නිදහස් වෙලඳ කලාප තුල මිලිටරිය යෙදවීමට එරෙහි වනු!

[මෙය Oppose military deployment in Sri Lanka’s free trade zones මැයෙන් 2022 මැයි 18 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

නිදහස් වෙලඳ කලාප (නිවෙක) තුල මිලිටරිය යෙදවීමට විරුද්ධ වෙමින්, එය වහා ම ආපසු කැඳවීමට බලකරන ලෙසත්, නිවෙක සේවකයන්ගේ ආරක්ෂාවට ඉදිරිපත් වන ලෙසත්, ඇඟලුම් කම්කරු ක්‍රියාකාරී කමිටුව (ඒඩබ්ලිව්ඒසී) කම්කරු පන්තියෙන් ඉල්ලා සිටී.

නිවෙක තුලට මිලිටරිය යෙදවීම සිදුකරන ලද්දේ, මැයි 6දා පැවති එක් දින මහා වැඩ වර්ජනයෙන් හා හර්තාලයෙන් දිනකට පසුව ය. රට පුරා අනෙකුත් කම්කරුවන් මිලියන ගනනක් සමගින්, නිවෙක කම්කරුවන් ලක්ෂ ගනනක්, අප්‍රේල් 28 හා මැයි 6 දිනවල පැවති මහා වැඩ වර්ජනවලට සහභාගි වූ හ.

අප්‍රේල් 28දා විරෝධතාවේ යෙදෙන කොග්ගල නිදහස් වෙලඳ කලාප කම්කරුවෝ (ලෝසවෙඅ මාධ්‍ය)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා ඔහුගේ ආන්ඩුවට ඉල්ලා අස්වන ලෙස ද මූලික ආහාර ද්‍රව්‍ය, ඖෂධ හා ඉන්ධනවල හිඟය හා අධික මිල ගනන් සහ දෛනික විදුලි කප්පාදු අවසන් කරන ලෙස ද මෙම කම්කරුවෝ ඉල්ලා සිටිය හ.

“බාධාවකින් තොර ව සියලු අදාල කර්මාන්තශාලාවලට ප්‍රවාහන පහසුකම් ලබාදීම සඳහා සියලු කම්කරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීමට” එය “පොලීසිය හා යුද හමුදාව සමග සාකච්ඡා කරමින් සිටි” බව ශ්‍රී ලංකා ආයෝජන මන්ඩලය (බීඕඅයි) -නිවෙක ක්‍රියාත්මක වන්නේ මෙම රාජ්‍ය ආයතනය යටතේ ය- ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ය.

යුද, නාවික හා ගුවන් හමුදා සොල්ලාදුවන් සහ පොලීසිය නිවෙක වලට යොදවා ඇති බව බීඕඅයි ප්‍රකාශකයෙක් මාධ්‍යයට කීවේ ය. “විරෝධතාකරුවන්ගේ කන්ඩායම් කම්හල් තුලට ඇතුලු වී, කාර්මික ක්‍රියාවන්ට සහභාගි වන ලෙස කම්කරුවන් කැඳවා ඇති” නිසා, මෙම පියවර ගත් බව ඔහු තව දුරටත් කීවේ ය.

මෙම කියාපෑම බොරුවකි. මිලියන ගනනක අනෙක් කම්කරුවන් මෙන්, දැරිය නො හැකි ජීවන කොන්දේසිවලට එරෙහි ව නිවෙක කම්කරුවෝ වැඩ වර්ජනයට එක් වූ හ.

මැයි 6 මහ වැඩ වර්ජනයෙන් ක්ෂනික ඉක්බිත්තේ, රට පුරා මිලිටරිය වීදි බැස්සීමට අවස්ථාව සලසා ගනිමින්, ජනාධිපතිවරයා හදිසි නීතිය ප්‍රකාශයට පත් කලේ ය. මිලිටරිය දිගේලි කිරීම, වැඩ වර්ජන, විරෝධතා හා රැස්වීම් තහනම් කිරීම, ඇඳිරි නීති හා මාධ්‍ය වාරන පැනවීම සහ දේශපාලන පක්ෂ හා වෙනත් ඕනෑ ම සංවිධානයක් තහනම් කිරීම හදිසි තත්ත්වය යටතේ ජනාධිපතිවරයාට කල හැකි ය.

