මාතර, තිහගොඩදී දහසය හැවිරිදි සිසුවෙකුට පොලීසියෙන් වෙඩි තබයි

පසුගිය ඔක්තෝබර් 28 වැනි දින සවස 4.30 ට පමන, මාතර තිහගො,ඩ කටුවන්තුඩුව ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පාසැල් සිසුන් පිරිසක් හඹාගිය, සිවිල් ඇඳුමෙන් සැරසී සිටි තිහගොඩ පොලිසියේ කන්ඩායමක් එහි සිටි එක් සිසුවකු ගේ හිසට වෙඩි තබා තිබේ.

හරේෂ් හන්සජ දේශාන් 16 හැවිරිදි පාසල් සිසුවා

දැඩි අසාධ්‍ය තත්වයේ ගාල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන හරේෂ් හන්සජ දේශාන් නැමති 16 හැවිරිදි පාසල් සිසුවා මේ වනවිට සැත්කම් දෙකකට භාජනය කොට ඇති අතර තවමත් සිහිසුන් තත්වයේ පසුවෙයි. ඔක්තෝබර් 30වන දින සවස සිට සිසුවාගේ හිසෙහි සිදු වී ඇති බරපතල අනතුර සම්බන්ධයෙන් පරීක්ෂන පැවැත්වූ රෝහලේ වෛද්‍ය කන්ඩායම ප්‍රකාශ කරන්නේ තවදුරටත් ඔහුගේ ජීවිතය දැඩි අවදානම් තත්ත්වයක පසුවන බවයි.

දේශාන් සිසුවා නායිම්බල-බන්ඩත්තර මහා විද්‍යාලයේ 10 වසර පන්තියේ දැනට ඉගෙනුම ලබන අතර ඔහු දරුවන් හය දෙනකුගෙන් යුතු ධම්මිකා මල්කාන්ති හා ටී.බී.ජයතුංග නැමැති මවුපිය දෙපලගේ ලාබාලතම දරුවා ය. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන් දරුවාගේ ඥාතීන් මුනගැසී කල තොරතුරු විමසීමකදී ඔවුන් හෙලි කල පරිදි, අදාල දිනයේදී ඔහු තවත් සිසුන් පිරිසක් සමඟ කාවඩි තැනීම සඳහා මොනර පිහාටු එකතු කිරීමට ත්‍රිරෝද රියෙන් ගමන් කරමින් සිට ඇති අතර, තමාට රියදුරු බලපතක් නොමැති නිසා පොලිස් රිය දැකීමෙන් බියට පත්ව නොනවත්වා ධාවනය කොට ඇත.

දේශාන්ගේ නැන්දනිය ලෝසවෙඅ වාර්තාකරු සමග (ලෝසවෙඅ)

මාර්ගය අබලන්ව පැවතීම හේතුවෙන් රථයේ පාලනය ගිලිහි ගොස් ඇති අතර ඒ මොහොතේ පොලිසිය ත්‍රිරෝදරියට වෙඩි තැබීමට සූදානම් වන විටදී එයින් බැසගත් අදාල සිසුවා “අනේ මාමේ වෙඩි තියන්න එපා” යනුවෙන් පවසද්දී එක් උප පොලිස් පරීක්ෂකවරයෙකු එය නොතකා ඔහුට වෙඩි තබා ඇති බව ඔහුගේ සහෝදරිය පැවසුවාය. ඇය ලෝසවෙඅට තවදුරටත් පැවසුවේ අදාල පොලිස් නිලධාරියා ඒ මොහොතේදී බීමතින් සිටි ඇති බවයි. “අපේ මල්ලි කවදාවත් නරක දෙයක් කරපු කෙනෙක් නෙවෙයි, එයා යාලුවොත් එක්ක ගියේ පන්සලේ පිංකමට මොනර පිහාටු එකතු කරන්න. අපේ තාත්තා අපිව ජීවත් කරන්නේ ගොවිතැන් කරලා. මේ කරපු අසාධාරනය මහපොලොව උහුලන්නේ නැහැ” යැයි ඇය පැවසුවාය.

සිසුවාට වෙඩි තැබීමෙන් කුපිත වූ අසල්වැසියන් සිය ගනනක් තිහගොඩ පොලිසිය ඉදිරිපිටට පැමින විරෝධතා පැවැත්වූහ. එම විරෝධතා මධ්‍යයේ මේ වනවිට අදාල උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කර තිබේ. මුලදී මාධ්‍ය වාර්තා කල පරිදි පොලීසිය තමන්ට එල්ලවෙන චෝදනාවෙන් ගැලවීම සඳහා “වැටලීමකදී ගිනි අවියක් වැරදීමකින් ක්‍රියාත්මක වී” ඇති බවට බේගලයක් ගොතා තිබුනි.

“පොලීසියේ ඉහල නිලධාරීන්ගේ සෘජු අධීක්ෂනය යටතේ” සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂන පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පවසා ඇතත් ඇසින් දුටු බොහෝ සාක්ෂිකරුවන්ට අනුව අපරාධයක් බව එක එල්ලේම පෙනෙන මෙම වෙඩි තැබීම, ඒ ආකාරයෙන් පිලිගැනෙන කිසිදු ප්‍රකාශයක් පොලිසිය හෝ ආන්ඩුව පාර්ශවයෙන් මෙතක් සිදුකොට නොමැත.

