ශේක්ස්පියර් සහ අනෙකුත් සම්භාව්‍ය කෘතීන් මත ඩිස්රප්ට් ටෙක්ස්ට්ස් වෙබ් අඩවිය එල්ල කරන ප්‍රහාරය: මුදල්, අඥානකම හා සමාජ පසුගාමීත්වය

[මෙය Disrupt Texts’ assault on Shakespeare and other classics: Money, ignorance and social backwardness මැයෙන් 2021 නොවැම්බර් 29දා පල වූ ලිපියේ පරිවර්තනයයි.]

බ්‍රිතාන්‍ය රංගන ශිල්පී ලෝරන්ස් ඔලිවියර්, කාල වර්න පුද්ගලයෙකු ලෙස වෙස් ගන්වනු ලදුව “වැනීසියේ යෝනකයාගේ” චරිතය රඟදක්වන, ස්ටුවර්ට් බර්ට් විසින් 1965 දී නිර්මානය කරන ලද, විලියම් ශේක්ස්පියර්ගේ ඔතෙලෝ හි චිත්‍රපට ප්‍රවාචය උපාධි අපේක්ෂක සම්මන්ත්‍රනයක දී ප්‍රදර්ශනය කිරීම නිසා, ඈන් ආබර්හි මිචිගන් විශ්ව විද්‍යාලයේ දී, ලේඛකයෙකු හා මහාචාර්යවරයෙකු වන බ්‍රයිට් ෂෙං ඔක්තෝබර් මස මුලදී ප්‍රහාරයට බඳුන් විය. විශ්ව විද්‍යාලයෙහි ක්‍රියාව ආරක්ෂා කරන්නන් ෂේක්ස්පියර් විවෘත ලෙස හෙලා දැකීමෙන් වැලකී සිටිය ද, මෙම දක්ෂිනාංශික සමාජ කොටස් යොමු වී සිටින්නේ ඒ දෙසට ය.

මෙම සිද්ධිය විශ්ව විද්‍යා ල මන්ඩපවල සිදු වන වඩා පුලුල් සංසිද්ධියක් කෙරේ අවධානය යොමු කරවයි. මෑත අවුරුදුවල දී, පෞරානික ග්‍රීක-රෝමානු ඉතිහාසය, සාහිත්‍යය හා දර්ශනය අධ්‍යයන ක්ෂේත්‍රයක් ලෙස ප්‍රහාරයට ලක් වූයේ, ෂේක්ස්පියර් ද, ඔහුට අමතර ව ජෙෆ්රි චෞසර්, රොබට් බර්න්ස්, එඩ්ගාර් ඇලන් පෝ, චාල්ස් ඩිකන්ස්, වෝල්ට් විට්මන්, මාක් ට්වේන්, අර්නස්ට් හෙමිංවේ, ජෝර්ජ් ඕවල්, ජෝන් ස්ටෙයින්බෙක්, ජේ. ඩී. සැලින්ගර්, පිලිප් රොත්, ගියාකොමෝ පුස්සිනි, ටයිටියන්, පෝල් ගෝගින්, පැබ්ලෝ පිකාසෝ, එගෝන් ෂීලේ, හෙන්රි මැටිස් හා අනෙකුත් බොහෝ විසදෘශ චරිත ද සමඟිනි. අද්‍යතන ඉහල මධ්‍යම පන්තියේ සංවේදිතාවයට එරෙහි පවුකාරයන් ලෙස පසුව සඳහන් සියල්ලෝ සලකනු ලැබෙති.

“ඉගැන්විය යුතු ද නොඋගන්වා සිටිය යුතු ද ? (To Teach or Not to Teach): අද දින ශිෂ්‍යයන්ට ෂේක්ස්පියර් තවමත් අදාල ද?” යන [ශේක්ස්පියර්ගේ හැම්ලට් නාටකයේ එන සුප්‍රකට යෙදුම වූ To be or not to be යන්න සිහිගන්වන - පරිවර්තක] හිසින් මේ වසර මුල දී ද ස්කූල් ලයිබ්‍රරි ජර්නලය නින්දිත ලිපියක් පල කලේ ය. “ෂේක්ස්පියර්ගේ කෘති වනාහි, ස්ත්‍රී විරෝධය, වර්ගවාදය, සමලිංගික භීතිකාව, පන්තිවාදය, යුදෙව් විරෝධය හා කලු කාන්තාවන්ට එරෙහි විරෝධය අඩංගු කරගත් ගැටලු සහගත යල්පිනූ අදහස්වලින් ගහන ඒවා” බවට එය තර්ක කලේ ය.

“පසුගිය වසර 400කට අධික කාලය තුල, වේදනාව, ආදරය, ඉතිහාසය, හාස්‍ය ය හා මනුෂ්‍යත්වය පිලිබඳ ව සුවිශිෂ්ට ලෙස ලියා ඇති අනෙකුත් අසංඛේය කතුවරුන්ට වඩා,ශේක්ස්පියර් වටිනා හෝ අදාල වන්නේ ද? සිද්ධාන්තයන්ගේ සෙසු ප්‍රමිතිගත ආධාරකයන් සමගින්, අධ්‍යාපනඥයන්ගේ දිනෙන් දින වැඩෙන සංඛ්‍යාවක් මෙසේ අසමින් සිටින්නේ, නූතන, බහුවිධ හා සියල්ල අන්තර්ගත වන අදහස් වලට ඉඩ දෙනුවස් ශේක්ස්පියර් පසෙකට තල්ලුකල යුතුය, නැතහොත් ඔහු කෙරෙහි වන අවධාරනය අත්හල යුතු ය යන නිගමනයට පැමිනෙමිනි” යනුවෙන් ලිපිය දිගට කියාගෙන යයි.

පාසල් පුස්තකාල ඉවත් කිරීමට හා ඒවා හිස් කිරීමට කැපවී සිටින බවක් පෙනී යන The School Journal සඟරාව, මධ්‍යකාලීන හා පුනරුද අධ්‍යයනයන් පිලිබඳ ඇරිසෝනා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා හා ඇරිසෝනා ප්‍රා න්ත විශ්ව විද්‍යා ලයේ ඉංග්‍රීසි මහාචාර්යවරියක වන අයන්නා තොම්සන්ගේ කියාපෑමක් මෙසේ උපුටා දක්වයි: ශේක්ස්පියර් යනු “ඉංග්‍රීසි අධිරාජ්‍යය තුල ජීවත් වූ කලු හා දුඹුරු ජනයා ‘ශිෂ්ඨාචාර’ කිරීමට භාවිතා කල ආම්පන්නයකි. බ්‍රිතාන්‍ය රජුට යටත් ඉන්දියාව යටත්විජිතකරනය සඳහා බ්‍රිතා න්‍යයන් විසින් දැරුනු ප්‍රයත්නයන්ගේ කොටසක් ලෙස ප්‍රථම ඉංග්‍රීසි සාහිත්‍ය විෂය මාලාව ගොඩනඟන ලදී. ශේක්ස්පියර්ගේ නාට්‍යවලට, එම නව විෂය මාලාවේ කේන්ද්‍රස්ථානය හිමි විය.

මෙය ඉතිහාස-විරෝධී අභූතයකි. වෙනත් ඕනෑ ම කලාකරුවෙකුට වඩා, මරනයෙන් පසුව, තම කෘති භාවිතා කිරීම හෝ අවභාවිතා කිරීම පිලිබඳ ව ශේක්ස්පියර් වගකිව යුතු වූයේ කෙසේදැයි තොම්සන්ට විස්තර කල හැකි ද? “විජිතකරන ප්‍රයත්නයන්ගේ” කොටසක් ලෙස, ගනිතය, භෞතික විද්‍යාව හා ජීව විද්‍යාව ද ඉන්දියාව තුල උගන්වන ලද බව අප උපකල්පනය කරනු ඇත. යූක්ලීඩ්, නිව්ටන් හා ඩාවින් ද එලෙසින් ඉවතට විසිකර දැමිය යුතු ද?

කොයිහැටි වෙතත්, නාට්‍ය රචකයා “විජිතවාදයේ කොටසක් බවට පත් වූවා නම්, මිනිසුන් ඔහුගේ කෘති හෝ වෙනත් ඕනෑම දෙයක් හෝ ‘විශ්වීය’ යැයි පවසන විට එයින් අදහස් කරන්නේ කුමක්ද යන්න සලකා බැලිය යුතු තවත් උපකල්පනයක් වෙතැයි” ජර්නලය නගන තර්කයට, එතැන් සිට ඇත්තේ කුඩා දුරක් පමනකි. අනන්‍යතා දේශපාලනයේ තෝතැනිවලින් එකක් වන Ann Arbor හි Skyline High School හි ඉංග්‍රීසි භාෂා කලා අංශයේ ප්‍රධානියා වන ජෙෆ්රි ඔස්ටින් මෙසේ කියයි: “[එම] ප්‍රකාශයේ සුදු කමට අප අභියෝග කල යුතුයි: ආධිපත්‍යයික වටිනාකම් ‘විශ්වීය’ වන්නේ යැයි හෝ එසේ විය යුතු යැයි යන අදහස හානිකර ය.” අන්ත දක්ෂිනාංශය සමග ඓතිහාසිකව සම්බන්ධ වූ මෙම වර්ගයේ වාර්ගික බලපෑම් සහිත විවරන, වර්තමානයේ “වාම” විවේචන ලෙස පිලිගැනේ.

ප්‍රධාන වසයෙන් උසස් පාඨශාලා ගුරුවරුන් එල්ල කර පවත්වා ගෙන යන ඩිස්රප්ට්ස් ටෙක්ස්ට්ස් වෙබ් අඩවිය, ශේක්ස්පියර් කෘතීන් සහ එෆ්. ස්කොට් ෆිට්ස්ජෙරල්ඩ්ගේ ද ග්රේට් ගැට්ස්බි, හාපර් ලීගේ ටු කිල් අ මොකිංබර්ඩ් හා ආතර් මිලර්ගේ ද කෲසිබල් ඇතුලු අනෙකුත් වැදගත් පුද්ගලයන් හා කෘතීන් විස්ථාපනය කිරීම වෙනුවෙන් විනාශකාරී ලෙස පෙනී සිටින්නකි. “අපගේ ශිෂ්‍යයන්ට යෝග්‍ය වන වඩාත් පරිග්‍රාහක, නියෝජනාත්මක හා අපක්ෂපාතී භාෂා කලා විෂය මාලාවක් නිර්මානය කිරීම සඳහා සාම්ප්‍රදායික සංහිතාවට අභියෝග කිරීම” තම මෙහෙවර බව එය කියා සිටියි.

