ඖෂධ හිඟය මහජනතාවගේ ජීවිත අනතුරේ හෙලමින් සෞඛ්‍ය පද්ධතිය අඩපන කරයි

රාජපක්ෂ ආන්ඩුව විසින් මහජනතාව මත පටවමින් සිටින ආර්ථික අර්බුදයේ බර දෛනික ජීවිතය තුල විවිධ පැතිකඩ වලින් ප්‍රකාශයට පත් වෙමින් පවතී. එහි රුදුරුම ප්‍රකාශනය බවට පත්ව ඇත්තේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල මතු ව ඇති ඖෂධ ඇතුලු වෛද්‍ය උපකරන හිඟය සහ ඒවායේ මිල ඉහල යාමයි.

හිඟය හේතුවෙන් ශල්‍ය කර්ම, වෛද්‍ය පරීක්ෂන ආදිය සීමා කිරීමට සිදුව ඇති අතර සෞඛ්‍ය සේවය මුලුමනින්ම අඩපන වී ඇත. මෙම තත්වය අලුත උපන් බිලිඳුන්ගේ පටන් වයස්ගත පුද්ගලයින් දක්වා බලපා ඇත. කොරෝනා වසංගතය සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂන පවා විදේශ විනිමය අර්බුදය විසින් අඩාල කොට ඇත.

අප්‍රේල් 26 දා සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද ඩේලි මිරර් පුවත්පතට සඳහන් කර තිබුනේ දැනට පවතින ඖෂධ සහ ප්‍රතිජීවක තවත් මාසයකටවත් ප්‍රමානවත් නොවනු ඇති බවයි. ඔහු වැඩි දුරටත් පැවසුවේ ඖෂධ හිඟය දිනෙන් දින වැඩි‌ වෙද්දීත් මෙම අත්‍යාවශ්‍ය ඖෂධ සහ ප්‍රතිජීවක ශ්‍රී ලංකාවට ගෙන්වීමට කිසිදු පියවරක් ගෙන නොමැති බවයි.

මෙම තතු මධ්‍යයේ තමන්ගේ ලාභ පිලිබඳව උත්සුක වී සිටින ඖෂධ ආනයනකරුවන්ගේ සංගමය වැනි ව්‍යාපාරික මන්ඩල ඖෂධ සඳහා පවතින පාලන මිල ඉවත් කරන ලෙස ආන්ඩුවෙන් ඉල්ලා සිටිති. වැඩෙන පන්ති අරගලය මධ්‍යයේ මෙම පියවර මහජනතාවගේ කැරලිකාරීත්වය වැඩි කරනු ඇතැයි භීතියට පත්ව ඇති ආන්ඩුව එයට එකඟ නොවූවත් සති දෙකකට වරක් රුපියලේ අගය අනුව ඖෂධ මිල සංශෝධනයට සෞඛ්‍ය ඇමති එකඟ වූ බව පසුගිය අඟහරුවාදා සිරස රූපවාහිනිය වාර්තා කලේය.

මීට පෙර රුපියල අවප්‍රමානයත් සමග ආන්ඩුව ඖෂධ මිල සියයට 29 කින් ඉහල දැම්මේය. මෙම නව පියවර ජීවන වියදම ඉහල යමින් ක්‍රය ශක්තිය වේගයෙන් අඩු වෙමින් පවතින ජනතාවගේ ආදායම් මත විශාල බරක් පටවනු ඇත.

පසුගිය අප්‍රේල් 21 වනදා රජයේ ඖෂධවේදින්ගේ සංගමය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කලේ කොළඹ වෛද්‍ය සැපයීම් අංශය තුල “ඖෂධ වර්ග 525 ක, ශල්‍ය ද්‍රව්‍ය 5376 ක තොග අවසන්” බවයි. ප්‍රතිශතයක් ලෙස ගත් කල ඖෂධ වර්ග සියයට 38.7කද, ශල්‍ය ද්‍රව්‍ය සියයට 62.9 ක ද තොග අවසන් වී ඇත. මෙයට ජීවිතාරක්ෂක ඖෂධ 6ක්, අත්‍යාවශ්‍ය ඖෂධ 239ක් සහ අත්‍යාවශ්‍ය ශල්‍ය ද්‍රව්‍ය 2721 ක් ඇතුලත් ය.

