මහ ව්‍යාපාරිකයෝ “ද්වි-පාර්ශවික ජාතික ආන්ඩුවක්” ඉල්ලා සිටිති

[මෙය Sri Lankan big business demands a “bipartisan national government” මැයෙන් 2022 අප්‍රේල් 23 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

ලංකාවේ ආර්ථික, සමාජ හා දේශපාලන කලබැගෑනිය අවසානයකට ගෙන ඒම සඳහා, ජාතික සමගි ආන්ඩුවක් බිහිකිරීම ඇතුලු ක්ෂනික පියවර ගන්නා ලෙස මහ ව්‍යාපාරිකය මේ සතියේ ඉල්ලා සිටීමත් සමග ලංකාවේ ආන්ඩුවේ අර්බුදය ගැඹුරු වී තිබේ.

2022 අප්‍රේල් 20දා කොලඹ දී විරෝධතාවේ යෙදෙන රාජ්‍ය අංශයේ කම්කරුවෝ (ඡායාරූපය: ලෝසවෙඅ මාධ්‍ය)

කම්කරු පන්තියේ ප්‍රධාන කොටස්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හා ඔහුගේ ආන්ඩුවට ඉල්ලා අස් වන ලෙස බලකරන ඉල්ලීම තමන් අතට ගැනීමේ සංඥා සලකුනු මතුවෙද්දී, මුලු රටම හෙල්ලුම් කවා තිබෙන මහජන විරෝධතා ව්‍යාපාරයෙහි විප්ලවවාදී ගම්‍යයන් කෙරෙහි සංගත හා මූල්‍ය ප්‍රභූව බිය ගැන්වී සිටියි. දුගී කම්කරුවෙකු ඝාතනය කරමින් නිරායුධ විරෝධතාකරුවන්ට අඟහරුවාදා රඹුක්කන දී පොලීසිය එල්ල කල ම්ලෙච්ඡ වෙඩි තැබීම, මහජනයා තව දුරටත් කෝපයට පත්කර ඇත.

ව්‍යවස්ථාවේ 20වන සංශෝධනය “වත්මන් තත්ත්වයට බලපෑ” බව කියමින්, එම සං‌ශෝධනය අහෝසි කරන ලෙස ඉල්ලා, ලංකා වානිජ මන්ඩලය සහ ශ්‍රී ලංකා වානිජ හා කර්මාන්ත මන්ඩල සම්මේලනය ඇතුලු සියලු මහ-ව්‍යාපාරික මන්ඩල බදාදා ජනාධිපතිවරයාට ලියූ හ.

විධායක ජනාධිපති ධූරයේ දුර දිග යන සියලු විෂඝෝර බලතල ප්‍රතිස්ථාපිත කරමින් හා අනෙකුත් දේවලට අමතර ව පාර්ලිමේන්තුව රබර් මුද්‍රාවක් බවට පරිවර්තනය කරමින්, 20වන සංශෝධනය 2020 ඔක්තෝබරයේ දී බලාත්මක කරන ලදී.

“වැඩෙන මහජන කැලඹීම සමගින් පැමිනෙන වර්තමාන දේශපාලන හිරවීම” රටෙහි “බරපතල ආර්ථික අර්බුදය විසඳීමට ගනු ලබන ක්‍රියා මාර්ග පීලිපැන්නවිය හැකි ය” යන භීතිය මහ-ව්‍යාපාරික මන්ඩල විසින් පලකලේ ය. 20වන සංශෝධනය අහෝසි කිරීම, “පොදු එකඟත්වයෙන් යුත් ප්‍රවිෂ්ටයක්” සමග බද්ධ කරනු ලැබිය යුතුය.

ලිපිය මෙසේ සඳහන් කලේ ය: “වර්තමාන ආර්ථික අර්බුදය විසඳීමට” හා “ඉන්ධන, විදුලි බලය, ගෑස් හා සැපයුම් දාමයේ අනෙකුත් තීරනාත්මක අවයවවලට සම්බන්ධ ප්‍රශ්න විසඳීමට” “ද්වි-පාර්ශවික ජාතික ආන්ඩුවක් ස්ථාපිත කල යුතු බව අපි නිර්දේශ කරමු...”

“යහපාලන ක්‍රමයක් (ස්ථාපිත කිරීම)” ඉල්ලමින්, බ්‍රැන්ඩික්ස්, මාස්, හේමාස්, ඩයලොග්, දිල්මා, ජෝන් කීල්ස් ඇතුලු ලංකාවේ ප්‍රධාන සංගත ඊයේ ජනාධිපතිවරයාට වෙන වෙන ම ලියූ හ.

