ධනපති ප්‍රහාර වලින් බැටකන රාජ්‍ය සේවකයකුගෙන් කම්කරු පංතියට විවෘත ලිපියක්

වසර 11 කට අධික කාලයක් රාජ්‍ය සේවයේ නිරතව සිටින මම, ලංකාවේ විවිධ රාජ්‍ය දෙපාර්තමේන්තු සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල කිහිපයක නොයෙකුත් සේවාවන්හි යෙදී ඇත්තෙමි. මගේ සහෝදර කම්කරුවන් ඇතුලු ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පාඨකයන් අමතමින් මෙම ලිපිය ලියනුයේ, ලංකාවේ රාජ්‍ය සේවා කම්කරුවන් සහ රාජ්‍ය සේවය මුහුන දී සිටින අර්බුදය පිලිබද පැහැදිලි චිත්‍රයක් සැපයිම මා සතු වගකිමක් ලෙස සලකන බැවිනි.

ලංකාව මේ වන විට පෙර නුවූ විරූ ආකාරයේ ආර්ථික අර්බුදයකට ගොදුරු වී සිටින බව ඔබ සැම දන්නා කරුනකි. වසර ගනනාවක සිට වැඩෙමින් පැවති ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය, කොවිඩ්-19 වසංගතයෙන් සහ යුක්‍රේනය මැදිකරගෙන එක්සත් ජනපද-නැටෝ බලයන් රුසියාවට එරෙහිව ගෙනයන යුද්ධයෙන් ගැඹුරු කෙරී ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හා අගමැති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව තමා මුහුන දී සිටින ආර්ථික අර්බුදයේ බර මහජනතාව මත පටවමින් රාජ්‍ය අංශයේ සේවක හා වැටුප් කප්පාදුවක් වේගයෙන් ක්‍රියාවට දමමින් සිටී. රාජ්‍ය සේවය දෙස වෙනත් ඇසකින් බැලිය යුතු බවත් එය 'මුලුමනින් ම ප්‍රතිසංස්කරනය සහ ප්‍රතිසංවිධානය' කලයුතු බවත් අගමැති වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලේය. රොයිටර් පුවත් සේවාවට ඔහු පවසා තිබුනේ රාජ්‍ය වියදම් ඇටපොත්තටම කපා දමන බවයි.

'රාජ්‍ය සේවයට දරාගත හැක්කේ සේවකයන් ලක්ෂ 05 ක් හෝ උපරිම ලක්ෂ 08 ක් පමනක්' බව, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ තම ධූරයේ වැඩ භාරගත් වහාම ප්‍රකාශ කලේ මේ පසුබිම යටතේ ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නය ප්‍රතිව්‍යුහගතකරන වැඩසටහනේ එක් කොන්දේසියක් ලෙස මේ වන විට 1700000 කට අධික රජයේ රැකියා අතරින් හරි අඩක්, එනම් 850000 ක් විවිධාකාරයෙන් කප්පාදු කිරීමට ආන්ඩුව පිඹුරුපත් සකසමින් සිටී.

මායාදුන්නේ එලෙස ප්‍රකාශ කලද, රාජ්‍ය සේවය සදහා දැනට සිටින කාර්ය මන්ඩලය කිසිසේත් ප්‍රමානවත් නොවේ. විශේෂයෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආශ්‍රිතව දහස් ගනනින් රාජකාරී ගොඩ ගැසෙමින් පවතී. නිලධාරීන්ගේ සමාන්‍ය රාජකාරී කටයුතු වලට අමතරව, ඉන්ධන සහ පිසින ගෑස් අවශ්‍යතාවය, කෘෂිකර්ම කටයුතු, අත්‍යාවශ්‍ය ආහාර සම්පාදනය, සමාජ නොසන්සුන්තා, සීමා නිර්නය, ආදි විවිධ කටයුතු වලට අදාල දෛනික, සති, දෙසති සහ මාසික පමනක් නොව ත්‍රෛමාසික වාර්තා යැවීමටද ඊට අමතරව ඊනියා සෞභාග්‍යයේ දැක්ම වැඩ සටහන් වලට අදාල විවිධ රාජකාරී කටයුතු පැවරී ඇත.

