කෝප් කමිටුව කොලඹ වරායේ කම්කරු රැකියා සංහාරයට පිඹුරුපත් සකසයි

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 2019, 2020 විගනකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පරීක්ෂා කිරීම සදහා පොදු ව්‍යාපාර පිලිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) පසුගියදා වරාය කම්කරුවන්ගේ අතිකාල දීමනා හා ඔවුන්ට ලබාදෙන ආහාර වේල ගැන ප්‍රෝඩාකාරී විවේචන මාලාවක් ඉදිරිපත් කලේ ය. වරාය කම්කරුවන්ගේ දැඩි කෝපයට හා අප්‍රසාදයට ක්ෂනිකව පාත්‍රවූ කෝප්කමිටු වෝදනාවල සැඟවුනු අභිප්‍රාය වන්නේ, ඔවුන්ගේ රැකියා හා දීමනාවලට කෙටීමේ ආන්ඩුවේ අවශ්‍යතාවයි.

එහි සභාපති මහාචාර්ය චරිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය ජුනි 22 දින රැස් වූ කෝප් කමිටුව හමුවේ කරුනු දක්වමින් වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න කීවේ, 2021 වසරේදී වරායේ කම්කරු 'අතිරික්තයක්' ඇති තත්වයේදී රුපියල් මිලියන 5850 ක අතිකාල දීමනා ගෙවා ඇති බවය. ආන්ඩුවේ සැලසුම්වලට උඩගෙඩි දෙමින් ජයමාන්න, මෙය 'ඉමහත් විනාශයක්' ලෙස හුවා දැක්වූයේ ය.

කෝප් කමිටු සභාපති හේරත් ට අනුව, සංඛයාත්මකව ගත් කල මෙම 'අතිරික්ත' සේවකයන් ප්‍රමානය 1500කි. මෙපමන සේවක සංඛ්‍යාවක් වැඩක් නොකර 'නිකන් සිටීම කනගාටුදායක තත්වයක්' බව පැවසූ ඔහු, 'මින් එහාට එවැන්නකට කිසිදු ඉඩක් තියන්න එපා' යැයි අවවාද කරමින් එම රැකියා සම්බන්ධයෙන් තීන්දුවක් ගත යුතුයැයි කීවේය. මෙයට ප්‍රතිචාර ලෙස මෙම අතිරික්ත සේවක සංඛ්‍යාව ලෙස දැක්වෙන්නේ, පසුගිය වසරවලදී වැඩසහායකයින් ලෙස බඳවාගෙන ඇති, නුපුහුනු කම්කරුවන් ප්‍රමානය යැයි වරාය සභාපති කීවේය. නමුත්, වැඩ සහායකයින් යනු 'නිකන් සිටින' කම්කරුවන් පිරිසක් නොවන බව කීමට ඔහු කට ඇරියේ නැත.

වෘත්තීය සමිතිවල නොමග යැවීම් පැවතිය දී ම, 2021 ජූලි මාසයේ දී, වරාය පෞද්ගලීකරනයට එරෙහි ව කම්කරුවෝ දහස් ගනනින් සහභාගී වෙමින් විරෝධතා පැවැත් වූහ.

වරාය සභාපති වසන් කල කාරනාව පැහැදිලි කරමින්, වරාය කම්කරුවන් ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) පැවසුවේ, පසුගිය වසරවලදී නොයෙක් ආකාරයෙන් සහායක කම්කරුවන් 1500ක් බදවාගෙන ඇති නමුත්, ඔවුන් පුහුනුකොට, යාත්‍රා අංශයේ, සිවිල් ඉන්ජිනේරු කොට්ඨාසයේ, නාවික ඉංජිනේරු කොට්ඨාසයේ සහ වැඩඅධිකාරී යනාදී ක්ෂේත්‍රයන්හි සියගනනක් වූ පුරප්පාඩු- පිරවීමට පාලකයන් උනන්දු නොවූ බව යි. ඔවුන් පුහුනු කිරීමට යන වියදම් කපා හැරීමටත්, පුරප්පාඩු නොපුරවා නුපුහුනු කම්කරුවන් අවම වැටුප් මට්ටම් වල දිගටම තබා ගනිමින් වියදම් අවම කර ගැනීමටත් පාලකයන් මෙම පියවර ගෙන ඇති බව පැහැදිලි ය.

