යුද්ධයේ දී අතුරුදන් කරනු ලැබූවන්ගේ ඥාතීහු පන්සියයකට අධික පිරිසක් කිලිනොච්චියේ දී විරෝධතාවයක් පවත්වති

අගෝස්තු 12 සිකුරාදා, උතුරු නැගෙනහිර යුද්ධයේදී අතුරුදන් කරනු ලැබූවන් පිලිබඳව කිලිනොච්චියේ පැවැත්වූ විරෝධතා පා ගමනට ඔවුන්ගේ ඥාතීහු පන්සියයකට අධික සංඛ්‍යාවක් සම්බන්ධ වූහ. කිලිනොච්චියේ කන්දස්වාමි කෝවිල ඉදිරිපිටින් ඇරඹුනු පාගමන ප්‍රධාන මාර්ගය ඔස්සේ නගරයේ මධ්‍යම බස් නැවතුම කරා ලඟා විය. එහි දී විරෝධතාකරුවෝ පිකට් උද්ඝෝෂනයක යෙදුනාහ.

උතුරු නැගෙනහිර යුද්ධයේදී අතුරුදන් කරනු ලැබූවන් පිලිබඳව කිලිනොච්චියේ පැවැත්වූ විරෝධතා පා ගමන (ලෝසවෙඅ)

මෙම විරෝධතාව සංවිධානය කර තිබුනේ උතුරු නැගෙනහිර යුද්ධයේදී අතුරුදන් කරනු ලැබූවන්ගේ ඥාතීන්ගේ සංගමය විසින් ගෙන යන උද්ඝෝෂනයට දින දෙදහසක් පිරීම නිමිත්තෙන්තෙනි.

විරෝධතාවයට සම්බන්ධවූවන්ගේ අවශ්‍යතාවය ලෙස පැවතියේ, සිවිල් යුද්ධය සමයේ දී හමුදාවේ අත් අඩංගුවට ගනු ලැබ අතුරුදන් වූ තම ඥාතීන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂනයක් සිදු කර සත්‍ය තොරතරු දැන ගැනීමයි. 1983 පටන් 26 වසරක් කොලඹ ආන්ඩු දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානයට විරුද්ධව ගෙනගිය වර්ගවාදී යුද්ධයේදී 20,000කට අධික පිරිසක් අතුරුදන් කෙරෙනු ලැබූ අතර ඉන් බහුතරයක් 2009 යුද්ධයේ අවසන් මාසවල අතුරුදන් කෙරුනු ලැබුවෝ වෙති.

ලෝක සමාජවාදී වෙබ් අඩවියට අදහස් දැක් වූ විරෝධතාවට සම්බන්ධ ව සිටි කිලිනොච්චියේ පදිංචි හැත්තෑ දෙහැවිරිදි සිවුදරු මවක වන පද්මරානි පැවසුවේ තම පුතකු වූ පත්මනාදන් 1990 වසරේ ඔක්තෝබරයේ දී මන්නාරමේ කුඩා ආපන ශාලාවක සේවය කරමින් සිටිය දී හමුදාවෙන් අත්අඩංගුවට ගනු ලැබූ බවයි.

පද්මරානි 1993 දී මන්නාරමේ දී හමුදා අත්තඩංගුවට පත් වීමෙන් පසු අතුරුදන් වූ තම පුතුගේ ඡායාරූපය සමග (ලෝසවෙඅ)

“එතකොට මගේ පුතාට වයස අවුරුදු 18ක් විතර ඇති. ඔහු හමුදා අත්අඩංගුවට පත් වූ බව මම දැන ගත්තේ වසර දෙකකට පස්සෙයි. ඔහුව සොයා ගැනීමට බලාපොරොත්තුවෙන් නොගිය තැනක් නෑ. අවුරුදු 32ක් පුරාවට මම ඔහුව දැක ගැනීමට හැකි වනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් සටන් කරනවා” යැයි ඇය පැවසූවා ය. රටකජු වෙලඳාමක් කරමින් ජීවත් වන ඇය ජීවන වියදම් ඉහල යාම හමුවේ තමන් විශාල දුෂ්කරතාවයකට මුහුන දෙන බව ද පැහැදිලි කලා ය.

