ඇලෙක්සැන්ඩර් වොරොන්ස්කි ලිපි සරනිය

කලා නිර්මානශීලීත්වය පිලිබඳ සටහන්

තෙවැනි ලිපිය (I කොටස)

1927 දී නොවි මිර් (නව ලෝකය) සඟරාවට වොරොන්ස්කි ලියූ මේ ලිපිය ලෝකය දැකීමේ කලාව (1928) නමැති රුසියානු ග්‍රන්ථයෙහි ප්‍රතිමුද්‍රිත ය. කොටස් දෙකක් වසයෙන් පලකරන මෙම ලිපියේ දෙවැනි කොටස දෙසැම්බර් 12දා පලකරමු.

***

සාහිත්යික සංවේදනවලින් අපට කිසිදු හිඟයක් නැත. මෙය මුලුමනින් ස්වාභාවික ය. මෑත දී, අපේ ප්‍රකාශකයෝ ටී. ඒ. කුස්මින්ස්කායාගේ අනුස්මෘති හෙවත් නිවසේ සහ යස්නයා පොලියානාවේ මගේ ජීවිතය නමැති තුන් ඈඳුත්ත සහ කේ. එස්. ස්ටැනිස්ලාව්ස්කිගේ කලාව තුල මගේ ජීවිතය නමැති දැවැන්ත කෘතිය මුද්‍රනද්වාරයෙන් බිහි කලහ. මේවා ඉතා අනර්ඝ වුව ඒ පිලිබඳව ලියැවුනු යමක් ඇත්නම් ඒ ඉතා අල්පයකි. ජනයා එදෙස නෙත් හෙලුවා පමනි. එහෙත්, මේ ග්‍රන්ථ ද්වය ඊට වැඩි අවධානයක් ඉල්ලා සිටී. නිරාකූල, සරල හා ව්‍යක්ත බසින් සැලකිලිමත්ව ලියැවී ඇති මේවා ඉතා පුලුල් පරාසයක ආවර්ජනා උදෙසා අගනා අමුද්‍රව්‍ය සපයයි. තමන් පවසන සහ නාභිගත වන දෑ කෙරෙහි පවතින ගැඹුරු ප්‍රේමයක් ඒවායින් වහනය වන අතර මෙවක ඉතා කලාතුරෙකින් දැකිය හැකි අවංකභාවයක් හා අව්‍යාජත්වයක් එමගින් පෙන්නුම් කෙරේ. කෙටියෙන් කියතොත්, මේ ග්‍රන්ථ ද්වය අයත් වනුයේ බරසාර අද්‍යතන සාහිත්යික ධාරාවට ය.

කුස්මින්ස්කායාගේ අනුස්මෘති සහ ස්ටැනිස්ලාව්ස්කිගේ කෘතිය ප්‍රගාඪ ලෙස එකිනෙකට වෙනස් ප්‍රවේශ දැරීම භව්‍ය ය, යුක්තියුක්ත ය. ඉතා පැහැදිලි ව යටගියාව ඉස්මතු කෙරෙන බැවින් ඒවා ඓතිහාසික දෘශ්ටි කෝනයෙන් චිත්තාකර්ශනීය ය. ඒ තුල නිරූපනය කෙරෙන ආලේඛ්‍ය නිසා ද ඒවා චමත්කාරජනක ය. දැනකියා ගත් ලෝකයා හඳුනන පුද්ගලයෝ රැසක් සජීවී ආලේඛ්‍ය ඔස්සේ පාඨකයා හමුවට එති: එල්. එන්.තොල්ස්තෝයි, ඒ. පී. චෙකොෆ්, එම්. ගෝර්කි, එම්. මයෙටර්ලින්ක්, ෆෙට් [ශෙන්ශින්], එස්. ඒ. තොල්ස්තායා සහ අන් සියල්ලන්ට ම වඩා අප කතුවරුන් දෙපල මත් ය. ඒ හැර, අතුල්‍ය හා අද්විතීය කලාකාර යුගලක් වන තොල්ස්තෝයිගේ (ගද්‍යය) සහ ස්ටැනිස්ලාව්ස්කිගේ (රංගය) නිර්මානාත්මක මංපෙත් සමඟ ගනුදෙනුවක නිරත වන බැවින් මේ කෘති දෙක ම කලා නිර්මානශීලිත්වයේ මනෝවිද්‍යාවට අදාල ප්‍රශ්න පැන නංවයි. කුස්මින්ස්කායා සහ ස්ටැනිස්ලාව්ස්කි යන දෙදෙනා ම කලා නිර්මාන කාර්යයේ රහස්‍ය විද්‍යාගාරය තුලට මඳ බැල්මක් හෙලීමට අපට ඉඩකඩ සලසා දෙති. කලා නිර්මානශීලිත්වයේ මනෝවිද්‍යාව හා විධික්‍රම වත්මන් සාහිත්යික පරපුර තුල දිනපතා ම පාහේ වඩවඩා බලගතු ලෙස පැලපදියම් වනුයේ කම්කරු ලිපි හුවමාරුවලින් ඇරඹී අත්දැකීම් බහුල ප්‍රවීනයන්ගෙන් කෙලවර වෙමිනි.