මහ ව්‍යාපාරිකයේ පෙර නුවූ විරූ ඍජු මැදිහත් වීම සිදු කරනු ලබන්නේ, වැඩකරන ජනයාගේ ඉරනම පිලිබඳ අබමල් රේනුවක තැකීමක් තිබෙන නිසා නො වේ. දිවයින පුරා වෛරසයට වේගයෙන් පැතිර යාමට ඉඩ දුන් රංචු ප්‍රතිශක්ති පිලිවෙතක් අනුගමනය කල යුතු යයි අවධාරනය කරමින්, සංගත හා මූල්‍ය ප්‍රභූව කෝවිඩ්-19 වසංගතය සමයේ සුවිශාල ලාභ කඳුගසා ගත්තේ ය.

2022 අප්‍රේල් 20දා කොලඹ කොටුවේ පෙලපාලියෙන් යන වරාය කම්කරුවෝ (ඡායාරූපය: ලෝසවෙඅ මාධ්‍ය)

විරෝධතා ක්ෂනික ව අවසානයකට නො ගෙනාවහොත්, අවශ්‍ය කරන කප්පාදු පියවරයන්ගේ දරුනුකම හෙලිදරවු කරමින්, දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) සමග පැවැත්වෙන සාකච්ඡා නිමා වීමෙන් අනතුරු ව, වඩා පලල් දේශපාලන වාපාරයක් පුපුරා යනු ඇතැයි පාලක පන්තිය භීතියෙන් පසුවෙයි.

ලංකාව සමග සාකච්ඡාවල දී, රටෙහි නය තිරසර මාවතකට යොමු කල හැකි බවට වන “ප්‍රමානවත් සහතික වීම්” ජාමූඅට අවශ්‍ය කර ඇත. ආන්ඩුවේ වියදම් බරපතල ලෙස කප්පාදු කිරීම, බදු ඉහල දැමීම සහ අනෙකුත් දේවලට අමතර ව රජයට අයත් ව්‍යවසායයන් පලල් ලෙස ප්‍රතිව්‍යුහගත කිරීමට ලක්කිරීම මෙහි අර්ථය යි.

එවන් පියවරයන් සාමකාමී ව ක්‍රියාවට දැමිය නො හැකි බව රාජපක්ෂ දනී. ජනාධිපතිවරයා හා ඔහුගේ සහෝදර අගමැති මහින්ද රාජපක්ෂ යන දෙදෙනා ම, රඹුක්කන දී අඟහරුවාදා පොලීසිය කල වෙඩි තැබීම සම්බන්ධයෙන් විරෝධතාකරුවන්ට වරද පටවා ඇත. රටෙහි දිස්ත්‍රික්ක 25 තුල නීතිය හා සාමය පවත්වාගෙන යාම සඳහා, ජනාධිපතිවරයා මිලිටරියට කැඳවමින් පැනවූ නියෝගය ඊයේ අලුත් කලේ ය.

කෙසේ වෙතත්, අධික උද්ධමනය සහ ආහාර, ඖෂධ හා ඉන්ධන හා විදුලිබලය වැනි අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිඟයන් නිසා රාජපක්ෂ පාලනයට විරුද්ධව මහජන විරෝධතා, දැනට සති දෙකකට වැඩි කාලයක් තිස්සේ පැවතී ඇති අතර වර්ධනය වෙමින් පවතී.

කම්කරුවන් විරෝධතාවන්ට මෙතෙක් සහභාගි වී ඇත්තේ තනි පුද්ගලයන් ලෙස ය. එහෙත්, දැන් ඔවුහු තමන් මුහුන දෙන සමාජීය ව්‍යසනය ශමනය කිරීම සඳහා, වැටුප් වැඩි කිරීම් හා අනෙකුත් පියවරයන් ඉල්ලන සටන් ඉල්ලා සිටිති.

නැගීඑන බරපතල විරුද්ධත්වය අපසරනය කිරීම සඳහා, සීමිත විරෝධතා හා වැඩ වර්ජන කැඳවීමට වෘත්තීය සමිතිවලට බල කෙරී ඇත.

2022 අප්‍රේල් 20දා බැංකු කම්කරුවන්ගේ විරෝධතාව (ඡායාරූපය: ලෝසවෙඅ මාධ්‍ය)

අඟහරුවාදා, කොලඹ හා අනෙකුත් ප්‍රධාන නගරවල පැවති විරෝධතා පෙලපාලිවලට කම්කරුවන් දසදහස් ගනනක් සහභාගි වූ හ. ක්ෂනික වැටුප් වැඩි කිරීමක්, භාන්ඩ හිඟය අවසන් කිරීමක් හා මිල ගනන් අඩු කිරීමක් ඉල්ලා සිටි ඔවුහු, ජාමූඅ සාකච්ඡා උගුලක් ලෙස හැඳින්වූ හ.