එවන් පුද්ගලයන් විසින් “පරිග්‍රාහක” හා “නියෝජනාත්මක” යන වචනභාවිතා කරනු ලබන විට, කම්කරු පන්තික මහජනයාගේ සංස්කෘතිය හා අධ්‍යාපනය පලල් කිරීමක් ඉන් අදහස් නො කෙරේ. ඊට විපරීත ව, එය වනාහි, ඉතා හොඳින් ගෙවීම් කරන අප්‍රිකානු-ඇමරිකානු, ලතින් හා අනෙකුත් “මාධ්‍ය උපදේශකයන්,” “බහුවිධ විශේෂඥයන්” හා තවත් එවන් විවිධාකාර ආයතන තුල වඩා වැඩි සහභාගීත්වයක් සඳහා වන ඉල්ලීමකි.

“ඩිස්රප්ට් ටෙක්ස්ට්ස්” යන්නෙන් කවරක් අර්ථවත් වේ ද? “වාරනය ගැන විශ්වාස නො කරන අපි පොත් තහනම් කිරීමට කවරදාක වත් සහයෝගය දී නැත්තෙමු” යි වෙබ් අඩවිය ආරක්ෂාකාරී ලෙස සඳහන් කරයි. එය බොරු කියයි. “වර්ගවාදී, හානිකර පඨිතයන් විතැන් කරන ලෙසට අපි ගුරුවරුන් ව දිරිමත් කරන්නෙමෝ ද? නිරපේක්ෂ ව ම එසේ යි. විශිෂ්ට පඨිතයක් උගන්වන අතර ම ඔබට හානිකර බලපෑමක් ඇති කල හැකි ද? ඔව්” යැයි එහි නියෝජිතයෝ ට්විටර් ගිනුම් මත ලියති.

2021 දී, එක්සත් ජනපදයේ පන්ති කාමර තුල උගන්වමින් තිබූ “වර්ගවාදී, හානිකර කෘතීන්” මොනවා ද? ඒ හිට්ලර්ගේ මයින් කාම්ෆ් (මගේ අරගලය) ද?, ප්රොටෝකෝල්ස් ඔෆ් දි එල්ඩර්ස් ඔෆ් සියොන් (සියොන් වැඩිහිටියන්ගේ චාරිත්‍ර) ද? නැත, මේ මිනිසුන්ගේ සිත් තුල පවතින්නේ, අනෙකුත් අය අතර ෆිට්ස්ජෙරල්ඩ්, හාපර් ලී, ආතර් මිලර් හා ශේක්ස්පියර්(ගේ කෘතීන් පිලිබඳව) ය. “මෙම හඬවලට අඛන්ඩ ව අවකාශය දීමෙන් ඉවතට චලනය වීම,” යන්නෙහි අර්ථය, ඉවත් කිරීම; එනම්, පඨිතයන් වාරනය කිරීම හා මර්දනය කිරීම; නො වේ නම් වෙන කුමක් ද?

“බොහෝ ‘සම්භාව්‍ය කෘතීන්’ ලියන ලද්දේ 50 ගනන්වලට පෙර බව ඔබ සියලු දෙනා දැන සිටියේ ද? ඊට පෙර එක්සත් ජනපද සමාජය හා මෙම ජාතිය ඉන්පසුව හැඩගැන්වූ වටිනාකම් ගැන සිතන්න. මේ කෘතිවල තිබෙන්නේ එයයි. අප එය වෙනස් කල යුත්තේ ඒ නිසා ය. එය හුදෙක් ‘පැරනි වීම’ පමනක් නො වේ” යැයි ඩිස්රප්ට්ටෙක්ස්ට්ස්හි සම-ආරම්භකවරුන්ගෙන් එක් අයෙකු වන ලොරේනා ජර්මාන් ට්විටර් පනිවුඩයක ලියා ඇත.

මේ ඉතිහාසය, සාහිත්‍යය හෝ වෙනත් කිසිදු වැදගත් විෂයයක් ගැන කිසිවක් නො දන්නා අයෙකි. භාෂාවේ දරිද්‍රතාව හා පසුගාමීත්වය, සංකල්පයන්ගේ දරිද්‍රතාව හා පසුගාමීත්වය සමග ගැලපෙයි. මෙම තැනැත්තියට ඇයට සිතැඟි පරිදි කටයුතු කිරීමට ඉඩ තිබුනේ නම්, හෝතෝන්, මෙල්විල්, පෝ, විට්මන්, ට්වේන්, ක්රේන්, වෝටන්, නොරිස්, ලන්ඩන්, සින්ක්ලෙයාර්, ඩ්රෙයිසර්, කැතර්, හෙමිංවේ, ෆිට්ස්ජෙරල්ඩ්, ලුවිස් හා අනෙකුත් අය පාසල් විෂය මාලාවලින් හලා දමනු ඇත.

ඇමරිකානු සිහිනයේ හිස් බව, ධනවතුන්ගේ නින්දිත බව සහ දේශපාලනික දඩයම්වල හා වර්ගවාදී බොරු නඩුවල ස්වභාවය හා විපාක ඇතුලු ඇමරිකානු සමාජයේ අංශයන් පිලිබඳ ව ඉහලින් ම විවේචනශීලී වන ද ග්රේට් ගැට්ස්බි, ද කෲසිබල් හා ටු කිල් අ මොකිංබර්ඩ් යන කෘතීන් තුන ප්‍රහාරය සඳහා ඩිස්රප්ට්ටෙක්ස්ට්ස් විසින් තෝරාගැනීමේ කරුන, තමන් වෙනුවෙන් කතා කිරීමකි. මෙම බලවේගයන් කෘතියක් තක්සේරු කරන එක ම නිර්නායකය වන්නේ, එය ඔවුන්ගේ වර්ගවාදී පිලිවෙත හා මූල්‍ය අවශ්‍යතාවන් කොතරම් පරිමාවකින් ඉදිරියට දමන්නේ ද යන්න යි. කලාව හා සත්‍යය සැලකිල්ලට භාජනය නො වේ.

මෙම වෙබ් අඩවිය විසින් කර ගසන විශේෂයෙන් දුෂ්ට ව්‍යාපෘතියක් වන්නේ, ශේක්ස්පියර්ට එරෙහි එහි උද්ඝෝෂනය යි. 2018 ඔක්තෝබරයේ දී ට්විටර් ගිනුම මත ජර්මාන් මෙසේ නිවේදනය කලා ය: “ඩිස්රප්ට්ටෙක්ස්ට්ස් ෂේක්ස්පියර්ට අභියෝග කරයි. ඔබගේ පාසලේ හෝ නිවසේ ශේක්ස්පියර්ව ඉගැන්වීම විවේචනශීලී ලෙස කඩාකප්පල් කිරීමේ දී ඔබට ආධාර වන ප්‍රශ්න, සාකච්ඡා හා සම්පත් ඔබ මෙහි දී සොයාගනු ඇත. අදහස් පලකරමින් බෙදාහරින්න!”

වඩාත් ඍජු ව පවසන්නේ නම්: “ශේක්ස්පියර් ඉගැන්වීම කඩාකප්පල් කිරීම” වෙනුවෙන් පෙනී සිටින අයවලුන් කෙරේ අත්‍යන්ත අවඥාවෙන් යුතු ව සැලකිය යුතු අතර, බලහත්කාරෙන් කඩාවැදී පොත්වලට ගිනි තබන දක්ෂිනාංශික දාමරිකයන්ට වඩා ඔවුන්ගේ ඇති හොඳක් නැත.

“සහකාර කඩාකප්පල්කරුවන්ට” ආමන්ත්‍රනය කරනු ලබන, සිය “පිලිසඳර: ශේක්ස්පියර් කඩාකප්පල් කිරීම” තුල ඩිස්රප්ට්ටෙක්ස්ට්ස් වෙබ් අඩවිය මෙසේ තර්ක කරයි: “අන් ඕනෑ ම නාට්‍ය රචකයෙකු සතුව ඇති පරිද්දෙන් ම, අඩුවකින් හෝ වැඩියකින් තොර ව, ශේක්ස්පියර් සතුව ද සාහිත්‍යමය හැකියාවක් තිබේ. ඔහු අනෙකුත් කතුවරුන් එසේ නො වන ආකාරයකින් ‘විශ්වීය’ වන්නේ නො වේ. ඒ අන් කිසිවෙකුට වඩා ඔහු ‘අකාලික’ ද නැත.” ඔහුගේ නාට්‍ය “ගැටලුකාරී චිත්‍රනයන් හා චරිත නිරූපයන් සිත් තුල රඳවන” අතර, ඒවා “ප්‍රචන්ඩත්වය, ස්ත්‍රී විරෝධය, වර්ගවාදය හා තවත් දේ” අඩංගු කරගන්නා බව පාඨකයාට දැනුම් දෙනු ලැබේ.

ප්‍රථම කොට ම, සෑම නාට්‍ය රචකයෙකුට ම “අඩු වැඩියකින් තොර ව සාහිත්‍යමය හැකියාවක් පවතී” යන මුග්ධ අවධාරනය - ඉදින් එයින් කුමක් අදහස් කෙරෙතත් - ප්‍රසිද්ධියේ පලකරන පුද්ගලයන් හා ස්වයං-ප්‍රකාශිත “අධ්‍යාාපනඥයන්” බැරෑරුම් ලෙස ගනන් ගැනීම නො කල හැක්කකි. ඉතිරිය ගැන කියන්නේ නම්, “ඕනෑ ම අන් නාට්‍ය රචකයෙකුට” වැඩි වටිනාකමක් ශේක්ස්පියර්ට නැතැයි යන අවධාරනය, සමස්තයක් ලෙස ගෝලීය සංස්කෘතිය හා මනුෂ්‍ය වර්ගයා විසින් පසුගිය වසර 400 පුරා, දැනට මත් විනිශ්චය කරනු ලැබ ඇත. ඔහුගේ කීර්තිය සුරක්ෂිතය. ඩිස්රප්ට්ටෙක්ස්ට්ස් සිය ආස්ථානයන් නිසා තමා ම අපකීර්තියට පත් කොට ගෙන ඇත.

අපි තව දුරටත් කියවා බලමු: “සමස්තයක් ලෙස, අපගේ පාසල් තුල ශේක්ස්පියර් අධි-සන්තෘප්ත ව ඇති බවත්, බොහෝ ගුරුවරුන් දිගට ම, සියලු භාෂාවන් විසින් අත්පත් කරගනු ලැබිය යුතු පරමාදර්ශයක උත්කෘෂ්ට ස්ථානයට අනවශ්‍ය ලෙස ඔහු ඔසොවා තබන බවත් අපි එක දිගට ම ප්‍රකාශ කරමු.” ඩිස්රප්ට්ටෙක්ස්ට්ස් අවධාරනය කරන සංවාදය වන්නේ, “අනෙකුත් හඬවල් බැහැර කෙරෙන ආකාරයකින් ශේක්ස්පියර් සහජ ලෙස හා සමාග්‍රාහී ලෙස ඔසවා තැබීමක් පිලිබඳ ව යි. මෙය ධවල ආධිපත්‍යය හා විජිතකරනය පිලිබඳ දෙයකි” යන්නයි.

