කම්කරුවන් හා ගම්බද දුගීන් දරිද්‍රතාවට හා කුසගින්නට මුහුන දෙද්දී ලංකාවේ සංගත විශාල ලාභ උපයා ගනී

[මෙය Sri Lankan corporations reap large profits as workers and rural toilers face poverty and starvation මැයෙන් 2022 ජුනි 28 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

ගැඹුරු වන ආර්ථික අර්බුදය මධ්‍යයේ මිලියන ගනන් කම්කරුවන්, දුගීන් හා ලමුන් සිය පැවැත්ම සඳහා මංමුලා සහගත අරගලයක යෙදෙද්දී, ලංකාවේ ආහාර, බීම හා දුම්කොල, ප්‍රාග්ධන භාන්ඩ, විවිධ මූල්‍ය, ප්‍රවාහන හා පාරිභෝගික සේවා සමාගම් ඉහල ලාභ භුක්ති විඳිමින් සිටී. බොහෝ සාමගම් වැඩි ම වාර්ෂික ලාභ වාර්තා කර ඇත.

වැලිගම කුලියට දෙන සුඛෝපභෝගී නිවාස (ඡායාරූපය: ට්‍රිප්ඇඩ්වයිසර්)

මෑත සංඛ්‍යා ලේඛනවලට අනුව, ඉහත අංශවල ලැයිස්තුගත සමාගම් වසරින් වසර පදනමට අනුව 2022 පලමු කාර්තුවේ දී ඔවුන්ගේ ඒකාබද්ධ ඉපැයීම් විශාල ලෙස වැඩිකරගෙන තිබේ. 2021 වසරේ එම කාර්තුවට සාපේක්ෂ ව ආහාර, බීම හා දුම්කොල අංශයේ ඉපැයීම්වල සියයට 303ක වර්ධනයක්, ප්‍රාග්ධන භාන්ඩවල සියයට 210.2ක වැඩි වීමක්, විවිධ මූල්‍ය අංශයේ සියයට 138.8ක ඉහල යාමක්, ප්‍රවාහන අංශයේ සියයට 682.1ක වැඩි වීමක් හා පාරිභෝගික සේවාවන් තුල සියයට 173.6ක වර්ධනයක් මෙයට අයත් ය.

වඩාත් ම විවිධාංගික ආයෝජකයා වන හේලීස් පීඑල්සී සංගතය, අවසාන මූල්‍ය වර්ෂයේ දී රුපියල් බිලියන 28.1ක (එක්සත් ජනපද ඩොලර් මිලියන 78ක) එදා මෙදා තුර ඉහල ම ලාභයක් වාර්තා කලේ ය. සමාගමේ 144 වසරක ඉතිහාසය තුල එය ඉහල ම ලාභය බව සභාපති මොහාන් පන්ඩිතගේ පැවසීය.

එල්ඕඑල්සී මූල්‍ය සේවා සංගතය පලමු කාර්තුවේ දී වසරින් වසර පදනමේ ලාභ සියයට 443.8කින් රුපියල් බිලියන 39.3ක් දක්වා වර්ධනයක් වාර්තා කලේ ය. මෙම වර්ධනයට ප්‍රධාන වසයෙන් හේතු වූයේ එහි ගෝලීය මෙහෙයුම් ය.

පසුගිය වසරේ පාඩු ලැබූ, නය හා අනෙකුත් මූල්‍ය සේවා පරාසයක් සපයන හැටන් නැෂනල් බැංකු මූල්‍ය සමාගම, 2021-22 මූල්‍ය වසර සඳහා රුපියල් මිලියන 515.6ක ශුද්ධ ලාභයක් වාර්තා කලේ ය. විවිධ ආයෝජනවල නිරත ඒට්කන් ස්පෙන්ස් සංගතය, පසුගිය වසරට සාපේක්ෂ ව රුපියල් බිලියන 2.8ක වැඩි වීමක් වාර්තා කරමින්, රුපියල් බිලියන 14.2ක බදුවලට පෙර ලාභයක් වාර්තා කලේ ය. ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් සංගතය ද 2021-2022 මූල්‍ය වර්ෂය සඳහා බදුවලට පෙර රුපියල් මිලියන 1,848ක ලාභයක් වාර්තා කලේ ය.