උතුරු නැගෙනහිර අතුරුදන් කරනු ලැබූවන්ගේ ඥාතීන්ගේ සංගමයේ අරමුන යොමුව පැවතියේ අධිරාජ්‍යවාදී එක්සත් ජනපදය හා යුරෝපා සංගමය පිටුබලය ඇති ජාත්‍යන්තර පරික්ෂනයක් ලබාගැනීමයි.

සංගමයේ ලේකම් ලීලාදේවි ආනන්ද-නටරාජා පසුදා (අගෝස්තු 13) “ළහරම් වොයිස්” නම් යූටියුබ් නාලිකාවකට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක දී මේ දේශපාලන ආස්ථානයන් පැහැදිලි කලා ය.

දෙමල ජනයා ඝාතනය කිරීමට හා අතුරුදන් කිරීම්වලට වගකිව යුතු එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හමුදා ප්‍රධානීන් ජාත්‍යන්තර යුද අධිකරනයට කැඳවා දඬුවම් ලබා දීම, අතුරුදන්වූවන් සම්බන්ධයෙන් පරීක්ෂන පවත්වා ජීවතුන් අතර සිටින අය ඥාතීන්ට ලබා දීම ඇතුලු තම මූලික ඉල්ලීම් සඳහා ලබන මාසයේ එලඹීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසි වාරයේ දී අවධානය යොමු කරවා ගැනීමට තමන් බලාපොරොත්තු වන බව ඇය සඳහන් කලා ය.

අධිරාජ්‍යවාදී බලයන්ගේ සහායෙන් අතුරුදන්වූවන් පිලිබඳව හා යුද අපරාධ විමර්ශනය සඳහා ආධාර ලබාගත හැකි බවට මිත්‍යාව වගාකිරීමට මෙම සංගමය ක්‍රියා කිරීම අහම්බයක් නොවේ. එහි සංවිධායකයෝ, එක්සත් ජනපද ගැති දේශපාලනයක යෙදෙන දෙමල ජාතික සන්ධානය (දෙජාස), දෙමල ජාතික මහජන පෙරමුන සහ දෙමල මහජන සන්ධානයේ සහායකයෝ වෙති.

සත්තකින්ම, යුද්ධයේදී දෙමල සිවිල් වැසියන් දහස් ගනනින් ඝාතනය කිරීම සහ අතුරුදහන් කිරීම ඇතුලු යුද අපරාධවලට වගකිවයුතු මොවුන්ට දඬුවම් ලබාදිය යුතු ය. යුද්ධය ඇරඹුනු තැන් පටන් යුද අපරාධවලට සම්බන්ධවුවන් පිලිබඳව ද මෙය වලංගු ය. එහෙත්, මෙම අධිරාජ්‍යවාදී බලයන්ගේ පිලිසරනින් දෙමල ජනයාගේ හෝ කිසිදු ජන කන්ඩායමක මානව අයිතීන් ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැකගත නො හැකිය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත්වී ඇති මානව හිමිකම් උල්ලංඝනය පිලිබඳ යෝජනාව ඇමරිකාව ප්‍රමුඛ යුරෝපිය රටවල අනුබලයෙන් ඉදිරිපත් කෙරුනේ ලංකාවේ මානව අයිතීන් රැකීමේ අරමුනෙන් නොවේ. ගිය අවුරුද්දේ මාර්තු මාසයේ මෙම යෝජනාව සම්මත විය. එය ඉදිරිපත් කෙරුනේ එවක ජනාධිපති වූ ගෝඨාභය රාජපක්ෂට හා ඔහුගේ ආන්ඩුවට, චීනය සමග සම්බන්ධතවලින් ඉවත්වී, එරටට එරෙහි ඇමරිකාවේ මුලෝපායික යුද උවමනාකම් සමග පෙල ගැසීමට බලකිරීමේ කොටසක් ලෙස ය.