වසර ගනනක් තිස්සේ මෙරට පාලකයන් විසින් සිදුකරගෙන ආ කම්කරු පන්තියේ වැටුප් හා දීමනාවන්ට එරෙහි ප්‍රහාර දැන් උත්සන්න කෙරී ඇතිවා පමනි. විශේෂයෙන්ම, කෝවිඩ් වසංගතයෙන් සහ යුක්‍රේනය මැදිකරගෙන ඇමරිකානු-නැටෝ බලයන් විසින් රුසියාවට එරෙහිව ගෙයන යුද්ධයෙන් ගැඹුරු කෙරී ඇති ලෝක ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස දැවැන්ත ආර්ථික බංකොලොත්කමකට මුහුනදී ඇති ආන්ඩුව, එයින් ගැලවී ගැනීමේ මංමුලාසහගත ප්‍රයත්නයක් ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් (ජාමූඅ) නයක් යදින අතර, ඒ සඳහා පනවා ඇති විධානයන් ලෙස මෙම ප්‍රහාර තීව්‍ර කෙරී ඇත. රාජ්‍ය සේවයේ නියැලී සිටින මිලියන 1.7ක කම්කරුවන් ලක්ෂ 7 දක්වා කපා දැමීම සඳහා දැනටම පිඹුරුපත් සකසා තිබෙන අතර වරාය කම්කරුවන්ට එරෙහි ප්‍රහාරය නිශ්චිතවම මෙම රුදුරු ප්‍රහාරයේ කොටසකි.

කෝප් කමිටුව හා වරාය සභාපතිගේ පචවලට විපරීතව, සත්‍ය තත්වය වන්නේ, වරාය අධිකාරියේ අනුමත සේවක සංඛ්‍යාව වන 9990ට වඩා සැලකිය යුතු මට්ටමකින් අඩු (1500කට ආසන්නව වසයෙන් අඩු) සේවක සංඛ්‍යාවක් වරාය තුල සේවයේ යොදවා ඇති බවයි. 1979 වන විට කම්කරුවන් 22000 වැඩි පිරිසක් ස්ථීර ලෙස සේවය කල කොලඹ වරාය තුල මේ වන විට සේවය කරන්නේ, 8550 පමන කම්කරුවන් ප්‍රමානයකි. එහෙත් එදා මෙදා තුල වරායේ මෙහෙයුම් කටයුතු දෙගුන තෙගුන වී ඇත. අනෙක් අතට දැනට සේවයේ නියුතු සංඛ්‍යාවෙන්ද, සේවා දිගුව අවසන් වන, විශ්‍රාමික වයස සම්පූර්න කරන ලද කම්කරුවන් සිය ගනනක් මෙම මස අවසානයේ විශ්‍රාම යාමට නියමිතව ඇත.

මෙහෙයුම් කටයුතු ඉහල යාමත් සමගම වරායේ ආදායම් වර්ධනය වීම ද මේ හා සමගම සිදුවී ඇත. කෝප් කමිටු සාකච්ඡාවේදීම හෙලිදරව් වූයේ, 2018 සිට 2021 දක්වා වරාය අධිකාරිය ලැබූ ලාභය පමනක් රුපියල් මිලියන 69,686ක් බවයි. එහි ප්‍රතිලාභ කම්කරුවන්ට නොලැබ ඇතිවා පමනක් නොව, ලාභ තවදුරටත් තරගැනීමේ අරමුනින්, පෞද්ගලික අංශ සහ මිනිස් බල කම්කරුවන්, වරාය තුල සේවයේ යොදවා ඇත්තේ, බොහෝ අඩු වැටුප් සහ දුෂ්කර සේවා කොන්දේසි යටතේ ය.

ලෝසවෙඅ, වරාය කම්කරුවන් සමග සිදුකල සාකච්ඡාවේදී හෙලිදරව්වූයේ, පහල ශ්‍රේනි වල කම්කරුවන්ගේ මූලික වැටුප රු 30,000 සිට 35,000 ක් අතර වන බවයි. අතිකාල ඇතුලු දීමනා මගින් කම්කරුවන් මාසිකව ජීවත්වීම සදහා අවශ්‍ය මුදල සපුරා ගනී. ඇතැම් අත්‍යාවශ්‍ය සේවා සදහා වැඩි දීමනාවක් ලැබෙතත්, නය ගෙවූ පසු එම කම්කරුවන් ගේ අතට ද මාසිකව ලැබෙන්නේ සොච්චමක් බව කම්කරුවෝ පවසති.