නිවේදනය පෙන්වා දෙන්නේ ඉන්දියානු නය ක්‍රමය යටතේ ඇතැම් ඖෂධ ලංකාවට පැමිනීමට නියමිත ව තිබුන ද, ඊට ද තවත් සති කිහිපයක් ගතවනු ඇති බවයි. සංගමය අනතුරු අඟවා සිටියේ “තත්වය අපගේ සීමාවෙන් පිටතට ගොස්” ඇති බැවින් ඉදිරියේ දී රෝහල් පද්ධතිය කඩා වැටී ඖෂධ නොමැති වීමෙන් රෝගීන් අසරන වනු ඇති බවයි. එදින ම රිජ්වේ ආර්යා ලමා රෝහලේ අධ්‍යක්ෂකවරයා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සාමාන්‍ය සහ දැඩි සත්කාර ඒකක සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය 20 ක් නම් කරමින් ඒවා සඳහා ආධාර ඉල්ලා සිටියේ ය.

පෞද්ගලික රෝහල් තුලද අත්‍යාවශ්‍ය ඖෂධ 76ක සහ තවත් වෛද්‍ය උපකරන හිඟයක් පවතින බව පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සම්මේලනය පසුගිය 22 වනදා ලිපියක් යොමු කරමින් සඳහන් කලේය. 'අද දෙරන' රූපවාහිනී මාධ්‍යය එදින ම සඳහන් කලේ පෞද්ගලික රෝහල් සහ ඖෂධ හල් 4500ක පමන බෙහෙත් හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම් දී ඇති බවයි.

ආර්ථික අර්බුදයෙන් මධ්‍යයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරමින් ධනපතියන්ගේ ලාභ ආරක්ෂා කිරීමට කැපවී සිටින රාජපක්ෂ ආන්ඩුව මෙම තත්වයට ප්‍රතිචාර දක්වමින් සිටින්නේ නරුම ආකාරයකටය. පසුගිය සිකුරාදා නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් හේමන්ත හේරත් සඳහන් කලේ “වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය තත්වයට පත්නොවන විදියට කටයුතු කිරීමත්, වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වියහැකි තත්වයන්ට පත්වීමට ඉඩ ඇති අවස්ථාවන්ට මුහුන දීමෙන් වැලකී සිටිමත්” මේ මොහොතේ කල හැකි ඥානාන්විත ක්‍රියාවලිය බවයි.

මෙම ප්‍රකාශය මගින් පෙන්වන්නේ මහජනතාවට තම ජීවිත වලින් වන්දි ගෙවීමට සිදුව ඇති ඖෂධ හිඟය සම්බන්ධයෙන් ධනපති පාලක පන්තියේ තුච්ඡ නොතකා හැරීමයි. මෙම තතු 'නිදහසේ' පටන් බලයට පැමින ඇති අනුප්‍රාප්තික ආන්ඩු ක්‍රියාත්මක කල පිලිවෙත්වල ප්‍රතිඵලයයි. ආන්ඩුව දානපතියන්ගෙන්, නය දෙන ආයතන වලින් මෙම හිඟය පියවීමට ආධාර ඉල්ලා ඇතත් ඒවා අලගු තැබීමටවත් ප්‍රමානවත් නොවනු ඇත.

මිනිස් ජීවිත වලට ඉහලින් ධනපති ලාභය තැබෙන ධනපති ක්‍රමය හේතුවෙන්, කොරෝනා වසංගතය ලංකාව තුල පමනක් ජීවිත 16,000 කට වැඩි ප්‍රමානයක් බිලිගත්තේය. වසංගතය තවමත් පැතිරෙන තතු යටතේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවත්නා මෙම හිඟය මීටත් වඩා මරන වලට මග පාදනු ඇත.

පසුගිය මාසයේ 28 වනදා නිර්වින්දන ඖෂධ ඇතුලු ද්‍රව්‍ය වල හිඟය නිසා පේරාදෙනිය ශික්ෂන රෝහලේ සහ කරාපිටිය රෝහලේ සැලසුම්කල සැත්කම් නැවත දැනුම් දෙන තෙක් තාවකාලිකව නවතා දැමින. මාර්තු මාසයේදී පර්යේෂන කට්ටල හිඟය හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ රසායනාගර තුල දෛනිකව සිදු කෙරෙන පරීක්ෂන සීමා කෙරිනි.

නිර්වින්දන ඖෂධ වල හිඟය හේතුවෙන් අප්‍රේල් 20 වනදා පටන් රජයේ රෝහල් වල පිලිකා සහ හදිසි අනතුරු ආශ්‍රිත ශල්‍ය කර්ම පමනක් සිදු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කලේය. මේ හේතුවෙන් බොහෝ විට රෝගීන් ආපසු හරවා යැවීමට සිදුව ඇත.

