කිලිනොච්චියේ පැවති අතුරුදන් කරනු ලැබූවන්ගේ ඥාතීන්ගේ විරෝධතාවයේදී ලෝසවෙඅ වාර්තාකරුවන්ට බාධා කිරීම දෙමල ජාතිකවාදයේ බංකලොත්කම හෙලිදරවු කරයි

උතුරු නැගෙනහිර බලාත්කාරයෙන් අතුරුදන් කරනු ලැබූවන්ගේ සංගමය විසින් අගෝස්තු 12 දා කිලිනොච්චියේ දී සංවිධානය කර තිබූ විරෝධතා පාගමන ආවරනය කරන්නට ගිය ලෝක සමාජවාදී වෙබ් අඩවි වාර්තාකරුවන්ගේ වාර්තාකරනය නතර කිරීමට එම සංගමයේ ප්‍රධාන ලේකම් ඇතුලු නිලධාරීන් පිරිසක් තැත් කලහ. ඔවුන්ගේ උදව්වට පැමිනි දෙමල ජාතික මහජන පෙරමුනේ ටීඑන්පීඑෆ් ආධාරකරුවන් පිරිසක් අප වාර්තාකරුවන්ට පහර දෙන බවට තර්ජනය කල අතර මාධ්‍යවේදියෙකු ලෙස හඳුන්වා ගත් ඥානසංගරී සප්තසංගරී නමැත්තා එක් වාර්තාකරුවෙකුට අතින් පහර දුන් අතර අනතුරු ව හෙල්මට් එකකින් පහර දීමට ද තැත් කලේය.

ලෝසවෙඅ මාධ්‍ය කන්ඩායමට තර්ජනය කරන ටීඑන්පීඑෆ් සාමාජිකයන් (ලෝසවෙඅ)

ලෝසවෙඅ වාර්තාකරුවන් විරෝධතාවට සම්බන්ධව සිටි අයගෙන් අතුරුදන් කිරීම් පිලිබඳ තොරතුරු විමසමින් සිටිය දී එතැනට පැමිනි සංගමයේ ලේකම් ආනන්ද-නටරාජා “මිනිසුන්ගේ මෝල සෝදන්න එපා” යැයි පවසමින් තම සාමාජිකයන්ට අප වාර්තාකරුවන් සමග කතාකිරීම තහනම් කලා ය. ඇය සමග සිටි සංගමයේ නිලධාරීහු අතුරුදන් කරනු ලැබූවන් සම්බන්ධ විස්තර අවශ්‍ය නම් ඒවා සංගමයෙන් ලබා ගත හැකි බව ප්‍රකාශ කලහ.

මාධ්‍යවේදියෙකු ලෙස තමන් හඳුන්වා ගත් අයෙක් “කලින් වතාවේ ඔයගොල්ලො මුලතිවුවල දී විරෝධය ආවරනය කරන්න ආවට පස්සේ අපිට ගොඩක් ප්‍රශ්න ඇති වුනා. ඔයගොල්ලො කියන එක වැරදි” යැයි පවසමින් අප වාර්තාකරුවන් එම ස්ථානයෙන් පිටමං කිරීමේ ප්‍රකෝපකරනයකට මුල පිරී ය. “වැරැද්ද” හැකි නම් නිශ්චිත ව පෙන්වා දෙන ලෙස අභියෝග කල විට එයට පිලිතුරක් දීමට ඔහුට නොහැකි විය.

උතුරු නැගෙනහිර යුද්ධයේදී අතුරුදන් කරනු ලැබූවන් පිලිබඳව කිලිනොච්චියේ පැවැත්වූ විරෝධතා පා ගමන (ලෝසවෙඅ)

සංවිධායකයන්ගේ විරෝධයට හේතු වී ඇති දේශපාලනය කුමක් දැයි රැස් ව සිටි පිරිසට වාර්තාකරුවෝ පැහැදිලි කලහ. ඒ පිලිබඳ විශ්ලේෂනයක් මෙම වෙබ් අඩවියේ 2022 අගෝස්තු 25 දින “යුද්ධයේ දී අතුරුදන් කරනු ලැබූවන්ගේ ඥාතීහු පන්සියයකට අධික පිරිසක් කිලිනොච්චියේ දී විරෝධතාවයක් පවත්වති” යන මාතෘකාවෙන් පලවූ ලිපියෙන් ඉදිරිපත් කර ඇත.

අප වාර්තාකරුවන් කරුනු පැහැදිලි කරන අතර එහි පැමිනි දැනට කැපිටල් එෆ්එම් මාධ්‍ය ආයතනයේ සේවය කරන ඥානසංගරී සප්තසංගරී නමැත්තා ලෝසවෙඅ රජයේ ලියාපදිංචි කල වෙබ් අඩවියක්දැයි ද, වාර්තාකරුවන්ට මාධ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කල හැඳුනුම්පත් තිබේදැයි ප්‍රශ්න කර සිටියේ පොලිස්කාරයෙකු ලෙස ය. අනතුරු ව ඔහු ලෝසවෙඅ මාධ්‍යවේදියෙකුට පහර දුන්නේ ය. ලෝසවෙඅ ලොව පතල භාෂා ගනනාවකින් පලකරන බව හා සිංහල හා දෙමල මාධ්‍යන්ගෙන් ද පලවන බව සංගරී නැමැත්තා නොදන්නවා විය නොහැක. උද්ඝෝෂනයේ සංවිධායකයන්ට සහ ඔහුට අවශ්‍ය වී තිබුනේ අප වාර්තාකරුවන්ට එරෙහි ප්‍රකොපකාරිත්වයක් ඇදීමයි.

