් නිරවද්‍ය තක්සේරුවක් විය හැකි මුත්, තවමත් එය බෙහෙවින් ප්‍රවේශම්කාරී මධ්‍යස්ථ අගයක් වේ.

ඒ අතර, එක්සත් ජනපදය නායකත්වය දුන් යුද්ධ හේතුවෙන් වටාපිටාවන්, මහා නගර හා ජන සමාජ මුලුමනින් සුනුවිසුනු වී යමින් පවතී. තුවාල ලද හා පසු කම්පනවලට ගොදුරු වූ සංඛ්‍යාව කෝටි ගනන් දක්වා පැතිර ගොස් ඇත. අධ්‍යයනයන් විසින් පෙන්වා දෙනු ලැබ ඇති ආකාරයට, ඇෆ්ගනිස්තානයේ ජනගහනයෙන් තුනෙන් දෙකකට මානසික සෞඛ්‍ය ගැටලු පැවැතිය හැකියැයි ගනන් බලා ඇති අතර, ජනගහනයෙන් අඩක් සාංකාවෙන් ද, සෑම පස් දෙනෙකුගෙන් එක් අයෙකු ම පශ්චාත් කම්පන ආතති ආබාධවලින් (PTSD) ද පෙලෙති. 2007 වන විට ඉරාකයේ තරුන ජනයා අතරින් සියයට 28 ක් මන්ද පෝෂනයෙන් පෙලුනාහ. බැග්ඩෑඩයේ ජීවත් වන ජනයාගෙන් අඩක් ප්‍රධාන පෙලේ කම්පනකාරී සිදුවීමක් ඇසින් දුටුවෝ වූ අතර, රෝග නිශ්චයන්ගෙන් තහවුරු වූ පරිදි තුනෙන් එකකට ආසන්න පිරිසකට පශ්චාත් කම්පන ආතති ආබාධ පැවතින. 2019 වන විට ඇෆ්ගනිස්තානයේ, ඉරාකයේ, යේමනයේ හා ලිබියාවේ පමනක් මිලියන 10 කට අධික ජනයා සිය නිවාසවලින් අවතැන් වී, විදේශයන්හි සරනාගතයන් බවට හෝ තමන්ගේම රටවල් තුල අභ්‍යන්තර විතැන් වූ පුද්ගලයන් බවට පත්ව සිටියෝය.

2001න් පසු එජ නායකත්වයෙන් සිදු කෙරුනු යුද්ධවලින් ඇති වූ මානව හානිවලට පසෙකින් පවතින මූල්‍ය පිරිවැය කෙතරම් විශාල ද යත්, එය වටහා ගත නොහැකි තරමේ එකකි. 2020 අග භාගය වනවිට පැවැති පරිදි, 2001 න් පසුව වූ යුද්ධ සඳහා - සෙබලුන්ගේ අනාගත ජ්‍යෙෂ්ඨ ප්‍රතිලාභ හා යුද්ධවලට ගෙවීමට නයට ගත් මුදල් සඳහා නය පොලී ද ඇතුලත් ව - එජ බදු ගෙවන්නන් විසින් දැනට වැය කරනු ලැබ ඇති හෝ අවසානයේ වැය කරනු ඇතැයි අපේක්ෂිත මුදල අවම වශයෙන් ඩොලර් ට්‍රිලියන 6.4 කි. සැබෑ පිරිවැය මීට වඩා ඩොලර් බිලියන සිය ගනනක් හෝ ඩොලර් ට්‍රිලියන ගනනක් වැඩි වීමට බොහෝ සේ ඉඩ ඇති අතර, එය, මෙම අවසානයක් නොමැති සේ පෙනී යන යුද්ධ සැබැවින්ම අවසන් වන්නේ කවදා ද යන්න මත රඳා පවතී. [පිටු xvii-xix]

ඇත්තෙන්ම එහි අවසානයක් පෙනෙන්නට නැත. තමන් ඇෆ්ගනිස්තානයේ 'සදාකාලික යුද්ධය' අවසාන කරන බවට 2021 අප්‍රේල් මාසයේ බයිඩන් කල ප්‍රකාශය, රුසියාව හා චීනය සමඟ ඍජු ගැටුමක් සඳහා ඇමරිකානු හමුදා බලඇනි මූලෝපායික ව ප්‍රතිනියුක්ත කිරීම වැසීමට යෙදූ නරුම ආවරනයක් විය.

පසුගිය දශක තුනේ සියලු යුද්ධ සාධාරනීකරනය කරන ලද්දේ අලජ්ජී මුසාවාදයන්ගෙන් වූ අතර, ඒවා ජාත්‍යන්තර නීතිය ඍජු ලෙස උල්ලංඝනය කිරීම් විය. ඉරාකය සතුව 'මහා විනාශකාරී අවි' (WMD) ඇතැයි කියා සිටීම හුදෙක් ඉන් වඩාත්ම කුප්‍රකට මුසාව පමනෙකි.

1946 නියුරම්බර්ග් යුද අපරාධ නඩු විභාගයේ දී නාසි නායකයෝ 'සාමයට එරෙහිව අපරාධ සිදු කිරීමේ' චෝදනාව මත නඩු අසා දඬුවම් නියම කරන ලදහ. මෙම චෝදනාව සමන්විත වූයේ, යුදමය ප්‍රහාරයක ආසන්නත ම හෝ සමීපස්ථ තර්ජනයකට ප්‍රතිචාර වශයෙන් නොව, රාජ්‍ය පිලිවෙතේ උපකරනයක් ලෙස යුද්ධ දියත් කිරීම් වලිනි. ඇමරිකානු අධිරාජ්‍යවාදයේ යුද්ධ, සාමයට එරෙහි අපරාධවල - එනම්, දේශපාලන අභිමතාර්ථයන් සඳහා දියත් කෙරෙන හා නියුක්ත වන්නා වූ යුද්ධවල - ප්‍රවර්ගයට වැටේ.

වර්තමාන යුද්ධය වටහා ගැනීමෙහි ලා, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ලෝක ගෝලීය ප්‍රචන්ඩ කඩා වැදීම්වල ඓතිහාසික හා ගෝලීය දේශපාලන සන්දර්භය ප්‍රගාඪ අදාලත්වයකින් යුතු ය.