ඇල්කොහොලික්ස් ඇනොනිමස් යන, සුරා පානයෙන් වැලැකී සිටීමෙන් සුරා ඇබ්බැහියෙන් මිදීමට කැප වූ වෙබ් අඩවිය මෙන් මෙම වෙබ් අඩවිය ද, ෂේක්ස්පියර්ට ඇබ්බැහි වී සිටීමෙන් නිදහස් වී ඇති ගුරුවරුන් විසින් ඉදිරිපත් කරන කෙටි කථාන්තර සම්පාදනය කරයි. මිචිගන් ප්‍රාන්තයෙහි ෆ්ලින්ට් නගරයේ එවන් එක් ගුරුවරියක්, 2018 දී පලකරන ලද එලිසබෙත් අසවේදුගේ ද පොයෙට් එක්ස් සමගින් සාකච්ඡා කරමින්, ටු කිල් අ මොකිංබර්ඩ් සහ රෝමියෝ ඇන්ඩ් ජුලියට් යන කෘතීන් “විතැන් කිරීමට” ඇය ගත් තීරනය විස්තර කරයි. මෙය, “අපේ විෂය මාලාවන්ට පීඩා පමුනුවන සම්භාව්‍ය කෘතීන් කඩාකප්පල් කිරීමේ දී ගත් හොඳ පලමු පියවරක්” යයි විස්තර කරන ඇය, “එම කතන්දර දෙකෙන් එකක් හෝ යලි ඉගැන්වීමට මා ආපසු පැමිනිය ද, ලී හා ශේක්ස්පියර් යන දෙදෙනා ම පදනම් වන පීඩක ව්‍යූහය පෙන්වා දීම පිනිස අනාගතයේ දී මා ඉතා හොඳින් සන්නද්ධ ව සිටින බව මම දනිමි” යැයි නිගමනය කරයි. (අවධාරනය ඈඳිනි.)

කොතරම් ජුගුප්සාජනක විකාරයක් ද මේ! විශේෂයෙන් ම, එදා මෙදා තුර කවර දා හෝ, ප්‍රේක්ෂකයන් පිරිසක් ඉදිරියට ගෙනැවිත් ඇති වඩාත් ම ඛේදාන්තමය, වේදනාකාරී කතාවලින් එකක් වන රෝමියෝ ඇන්ඩ් ජුලියට් කෘතියට එරෙහි ව උද්ඝෝෂනයක් ගොඩනැගීමේ දී, ජර්මාන් සහ සමාගම කොතරම් නිර්භීත හා ගෞරවනීය වෙත් ද? විනාශයට නියම වූ ගැටවර ප්‍රේමවන්තයෝ යලිත් වතාවක් විනාශයට නියම කරනු ලැබ සිටිති; මෙවර එසේ නියම වී ඇත්තේ, වාර්ගිකව ප්‍රතිෂ්ඨාපිත, මෙලෝ දෙයක් නොදන්නා අඥානයන් අතිනි!

මෙය වනාහි, මිනිස් මනසේ හා ජීවගුනයේ වඩාත් ම මාහැඟි හා සියුම්තම නිර්මානයන් වෙත ප්‍රවේශ වීමෙන්, තරුන ජනයා වැලැක්වීමට දරන දැනුවත් උත්සාහයකි. එය, දැනටමත් විනාශකාරී දේශපාලනික, සමාජීය හා මෑතක දී සෞඛ්‍යමය ප්‍රතිවිපාක අත්විඳ ඇති ඇමරිකානු සමාජය, ක්‍රමානුකූල ව දලදඬු කිරීමේ හා “නිශ්ශබ්ද කිරීමේ” ද උත්සාහයේ කොටසකි.

මෙය පැමිනෙන්නේ “වමෙන්” නො ව දකුනෙනි. හිස් “වර්ගවාද-විරෝධී” පූච්චානම් නො තකා, ශ්‍රේෂ්ඨ සාහිත්‍යය හා කලාව පිලිබඳ මෙම හෙලාදැකීම්, මූලික ජර්මානු සම්භවයෙන් තරමක් වෙනස් කල විට, “සංස්කෘතිය යන වචනය ඇසෙන විට, මම මගේ තුවක්කුවට ලඟා වෙනවා” යන සුප්‍රකට ආස්ථානයට වගකිව යුතු නාසි-ගැති කවියා හා නාට්‍ය රචකයා වූ හාන්ස් ජෝස්ට්ගේ සම්ප්‍රදාය සමග ගැලපේ.

ඩිස්රප්ට්ටෙක්ස්ට්ස්හි “ඉගෙනුම් මාර්ගෝපදේශනයන්” අතරට, වර්ගවාදී උන්මත්තකයෙකු හා තෙල් බේත්කාරයෙකු වන ඊබ්රාම් එක්ස්. කෙන්ඩිගේ ඇන්ටිරේසිස්ට් බේබි අයත් වේ. දැන් (2020 දී ඩොලර් බිලියන 23ක ආදායමක් ජනනය කරගත්) බර්ටේල්ස්මන් මාධ්‍ය බහ්වාධිකාරයේ පාලනය යටතේ පවතින පෙන්ගුවින් ක්ලැසික්ස්, නින්දිත ලෙස සිය වෙබ් අඩවියේ පහත සඳහන් දෙය නිවේදනය කරමින්, ගුරුවරුන්ට හා පුස්තකාලයාධිපතිවරුන්ට කෙන්ඩිගේ පිලිකුල් සහගත කෘතිය ඇතුලු ඉගෙනුම් මාර්ගෝපදේශන සම්පාදනය කරයි: “ඔබේ පන්ති කාමරයට හෝ පුස්තකාලයට සාධාරනය ගෙන ඒම සඳහා ඔබට උදව් වීම පිනිස මෙම සම්පත් රැගෙන ඒමේ දී ඩිස්රප්ට්ටෙක්ස්ට්ස් සමග අපි ගෞරවනීය ලෙස එක්සත් වෙමු!” යෝධ අන්තර්ජාතික ප්‍රකාශකයෙක් පොත් පුලුස්සන්නන් සමග හවුල් ව්‍යාපාරයක!

දැවැන්ත මුදල් සම්භාරයක් මෙය තුල ක්‍රියාත්මක වී තිබේ. 2020 දී එක්සත් ජනපද ඩොලර් බිලියන 7.5ක් යයි තක්සේරු කරන ලද “බහුවිධකරනය හා අන්තඃකරනය” සඳහා ගෝලීය වෙලඳපොල, 2026 දී ඩොලර් බිලියන 15.4 දක්වා ලඟා වනු ඇතැයි ප්‍රක්ෂේපනය කරනු ලැබේ. මෙම වංචාකාරීත්වය පිලිබඳ කවර ආකාරයක හෝ හෙලිදරව්වක් විසින්, වාසිදායක වෘත්තීන් ද, ඉලක්කම් හයේ වැටුප් ද, “බහුවිධත්වය, සාධාරනය හා අන්තර්කරනය” (ඩීඊඅයි) පිලිබඳ ව්‍යාපෘතීන් ද, “සම්මත” හා “මෙවලම් කට්ටල” ද, (වර්ගය, පක්ෂපාතීත්වය, අධ්‍යාපනය හා සමාජය යන ඒවායේ අන්තර්ඡේදනයට අවබෝධ කරගැනීමට සහභාගි වන්නන්ට උදව් කිරීම ඉලක්ක කරගත් වැඩමුලු හා කථික සැසිවාර සපයන අධ්‍යාපනික උපදේශන කන්ඩායමක් වන ජර්මාන්ගේ ම බහුසංස්කෘතික පන්ති කාමරය) වැනි උපදේශන සංගතයන් ද අනතුරේ හෙලනු ලබනු ඇත.

යෞවන පාඨකයන් සඳහා ලියන ලේඛිකාවක් වන ජෙසිකා ක්ලූස්ට අප්‍රසන්න ආකාරයෙන් ඉගෙන ගැනීමට සිදු වූ පරිදි, “ඩිස්රප්ට්ටෙක්ස්ට්ස්” කඩාකප්පල් කිරීම හෝ හුදෙක් සරල ව එය විවේචනය කිරීම හෝ සිදු කරන්නේ නම්, ඔබ ම අනතුරේ හෙලා ගනිමින් එසේ කරන්න! 2020 නොවැම්බරය අගභාගයේ දී, “50 ගනන්වලට පෙර ලියන ලද” කෘතීන්ට ජර්මාන් එල්ල කල මුග්ධ හා උන්මාදනීය ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස, කෝපාන්විත ට්විටර් පනිවුඩ මාලාවක් පලකරමින් ක්ලූස් පිලිතුරු දුන්නා ය.

ඇය මෙසේ ලියුවා ය: “ද ස්කාලට් ලෙටර් තුල, (නතානියෙල්) හෝතෝන් සිටින්නේ විනිශ්චයකාරී සදාචාරවාදීන්ගේ පාර්ශවයේ යයි ඔබ සිතන්නේ නම්, එවිට ඔබ ඒකාන්ත තකතීරුවෙකු වන අතර, ඔබගේ ජීවදත්ත සටහන තුල අධ්‍යාපනඥයා යන පදවිය තිබීම යුතු නැත.” ඇය තව දුරටත් මෙසේ කියයි: “යුප්ටන් සින්ක්ලෙයා සිටින්නේ මස් සැකසුම් කරන කර්මාන්තයේ පැත්තේයයි ඔබ සිතන්නේ නම්, ඔබ මෝඩයෙකු වන අතර, ඔබ වාඩි වී තමන් ගැන ලජ්ජා විය යුතුය.” සෝරා නීලේ හර්ස්ටන්ගේ “දෙයා අයිස් ව’ වොචිං ගෝඩ් හා අනෙකුත් අත්‍යසාමාන්‍ය හාලෙම් පුනරුදයේ සාහිත්‍යය” පිලිබඳ ව ද සඳහන් කරමින් ඇය තවදුරටත් ප්‍රකාශ කලේ, “මෙම බුද්ධි-විරෝධී, කුතුහල-විරෝධී වල්පල් විෂකුරුය; එය අමු ම අමු අනර්ථකාරීත්වයක් බවට මම මෙහි සිටගෙන කෙස් හැලෙන තෙක් කෑමොර ගසන්නෙමි. ඒ ගැන මට ගානක් නැතැ' යි යනුවෙනි. “(හෙන්රි ඩේවිඩ් තෝරෝගේ) වෝල්ඩන් කෘතියේ ම්ලේච්ඡ යටත් වීම හා විෂකුරු පිරිමිකම මූර්තිමත් කිරීම” ගැන ද ඇය උපහාසයෙන් යුතුව අදහස් පල කල අතර, ඉනික්බිති එවන් අඥාන ප්‍රකාශයන් සමග එකඟ වන්නන්ගෙන් ඇය ඉල්ලා සිටියේ “කුඩා ටින්ටස් ඇනයක් මත වාඩි වී භ්‍රමනය වන” ලෙස ය.