ලෝසවෙඅ මාධ්‍යවේදියෙකුට පහර දුන් මාධ්‍යවේදියෙකු ලෙස පෙනී සිටි ඥානසංගරී සප්තසංගරී නමැත්තා (ලෝසවෙඅ)

දෙමල ජාතිකවාදයේ හොරනෑවක් වන ලන්ඩනය මූලස්ථානය කර ගත් අයිබීසී තමිළ් වෙබ් අඩවිය ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන්ගේ මැදිහත්වීම ද්වේශ සහගතව වාර්තා කර තිබුනේ, “දෙමල උද්ඝෝෂනය අවමංගත කිරීමට පැමිනි අය පන්නයි” යනුවෙනි. ලෝසවෙඅ වාර්තාකරුවන්ගේ අදහස් විකෘත කරමින් ඔවුන් පල කර තිබුනේ ජාත්‍යන්තර පරීක්ෂනයක් වෙනුවට දේශීය පරීක්ෂනයක් ඉල්ලමින් මෙම උද්ඝෝෂනය අවමංගත කිරීමට අප වාර්තාකරුවන් උත්සාහ කල බවයි. ලෝසවෙඅ වෙබ් ලිපිනය වන wsws.org යන්න හිතාමතා ම විකෘත කරමින් ලිපියේ පල කර තිබුනේ wews.org යනුවෙනි.

අනෙකුත් දෙමල ධනපති පක්ෂ මෙන්ම, යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂනයක් ඉල්ලන අතුරුදහන් වුවන්ගේ සංවිධානයේ නායකයන් ද පෙල ගැසී සිටින්නේ, යුද අපරාධවලට ඍජුවම සම්බන්ධ එක්සත් ජනපද හා යුරෝපිය අධිරාජ්‍යවාදී බලයන් පිටුපස ය. මෙම බලයන්ට ලංකාවේ මානව අයිතීන් ගැන කිසිදු කැක්කුමක් නැත. ඔවුන් උත්සුකව සිටින්නේ ඉන්දියනු සාගාරයේ මූලෝපායිකව වැදගත් තැනක පිහිටි ලංකාව චීනයට එරෙහිව වොෂින්ටනය ගෙනයන යුද සූදානම සමග පෙල ගස්වා ගැනීමටයි.

යුද අපරාධකරුවන්ට දඬුවම් දීම හා දෙමල ජනතාවගේ ප්‍රජාතත්‍රවාදී අයිතීන් තහවුරු කර ගැනීම කල හැක්කේ ලංකාවේ ධනපති පන්ති පාලනය පෙරලා දැමීමට සමාජවාදී ප්‍රතිපත්ති සඳහා කරන අරගලයක් තුල බව අපි යලියලිත් අවධාරනය කර ඇත්තෙමු. ඒ සඳහා ජාත්‍යන්තර කම්කරු පන්තියේ අධාරය ඇතිව සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලයක් දියත් කල යුතුය.

නටරාජා සහ සංවිධායක කල්ලිය දෙමල ධනපති පක්ෂ ද අප 'මොල සෝදනවා' යයි ද 'ඔයගොල්ලෝ කියන දේ වැරදි යයි' ද ගරහන්නේ මෙම නිර්ධන පන්තික පිලිවෙත පැහැදිලිකරමින් ජනතාව ඒ වටා බලමුලු ගැන්වීමට කරන අරගලයට විරුද්ධව ය. ඔවුන්ට උවමනාවී ඇත්තේ දෙමල ජනයා අධිරාජ්‍ය ගැති ධනපති පිලිවෙතක සිරකර තමන්ගේ වරප්‍රසාද රැක ගැනීම ය.

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය ද දෙමල ජාතික සන්ධානය ඇතුලු අනෙකුත් දෙමල ධනපති පක්ෂ ද ගෙනගිය හා ගෙනයන ජාතිකවාදී දේශපාලනය දෙමල ජනයාට අතිශයින්ම හානිකරය.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ මාක්ස්වාදී ප්‍රකාශනයයි. එය සමාජවාදී ක්‍රියාමාර්ගයක පදනම මත ජාත්‍යන්තර කම්කරු පන්තියේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමට සෑම රටක් තුලම සටන් කරයි. ජාත්‍යන්තර කමිටුවේ ශාඛා ලෙස සමාජවාදී සමානතා පක්ෂ මෙම වෙබ් අඩවිය තුලින් තම අරගලය ගෙනයති.

ලෝසවෙඅ, ජාත්‍යන්තර කමිටුව හා ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය එහි කොටසක් ලෙස දෙමල ජනයාට එරෙහි සිංහල ධනපති පන්තිය මුල්වී ගෙනයන සෑම ආකාරයකම භේදකරනයන්ට සහ යුද්ධයට එරෙහිව හා ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැකීම සඳහා සටන් කිරීමේ කීර්තිමත් ඉතිහාසයක් ඇත. අධිරාජ්‍යවාදීන්ගේ ගැත්තන්වන ලංකාවේ ධනපති පන්තියේ පාලනය පෙරලා දමා දකුනු ආසියාවේ සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවකට සටන් කිරීම අපගේ ක්‍රියාමාර්ගයයි.

අතුරුදන්වුවන්ගේ සංගමයේ නිලධරයන්ගේ ක්‍රියා හෙලා දකිනු! ලෝක දෙමල ජාතිකවාදී ධනපති සංවිධානවලට කිසිදු සහයක් නොදෙනු! සමාජවාදී සමානතා පක්ෂය ගොඩනැගීමට එක්වනු!

ලෝක සමාජවාදී වෙබ් අඩවිය හදාරන ලෙසද එය ගොඩනැගීමට එක්වන ලෙසද අපි ඔබෙන් ඉල්ලමු.

Loading