ගුරුවරුන්, සෞඛ්‍ය, වරාය, විදුලි, ටෙලිකොම් හා තැපැල් සේවකයන් ඇතුලු කම්කරුවන් 1,500ක් පමන, කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත දී විරෝධතා පැවැත්වූ හ. එදින ම, සියලු විශ්ව විද්‍යාලවල ගුරුවරු වැඩ වර්ජනය කල අතර, දහස් ගනනක් දෙනා ආන්ඩුවට එරෙහි ව කොලඹ දී පෙලපාලි පැවැත්වූ හ.

බ්‍රහස්පතින්දා, ගාට්මෝර් වත්තේ වතු කම්කරුවන් 150ක් පමන විරෝධතාවක් පවත්වා, අසල පිහිටි මස්කෙලිය නගරය කරා පාගමනින් ගමන් ගත් හ. රඹුක්කන පොලිස් වෙඩි තැබීමට හා විශාල ලෙස මිල ඉහල දැමීම්වලට විරුද්ධ ව ඔවුහු සටන් පාඨ හඬ නැගූ හ. ඊට පෙර දින, මස්කෙලියේ ඕල්ටන් වත්තේ කම්කරුවෝ ඒ හා සමාන විරෝධතාවක් පැවැත්වූ අතර, ඊයේ ආගරපතන කම්කරුවෝ විරෝධතා ක්‍රියාවක නියැලුන හ.

දරාගත නො හැකි අහස උසට නගින ඉන්ධන මිලට හා හිඟයන්ට විරුද්ධ ව, අප්‍රේල් 25දා රජයේ පාසල්වල ගුරුවරු එක් දින ලෙඩ නිවාඩු දමා වර්ජනයක නිරත වනු ඇත. අඟහරුවාදා සුවිශාල විරෝධතා සංවිධානය කල වෘත්තීය සමිති ම, අප්‍රේල් 28 දින පවත්වනු ලබන, කම්කරුවන් මිලියනයක් පමන සහභාගි වන එක් දින මහා වැඩ වර්ජනයක් නිවේදනය කර තිබේ.

ආන්ඩුවට එරෙහි ව විරෝධතා ව්‍යාපාරයක් ගොඩනැගීමට උත්සාහ නො දරන වෘත්තීය සමිති, කම්කරුවන්ගේ කෝපය වාෂ්ප කර දැමීමට උත්සාහ දරමින් සිටිති. නවතම විරෝධතා කැඳවුම් කල වෘත්තීය සමිති, ගැඹුරු වන ආර්ථික අර්බුදයේ බර කම්කරුවන් හා දුගීන් මත පැටවීමට ආන්ඩුවට හැකියාව ලබා දෙමින්, පසුගිය වසර පුරා පැනනැග ඇති සෑම අරගලයක් ම පාවා දී ඇත.

ගාට්මෝර් වත්තේ කම්කරුවෝ 2022 අප්‍රේල් 20දා පෙලපාලියේ යමින් (ඡායාරූපය: ලෝසවෙඅ මාධ්‍ය)

මහ ව්‍යාපාරිකයේ විශ්වාසය අහිමි කරගෙන සිටින පාලක සභාගය ගැඹුරුවන වියවුලකට ඇද වැටෙමින් තිබේ. අලුතින් පත්කරන ලද මාධ්‍ය ඇමති වන නාලක ගොඩහේවා ඊයේ ඉල්ලා අස් වී අන්තර්පාලන ආන්ඩුවක් සඳහා කැඳවුම් කලේ ය. ජනාධිපති රාජපක්ෂ එම ඉල්ලා අස්වීම පිලිගැනීම ප්‍රතික්ෂේප කලේ ය.

මේ සතියේ දී, ජනාධිපතිවරයා මුනගැසුනු පාලක පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දහතුනක්, නව අගමැතිවරයෙක් යටතේ අන්තර්පාලන ආන්ඩුවකට කැඳවුම් කල හ. ආන්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක දී, ජනාධිපතිගේ සහෝදරයා වන අගමැති මහින්ද රාජපක්ෂ, වත්මන් ආන්ඩුව අඛන්ඩ ව පවතිමින් ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමට උත්සාහ දරන බව අවධාරනය කලේ ය.