මුලුමනින් ම යෝග්‍ය වූ හා ඉතා අවශ්‍ය ව තිබූ ඇයගේ අදහස් දැක්වීම්වලට ප්‍රතිචාර ලෙස, ක්ලූස් “ප්‍රචන්ඩ” ලෙස තර්ජනය කරන “වර්ගවාදිනියකැයි” යන ජර්මාන් විසින් පොලඹවන ලද ප්‍රකෝපකාරී ප්‍රහාරයකට බඳුන් වූවාය. අවාසනාවන්ත ලෙස පීඩනයට දන ගැසූ ක්ලූස් නො වටිනා ලෙස සමාව අයැදීමක් කලා ය. ඇයගේ සාහිත්‍ය නියෝජිතයා, ආදර්ශවත් ලෙස ධෛර්යය සම්පන්න ක්‍රියාවක යෙදෙමින්, ලේඛිකාව තම සේවාලාභී ලේඛනයෙන් කටු ගා දැමී ය. ඩිස්රප්ට්ටෙක්ස්ට්ස්හි සිටින ලැප්ටොප් පරිඝනක හා ට්විටර් ගිනුම් ඇති ම්ලේච්ඡයෝ නව මැකාතිවාදයක් භාවිතා කරන්නෝ වෙති.


ෂේක්ස්පියර්, යුදෙව්වාද විරෝධය, වර්ගවාදය, ස්ත්‍රී විරෝධය

එවැනි නඩ සාමාන්‍යයෙන් පදනම් වන්නේ ​ඓතිහාසික හා සංස්කෘතික ඥානයේ අඩු මට්ටමක් මත යි. ශේක්ස්පියර් “විජිතකරනය” හා සාමාන්‍යයෙන් අධිකාරය නියෝජනය කරතියි ද ඔහුගේ කෘති පවත්නා පර්යාය යුක්තිසහගත කරතියි ද යන මතභේදයට තුඩු දෙන ඔවුන්ගේ ආස්ථානය, ​ඓතිහාසික අත්දැකීම ඉදිරියේ ගුවනින් පලා යයි. යථාර්ථයේ දී, ශේක්ස්පියර් නිරන්තරයෙන් පීඩිතයන්ට හා පෑගෙන මිනිසුන්ට ආයාචනා කර ඇති අතර, අවම වසයෙන් වසර දෙසීයකට වැඩි කාලයක් පුරා ඔවුන්ගේ ආකර්ශනය දිනාගෙන ඇත.

ඒ ඉතා හොඳ හේතුවක් නිසා ය. අසාධාරනය හා නපුරුකම නාට්‍යවේදියා විසින් ව්‍යක්ත ලෙස හෙලා දැකීම මෙන් ම, පුද්ගලික විමුක්තිය පිලිබඳ ඔහුගේ තේමාව, තවමත් ප්‍රේක්ෂකයන්ට හා කියවන්නන්ට අනුප්‍රානය සපයයි. යුදෙව් විරෝධයට, ස්ත්‍රී විරෝධයට හා වර්ගවාදයට එරෙහි නවීන විරුද්ධත්වය ආරම්භ වන්නේ ශේක්ස්පියර් සමගින් යැයි තර්ක කල හැකි ය.

ද මර්චන්ට් ඔෆ් වැනිස් (වැනීසියේ වෙලෙන්දා) නාට්‍යයේ එන මුදල් පොලියට දෙන යුදෙව්වා වන ෂයිලොක්ගේ කතාව, සාහිත්‍ය ඉතිහාසය තුල එන අතිශයින් ම කදිම හා කෝපාවිෂ්ට සමානාත්මතාවාදී ප්‍රකාශනයන්ගෙන් එකක් ලෙස තවමත් ශේෂ ව පවතී: “යුදෙව්වාට දෙනෙත් නැද්ද? එක ම ආහාර බුදින, එක ම ආයුධවලින් තුවාල ලබන, එකම රෝගවලට බඳුන් වන, එක ම ඖෂධවලින් සුවය ලබන, ක්‍රිස්තියානීන් මෙන් එක ම ශීත ඍතුවේ දී හා ග්‍රීස්ම ඍතුවේ දී සීතල හා උනුසුම අත්විඳින යුදෙව්වාට අත්, අවයව, පිරිවිතර, සංවේදනා, ලෙන්ගතුකම්, ආශාවන් නැද්ද? ඔබ ආයුධයකින් ඇන්නහොත්, අපෙන් ලේ ගලන්නේ නැද්ද? ඔබ කිතිකැව්වහොත්, අපට හිනා යන්නේ නැද්ද? ඔබ අපට වස දුන්නොත්, අපි මැරෙන්නේ නැද්ද? ඔබ අපට වැරැද්දක් කලහොත්, අපි පලි නො ගත යුතු ද?”

කියවීමට හෝ සිතීමට නො හැකි බව පෙනෙන ෂේක්ස්පියර්ගේ ස්ත්‍රීවාදී හෙලාදකින්නන්ගේ පහසුව පිනිස, එකී නාට්‍ය රචකයා ඔතෙලෝ නමැති නිර්මානය තුල කාන්තාවන් හා බිරින්දෑවරුන් වෙනුවෙන් (පලිගැනීම පිලිබඳ අනතුරු ඇඟවීම ඇතුලු ව) ෂයිලොක්ගේ ප්‍රකාශයට සමාන ආයාචනයක් ඇතුලත් කර ඇති බව සඳහන් කල යුතු ය. නාට්‍යයේ අවසන් අවස්ථාවේ දී වීර චරිතයක් බවට පත්වන ඉයාගෝගේ බිරිඳ වන එමීලියා, ඇයගේ ස්වාමිපුරුෂයා විසින් නිහඬ කිරීමට විරෝධය පල කරමින් -එය ඇයගේ ජීවිතය අවසන් වීමට හේතු වුව ද- “පහර දෙන,” මුදල් “හිඟ” හෝ .තමන්ගේ බිරින්දෑවරුන්ගේ විශ්වාසය බිඳින බව පෙනී යන මිනිසුන්ට එරෙහි ව කතා කරන්නේ, ඔතෙලෝට හා දෙස්දෙමෝනාට එරෙහි ඉයාගෝගේ පාපිෂ්ඨ කුමන්ත්‍රනය හෙලිදරව් කරමිනි

... සැමියන්ට දැනෙන්නට හරින්න

බිරින්දෑවරුන්ට ද ඔවුන්ට සේ ම සංවේදනා පවතින බව:

පෙනෙන බව හා ගඳ සුවඳ දැනෙන බව,

සිය සැමියන්ට මෙන්ම

රසය හා නීරසය දැනෙන ඉන්ද්‍රීයයන් ඇති බව.

අනෙකුන් වෙනුවෙන් අප මාරු කිරීම ක්‍රීඩාවක් ද?

එයට උපත දෙන්නේ අනුරාගය ද?

මට සිතෙන්නේ එසේය;

ඉදින් වැරදි කරන්නේ අස්ථිරත්වය නිසා නම්,

පිරිමින්ට මෙන් අපට අනුරාගය නොමැතිද?

ක්‍රීඩාවට ලොල් බව, අස්ථිරභාවය

පිරිමින්ට මෙන් අපට නොමැති ද?

එසේනම්, ඔවුන් අප යථා සේ භාවිතා කල යුතුය;

නො එසේ නම්,

අපේ වරදට අපට උපදෙස් දෙනු ලබන්නේ

ඔවුන්ගේ වරද විසින් බව ඔවුන්ට දන්වන්න

නැවතත් කියන්නේ නම්, සමාජීය හා ඓතිහාසික කරුනු හේතුවෙන්, ශේක්ස්පියර්ගේ නාට්‍යවල බහුල වසයෙන් පිරිමි චරිත ආධිපත්‍යය දරතත්, දෙස්දෙමෝනාට හා එමීලියාට අමතර ව, කිසිදු ආකාරයකින් සෑම චරිතයක් ම වර්නනා කල යුතු හා ආකර්ශනීය නො වෙතත්, සුවිශිෂ්ට හා විවිධාකාර ගැහැනු චරිත ඔහු විසින් නිර්මානය කෙරී ඇත: ක්ලියෝපැට්රා (ඇන්ටනී ඇන්ඩ් ක්ලියෝපැට්රා), රොසලින් (ඇස් යූ ලයික් ඉට්), බියට්රිස් (මච් අඩෝ අබවුට් නතිං), කෝඩෙලියා හා ගොනේරිල් (කිං ලියර්), ග’ටෲඩ් හා ඔෆීලියා (හැම්ලට්), ඉසබෙලා (මෙෂර් ෆෝ මෙෂර්), මිරැන්ඩා (ද ටෙම්පස්ට්), ඔලීවියා හා වයෝලා (ට්වෙල්ෆ්ත් නයිට්), පෝෂියා (ද මර්චන්ට් ඔෆ් වැනිස්), ටයිටේනියා (අ මිඩ්සමර්’ස් නයිට් ඩ්රීම්), ක්රෙසීඩා (ට්රොයිලස් ඇන්ඩ් ක්රෙසීඩා) හා අනෙකුත් චරිතවලට අමතර ව, සත්තකින්ම, මැක්බත් ආර්යාව ද වසයෙනි.

අප්‍රිකානු ඇමරිකානුවන් ශේක්ස්පියර්ට ආකර්ශනය වීම, “ධවල” පීඩනය හා විජිතවාදය “ජාත්‍යන්තරීකරනය” වීමක් නියෝජනය කරන බව යෝජනා කරමින්, මහජන මතය නිද්‍රාගැන්වීමට ඩිස්රප්ට්ටෙක්ස්ට්ස් උත්සාහ දරයි. ඓතිහාසික වාර්තාව ඔවුන්ට එරෙහි ව කතා කරන නිසා එය විකෘති කිරීමට හෝ මුලුමනින් ම ඉවත් කිරීමට ඔවුහු උත්සාහ දරති. සත්‍ය වසයෙන් ම කිවහොත්, වඩාත් ම කැරලිකාරී හා දුරදක්නාසුලු අප්‍රිකානු ඇමරිකානුවෝ බොහොමයක් ශේක්ස්පියර්ගේ කෘතිවලට ආකර්ශනය වී ඇත්තාහ.