ඊනියා කැරලිකරුවන්ට හා මංකොල්ලකරුවන්ට “දුටු තැන වෙඩිතැබීමේ” නියෝග දී මැයි 10දා ජනාධිපතිවරයා මිලිටරිය වීදි බැස්සවී ය.

කටුනායක නිවෙක අසල ප්‍රදේශයට ගුවන් හමුදා සොල්දාදුවන් සිය ගනනක් දිගේලි කරනු ලැබී ය. ඕනෑ ම අවස්ථාවක දී, ඔවුන් කම්හල් පිහිටි කලාපය තුලට යොමු කරනු ලැබිය හැකි ය.

මෙලෙස මිලිටරිය දිගේලි කිරීම, නිවෙක කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මතට එල්ල කරන ප්‍රධාන ප්‍රහාරයකි. පුද්ගලික හා රාජ්‍ය යන අංශ දෙකේ ම අනෙකුත් කම්කරු පන්තික මධ්‍යස්ථානවලට මෙම මර්දනීය පියවර විස්තීර්න කරනු ලැබිය හැකි බවට, ඒඩබ්ලිව්ඒසී අනතුරු අඟවයි.

කම්කරුවන් 500,000ට අධික පිරිසක් සේවයේ යොදවන කම්හල් 1,600ට අධික සංඛ්‍යාවක් බීඕඅයි යටතේ ක්‍රියාත්මක වේ. බොහෝ කම්හල් පිහිටා ඇත්තේ නිවෙක 14ක් තුල පමනි. සමහර සමාගම් ඍජු ව විදේශ ආයෝජකයන්ට අයත් අතර, අනෙක් ඒවා ශ්‍රී ලංකාවේ මහ ව්‍යාපාරිකය සමග කරන බද්ධ ව්‍යාපාරයන් ය. සමාගම්වලින් බහුතරයක් ගෝලීය සන්නාම සඳහා ඇඟලුම් නිපදවයි. සියලු නිෂ්පාදන සිදු කරනු ලබන්නේ අපනයනය සඳහා ය.

මෑත පැවති මහා වැඩ වර්ජන දෙක හේතුවෙන්, ආන්ඩුව, බීඕඅයි හා නිවෙක සමාගම් කම්පනයට පත් විය. සෑම තැනක ම ඔවුන්ගේ පන්ති සහෝදර සහෝදරියන් සමගින්, නිවෙක කම්කරුවෝ ඔවුන්ට දරාගත නො හැකි ජීවන කොන්දේසිවලට එරෙහි ව සටන් වැදීමට යොමු වෙමින් සිටිති.

ආන්ඩුව හා මහ ව්‍යාපාරිකය, රටෙහි ආර්ථික අර්බුදයේ සම්පූර්න බර, කම්කරුවන්ගේ හා දුගීන්ගේ කර මත පටවමින් සිටිති. පහල වැටුප් හා දුෂ්කර වැඩ කොන්දේසි හේතුවෙන්, නිවෙක කම්කරුවන් අතර කෝපය මෝදු වෙමින් පවතී.

සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ආර්ථිකය රැකගැනීම සඳහා, විදේශ විනිමය උපයන එක ම ක්ෂේත්‍රය හා ආයෝජකයන් ආරක්ෂා කරගන්නා ලෙස, බීඕඅයි සභාපති රාජා එදිරිසූරිය සේවකයන්ගෙන් ඉල්ලා සිටියේ ය. “කෝවිඩ් වසංගතයේ සිට මේ දක්වා ආර්ථිකය ප්ලාවනයේ තබාගෙන ඇති එක ම ක්ෂේත්‍රය වන්නේ අපනයනයන්” යයි ඔහු සඳහන් කලේ ය. මැයි 6 වැඩ වර්ජනය හේතුවෙන්, එක්සත් ජනපද ඩොලර් මිලියන 22ක් ශ්‍රී ලංකාවට අහිමි වූ බවට එදිරිසූරිය වැලපුන අතර, දිගට ම වැඩෙහි යෙදෙන ලෙස කම්කරුවන්ගෙන් ඔහු ඉල්ලා සිටියේ ය.

