ශ්‍රී ලංකාව විදේශ නය ගෙවීම පැහැර හැර ජාමූඅහි කප්පාදු ක්‍රියාවට නැංවීමට සූදානම් වේ

[මෙය Sri Lanka defaults on foreign debts, prepares to implement IMF austerity යන මැයෙන් 2022 මැයි 24 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ශීඝ්‍රයෙන් අසාධ්‍ය වන ආර්ථික හා දේශපාලන අර්බුදයක් මධ්‍යයේ, මැයි 18 දා ශ්‍රී ලංකාව සිය විදේශ නය ආපසු ගෙවීම පැහැර හැරියේය. මාසයක සහන කාලයකින් පසු, මැයි 18 දිනට ගෙවීමට නියමිත ව තිබූ ස්වෛරී බැඳුම්කර දෙකක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 78 ක පොලිය පියවීමට ලංකාවට නොහැකි විය.

1999 දී පකිස්ථානයේ නය ගෙවීම පහර හැරීමෙන් පසු දශක දෙකකට වැඩි කාලයකට පසු සිය විදේශ නය ගෙවීම් පැහැර හරින ලද ආසියා-පැසිෆික් කලාපයේ පලමු රට ශ්‍රී ලංකාව වේ. ලන්ඩනයේ පල වන ගාඩියන් පුවත්පත මෙසේ අනතුරු ඇඟවීය: “ශ්‍රී ලංකාව [නය පැහැර හැරිය හැකි] රටවල් ගනනාවකින් පලමුවැන්නා විය හැකි යයි ආර්ථික විද්‍යාඥයෝ බිය පල කරති. ඊජිප්තුව, ටියුනීසියාව සහ පකිස්ථානය සමඟ ජාමූඅ [ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ සම්බන්ධයෙන් ] සාකච්ඡා කරමින් සිටියි.”

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ [ඡායාරූපය: සීබීඑස්එල් ට්විටර්]

ඩොලර් සංචිත හිඟය ගැන කියා පාමින් ඩොලර් බිලියන 51 ක විදේශ නය ආපසු ගෙවීමේ නොහැකියාව අප්‍රේල් 12 දා ශ්‍රී ලංකාව පලමු වරට ප්‍රකාශ කල නමුත්, මෙය “දැඩි පැහැර හැරීමක්” නොවන බව අවධාරනය කලේ ය. ආපසු ගෙවීමේ දිනට පෙර “නය ප්‍රතිව්‍යුහගත කිරීම” සඳහා නයහිමියන් සමඟ සාකච්ඡාමය එකඟතාවයක් ඇති කර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කලේ ය.

කෙසේ වෙතත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආන්ඩුවේ දේශපාලන අර්බුදය පසු ගිය මාසය පුරා උත්සන්න විය. නොනවතින මිල වැඩිවීම් සහ ආහාර, ඖෂධ, ඉන්ධන, පිසින ගෑස් වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයට මෙන්ම දීර්ඝ විදුලි කප්පාදුවට එරෙහි ව දිනපතා ආන්ඩු විරෝධී උද්ඝෝෂන පුලුල් ව පැතිර යයි.

අප්‍රේල් 28 දා මහා වැඩ වර්ජනයකින් පසු, කම්කරු පන්තියේ සෑම කොටසක්ම වැලඳගත් මැයි 6 දා පැවති මහා වැඩ වර්ජනයට මිලියන ගනන් සම්බන්ධ වූහ. සමස්ත ආර්ථිකය ම පාහේ වසා දමමින් දුප්පත් හා පීඩිත ජනයා සහ කුඩා ව්‍යාපාර එම වර්ජනයට පිටුබලය දුන්හ.

කොලඹ ගාලු මුවදොර පිටිය වාඩිලාගෙන සිටි අය ඇතුලු ආන්ඩු විරෝධී විරෝධතාකරුවන්ට අගමැති මහින්ද රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලංපොපෙ) මැරයන් ශාරීරික ව පහර දීමෙන් පසුව පලිගැනීමේ ප්‍රහාර ඇවිලී ගිය අතර, මැයි 9 දා ඔහුට ඉල්ලා අස්වීමට බල කෙරුනි.