ලංකාවේ පොලිසිය නිරායුධ සිවිල් වැසියන්ට වෙඩි තැබීම, පහරදීම, සැකකරුවන් රිමාන්ඩ් භාරයේදී මරා දැමීම, සැකකරුවන් වධ බන්ධනයට ලක්කිරීම ආදියෙහි කුප්‍රකටය. පහත දැක්වෙන්නේ තිහගොඩ සිද්ධිය ආකාරයේ සිදුවීම් කීපයකි:

* 2021 මැයි 17 වැනිදා, වැලිගමදී කොවිඩ්-19 නිරෝධායනය කඩ කලේ යැයි 49 හැවිරිදි ඩී.සුනිල් ඉන්ද්‍රජිත් නැවැත්වූ පොලිසිය, ඔහුට පහර දෙන ලෙස සිවිල් පොලිස් සේවකයකුට නියෝග කලේය. එම ප්‍රහාරයෙන් ඔහු මහමග ඇදවැටී ඒ අසලින් ගිය බස් රථයකට යටවී මිය ගියේය.

*2021 ජූනි 3 වැනිදා, මඩකලපුවේ පදිංචි 22 හැවිරිදි චන්ද්‍රන් විදූෂන්, තම නිවසින් පිටත ගසක බැඳි පොලීසිය ඔහුට පොලුවලින් දරුනු ලෙස පහර දී ඇත. පසුව පොලිස් ස්ථානයට රැගෙන ගිය විදූෂන් එහිදී මියගොස් තිබේ. පොලීසිය ව්‍යාජ ලෙස පැවසුවේ, මත්ද්‍රව්‍ය අධිමාත්‍රාවක් ගැනීමෙන් ඔහු මිය ගිය බවයි.

*2020 ජූලි 11 දා, අඟුලාන, ලුනාව ප්‍රදේශයේදී 39 හැවිරිදි ධීවරයෙකු වූ අමිත් කරුනාරත්න ලුනාව පාලම අසල දී පොලිස් වෙඩි පහරකින් මිය ගියේය. එදින අලුයම තම ධීවර ආම්පන්න ද රැගෙන ත්‍රිරෝද රථයක නැගී මූදු යාමට ගිය කරුනාරත්න, අඟුලාන පොලීසියේ නිලධාරීන් තිදෙනෙකු විසින්, පාලම අසල දී නවතා ඇත. එහිදී ඇතිවූ වචන හුවමාරුවක් අතරතුර පොලීසිය ඔහුට වෙඩි තබා තිබේ.

ආර්ථික අර්බුදයේ කරවටක් ගිලි ඇති රනිල් වික්‍රමසිංහ ආන්ඩුවේ කප්පාදු වලට සහ ජීවන කොන්දේසි මත එල්ල කෙරෙන ප්‍රහාර වලට එරෙහිව අරගලයට ඇදෙන කම්කරුවන් සහ අවශේෂ පීඩිතයන්ට එරෙහිව රුදුරු මර්දනයක් දියත් කිරීම සඳහා පොලිසිය සහ හමුදාව අත පුලුල් බලතල ගොනු කිරීමත් සමඟ මෙවැනි ලේවැකි භාවිතයන් පවත්වාගෙන යාමට ඔවුනට වැඩි තල්ලුවක් ලැබී ඇත.

පොලිසිය විසින් සිදු කරන මෙවැනි වෙඩි තැබීම් හෝ වෙනත් අඩන්තේට්ටම් වල දී වින්දිතයන් බවට පත්වන අයගෙන් බහුතරය සමාජයේ වඩාත් දුගී ස්ථරයන් ට අයත් වෙයි. මෙය ජාත්‍යන්තර ප්‍රපංචයක් වන අතර, එය පංති පීඩනයේ අත්‍යන්ත අංගයකි. පොලීසිය විසින් මෙවැනි ඝාතන දහස් ගනනක් සිදුකර ඇති එක්සත් ජනපදයේ 2020 දී සිදු කෙරුනු ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය ඒ පිලිබඳ කැපී පෙනෙන උදාහරනයකි.

ඇෆ්රිකානු ඇමරිකානුවකු වන ෆ්ලොයිඩ් පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුගේ ග්‍රහනයට ලක්ව මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ලෝසවෙඅ හි පලවූ 'ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය සහ එක්සත් ජනපදයේ පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහි සටන ලිපියේ සඳහන් වූ පරිදි;

'රාජ්‍ය ම්ලේච්ඡත්වයේ සහ ප්‍රචන්ඩත්වයේ මූලික ප්‍රභවය මූල්‍ය කතිපයාධිකාරය සහ කම්කරු පන්තිය අතර ගැටුම යි. මෙම ම්ලේච්ඡත්වය අවසන් කල හැකි දේශපාලන ව්‍යාපාරයක්, එනම් දේශපාලන බලය තමන් අතට ගෙන ධනේශ්වර ලාභ ක්‍රමය අවසන් කිරීමට සමස්ත කම්කරු පන්තියේම ස්වාධීන හා එක්සත් ව්‍යාපාරයක් සඳහා වෛෂයික කොන්දේසි ද එම ගැටුම විසින්ම නිර්මානය කෙරෙයි.'

සමාජවාදී සමානතා පක්ෂය විසින් කැඳවා ඇති 'කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනය' එවන් ව්‍යාපාරයක් ගොඩනැගීමේ අත්‍යවශ්‍ය අංගයකි.

Loading