සමගි ජන බලවේගය (සජබ) හා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) යන විරුද්ධ පක්ෂ ද මහජන විරෝධතා ව්‍යාපාරය පාලනය කරගැනීමට මංමුලා සහගත ව පසුවෙති. සජබ නායක සජිත් ප්‍රේමදාස, විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ යෝජනා බ්‍රහස්පතින්දා කථානායකවරයාට භාර දුන්නේ ය. එහෙත්, ඔහුගේ දෙවැනියා වන හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා, වහාම මාධ්‍යයට පැවසුවේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමෙන් කිසිදු ප්‍රශ්නයක් නො විසඳනු ඇති බවයි.

මේ සතියේ දහස් ගනනක සහභාගීත්වයෙන් ජවිපෙ කොලඹ දක්වා පාගමනක් සම්පූර්න කලේ ය. ජවි‌පෙ කථිකයෝ සෙනඟ අමතමින් රාජපක්ෂ ආන්ඩුවට ගෙදර යන ලෙස කියූ නමුත්, ඊලඟට පක්ෂය යෝජනා කරන්නේ කවරක්දැයි විස්තර නො කල හ. පසුගිය මාසය පුරා, “අන්තර්පාලන ආන්ඩුවක්” හා නව මැතිවරන සඳහා ජවිපෙ උද්ඝෝෂනය කර ඇත. සජබ හා ජවිපෙ සම්බන්ධ වන ඕනෑ ම ආන්ඩුවක්, වත්මන් ආන්ඩුව මෙන් ම, ජාමූඅ කප්පාදු න්‍යාය පත්‍රය වැඩකරන ජනයා මතට පටවනු ඇත.

ජාමූඅ නියෝග පැටවීමට දරන උත්සාහයේ දී, ම්ලේච්ඡ පොලිස්-රාජ්‍ය පියවරයන් යොදාගැනීම ඇතුලු කිසිවකින් මෙහා, කොතරම් දුර්වල වුවත් රාජපක්ෂ පාලනය නො නවතිනු ඇති බවට සමාජවාදී සමානතා පක්ෂය (සසප) අනතුරු අඟවයි. වැඩකරන ජනයාට එරෙහි ව විටින් විට යොදාගෙන ඇති සියලු ප්‍රජාතන්ත්‍ර-විරෝධී නීති සමගින් විධායක ජනාධිපති ධූරය වහා ම හා මුලුමනින් ම අහෝසි කරන ලෙස සසප කැඳවුම් කර ඇත්තේ එබැවිනි.

සිය මූලික ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජීය අයිතීන් රැකගැනීමට කම්කරු පන්තියට තමන්ගේ ම සංවිධාන අවශ්‍ය ය. කම්කරුවන්ගේ අරගල සීමා කිරීමෙන් පමනක් නො නවතින වෘත්තීය සමිති, මහ ව්‍යාපාරිකයේ ආයාචනා සමග එකපෙලට සිටිමින්, සජබ හා ජවිපෙ “අන්තර්පාලන ආන්ඩුවක්” සඳහා කරන කැඳවුමට කම්කරුවන් ව ගැටගැසීමට උත්සාහ දරමින් සිටිති.

ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරා පත්කර ගන්නා, කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු සෑම වැඩපොලක, කම්හලක හා නිවහන් ප්‍රදේශයක ම ගොඩනගන ලෙස සසප කැඳවුම් කරයි.

අරගලයට පිවිස සිටින සහ තමන් මුහුන දෙන සමාජ ව්‍යසනයට විසඳුම් සොයමින් සිටින පීඩිත ජනයා හා දුගීන් රැලි කරගැනීමට එවන් ක්‍රියාකාරී කමිටුවලට හැකි ය. මේ අරගලයේ දී, එක හා සමාන සමාජ ව්‍යසනයකට මුහුන දෙන සෑම රටක ම තම පන්ති සහෝදර සහෝදරියන් වෙතට කම්කරුවන්ට හැරිය හැකි ය.

සසප මෙම අර්බුදයට සමාජවාදී විසඳුමක් ඉදිරිපත් කරයි. සියලු විශාල වතු, මහා සමාගම් හා බැංකු කම්කරුවන්ගේ පාලනය යටතේ ජනසතු කිරීම සහ ධනවතුන් සුලුතරයක් වෙනුවට සමාජයේ බහුතරයක ප්‍රතිලාභය පිනිස ආර්ථික ප්‍රතිසංවිධානය කිරීම මෙයට ඇතුලත් ය. ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම, මෙම සමාජවාදී ක්‍රියා මාර්ගය ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටනට පදනම දමයි.

සසපට බැඳී මෙම සමාජවාදී සටන් ක්‍රියා මාර්ගය සඳහා අරගලයට එක් වන ලෙස අපි කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලමු.

Loading