දෙවැනි ලෝක යුද්ධයෙන් අනතුරු ව එලැඹී කාලයේ ඇමරිකානු හමුදා බලය භාවිතයෙහි ලා පැවැති සීමිත ප්‍රතිබාධනයන් වුව, 1989 හා 1991 අතරතුර නැගෙනහිර යුරෝපයේ හා අවසානයේ සෝවියට් සංගමයේ ද ස්ටැලින්වාදී රාජ්‍ය තන්ත්‍ර විසුරුවා හැරීම විසින් ඉවත් කරන ලදී. 1991 දී, සෝවියට් සංගමය එහි ස්වයං විසුරුවා හැරීමේ හා ධනේශ්වර පුනස්ථාපනයේ අවසාන අදියරට ඇතුලු වෙමින් සිටි අතරතුර මිහයිල් ගොර්බචෙව්ගේ සහය සහිතව ඉරාකයට එරෙහි ව ප්‍රථම යුද්ධය දියත් කරමින් ජනාධිපති ජෝර්ජ් හර්බට් වෝකර් බුෂ් නිවේදනය කලේ, එක්සත් ජනපදය, 'නව ලෝක පර්යායයක්' නිර්මානය කිරීමට අධිෂ්ඨාන සහගතව සිටින බවයි.

මෙම ව්‍යාපෘතියට ගාමක බලය ලැබුනේ බලගතු වෛෂයික ආර්ථික හා භූ මූලෝපායාත්මක අත්‍යවශ්‍යකයන්ගෙනි. එක්සත් ජනපදය සීතල යුද්ධයේ අනිවාර්ය හා අපරාජිත ජයග්‍රාහකයා ලෙස චිත්‍රනය කෙරෙන පශ්චාත්-1991 ආඛ්‍යානවලට පටහැනි ලෙස, සෝවියට් සංගමය විසුරුවා හැරීමට පූර්වයෙන් ගත වූ දශක සනිටුහන් වූයේ ඇමරිකානු පරිහානිය වේගවත් වීමේ කාල පරිච්ඡේදයක් ලෙස ය.

1945 දී එක්සත් ජනපදය විසින් පවත්වා ගෙන යන ලද ගෝලීය ආර්ථික ප්‍රමුඛස්ථානය 1960 ගනන්, 1970 ගනන් හා 1980 ගනන්වල දී සැලකිය යුතු අයුරින් පිරිහී ගොස් තිබින. එක්සත් ජනපදයේ වෙලඳ ශේෂවල පිරිහීමත් සමඟ, ඇමරිකානු ලෝක ආර්ථික ආධිපත්‍යයේ පදනම වූ, 1944 දී බ්‍රෙට්න් වුඩ්ස්හි පැවැති සමුලුවේ දී තහවුරු කෙරී තිබුනු රත්‍රන් අවුන්සයකට ඩොලර් 35 ක් වශයෙන් වූ ඩොලර් රත්‍රන්වලට පරිවර්තනය කිරීමේ හැකියාව - පරිවර්ත්‍යතාව - පවත්වා ගෙන යා නොහැකි තත්ත්වයක් උදා විය. 1971 අගෝස්තුවේ එක්සත් ජනපදය විසින් එය ඒකපාර්ශවික ව අහෝසි කරන ලදී.

එජ තුල පන්ති අරගලයේ සටන්කාමී පුපුරා යාම් විසින් ගෝලීය ආර්ථිකය තුල එය දරන ස්ථානයේ පරිහානිය වඩවඩාත් අවුලුවන ලදී. සිවිල් අයිතිවාසිකම් සඳහා කලු කම්කරු පන්තියේ මහජන ව්‍යාපාරය මෙකී පන්ති අරගලය පුපුරා යාමේ බලගතු ප්‍රකාශනයක් විය. ඒ අතර ම, ලෝකය පුරා - වඩාත්ම කෲරතර ආකාරයෙන් වියට්නාමයේ දී - යටත් විජිත විරෝධී මහජන ව්‍යාපාරය මර්දනය කිරීමට ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් දැරුනු ලේ වැකි ප්‍රයත්නය තරුන ශිෂ්‍යයන්ගේ පුලුල් කොටසක රැඩිකලීකරනය කරා ද, අතිවිශාල යුද-විරෝධී ව්‍යාපාරයක් පැන නැඟීම කරා ද මඟ හෙලි කලේය.

එක්සත් ජනපදය තුල 1960 හා 1990 අතරතුර අවුරුදු ලක්ෂනනය වූයේ දේශපාලන අස්ථායීත්වයෙන් හා සමාජ ධ්‍රැවාන්තගත වීමෙනි. නාගරික කැරලි, බහුජන විරෝධතා ව්‍යාපාර, දේශපාලන ඝාතන හා ප්‍රචන්ඩ හා දිගු කල් ඇදෙන වැඩ වර්ජන 1960 හා 1990 අතරතුර ඇමරිකානු යථාර්ථයේ ප්‍රමුඛ ලක්ෂන විය.

ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අර්බුදයට සමාන්තර ව සෝවියට් සංගමය තුල ස්ටැලින්වාදී තන්ත්‍රයේ අර්බුදය ද වර්ධනය වෙමින් පැවැතින. සෝවියට් සංගමය - දැවැන්ත මානව පිරිවැයක් ගෙවා වුව - නාසි ජර්මනිය පරදවා ජයග්‍රාහකයා ලෙස ඉස්මතු වී සිටි බවත්, දෙවැනි ලෝක යුද්ධයෙන් පසු කාලයේ සැලකිය යුතු ප්‍රගතියක් අත්පත් කර ගත් බවත් පිලිබඳ විවාදයක් නැත. එහෙත් සෝවියට් සංගමය මුහුන දුන් මූලික හා වැලැක්විය නොහැකි විරුද්ධාභාසය වූයේ, එහි ආර්ථිකයේ වර්ධනය හා වඩවඩාත් වැඩි වෙමින් පැවැති සංකීර්නත්වය, 'තනි රටේ සමාජවාදය' පිලිබඳ ජාතික වැඩ පිලිවෙල මත පදනම්ව සිටි සමස්ත ස්ටැලින්වාදී පර්යායේ අර්බුදය තීව්‍ර කිරීමයි.

යුද්ධයෙන් පසුව එලැඹී දශක දෙක තුල සෝවියට් සංගමය විසින් සාක්ෂාත් කෙරුනු සිත් ගන්නා සුලු වර්ධන අනුපාත නොතකා, සමාජවාදය කරා ජාතික මාවතක් පිලිබඳව වූ සංකල්පය, ලෝක වෙලඳ පොලේ හා ජාත්‍යන්තර ශ්‍රම විභජනයේ වෛෂයික යථාර්ථයට ප්‍රතිවිරුද්ධව පිහිටියේය. සෝවියට් ආර්ථිකයට ගැහැට පැමින වූ අසමතුලිතතාව හා නිෂ්පාදන ඵලදායීතාවයේ පහත මට්ටම්, සියලු රටවල් කෙරේ බලපාමින් පැවැති ලෝක ආර්ථිකය හා ජාතික-රාජ්‍ය පද්ධතිය අතර වූ ප්‍රතිවිරෝධයේ අතිශය ආන්තික රූපාකාරය පිලිබඳ නිදසුන් සැපයීය.