තොල්ස්තෝයිගේ යථාර්ථවාදය

ටී [තත්යානා /‘ටානියා’]. ඒ. කුස්මින්ස්කායා (විවාහයට පෙර බර්ස්) යනු තොල්ස්තෝයිගේ භාර්යාව වූ සොෆියා [‘සෝනියා’] ඇන්ද්‍රියෙව්නාගේ බාල නැඟනිය යි. නතාශා රොස්තොව් නමැති චරිතය [යුද්ධය හා සාමය] සඳහා ලියෝ නිකොලායෙවිච් මෑ ආදර්ශ කොට ගති. ඇගේ ස්මෘති 1846-68 කාල වකවානුව ආවරනය කෙරෙන අතර තොල්ස්තෝයි හමුදා සේවයෙහි යෙදී සිටි වකවානුව පවා ඈ සිහිපත් කරයි. තමා ඔහු දැනහැඳින ගත් අයුරු ද, ලියෝ නිකොලායෙවිච්ගේ මුදු මාරුව හා විවාහ මංගලෝත්සවය ද ඈ විස්තර කරයි. ඉක්බිති, කුස්මින්ස්කායා නිතර ගොඩවැදුනු, අමුත්තියක ලෙස විටින් විට දිගු කල් රැඳුනු යස්නයා පොලියානාවෙහි ගෙවී ගිය තොල්ස්තෝයිගේ පවුල් ජීවිතයේ මුල් අවධිය ඇය අප හමුවේ විදහා දක්වයි. අනතුරුව, පවුලේ සුහද හමු, නිවාඩු දවස්, දඩ කෙලි, විනෝද සවාරි, නෑගම්, ලිපි හුවමාරු, ‘ටානියාගේ’ පුද්ගලික ජීවිතය, ඇගේ ආලනුරා හා විරහ තැවුල්, තොල්ස්තෝයි සමඟ පැවති සංවාද යනාදිය එකින් එක අනුපිලිවෙලින් දිගහැරේ. තොල්ස්තෝයි කොසෑකයෝ සහ යුද්ධය හා සාමය යන කෘති රචනා කලේ මෙසමයෙහි ය. එබැවින්, ලියෝ නිකොලායෙවිච්ගේ පුද්ගලික හා කලාමය ජීවිතයේ හොඳ ම කාලය කුස්මින්ස්කායාගේ මතක සටහන් තුල ප්‍රතිනිශ්පාදනය වෙයි.

ලියෝ තොල්ස්තෝයිගේ බැදෑනිය වූ ටී [තත්යානා]. ඒ. කුස්මින්ස්කායා හෙවත් ‘ටානියා’ (1846-1925) [Photo: Mayer & Pierson]

තොල්ස්තෝයිගේ සුධීමත්භාවය පූර්න යථාර්ථවාදයට අයත් වූවකි යන කරුන කුස්මින්ස්කායාගේ කෘතියෙන් තහවුරු කෙරේ. තොල්ස්තෝයි, මූලිකව ම, නිරීක්ශනය, සෝදිසිය, සිහි තබා ගැනුම හෝ සටහන් තැබීම සිදු කල අතර දේවල් සිතා ගැනුම හෝ නිපදවීම කෙරෙහි නුහුරු බවක් දැක්වී ය. ඔහු අනුගමනය කලේ ගොගොල්ට හෝ දොස්තයෙව්ස්කිට වඩා වෙනස් මඟකි. ස්වකීය කෘතීන්හිලා ගොගොල් හා දොස්තයෙව්ස්කි ජීවිතයෙන් හා යථාර්ථයෙන් හුදෙක් පලා ගිය අතර සිය වීරයන් අඩසැබෑ, අඩමනස්සෘශ්ටික වටාපිටාවක රැඳවූහ. ඔවුන් එසේ කලේ යථාර්ථය විසින් ඔවුන් මඩිනු ලැබ අසන්තෘප්තියෙහි හෙලීම කරනකොටගෙන ය. ඔවුහු යථාර්ථය සමඟ අනුගුන නොවූහ. ඔවුන් සුවිශේශී, අඩමනස්සෘශ්ටික ලෝකයක් තුල ලැගුම් ගත් බැවින් ඔවුන් අත පත් වීරයන් සත්‍ය ජීවන චරිත නොවන සේ පෙනී යතත් ඇත්ත වසයෙන් ම, ඒවා ද කලාත්මකව සත්‍යවාදී වෙයි. එම චරිත විටෙක උඩුයටිකුරු වූ නැතිනම් දකුනුපස උඩට හැරුනු රාබු අලයක, නැතහොත් වට්ටක්කා ගෙඩියක ස්වරූපය ගනී. ඇතැම් විට, Terrible Vengeance [දුශ්ට පලිය][1] තුල එන අද්භූත සූනියම්කරු මෙන් මොවුන් කෙරෙන් තිරිසනුන්ගේ දල වැඩී එන අතර මොවුහු කෙතරම් කුදු බවට පත්ව නැතහොත් අනිච්ඡානුග වලිප්පුවලින් ග්‍රස්තව සිටින්නාහු ද යත් මෙකී ආකුංච (spasms) හැර අන් යමක් දැක ගැනුම උගහට ය. සැබෑ ජීවිතය තුල ප්ලියුශ්කින්, ක්ලෙස්ටකොව් නැතිනම් නොස්ඩේ‍රව් කෙනෙකු දැක තිබෙන කිසිවෙක් සිටී ද? රස්කොල්නිකොව්, ස්මෙර්දියාකොව්, ස්විද්‍රිගයිලොව් නැතිනම් කරමසොව් කෙනෙකු දැකීම පවා විරල ය. සියල්ලෝ ම පාහේ නොස්ඩේ‍රව්වාදය, කරමසොව්වාදය, ක්ලෙස්ටකොව්වාදය අත්විඳ තිබෙන අතර හැම පියවරක දී ම ඔබට එබඳු ප්‍රපංච මුනගැසේ. එහෙත්, ගොගොල්ගේ මෙන් ම දොස්තයෙව්ස්කිගේ ද වීරයෝ තථ්‍ය රූපාකාරයෙන් නොපවතින්නාහු ය. හුදෙක් කෘත්‍රිම පරිවේශය තුල පිලිසිඳ ගැනෙන මොවුන් කලාකරුගේ අභිමතය මත එහි රඳවනු ලැබ ඇත. යම් හෙයකින්, ඔබ ඔවුන් අපේ දෛනික ජීවිතය තුල රඳවයි නම්, එවිට ඔවුන්ගේ ප්‍රභාව වියැකී පර වීම ඇරඹෙයි; රංජනය හා තීව්‍රතාව හීන වෙයි.