එවන් සිදුවීමකට මුහුන දුන් නාගොඩ මහ රෝහලට යැවූ හර්නියා රෝගයෙන් දැඩි ලෙස පීඩාවට පත්වූ රෝගියෙක් පසුගිය 21 වනදා 'අද' පුවත්පතට පවසා තිබුනේ, “ලබන මාසෙත් බෙහෙත් නැති වුනොත් කවදා ඔපරේෂන් එක කරන්න පුලුවන් වේවිද දන්නෙ නෑ. සමහර විට බෙහෙත් එනකොට මාව මේ වේදනාව ඉවසගෙන ඉන්න බැරිව මැරිලා තියෙයි” යනුවෙනි.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය සමන් ධර්මරත්න, අප්‍රේල් 11 වනදා බීබීසී පුවත්පතට, 'ඊ.ටී ටියුබ් නැහැ. අඩුබර උපත ලබන දරුවන්ට දෙන බෙහෙත්. සැත්කම් කරනකොට සිහිය නැති කරන බෙහෙත් තියෙනවා. සිහිය ගන්න බෙහෙත් නැහැ.” යනුවෙන් සඳහන් කලේය. ශ්‍රී ලංකා 'Perinatal' සමාජය සඳහන් කලේ ඊ.ටී ටියුබ් වලින් සියලුම කොටස් පාහේ භාවිතා කර ඇති අතර ඒවා ඉදිරි සති වලදී හිඟ වනු ඇති බවයි.

එම සමාජය තවදුරටත් සඳහන් කලේ පාවිච්චි කරන ලද ඊටී ටියුබ් ඉවත නොදමා යලියලිත් භාවිතා කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය උපදෙස් දී ඇතිබව සහ “එය මංමුලා සහගත විසඳුමක්” බවයි.

මෙම කොන්දේසි මහජනතාව මත මෙන්ම සෞඛ්‍ය සේවකයන් මතද විශාල බරක් පටවා ඇත. මහජනතාව සති ගනනක් තිස්සේ ගෑස්, කිරි පිටි ඇතුළු ඖෂධ ද්‍රව්‍ය හිඟයට එරෙහිව වීදි බැස විරෝධතා දක්වමින් සිටින අතර සෞඛ්‍ය සේවකයෝ ඖෂධ හිඟය සම්බන්ධයෙන් දිගින් දිගට ම අරගල වලට පැමිනෙමින් සිටිති.

නමුත් අරගල වලට පැමින ඇති මහජනතාවට තමන් මුහුන දෙන මෙම දැවෙන ප්‍රශ්න විසඳීමට සමත් දේශපාලන ක්‍රියාමාර්ගයක් නොමැතිකමට මුහුන දීමට සිදුවී ඇත. ඊනියා විරුද්ධ පක්ෂ මහජනතාවගේ මෙම විරුද්ධත්වය තවත් ධනපති ආන්ඩුවක් බලයට ගෙන ඒමට ගසා කමින් සිටිති. වෘත්තීය සමිති එයට පූර්න සහයෝගය ලබා දෙති.

අන්තර්වාර ආන්ඩුද ඇතුලත්ව තවත් ධනපති ආන්ඩුවක් ගෙන ඒම කිසිසේත්ම මෙම අර්බුදයට පිලියම් නොසපයනු ඇත. විරුද්ධ පක්ෂ වන සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුන සහ එක්සත් ජාතික පක්ෂය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම විසඳුම බව පෙන්වමින් කප්පාදු පියවර වලට සිය එකඟත්වය ප්‍රකාශ කර ඇත.

මෙම පිලිවෙත් වලට විරුද්ධව සමාජවාදී සමානතා පක්ෂය (සසප) අරගලයට පැමින සිටින ජනතාවට තමන් මුහුන දෙන ප්‍රශ්න විසඳීමට සමත් කම්කරු පන්තික ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් කර ඇත. අප්‍රේල් 7 වනදා සසප නිකුත්කල ප්‍රකාශයේ මෙම අත්‍යාවශ්‍ය භාන්ඩ හිඟය පියවීමට සමත් ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් කලේ මෙලෙසිනි.

“මේ වසරේ දී ජාත්‍යන්තර බැංකුවල පෙට්ටගම් වෙත එක්සත් ජනපද ඩොලර් බිලියන 7ක් ගෙවීම වෙනුවට, වැඩකරන ජනයාට අවශ්‍ය ආහාර, ඉන්ධන, ඖෂධ හා අනෙකුත් අත්‍යවශ්‍ය භාන්ඩ සඳහා ගෙවීමට එම මුදල් යොදාගත යුතු ය.”

මෙම පියවර ක්‍රියාවට දැමිය හැක්කේ මෙම අර්බුදයේ මූලය වන ධනපති ක්‍රමය පෙරලීමේ දේශපාලන අරගලයෙහි කොටසක් ලෙස ලංකාව තුල කම්කරු ගොවි ආන්ඩුවකට සටන් වැදීමෙන් පමනි.

Loading