කම්කරුවන් අතර වැඩෙන නොසන්සුන්තාව තම ලාභවලට බලපානු ඇතැයි, බීඕඅයි හා බහු-ජාතික සංගත බිය වෙති. අර්බුදයෙන් පහර වැදුනු ලෝක වෙලඳපොල තුල තරඟ කිරීම සඳහා, වඩා දුෂ්කර හා දරුනු සූරාකෑමේ කොන්දේසි පැනවීමට ඔවුහු සූදානම් වෙති. කම්කරුවන් බියවැද්දීමටත්, ඕනෑ ම වැඩිදුර අරගලයක් මර්දනය කිරීම සඳහා සූදානම් වීමටත්, ආන්ඩුව මිලිටරිය මුදාහැර තිබේ.

2011 මැයි මාසයේ දී, සිය විශ්‍රාම වැටුප් -සේවක අර්ථසාධක අරමුදල- ආරක්ෂා කරගැනීම සඳහා, කටුනායක නිවෙක හි සමස්ත ශ්‍රම බලකාය ක්ෂනික ව වැඩ නතර කලේ ය. රොෂේන් චානක නමැති කම්කරුවා මරා දමමින් සහ තවත් දුසිම් ගනනකට තුවාල සිදු කරමින්, පොලීසිය නිරායුධ වර්ජකයන්ට වෙඩිතැබුවේ ය.

පසුගිය සතියේ දී, පොලීසිය කටුනායක නිවෙක තුල දඩයමක් දියත් කලේ ය. විදුලිබල මන්ඩලයේ එක් කම්කරුවෙකු ද එහිදී අත්අඩංගුවට ගැනුනි. තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලද නමුත්, නීතිඥයන්ගේ මැදිහත්වීමෙන් පසුව නිදහස් කරන ලද බව කම්කරුවෙක් කීවේ ය.

වෘත්තීය සමිති, මිලිටරිය දිගේලි කිරීමට සහයෝගය දී ඇත. නිවෙක නිෂ්පාදකයන්ගේ සංගමය හා ආරක්ෂක හමුදා සමග සාකච්ඡාවකට සහභාගි වූ ඔවුහු, සොල්දාදුවන් “කම්කරුවන්ට හා දේපොලවලට උපරිම ආරක්ෂාව සම්පාදනය කරනු ඇත” යන කඩතුරාව මත සොල්දාදුවන් යෙදවීමට පිටුබලය දුන් හ.

සමාගම් සහ රාජ්‍යය සමග එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති කුප්‍රකට ය. කෝවිඩ්-19 වසංගතය ආරම්භයේ, 2020 දී පැනවූ කෙටි අගුලු දැමීමකින් පසු, නිවෙක කම්හල් යලි විවෘත කරනු ලැබිනි. අනාරක්ෂිත කොන්දේසි යටතේ, පෙරලා වැඩට යන‌ලෙස සේවකයන්ට බලකිරීමේ දී, වෘත්තීය සමිති උපකාරක විය.

කටුනායක නෙක්ස්ට් ගාමන්ට්ස් හා ස්මාට් ෂර්ටස් වැනි කම්හල් තුල, දුෂ්කර වැඩ කොන්දේසි, අප්‍රමානවත් වැටුප් හා රැකියා කප්පාදුවලට එරෙහි ව පසුගිය වසරේ හා මේ වසර මුල බොහෝ අරගල පුපුරා ගියේ ය. ඒ සෑම අවස්ථාවක දී ම, එම කාර්මික ක්‍රියා පාවාදීමට වෘත්තීය සමිති ක්‍රියා කල හ.

මෙමගින් යලි වතාවක් ප්‍රදර්ශනය කෙරී ඇත්තේ, වෘත්තීය සමිති සමාගම්වලට හා රාජ්‍යයට සේවය කරන බව, කම්කරුවන් නියෝජනය නො කරන බව හා ඔවුන්ගේ අවශ්‍යතා සඳහා සටන් වදින්නේ නැති බව යි. දැන්, කම්කරුවන් මැඩීමට සූදානම් වීම් වසයෙන් මිලිටරිය දිගේලි කිරීමට, සමිති පිටුබලය දෙමින් සිටිති.