2011 සිට ඇමරිකාවේ අනුග්‍රහයෙන් ලංකාවේ යුද අපරාධ පිලිබඳව ඉදිරිපත්වූ සියලු යෝජනාවල එල්ලය වූයේ එයයි. යුද අවි සහ මුල්‍යාධාර ලබාගනිමින් චීනයට වඩාත් ලං වෙමින් සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුවට බලපෑම් දැමීම සඳහා ඉදිරිපත්වූ යෝජනාවලින් පලක් නොවුවිට 2015 ජනාධිපතිවරනයේදී ඔහු ඉවත් කිරීම සඳහා තන්ත්‍රමාරු මෙහෙයුමක් දියත් කිරීමට ඇමරිකාව , එක්සත් ජාතික පක්ෂයේ නායකයාවන රනිල් වික්‍රමසිංහගේ හා හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ ආධාරයෙන් ක්‍රියාත්මකවී මෛත්‍රිපාල සිරිසේන බලයට ගෙන ආවේය. සියලුම දෙමල පක්ෂ හා සංවිධාන ඍජුව හා වක්‍රව මේ තන්ත්‍ර මෙහෙයුමට සහාය දුන්හ.

පසුගිය තිස් වසරේ අධිරාජ්‍යවාදී යුද්ධවල දී ඇමරිකාව අසරන නිරායුධ සිවිල් වැසියන් දැනුවත් ව සමූලඝාතනය කිරීම සම්බන්ධයෙන් විකිලීක්ස් වෙබ් අඩවිය ප්‍රබල අනාවරනයන් සිදු කලේ ය. ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදු කෙරුනු සිවිල් යුද්ධය දියත්වූයේ ඇමරිකාව ඇතුලු අධිරාජ්‍යවාදීන්ගේ අනුදැනුම සහ ආධාර ඇති වයි.

මේ සත්‍යයන් මුලුමනින්ම ආවරනය කරමින් දෙජාස පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීධරන් අගෝස්තු 12 විරෝධතා පාගමන ආරම්භ වීමට මත්තෙන් මාධ්‍යට පවසා සිටියේ “ඇමරිකාව, යුරෝපා සංගමය සහ ඉන්දියාව ප්‍රජාතන්ත්‍රවාදය මහ ඉහලින් අගය කරන රටවල්” බවයි.

2015 අගභාගයේ දී සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙන ඒමෙන් පසු මානව හිමිකම් කොමිසම විසින් නිර්දේශ කල ජාත්‍යන්තර පරීක්ෂනය වෙනුවට ඊනියා දේශීය යාන්ත්‍රනයක් යෝජනා කෙරුනි. ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත සංචාරය කරමින් අධිරාජ්‍යවාදීන් සමග ගනුදෙනුවලට දෙමල ජාතික සන්ධානයේ නායකයකු වන එම්.ඒ. සුමන්තිරන් ඍජු ව ම සම්බන්ධ විය.

තම ප්‍රශ්නය යට ගැසෙන තත්ත්වයක් තුල දෙමල ජනයා අතර විරෝධය පැන නැගෙන තතු තුල දැන් දින දෙදහසක් පසු කෙරුන විරෝධතා ව්‍යාපාරය 2017 වසරේ පෙබරවාරියේ දී ආරම්භ කෙරුනේ එය අපසරනය කොට දෙමල ජාතිකවාදීන් අත යටට ගැනීමටයි.

කොලඹ ආන්ඩුව 2017 වසරේ ජූලියේ දී කිසිදු බලතලයක් රහිත වූ 'අතුරුදන් කරනු ලැබූවන්ගේ කාර්යාලය' පිහිටවනු ලැබුවේද මෙම විරෝධය අපසරනය කිරීමේ උප්පරවැට්ටියක් ලෙසයි. ඉන් කිසිදු පලක් නොවන බව එලිදරවුවන තතු තුල දෙමල ජාතිකවාදී පක්ෂ ම නැවතත් “ජාත්‍යන්තර පරීක්ෂනයක් සම්බන්ධ ඉල්ලීම” ඉස්මතු කර ඇත.

