ලංකාවේ කම්කරුවන්ට ජාමූඅ කප්පාදු වලට එරෙහි ව සටන් වැදීම සඳහා ක්‍රියාකාරී කමිටු අවශ්‍යයි

(මෙය Sri Lankan workers need action committees to fight IMF austerity measures මැයෙන් 2022 දෙසැම්බර් 7දා පල වූ සසප ප්‍රකාශයේ පරිවර්තනය යි.)

රැකියා, ජීවන කොන්දේසි හා අත්‍යවශ්‍ය සේවාවන් මතට ආන්ඩුව එල්ල කරන නිර්දය අයවැය ප්‍රහාරවලට එරෙහි ව කම්කරු පන්තිය තුල වැඩෙන කෝපය වාෂ්ප කිරීම සඳහා, වෘත්තීය සමිති, මේ සතියේ, සීමිත හා විසිරුනු විරෝධතා කැඳවා ඇත.

වෘත්තීය සමිති සම්බන්ධීකරන මධ්‍යස්ථානය (ටීයූසීසී) සහ වෘත්තීය සමිති හා මහජන සංවිධාන සාමූහිකය (ටීයූඑම්ඕසී) යන සමිති කන්ඩායම් දෙක ද, ලංකා විදුලිබල මන්ඩලයේ (සීඊබී), ශ්‍රී ලංකා දුම්රිය සේවයේ, කොලඹ වරායේ සහ කටුනායක හා බියගම යන ප්‍රධාන නිදහස් වෙලඳ කලාප දෙකෙහි වෘත්තීය සමිති, දෙසැම්බර් 5, 6 හා 8 යන දිනවල විරෝධතා කැඳවා ඇත.

2021 දෙසැම්බර් 21 වැඩවර්ජනයේ දී පිකට් උද්ඝෝෂනයක යෙදෙන ජාඇල එස්කුවෙල් ඇඟලුම් කම්හලේ කම්කරුවෝ [ලෝසවෙඅ]

දිවා ආහාර විවේකයේ හෝ වැඩ හමාර වීමෙන් පසුව විරෝධතා පැවැත්වීමට සැලසුම් කිරීම මගින්, වැඩපොලවල හා කම්හල්වල මෙහෙයුම්වලට බලපාන කිසිවක් තමන් නො කරන බවට, වෘත්තීය සමිති ආන්ඩුවට හා හාම්පුතුන්ට පැහැදිලි සංඥාවක් ලබා දී ඇත. ඒ අතර ම, ජාමූඅ විධානයන්ට පිටුබලය දෙන ධනපති විරුද්ධ පක්ෂ -සමගි ජන බලවේගය (සජබ) හා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ)- කෙරෙහි මිථ්‍යාවන් දැල්වීමට වෘත්තීය සමිති වැඩට බැසගෙන සිටිති.

තම ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් උදෙසා සටන් කරනුවස්, තීන්දු තීරන ගැනීම තමාගේම අතට ගැනීම සඳහා, සෑම වැඩපොලකම, කම්හලකම හා නිවහන් ප්‍රදේශයක ම, සියලු ධනපති පක්ෂ හා වෘත්තීය සමිතිවලින් ස්වාධීන වූ ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගන්නා ලෙස, සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරුවන්ට කැඳවුම් කරයි. එලෙස ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස ගම්බද පීඩිතයන්ට ද අපි කැඳවුම් කරමු.

