වඩාත් නරක අතට හැරෙන ආර්ථික අර්බුදය මධ්‍යයේ ඉන්දියාව සහ එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට නියෝජිතයන් යවයි

[මෙය India and the US send envoys to Sri Lanka amid worsening economic crisis යන මැයෙන් 2022 ජූනි 25 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

ශ්‍රී ලංකාවේ ආර්ථිකය “සම්පූර්නයෙන්ම කඩා වැටී ඇති” බව, බදාදා (22), පාර්ලිමේන්තුවට ප්‍රකාශ කල අගමැති රනිල් වික්‍රමසිංහ සියලු දේශපාලන පක්ෂවල එකමුතුව සඳහා ආයාචනා කලේ ය. ජනතාවට “කෙටි කාලයකට දුෂ්කරතා විඳීමට” සිදුවනු ඇති නමුත්, ඉන්දියාවේ සහ එක්සත් ජනපදයේ ඉහල පෙලේ නියෝජිතයන් පිලිවෙලින් ජුනි 23 සහ ජූනි 27 යන දිනවල ශ්‍රී ලංකාවට ආධාර කිරීමට පැමිනෙනු ඇතැයි ඔහු පැවසීය.

රනිල් වික්‍රමසිංහ [මූලාශ්‍රය: එක්සත් ජාතික පක්ෂය ෆේස්බුක්] [Photo: United National Party Facebook]

එක්සත් ජනපදය සහ ඉන්දියාව සැබවින්ම කනස්සල්ලට පත්ව සිටින්නේ ආන්ඩුවට සහ සමස්ත දේශපාලන සංස්ථාපිතයට එරෙහිව නැගෙන සමාජ විරෝධය මධ්‍යයේ ශ්‍රී ලංකාවේ උග්‍ර දේශපාලන අස්ථාවරත්වයයි. ඒ අතරම, ඉන්දියන් සාගරය තුල මූලෝපායිකව පිහිටා ඇති ශ්‍රී ලංකාව සමඟ ඔවුන්ගේ දේශපාලන හා මිලිටරි සබඳතා වැඩි දියුනු කිරීමටත්, බීජිං වෙතින් ඈත් වන ලෙස කොලඹට බලපෑම් කිරීමටත් දෙරට ම උනන්දු වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) විශේෂ කන්ඩායමක් සඳුදා කොලඹදී මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සාකච්ඡා ආරම්භ කලේය. පලමු දිනයේ සාකච්ඡාවලට ද සහභාගි වූ වික්‍රමසිංහට අවශ්‍ය වී ඇත්තේ අය-වැය පරතරය නිර්දය ලෙස කප්පාදු කිරීම, රජයේ ආදායම වැඩි කිරීම සහ පුද්ගලීකරනය සහ අනෙකුත් කප්පාදු පියවරයන් ක්‍රියාත්මක කිරීම සඳහා බල කරන ජාමූඅ සමග කඩිනම් ගනුදෙනුවකට යාමට ය.

වත්මන් ඉන්ධන සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟයට වඩා, රට, “ඉතා බරපතල තත්වයකට මුහුන දෙමින් සිටින” බව වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට පැවසීය. 'පතුලටම ඇදවැටීමක් සිදුවිය හැක... අපේ ආර්ථිකය සම්පූර්නයෙන්ම කඩා වැටී ඇත' යනුවෙන් ඔහු අනතුරු ඇඟවීය. මෙම අර්බුදය විසඳීම සඳහා “අපි මුලින්ම විදේශ සංචිත අර්බුදය විසඳිය යුතු” යැයි ඔහු තවදුරටත් කියා සිටියේ ය.

වික්‍රමසිංහ පසුගිය පාලනාධිකාරියට දෝෂාරෝපනය කලේ, ගැටලුව විසඳා ගැනීම සඳහා ජාමූඅ වෙතට කලින් නොයෑම ගැන ය. ශ්‍රී ලංකාව ඉන්දියානු නය මාර්ගයකින් ඩොලර් බිලියන 4 ක නයක් ලබාගෙන ඇති නමුත් ඉන්දියාවට “මේ ආකාරයෙන් අපට අඛන්ඩව සහයෝගය දැක්විය නොහැකි” බව ඔහු පැවසීය. ඔහු පාර්ලිමේන්තුවට අවධාරනය කලේ මෙම භයානක තත්වය විසඳීමට ඇති එකම ආරක්‍ෂිත විකල්පය නම් ජාමූඅ සමඟ සාකච්ඡා කිරීම බවයි.

“අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලැබුනොත් ලෝකය නැවතත් අපව විශ්වාස කරනු ඇත. එය ලෝකයේ අනෙකුත් රටවලින් නය ආධාර මෙන්ම අඩු පොලී නය ලබා ගැනීමට අපට උපකාරී වනු ඇතැ” යි ඔහු ප්‍රකාශ කලේය.

වෙනත් වචන වලින් කිවහොත්, රාජපක්ෂ-වික‍්‍රමසිංහ ආන්ඩුව සහ ශ‍්‍රී ලංකාවේ පාලක පන්තිය විසින් යෝජනා කරන “විසඳුම” නම්, තව තවත් නය ලබා ගැනීම සහ සියලු වැඩකරන ජනතාවට එරෙහිව ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනයේ ආඥාදායකත්වය තව තවත් දැඩි කිරීම ය. මෙයින් අදහස් කරන්නේ, තම රැකියා, වැටුප් හා විශ්‍රාම වැටුප් මත එල්ල කෙරෙන වඩාත් ම්ලේච්ඡ ප්‍රහාර වලින් ද, සහනාධාර, මහජන අධ්‍යාපනය සහ සෞඛ්‍යය මත තවදුරටත් සිදු කෙරෙන කප්පාදු වලින් ද, කම්කරුවන්ට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවයි.

“මෙම දුෂ්කරතා සහ පීඩාවන් කෙටි කාලයක් සඳහා දරාගෙන ජාතිය ගොඩනැගීමේ ප්‍රයත්නයට දායක වන ලෙස මම සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිමි,” වික්‍රමසිංහ නරුම ලෙස ප්‍රකාශ කලේය. දැනටමත් මාස ගනනාවක් තිස්සේ ආහාර, ඖෂධ සහ ඉන්ධන හිඟයට හා පැය ගනන් විදුලිය කප්පාදුවලට මුහුන දෙමින් සිටින කම්කරුවන්ගේ සහ දුප්පතුන්ගේ දුක් වේදනා ගැන ආන්ඩුවට කිසිදු තැකීමක් නැත..

පසුගිය මාසයේ නිල උද්ධමන ප්‍රතිශතය සියයට 45 ක් වූ අතර ආහාර උද්ධමනය සියයට 58 ක් විය. කෙසේ වෙතත්, ජෝන්ස් හොප්කින් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්ටීව් හෑන්ක් සිකුරාදා පැවසුවේ, ශ්‍රී ලංකාවේ සැබෑ වාර්ෂික සාමාන්‍ය උද්ධමනය පසුගිය මාසයේදී සියයට 130 දක්වා ඉහල ගිය බවයි. සාගින්න පැතිරී ඇත, නිවැසියන්ගෙන් සියයට 70 ක් අවම වශයෙන් දිනකට එක් ආහාර වේලක්වත් මග හරිති, මේ සතියේ සිට පාසල් ද වසා ප්‍රධාන රාජ්‍ය අංශයේ සේවාවන් ද වසා දැමුනි.

කම්කරු පන්තිය තුල නැගෙන දැවැන්ත විරෝධය පිලිබඳව හොඳින් ම දන්නා වික‍්‍රමසිංහ, සිය කප්පාදු වැඩපිලිවෙල පිටුපස පෙලගැසෙන ලෙස සියලු දේශපාලන පක්ෂවලට මංමුලා සහගත ආයාචනයක් නිකුත් කලේය.

'ඔබට මීට වඩා හොඳ විසඳුමක් තිබේ නම් අපට දන්වන්න,' අපි එය සාකච්ඡා කරමු, යැයි අගමැති පාර්ලිමේන්තුවට පැවසීය. එය, මේ සතියේ පාර්ලිමේන්තු සැසිවාර වර්ජනය කිරීමේ විරෝධතාවක් ආරම්භ කල සමගි ජන බලවේගයට (සජබ) සහ ජනතා විමුක්ති පෙරමුනේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයට (ජාජබ) කල ඍජු ආයාචනයක් විය.

“ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එක්ව කටයුතු කල යුතු යැයි' සජබ කලින් ප්‍රකාශ කල බව වික්‍රමසිංහ සිහිපත් කලේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවලට ජාජබ සහ ජවිපෙ එකඟදැයි විමසා සිටි ඔහු, එම සාකච්ඡාවලට ඔවුන්ටද සහභාගි වන ලෙසට යෝජනා කලේ ය.