මැයි 6 දා හදිසි නීතිය පැනවීමෙන් සහ මැයි 10 දා සිට කලහකාරීන්ට දුටු තැන වෙඩි තැබීමට නියෝග සහිත ව වීදිවලට හමුදාව යෙදවීමෙන් පසුව, ජනාධිපති රාජපක්ෂ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අගමැති තනතුරට පත්කර ජාමූඅහි කප්පාදු විධානයන් ක්‍රියාත්මක කිරීම ඔහුට භාර දුන්නේය.

විරුද්ධ පක්ෂවල සහ රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ මන්ත්‍රීවරුන් ද එකතුකරගත්, ඇමතිවරුන් 19 ගේ විසම කැබිනට් මන්ඩලයක් පත් කර ඇත. ඔවුන්ගෙන් 8 දෙනෙකු දිවුරුම් දුන්නේ ඊයේ දිනයේ ය. කෙසේ වෙතත්, මුදල් අමාත්‍යවරයාගේ ප්‍රධාන තනතුර පිරවීමට රාජපක්ෂ සහ වික්‍රමසිංහ තවමත් අසමත් වී ඇත.

පසුගිය බ්‍රහස්පතින්දා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පැවසුවේ, නය පැහැර හැරීම කල්තියා ප්‍රකාශ කල බවයි., “අපගේ ස්ථාවරය ඉතා පැහැදිලියි. ඔවුන් [නය දෙන්නන්] පැමින ප්‍රතිව්‍යුහගත කරන තුරු අපට [නය] ගෙවිය නොහැක.'

රටේ දේශපාලන ස්ථාවරත්වයක් නොමැති නම් සිය ධුරයෙන් ඉවත් වන බවට මැයි 11 වැනිදා වීරසිංහ තර්ජනය කලේය. කෙසේ වෙතත්, පසුගිය බ්‍රහස්පතින්දා ඔහු කියා සිටියේ තමා එම ප්‍රකාශය කලේ 'අග්‍රාමාත්‍යවරයෙකු හෝ කැබිනට් මන්ඩලයක්' නොමැති නිසා සහ 'මහත් ප්‍රචන්ඩත්වයක් සහ දේශපාලන අස්ථාවරත්වයක් පැවති' නිසා බව ය. ජාමූඅ සමග නය ගිවිසුමක් අත්සන් කිරීමට තවමත් මුදල් ඇමතිවරයෙකු නොමැති බව පිලිගනිමින් ම ඔහු කියා සිටියේ, දැන් 'සැලකිය යුතු වර්ධනයක්' ලබා ඇති බවයි.

වීරසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන පිලිබඳ තොරතුරු හෙලි කලේ නැත. කෙසේ වෙතත්, උද්ධමනය අප්‍රේල් මාසයේ පැවති සියයට 30 සිට ඉදිරි මාස දෙක තුල සියයට 40 දක්වා ඉහල යනු ඇතැයි අපේක්ෂා කරන බව ඔහු පිලිගත්තේ ය. වෙනත් වචන වලින් කිවහොත්, දැන් සාගතයේ තර්ජනයට ලක් ව සිටින කම්කරුවන් හා දුගීන් මුහුන දෙන නොඉවසිය හැකි කොන්දේසි වල කෙලවරක් නැත.

ශ්‍රී ලංකාව ජාමූඅ වෙතින් ඩොලර් බිලියන 3 සිට 4 දක්වා නයක් අපේක්ෂා කරයි. ඇප දීමේ නයක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන තාක්ෂනික සාකච්ඡා අදින් (24) අවසන් වීමට නියමිත ය. එහි ප්‍රකාශක ජෙරී රයිස් ඉරිදා (මැයි 22) මෙසේ පැවසී ය: “ජාමූඅ ප්‍රතිපත්තිවලට අනුකූල ව ශ්‍රී ලංකාවට උපකාර කිරීමට අපි කැප වී සිටිමු…” කෙසේ වෙතත්, නය ගිවිසුම අවසන් කිරීමට තවත් මාස තුනක් ගතවනු ඇත.

ජාමූඅ කලමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ඊයේ බීබීසී වෙත අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කලාය: 'පාලක ආන්ඩු සමාජයේ දුප්පත්ම සාමාජිකයින්ට ආහාර සහ බලශක්ති පිරිවැය සඳහා සහනාධාර ලබා දිය යුතුය. මනා සහයෝගයක් නොමැතිනම් ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන විරෝධතා වෙනත් රටවල ද නැවත නැවතත් සිදු විය හැක.'