සොෆ්ට්ලොජික් හෝල්ඩිංස් සංගතයේ වාර්ෂික ආදායම සියයට 35කින් රුපියල් බිලියන 111.2 දක්වා ඉහල ගියේය. එහි වසරින් වසර දල ලාභය සියයට 52කින් රුපියල් බිලියන 39 දක්වා වැඩි වුනි. එය සෞඛ්‍යාරක්ෂනය, සිල්ලර සේවා, රක්ෂන හා මූල්‍ය සේවාවල නිරත සමාගමකි.

140ට අධික ලංකාවේ පුද්ගලික රෝහල්වලින් විශාලතම එකක් වන ලංකා රෝහල් සංගතය, මේ වසරේ පලමු කාර්තුවේ දී රුපියල් බිලියන 2.8ක පිරිවැටුමක් වාර්තා කලේ ය. රට පුරා අඛන්ඩ ව පැතිරී යන කෝවිඩ්-19 වසංගතයේ ප්‍රතිලාභ ගත් එම රෝහල් සංගතයේ මෙම පිරිවැටුම, පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂ ව සියයට 27ක ඉහල යාමකි.

මීට විපරීත ව, මැයි මාසයෙහි ලංකාවේ වසරින් වසර උද්ධමන අනුපාතය සියයට 45.3ක් හා ආහාර උද්ධමනය සියයට 58ක් වූ අතර, ඉන්ධන මිල ගනන් ඉහල යද්දී එම අනුපාතයන් අඛන්ඩ ව ඉහල නගිමින් පවතී. ඉහල මිල ගනන් කම්කරුවන්, ස්වයං-රැකියා නියුක්තිකයන්, ගොවීන් හා දුගීන් මිලියන ගනනකගේ සමාජ කොන්දේසි විනාශ කර දමමින් තිබේ.

2022 මැයි 5දා මහබාගේ දී ගෑස් අපේක්ෂාවෙන් පසු වන ජනයාගේ දිගු පෝලිමක් (ඡායාරූපය: ලෝසවෙඅ)

මෙම සුවිශාල ලාභ සහ ශ්‍රී ලංකාවේ මහජනයාට එරෙහි ව කඩාපාත් කරනු ලැබෙමින් තිබෙන සමාජ ව්‍යසනය අතර යෝධ අගාධය, කාල් මාක්ස්ගේ සුප්‍රකට නිරීක්ෂනය නාටකාකාර ලෙස යලි වතාවක් තහවුරු කරයි: “එක් ධ්‍රැවයක ධනය සමුච්ඡය වීම, ඒ නිසා ම, අනෙක් ධ්‍රැවය හෙවත් ප්‍රාග්ධනයේ රූපයෙන් තමන්ගේ ම නිෂ්පාදනය නිපදවන පන්තිය පැත්තේ කාලකන්නිකම, පීඩිත වහල් ලතෝනිය, අඥාන කම, ම්ලේච්ඡත්වය, මානසික පිරිහීම ආදිය සමුච්ඡය කිරීම සිදු කරයි” (4වැනි කොටස, 25 පරිච්ඡේදය, ප්‍රාග්ධනය (කැපිටාල්), 1 වෙලුම).මෑත දී නිකුත් කල එක්සත් ජාතීන්ගේ වාර්තාවකට අනුව, ලාංකිකයන් මිලියන 5ට ආසන්න සංඛ්‍යාවක් අතිශය දුෂ්කර ජීවිතයක් ගෙවති. ජීවත් වීම සඳහා ඔවුන්ගේ ස්වර්නාභරන උකස් තැබීමට හා මුදල් නයට ගැනීමට බල කෙරී ඇත. රටෙහි ජනගහනයෙන් සියයට 22කට ආහාර ආධාර අවශ්‍ය බවත්, නිවහන්වලින් සියයට 86කට ආහාර වේල් මගහැරීම ඇතුලු කෑමබීම ලඝු කිරීමට බල කෙරී ඇති බවත්, එම වාර්තාව සටහන් කලේ ය. අවුරුදු පහට අඩු ලමුන් 56,000ක් තියුනු මන්දපෝෂනයෙන් පෙලෙන බවත්, පෝෂ්‍ය පදාර්ථවලින් පිරිපුන් ආහාර වහා ම අවශ්‍ය බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තා කලේ ය.

