කෘතහස්ත ට්‍රොට්ස්කිවාදියකු වන සසප සභාපති විජේ ඩයස් 80 වන වියෙහි දී අභාවප්‍රාප්ත වෙයි

හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප) අතිමහත් සංවේගයෙන් යුතුව දැනුම් දෙන්නේ, පක්ෂ සභාපති, කෘතහස්ත ට්‍රොට්ස්කිවාදියකු වන විජේ ඩයස් සහෝදරයා අද (ජූලි 27) උදෑසන අභාවප්‍රාප්ත වූ වගයි. ඔහු හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ නායකයෙක් සහ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සාමාජිකයෙක් විය. දරුනු හෘදයාබාධයකට මුහුන දෙන ලදුව ජයවර්ධනපුර රෝහලට වහාම ගෙනයාමෙන් අනතුරුව ඔහු එහි දී මිය ගියේ ය. එලඹෙන අගෝස්තු 27 දා ඔහු සිය 81 වන ජන්ම දිනය සැමරීමට නියමිතව තිබුනි.

විජේ ඩයස්

විජේ සහෝදරයාගේ වියෝව විශේෂයෙන් ම සසපටත් සමස්තයක් ලෙස ජාත්‍යන්තර කමිටුවටත් ශ්‍රී ලංකාවේ, දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තර කම්කරු පන්තියටත් දැවැන්ත පාඩුවකි. ඔහු, ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා කම්කරු පන්තියේ අවශ්‍යතා දේහානුරූප කරන ජාත්‍යන්තර සමාජවාදයේ ට්‍රොට්ස්කිවාදී ප්‍රතිපත්ති සදහා වූ අඩ සියවසකටත් වැඩි කාලයක තිස්සේ ගෙනගිය අරගලයක ක්ෂමාවිරහිත සටන්කරුවෙක් විය.

විජේ සහෝදරයා, ලංකා සමසමාජ පක්ෂය (ලසසප) 1964 දී අගමැතිනි සිරිමා බන්ඩාරනායකගේ ධනේශ්වර ආන්ඩුවට ඇතුලු වී සිදු කල පාවාදීමෙන් ඉක්බිතිව ට්‍රොට්ස්කිවාදය සඳහා සටන අතට ගනු වස් 1968 ජූනි මස පිහිටුවනු ලැබී සසපයේ පූර්වගාමී සංවිධානය වන විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) ආරම්භක සාමාජිකයෙක් විය.

එවක ලසසපයේ තරුන සාමාජිකයකු වූ විජේ සහෝදරයා, ලසසප පාවාදීමට විරුද්ධ වූ ද ජාත්‍යන්තර කමිටුවේ මග පෙන්වීම යටතේ, අවශ්‍ය දේශපාලන පාඩම් උකහාගෙන විකොස සඳහා ශක්තිමත් දේශපාලන පදනම් දැමුවා වූ ද එම තරුන කන්ඩායමේ නායක කාර්යභාරයක් ඉටු කලේය.

විකොස ආරම්භක ප්‍රධාන ලේකම් වූ කීර්ති බාලසූරිය සහෝදරයා 1987 දෙසැම්බරයේ දී ඛේදනීය හා අකල් මරනයකට ගොදුරු වීමෙන් පසුව, විජේ සහෝදරයා එම අඩුව පිරවීමට තෝරා පත් කර ගැනුනි. ඔහු, පසුගිය මැයි මස පැවති මෑතම පක්ෂ සම්මේලනයේ දී පක්ෂ සභාපති ලෙස තෝරා පත් කර ගැනුනු අවස්ථාව වන තෙක් ම, විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ ද පසුව සමාජවාදී සමානතා පක්ෂයේ ද ප්‍රධාන ලේකම් විය.

විජේ සහෝදරයා, දේශපාලන සංස්ථාපිතයේ සියලු පක්ෂවලින්, එහි ව්‍යාජ-වාම සහ වෘත්තීය සමිති ඒජන්තයන්ගෙන් කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය තහවුරු කිරීමේ අරගලය තුල පක්ෂයට නායකත්වය සැපයීය. ඔහුගේ වයස සහ දුර්වල සෞඛ්‍ය තත්වය තිබිය දී ම, රාජපක්ෂ සහ වික්‍රමසිංහ ආන්ඩුවලට ද ඔවුන්ගේ කප්පාදු හා මර්දන න්‍යාය පත්‍රයට ද එරෙහි වත්මන් මහජන නැගිටීම මධ්‍යයේ කම්කරු පන්තිය සහ ගම්බද වැඩ කරන ජනයා සඳහා විප්ලවවාදී සමාජවාදී මාවතක් සම්පාදනය කිරීමේහි ලා ඔහු ප්‍රධාන කාර්යභාරයක් ඉටු කලේ ය.

ධනවාදයේ ගෝලීය අර්බුදයේ තියුනුම ප්‍රකාශනය වන ශ්‍රී ලංකාවේ මෙම පෙර නොවූ විරූ ආර්ථික, දේශපාලනික හා සමාජ අර්බුදය මධ්‍යයේ, ඔහුගේ වියොව විශේෂයෙන් ම දැනෙයි. කෙසේ වෙතත්, මනුෂ්‍ය වර්ගයාගේ සමාජවාදී අනාගතය උදෙසා වූ ඔහුගේ ජීවිතකාලීන අරගලය ඉදිරියට ගෙන යන සසපයේ සහ ජාත්‍යන්තර කමිටුවේ කේඩර සහ දේශපාලන වැඩකටයුතු තුල, ඔහුගේ බලගතු දේශපාලනික උරුමය ජීවමාන වනු ඇත.

විජේ ඩයස් සහෝදරයාගේ දේහය අවසන් ගෞරව පිනිස බොරැල්ල, කනත්ත පාරේ පිහිටි ජයරත්න රෙස්පෙක්ට් හෝම් අවමංගල්‍ය ශාලාවේ ජුලි 28 වන බ්‍රහස්පතින්දා උදේ 9 සිට ජුලි 30 වන සෙනසුරාදා සවස 2.30 දක්වා තැන්පත් කර ඇත. 30 වන සෙනසුරාදා සවස 3ට බොරැල්ල කනත්තේ දී අවමංගල්‍ය රැස්වීම පැවැත්වෙන අතර ඉන් පසුව සවස 5ට දේහය ආදාහනය කරනු ලැබේ.

විජේ සහෝදරයාගේ විප්ලවවාදී ජීවිතය පිලිබද සවිස්තරාත්මක අගැයීමක් අපි ඉදිරි දිනවල පල කරන්නෙමු.

Loading