ටෙලිකොම් වෘත්තීය සමිති එකතුව පුද්ගලීකරනයට එරෙහි පිකට් උද්ඝෝෂනය නතර කරයි

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පුද්ගලීකරනය කිරීමට එරෙහිව දෙසැම්බර් 02 දා පැවැත්වීමට නියමිතව තිබූ පිකට් උද්ඝෝෂනය, එය කැඳවූ ශ්‍රී ලංකා ටෙලිකොම් සමිති එකතුව විසින් නතර කර දැමින.

ශ්‍රී ලංකා ටෙලිකොම් කම්කරුවන් 2022 නොවැම්බර් 28 වන දින කොලඹ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට පිකට් කරමින් [ඡායාරූපය: ලෝසවෙඅ]

සියලු විදුලි සංදේශ සේවකයින්ගේ සංගමය (සිවිසංසේසං), පොදුජන ප්‍රගතිශීලී ටෙලිකොම් සේවක සංගමය (පොප්‍රටෙසේසං), ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය (ශ්‍රීලංනිසේසං), සමගි සේවක සංගමය (සසේසං) සහ ජාතික සේවක සංගමය (ජාසේසං) ඇතුලු වෘත්තීය සමිති 20 කින් ටෙලිකොම් වෘත්තීය සමිති එකමුතුව (ටෙවෘසඑ) සමන්විත වෙයි.

සමිති නිලධරය විසින් මෙම පියවර ගනු ලැබුවේ, දිවයින පුරා පිහිටි ශ්‍රී ලංකා ටෙලිකොම් ශාඛාවන්හි සේවයේ නියුතු සිංහල හා දෙමල කම්කරුවන් දහස් ගනනක්, පුද්ගලීකරනයට එරෙහිව, නොවැම්බර් 25 සහ 28 යන දිනයන්හි ප්‍රාදේශීයව පැවැත් වූ විරෝධතා උද්ඝෝෂනයන්ට සහභාගි වීමෙන් අනතුරුව, දෙසැම්බර් 02 දා කොලඹට පැමින තම විරෝධය පල කිරීමට සූදානමින් සිටි තත්වයක් තුලය.

සියලු කම්කරුවන් දෙසැම්බර් 2 දා කොලඹට ගෙන්වා 'දැවැන්ත උද්ඝෝෂනයක්' පවත්වන බව මුලදී කියා සිටි සමිති නිලධරය, පසුව කොලඹ හා පිටපලාත්හි වෙන වෙනම පිකට් උද්ඝෝෂන පවත්වනබව කම්කරුවන්ට දැනුම් දුන්නේය. අවසානයේදී කොලඹ කම්කරුවන් උද්ඝෝෂනයට සූදානම් වන විට නිලධරය පැවසුවේ නිසියාකාර සංවිධානය නොකල නිසා උද්ඝෝෂනය අවලංගු කල බවයි.

මෙය, කම්කරුවන් අතර වැඩුනු විරෝධය දියකර හැරීමට දැනුවත්ව ක්‍රියාත්මක කල සැලසුමක් බව ඉතා පැහැදිලි ය. 28 දා පැවති උද්ඝෝෂනයෙන් පසු, ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ වෙනත් අය සමග වැසූ කාමරවල සාකච්ඡාවන්හි නිරත වූ සමිති, එම සාකච්ඡා පිලිබඳ කිසිවක් පහල සාමාජිකත්වයට වාර්තා නොකල හ. අවසානයේදී කම්කරුවන්ගෙන් කිසිදු විමසීමකින් තොරව උද්ඝෝෂන නතර කල නිලධරයේ මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී සහ ද්‍රෝහී පිලිවෙතට එරෙහිව කම්කරුවන් අතර බලගතු විරෝධයක් වැඩෙමින් පවතී.

ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන කාර්යාලයේ මූල්‍ය අංශයේ සේවකයෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) මෙසේ පැවසුවේ ය: “ආයතනයේ සේවකයින්ගේ උනන්දුව තියෙනවා පුද්ගලීකරනය පරාජය කරන අරගලයක් කරන්න. ඒත් සමිති එක්ක ඒක කරන්න බැරිබව මේ අත්දැකීමෙනුත් පැහැදිලියි.'

රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලික අංශයට පැවරීම හෙවත් පුද්ගලීකරනය වනාහි, ගැඹුරු ආර්ථික අර්බුදයක ගිලී සිටින රනිල් වික්‍රමසිංහ ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (ජාමූඅ) ඉල්ලා සිටින හදිසි ඇප නය වෙනුවෙන් එම ආයතනය නියම කරන ලද නියෝග වලට අනුකූලව, නොවැම්බර් 14 දින ඉදිරිපත් කරන ලද 2023 සඳහා වන වාර්ෂික අයවැයෙන් ප්‍රකාශයට පත් කරන ලද රුදුරු කප්පාදු වැඩපිලිවෙලෙහි ප්‍රධානතම අංගයකි. පෞද්ගලීකරනය කිරීමට නියමිත රාජ්‍ය ව්‍යවසායන් අතරට ශ්‍රී ලංකා ටෙලිකොම් ද අයත් වේ.