සෝවියට් ආර්ථිකයේ වර්ධනය සඳහා ගෝලීය ආර්ථිකයේ සම්පත් කරා ප්‍රවිෂ්ඨ වීමට අවශ්‍ය විය. එහෙත් මෙම ප්‍රවිෂ්ඨය සාක්ෂාත් කල හැකිව තුබුනේ මාවත් දෙකකින් එකක් අනුගමනය කිරීමන් පමනක් විය: එනම්, 1) සැලසුම් කිරීමේ මූලධර්මය අතහැර දැමීම හරහා ධනේශ්වර ක්‍රමය යලි හඳුන්වා දීම, සෝවියට් සංගමය විසුරුවා හැර එහි සංරචක කොටස් ලෝක ධනේශ්වර පර්යාය තුලට ඒකාග්‍ර කිරීම; හෝ නැතහොත්, 2) අන් සියල්ලටමත් වඩා වැඩි දියුනු ධනේශ්වර රටවල - කම්කරු පන්තිය බලය ගැනීම සහ, එම පදනම මත, ජාතික මායිම් ඉරා දමමින් විද්‍යාත්මක මග පෙන්වීමකින් යුතුව ගෝලීය පරිමානයෙන් ආර්ථිකය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සැලසුම් කිරීම; යන දෙ ආකාරයෙන් එකකිනි.

මෙහි පසු කී විකල්පය ස්ටැලින්වාදී තන්ත්‍රයේ රාමුව තුල ලබා ගත නොහැක්කක් විය. සෝවියට් සංගමයේ ජාතිකවාදී පිලිවෙත මිදී යා නොහැකි ආකාරයෙන් මුල් බැස තුබුනේ ක්‍රෙම්ලින් නිලධරයේ ද්‍රව්‍යමය උත්සුකයන් තුල ය. එය විසින් ක්‍රමානුකූලව බලය අවභාවිත කරනු ලැබීම, එය සෝවියට් සංගමයේ සම්පත් කරා සිය වරප්‍රසාදිත ප්‍රවිෂ්ඨය පවත්වා ගෙන ගිය ක්‍රමය විය. සෝවියට් සංගමය තුල හා ජාත්‍යන්තර ව, බලය සිය ග්‍රහනයේ පැවැති තතුවලට තර්ජනය කරන විප්ලවවාදී කම්කරු පන්තියක් මතු වී ඒම දෙස ක්‍රෙම්ලිනය බැලූයේ භීතියෙන් යුතුව ය.

1953 සිදු වූ ස්ටැලින්ගේ මරනය, ක්‍රෙම්ලින් තන්ත්‍රය සෝවියට් සංගමය තුල සමාජවාදයේ හා ජාත්‍යන්තර ව එහි විජයග්‍රහනයේ යලි අලුත් කිරීමක් සාක්ෂාත් කිරීමට සමත් වන පුලුල් පරාසයක ප්‍රතිසංස්කරන සිදු කරනු ඇතැයි යන මුලාවන් ජනනය කලේය. පැබ්ලෝවාදී සංශෝධනවාදයේ න්‍යායික හා දේශපාලනික නිලමුද්‍රාව වූයේ, ස්ටැලින්වාදයේ ප්‍රතිවිප්ලවවාදී ස්වභාවය හා දේශපාලන විප්ලවයේ අත්‍යවශ්‍යතාව පිලිබඳ ට්‍රොට්ස්කිගේ අවධාරනය ප්‍රතික්ෂේප කිරීමයි.

එහෙත් 1953 දී නැගෙනහිර ජර්මනියේ නැඟිටීමට හා 1956 හංගේරියානු විප්ලවයට සෝවියට් සංගමය දැක්වූ කෲර ප්‍රතිචාරය ද, 1962 දී නොවොචෙර්කාස්ක්හි කම්කරුවන් සමූලඝාතනය කිරීම ද, 1968 දී චෙකොස්ලොවැකියාව ආක්‍රමනය කිරීම ද විසින් රුධිරයෙන් සලකුනු කොට විදහා දක්වා ඇත්තේ ක්‍රෙම්ලින් නිලධරය සිය පාලනයට එල්ල කෙරෙන විප්ලවවාදී සමාජවාදී අභියෝගයක් උසුලා ගනු නොමැති බවයි.

විශේෂයෙන්ම 1980-81 සමයේ (ආරම්භයේ දී සැබෑ විප්ලවවාදී විභවයක් පැවැති) පෝලන්ත සොලිඩරිටි ව්‍යාපාරයේ ගමන් මඟ ඔස්සේ - නිලධරයට එරෙහි ව්‍යාපාරය මැඩ පැවැත්විය නොහැකි බව පැහැදිලි වන්නට වූ කල්හි ක්‍රෙම්ලිනය, සෝවියට් ආර්ථිකයේ පර්යායමය අර්බුදය සඳහා ප්‍රතිවිප්ලවවාදී විසඳුම් සක්‍රිය ව හඹා යාමට පටන් ගත්තේ ය: මෙම විසඳුම් සමන්විත වූයේ, සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් හා ධනවාදය පුනස්ථාපනය කිරීමෙනි.

1985 දී ගොර්බචෙව් පක්ෂ නායකයා ලෙස තෝරා ගැනීම ද, පෙරෙස්ට්‍රොයිකාව හඳුන්වා දීම ද ඔක්තෝබර් විප්ලවයට එරෙහි ස්ටැලින්වාදී ප්‍රතිවිප්ලවයේ අවසාන කූටප්‍රාප්ති අදියරේ ආරම්භය විය.

ගොර්බචෙව්ගේ පිලිවෙතේ අත්‍යවශ්‍ය අංගයක් වූයේ සෝවියට් සංගමය පන්ති අරගලය හා අධිරාජ්‍යවාදයට ඇති විරෝධය සමඟ හුදෙක් රූපික ලෙස අනන්‍ය කිරීම හෝ පැහැදිලිව ම ප්‍රතික්ෂේප කිරීමයි. 1989 දී, පෙරස්ට්‍රොයිකාවට එරෙහිව සමාජවාදය නම් කෘතියක් තුල ජාත්‍යන්තර කමිටුව මෙසේ පැහැදිලි කලේය:

“නව සෝවියට් විදෙස් පිලිවෙතේ කැපී පෙනෙන අංග වනුයේ, සෝවියට් පිලිවෙතේ දීර්ඝ කාලීන එල්ලයක් ලෙස ජාත්‍යන්තර සමාජවාදය පැවතීම කොන්දේසි විරහිතව ප්‍රතික්ෂේප කිරීම, සෝවියට් සංගමය හා ලොව පුරා අධිරාජ්‍ය විරෝධී අරගල අතර කවර හෝ දේශපාලන සහයෝගීතාවයක් ප්‍රතික්ෂේප කිරීම හා විදේශ ප්‍රතිපත්ති සූත්‍රගත කිරීමේ දී අදාල සාධකයක් ලෙස පන්ති අරගලය සැපයීම නිශ්චිතවම බැහැර කිරීමයි. සෝවියට් විදේශ ප්‍රතිපත්තියේ වෙනස්කම් නො වෙන් කල හැකි අයුරින් බැඳී ඇත්තේ, දැනට සිදු කෙරෙමින් පවතින, එහි ආර්ථිකය ලෝක ධනේශ්වර ක්‍රමයේ ව්‍යුහය සමඟ ඒකාග්‍ර කිරීම සමඟය. සෝවියට් සංගමයේ විදෙස් පිලිවෙත හා පන්ති අරගලය ද, කවර හෝ ආකාරයක අධිරාජ්‍ය විරෝධය ද අතර කිසියම් හෝ කල් පවත්නා සම්බන්ධයක් පැවැත්වීම සෝවියට් සංගමය විසින් බලගතු ලෙස හා කොන්දේසි විරහිතව ප්‍රතික්ෂේප කිරීම ක්‍රෙම්ලිනයේ ආර්ථික එල්ලවල අවශ්‍යතාවයක් වී ඇත. 1789 ප්‍රංශ විප්ලවය සේ ම, 1917 ඔක්තෝබර් විප්ලවය ද නූතන ලෝකයට අදාලත්වයක් නැති වෙනත් ඓතිහාසික යුගයකට අයත් ඒවායැයි සිදු කල සිය නිවේදනය සඳහා උපචාරාලය ලෙස එක්සත් ජාතීන් තෝරා ගැනීමට ගොර්බචෙව් කටයුතු කලේ එම නිසාය.

ජාත්‍යන්තර නිර්ධන පන්ති උත්සුකයන් පාවා දීම සම්බන්ධයෙන් නොව, එක්සත් ජනපදය කෙරේ පමනට වැඩි ලෙස සතුරුවීම සම්බන්ධයෙන් ඉහත ක්‍රෙම්ලින නායකයන්ගේ විදෙස් පිලිවෙත හෙලා දකින ලිපි සෝවියට් පුවත්පත්වල නිරතුරුව පල කෙරේ. සෝවියට් විදෙස් පිලිවෙත අධිරාජ්‍යවාදය කෙරේ කිසියම් ප්‍රතිවිරුද්ධතාවක් පිලිබිඹු කරන තාක් දුරට එය දේශපාලන අතාර්කිකත්වයේ ආකාරයක් ලෙස පරිහාසයට ලක් කෙරේ. සීතල යුද්ධය පැතිර යාමේ හේතු ලෙස දැන් දැක්වෙන්නේ අධිරාජ්‍යවාදයේ ආක්‍රමනකාරීත්වය නොව, සෝවියට් සංගමය ආධානග්‍රාහී ධනේශ්වර විරෝධී දෘෂ්ඨිවාදයකට ආසක්තව සිටීමයි”

මාක්ස්වාදයේ මූලික ප්‍රතිවිප්ලවවාදී ස්ටැලින්වාදී සංශෝධනය - සමාජවාදය ජාතික රාමුවක් තුල ගොඩනැගිය හැකිය යන ප්‍රකාශය - ගොර්බචෙව් තන්ත්‍රය විසින් විස්ථාපනය කරනු ලැබුවේ, රුසියාව සිය සමාජවාදී මවාපෑම් අත්හැරීමෙන් පසුව, ධනයෙන් පිරී ඉතිරී යන හා සාමකාමීව ලෝක ධනේශ්වර ක්‍රමයේ ව්‍යුහයන් තුලට ඒකාබද්ධ වීම පිලිබඳ, නොඅඩු ලෙස වංචනික හා නූගත් තර්කයෙනි. මාක්ස්වාදයේ දෘෂ්ටිවාදීමය ලෙස ගොතන ලද්දකැයි බැහැර කරන ලද අධිරාජ්‍යවාදයෙහි, රුසියාවට බිය විය යුතු කිසිවක් නොතිබුනි. මෙම මාවත් ඔස්සේ වඩාත් ඝෝෂාකාරී ලෙස තර්ක කල අය අතර සෝවියට් නිලධරයේ තරුන අටුවාකාරයෙකු වන ඇන්ඩ්‍රේ කොසිරෙව් ද විය. ඔහු 1989 දී මෙසේ ලිවීය.

“යමෙක්, සමස්ථයක් ලෙස එක්සත් ජනපදයේ ඒකාධිකාරී ධනේශ්වරය දෙස බැලුවහොත්, එහි කන්ඩායම් වලින් ඉතා ස්වල්පයක් මිස ඒවායින් ප්‍රධාන කිසිවක් මිලිටරිවාදයට සම්බන්ධ නැති බව දැකගනු ඇත. උදාහරනයක් වශයෙන්, වෙලඳපොලවල් හෝ අමුද්‍රව්‍ය සඳහා හෝ ලෝකය බෙදීම සහ නැවත බෙදීම සඳහා මිලිටරි අරගලයක් ගැන තවදුරටත් කතා කිරීමට අවශ්‍ය නැත”.

රුසියාවට එරෙහි ඇමරිකානු-නේටෝ යුද්ධයේ ව්‍යසනය මධ්‍යයේ අද මෙම වචන නැවත කියවන විට, සෝවියට් සංගමය නොසැලකිලිමත් ලෙස කඩා බිඳ දැමූ නිලධරය තුල පැවති වංචාවේ සහ ස්වයං-මුලාවේ මට්ටම ගැන කෙනෙකුට පුදුම වීම වැලැක්විය නොහැක. එහෙත් රැවටීම සහ ස්වයං-මුලාව පැන නැගුනේ, එය වරප්‍රසාදිත කුලයකින්පාලක පන්තියක් බවට පරිවර්තනය වීමට උත්සාහ කරන විට පැවති නිලධරයේ භෞතික අවශ්‍යතා මගිනි. කොසිරෙව් සම්බන්ධයෙන් ගත් කල, ඔහු නිල බලයෙන් ඇමරිකානු අධිරාජ්‍යවාදයේ නියෝජිතයෙකු ලෙස ක්‍රියා කරමින් යෙල්ට්සින් යටතේ විදේශ කටයුතු ඇමති බවට පත් වූවෙකි.