තොල්ස්තෝයි සහ ඔහුගේ වීරයෝ ඉඳුරා වෙනස් පුද්ගලයෝ වෙත්. ඔහු යථාර්ථය නිකම් ම පිටපත් කිරීමක නියැලුනේ නැති වග කිවමනා නොවේ. තම විරුවන් නිරීක්ශනය කිරීමෙහි දී සහ නිර්මානය කිරීමෙහි දී ඔහු ඇතැම් ගුනාංග හා ගති ලක්ශන තෝරා ගනු ලැබුවේ සමහරක් උලුප්පා පෙන්වන අතර සෙස්ස යටපත් කරමිනි. එම වීරයන් සතුව නැතැයි තමන්ට හැඟී ගිය දෑ ඔහු ඔවුනට හිමි කර දුනි. එම්. ත්සියව්ලොව්ස්කිගේ අභිකථනය (assertion) නොතකා තොල්ස්තෝයිගේ මතු දැක්වෙන කියමන සමඟ අපට එකඟ වීමට පුලුවන: “මා නතාශා බිහි කලේ සෝනියා හා ටානියා අතර දෙමුහුමෙනි.” මෙය සත්‍යයකි. එමතුදු නොව, නතාශා තුල ‘ටානියා’ වැඩි පංගුව ද ‘සෝනියා’ අඩු පංගුව ද භජනය කරයි. වඩා වැදගත් කාරනාව නම්, තොල්ස්තෝයි සිය වීරයන් කෘත්‍රිම, අඩ-යථාර්ථවාදී සමාජ පරිවේශයක් මධ්‍යයෙහි නොතැබීම යි. එවැනි පෙලඹවීමක් ඔහු තුල නොවී ය. මෙකී වකවානුවෙහි ඉතා අරුත්බර හා මාහැඟි ජීවිතයක් ගත කරමින් සිටි තොල්ස්තෝයි හට එබඳු ලෝකයක් බෙහෙවින් ආගන්තුක විය. ඒ හැටියට පැවතුන ජීවිතයට පෙම් බැඳි ඔහු තෘප්තියෙන්, සතුටින් හා මනා තුනුසපුවෙන් යුතුව කල් ගෙවී ය. ඉඩම් හිමියෙකු ලෙස තමා දැරූ උසස් තත්ත්වයට හෝ සිය ඥාතිමිත්‍ර සබඳතාවන්ට හෝ කිසිසේත් ඔහු මැඩපැවැත්විය නොහැකි විය. එකල පවා ඇතැම් සංශයන් ඔහුට ආගන්තුක නොවූ බව නිසැක නමුත් ඒවා ඔහුගේ ජීවිතයෙහි ප්‍රමුඛස්ථානයක් භජනය කලේ නැත. 1864 දී, යුද්ධය හා සාමය නවකතාවට සැපයූ ආමුඛයෙහිලා ඔහු මෙසේ ලිවීම අරුමයක් නොවේ: “එම වකවානුවට අයත් ස්මාරක හා තවත් හේතූන්ට පින් සිදු වන්ට, කුලදෙටු ජීවිතය මා හට ඉතා සුගම, සිත්කලු හා සුමිහිරි එකක් විය.”[2] එවක ඔහුගේ සමාජ පරිවේශය ගැන සලකන කල්හි, තොල්ස්තෝයි ප්‍රීතිමත් අධ්‍යාත්මික සමතුලිතතාවක් භුක්ති විඳිමින් සිටියේ ය. ස්වකීය වතුයායෙහි වාසය කිරීම හා ගෘහ පාලනය කෙරෙහි ඔහු මහත් ලැදියාවක් දැක්වී ය: හෙතෙම සූකරයන් ඇතිදැඩි කලේ ය, දඩ කෙලියෙහි යෙදුනේ ය, සාර්ථක පවුල් ජීවිතයක් ගෙවී ය. කුස්මින්ස්කායා සිය වෙලුම් ත්‍රිකය තුල පවුලේ ලියුම් රැසක් උපුටා දක්වයි. මේ වකවානුවෙහිදී සොෆියා ඇන්ද්‍රියෙව්නා සහ ලියෝ නිකොලායෙවිච් අතර හුවමාරු වූයේ මේ වර්ගයේ ලියුම් ය:

ලියෝ නිකොලායෙවිච්: “තත්යානා, මා හිතාදර මිතුරිය, මට අනුකම්පා කරන්න. මා හට මෝඩ භාර්යාවක සිටී. මා එය පවසන්නේ ඔබ එය පවසන තාලයෙන් ම ය.”

සෝනියා: “ටානියා, මෝඩයා ඔහු යි.”

ලියෝ නිකොලායෙවිච්: “අප දෙදෙනා ම මෝඩයන් බව හඟවන පුවතින් ඔබ බොහෝ සේ කම්පා විය යුතු ය. නමුත්, කනගාටුවට පසුව අස්වැසිල්ලකි: මෝඩයන් වීම ගැන අපි දෙදෙනා ම සෑහීමට පත් වන අතර එසේ නොවීමට වුවමනාවක් නොදක්වමු.”