එය යොදාගෙන ඇත්තේ යුද්ධයේ වින්දිතයන්ගේ ප්‍රශ්න දෙමල ධනපති පන්තියේ උවමනාකම් වලට යටපත් කර ගැනීමයි. ඇමරිකානු අධිරාජයවාදීන්ගේ භු-දේශපාලන හා යුද උවමනාකම් වලට සේවය කිරීමේ ලැබෙන අල්ලසක් ලෙස තමන්ට වරප්‍රසාද ලබා ගැනීමට දෙජාස හා අනෙකුත් සංවිධාන මෙම ද්‍රෝහී වැඩපිලිවෙල ගෙන යති. දෙමල කම්කරුවන් හා පීඩිතයන් මෙම ධනපති පක්ෂවල ප්‍රතිපත්ති මුලුමනින්ම ප්‍රතික්ෂේප කල යුතු ය.

දෙමල ජනවර්ගයට එරෙහි වාර්ගික වෙනස්කම්වල මූලය පවතින්නේ 1948 දී පිහිටවනු ලැබූ ධනේශ්වර රාජ්‍යය තුලයි. එනිසා දෙමල ජනවර්ගයේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සුරක්ෂිත කර ගැනීමට හැකිවන්නේ කම්කරුවන් අවශේෂ පීඩිතයන් රැලිකරගනිමින් ගෙනයන අරගලයක් තුලිනි.

උතුරින් හා නැගෙනහිරින් හමුදා ඉවත් කිරීම, සියලු දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කිරීම, අතුරුදන් කල පුද්ගලයන් පිලිබඳ සියලු තොරතුරු හෙලිකිරීම, යුද අපරාධකරුවන්ට දඬුවම් කිරීම, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ඇතුලු මර්දන නීති අහෝසි කිරීම යන ඉල්ලීම් මෙම අරගලයේ දී ප්‍රමුඛ වේ.

දෙමල, සිංහල හා මුස්ලිම් කම්කරුවන්ගේ එකමුතුවෙන් මෙම ඉල්ලීම් උදෙසා අරගලය කිරීමේ සියලු අවස්ථා දැන් අප ඉදිරියේ බලවත්ව මතු වී පවතී. කොලඹ ධනපති ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහිව දියත් වූ සෑම කම්කරු අරගලයක දී ම මෙම එකමුතුව දකින්නට ලැබුනි. වෙසෙසින්ම, අප්‍රේල් මාසයේ මුලපටන් ජනාධිපති රාජපක්ෂට සහ ඔහුගේ ආන්ඩුවට අස්වන ලෙස බලකරමින් පැන නැගුනු ව්‍යාපාරයේදී හා එහි කොටසක් ලෙස අප්‍රේල් 28 හා මැයි 6 මිලියන ගනන් සම්බන්ධවූ එක් දින වර්ජනයේදී ද මේ එකමුතුව බලගතු ලෙස ප්‍රදර්ශනය විය.

කම්කරුවන් ඒකාබද්ධ අරගලයකට පැමිනියේ, කොලඹ ආන්ඩුවේ හා වර්ගවාදී කන්ඩායම් වල ස්වෝත්තමවාදී ප්‍රකෝපකරනයන් හා උතුරේ දෙමල ජාතිකවාදීන්ගේ වාර්ගික අවිස්සිම් වලද චිරකාලින භේදකරනයේ විසකුරු මැදිහත්වීම් කපාගෙන ය. ජාත්‍යන්තර කම්කරු පන්තියේ සහයෙන් මෙම අරගලය වර්ධනය කල යුතුවේ.

මෙම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දිනා ගැනීම වර්ගවාදී භේදකරනයේ මූලය ලෙස පවතින ධනේශ්වර රාජ්‍යය පෙරලා දමා සමාජවාදී හා ප්‍රජතන්ත්‍රවාදී පිලිවෙත් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක්, එනම්, ශ්‍රී ලංකා ඊලාම් සමාජවාදී සමූහාන්ඩුවක් ස්ථාපිත කිරීම තුලිනි. එය දකුනු ආසියාවේ සමාජවාදී සමූහාන්ඩු සංගමයක් සඳහා අරගලයක කොටසකි. සමාජවාදී සමානතා පක්ෂය (සසප) ඉදිරිපත් කරන්නේ එම වැඩපිලිවෙලයි.