සාහිත්‍ය විචාරකයන් විසින් සඳහන් කර ඇති පරිදි, මුදල් නයට දෙන යුදෙව්වාට එක් විශිෂ්ට කථනයක් සම්පාදනය කරන අතරතුර ම ශේක්ස්පියර් උතුරු අප්‍රිකානු ජනරාල් ඔතෙලෝ මත කේන්ද්‍රගත වන සමස්ත ඛේදාන්ත නාට්‍යයක් රචනා කලේය. සියෙරා ලියෝන්හි ශාස්ත්‍රාලික හා සාහිත්‍ය විචාරක එල්ෆ්‍රඩ් ඩුරෝසිමි ජෝන්ස් සිය ඔතෙලෝ’ස් කන්ට්රිමන්- දි ඇප්රිකන් ඉන් ඉංග්ලීෂ් රිනයිසන්ස් ඩ්‍රාමා (ඔතෙලෝගේ දේශවාසීන්- පුනරුද සමයේ ඉංග්රීසි නාට්‍ය තුල අප්‍රිකානුවා) නම් 1965 පලකල විශිෂ්ට අධ්‍යයනය තුල තර්ක කරන පරිදි ශේක්ස්පියර්, ඉංග්‍රීසි වේදිකා නාට්‍ය කලාවේ ද, 1600 ගනන් වල මුල් භාගයේ ලන්ඩනයේ වීදිවල සිටි අප්‍රිකානුවන්, අරාබි ජාතිකයන් හා කලු ජාතිකයන් පිලිබඳ ව වැඩෙමින් තිබූ මහජන අත්දැකීම්වල ද පසුබිම “අතිශය සංවේදී ලෙස යොදා ගනිමින්, ව්‍යංගාර්ථ සඳහා එහි ඇති විභවයන් ප්‍රයෝජනයට ගෙන ඇත්තේ, ඒ අතර ම, ඒකාකෘතීන්ගෙන් ඉවතට යමින්, අවසානයේ ඔතෙලෝ කිසියම් වර්ගයක ප්‍රකාශනයක් ලෙස නොව, සිය ඇද වැටීම විසින් සංකේතවත් කරනු ලබන සුවිශේෂී පුද්ගලයෙකු සේ, මුවර්වරුන්ගේ දුබලතාවයක් ලෙස නොව මිනිස් ස්වභාවයක් සේ දක්වමිනි.” “ඔහුගේ සියලු (ඉහත) අවාසිදායක සන්ථවයන් ද සමගින් මුවර් ජාතිකයා, තමා නිර්මානය කල නාට්‍ය අතරින් වඩාත් ම ප්‍රකම්පිත ඛේදාන්ත නාට්‍යයක වීරයා බවට” පරිවර්තනය කිරීමට ​ශේක්ස්පියර් සමත් වූ බව ජෝන්ස් පසුව එකතු කලේ ය.

ට්‍රොට්ස්කි වරක් නිරීක්ෂනය කල පරිදි, මානව වචනය යනු “සියලු ද්‍රව්‍යයන්ගෙන් වඩාත් ම සැහැල්ලු එක යි.” සිවිල් යුද යුගයේ හිටපු වහලුන්, සාර්වාදී රුසියාවේ දරිද්‍රතාවට ඇද දමන ලද හා පරිපීඩිත පලාත්බද යුදෙව්වන්, වික්ටෝරියානු එංගලන්තයේ චාටිස්ට්වාදීන්, 20වන ශතවර්ෂයේ අභිමුව දී කම්හල්වල දරුනු සේවා කොන්දේසි යටතේ ඩාදිය හෙලූ නිව් යෝක් නගරයේ කම්කරුවන් යන සියලු දෙනාට ශේක්ස්පියර් සහ ඔහුගේ දැවැන්ත නාට්‍ය හා තේමාවන් තමන්ගේ ම කර ගැනීමට හැකි වූ අතර, ඔවුහු එසේ කලෝය.

අප්‍රිකානු ඇමරිකානුවන් ශේක්ස්පියර්ට අභිමුඛ වීමේ දී, ඔතෙලෝ සහ ෂයිලොක් ප්‍රමුඛ ව පෙනී සිටිති. ටාෆ්ට් විශ්ව විද්‍යාලයේ හීතර් එස්. නේතන්ස්, “ඉගෙනුම් හා විචක්ෂන අධ්‍යයන මාවතක්: සිවිල් යුද්ධයට පෙර ඇමරිකාවේ ශේක්ස්පියරියානු අධ්‍යාපනය සහ රඟහල” නමැති ඇයගේ රචනාව, මෙම විශිෂ්ට ඡේදයෙන් ආරම්භ කරයි:

ඇමරිකන් මියුසියම් (1787 සැප්තැම්බරයේ දී ව්‍යවස්ථාව මුද්‍රනය කල පලමු සඟරාව) නමැති මැතිව් කේරිගේ ජනප්‍රිය ෆිලඩෙල්ෆියා සඟරාව, ‘ඔතෙලෝ’ යනුවෙන් තමන් හඳුන්වා ගත් කලු ජාතික කතුවරයෙකු විසින් ලියන ලද, විප්ලවයෙහි පොරොන්දුව සම්පූර්න කරන ලෙස හා වහල් ක්‍රමය අහෝසි කරන ලෙස ජාතියේ ධවල පුරවැසියන් දිරිමත් කරන ලිපියක් 1788 දී මුද්‍රනය කලේ ය. ෂේක්ස්පියර්ගේ රනශූර නායකයාගේ ඖදාර්යය හා අධිකාරය ආරූඪ කර ගනිමින් කතුවරයා අනතුරු ඇඟවූයේ, වහලුන් දිගට ම තබා ගනිමින් ධවල ඇමරිකානුවන් ස්වභාවධර්මයේ නීති නො සලකා හැරිය හොත් ඔවුන් දිව්‍යමය යුක්තිය තමන් මත පතිත කරවා ගනු ඇති බවයි. මෙකී දිව්‍යමය යුක්තිය ඉටු කරනු වස් ‘විනාශයේ ඊතල හාත්පස පතුරුවා මුදා හරිනු වස් නිර්මාපකයාගේ පලිගැනීම දැන් තටු ගසමින් පවතිනු විය හැකිය.’ ඊලඟ වසරේ දී, ඇමෙරිකන් මියුසියම් සඟරාවේ පල වූ තවත් ලිපියක නිර්නාමික කතුවරයෙකු, වහල් ක්‍රමය පිලිබඳ තම තර්කයට සහාය පිනිස ශේක්ස්පියරියානු වාගලංකාරය සේවයට කැඳවී ය. තමන් ද පැරැනි වහලෙකු ලෙස විස්තර කල ඔහු, ජාතියේ කලු පුරවැසියන්ට සාධාරනත්වය අයැදිමින්, ශේක්ස්පියර්ගේ මර්චන්ට් ඔෆ් වැනිස් කෘතියෙන් මෙසේ භාවානුවාදය කලේ ය: “නීග්‍රෝවරයෙකුට දෙනෙත් නැද්ද? නීග්‍රෝවරයෙකුට දෑත්, අවයව, පිරිවිතර, සංවේදන, ප්‍රේමයන්, අනුරාගයන් නැද්ද?’

මෙයට වැඩිදුර අදහස් එකතු කිරීම අනවශ්‍ය ය. නිදහස් ප්‍රකාශනයේ ප්‍රතිඥාව ඉටු කිරීම හා වහල් දේපොල ක්‍රමය අහෝසි කිරීම සඳහා වන සටනට ඇමරිකානු සමාජය සූදානම් කරනු වස් ඔතෙලෝ සහ ෂයිලොක්ගේ සුප්‍රකට කතා කැඳවා ඇත. එකී සටන, ඉදිරි වසර 73ක් ගෙවුනු තැන, සිවිල් යුද්ධය තුල පූර්න-පරිමාන ගැටුමක් ලෙස පුපුරා යාමට නියමිත විය.

“මුල් ඇමරිකානු සංස්කෘතිය තුල අප්‍රිකානු ඇමරිකානුවන් ශේක්ස්පියර්ට අභිමුඛ වූයේ කෙසේ ද ඇයි ද හා කොතැනදී ද යන්න සෑමවිට ම පැහැදිලි නැත” යි නේතන්ස් වැඩිදුරටත් ලියයි. නිදහස් පාසල් හා රංගශාලාවල භව්‍ය භූමිකාවන් ගැන සඳහන් කිරීමෙන් පසු, විවිධ උතුරු හා නැගෙනහිර නගර තුල පැන නැගුනු, 50කට අධික “අප්‍රිකානු ඇමරිකානු සාහිත්‍ය සමාජ” පිලිබඳ ව ඇය සටහන් කරයි. නේතන්ස් මෙසේ ඉදිරියට යයි: “1850 ගනන් වන විට, රංග ශාලාව, පන්ති කාමරය හෝ සීමිත පාඨක සමාජයක් තුල අප්‍රසිද්ධියේ වේවා, ඇමරිකානු කලු ජාතික අධ්‍යාපනික අත්දැකීමෙහි වැදගත් කොටසක් බවට ශේක්ස්පියර් පිලිබඳ දැනුම පත්ව තිබුනි.”

දැනට දන්නා පලමුවැනි කලු ජාතික නාට්‍ය කන්ඩායම වන දි ඇෆ්රිකන් කම්පනි (අප්‍රිකානු සමාගම), 1821 වසරේ නිව් යෝක් නගරයේ ඇෆ්රිකන් ග්රෝව් රංග ශාලාවේ දී ආරම්භ වී, වාර ගනනාවක් ක්‍රියාත්මක විය. එහි පලමු නිෂ්පාදනය ශේක්ස්පියර්ගේ III වන රිචඩ් වූ අතර, ඉන් ටික කලකට පසු ඔතෙලෝ නිෂ්පාදනය කරනු ලැබී ය. ඔහියෝ ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ඇන්තනී ඩුවාන් හිල්ට අනුව, සමාගමෙහි “ප්‍රධාන නලුවන් වූයේ, පලමුවැනි අප්‍රිකානු ඇමරිකානු ෂේක්ස්පියරියානු නලුවා වූ ජේම්ස් හෙව්ලෙට් (1778-1836) හා තරුන නව යෞවනයෙකු වූ අයිරා ඕල්ඩ්රිජ් (1807-1865) ය.” 1823 දී රංග ශාලාව වසා දැමීමෙන් ක්ෂනික ව ඉක්බිත්තේ, “ඒ වන විට සමාගමෙහි නායක රංගන ශිල්පියෙකු වූ ඕල්ඩ්රිජ්, ගෞරවාන්විත වෘත්තිකයෙකු ලෙස තම කෞශල්‍යය භාවිතයට ගැනීමේ නිදහස පැවැති ලන්ඩනය බලා නැව් නැඟුනේය. යුරෝපයේ අගනගරයන් පුරා, වසර 42කට අධික කාලයක් තිස්සේ වේදිකා නලුවෙකු ලෙස රඟපාමින්, ජාත්‍යන්තර සම්භාවනාවේ කූටප්‍රාප්තිය කරා, ඕල්ඩ්රිජ් ලඟා විය.”