සිය අයිතීන් සඳහා සටන් කිරීමට, වෘත්තීය සමිති හා සියලු ධනපති පක්ෂවලින් ස්වාධීන, ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරා පත් කරග්නා ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස ඒඩබ්ලිව්ඒසී කම්කරුවන්ගෙන් ඉල්ලයි. ධනපති පක්ෂ මෙන් ම වෘත්තීය සමිති ඔබට විරුද්ධ අතර, ඔවුහු මහ ව්‍යාපාරිකය ආරක්ෂා කරති.

රටෙහි ආර්ථික ගැටලු විසඳීමට මුවා වී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විධානය කරන රුදුරු කප්පාදු පියවරයන් වේගයෙන් ක්‍රියාවට දැමීම සඳහා, ජනාධිපති රාජපක්ෂ නව අගමැතිවරයෙකු පත්කර ඇත. එහෙත් ඔහුගේ පිලිවෙත් සැලසුම් කරනු ලබන්නේ, ඔවුන්ගේ අර්බුදයට අප ලවා වැඩි වැඩියෙන් ගෙවීමට ය.

සියලු වැඩපොලවල්, වතු හා කම්කරු පන්තික නිවහන් ප්‍රදේශ තුල ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම සඳහා ගෙන යන උද්ඝෝෂනයේ කොටසක් ලෙස, සමාජවාදී සමානතා පක්ෂය (සසප) ඒඩබ්ලිව්ඒසී ආරම්භ කිරීමට පියවර ගත්තේ ය. වෙනත් තැන්වල ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම සඳහා නිවෙක කම්කරුවන්ට සහයෝගය දීමට ඒඩබ්ලිව්ඒසීහි අපි සූදානම් ව සිටිමු.

කම්කරු පන්තිය මුහුන දෙන රුදුරු සමාජ හා ජීවන කොන්දේසිවලට ආමන්ත්‍රනය කිරීමට, සසප ඉදිරිපත් කරන ක්‍රියා මාර්ගයට ද ඒඩබ්ලිව්ඒසී සහයෝගය දෙයි: ‍

* සියලු අත්‍යවශ්‍ය භාන්ඩ හා මහජන ජීවිතයට අත්‍යවශ්‍ය අනෙකුත් සම්පත්වල නිෂ්පාදනය හා බෙදාහැරීම කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට ගනු! බැංකු, මහා සමාගම්, වතු හා අනෙකුත් ප්‍රධාන ආර්ථික මර්මස්ථානයන් ජනසතු කරනු!

* සියලු විදේශ නය ප්‍රතික්ෂේප කරනු! ජාත්‍යන්තර බැංකුකරුවන් හා මූල්‍ය ආයතන නියෝජනය කරන ජාමූඅ හා ලෝක බැංකුවේ කප්පාදු විධානයන් එපා!

*බිලියපතියන්ගේ හා සංගතවල යෝධ ධනය අත්පත් කරගනු!

* දුගී හා ආන්තික ගොවීන්ගේ, ධීවරයන්ගේ සහ කුඩා ව්‍යාපාරිකයන්ගේ සියලු නය අහෝසි කරනු! ගොවීන්ගේ පොහොර සහනාධාර ඇතුලු සියලු සහනාධාර යලි ලබා දෙනු!

* ශිෂ්ට සම්පන්න හා ආරක්ෂිත වැඩ කොන්දේසි සමගින් සියල්ලන්ට රැකියා සහතික කරනු!

* ජීවන වියදම අනුව ඉහල යන වැටුප්!

* නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවාව ඇතුලු සමාජ වැඩසටහන්වලට බිලියන ගනන් මුදල් වෙන්කරමින්, අවශ්‍ය සියලු දෙනාට ඉහල ගුනාත්මක සේවාවන් සහතික කරනු!

මෙම පිලිවෙත් ක්‍රියාවට දැමීම සඳහා, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සටන් වැදිය යුතු බව සසප පැහැදිලි කර ඇත.

මෙම සමාජවාදී ක්‍රියා මාර්ගය සඳහා සටනට සහයෝගය දෙන මෙන් අපි ඔබෙන් ඉල්ලමු.

ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන් සමග එකමුතුවට ඒඩබ්ලිව්ඒසී සටන් වදී. සෑම රටක ම කම්කරුවන් මුහුන දෙමින් සිටින්නේ, ආන්ඩු හා සංගත මුදාහරින එක හා සමාන නිර්දය ප්‍රහාරයන්ට ය.

Loading