මෙම තොරතුරු බහුතරයක් බාහිර පාර්ශ්වයන්ගෙන් ලබා ගැනීමට සිදුවන තොරතුරු බැවින් ඒ සදහා ඇතැම් විට දින දෙකකට අධික කාලයක් වැයවෙන බව ඔබ දනී. ඉන් බොහොමයක් වහා සැපයයියයුතු බැවින්, සේවකයෙකුට සිය සාමාන්‍ය රාජකාරී කටයුතු පසෙක තබා මෙම කාර්යයන්හි නියැලීමට සිදුවෙයි. මේ හේතුවෙන් සතියේ දින 05 පමනක් නොව ඇතැම් විට සෙනසුරාදා, ඉරිදා සහ රජයේ නිවාඩු දිනවලද සේවය කිරීමට සිදුවේ.

ඉන්ධන අර්බුදය හේතුවෙන් කාර්ය මන්ඩලය කැඳවීම සීමා කොට සිකුරාදා දින නිවාඩු දිනයක් බවට පත් කලද පැවරී ඇති රාජකාරී කටයුතු අප්‍රමාදව ඉටුකලයුතු බැවින් මා ඇතුලු බොහෝ දෙනකුට එලෙස නිවාඩු ලබා නොගෙන කුමන දුෂ්කර කොන්දේසි යටතේ වුවද රාජකාරියට පැමිනීමට බලකෙරී ඇත. මේවන විට ඇතැමුන් පාපැදියෙන් පවා සේවයට පැමිනෙන තත්ත්වයක් නිර්මානය වී තිබේ.

මේ තත්ත්වය තුල රාජ්‍ය සේවයේ රැකියා කප්පාදුවක් සිදු කල හොත් එය සම්පූර්නයෙන්ම රාජ්‍ය සේවය අඩපන කොට දැනට මහජනතාව වෙත සලසන සීමිත සේවාවන් පවා ඇනහිටිනු ඇත.

සේවක සංඛ්‍යාව කප්පාදු කිරීමට සමාන්තරව වැටුප් හා දීමනා කප්පාදු කිරීමටද ආන්ඩුව සැලසුම් කරමින් සිටී. ඉහත රැස්වීමේදී ම මායාදුන්නේ ප්‍රකාශ කලේ රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාමික පාරිතෝෂිකය වශයෙන් රුපියල් බිලියන 17.5 ක් ගෙවීමට ඇති බව සහ එය ගෙවීම සදහා කිසිදු ක්‍රමයක් නොමැති බව ය. ලංකාවේ ආර්ථිකය ශක්තිමත් වන තුරු විශ්‍රාම වැටුප් පාරිතෝෂිකය ඉල්ලා සිටීමට කිසිවකුට අයිතියක් නොමැති යැයි ද, මෙය 'අප සියලු දෙනාම කැපකිරීම් සිදු කල යුතු කාලයක්' යැයි ද ඔහු පැවසී ය. පවතින තත්ත්වය මත වඩාත්ම සුදුසු වන්නේ, විශ්‍රාම වැටුප් පාරිතෝෂිකය නොඉල්ලා විශ්‍රාම වැටුප පමනක් ඉල්ලීම යයි ඔහු නරුම ලෙස කියා සිටියේ ය.

අපගේම වැටුපෙන් කපා ගන්නා මුදල් වලින් සිදු කරනු ලබන ගෙවීම් ඉල්ලා නොසිටින ලෙස ප්‍රකාශ කරනු ලබන ඔහු වැඩිකල් යන්නට මත්තෙන් විශ්‍රාම වැටුපද ඉල්ලා නොසිටින්නැයි කියනු නො අනුමානය.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් හා දීමනා කප්පාදුවේ ආරම්භක පියවරයන් මේ වන විටත් ආන්ඩුව විසින් ආරම්භ කොට ඇත. සන්නිවේදන දීමනා ලබන නිලධාරීන්ගේ එම දීමනාවෙන් සියයට 25 ක් මේ වන විට කප්පාදු කොට තිබේ. මීට අමතරව අතිකාල හා දින වැටුප් ගෙවීම් සීමා කිරීමට කටයුතු කරන ලෙස ආයතන ප්‍රධානීන්ට දන්වා ඇති අතර පසුගිය 15 වන දින නිකුත් කරන ලද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 15/2022 මගින් එය නැත්තටම නැති කොට ඇත. ඒ අනුව සිකුරාදා දින වසා තැබෙන රජයේ කාර්යාල වල නිලධාරීන් අතිකාල හෝ හෝ නිවාඩු දින වැටුප් ගෙවීමේ පදනමින් සේවයේ නොයෙදවිය යුතු බවට දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට නියෝග ලබා දී ඇත.