එක්සත් ජනපදය සෝවියට් සංගමය විසුරුවා හැරීම සැලකුවේ, දිග්ගැස්සුනු ආර්ථික පරිහානිය පියවා ගැනීම සඳහා සිය අවිවාදිත මිලිටරි අධිකාරය ගසාකෑමට ලැබුන ඓතිහාසික අවස්ථාවක් ලෙස ය. එක්සත් ජනපදයේ අභියෝග කල නොහැකි ගෝලීය ආධිපත්‍යය ස්ථාපිත කිරීම සඳහා එය “ඒක ධ්‍රැවීය මොහොත” - කිසිදු විශ්වාස කල හැකි මිලිටරි තරඟකරුවෙකු නොමැති වීම - භාවිතා කරනු ඇත.

නමුත් මෙම ව්‍යාපෘතිය, ධවල ​​මන්දිරය සහ පෙන්ටගනයේ මූලෝපායඥයින් බලාපොරොත්තු වූවාට වඩා දුෂ්කර බව ඔප්පු වී ඇත. එක්සත් ජනපදය විසින් උසිගන්වන ලද යුද්ධ නින්දාසහගත අසාර්ථකත්වයකට මුහුන දී ඇත. මැද පෙරදිග හා මධ්‍යම ආසියාවේ ලේ වැකි ගැටුම් මගින් එක්සත් ජනපදයේ මූලෝපායික අරමුනු කිසිවක් සාක්ෂාත් කර ගත්තේ නැත. එපමනක් නොව, එක්සත් ජනපදය එහි 'සදාකාලික යුද්ධවල' සිර වී සිටි අතර, චීනය එක්සත් ජනපදයේ ප්‍රධාන ආර්ථික හා විභව මිලිටරි තරඟකරුවෙකු ලෙස මතු විය.

විනාශකාරී ආර්ථික අර්බුද මාලාවකින් ආධිපත්‍යය සඳහා වන උත්සාහය තවදුරටත් හෑල්ලූවට ලක්ව ඇත. 2008 වෝල් වීදියේ බිඳවැටීම සමස්ත ලෝක ධනේශ්වර පද්ධතියම බිඳවැටීමේ අද්දරට ගෙන ආ අතර, එය වලක්වා ගත්තේ ඩොලර් ට්‍රිලියන ගනන් මුදල් මූල්‍ය පද්ධතියට එන්නත් කිරීම අවශ්‍ය කරන මංමුලා සහගත ඇපදීමකින් පමනි. නමුත් 2008 බිඳවැටීමට තුඩු දුන් යටින් පැවති ගැටලු විසඳා නොගෙන, කොවිඩ් -19 වසංගතය පුපුරා යාමෙන් ඇති වූ තවත් වෙලඳපල කඩා වැටීමක් නැවැත්වීමට 2020 දී ඊටත් වඩා විශාල ඇපදීමක් අවශ්‍ය විය.

එක්සත් ජනපදය තුල මරන මිලියනයක් සහ ලොව පුරා මිලියන 20ක් පමන මියයාමට හේතු වූ වසංගතය, ප්‍රධාන සමාජ අර්බුදයකට කිසිදු ප්‍රගතිශීලී ආකාරයකින් ප්‍රතිචාර දැක්වීමට නොහැකි ධනේශ්වර ක්‍රමයේ අක්‍රිය භාවය හෙලිදරව් කර ඇත. මේ සම්බන්ධයෙන්, වොෂින්ටනයේ සහ මොස්කව්හි පාලන තන්ත්‍රයන් අතර මූලික වෙනසක් නොමැත. ලෝකයේ වඩාත්ම අසමාන වූ ඇමරිකානු සමාජය තුල ඇති වන ගැන්ග්‍රේනස් පිලිකාවන්,සමස්ත දේශපාලන පද්ධතියම බිඳවැටීමේ මට්ටමට ගෙන ගොස් ඇත. 2021 ජනවාරි 6 වන දින, එක්සත් ජනපදයේ පවත්නා ව්‍යවස්ථාමය ව්‍යුහය තුල, ජනාධිපති විසින් සංවිධානය කරන ලද ෆැසිස්ට්වාදී කුමන්ත්‍රනයකින් පෙරලා දැමීමට ඔන්න මෙන්න කියන තත්වයකට පැමිනියේ ය. 'නිදහස් ලෝකයේ' නායකයා ලෙස උඩඟු ලෙස පෙනී සිටින අතර, බයිඩෙන් විසින්ම මෑතකදී පිලිගත් පරිදි, එක්සත් ජනපද ප්‍රජාතන්ත්‍රවාදයේ මවාපෑමේ පැවැත්ම පවා සැක සහිත ය.

පසුගිය අසාර්ථකත්වයන් හමුවේ, ගෝලීය ආධිපත්‍යය සඳහා වූ සිය ව්‍යාපාරයෙන් පසුබැසීම කෙසේ වෙතත් එක්සත් ජනපදය, වෙන කවරදාටත් වඩා ආන්තික හා අනතරායකර ක්‍රියාවන් වෙත තල්ලු වෙමින් පවතී. ඇත්ත වශයෙන්ම, එහි අභ්‍යන්තර ව්‍යාධිවල බරපතලකම, න්‍යෂ්ටික අවි භාවිතය ඇතුලුව    නොහැකි යැයි කලින් බැහැර කරන ලද ක්‍රියාමාර්ග වෙත එක්සත් ජනපදය යොමු කරවන ප්‍රධාන සාධකයක් බවට පත්ව ඇත.

එක්සත් ජනපදය, යුක්‍රේනය කුලීකාර වැයික්කියක් ලෙස භාවිතා කරමින්, රුසියාවට එරෙහි ව මෙම යුද්ධය උසිගන්වා ඇත්තේ ඇයි? ලෙනින් පලමු ලෝක යුද්ධය විශ්ලේෂනය කලේ ලෝකය යලි බෙදා ගැනීමට අධිරාජ්‍යවාදී බලවතුන් දරන උත්සාහයක් ලෙස ය. මෙම නිර්වචනය නේටෝ අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සන්ධානයකට නායකත්වය දෙන එක්සත් ජනපදය රුසියාවට එරෙහි ව යුද්ධ කරන්නේ මන්දැයි තේරුම් ගැනීමට ආරම්භක මූලික ලක්ෂ්‍යයකි. වර්තමාන සන්දර්භය තුල, ලෝකය යලි බෙදීම යන්නෙන් අදහස් කරන්නේ, විශාලත ම රට වන රුසියාවේ දැවැන්ත ව්‍යාප්තිය, සෘජු අධිරාජ්‍යවාදී පාලනය යටතේ තැබීමයි.