වැඩකරන ජනයා මත අධික බදු පැටවීම සහ විදුලිබලය, ජලය, ඉන්ධන හා පොහොර මත මිල සහනාධාර අවසන් කිරීම, ආන්ඩුවේ කප්පාදු වැඩසටහනට ඇතුලත් වේ. අධ්‍යාපනය හා සෞඛ්‍යය සඳහා කෙරෙන වියදම් පවතින්නේ දංගෙඩිය මත ය. දැඩිලෙස අවශ්‍ය කෙරෙන විදේශ විනිමය සංචිත සම්පාදනය කරගැනීම සඳහා, ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සහ ආන්ඩුවට අයත් සංචාරක හෝටල්, විකුනා දැමීමට නියමිත බව, ජනාධිපති වික්‍රමසිංහ ඔහුගේ අයවැය කතාවේ දී නිවේදනය කලේ ය. විකුනා දැමීම පහසු කිරීම සඳහා ලංකා විදුලිබල මන්ඩලය සමාගම් 15කට බෙදීම පිනිස, කැබිනට් මන්ඩලය ගිය සතියේ අනුමැතිය දුන්නේ ය.

පුද්ගලීකරනය යනු වැඩකරන ජනයාට දෙපැත්ත කැපෙන ප්‍රහාරයකි. එක් අතකින්, පුද්ගලික ලාභ සුරක්ෂිත කිරීම සඳහා, අත්‍යවශ්‍ය සේවා හා භාන්ඩවල මිල ගනන් වැඩි දුර ඉහල දැමෙනු ඇත. අනෙක් අතට, නැවතත් ලාභ පිම්බීම පිනිස, කම්කරුවන් දොට්ට දමමින් ඉතිරි කම්කරුවන් මත වැඩ බර ඉහල දැමෙනු ඇත.

ආන්ඩුවෙහි අයවැයේ ඇඟවුම් පිලිබඳ ව නිශ්ශබ්ද ව සිටි වෘත්තීය සමිති, විරෝධතා කැඳවීමට පෙලැඹී ඇත්තේ, රැකියා හා කොන්දේසි කෙරෙහි තැකීමක් නිසා නො ව, කම්කරුවන් අතර වැඩෙන කෝපය නිසාවෙනි. මේ සියල්ලට වඩා, අප්‍රේල් මුල පැන නැගී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව බිඳ වැටීමට තුඩු දුන් වර්ගයේ තවත් කම්කරු පන්තික නැගිටීමක් ගැන ඔවුහු බියපත්ව සිටිති.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) වැනි ව්‍යාජ-වාම සංවිධානවල පිටුබලය ලත්, මෙම වෘත්තීය සමිති ද ටීයූසීසී හා ටීයූඑම්ඕසී යන ප්‍රධාන වෘත්තීය සමිති පෙරමුනු දෙක විශේෂයෙන් ද රාජපක්ෂට එරෙහි මහජන නැගිටීම පාවාදීමේ දී තීරනාත්මක විය. අප්‍රේල් 28 හා මැයි 6 දිනවල මහා වැඩ වර්ජන කැඳවීමට ඔවුන්ට බල කෙරුන ද වෘත්තීය සමිති ඒවා එක් දින ක්‍රියාවන්ට සීමා කල හ. විරුද්ධ පක්ෂ විසින් අන්තර්-වාර ආන්ඩුවක් සඳහා කරන කැඳවුම, වැඩකරන ජනයාට උදවුකාරක වනු ඇතැයි වෘත්තීය සමිති ව්‍යාජ ව කියාපෑ හ.

දැන් මෙම වෘත්තීය සමිති විසින්ම සීමිත විරෝධතා කැඳවා ඇත්තේ, එමගින් යෙදෙන පීඩනය ආන්ඩුවේ රුදුරු පියවරයන් ආපසු හැරවීමට සමත් වනු ඇතැයි කියාපාමිනි. ටීයූඑම්සී ය, අයවැය අවසාන වසයෙන් පාර්ලිමේන්තුව තුල අනුමත කිරීමට නියමිත දෙසැම්බර් 8දාට තම විරෝධතාව කැඳවා ඇත්තේ, ධනපති විරුද්ධ පක්ෂ හා සමස්ත පාර්ලිමේන්තු රාමුව කෙරෙහි එහි යොමුවට අනුකූල ව ය.