ඉදිරියට මා ඇතුලු බොහෝ රජයේ නිලධාරීන්ට ඇතැම් නිවාඩු දිනවල ගෙවීම් නොමැතිව හෝ සේවයේ යෙදීමට සිදුවනු ඇත.

රජයේ සේවකයන් 1700000 කට අධික ප්‍රමානයක් අතරින් අවම වශයෙන් ලක්ෂ 12 කට අධික සංඛ්‍යාවක්, නිවාස පිලිසකර කර ගැනීම, නිවාස ඉදිකිරීම සහ ඉඩම් මිලදී ගැනීම සඳහා විවිධ මූල්‍ය ආයතන වලින් නය ලබා ගෙන ඇත.

නය ලබා ගැනීමෙන් තොරව රජයේ සේවකයින්හට ඉහත අවශ්‍යතා සපුරා ගැනීමට හැකියාවක් නොමැත. 03/2016 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අනුව රාජ්‍ය සේවයේ අවම වැටුප 2020/01/01 වන දින රුපියල් 24,250 කි. ජීවන වියදම් දීමනා සහ අනෙකුත් දීමනා ඇතුලුව ඔවුන්ගේ සම්පූර්න වැටුප රුපියල් 30000 කට ආසන්න වේ. ඉන් සියයට 40 ක උපරිම නය ලබා ගත් පසු ඉතිරි වන සොච්චමින් ඔවුන් සිය යතුරු පැදි ආදියට ඉන්ධන සපයා ගත් විට සිය කුටුම්භය නඩත්තු කිරීමට කිසිවක් ඉතිරි වන්නේ නැත.

මා සම්බන්ධයෙන් ගත්කල, මේ වන විට මාසික වැටුප රුපියල් 50000 කට ආසන්න වෙයි. ලබා ගත් නයවල වාරික වශයෙන් රුපියල් 27000 ක් පමන බැංකුව විසින් අය කර ගනී. මසකට ඉන්ධන වලට රු.12000 ක් පමන වැයවේ. මා ඇතුලු බිරිද, දරුවන් දෙදෙනා සහ මව යැපෙනුයේ මාගේ වැටුපෙන් වන අතර මසකට සහල් කිලෝග්‍රෑම් 50 කට ආසන්න ප්‍රමානයක් අපට අවශ්‍ය වේ. එය සපයා ගත් විට මාගේ වැටුපෙන් දරුවන්ගේ පාසල් අධ්‍යාපන කටයුතු සහ උපකාරක පන්ති සදහා වැය කිරීමට කිසිවක් ඉතිරි වන්නේ නැත.

මේ පොදු තත්ත්වය තුල රාජ්‍ය සේවකයන් වන අප අතර පෙර නොවූ විරූ පරිමානයෙන් රැකියා අතෘප්තිය, අපේක්ෂා භංගත්වය සහ කෝපය වර්ධනය වී ඇත. කිසිදු වෘත්තීය සමිතියක් මේ සම්බන්ධව හීන් කෙඳිරියක්වත් නොනගන අතර ඔවුන් සෑම විටම ආන්ඩුවේ වැඩපිලිවෙල සමග බද්ධ වී සිටින බව පසුගිය මාසය තුල ඔවුන් සිදු කල ක්‍රියාකාරකම් වලින් පැහැදිලි වේ.

ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය මෙන්ම වෘත්තිය සමිති හා බහුජන සංවිධාන එකමුතුව අප්‍රේල් 28 හා මැයි 09 යන දින දෙක තුල කැඳවුම් කල වැඩ වර්ජනය එක දිනකට පමනක් සීමා කලේ සිය සාමාජිකත්වය අතර ධනපති ආන්ඩුවට එරෙහිව වර්ධනය වන කෝපය අපසරනය කිරීම පිනිසය.

ආන්ඩුව රජයේ සේවකයින් විදේශයන්ට පටවා ප්‍රේෂන වැඩි කර ගැනීමට උත්සුක වෙමින් සිටී. රජයේ සේවකයින්ට වසර 05 ක කාලයක් බාධාවකින් තොරව විදේශ ගත වීමට අවස්ථාව සලසමින් 2022/06/22 දිනැති රාජ්‍ය පරිපාලන චකුලේඛය නිකුත් කර ඇත්තේ මේ තත්ත්වය තුලය. මෙය තමා සිටින නරාවලෙන් ගැලවී ගැනීමේ අවස්ථාවක් ලෙස සමහර රජයේ සේවකයින් සිතුවද සැබෑ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් ය. සමස්ත ලෝකයම වෙලා ගෙන ඇති අර්බුද තත්ත්වය තුල විදේශයකට ගොස් සිය ජීවන තත්ත්වය උසස් කර ගත හැකිය යන මිත්‍යාව වෘත්තීය සමිති විසින්ද වපුරමින් සිටී.

රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා සිය කාර්ය මන්ඩලයන් ප්‍රමානවත් නොවන බව කියමින් සිටි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති, දැන් රැකියා සඳහා විදේශ ගතවීමට තම සාමාජිකත්වය දිරි ගන්වති. මේ මොහොතේ රටට ඩොලර් අවශ්‍ය වෙතැයි කියමින් ඔවුහු ආන්ඩුව වෙනුවෙන් උද්ඝෝෂනය කරති. සමිති වලට අන් සියල්ලටම වඩා වැදගත් වනුයේ ධනපති රාජ්‍යය ආරක්ෂා කර ගැනීම ය.

සැබවින්ම, රජයේ සෙවකයින් දහස් ගනනින් විදේශ ගත කිරීම මගින් සිදුවනුයේ තවදුරටත් රාජ්‍ය සේවය අඩපන කොට මහජන සේවාවන් ඇන හිටවීමට සැලැස්වීම සහ ඉතිරිවන සේවකයන් ගේ ශ්‍රමය සූර කෑම වඩාත් තීව්‍ර කිරිමය. එබැවින් ආන්ඩුව සහ වෘත්තීය සමිති විසින් ගෙන යනු ලබන මෙම කප්පාදු පියවරයන්ට කොන්දේසි විරහිතව විරුද්ධ වීම ඔබගේත් මගේත් සියලුම කම්කරු පීඩිත මහජනතාවගේත් වගකීමකි.

අනෙකුත් සියලු දේශපාලන පක්ෂ ඒ හෝ මේ ආකාරයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු වැඩ පිලිවෙලට කරබදු වී සිටියදී, ජූනි 16 දා, සමාජවාදී සමානතා පක්ෂය (සසප) ලෝක සමාජවාදී වෙබ් අඩවිය හරහා නිකුත් කල ප්‍රකාශයෙන්, මෙම ප්‍රහාර පරාජය කිරීම සඳහා කම්කරුවන්ට ඉදිරිපත්කොට ඇති වැඩපිලිවෙල අව්‍යාජ එකක් යයි මම විශ්වාස කරමි.

එහි එන පහත ඡේදය කම්කරුවන් වන අපට ඉදිරි මාවතක් පෙන්වයි :

'සමාජ විනාශයට විසඳුම් සඳහා සසප ඉල්ලා සිටින්නේ, අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ අනෙකුත් තීරනාත්මක සම්පත් නිෂ්පාදනය හා බෙදා හැරීම මත කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකි. මෙම ඉදිරිදර්ශනය සඳහා විදේශ නය ප්‍රතික්ෂේප කිරීම සහ බැංකු, මහා සංගත, වතු සහ අනෙකුත් ප්‍රධාන ආර්ථික මර්මස්ථාන ජනසතු කිරීම අවශ්‍ය කෙරේ.'

මා මෙම ලිපිය ලිවීමට පෙලඹුනේ එම ප්‍රකාශයෙන් බලගතු ලෙස පුබුදු කල අපේක්ෂාවන්ගෙනි. එය පෙන්වා දෙන පරිදි, අපට එල්ල වන ප්‍රහාර ජයගත හැකි වනුයේ ජාත්‍යන්තර සමාජවාදී වැඩ පිලිවෙලකින් පමනකි. එම වැඩ පිලිවෙල ජයග්‍රහනය කිරීමේ ගමන් මග තුල පවත්නා සුවිසල්ම බාධකය වෘත්තීය සමිති වන බැවින් එයින් කැඩී වෙන්වී කම්කරුවන් වන අපේම සංවිධානයන් ලෙස කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමු. එම කමිටු ජාතික සහ ජාත්‍යන්තර පරිමානයෙන් ඒකාබද්ධ කොට අපේ සටන ඉදිරියට ගෙනගියහොත් එය ජයග්‍රහනය කරා මෙහෙයවිය හැකිබව මගේ විශ්වාසයයි.

Loading