සෝවියට් සංගමය සමාජවාදය සහ අධිරාජ්‍යවාදයට එරෙහි විරෝධය සමග විධිමත් අනන්‍යතාවයක් පවා තබා ගන්නා තාක් දුරට එය දියකර හැරීම, එක්සත් ජනපදය විසින් ආධිපත්‍යය දරන ලෝක ධනේශ්වර ක්‍රමයේ දෘෂ්ටිවාදී හා ආර්ථික නීත්‍යානුකූල භාවයට අභියෝගයක් ලෙස සලකනු ලැබූ දෙය ඉවත් කිරීමක් විය. පශ්චාත් 1991 පාලන තන්ත්‍රය රුසියානු ආර්ථිකය විදේශ ධනේශ්වර ආයෝජන සඳහා විවෘත කලේ ය. එහෙත් රුසියානු රාජ්‍යය, තවමත්, ගෝලීය වශයෙන් මූලෝපායික යුරේසියාව මත පැතිර තිබුනි. එපමනක් නොව, ජාතික ආර්ථිකයේ පාලනය අත්පත් කරගත් රුසියානු කතිපයාධිකාරීන්ට රුසියාවේ සම්පත් වෙත එක්සත් ජනපද හා යුරෝපීය අධිරාජ්‍යවාදයේ ප්‍රවේශය සීමා කිරීමට හැකි විය.

එක්සත් ජනපද ආධිපත්‍ය ව්‍යාපෘතිය සාක්ෂාත් කර ගැනීම සඳහා, රුසියාවේ මූලෝපායික සම්පත් වෙත අසීමිත ප්‍රවේශය සහ එහි භූමිය පාලනය කිරීම, යන අංශ දෙකෙන්ම තීරනාත්මක වන අරමුනු ය.

පලමුව, රුසියාවේ සම්පත්වල සැබෑ වටිනාකම ඩොලර් ට්‍රිලියන දස ගනන් වලින් ඇස්තමේන්තු කර ඇත. මෙම ලෝහ හා ඛනිජවල මූල්‍ය වටිනාකමට අමතරව, මෙම සම්පත් බොහොමයක්, දියුනු විසිඑක්වන සියවසේ කාර්මික ආර්ථිකයන්ට අත්‍යවශ්‍ය මූලෝපායික ද්‍රව්‍ය ලෙස වර්ගීකරනය කර ඇත.

රුසියාව යනු තෙල්, ස්වාභාවික වායු, දැව, තඹ, දියමන්ති, රන්, රිදී, ප්ලැටිනම්, සින්ක්, බොක්සයිට්, නිකල්, ටින්, මර්කරි, මැගනීසියම්, ක්‍රොමියම් , ටන්ග්ස්ටන්, ටයිටේනියම්, පොස්පේට් වැනි විශාල සංචිත සහිත විශාල -සහ සමහර අවස්ථාවල විශාලතම- නිධාන පෙට්ටියක් වැනි වටිනා ස්වභාවික සම්පත් වලින් සමන්විත රටකි. ලෝකයේ යකඩ නිධිවලින් හයෙන් එකක් පමන යුක්‍රේනයේ මායිමට ආසන්නව පිහිටි කර්ස්ක් චුම්බක විෂමතාවයේ පිහිටා ඇත. රුසියාවේ සැලකිය යුතු ප්‍රමාන වලින් පවතින අනෙකුත් දුර්ලභ ලෝහ වන්නේ කොබෝල්ට්, මොලිබ්ඩිනම්, පැලේඩියම්, රෝඩියම්, රුතේරියම්, ඉරිඩියම් සහ ඔස්මියම් ය. රුසියාව යුරේනියම් සහ දුර්ලභ පස්වල ප්‍රධාන ප්‍රභවයකි. දෙවැන්න ගෝලීය භූ දේශපාලන තරඟයේ ප්‍රධාන මූලාශ්‍රයක් බවට පත්ව ඇත.

මෙම තීරනාත්මක සම්පත් අත්පත් කරගැනීම සම්බන්ධයෙන් තියුනු ගැටුමක් පවතින බව ගෝලීය භූ මූලෝපාය පිලිබඳ විශේෂඥයින් හොඳින් දන්නා කරුනකි. එහෙත් අමුද්‍රව්‍ය සහ රුසියාවේ ධනය පාලනය පිලිබඳ සාකච්ඡාව, ඇමරිකානු හා යුරෝපීය අධිරාජ්‍යවාදය යුක්‍රේනියානුවන් වෙනුවෙන් උදාර සහ අපක්ෂපාති අරගලයක් ගෙන යන බව මහජනතාව විශ්වාස කරනවාට කැමති, ප්‍රමුඛ මාධ්‍ය, මාර්ගගත සහ මුද්‍රිත මාධ්‍ය තුලට පිවිසෙන්නේ නැත-යුක්‍රේන ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අකමැත්තෙන් වුව ද, අසෝව් බලඇනියේ ෆැසිස්ට්වාදීන් සන්නද්ධ කිරීම පවා අවශ්‍ය කෙරුනත් ඊට කම් නැත.

දෙවනුව, චීනය සමග නොවැලැක්විය හැකි ගැටුමක් ලෙස වොෂින්ටනය දකින දෙය සඳහා රුසියානු භූමියේ භෞතික පාලනය ඉතා වැදගත් වේ. විවෘත යුද්ධයක් සඳහා කාලය එලඹෙන විට, රුසියාව විසින් යුක්‍රේනියානුවන් සමූලඝාතනය කිරීමේ චෝදනාව අද ඉදිරිපත් වන පරිදි, චීනයේ 'ජන සංහාරක' හිංසාවන්ට එරෙහිව උයිගර්වරුන්ගේ ආරක්ෂාව ඉල්ලා සිටිනු ඇත.

රුසියාවට එරෙහි යුද්ධය උසිගැන්වීමේ ප්‍රධාන සාධකයක් ලෙස අමුද්‍රව්‍යවල වැදගත්කම අවධාරනය කිරීම “ග්‍රාම්‍ය මාක්ස්වාදය” පිලිබඳ උදාහරනයක් ලෙස උපහාසයට ලක් වනු නොඅනුමාන ය. එය එසේ වුවත්, අධිරාජ්‍යවාදය පිලිබඳ සිය අධ්‍යයනයේ දී ලෙනින්, අමුද්‍රව්‍ය මූලාශ්‍රවල පාලනය සුරක්ෂිත කර ගැනීම සඳහා අධිරාජ්‍යවාදී බලවතුන්ගේ අරගලය කෙරෙහි ඉමහත් අවධාරනයක් ලබා දුන්නේය. ඔහු මෙසේ ලිවීය: ' ධනවාදය වඩා වර්ධනය වන තරමට, අමුද්‍රව්‍ය හිඟය වඩාත් ප්‍රබල ලෙස දැනේ. මුලු ලෝකය පුරාම තරඟකාරිත්වය සහ අමුද්‍රව්‍ය ප්‍රභවයන් සඳහා වන දඩයම වඩාත් තීව්‍ර වන තරමට, යටත් විජිත අත්පත් කර ගැනීමේ අරගලය වඩාත් මංමුලා සහගත වේ. '

ලෙනින් අමුද්‍රව්‍යවලට ප්‍රවේශය ලබා ගැනීමේ සහ පාලනය කිරීමේ අභ්‍යාසය, භූමිය අල්ලා ගැනීම හා සම්බන්ධ කල අතර, අධිරාජ්‍යවාදයේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස ඈඳාගැනීම්වලට වැදගත්කම දුන්නේ ය.