කෙසේ වෙතත්, ඇප නයක් සඳහා වන ජාමූඅ නියෝග, වැඩකරන ජනතාවගේ සමාජ අයිතීන් හා ජීවන තත්වයන්ට එල්ල කරන ප්‍රහාර ගැඹුරු කොට තවත් බොහෝ දෙනෙකු දරිද්‍රතාවයට තල්ලු කරනු ඇත.

“නය දරාගැනීමේ හැකියාව” සහතික කිරීම සඳහා මූල්‍ය අරමුදල රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරනය, අයවැය හිඟය අඩු කිරීම සඳහා රාජ්‍ය වියදම් අඩු කිරීම; රාජ්‍ය ආදායම ඉහල නැංවීම සඳහා සෘජු හා වක්‍ර බදු වැඩි කිරීම ඇතුලු තවත් පියවර යෝජනා කර ඇත.

මෙම පියවර නිසා රැකියා, වැටුප් හා විශ්‍රාම වැටුප් දැඩි කප්පාදුවකට ලක් වනු ඇත. වඩාත්ම අවදානමට ලක්විය හැකි අයට සහය ලබා දීමේ මුවාවෙන් සුබසාධන වැඩසටහන් කප්පාදු කරනු ඇත.

මැයි 16 දා ජාතිය අමතමින් අගමැති වික්‍රමසිංහ ඉදිරියේදී සිදුවීමට නියමිත දේ ගැන අනතුරු ඇඟවීය: “ඉදිරි මාස කිහිපය අපේ ජීවිතයේ දුෂ්කරම කාලය වනු ඇත. මෙම කාල පරිච්ඡේදයේ යම් යම් කැපකිරීම් කිරීමට සහ අභියෝගවලට මුහුන දීමට අප සූදානම් විය යුතුය.”

ඔහු ශ්‍රී ලන්කන් ගුවන් සේවය පෞද්ගලීකරනය කිරීමට යෝජනා කල අතර අනෙකුත් පෞද්ගලීකරනයන් ගැන ඉඟි කරමින්, ඛනිජ තෙල් සංස්ථාවේ හෝ විදුලිබල මන්ඩලයේ “පාඩු ආන්ඩුවට තවදුරටත් දරාගත නොහැකි” බව පැවසීය.

ගෝලීය කොවිඩ්-19 වසංගතය මගින් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය අවුලුවා ඇති අතර රුසියාවට එරෙහි ව යුක්‍රේනයේ එක්සත් ජනපද-නේටෝ වක්‍ර යුද්ධය මගින් එය වඩාත් සංකීර්න කර තිබේ. එක්සත් ජනපද ෆෙඩරල් රිසර්ව් බැංකුව සහ අනෙකුත් මහ බැංකු විසින් පොලී අනුපාත ඉහල නැංවීම සහ උද්ධමනය තියුනු ලෙස ඉහල යාම අනෙකුත් රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ ද ආර්ථික කැලඹීමට හේතු වී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉල්ලීම්වලට අනුකූලව මහ බැංකුව පොලී අනුපාත දෙගුන කලේය. මාර්තු මස මුල සිට, ශ්‍රී ලංකාවේ විනිමය අනුපාතිකය වෙලෙඳපොල බලවේගවලට අනුව පාවීමට ඉඩ හැර ඇති අතර මෙම තත්වය රුපියල සියයට 80 කින් පමන අවප්‍රමානය වීමට තුඩු දී තිබේ.

අප්‍රේල් 30 වැනි දින නිකුත් කරන ලද මහ බැංකු වාර්ෂික වාර්තාවට අනුව, 2022 සඳහා ශ්‍රී ලංකාවේ සැබෑ දල දේශීය නිෂ්පාදිතයේ (දදේනි) වර්ධනය පෙර ඇස්තමේන්තුගත සියයට 5.5 සිට, සියයට 1 දක්වා පහත වැටෙනු ඇතැයි පුරෝකථනය කර ඇත. 2021 දී ඒක පුද්ගල දල දේශීය නිෂ්පාදිතය ඩොලර් 3,815 ක් වූ අතර මේ වසරේ එය ඩොලර් 3,041 දක්වා අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පාලක කවයන් තුල ජාමූඅ කප්පාදු න්‍යාය පත්‍රයට විරුද්ධත්වයක් නොමැත. විපක්ෂ සමගි ජන බලවේගය ආන්ඩුව නැවත නැවතත් විවේචනය කර ඇත්තේ ජාමූඅ වෙතින් හදිසි මුදල් ඉක්මනින් ලබා ගැනීමට අපොහොසත් වීම නිසා ය. ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ප්‍රශ්නය සම්බන්ධයෙන් මුනිවත රකින නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවලට විරුද්ධ වී හෝ විකල්පයක් යෝජනා කර නැත.