ඕල්ඩ්රිජ් ෂයිලොක් සමග ද අනන්‍ය විය. 1858 දී සාන්ත පීටර්ස්බර්ග් නගරයේ දී මෙකී නලුවාගේ එම චරිත නිරූපනයට ප්‍රතිචාර ලෙස, රුසියානු විචාරකයෙක් සංජානනාත්මක ව මෙසේ සටහන් කලේ ය: “ෂයිලොක් චරිතයේ දී, ඔහු (ඕල්ඩ්රිජ්) පෙනී සිටින්නේ සුවිශේෂිත ව යුදෙව්වෙක් ලෙස නොව, තමන් වැනි මිනිසුන් කෙරෙහි පවත්වාගෙන ගොස් ඇති යුග ගනන් පැරනි වෛරය විසින් පරිපීඩිත සාමාන්‍ය මනුෂ්‍යයෙකු ලෙස, එම හැඟීම විශ්මයජනක බලයකින් හා සත්‍යතාවයකින් ප්‍රකාශයට පත්කරමිනි. … ඔහුගේ නිහඬතාවයමත් කථා කරයි.”

ෂේක්ස්පියර්, ෆ්‍රෙඩ්රික් ඩග්ලස්, රිචඩ් රයිට් හා තවත් අය

අහෝසිතාවාදී හා සිවිල් යුද්ධ යුගයේ ශ්‍රේෂ්ඨතම අප්‍රිකානු ඇමරිකානු චරිතය වූ හිටපු වහලෙකු වන ෆ්‍රෙඩ්‍රික් ඩග්ලස්, ශේක්ස්පියර්ටත් පොදුවේ සාහිත්‍යයටත් කැප විය (ඔහු ඔහුගේ “නිදහස් නම” වූ ඩග්ලස් යන්න ගත්තේ වෝල්ටර් ස්කොට්ගෙනි). 1892 දී ඔහුගේ කැමති ම කතුවරුන් නම් කරන ලෙස ඉල්ලා සිටි විට, ඩග්ලස් පලමු ස්ථානයෙහි තැබුවේ ශේක්ස්පියර් ය.

“ ෆ්‍රෙඩ්‍රික් ඩග්ලස්, වොෂින්ටනයේ ෂේක්ස්පියරියානුවෙක්” නමැති ලේඛනය තුල ජෝන් මුලර් නමැති කතුවරයා සටහන් කරන්නේ, “ෂේක්ස්පියර්ගේ සම්පූර්න කෘතිවල වෙලුම් ගනනක් පුස්තකාල රාක්ක මත තිබෙන හා බටහිර සම්මුඛ ශාලාවේ ප්‍රවාරනයට ඉහලින් ඔතෙලෝ හා දෙස්දෙමෝනාගේ රාමු කල පින්තූරයක් තිබෙන ඇනාකොස්ටා (ඩී.සී.) නගරයේ සෙඩාර් හිල්හි ඩග්ලස්ගේ නිවසේ පිහිටි ජාතික ​ඓතිහාසික අඩවියට සෑම වසරක දී ම දසදහස් ගනන් ජනයා පැමිනෙන බවයි.

“ඩග්ලස් ඔහුගේ කථිකත්වය තුල ශේක්ස්පියර් ගැන නිරන්තරයෙන් සඳහන් කල අතර, ඔහු වොෂින්ටනයේ ප්‍රාදේශීය රංග ශාලාවල ශේක්ස්පියර් නිර්මාන නැරඹූ බව ප්‍රසිද්ධ ය. ප්‍රජා රංගශාලා සමාගමක් වූ යුනියන් ටවුන් ශේක්ස්පියර් සමාජයේ දී, ඩග්ලස් අවම වසයෙන් දෙවතාවක් වත් රඟපෑවේ ය” යි මුලර් වැඩිදුරටත් කියයි. එපමනක් නොව, සමාජ හා සංස්කෘතික අනුනාදයෙන් පිරුනු කථාංගයක, ඩග්ලස් එම එක් අවස්ථාවක ෂයිලොක්ගේ චරිතය නිරූපනය කලේය. (1887 මැයි මාසයේදී රෝමයේදී ගුසෙප්ගේ වර්ඩිගේ ඔතෙලෝ ඔපෙරා ප්‍රසංගයකට සහභාගී වූ පලමු ඇමරිකානුවන් අතර ඩග්ලස් සහ ඔහුගේ දෙවන බිරිඳ ද වූහ.)

හාලෙම් පුනරුද ව්‍යාපාරයේ සාමාජිකයන් ඇතුලු 20වන ශතවර්ෂයේ ශ්‍රේෂ්ඨතම අප්‍රිකානු ඇමරිකානු කලාකරුවන් කෙරේ ශේක්ස්පියර්ගේ බලපෑම පුදුමයක් නො විය යුතු ය - ඔහුගේ කෘති තුල දැවැන්ත නාට්‍යමය අවස්ථා, පීඩාවන් හා ව්‍යසනයන් ඉහල ම මට්ටමින් අඩංගු වේ. ලැංග්ස්ටන් හියුස් විසින් සිය කාව්‍ය සංග්‍රහයක් “හාලෙම් තුල ශේක්ස්පියර්” යනුවෙන් නම් කරනු ලැබ ඇති අතර, සෝරා නීයේල් හර්ස්ටන්ගේ පසු කාලීන නවකතා “ශේක්ස්පියර්ගේ කිං ලියර් හා ටේමිං ඔෆ් ද ෂෲහි පරිකල්පන රූප හා ගැටලු ඇය විසින් ප්‍රතිනිරූපනය කෙරෙන ආකාරය” පෙන්නුම් කරන බව එක් විචාරකයෙක් සටහන් කරයි.

රිචඩ් රයිට්ගේ නේටිව් සන්හි කේන්ද්‍රීය රූපය වන කලු මිනිසෙකු අතින් අහම්බෙන් සුදු කාන්තාවකගේ හුස්ම හිරවීම, හිතාමතා ම ඔතෙලෝ ප්‍රතිරාවය කරයි. “දෙවියන් වහන්සේ විසින්, ශේක්ස්පියර් ලවා කෙනෙකුව හොල්මන් කරන ආකාරය! අපගේ කතාවලින් කෙතරම් ප්‍රමානයක් ඔහුගෙන් පැමිනේ ද. ...එය යමෙකු ගෞරවාන්විත භීතියකට පත් කරයි” යනුවෙන් රයිට් වරක් සිය දිනපොත තුල නිරීක්ෂනය කලේ ය. අද්‍යතන නාට්‍යකරුවෙක් “ශේක්ස්පියර්ගේ වඩාත් ම පැහැදිලි උපකරන” යොදාගන්නේ කෙසේදැයි 1959 දී නාට්‍ය රචක (A Raisin in the Sun ලියූ) ලොරේන් හැන්ස්බරි සාකච්ඡා කලේ ය. “එම උපකරන වන්නේ මානව පෞරුෂය හා එහි සමස්තය යි. මෙය නීග්‍රෝලේඛකයන් සඳහා ප්‍රගාඪ ලෙස අර්ථභාරී බව මම නිරන්තරයෙන් සිතා ඇත්තෙමි. ...නාට්‍ය තුල ඉදිරිපත් කෙරෙන මිනිසා විශාල ය. දැවැන්ත ය. ඕනෑම දෙයක් කිරීමේ හැකියාව ඔහුට ඇත. එසේ වුව, මානව ජීවගුනය පිලිබඳ මෙකී දැක්ම බිඳෙනසුලු ද එකකි; එය වඩාත් ප්‍රචන්ඩාකාරයෙන් ගරු කලයුතු සහ රැකගත යුතු සහ ආදරය කල යුතු බව යමෙකුට හැඟී යයි.”

රැල්ෆ් එලිසන් ඉන්විසිබල් මෑන් රචනා කලේ “සෑමවිට ම ඔහුගේ මේසය මත පොත් දෙකක් තබාගෙන ය ...ඉන් එකක් ශබ්දකෝෂය වූ අතර අනෙක වූයේ ශේක්ස්පියර්ගේ සම්පූර්න කෘති ය.” නවකතා රචක ජේම්ස් බෝල්ඩ්වින් නිරීක්ෂනය කල පරිදි, කාව්‍ය ශාස්ත්‍රය සොයාගනු ලැබෙන තැනින් -එනම්, මිනිසුන්ගේ ජීවිත තුලින්- ඉංග්‍රීසි භාෂාවේ ශ්‍රේුෂ්ඨතම කවියා වන ශේක්ස්පියර් ඔහුගේ කාව්‍යයන් සොයාගත්තේ ය. ඔහුට මෙය කල හැකි ව තිබෙන්නේ හුදෙක්ම ආදරය -එනම්, වෙනත් ඕනෑ ම පුද්ගලයෙකුට සිදුවෙමින් පැවති දෙයක් ඔහුට සිදුවෙමින් පැවතුනේ ය යන්න අවබෝධ කරගැනීම ම නො ව, එය දැනගැනීම - හරහා ය.” අපට තවත් ඉදිරියට යා හැක.

ට්‍රොට්ස්කි “මහජනයාගේ සංස්කෘතික පිපාසය” ගැන කතා කලේ ය. සංස්කෘතිය හා දැනුම සඳහා ප්‍රෝත්සාහී, වඩාත් ම අභිවර්ධිත බ්‍රිතාන්‍ය කම්කරුවන්ගේ පරම්පරාවන්ට ශේක්ස්පියර් තීරනාත්මක චරිතයක් විය. “දහනව වන ශතවර්ෂයේ ...කම්කරු-පන්තික ස්වයං-චරිතාපදානවල බහුලත්වය” විස්තර කරන ඉතිහාසඥ මාටින් ලයන්ස්, “දේශපාලනික ක්‍රියා පදනම් කල යුතු වූ බුද්ධිමය විමුක්තිය සඳහා ග්‍රන්ථමය දැනුම ආශාවෙන් සෙවීම තීරනාත්මක වී” යයි සටහන් කරයි.