දෙමල පීඩිතයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා අරගලය රට තුල පැන නැගී ඇති මහජන ව්‍යාපාරයෙන් වාර්ගික ව භේද කර තම පන්ති අවශ්‍යතාවල මෙවලමක් කර ගැනීමට දෙමල ජාතිකවාදී දේශපාලනය ගෙන යන විසකුරු උත්සාහය ප්‍රදර්ශනය කරමින් ආනන්ද-නටරාජා මෙසේ ප්‍රකාශ කලාය: “වන්නියේ සිර කර තැබූ කාලයේ දී මීට වැඩිය දුෂ්කර ආර්ථික අර්බුදවලට මුහුන දුන් අපට මේ ආර්ථික ගැටලු කලමනාකරනය කර ගන්න පුලුවන්. අපි සිතන්නේ අපේ අයිතීන් ගැනයි.”

මෙයට ඇත්තේ එක තේරුමකි. කොලඹ ආන්ඩුවේ රුදුරු ආර්ථික කප්පාදුවේ වැඩපිලිවෙලට හා අධිරාජ්‍යවාදී බලයන්ට සේවය කිරීමෙන් දෙමල ජනයාගේ අයිතීන් සුරක්ෂිත කරගත හැකිබවයි. මෙම ප්‍රතිගාමී ප්‍රචාරය තුඩු දෙන්නේ සිංහල දෙමල හා මුස්ලිම් කම්කරුවන් භේද කිරීමට හා දකුනේ සිංහල වර්ගවාදීන්ගේ ප්‍රකෝපකරනය අවුලුවා ගැනීමට හා සමස්ත මහජනතාවන් මැඩලන ඒකාධිපති පාලනයකට දොර විවෘත කිරීමටය. නටරාජා වගුරන්නේ දෙජාස ඇතුලු ධනපති පක්ෂවල ප්‍රචාරයයි.

දෙමල ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සුරක්ෂිත කර ගැනීම සඳහා යොමු විය යුත්තේ අධිරාජ්‍යවාදී අපරාධකරුවන් වෙතට හෝ එහි කනිෂ්ඨ සහකරුවෙකු වන නව දිල්ලිය වෙතට හෝ නොවේ. ජාත්‍යන්තර ව ලෝක ධනපති ක්‍රමයට එරෙහි ව රටක් රටක් පාසා අරගලයට ඇදෙමින් සිටින ජාත්‍යන්තර කම්කරු පන්තිය වෙතටයි. රට තුල දී දෙමල පීඩිතයන්ගේ මිතුරා වන්නේ සිංහල කම්කරු පන්තියයි.

මෙම ක්‍රියා මාර්ගයට සටන් කිරීමට සසප බලගතු වැඩපිලිවෙලක් හා මූලෝපායික ආරම්භකත්වයක් ඉදිරිපත්කර ඇත. එහි කොටසක් වන්නේ, කම්කරුවන් සියලු වැඩපොලවල ද දුගීන් ගම්බදව ද ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීමයි. කිසිදු වෘත්තීය සමිතියක් හෝ ධනපති පක්ෂයක් හෝ ධනපතියන්ට සේවය කරන සංවිධාන කිසිවක් මෙම ක්‍රියාකාරී කමිටු තුලට වැද්ද ගත යුතු නොවේ.

සසප මෙම ක්‍රියාකාරී කමිටුවල නියෝජිතයන්ගෙන් සැදුම්ලත්, කම්කරුවන්ගේ හා ගම්බද ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනගන ලෙස ඉල්ලා සිටී.

මේ ක්‍රියාමාර්ගයට සටන් වදින සසප ප්‍රකාශනය වන ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන්ට විරෝධතාවය ආවරනය කිරීමට හෝ අතුරුදන් කරනු ලැබූවන්ගේ ඥාතීන් සමග සාකච්ඡා පැවැත්වීමට අගෝස්තු 12 දා උද්ඝෝෂනයේ දී එම සංගමය දැනුවත් ව බාධා කරන්නට වූයේ කම්කරු පන්තියේ ස්වාධීන ක්‍රියාමාර්ගයකට ඇති විරෝධය නිසා ය.

මෙම සංවිධාන හා දෙමල ධනපති පක්ෂ ප්‍රතික්ෂේප කර සසප ගොඩනැගීමට එක් වී විප්ලවවාදී සමාජවාදී ක්‍රියාමාර්ගයට සටන් වදින ලෙස කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් අපි ඉල්ලමු.

Loading