තම රෝහලට ඇතුල් වන ලමුන්ගෙන් සියයට 20ක් මන්දපෝෂනයෙන් පෙලෙන බව වාර්තා කල කොලඹ රිජ්වේ ආර්යා ලමා රෝහලේ (එල්ආර්එච්) වෛද්‍යවරු, ලමුන් මුහුන දෙන මංමුලා සහගත කොන්දේසි පිලිබඳ ව හෙලිදරවු කල හ. මෙම ලමුන්ට කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, ලිපිඩ හා විටමින් අවශ්‍ය ප්‍රමානයන්ගෙන් නො ලැබෙන බව, එල්ආර්එච් රෝහලේ ලමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කලේ ය. .

ලංකාවේ යුනිසෙෆ් නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් ලමුන් මුහුන දෙන ව්‍යසනය වැඩිදුර තහවුරු කලේ ය. පෝෂනය, සෞඛ්‍යාරක්ෂනය, පිරිසිදු පානීය ජලය, අධ්‍යාපනය හා මානසික සෞඛ්‍ය සේවය ඇතුලු යම් ආකාරයක හදිසි සහයෝගය ආසන්න වසයෙන් රටෙහි ලමුන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුට අවශ්‍ය බව ඔහු වාර්තා කලේ ය. දකුනු ආසියාව තුල අවුරුදු පහට අඩු ලමුන් අතර, ඉහල ම තියුනු මන්දපෝෂන අනුපාතය අතින් ලංකාව දෙවැනි තැන ගන්නා බවත් ලමුන්ගෙන් අඩු ම වසයෙන් සියයට 17ක් වත් දරුනු ක්ෂය රෝගයෙන් පෙලෙන බවත්, ඔහු වැඩිදුරටත් පැවසීය.

දිවයිනේ ප්‍රසාරනය වෙමින් පවතින පුද්ගලික රෝහල් අංශයේ කොටසක් වන කොලඹ ලංකා රෝහල් සංගතය විශාල ලාභ ලබද්දී, අත්‍යවශ්‍ය ඖෂධ හා වෛද්‍ය උපකරන ක්ෂය වී යන තතු තුල රාජ්‍ය අංශයේ සමස්ත රෝහල් පද්ධතිය බිඳ වැටීමේ අද්දර පවතී.

එක්සත් ජාතීන්ගේ නවතම යාවත්කාලීන කිරීමට අනුව, දැනට ලංකාව තුල අත්‍යවශ්‍ය ඖෂධ 200ක් පමන නැති අතර, තවත් අත්‍යවශ්‍ය ඖෂධ 163ක් එලඹෙන මාස දෙක තුනක කාලය තුල හිඟ වනු ඇතැයි පුරෝකථනය කරනු ලැබේ. අත්‍යවශ්‍ය සැත්කම් උපකරන 2,700ට අධික ප්‍රමානයක් හා සාමාන්‍ය රසායනාගාර උපකරන 250ට වැඩි ගනනක් ද ඇත්තේ නැත.

මෙම සමාජ ව්‍යසනය ධනපති ලාභ පද්ධතියේ නිෂ්පාදිතයකි. 1948 දී බ්‍රිතාන්‍ය විජිත පාලනයෙන් ඊනියා නිදහස ලැබූ තැන් පටන්, ලංකාවේ අනුප්‍රාප්තික ආන්ඩු ක්‍රමානුකූල ව ක්‍රියා කර ඇත්තේ, සමස්ත වැඩකරන ජනයාගේ හා දුගීන්ගේ වියදමින්, දේශීය හා විදේශීය මහ ව්‍යාපාරිකයේ ලාභ අවශ්‍යතා සුරක්ෂිත කර දීමට ය.