ද ජීනියස් ඔෆ් ශේක්ස්පියර් නමැති සිය කෘතිය තුල, “සංස්ථාපිත ශේක්ස්පියර්” සහ “ජනප්‍රිය ශේක්ස්පියර්” නමැති සම්ප්‍රදායයන් දෙකක් ගැන ජොනතන් බේට් ලියයි. මෙම නාට්‍ය රචකයා “දිගටම නොනැසී පවතින බව හා රැඩිකල් සංස්කෘතියේ හඬක් ලෙස වැදගත් භාවයට පත් කරනු ලැබ සිටින” බව යන ඔහුගේ තර්කය තහවුරු කිරීමට, බ්‍රිතාන්‍ය කම්කරු පන්තියේ විප්ලවවාදී ව්‍යාපාරය වූ චාටිස්ට්වරුන්ගේ ලෙයිසෙස්ටර් නගරයේ නායකයෙකු බවට පත් වූ (1805 උපන්) තෝමස් කූපර්ගේ උදාහරනයට බේට් අවධානය යොමු කරයි.

කූපර් හා ඔහුගේ සහෝදරවරු තමන් හඳුන්වා ගත්තේ “ලෙයිසෙස්ටර් චාටිස්ට්වරුන්ගේ ෂේක්ස්පියරියානු සංගමය” යනුවෙනි. කූපර් “අද්‍යතන දේශපාලනය ගැන මෙන් ම ශේක්ස්පියර් ගැන ද දේශන පැවැත්වී ය: එසේ කිරීම මහජනයා සඳහා වන උරුමය යලි අත්පත් කර ගැනීමක් විය. කැරැල්ලකට පෙලඹවීම හා දේපොල ගිනිතැබීමක් පිලිබඳ ව්‍යාජ චෝදනාවක් යටතේ කූපර් අත්අඩංගුවට ගනු ලැබූ විට, ඔහුට හා ඔහුගේ සහෝදර චූදිතයන්ගේ නෛතික වියදම් සොයා ගැනීම සඳහා ඔහු මුදල් රැස් කරගත්තේ හැම්ලට් නාට්‍යයේ නිෂ්පාදනයක් රඟ දක්වමිනි” යි බේට් විස්තර කරයි.

19වන ශතවර්ෂයෙන් හා ඉන් ඔබ්බට, තමන් ම අධ්‍යාපනගත හා ප්‍රබෝධමත් වීමට ඇමරිකානු කම්කරුවන් උත්සාහ කලේ ද ශේක්ස්පියර්, ස්කොට්, ඩිකන්ස් හා අනෙකුත් සම්භාව්‍ය කෘති හරහා ය. උදාහරනයක් ලෙස, මේරිලෑන්ඩ්හි -ප්‍රාන්තයේ වඩාත් ම දුප්පත් ඇපලාචියන් කෝරල වලින් එකක් වන- ෆ්රොස්ට්බර්ග් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ රොචෙල් ස්මිත්, ඔහුගේ “දරිද්‍රතාව සහ වරප්‍රසාදය: කඳු මුදුන් තුල ශේක්ස්පියර්” යන කෘතිය තුල සටහන් කරන පරිදි, “සිවිල් යුද්ධයට පෙරාතුව වර්ෂ වල දී, ෆ්රොස්ට්බර්ග් පතල් කම්කරුවන්ගෙන් සමහරක් දෙනා නිශ්චිත ව ම ෂේක්ස්පියර්ගේ කෘති කියවමින් සිටි අතර, ඒ පිලිබඳ ව ඔවුන්ගෙන් එක් අයෙක් වන ඇන්ඩෲ රෝයි මෙසේ මතකය අවදි කරයි: ‘පතලෙහි අපේ දෛනික වැඩවලින් පසුව මුනගැසීමට හා එකිනෙකාට ඇසෙන ලෙස ශබ්ද නගා කියවීමට අපි පුරුදු වී සිටියෙමු’”

මේ කාලය වන විට ශේක්ස්පියර් එක්සත් ජනපදය තුල බෙහෙවින් ජනප්‍රිය ව සිටියේ ය. “විලියම් ශේක්ස්පියර් සහ ඇමරිකානු ජනතාව” නමැති කෘතිය තුල ලෝරන්ස් ඩබ්ලිව්. ලෙවින් “දහනව වන ශතවර්ෂයීය ඇමරිකාව තුල ශේක්ස්පියර් ජනප්‍රිය අනුරංජනයක් වීයැ”යි එකහෙලා අවධාරනය කරයි. සිවිල් යුද්ධයෙන් ක්ෂනික ව ඉක්බිත්තේ එංගලන්තයේ සිටි එක්සත් ජනපද කොන්සල්වරයෙකු, “ශේක්ස්පියරියානු නාට්‍ය එංගලන්තයට වඩා ඇමරිකාව තුල නිරන්තරයෙන් රංගගත කරනු ලබන අතර, බෙහෙවින් ජනප්‍රිය යි” යනුවෙන් කිසියම් මවිතයකින් යුතු ව කල සටහනක් ලෙවින් උපුටා දක්වයි.

සත්තකින් ම, “ඔහුගේ (ශේක්ස්පියර්ගේ) බොහෝ නාට්‍ය කවදාක හෝ ලියනු ලැබ තිබීම” ගැන කනගාටු වන බවත්, “ඔහුගේ ස්වභාවයෙන් ම ෂේක්ස්පියර් යනු පවුලේ කියවීම සඳහා යෝග්‍ය පුස්තකයක් නොවන” බවත් සඳහන් කරමින්, “ඉදින් ඔහු ජීවත්ව සිටියේ නම්, කවර ක්‍රිස්තියානි පියෙක් හෝ සිල්වත් මවක් නම්, ඔහුගේ කෘතීන්ගේ හොඳම සංස්කරනයන්හි එන පරිදි ඔහුගේ නාට්‍ය, සිය මල්වර වියේ දූ පුතුන්ගේ කවයකට පැමින ලිවීමට ඉඩ දෙනු ඇත්දැයි” 1939 දී නිව් යෝක් ඔබ්සවර් තුල ප්‍රශ්න කල ආචාර්ය හම්ප්‍රි නම් තැනැත්තෙකු වැනි “ගෞරවනීය” අප්‍රිකානු ඇමරිකානු විචාරකයෝ ද සත්‍ය වසයෙන් ම සිටියෝය.

ග්‍රන්ථ යනු සිසුන්ට වඩාත් “ඔවුන් වැනි අයවලුන් ලෙස පෙනෙන හා හැඟෙන පුද්ගලයන් පිලිබඳව ලියැවුනු”, ඔවුන්ට වඩා “අදාල” හා ප්‍රවේශ විය හැකි විය යුතු ඒවා විය යුතු බව පැවසෙන ඩිස්රප්ට්ටෙක්ස්ට්ස් තර්කය තත්කාර්යවාදී මනසකට ප්‍රතික්ෂේප කල නොහැක්කකි. එහෙත් එය ඉතා ම හිස් එකකි. එසේ නම්, ඉංග්‍රීසි භාෂා විෂය මාලාවන් රූපවාහිනී වෙලඳ දැන්වීම්වලට හා පීපල් සඟරාවට සීමා නො කරන්නේ මන් ද? ක්ෂනික ව අදාල හා ප්‍රවේශ විය හැකි දේවල් බොහෝ විට මුලුමනින් ම විනිවිද දක්නා සුලු නුවනින් හෝ වටිනාකමින් යුක්ත නො වේ. සිය මානසික ප්‍රයත්නයෙන් යම් වැදගත් දෙයක් ලැබෙන බවට ඔවුන් අභිප්‍රේරනය කල හැකි නම් හා ඔවුන් එසේ අවබෝධ කරගන්නේ නම් ශිෂ්‍යයන් සංකීර්න පාඨ ග්‍රන්ථ භාර ගැනීමට සූදානම්ය.

ශේක්ස්පියර්ට එරෙහි වඩාත් ම වංචනික තර්කය කේන්ද්‍රගත වන්නේ, ඔහු කිසිදු සුවිශේෂී විදර්ශනාවක් ඉදිරිපත් නො කරන, අනෙකුත් ඕනෑ ම නාට්‍ය රචකයෙක් වැනි අයෙකි ය යන කියාපෑම මත ය; ජර්මාන් එය සඳහන් කරන පරිදි: “ශේක්ස්පියර් වෙනුවට කියවිය යුතු දේවල් ඉදිරිපත් කිරීමට මට අවශ්‍ය ය. මාව විශ්වාස කරන්න, ඔබගේ දරුවන්, ඔහු කියවන්නේ නැති නම්, ඔවුන් හොඳින් සිටිනු ඇත.”

නිදහස් අධ්‍යාපන පද්ධතියේ පොදු ඛාදනය හා බිඳ විසිරයාම සමග ඒකාබද්ධ ව, වාර්ගික අන්ධ භක්තික-වාරකයන් තරුන ජනයාට ශේක්ස්පියර් කෘති හා අනෙකුත් සම්භාව්‍ය සාහිත්‍ය කෘතීන් අහිමි කිරීමෙහි ලා සාර්ථක වුව හොත්, ඔවුන් “හොඳින් සිටිනු ඇතැයි” යන්න මුසාවකි.

ස්කූල් ලයිබ්රරි ජර්නල් ලිපිය කියා සිටින පහත ප්‍රකාශය සත්‍ය නොවේ: “ඉදින් භාෂා කලා පන්තිවල අභිප්‍රායය වන්නේ විවේචනාත්මක විශ්ලේෂනය හරහා සාහිත්‍යය ගවේෂනය කිරීම; ලේඛකයන් වර්ධනය කිරීම; කුසලතා, සාක්ෂරතාව හා අර්ථාන්විත නිමග්න වීම වැඩි දියුනු කිරීම සහ ජීවිත කාලය පුරා පොත් කියවන්නන් නිර්මානය කිරීම නම්, ශිෂ්‍යයන්ට ඕනෑ ම පඨිතයක් හරහා එය කල හැකි ය.” මතක තබා ගන්න ! එය පවසන්නේ ඕනෑ ම පෙලක් කියා ය!!

ඈන් ආබර්හි ඔස්ටින්ගේ වචන වලින් කියැවෙන, “අනෙකුත් කතුවරුන්ගේ කෘති ගවේෂනය කිරීම හරහා ලබා ගත නො හැකි කිසි දෙයක් ශේක්ස්පියර්ගෙන් ලබා ගැනීමට නැතැ” යි යන්න ද මුසාවකි.