ලියෝ තොල්ස්තෝයිගේ භාර්යාව වූ සොෆියා ඇන්ද්‍ර ියෙව්නා තොල්ස්තායා හෙවත් ‘සෝන ියා’ (1844-1919) ඔවුන්ගේ දියනිය ඇලෙක්සැන්ඩ්රා සමග

මෙකී සහ මේ ආකාරයේ ලිපි ලියැවුනේ යමෙකු සන්තුශ්ටියෙන් හා තෘප්තියෙන් පසුවන කල්හි පමනි. දඩ කෙලියක් පිලිබඳව කුස්මින්ස්කායා පවසන එක් පුවතක් මෙසේ ය: තමා ගමන් ගත් අශ්වයාගේ බඳපටිය බුරුල් වී සෑදලය පැත්තකට බර වෙමින් තිබින. අසු පිට යෑමෙහි නුහුරු කුස්මින්ස්කායා සෑදලය ද සමඟ පහලට රූටන්ට වූවා ය:

මා යලිත් ලියෝ නිකොලායෙවිච්ට අඬගැසීමට තැත් කල නමුත් මගේ කටහඬ සුලඟට මුසු වූයේ නැත. ඒ අතර ලගන්නා සුලු අප්‍රතිහත විධානයක්මතු විය:

“ඌ අල්ලාපිය, ඌ අල්ලාපිය!”

තත්ත්පර කීපයකින් අලු පැහැ තඩි හාවෙකු මා පසු කරමින් පැන ගිය අතර දඩයම් බල්ලෝ ඌ ලුහුබඳින්නට වූහ; මගේ සුනඛයෝ ගොදුරට ආසන්න වෙමින් සිටියහ.

තම ජවාධික ධවල සෛන්ධවයා පිට නැඟුනු ලියෝ නිකොලායෙවිච් මා අසලින් ඉගිලෙනු දැක මම මුලු වැර යොදා බෙරිහන් දුනිමි:

“ලියොවොච්කා, මම වැටෙන්න යනවා!”

“ඩිංගක් ඉවසන්න, සුදෝ!” මා පසු කර හැල්මේ යන අතරවාරයේ ඔහු කී ය.

පෙරලා පැමිනි ලියෝ නිකොලායෙවිච් සියල්ලට ම පෙර ජුගුප්සාවෙන් යුතුව මෙසේ පැවසී ය:“ඌ පැනලා ගියා!”

තවත් අවස්ථාවක, මේ අනාගත “නපුරට ප්‍රතිරෝධය නොපාන්නා” විටෙක ක්‍රියා කලේ කෙසේ දැයි කුස්මින්ස්කායා අපට කියන්නී ය:

අප දියෙහි බැස සිටින විට, “කෙලිකබාකරුවෝ” (sportscoats)[3] යුගලක් අප කරා ආහ. කොක්හඬලමින් අපට ඔච්චම් කරන්ට වන් ඔවුහු තමන් අප උනා තැබූ ඇඟලුම් රැගෙන යන බවට සරදම් කලහ. ගැඹුරු දියෙහි කරවටක් ගිලී සිටි අපට කල හැකි වූයේ “කරුනාකර ඉවත යන්න!”යි බැගෑපත් වීම පමනි. එහෙත්, ඔවුහු ඉවත්ව යන හැඩක් නම් නොපෙනුනි. වාසනාවකට මෙන් ලියෝ නිකොලායෙවිච් මඳක් ඈතින් ඇවිදගෙන එමින් සිටි අතර ඔවුහු ඔහු දැක වහා පලා යන්නට වූහ. ඉච්ඡාභංගයට පත් සෝනියා හඬා වැටුනාය: “ලියොවොච්කා!” ඔවුන් යලි අප කරා නොපැමිනි අතර ලියෝ නිකොලායෙවිච් ඉන් එකෙකු අල්ලාගෙන කෝටු පහර දෙන සැටි අපි දුටිමු.

සැබවින් ම, එසමයෙහි ලියෝ නිකොලායෙවිච් නපුරට ප්‍රචන්ඩකාරීව ප්‍රතිරෝධය නොපෑමෙහි ආස්ථානයෙන් හා ජීවිතය කෙරෙහි සමාජාපගත (misanthropic) ආකල්පයෙන් දුරස්ථව සිටියේ ය. සරල දැයෙහි රමනීයත්වය අගය කල හා එයට ඇලුම් කල ඔහු ඒවායෙහි පුසුඹ විඳ ගත්තේ ය; ශ්‍රී විභූතිය හා සෞභාග්‍යය අතින් උච්චස්ථානයක වැජඹුනේ ය. පොලෝ තලයෙන් මූලෝත්පාටනය වීමෙහි හෝ ඉන් බැහැර යෑමෙහි අවශ්‍යතාවක් ඔහුට නොවී ය. ගොගොල් නැතහොත් දොස්තයෙව්ස්කි මෙන් අඩ-සැබෑ, අඩ-මනස්සෘශ්ටික ලෝක නිර්මානය කිරීමෙහි හේතුවක් ඔහුට නොවී ය. තමා අවට ගැවසෙන‘මෘත’ ආත්ම[4] හෝ කරමසොව්ලාගේ දුශ්ට හා කාමුක බලවේග හෝ ඔහු නොදුටුවේ ය. ඔහුගේ ලෝකය සුවිශද හා සුපරිශුද්ධ වූවකි. තොල්ස්තෝයිගේ සුධීමත්භාවය වර්ධනය වූයේත් ශක්තිමත්ව වැඩී ආවේත් පරිපාකයට ගියේත් ජීවිතය පිලිබඳ මෙකී සංජානනයට මුලුමනින් අනුරූපීව ය. සිය කෘතීන්හිලා ලියෝ නිකොලායෙවිච් තමාට සමීපස්ථ උදවිය හා සැබෑ සිද්ධීන්, කලාවෙහි දී පමනක් පිලිසිඳ ගනු ලැබෙන ඉහල ම සත්‍යාභාසයෙන් (verisimilitude) යුතුව චිත්‍රනය කල අයුරු කුස්මින්ස්කායා පැහැදිලිව හා විශ්වසනීයව පෙන්වා දෙන්නී ය. ඇගේ ස්මෘති කියවන කල්හි ඔබට සැම විට ම යුද්ධය හා සාමයේ අනුරූපී කොටස් හා පරිච්ඡේද සිහිපත් වනු ඇත. නතාශා රොස්තොව්ගේ ප්‍රතිබිම්බය ‘ටානියාගේ’ ප්‍රතිබිම්බය සමඟ කොතෙක් දුරට සම්පාත වනුයේ ද යත් යමෙකු තුල මෙබඳු සැකයක් හට නඟී: කුස්මින්ස්කායාගේ ස්මෘති කෙරෙහි තොල්ස්තෝයිගේ නවකතාව බල නොපෑවෙහි ද? ටානියාගේ හා නතාශාගේ ප්‍රතිබිම්බ අතර මතු නොව ඔවුන්ගේ සැබෑ ජීවන ප්‍රවෘත්ති හා නවකතාවෙහි එන සිද්ධීන් අතර ද බලගතු සම්පාත වීමක් තිබේ: ඇනතෝලි කෙරෙහි ප්‍රේමාන්ධය, රෝගාතුර වීම, පැකිලීම, සුවපත් වීම, දඩ කෙලිය, කුනාටුව යනාදිය යි. තොල්ස්තෝයි කලාව විශයයෙහි මහඟු වටිනාකමින් යුත් “සුලු විස්තරකථන” පවා සිය පවුල් ජීවිතයෙන් නොමසුරුව නයට ගති. පොලිවානොව් නමැත්තා වෙත යැවූ ලිපියක ‘ටානියා’ මෙසේ පවසන්නී ය:

ඔහු තෙවැනි වෙලුම ද ඉක්මනින් එලිදක්වනු ඇත. එහි ඇතැම් ඡේද අප හමුවේ කියවන ලද අතර ඒවා සිත් වසඟයට ගනී. නමුත්, ඉතා භයංකර වනුයේ ඔහු ඇනතෝලිගේ චරිතය විස්තර කරන අන්දම යි. එය චිත්‍රනය වී තිබෙනුයේ කෙතරම් නිවැරදිව ද? මා සමඟ යෙදී ගත් සංවාද මතු නොව මගේ ගෙල පැලඳි පීත්ත පටිය පවා ඔහුගේ පිරික්සුමට හසුව තිබේ.

යුද්ධය හා සාමයෙහි අඩංගු චිත්තාකර්ශනීය විස්තරයන්ගෙන් එකක් වන බෝනික්කා පිලිබඳ ජවනිකාව ලියෝ නිකොලායෙවිච් විසින් මුලුමනින් ම යථාර්ථයෙන් පිටපත් කෙරී නවකතාව තුලට රිංගවනු ලැබ තිබෙන බව අපගේ ද වැටහීම යි.

නතාශාගේ, බොල්කොන්සිකිවරුන්ගේ, ඩොලීගේ සහ ඇනා කැරනිනාගේ ලෝකය තොල්ස්තෝයි ‘නිවැරදිව’ චිත්‍රනය කල බවට සැක නැත. මන්ද යත්, මොහොතකට පවා මෙකී ලෝකයෙන් ගැලවී යෑමෙහි අවශ්‍යතාවක් ඔහුට නොතිබුනු හෙයිනි: එකල ඔහුට එය සිත්කලු ලෝකයකි. තථ්‍ය, දෛනික ජීවිතය කෙරෙහි සිය ආශාව පහව ගිය ගොගොල්ගේ හා දොස්තයෙව්ස්කිගේ වීරයන් කෘත්‍රිම සහ බොහෝ විට අඩ-උන්මාදනීය තත්ත්වයට පත්ව සිටිනු පැහැදිලිව දැකගත හැකි අතර තොල්ස්තෝයිගේ නවකථා තුල හමුවන වීරයන් හා පුද්ගල චරිත පරිකල්පනය කල හැකි වනුයේ ඔවුන්ගේ සැබෑ ජීවිත පසුබිම තුල පමනි. නතාශා රොස්තොවා, පියෙරි, කිටී නැතහොත් කුරාගින් යන චරිත ඔබ විසින් ගොගොල්ගේ නැතහොත් දොස්තයෙව්ස්කිගේ ලෝකයෙන් වට කරනු ලැබී නම් ඔවුන් හුදෙක් නිර්-පරිකල්පනීය උදවිය බවට පත් වනු ඇත. එබඳු යථාර්ථයක් තුල ඔවුන් පමන ඉක්මවා යන අතර ස්ථානෝචිත නොවනු ඇත. එහෙයින්, අපට පොදු නිගමනයකට එලඹීමට පුලුවන: මනුශ්‍යයන්ගේ සහ සිද්ධීන්හි ‘නිවැරැදි’ ආලේඛ්‍යවලින් සමන්විත තොල්ස්තොයානු යථාර්ථවාදය කලාව විශයයෙහි පෝශනය ලද්දේ ජීවිතය කෙරෙහි මිථ්‍යාමතික ඇල්මකින් සහ යථා ලෝකය කෙරෙහි ප්‍රේමයෙනි. කලාව විශයයෙහි තොල්ස්තොයානු මාවත අනුගමනය කරනුයේ, යුහුසුලුව හා ප්‍රමුදිතව “ලෝකය බාර ගන්නා” වූත් ආපසු නොහැරී, සංත්‍රාසයෙහි හා පරිපීඩනයෙහි තුමූ ම නොගැලී, “ඇලෙනසුලු වසත්පත්‍ර” කීතු නොකොට ඒවාට පෙම් බඳින්නා වූත් මිනිසුන් ය.[5]