ඒ අතර, අධිකාරීන් නොයෙක් හේතූන් දක්වමින් කම්කරුවන් බොහෝ පිරිසක් සේවයෙන් ඉවත්කර තිබේ. අනෙක් අතට, රැකියාවේ නිරත කම්කරුවන් සේවයේ යොදවනු ලබන්නේ, මූලික වැටුප ඉතා පහල මට්ටමක පවත්වාගෙන යන අතර, දීමනා හා අතිකාල ගාස්තු ඕනෑම අවස්ථාවක කපාහැරිය හැකිවන ආකාරයෙනි.

අධික ලාභ ලබන වරාය අධිකාරිය කම්කරුවන්ගේ වැටුප් මට්ටම් පහත් තත්වයක පවත්වා ගන්නේ ද්‍රෝහී වෘත්තීය සමිති හා පාලක අධිකාරිය අතර ගිවිසුම් මගිනි. එම ගිවිසුමට අනුව වසර තුනකට වරක් සොච්චම් වැටුප් වැඩිවීමක් ලබා දෙන්නේ දීමනා ලෙසය. මෙම දීමනා පාලකයන්ට අවශ්‍යවූ විට කපාහැරිය හැකිය. මෙම දරුනු කොන්දේසිවලට එරෙහිව වෘත්තීය සමිති කෙල බිඳක් හෝ හෙලන්නේ නැත.

වරාය කම්කරුවන් මුහුනදෙන මෙම දුෂ්කර සේවා තත්වය තිබියදී, ඔවුන් අතිශයින් වරප්‍රසාදිත කොට්ඨාසයක් යැයි හැඟවීමට කෝප් කමිටු රැස්වීම යොදාගැනුනි. වරාය කම්කරුවන්ට ලබා දෙන ආහාර වේලේ, කජු මාලුව සදහා පමනක් රු මිලියන 47ක් 2021 වසරේදී වැය කර ඇති බව කමිටු සභාපති හේරත් සමච්චල් සහගත ලෙස උලුප්පා දැක්වූයේ ය. ඔවුන්ගේ ආහාර වේල කප්පාදු කිරීමට මෙන් ම, සෙසු කම්කරුවන්ගේ හා මහජනතාවගේ කෝපය, වරාය කම්කරුවන්ට එරෙහිව ඇවිලවීමේ නින්දිත උත්සහායක් ගැබ් කරගත් මෙම ප්‍රකාශය මගින් කෝප්කමිටුව හිතාමතාම යටපත් කිරීමට වෑයම් කරන්නේ, ගුනාත්මක ආහාර වේලක් ලබා ගැනීම කම්කරුවන්ගේ අයිතියක් වන අතර වරාය කම්කරුවන් විසින් එය දිනාගත්තේ දීර්ඝ කාලයක් තිස්සේ ගෙන ගිය අරගලවල ප්‍රතිපලයක් වසයෙන් බවත් ය.

වරාය කම්කරුවන්ගේ රැකියා හා වැටුප් විනාශ කිරීමේ ඉලක්කය ඇතිව කෝප් කමිටුව ගෙනයන මෙම විෂකුරු අවලාද ව්‍යාපාරයට ආර්ථිකයේ අනෙකුත් මර්මස්ථානවල කම්කරුවන් ද ලක්ව තිබේ. දැනටමත් එහි ඇතම් අංශ පෞද්ගලීක ආයතනවලට පවරාදී, ජාමූඅ කප්පාදු පිලිවෙත් අනුව මුලුමනින්ම පාහේ පෞද්ගලීකරනය කිරීමට සඳහා ඉලක්කයක් බවට පත්ව ඇති ලංකා විදුලි බල මන්ඩලයේ (ලංවිම) කම්කරුවන්ගේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් මෙවැනිම චෝදනා මාලාවක් ජූනි 21දා කෝප් කමිටුව විසින් එල්ල කෙරුනි.