සජබ හෝ ජාජබ තවමත් වික්‍රමසිංහගේ ආයාචනාවලට ප්‍රතිචාර දක්වා නැති නමුත් ජාමූඅහි සාකච්ඡා ගැන විවේචනය කර නැත. එමෙන්ම, රාජ්‍ය අංශයේ රැකියා තියුනු ලෙස කප්පාදු කිරීම හෝ රුපියල අවප්‍රමානය වීම සහ මෑතකදී අනුමත කල වැට් බදු වැඩිකිරීම් ඇතුලු ආන්ඩුව විසින් දැනටමත් ක්‍රියාවට නංවා ඇති කප්පාදු පියවරයන්ට ඔවුන් විරුද්ධ වී නැත.

ආහාර, ඉන්ධන, පිහුම් ගෑස්, ඖෂධ නොමැතිව කුසගින්නෙන් සිටින මිනිසුන්ගේ දුක්ඛිත තත්වය පිලිබඳ ඔවුන්ගේ වාචාල කතාවල අරමුන වනුයේ, ජාමූඅ විසින් නියම කරන ලද ආන්ඩුවේ පියවරයන් සමඟ මූලික වෙනස්කම් නොමැති බව වසන් කරන අතරම, මහජනතාව මුලා කිරීම යි. එලෙසම, වෘත්තීය සමිති ජාමූඅ ප්‍රතිපත්තිවලට ක්‍රියාකාරීව පිටුබලය දෙමින්, ඒවාට එරෙහිව වචනයක් හෝ ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටී.

ජූනි 18 දා, ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් විසින් නව දිල්ලියේදී ජ්‍යෙෂ්ඨ ඉන්දියානු නිලධාරීන් සමග විශේෂ පාර්ලිමේන්තු උපදේශන කමිටු සාකච්ඡාවක් පැවැත්වීය. 'විවිධ ගැටලු සහ ඉන්දියාවේ භූමිකාව පිලිබඳව ධනාත්මක වාතාවරනයක් තුල හොඳ සාකච්ඡාවක් පැවැත්විනි' යනුවෙන් ජයශංකර් ට්වීටර් පනිවිඩයක් නිකුත් කලේ ය.

ජූනි 23 වැනිදා කොලඹදී රැස්වීම් සඳහා යවන ලද ඉහල මට්ටමේ පස් දෙනෙකුගෙන් යුත් කන්ඩායම, විදේශ ලේකම් විනේ ක්වාත්‍රා විසින් මෙහෙයවන ලදී. මහ කොමසාරිස් කාර්යාලයට අනුව, නියෝජිත පිරිස පදනම් වූයේ, ඉන්දියාවේ ’පලමුව අසල්වැසියා’ ප්‍රතිපත්තිය සහ ‘කලාපයේ සැමට ආරක්ෂාව සහ වර්ධනය’ නම් වූ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සංකල්පය මත යි. පසු කී සංකල්පය, දකුනු ආසියාවේ ආධිපත්‍යය දැරීමට නව දිල්ලියේ භූ-මූලෝපායික න්‍යාය පත්‍රය ආවරනය කිරීමට යොදාගෙන ගෙන ඇත.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමඟ “ඵලදායි අදහස් හුවමාරුවක්” සහ “ගැඹුරු සාකච්ඡාවක්” පැවති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශය පවසයි. “යටිතල පහසුකම්, සම්බන්ධතා, පුනර්ජනනීය බලශක්තිය සහ දෙරට අතර ආර්ථික සබඳතා ගැඹුරු කිරීම යන ක්ෂේත්‍ර ඇතුළුව ඉන්දියා-ශ්‍රී ලංකා ආයෝජන හවුල්කාරිත්වය ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම මෙම සාකච්ඡා මගින් පෙන්වා දී ඇත.”

කොලඹට පැමිනෙන එක්සත් ජනපද නියෝජිත පිරිසට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සහකාර ලේකම් කෙලී කීඩර්ලින්, භාන්ඩාගාර නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කප්‍රෝත් සහ බයිඩන් පරිපාලනයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුලත් වේ.

මීලඟ වටයේ ජාමූඅ ප්‍රහාර මගින් තවදුරටත් තීව්‍ර වනු ඇති ශ්‍රී ලංකා මහජනතාවගේ දුක් වේදනා ගැන එක්සත් ජනපදයට හා ඉන්දියාවට කිසිදු තැකීමක් නැත.. ඔවුන්ගේ ප්‍රධාන උත්සුකය වන්නේ තවදුරටත් ආයෝජනය කිරීමට සහ ලාභ ඉපැයීමට රට විවෘත කිරීම සහ චීනය සමඟ ඔවුන්ගේ ගැටුමට ශ්‍රී ලංකාව ඇතුලත් කර ගැනීමයි. ශ්‍රී ලංකාව බීජිං හි “නය උගුල” ප්‍රතිපත්තියට හසුවීමට චීනය වගකිව යුතු බවට එක්සත් ජනපදය හා ඉන්දියාව යන දෙකම ව්‍යාජ ලෙස ප්‍රකාශ කරති.