ඇත්ත වශයෙන්ම, විවෘත ඈඳාගැනීම් නොමැතිව, යටත් වූ රටේ ස්වාධීනත්වයේ මිරිඟුව පවත්වා ගැනීමට    ඉඩ සලසමින්, භෞමික පාලනය සුරක්ෂිත කල හැකි බොහෝ ක්‍රම අධිරාජ්‍යවාදීන්ට තිබේ. නමුත් මිරිඟුව යථාර්ථය නොවනු ඇත. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සහ එහි නේටෝ සහචරයින් අපේක්ෂා කරන්නේ, ගැටුමේ අවසාන ප්‍රතිඵලය - කොතෙක් දිග්ගැස්සුනත් - එහි වර්තමාන ස්වරූපයෙන් රුසියාව විනාශ කිරීම ය.

දැඩි ආක්‍රමනික ප්‍රතිපත්තියක් කරා මාරුවීම අප්‍රේල් 16 වැනි දින වොෂින්ටන් පෝස්ට් පත්‍රය විසින් වාර්තා කරන ලදී:

යුක්‍රේනයට ව්ලැඩිමීර් පුටින්ගේ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් මාස දෙකකට ආසන්න කාලයක් ඉක්ම යද්දී, බයිඩන් පරිපාලනය සහ එහි යුරෝපීය සහචරයින්, රුසියාව සමග තවදුරටත් සහජීවනයෙන් සහ සහයෝගීතාවයෙන් කටයුතු කිරීමට උත්සාහ නොකරන, එහෙත් එය දිගු කාලීන මූලෝපායක් යටතේ හුදකලා කිරීමට සහ දුර්වල කිරීමට ක්‍රියාකාරීව උත්සාහ කරන, බොහෝ වෙනස් ලෝකයක් සඳහා සැලසුම් කිරීම අරඹා ඇත.

නේටෝ සහ යුරෝපීය සංගමයේත්, රාජ්‍ය දෙපාර්තමේන්තුවේත්, පෙන්ටගනයේ සහ ඊට අනුබද්ධ අමාත්‍යාංශවලත්, ආරක්ෂක සහ මූල්‍යයේ සිට වෙලඳාම සහ ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රිකභාවය දක්වා මොස්කව් කරා වන බටහිර ආස්ථානයේ සෑම අංශයකම පාහේ නව ප්‍රතිපත්ති ඇතුලත් කිරීමට සැලැස්මක් සකස් වෙමින් පවතී. . ('එක්සත් ජනපදය, මිත්‍ර රටවල්, රුසියාව දිගු කාලීනව හුදකලා කිරීමට සැලසුම් කරයි')

'රුසියාව සමග සහජීවනයෙන් සහ සහයෝගී ව කටයුතු කිරීමට' දරන උත්සාහයන් අත්හැරීමේ මූලෝපායික ඇඟවුම් මොනවාද? එක්සත් ජනපදය සහ එහි නේටෝ සහචරයින් රුසියාව සමඟ 'සහජීවනය' පවත්වා ගත නොහැකි බව විශ්වාස කරන්නේ නම්, ඊලඟ නිගමනය වන්නේ, ඔවුන් එය විනාශ කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටින බවයි. අධිරාජ්‍යවාදී බලවතුන් අපේක්ෂා කරන “වෙනස් ලෝකය” තුල, - ඒ සඳහා ඔවුන් න්‍යෂ්ටික යුද්ධය සහ එම ක්‍රියාවලියේදී මිලියන සිය ගනනකගේ ජීවිත බිලි දීමට සූදානම්ව සිටිති - රුසියාව එහි වර්තමාන ස්වරූපයෙන් නොපවතිනු ඇත.

යුක්‍රේනයේ යුද්ධය, ස්ටැලින්වාදීන් විසින් ඔක්තෝබර් විප්ලවය පාවාදීමේ ව්‍යසනකාරී ප්‍රතිවිපාක දැන් මුලුමනින්ම හෙලිදරව් කරයි. මෙම පාවාදීම ආරම්භ වූයේ, 1917 ඔක්තෝබර් මාසයේ දී කම්කරු පන්තිය විසින් බලය අත්පත් කර ගැනීම සහ 1922 දී සෝවියට් සමාජවාදී සමූහාන්ඩු සංගමය පිහිටුවීමේදී ලෙනින් සහ ට්‍රොට්ස්කි පදනම් කරගත් සමාජවාදී ජාත්‍යන්තරවාදයේ වැඩපිලිවෙල ප්‍රතික්ෂේප කිරීමත් සමග ය. 1924 දී ස්ටාලින් විසින් එලිදක්වන ලද තනි රටේ සමාජවාදය, සමාජවාදී සමූහාන්ඩු වල එකමුතුවට වල කපන ලද අතර, මහා රුසියානු ස්වෝත්තමවාදය යලි හිස එසවීම දිරිමත් කරන ලදී, එමඟින් ප්‍රතිගාමී, සෝවියට් විරෝධී සහ විවෘත ෆැසිස්ට්වාදී කොටස් විශේෂයෙන් - ලියොන් ට්‍රොට්ස්කි ද ඇතුලු විප්ලවවාදී කම්කරු ව්‍යාපාරයේ ශ්‍රේෂ්ඨත ම නායකයින් බොහෝ දෙනෙක් බිහි ව තිබුනු, සාර්වාදය යටතේ කුරිරු ලෙස පීඩාවට පත් කල ජාතියක් වූ - යුක්‍රේනය තුල ශක්තිමත් කලේ ය.

1991 දෙසැම්බරයේ සෝවියට් සංගමය විසුරුවා හැරීම, ස්ටැලින්වාදී ප්‍රතිවිප්ලවයේ කූටප්‍රාප්තිය විය. දැන් එහි ප්‍රතිවිපාකවලට මුහුන දී සිටින රුසියානු, යුක්‍රේන සහ ජාත්‍යන්තර කම්කරු පන්තිය, මෙම ඉමහත් ඓතිහාසික අත්දැකීමෙන් අවශ්‍ය දේශපාලන පාඩම් උකහා ගත යුතුය.