ධනපති ක්‍රමය හා ධනේශ්වර පාර්ලිමේන්තු රාමුව ඇතුලත, වැඩකරන ජනයා මුහුන දෙන දැවෙන ප්‍රශ්නවලට විසඳුමක් නැත. මහ මැතිවරනයක් සඳහා උද්ඝෝෂනය කරමින් සිටින සජබ හා ජවිපෙ, ජාමූඅ පිලිවෙත්වලට ආන්ඩුව මෙන් ම කැප වී සිටිති. ජාමූඅ වෙත කලින් යොමු නො වීම සම්බන්ධයෙන්, සජබ, කලින් පැවති රාජපක්ෂ ආන්ඩුව විවේචනය කල බව, කම්කරුවන් යලි මතකයට නගා ගත යුතු ය. ජාමූඅ-නියෝග කරන කප්පාදු පිලිවෙත් ක්‍රියාත්මක කිරීමේ දී, තම ආන්ඩුවක් වඩා ඵලදායී වනු ඇතැයි ජවිපෙ දැන් විවෘත ව ප්‍රකාශ කරමින් සිටී.

වික්‍රමසිහ ආන්ඩුව විසින් ක්‍රියාවට දැමෙමින් පවත්නා, ජාමූඅ-විධානිත රුදුරු කප්පාදු පියවරයන්ට එරෙහි ව, තමන්ගේ ම ස්වාධීන දේශපාලන අරගලයක් වර්ධනය කරන ලෙසත්, ගම්බද දුගීන් තම පාර්ශවය වටා රැලි කරගන්නා ලෙසත්, සසප කම්කරු පන්තියට කැඳවුම් කරයි.

කම්කරුවන්ගේ හා ගම්බද පීඩිතයින්ගේ ක්‍රියාකාරී කමිටු වටා, සිය සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරගැනීම සඳහා වන දේශපාලන සටනක් වර්ධනය කල හැකි, පහත දැක්වෙන පිලිවෙත් සසප ඉදිරිපත් කරයි:

• ජාමූඅ කප්පාදු න්‍යාය පත්‍රය ප්‍රතික්ෂේප කරනු! වැටුප් කප්පාදු එපා! විශ්‍රාම වැටුප් කප්පාදු එපා!

• සියලු කම්කරුවන්ට ජීවන වියදමට අනුව ඉහල දමන වැටුප්! අධික උද්ධමනයට මුහුන දීම සඳහා ඔබින මට්ටමක් දක්වා විශ්‍රාම වැටුප් ඉහල දමනු!

• කුසගින්න හා මන්දපෝෂනය එපා! සියල්ලන්ට පෝෂ්‍යදායී ආහාර වේලක් සහතික කරනු!

• සියලු විදේශ නය ප්‍රතික්ෂේප කරනු! සුපිරි ධනවතුන්ගේ වත්කම් අත්පත්කර ගනිමින්, ප්‍රධාන බැංකු හා සංගත, කම්කරුවන්ගේ පාලනය යටතේ ජනසතු කරනු!

මිලියන ගනන් දෙනා මුහුන දෙන කුසගින්න හා සාගතය අවසන් කිරීමටත්, රෝහල්වල වෛද්‍ය උපකරන හා ඖෂධ පවත්නාබව සහතික කිරීමටත්, නිෂ්පාදනය හා බෙදාහැරීම තම ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ප්‍රතිසංවිධානය කල යුතු බව කම්කරු පන්තිය හඳුනාගැනීම අවශ්‍ය ය. ගම්බද ගොවීන්ගේ දුක්ඛිත තත්වය අවසන් කිරීම සඳහා, ඔවුන්ගේ නය අහෝසි කොට පොහොර සහනාධාර යලි හඳුන්වා දීම අවශ්‍ය ය.

හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර, මිලිටරිය හා පොලීසිය දිගේලි කරමින්, කම්කරුවන්ගේ හා පීඩිතයන්ගේ ඕනෑ ම විරුද්ධත්වයක් තලා දමන බවට වික්‍රමසිංහ තර්ජනය කර ඇත. දැනට මත් ඔහු, ආන්ඩුවට එරෙහි විරෝධතාකරුවන්ට විරුද්ධ ව, කුප්‍රකට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) යොදාගෙන ඇත. ලංවිම, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සහ ජල සම්පාදන හා ජලාපවාහන මන්ඩලය ආවරනය කරමින්, ඒවායේ වැඩ වර්ජන තහනම් කිරීම සඳහා, මේ සතියේ දී අත්‍යවශ්‍ය මහජන සේවා පනත (ඊඑස්ඒ) දීර්ඝ කිරීමට ආන්ඩුව ක්‍රියා කලේ ය.

කප්පාදුවට එරෙහි ව, කම්කරු පන්තිය හා පීඩිත මහජනයා නියැලෙන අරගලයක්, ආන්ඩුව හා මර්දනීය රාජ්‍ය යාන්ත්‍රනය සමග ඍජු ගැටුමකට මුහුන දෙනු ඇත. මේ තත්ත්වයේ දී, විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමටත්, පීටීඒ හා ඊඑස්ඒ ඇතුලු සියලු මර්දනීය අනපනත් අවලංගු කිරීමටත්, කම්කරු පන්තිය උද්ඝෝෂනය කිරීම හදිසි අවශ්‍යතාවකි. වැඩකරන ජනයාගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරගැනීමේ උද්ඝෝෂනය, මූලික සමාජ අයිතීන් සඳහා වන අරගලය සමග වෙන් කල නොහැකි ලෙස බැඳී තිබේ.

සිය ශක්තිය බලමුලු ගැන්වීමටත්, ගම්බද දුගීන් රැලි කරගැනීමටත්, සමාජවාදී පිලිවෙත්වලට කැපවන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කිරීමටත්, අවශ්‍ය දේශපාලනික ක්‍රියා මාර්ගය සම්පාදනය කිරීම පිනිස, කම්කරුවන්ගේ හා ගම්බද දුගීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීමේ උද්ඝෝෂනයක් සඳහා ආරම්භකත්වය ගැනීමට, ජූලි 20දා ප්‍රධාන ප්‍රකාශයක් නිකුත් කරමින්, සසප පියවර ගත්තේ ය. දිවයින පුරා කම්කරුවන්ගේ හා ගම්බද පීඩිතයින්ගේ ක්‍රියාකාරී කමිටුවල නියෝජිතයන් මත පාදකව, මෙම සම්මේලනය ගොඩනැගෙනු ඇත.

කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සසප සටන, දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර ව සමාජවාදය සඳහා වන පලල් අරගලයෙහි ඒකාග්‍ර කොටසකි. කම්කරු පන්තියේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වලට පාලක පන්තිය එල්ල ප්‍රහාරයට එරෙහි පොදු අරගලයක් තුල, ලංකාවේ කම්කරුවන් ලොව පුරා සිය පන්ති සහෝදර සහෝදරයින් සමග එකමුතුවක් වාත්තු කරගැනීම අවශ්‍ය ය.

ලංකාවේ කම්කරු පන්තියෙහි සගයන් වන්නේ, රැකියා, වැටුප් හා සේවා කොන්දේසි මත එක හා සමාන ප්‍රහාරයන්ට මුහුන දෙන ලොව පුරා කම්කරුවන් ය. කම්කරුවන්ගේ අරගල ගෝලීය මට්ටමකින් එකමුතු කිරීමට ක්‍රියා මාර්ගය සම්පාදනය කරන, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ආරම්භකත්වය ගෙන ඇති කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (ක්‍රිකජාස) සමග ලංකාවේ කම්කරුවන් සම්බන්ධ විය යුතු ය.

මෙම අරගලයට නායකත්වය දෙන කම්කරු පන්තියේ මහජන විප්ලවවාදී පක්ෂය ලෙස සසප ගොඩනැගීමට එය හා සම්බන්ධ වන ලෙස, අපි කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලමු.

Loading