නව පුරවරයක් ගොඩනැඟීම උදෙසා මෙකල පරිශ්‍රම දරන අපට වඩා සමීප මාර්ගය කවරේ ද? –‘නිරවද්‍ය’ ආලේඛනයෙන් යුතු තොල්ස්තෝයිගේ මඟ ද,නැතහොත්, ගොගොල් හා දොස්තයෙව්ස්කි ගත් ප්‍රතිශේධනයෙහි සහ ගොතා කීමෙහි මඟ ද? නූතන කලාකරුවන් ස්වකීය කලාවෙහිලා මෙකී විධික්‍රමද්වයෙහි සංස්ලේශනයක් සොයා යා යුතු වග යමෙකු කල්පනාවට ගත යුතු ය. තොල්ස්තෝයි මෙන් ම අප ද පන ගැහෙන ජීවිතයට හා මිහිකතට – එහි ප්‍රීති ප්‍රමෝදයන්ට හා ආහ්ලාදජනක පාර්ශ්වයට දැඩි ලෙස ප්‍රේම කරන බැවින් අපට තොල්ස්තෝයි වඩා සමීපස්ථ ය, ලෙන්ගතු ය. අපිදු ජීවන පිපාසාවෙන් පෙලෙන්නෝ වෙමු. අප මිථ්‍යාමතික වුවත් අපේ ‘මනාපය’ අනුව දැනට මත් අප වටා පවතින යථාර්ථයෙහි අන්තර්ගත සියලු දෑ කෙරෙන් අපි බොහෝ දුරස්ථව සිටිමු. යථාර්ථයෙහි අභිනව තීරනාත්මක පරිවර්තකයන් වන අපට යුද්ධය හා සාමය රචනා කිරීමෙහි දී ලියෝ නිකොලායෙවිච් භුක්ති විඳි ප්‍රීතිමත් කායික හා අධ්‍යාත්මික සමතුලිතතාවෙහි ගැලෙනු නොහැක. ලොව පවතින හැම දෙයක් ම අපට බාර ගත නොහැකි අතර මෙහිලා ගොගොල්ගේත් දොස්තයෙව්ස්කිගේත් තියුනු අසන්තෘප්තිය සහ මිනිසා සිය උච්චතම ස්ථානයට කැටුව යෑමෙහි ප්‍රාර්ථනාව අපට සමීප වෙයි. නමුත්, යථාර්ථය නිශේධ කරන අතරතුර ම, යථාර්ථය හා පරමාදර්ශය අතර සන්ධානයක් ගොඩනැඟුමට ගොගොල් හා දොස්තයෙව්ස්කි අසමත් වූහ. නිශේධයෙහි ගැබ් වන අපෝහක හා ප්‍රකම්පන බලය ඔවුහු හඳුනාගෙන නොසිටි අතර එහෙයින් ම කාලකන්නිකමට, දුඃඛිතභාවයට හා ගොරතර යථාර්ථයට එරෙහිව ඔවුන් පෑ විරෝධය සංකටයකින් (cul-de-sac) කෙලවර විය. නොඑසේ නම්, ඔවුහු විභ්‍රමයෙන් (delirium) හා මනස්සෘශ්ටියෙන් පිරි ලෝකයක් කරා තල්ලු වී ගියහ. විප්ලවීය කලාව, තොල්ස්තෝයිගේ යථාර්ථවාදයත් ගොගොල්ගේ හා දොස්තයෙව්ස්කිගේ අද්භූතවාදයත් ඓන්ද්‍රීයව සම්මිශ්‍රනය කිරීමට සමර්ථ විය යුතු අතර එසේ කල හැකි වනුයේ, යථාර්ථය අබියස පමනට වැඩි දන්ඩනමස්කාරයෙන් පූර්වොක්තය ද, තිමිර සමාජාපගතභාවයෙන්, අසාර දර්ශනයෙන් හා සංශයවාදයෙන් අපරොක්තය ද මුදා ගැනුමෙනි. අවසන් විග්‍රහයේ දී, අපට වඩාත් සමීප වනුයේ තොල්ස්තොයානු යථාර්ථවාදය යි; එය නුමුහුන් ය, වඩා ප්‍රනීත ය. ප්‍රමෝදය හා සුවසෙත වෑස්සෙන එය අපේ පදනම හැටියට අපි පිලිගත යුතු වෙමු. යථාර්ථවාදය සමඟ අද්භූතවාදය සංයෝග කිරීම නමැති කාරනාව කල යුතු ම දෙයක් හැටියට අප ඉස්මතු කලේවත් නැත. අවාසනාවකට, මෙතෙක් අප කල් බැලීමට, නීරසෝක්ති (platitudes) පුනරාවය කිරීමට, දේශපාලනය හුවා දැක්වීමට හා මේවා ගෑවිලාවත් නැති තැන පවා සකල සියලු අපසරන සෙවීමට ප්‍රිය කලෙමු. මේ ප්‍රශ්නය විසඳනුව මක්සිම් ගෝර්කි තම කෘති කීපයක් තුල සෙස්සනට වඩා වැඩ කොටසක් ප්‍රායෝගිකව ඉටු කර තිබේ. තරුන සාහිත්‍යකරුවන් අතරින් මෙහිලා ඉදිරියෙන් ම සිටිනුයේ [ඉසාක්] බාබෙල් ය.

කලාමය පුනර්ජන්මයේ රහස

ලියෝ නිකොලායෙවිච් විසින් රචිත යුද්ධය හා සාමය ප්‍රමුඛ සෙසු කෘතීන්හි නිර්මලත්වය හමුවේ අපි දැනුදු විස්මපත් වෙමු. තොල්ස්තෝයි නමැති ප්‍රාඥයා මානව මනෝවිද්‍යාමය රහස් කල් තබා දැන සිටි බවක් පෙනේ. වෙසෙසා කැපී පෙනෙනුයේ, අවිඥානය විනිවිදීමේ– අපේ කල්ක්‍රියාවෙහි ගූඪ අහුමුලු වෙත එබී බැලීමේ සිය ශක්‍යතාව යි. එය, හරියට, අප හාස්කමක් අත්දකිනවා බඳු ය: මුල දී වාචික සූත්‍රයක් බවට නොපෙරලුනු යම් කිසිවක් අපේ අපරිපූර්න භාශාවේ අනුසාරයෙන් සුවිශදව හා ප්‍රස්ථාරිකව චිත්‍රනය වීමකි. එසේවතුදු, තොල්ස්තෝයිගේ අසාමාන්‍ය ප්‍රතිභාවෙහි උත්ස්වාභාවික (supernatural) යමක් අඩංගු නොවන වග අපි දනිමු. එය පාදකව තිබෙනුයේ, තෙමේ ම ප්‍රතිමූර්තිධර වීමේ කලාකරුගේ ශක්‍යතාව මත ය; අන්‍ය තැනැත්තෙකු බවට තරයේ පරිචිත (accustom) වීමේ කුසලතාව මත ය; එම පුද්ගලයාගේ සිතිවිලි හා අනුභූතීන් මෙනෙහි කිරීමේ හැකියාව මත ය. ඉහල ම මට්ටමේ පුනර්ජන්මීය බලයක් ලියෝ නිකොලායෙවිච් සතුව පැවතුනි. කුස්මිනිස්කායා මෙසේ ලියයි:

කවර වයස් සීමාවක මිනිසුන් වුව තේරුම් ගැනුමෙහිත් ඔවුන් සමඟ සහානුභූතියෙන් පසුවීමෙහිත් අපූරු හැකියාවක් ඔහුට තිබින; ඔහුගේ නෙත් සමාහිතව මදෙස එල්ලවී තිබුනු අතර සිරුර පසාරු කරගෙන යන එම බැල්ම කිසිදු බාධාවකින් තොරව මගේ සියලු රහස්‍ය සිතිවිලි කියවමින් සිටි සෙයක් මට හැඟී ගියේ ය; ලියොවොච්කා හැම දෙයක් ම දනී...; ඔහු පමනට වඩා ග්‍රහනය කරයි.[7]

“තාර්කික සියල්ල බෙලහීන ය, අතාර්තික සියල්ල නිර්මානශීලීය” යනුවෙන් වරක් ලියෝ නිකොලායෙවිච් විසින් කරන ලද ප්‍රකාශය අප පිරික්සා බැලිය යුත්තේ, නියත වසයෙන් ම, ඕනෑ ම වයස් කාන්ඩයක මිනිසුන් තේරුම් ගැනුමටත් ඔවුන් සමඟ සහානුභූතියෙන් පසුවීමටත් ඔහු සතුව තිබුනු ප්‍රතිභානමය ශක්‍යතාවෙහි අලෝකය යටතේ ය. එසේවතුදු, ලොව සෙසු සියලු දෑමෙන් මකලාමය පුනර්ජන්මය[6] පවා වර්ධනය වනුයේ හිතකර කොන්දේසි යටතේ පමනි. කුස්මින්ස්කායාගේ මතක සටහන් අපූර්වත්වයෙන් යුතු වනුයේ, අනෙකුත් දෑ අතර, නතාශා මතු නොව කිටී, ලෙවින්, ඇනා කැරනිනා, ඇනතෝලි හා වයෝවෘධ කුමාරයා පවා චිත්‍රනය කිරීමෙහිලා ප්‍රතිභානමය අන්තර්-දෘශ්ටියක් අරා සිටීමට ලියෝ නිකොලායෙවිච් හට අවකාශ සැලසුනේ කවර කොන්දේසි යටතේ දැයි එමගින් පැහැදිලිව විදහා දැක්වෙන බැවිනි. ඇගේ ග්‍රන්ථයෙහි ගැබ් වී ඇති මුඛ්‍ය වටිනාකම ද එය විය හැකි ය. කුස්මින්ස්කායා මෙසේ ලියයි:

යුද්ධය හා සාමය නවකතාවෙහි හමුවන බර්ග් බඳු උදවිය අතරින් බහුතරය සන්තුශ්ටිය පිලිබඳ පොදු පින්තූරයෙන් – භාර්යාවන්, දරුවන් හා ධනය – තෘප්තිමත් වුවත් ලියෝනිකොලායෙවිච් ඉන් සෑහීමට පත් නොවූ වග වටහා ගනු පිනිස ඔබ ඔහු දැන හඳුනාගත යුතුව තිබින. ලියෝ නිකොලායෙවිච් බඳු පුද්ගලයෙකුගේ අධ්‍යාත්මික අවශ්‍යතා අසාමාන්‍ය ය.