අප්‍රේල් 2දා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලකල රුසියානු සමාජවාදියෙකුට ලිපියක් තුල ජාත්‍යන්තර කමිටුව, එක්සත් ජනපදය විසින් ගැටුම උසිගන්වනු ලැබීම නොතකා, යුක්‍රේනයේ රුසියානු ආක්‍රමනයට එරෙහි එහි ප්‍රතිපත්තිමය පදනම පැහැදිලි කලේය. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය, 'රුසියාවේ ධනේශ්වර තන්ත්‍රයේ ප්‍රතිපත්ති තීරනය කරන ප්‍රායෝගික, ජාතික වශයෙන් පදනම් වූ සංකල්ප මත එහි මූලෝපාය පදනම් කර නොගනී' යනුවෙන් ලිපියේ සඳහන් විය. එම ලිපියේ තවදුරටත් මෙසේ සඳහන් විය.

අධිරාජ්‍යවාදයට එරෙහිව රුසියානු ජනතාවගේ ආරක්ෂාව ධනේශ්වර ජාතික රාජ්‍ය භූ දේශපාලනයේ පදනම මත සිදු කල නොහැක. ඒ වෙනුවට අධිරාජ්‍යවාදයට එරෙහි අරගලයට අවශ්‍ය වන්නේ ලෝක සමාජවාදී විප්ලවයේ නිර්ධන පංති මූලෝපායේ පුනර්ජීවන යයි. රුසියානු කම්කරු පන්තිය ව්‍යසනයට තුඩු දී ඇති ධනේශ්වර පුනස්ථාපනයේ සමස්ත සාපරාධී ව්‍යවසාය ප්‍රතික්ෂේප කල යුතු අතර, එහි ශ්‍රේෂ්ඨ විප්ලවවාදී ලෙනින්වාදී-ට්‍රොට්ස්කිවාදී උරුමය සමග සිය දේශපාලන, සමාජීය හා බුද්ධිමය සම්බන්ධය යලි ස්ථාපිත කල යුතුය.

සමාජවාදී ජාත්‍යන්තරවාදයේ වැඩපිලිවෙල සියලුම අධිරාජ්‍යවාදී හා අනෙකුත් ධනේශ්වර රටවල කම්කරු පන්තියට අදාල වේ.

යුක්‍රේන යුද්ධය ඉක්මනින් විසඳී 'සාමාන්‍ය තත්ත්වය' කරා නැවත පැමිනීමක් සිදුවන කථාන්තරයක් නොවේ. එය මෙම දෙයාකාරයෙන් එකකින් පමනක් විසඳිය හැකි ගෝලීය අර්බුදයක ප්‍රචන්ඩකාරී පිපිරීමක ආරම්භයයි. ධනේශ්වර විසඳුම න්‍යෂ්ටික යුද්ධයකට මග පාදයි, නමුත් 'විසඳුම' යන වචනය ග්‍රහලෝක පරිමාන සියදිවි නසාගැනීමකට තාර්කිකව සමාන කල නොහැක. මේ අනුව, මානව වර්ගයාගේ අනාගතය සුරක්ෂිත කිරීමේ ආස්ථානයෙන් බලන කල, එකම ශක්‍ය ප්‍රතිචාරය ලෝක සමාජවාදී විප්ලවය යි.

නොවැලැක්විය හැකි ලෙස, ප්‍රශ්නය පැනනඟී: ලෝක සමාජවාදී විප්ලවයේ විකල්පය සිදුවිය හැකි ද?

නූතන ලෝක ධනවාදයේ ප්‍රතිවිරෝධතා පිලිබඳ අවබෝධයෙන් පිලිතුර සැපයේ. 1914 සිට 1916 දක්වා කාලය තුල ලෙනින් වර්ධනය කරගත් තීක්ෂන දැක්ම වූයේ, ලෝක යුද්ධයට තුඩු දුන් සමාජ ආර්ථික ප්‍රතිවිරෝධතා ලෝක සමාජවාදී විප්ලවයට ද ආවේගය සපයනු ඇතිය යන්නයි. 1917 රුසියානු විප්ලවය පුපුරා යාමේදී මෙම බුද්ධියේ තීක්ෂන භාවය සනාථ විය.

වත්මන් අර්බුදය තුල, ට්‍රොට්ස්කි සහ හතරවන ජාත්‍යන්තරය විසින් තව දුරටත් වර්ධනය කරන ලද ලෙනින්ගේ සංකල්පය - ලෝකය පුරා පන්ති අරගලය ශීඝ්‍රයෙන් උත්සන්න වීම තුල සනාථ වෙමින් පවතී. රුසියාව හුදකලා කිරීමට එක්සත් ජනපදය හා එහි නේටෝ සහචරයින් විසින් ගෙන ඇති අදූරදර්ශී පියවර සෑම ධනේශ්වර තන්ත්‍රයක්ම පීඩාවට පත් කර තිබෙන අතර , දැනටමත් බොහෝ දියුනු ආර්ථිකයන් හා සමාජයන්ගේ අර්බුද අතිමහත් ලෙස උග්‍ර කර ඇත. මහා පෙලපාලි සහ වැඩ වර්ජන ලොව පුරා පැතිර යමින් පවතී. ලෝක ආධිපත්‍යය සඳහා අධිරාජ්‍යවාදී පාලක ප්‍රභූවේ සාපරාධී ලෙසත් උමතු ලෙසත් හඹා යාමේ අවශ්‍යතාවය මත කම්කරු පන්තිය හා පීඩිත ජනතාව දරිද්‍රතාවය සහ සාගින්න පිලි නොගනු ඇත.

ට්‍රොට්ස්කි පැහැදිලි කල පරිදි, හතරවන ජාත්‍යන්තරයේ මූලෝපාය පදනම් වී ඇත්තේ යුද සිතියම මත නොව ගෝලීය පන්ති අරගලයේ සිතියම මත ය.

2022 මැයි දින සැමරුම, අධිරාජ්‍යවාදී යුද්ධයට සහ එහි මූල හේතුව වන ධනේශ්වර පද්ධතියට එරෙහි ගෝලීය අරගලයක් තුල ජාත්‍යන්තර කම්කරු පන්තිය එක්සත් කිරීම සඳහා කැප කල යුතුය.

මැයි 1 ඉරිදා පැවැත්වෙන අන්තර්ජාල රැලියේ මාතෘකාව වනු ඇත්තේ, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව මෙම ඓතිහාසික ව්‍යාපාරය වර්ධනය කරන මූලෝපාය සහ වැඩපිලිවෙලයි.

ජාත්‍යන්තර මැයි දින ඔන්ලයින් රැලිය සඳහා ලියාපදිංචි වීමට, පහත පෝරමය පුරවන්න. වැඩි විස්තර සඳහා wsws.org/mayday වෙත පිවිසෙන්න.

Loading