ලංකාවේ තුනී ධනපති ප්‍රභූව හා එයට සේවය කරන ආන්ඩු, රාජ්‍ය අංශය ඔවුන්ගේ ම පුද්ගලික දේපොල මෙන් සලකන්නේ, කම්කරු පන්තිය සූරාකෑම හා එයට එල්ල කරන සමාජ ප්‍රහාර ඉහල දැමීම මගින්, ඇප තැබීම් හා සහනයන් ඉල්ලා සිටිමින් හා ඒවා ලබා ගනිමිනි.

ආහාර, ඉන්ධන හා පිසින ගෑස් වැනි අත්‍යවශ්‍ය භාන්ඩවල හිඟයන් හා ඒවායේ අහස උසට නැගි මිල ගනන් යනාදී මහජනයා මුහුන දෙන දැවෙන ප්‍රශ්නවලට, ධනපති ක්‍රමය හා ජාතික දේශසීමා ඇතුලත විසඳුමක් නැත.

කම්කරු පන්තියට එහි අවශ්‍යතා සුරක්ෂිත කරගැනීමට පවතින එක ම මාවත වන්නේ, නිෂ්පාදනය හා බෙදාහැරීම ධනපතියන්ගෙන් උදුරා ගැනීම යි. මෙම සම්පත් ගැන පොත් තැබීමක් කල යුතු අතර, පාලක ප්‍රභූවේ ධනය කම්කරු පන්තිය විසින් අල්ලාගෙන, සමාජ අවශ්‍යතාවේ පදනම මත යලි බෙදාහැරිය යුතු ය.

අප්‍රේල් 28, මැයි 6 හා මැයි 10 දිනවල දී රාජපක්ෂ ආන්ඩුවට එරෙහි බලගතු මහා වැඩ වර්ජනවල දී සිය දේශපාලන හා කාර්මික ශක්තිය ප්‍රදර්ශනය කල ලංකාවේ කම්කරුවෝ, මෙම අරගලයේ දේශපාලන පාඩම් හා වෘත්තීය සමිති විසින් ඉටු කරන ද්‍රෝහී භූමිකාව විමර්ශනයට බඳුන් කල යුතු ය.

මාස දෙකේ ආන්ඩු-විරෝධී මහජන නැගී සිටීමේ දී, රාජපක්ෂ ආන්ඩුවටත්, එය සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කරන ම්ලේච්ඡ ප්‍රහාරවලටත් එරෙහි ව කම්කරු පන්තියේ කිසිදු ස්වාධීන මැදිහත් වීමක් සිදු කිරීම, වෘත්තීය සමිති විසින් ක්‍රමානුකූල ව වලක්වාගෙන සිටියේ ය. කම්කරු පන්තිය නියෝජනය නො කරන වෘත්තීය සමිති, ආන්ඩුව හා හාම්පුතුන් වෙනුවෙන් ක්‍රියා කරන කාර්මික ොපලීසියක් ලෙස ක්‍රියාත්මක වෙමින් ලාභ පද්ධතිය ආරක්ෂා කරති.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) පැහැදිලි කර ඇති පරිදි, කම්කරු පන්තිය දේවල් තමන්ගේ ම අතට ගත යුතු ය. ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයේ සියලු පක්ෂවලට හා වෘත්තීය සමිතිවලට විරුද්ධ ව සෑම කම්හලක, වැඩපොලක, වත්තක හා නිවහන් ප්‍රදේශයක ම ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම මේ සඳහා අවශ්‍ය ය.

කම්කරු පන්තියේ, ගම්බද දුගීන්ගේ හා තරුනයන්ගේ සියලු කොටස් රැලි කරගන්නා මෙම ක්‍රියාකාරී කමිටු, දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර ව සමාජවාදය සඳහා කරන පලල් අරගලයක කොටසක් ලෙස, සමාජවාදී පිලිවෙත් මත පදනම් වන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කල යුතු ය.

මෙම ඉදිරි දර්ශනය සාකච්ඡා කිරීම සඳහා, ජූලි 3 ඉරිදා සවස 4ට සමාජවාදී සමානතා පක්ෂය පවත්වන ඔන්ලයින් රැස්වීමට ලියා පදිංචි වන ලෙස අපි ලෝසවෙඅ සියලු පාඨකයන්ගෙන් ඉල්ලමු.

Loading