මෙම විවිධාකාර පරිකථනවල පිලිස්තීනු ස්වභාවය හා සරලමතික භාවය, විශ්වාසය හිඟන මට්ටමකට ඇද දමයි. “මයිකල් ආන්ජලෝ හෝ ලියනාඩෝ විකුනා නොදමන්නේ ඇයි? - ඒවා හුදෙක් ගබඩා කාමර තුල දූලි රැස් කරමින් (ජනයා ද රැස් කරමින්) ඇත - ඒවයින් කෙරෙන සියල්ල කල හැකි යමක් ගබඩා කාමරයේ තිබිය යුතුය.” තරුන ජනයාට අධ්‍යාපනය දීමේ වගකීම දරන මිනිසුන් වන්නේ මොවුන් ය.

කලා කෘති අතර, තීව්‍ර මට්ටමක අර්ථාන්විත භාවයක් ආරෝපනය වූ, වඩාත් පොහොසත් හා වඩාත් අභියෝගාත්මක, අන්‍ය කෘතීන්ට වඩා වැඩි යමක් අපෙන් ඉල්ලා සිටින කෘති ඇත. ඒවා නො නැසී පවතින්නේ ද අපගේ ම අවබෝධයේ හා සහානුභූතියේ බලය එක දිගට ම කැඳවුම් කරන්නේ ද ඒ නිසා ය. තවමත් අප කම්පනයට පත්කරමින්, අපට ආලෝකය ලබා දෙමින්, සහ, ඔව්, සැබැවින්ම අප වැඩි දියුනු කරන කෘතීන් වන්නේ මේවාය. අද දින ශේක්ස්පියර්ගේ කෘතීන් කියවනු ලැබෙන්නේ හා රඟ දැක්වෙන්නේ, කිසියම් කුමන්ත්‍රනයක් විසින් “පිරිමිකම” හා “සුදුකම” අඛන්ඩ ව “කේන්ද්‍රගත” කරනු ලබන නිසා නො ව, ඔහුගේ සුවිශේෂී නාට්‍යමය හා කාව්‍යමය කුසලතාව, ඔහුගේ නොමසුරු යතාර්ථවාදය, සහ මානව සබඳතා පිලිබඳ ඔහුගේ ප්‍රගාඪ අන්තර්ඥානය නිසා ය.

සත්‍ය වසයෙන් ම කිසිදු කලාකරුවෙක් නිරපේක්ෂ අර්ථයකින් “අකාලික” හෝ “විශ්වීය” නො වේ. සෑම ලේඛකයෙකු, චිත්‍ර ශිල්පියෙකු හෝ සංගීත රචකයෙකු ම නිෂ්පාදනය කෙරෙන්නේ හා හැඩගස්වනු ලබන්නේ, නිශ්චිත සමාජ, ඓතිහාසික, ජාතික, භූගෝලීය හා පුද්ගල-මානසික කොන්දේසි විසිනි. අර්ථාන්විත පුද්ගල චරිතය, මෙම සුවිශේෂී තත්ත්වයන් තුල ද, ඒවා හරහා ද ක්‍රියාත්මක වෙමින් නොනස්නා හා වෛෂයික වසයෙන් අර්ථාන්විත කලා කෘති නිෂ්පාදනය කිරීමට කටයුතු කරයි. සැබැවින්ම “අමරනීය” කලාකරුවා, ට්‍රො ට්ස්කිගේ වාක්‍යංශයට අනුව කිවහොත්, කිසියම් නිශ්චිත යුගයක ජීවිතයේ “සීමාවන් පරයා යන මට්ටමක” හැඟීම් හා මනෝභාවයන් “එවන් පුලුල්, ප්‍රබල, බලගතු” හැඟීම් හා මනෝගතීන් කුසලතා පූර්න ව ඉදිරිපත් කරන්නේ සුවිශේෂී යුගයක ජීවිතයෙහි “සීමාවන්ට ඉහලින්” ඔවුන් ව ඔසවා තැබෙන පරිදි ය. පන්ති සමාජය,කෙතරම් සුවිශාල වෙනස්කම් මධ්‍යයේ වුව, යම් නිශ්චිත පොදු ලක්ෂන දරා සිටී. එම නිසා, 1600 ගනන්වල පලමු දශකයේ ලන්ඩනය තුල ලියන ලද නාට්‍යවලට “අප ව සොයාගෙන අපට බලපෑම් කිරීමට ද හැකිය.

”ශේක්ස්පියර් ජීවත් වූයේ, ඛාදනය වෙමින් පැවති වැඩවසම් ක්‍රමයේ සිට ධනපති ක්‍රමය දක්වා වූ සංක්‍රාන්ති සමයේ ය. ඔහු ඔහුගේ කාව්‍ය හා නාට්‍ය රචනා කලේ; හෝ ඒවා රචනා කිරීමට පටන් ගත්තේ; පලමුවන එලිසබෙත් රැජින යටතේ, තම අභාවයෙන් ශත වර්ෂ කාලකට ඉක්බිතිව පුපුරා යාමට නියමිත ව තුබූ එංගලන්ත විප්ලවය තුල අවසාන වීමට නියමිතව පැවැති පැරනි හා නව සමාජ බලවේග යම් කාලයකට සහජීවනයෙන් - ඒකාබද්ධ හෝ සංයුක්ත ව පවා - සිටි, කාල පරිච්ඡේදයකට ය. එම යුගය “සමාජයේ සියලු පැරනි සබඳතාවන් ලිහිල් කරමින්, සියලු සාම්ප්‍රදායික සංකල්පනයන්ට වල කැපුවේ ය. ලෝකය එක්වර ම දස ගුනයකින් ම පාහේ විශාල වී වැඩුනි.” (එංගල්ස්) වෛෂයික තත්ත්වයන්ගේ සුභදායී සංයෝජනයක් සහ ශේක්ස්පියර්ගේ ම සුධීමත්-අන්තර්ඥානය, කාලයේ ආපස්ස හා ඉදිරිපස යන දෙක ම හරහා බැලීමටත්, සමාජ අවකාශයේ දී උඩු අත හා යටි අත යන දෙක ම හරහා බැලීමටත්, ඇතැම් විට ඉතිහාසයේ අන් කිසිදු සාහිත්‍යමය චරිතයකට වඩා, ඔහුට ඉඩ ලබා දුන්නේ ය.

ඔහුගේ කෘතීන් ඉන්ද්‍රජාාලික හෝ “දිව්‍යමය” නො වන නමුත්, ඒවා දිදුලන හා අතිශයින් අසාමාන්‍ය වෙත්. ඒවා සුරක්ෂිත ව තබාගැනීමට උචිතය හ. කාව්‍යාත්මක ව විශ්වකෝෂී මාදිලියේ ව්‍යවහාරයකින් ලේඛනයේ යෙදුනු ඔහු, ආර්ථික හා දේශපාලනික යන දෙඅංශයෙන් ම වඩාත් ම අභිවර්ධිත සමාජයන් ප්‍රසිද්ධ හා පුද්ගලික යන දෙ වර්ගයේ ම පැවතුම් සම්බන්ධයෙන් ඒ වන විට ලඟා වී තිබූ අග්‍ර ස්ථානය, අන්‍යයන් වෙත රැගෙන ආවේ ය. ඉන් ඔබ්බට යමින්, එවකට සිදුවෙමින් තිබූ සමහර වෙනස්කම්වල අනාගත ප්‍රතිඵල (ඒ අනුව, උදාහරනයක් ලෙස, ඔතෙලෝ නාට්‍යයේ දී වාර්ගික වෛරයේ හලාහල විෂ යොදාගැනීම්වල හා සමාජීය නො රිස්සීමේ විපාක සලකා බැලීමට ඔහුට පැවති හැකියාව) ගනන් බැලීමට මෙන් ම, සමාජීය ව කොන්කෙරුනු හෝ ගර්හාවට පත්කරන ලද අයගේ - කාන්තාවන්, යුදෙව්වන්, කලු ජාතිකයන්ගේ - ස්ථානයෙහි තමන් මානසික ව පිහිටුවා ගනිමින් බලගතු ලෙස, තර්කානුකූල ව, ඔවුන්ගේ පීඩිත හෝ අසාධාරන කොන්දේසිවලට ඔවුන් දැක්වූ ප්‍රතිචාර කරා ලඟා වීමට හා ඒවා නාට්‍යගත කිරීමට ශේක්ස්පියර් සමත් විය. පසුව ස්කොට් ජාතික ලේඛකයෙක් ඔහුගේ එක් චරිතයක මුවට නැංවූ පරිදි, “ශ්‍රීමතානෙනි, ශේක්ස්පියර් යනු නඩුවක අතිමහත් බරපතලකම හේතුවෙන් පසුපසට තල්ලු වන්නෙකු නොවේ.”

තව ද පුනරුදය කඩා වැදීමේ අර්ථය වූයේ, තව දුරටත්, “ඔවුන්ගේ නිජබිමේ පැරනි පටු බාධකයන් සමග, මධ්‍යකාලීන චින්තන ක්‍රමයේ නිර්දිෂ්ටිත වසර දහසක් පැරනි බාධකයන් ද” ඇද වැටීමයි. (එමඟින්) “මිනිසාගේ බාහිර හා අභ්‍යන්තර චක්ෂුසයට අනන්ත පරිමාන ව පලල් ක්ෂිතිජයක් විවෘත විය.” (එංගල්ස්) ආයතන හා ආගමික ආධානග්‍රහය විසින් වසර සිය ගනනක් තිස්සේ අවහිර කරන ලද මානව අත්දැකීම්, චින්තනයන් හා හැඟීම්වල යෝධ සමුච්ඡය වීමක්, ශේක්ස්පියර්ගේ නාට්‍ය තුලින් පමනක් නො ව, සත්‍ය වසයෙන් ම එංගලන්තයේ කුසලතා පූර්න නාට්‍යවේදීන් දුසිම් ගනනක් තුලින් ප්‍රකාශනය සොයාගැනීමට සමත් වූ නමුත්, ඒවා අතිශයින් ම බලගතු හා සංකේන්ද්‍රිත ලෙස ප්‍රකාශනය සොයාගත්තේ​ ශේක්ස්පියර් තුල ය.

ඩිස්රප්ට්ටෙක්ස්ට්ස් හා එහි සම-චින්තකයෝ, බුද්ධි ප්‍රබෝධයේ හා අධ්‍යාාපනයේ කැපවුනු හතුරෝ වෙති. ශිෂ්‍යයෝ, ගුරුවරු සහ වැදගත් ශාස්ත්‍රාලිකයෝ, ඔවුන්ට අවඥාවෙන් යුතුව සලකමින් ඔවුන්ට අභියෝග කොට, ඔවුන්ගේ මුග්ධත්වය හෙලිදරව් කල යුත්තාහ.

Loading