2008 නොවැම්බර් 14 වැනි දින අමාත්‍ය මන්ඩලය විසින් ගනු ලැබූ තීරනය සහ කලමනාකරන සේවා චක්‍රලේඛ විධිවිධානවලට 'පටහැනිව', අධ්‍යක්ෂ මන්ඩලයේ අනුමැතිය ඇතිව, වරින් වර ලංවිම කාර්ය මන්ඩලයට විවිධ දීමනා ලබා දී ඇති බවට චෝදනාත්මක ස්වරයෙන් ඉදිරිපත් කෙරුනි. මෙම මුදල් මහජන මුදල් බැවින් ඒ සඳහා වගවීමක් තිබිය යුතු බව පැවසූ කෝප් කමිටු සභාපතිවරයා කම්කරුවන්ට ලබා දුන් දීමනා පිලිබඳව අප්‍රසාදය පල කලේය.

එමෙන්ම සාමූහික ගිවිසුම් කෙටුම්පතට අනුව, ලංවිම විසින් 2021 වර්ෂයේදී සේවක වැටුප් සියයට 25කින් ඉහල දමා ඇතත් එම ගිවිසුම 'නීත්‍යානුකූල ලියවිල්ලක් නොවන' බව ප්‍රකාශ කල හේරත්, කම්කරුවන්ගේ අයිතීන් උදුරා ගැනීමේ සූදානම ප්‍රකට කලේය. විශ්‍රාම වැටුපකට හිමිකම් නොකියන ලංගම සේවයකයන්ට වසර තුනකට වතාවක් ලබා දෙන මෙම සොච්චම් වැටුප් වැඩිවීම දැන් උත්සන්න වෙන දැවැන්ත ජීවන වියදම් දර්ශකයට අලගු තැබීමටත් නොහැකිය යන කරුන ගැන කෝප් කමිටුව මුලුමනින්ම නිහඬය.

'මහජන මුදල් සම්බන්ධයෙන් වගවීම' යන කඩතුරාවට මුවා වී කෝප් කමිටුව වරාය සහ ලංවිම කම්කරුවන්ට එරෙහිව ගෙනයන මෙම අවලාද පිටුපසින් ඇත්තේ, සමස්ත කම්කරු පංතියට එරෙහිව එල්ල කිරීමට සූදානම් කෙරෙන රුදුරු ප්‍රහාරයක සැලසුම් බව වටහා ගනිමින්, අවශේෂ කම්කරුවන් මෙම අවලාද වලට එරෙහිව නැගී සිටිය යුතුය.

ගෝලීය ධනේශ්වර අර්බුදයෙන් ගලා එන මෙම ප්‍රහාරයන්, රාජපක්ෂ-වික්‍රමසිංහ ආන්ඩුවට බලපෑම් යෙදීමෙන් ආපසු හැරවිය නොහැක. එය කල හැක්කේ, ආන්ඩුවටත් සමස්ත ධනපති ක්‍රමයටත් එරෙහි කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන අරගලයකින් පමනි. ඒ වනාහි, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සහ සමාජවාදී ප්‍රතිපත්ති සඳහා වන දේශපාලන අරගලයයි.

ධනපති ක්‍රමයට තමා ඇදබැඳ තබන, වෘත්තීය සමිති වලින්, ධනපති පක්ෂ වලින් සහ ව්‍යාජ-වාම සංවිධාන වලින් කම්කරුවන් බිදී වෙන්වී, තමාගේම ප්‍රජාතන්ත්‍රීය ඡන්දයෙන් තෝරා පත්කර ගැනෙන සහ ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡා මගින් තීන්දු තීරන ගෙන ක්‍රියාවට දැමෙන ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීමට පෙරට පැමිනිය යුතුය.

කම්කරුවන්ගේ ලෝක පක්ෂය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව දියත්කොට ඇති ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය හරහා, ලංකාවේ කම්කරුවන්ගේ අරගල ලොව පුරා කම්කරුවන්ගේ අරගල සමග ඒකාබද්ධ කිරීමෙන් කම්කරු පංතිය සතු අතිමහත් සමාජ බලය තම පංති අවශ්‍යතා සඳහා මුදාහල හැක.

Loading