පුද්ගලීකරනය තුලින් කම්කරුවන් දසදහස් ගනනකගේ රැකියා අහෝසි කිරීමේ, වැඩවේගවත් කිරීමේ සහ දීමනා කපා දැමීමේ තර්ජනය බලගතුව ඉස්මතු කෙරී පවතී. දැනටමත් ටෙලිකොම් ආයතනය තුල මෙම කප්පාදු ආරම්භ කෙරී පවතී. දෙසැම්බර් මාසයේ ලබාදෙන බෝනස් මුදලින් පසුගිය අප්‍රේල් මාසයේ ලබාදුන් බෝනස් මුදල අඩුකර ඇත්තේ ආන්ඩුවේ බදු ගෙවීමට සිදුවන බව පවසමිනි.

මෙම කපා හැරීමෙන් අඩු වැටුප් ලබන කම්කරුවන් වඩාත්ම දුෂ්කරතාවට ඇදවැටෙනබව කම්කරුවෝ ලෝසවෙඅ ට කියා සිටියහ.

වසර දහයකට ආසන්න කාලයක් සොච්චම් වැටුපකට සේවය කල මිනිස් බල කම්කරුවන්ගේ රැකියාව දැනට වසර තුනකට පෙර ස්ථිර කරන අවස්ථාවේ ඔවුනගේ සේවා කාලය ලෙස සලකා ඇත්තේ වසර තුනක් පමනි. මෙය බලගතු අසාධාරනයක් බව එම සේවකයෝ පවසති. ඔවුනගේ මූලික වැටුප රු 30,000ක් පමන වෙයි. ඉන් එක් කම්කරුවෙක් කියා සිටියේ වේගයෙන් ඉහල නගින උද්ධමනය මගින් ජීවත්වීම අසීරු කර ඇති තත්වයේදී ලමයි දෙදෙනාගේ පොත්පත් වලට පමනක් රු 30,000ට වඩා වියදම් වන බවයි. අනෙක් කම්කරුවන්ට සමාන බෝනස් මුදලක් ඉල්ලා උද්ඝෝෂන කරන නමුත් වෘත්තීය සමිති ඒ පිලිබදව මුනිවත රකින බව ඔවුහු පවසති.

මෙම තතු තුල, ජනාධිපති වික්‍රමසිංහ යලියලිත් කියා සිටින්නේ, හදිසි නීතිය පනවා, පොලීසිය හා හමුදාව යොදවා කම්කරු උද්ඝෝෂන මැඩ ජාමූඅ න්‍යා ය පත්‍රය අකුරටම ක්‍රියාත්මක කරන බවයි. ජාත්‍යන්තර මුල්‍ය ප්‍රාග්ධනයේ මෙම ප්‍රහාරයන් ට එරෙහි සටන වෘත්තීය සමිති යටතේ සහ ඒවා විසින් තොරොම්බල් කරන ආන්ඩුවට බලපෑම් දැමීමේ බංකොලොත් වැඩපිලිවෙල ඔස්සේ දශමයකුදු ඉදිරියට ගෙන යා නොහැකි බව මෙහි අර්ථයයි.

ලෝසවෙඅ නිරන්තරව පෙන්වා දෙන පරිදි මෙම වෘත්තීය සමිති සියල්ල ගැටගැසී ඇත්තේ කප්පාදු හා පුද්ගලීකරනය සඳහා සහාය දක්වන හෝ සැබවින්ම එය ක්‍රියාත්මක කරන පාර්ලිමේන්තු සංස්ථාපිතයේ පක්ෂ සමග ය.

'ශ්‍රී ලංකාවේ ටෙලිකොම් කම්කරුවන් පෞද්ගලීකරනයට එරෙහිව විරෝධතාවයක' යන හිසින්, නොවැම්බර් 30 දා, ලෝසවෙඅ පල කෙරුනු ලිපිය පෙන්වා දුන් පරිදි:

“පුද්ගලීකරනයට එරෙහි සටන ඉදිරියට ගෙනයාම සදහා අවශ්‍ය වන්නේ පාලක පන්තියේ ආර්ථික ප්‍රහාරයට එරෙහිව ගම්බද දුගීන්ගේ සහාය ඇතිව කම්කරු පන්තියේ පොදු අරගලයක් සංවිධානය කිරීම සඳහා සෑම වැඩබිමකම, කර්මාන්තශාලාවකම, අසල්වැසි ප්‍රදේශයකම සහ ග්‍රාමීය ප්‍රදේශවල ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමයි. මෙම කමිටු, ඉන්දියාවේ සහ ජාත්‍යන්තරව එම ප්‍රහාරවලටම මුහුන දෙන කම්කරුවන් සමග ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය එක්සත් කිරීමේ පදනම සපයනු ඇත.

සමාජවාදී සමානතා පක්ෂය (සසප), ශ්‍රී ලංකාව පුරා කම්කරුවන්ගේ හා ගම්බද දුගීන්ගේ ක්‍රියාකාරී කමිටු වලින් තෝරා පත් කරගත් නියෝජිතයින් හරහා ගොඩනගන, කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් කැඳවීමට සටන් වදියි. මෙය දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තරව සමාජවාදය සඳහා වන පුලුල් අරගලයේ කොටසක් ලෙස සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නංවන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන සටන ඉදිරියට ගෙන යනු ඇත.”

Loading