කම්කරු පන්තියේ ඕනෑම කාර්මික ක්‍රියාමාර්ගයක් හැකි ඉක්මනින් නවතා දැමීමට වෘත්තීය සමිති උත්සාහ කර තිබේ. සමස්තයක් ලෙස දේශපාලන සංස්ථාපිතය මෙන්ම වෘත්තීය සමිති ද මහා වැඩ වර්ජන දෙකට ලැබුන සහයෝගය පිලිබඳව භීතියට පත්ව සිටියහ. පසුගිය වසර පුරා, ඉහල වැටුප් හා කොන්දේසි වැඩිදියුනු කරන ලෙස ඉල්ලා ප්‍රධාන කම්කරුවන්ගේ අරගල මාලාවක් පැවතුනි.

සුවිශේෂී කරුනක් වන්නේ, සැලසුම් කර ඇති ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට සහ කම්කරුවන්ගේ හා දුගීන්ගේ ජීවන කොන්දේසි මත ඉන් එල්ලවනු ඇති දරුනු ප්‍රහාරවලට එකදු වෘත්තීය සමිතියක්වත් ප්‍රසිද්ධියේ විරුද්ධ නොවීම යි.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ තම සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා සටන් කිරීම සඳහා කම්හල්, සේවා ස්ථාන, වතුකරයේ සහ කම්කරු පන්තියේ අසල්වැසි ප්‍රදේශවල වෘත්තීය සමිති හා ධනේශ්වර පක්ෂ වලින් ස්වාධීන ව ක්‍රියාකාරී කමිටු ගොඩනඟන ලෙසයි. රාජපක්ෂ-වික්‍රමසිංහ තන්ත්‍රය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙල බලාත්මක කිරීමට සූදානම් වන තතු තුල මෙය අතිශය හදිසි අවශ්‍යතාවයක් බවට පත්ව ඇත.

සසප සියලු විදේශ නය ප්‍රතික්ෂේප කරන ලෙසත් ජාමූඅ විධානයන් ප්‍රතික්ෂේප කරන ලෙසත් ඉල්ලා සිටී. වැඩ කරන ජනතාවගේ දැවෙන සමාජ අවශ්‍යතා සහතික කිරීම සඳහා අත්‍යවශ්‍ය භාන්ඩ නිෂ්පාදනය හා බෙදා හැරීම පිලිබඳව කම්කරුවන් තීරනය කල යුතුය. බැංකු සහ ප්‍රධාන සංගත කම්කරුවන්ගේ පාලනය යටතේ ජනසතු කල යුතු අතර සුපිරි ධනවතුන්ගේ ධනය අත්පත් කර ගත යුතු ය.

ශ්‍රී ලාංකික කම්කරුවන්ගේ මිතුරන් වන්නේ, එක හා සමාන ප්‍රහාරවලට මුහුන දෙන ඉන්දියාවේ, දකුනු ආසියාවේ සහ දැනටමත් පන්ති අරගල ක්‍රියාත්මක වෙමින් පවතින එක්සත් ජනපදය හා ප්‍රධාන අධිරාජ්‍යවාදී මධ්‍යස්ථාන ද ඇතුලු රටවල සිය පන්ති සහෝදර සහෝදරියන් ය.

ශ්‍රී ලංකාවේ හෝ ජාත්‍යන්තරව කම්කරුවන් මුහුන දෙන දැවැන්ත සමාජ ප්‍රශ්න සඳහා ධනේශ්වර ක්‍රමය තුල විසඳුමක් නැත. ක්‍රියාකාරී කමිටු ජාලයක් පිහිටුවීම, ගෝලීය වශයෙන් සමාජවාදය සඳහා වන සටනේ කොටසක් ලෙස සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සඳහා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා අරගලයකට පදනම සකසයි.

Loading