ශ‍්‍රී ලංකාවේ කම්කරු පන්තියට ආන්ඩුවේ ප‍්‍රහාර පරාජය කිරීමට හෝ තමන් මුහුන දෙන දැවැන්ත සමාජ ප‍්‍රශ්න විසදීමට, ධනේශ්වර ක‍්‍රමය තුල නොහැක. ශ්‍රී ලංකාවේ ආර්ථික කැලඹිල්ලේ මූල හේතුව නම්, ධනවාදයේ ගෝලීය අර්බුදය සහ මෙම අර්බුදය සඳහා වැඩකරන ජනතාව ලවා වන්දි ගෙවීමට කොලඹ ආන්ඩුව දරන නිර්දය උත්සාහයයි.

කම්කරු පන්තිය තමන්ගේම විසඳුම ඉදිරිපත් කරමින් සහ ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන් අරගලය තුලට එකමුතු කරමින් මෙම ජාත්‍යන්තර කුමන්ත්‍රනයට විරුද්ධ විය යුතුය.

නිෂ්පාදනය හා බෙදා හැරීම, ලාභ ලබන මහා සමාගම් සහ බැංකු අතින් ඉවත් නොකලහොත් කම්කරුවන්ට හා දුප්පතුන්ට ඔවුන්ට අවශ්‍ය අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය වන ආහාර, ඖෂධ, ඉන්ධන සහ විදුලි බලය සුරක්ෂිත කර ගැනීමට නොහැකි වනු ඇත.

බැංකු, විශාල සමාගම් සහ විශාල වතු, කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ජනසතු කොට නිෂ්පාදනය සුලු පිරිසකගේ ලාභ සඳහා පවතින තත්වය වෙනස් කොට මිනිස් අවශ්‍යතා සැපිරීම සඳහා සංවිධානය කල යුතුය.

කම්කරුවන් හා දුගීන්ගේ උර මත නය බර පැටවීම නැවැත්වීම සඳහා සියලු විදේශ නය ප්‍රතික්ෂේප කල යුතුය. මෙම දැවැන්ත නය සඳහා වැඩකරන ජනතාව වගකිව යුතු නොවේ.

සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නංවනුවස් කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන අරගලයේ කොටසක් ලෙස, කම්කරුවන් හා තරුනයින්, මෙම මූලික හා හදිසි අවශ්‍යතා සඳහා අරගලයේ නිරත විය යුතුය.

මෙම වැඩපිලිවෙල ගෙන යා හැක්කේ කම්කරු පන්තියේ දේශපාලන හා කාර්මික ශක්තිය බලමුලු ගැන්වීමෙන් සහ ඒ වටා සියලු පීඩිතයන් ඒකරාශී කර ගැනීමෙන් පමනි. මිලියන ගනනක සහභාගිත්වයෙන්, අප්‍රේල් 28 සහ මැයි 6 දා පැවති ප්‍රබල මහ වැඩවර්ජන මගින්, මෙම ඉල්ලීම් වටා මහජන බලමුලු ගැන්වීමක් සංවිධානය කිරීමේ ශක්‍යතාව බලගතු ලෙස පෙන්නුම් කලද, විරුද්ධ පක්ෂවලට පිටුබලය දුන් වෘත්තීය සමිති විසින් මෙම ව්‍යාපාරය දේශපාලනිකව අවහිර කරන ලදී.

වෘත්තීය සමිතිවලින් හා ධනේශ්වර පක්ෂවලින් ස්වාධීනව ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගන්නා ලෙස සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ එබැවිනි. මෙම අරගලයට සම්බන්ධ වී, එයට නායකත්වය දෙන විප්ලවවාදී පක්ෂය ලෙස සමාජවාදී සමානතා පක්ෂය ගොඩනඟන ලෙස අපි කම්කරුවන්ට හා තරුනයින්ට ආයාචනා කරමු.

සසප සහ සසජාතශි, මෙම වැඩසටහන ගැන සාකච්ඡා කිරීමට, ජුලි 3 වෙනිදා, සවස 4 ට අන්තර්ජාල රැස්වීමක් සංවිධානය කර ඇත. එයට සහභාගී වන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු. මෙම වැදගත් දේශපාලන රැස්වීම සඳහා ඔබට මෙතැනින් ලියාපදිංචි විය හැකිය.

Loading