මෙකී නිරීක්ශනය සමඟ එකඟ වනු විනා අන් සරනක් අපට නැත: එකල පවා තොල්ස්තෝයිගේ ලෝකය සංකීර්න විය. එහෙත්, අප පෙර කී පරිදි, එවක ඔහුගේ “අධ්‍යාත්මික අවශ්‍යතා” විසින් ඔහුගේ ප්‍රීතිමත් අධ්‍යාත්මික සමතුලිතතාව අවුල්වියවුල් කරනු ලැබුවේ නැත. තොල්ස්තෝයි එවක තෘප්තිමත්ව කලදවස ගෙවූ ජීවන රටාව වූකලි, ප්‍රාථමිකව, සුතනඹුන්ගෙන් හා ඥාාතිමිත්‍රාදීන්ගෙන් සමන්විත ගේදොර වතුපිටි සහිත සුඛෝපභෝගී එකකි. පෙරබිමෙහි පැවතුනේ “පොදු පින්තූරය” යි. යස්නයා පොලියානාවේ, චෙරමොස්නියාවේ, පිරගොව්ස්කයාවේ හා ක්‍රෙම්ලිනයේ පදිංචිකරුවන් දැරූ සමාජීය අදහස් උදහස් කුස්මින්ස්කායාගේ වෙලුම් ත්‍රිකය තුල අඩංගු වනුයේ හුදෙක් අහඹු හා අල්ප හෝඩුවාවන් හැටියට ය. තවද, මෙකී ප්‍රකාශ අත්‍යන්තයෙන් දුර්වල ය, බොලඳ ය. යස්නායා පොලියානාවේ සමාජ ජීවිතය පැහැදිලිව ම පසුපසට තල්ලු කෙරී ඇත. මෙසමයෙහි, එනම්, 1860 දශකයෙහි පැන නැඟි රැස්නොචින්ට්සි ව්‍යාපාරය සටනට අවතීර්නව තිබුනු අතර ඒ වූ කලි තියුනු හා නාටකීය සමාජ විපර්යාසයන්හි යුගයකි.[8] මේ විපර්යාසවලට ලියෝ නිකොලායෙවිච් ප්‍රතික්‍රියා දැක්වූයේ කෙසේ ද? බෙහෙවින් සෘනාත්මකව ය. වැඩිපුර ම, සිය වතුයාය වෙත පසුබැස එහි වැඩකටයුතුවල නිරතව සිටි හෙතෙම එහිලා සැබවින්ම අසාර්ථක විය. දූශිත පවුල (අප්‍රකට හේතූන් මත මෙහි පෙල මෙතෙක් ප්‍රකාශයට පත් කෙරී නැත) යනුවෙන් ඔහු විසින්ම පසු කලෙක ප්‍රතිරචිත නාස්තිකවාදියා නමැති ප්‍රහසනය ලියූ සැටි කුස්මින්ස්කායා විස්තර කරයි. පාරම්පරික පවුල් සබඳතා කඩාකප්පල් කිරීම කරනකොටගෙන මෙකී නාට්‍යය තුල නාස්තිකවාදීන් සමච්චලයටත් අපවාදයටත් ලක් කෙරේ. [එක් දහස් අටසිය] හැට ගනන්වල මිනිසුන් කෙරෙහි තොල්ස්තෝයිගේ ආකල්පය කිසිසේත් අහඹුවක් නොවේ. පවුල හා විවාහය පිලිබඳ ප්‍රශ්නවල දී තොල්ස්තෝයි මේ වකවානුවෙහිදී අත්‍යන්තයෙන් ගතානුගතික අදහස් දැරී ය. ස්ත්‍රීන් හට උසස් අධ්‍යාපනය ලබා දීම හා ඔවුන්ට සම අයිතීන් ප්‍රදානය කිරීම පිලිබඳව ඔහු සිය විරෝධය පල කලේ ය.[9] ඔහු මෙලෙස කීමට පුරුදු වී සිටි බවට කුස්මින්ස්කායා සාක්ශි දරයි: “ස්ත්‍රීන් නිරත විය යුත්තේ හුදෙක් පල්ලිපන්සල්, ඉවුම්පිහුම් හා දරුමල්ලන් (Kirche, Küche, Kinder)[10] ආශ්‍රිත වැඩෙහි යයි විල්හෙල්ම් කියා සිටී...ජීවිතයේ ඉතා ම වැදගත් දෑ ඔහු විසින් ස්ත්‍රීන් වෙත ප්‍රදානය කෙරී ඇතැයි මම කියමි.”[11] එසමයෙහි යස්නයා පොලියානාවේ පැවති ජීවිතයේ “ඉතා ම වැදගත් දෑ” කවරේ ද යත් බිරින්දෑ, දූදරුවන්, ඥාතීන් සහ යහපැවැත්ම යි. එහෙත්, අපට–එනම්, වෙනස් සමාජ සම්භවයක් සහිතව දැවෙන විප්ලවීය සමාජ රටාවක් තුල හැදී වැඩුනු පරපුරකට එවක යස්නයා පොලියානාවේ පැවති ජීවිත යගැන මෙදා සිතා ගැනුම පවා උහගට ය. මක්නිසා ද යත්, අප තුල වෙසෙන සමාජ සත්ත්වයා විසින් කවර අන්දමක වුව පෞද්ගලික හා කුටුම්බීය දෑ මුලුමනින් මඩිනු ලැබ හා පසුපසට යැවී තිබීම යි. තවද, කුටුම්බය යනු අපට නම් ඉඳුරා වෙනස් දෙයකි. හැම දෙයක්ම, අන් සියල්ලට පෙර, පවුල සමඟ සම්පාත වන සේ සකසා ගැනුනු හා සැලසුම් කෙරුනු, හැම දෙයකට ම බිරිඳ, දරුවන් හා ඉවුම්පිහුම් කාවැදුනු මෙබඳු දිවිපෙවෙතක් යමෙකු තුල විස්මය උපදවයි. ඊට ම ආවේනික අයුරින් එය ඉතා ශක්තිමත් හා ප්‍රීතිමත් එකක් වූ බව සැබවි. එහෙත්, එය ඉතා පටු, ස්වාර්ථකාමී හා එක තැන පල් වූවකි; උස් පවුරකින් වට කෙරුනු, ඉන් පිටත සිදු වන හැම දෙය ම නොවැදගත් සේ සැලකුනු ජීවිතයකි. ඊට ම ආවේනික සුඛදුක්ඛ තොගයකින් ආඪ්‍ය වූ ඒ අද්විතීය සහ නිර්-පුනරාවර්තනීය ජීවන රටාව, තරමක් වෙනස් රූපාකාරයකින් වුව මින් මතු කිසි කලෙක පුනස්ථාපනය නොකෙරෙනු ඇත.

මොස්කව් නුවරට නුදුරු යස්නයා පොලියානා ග්‍රාමයෙහි පිහිටි තොල්ස්තෝයිගේ පරවේනි නිවස; මෙවක කෞතුකාගාරයකි [Photo: "House of Leo Tolstoy in Yasnaya Polyana" by A.Savin, WikiCommons]

සමාජ ජීවිතය අරබයා යස්නයා පොලියානාව දැක්වූයේ අල්පමාත්‍ර ප්‍රතිචාරයකි. එහෙත්, පවුල, ප්‍රථම දරු උපත, ඥාතීන් සහ අසනීප ගතියෙන් පෙලුනු කිසියම් තැනැත්තෙකු කෙරෙහි එහි මොන තරම් අවධානයක් යොමු වී ද? ඇනතෝලි කෙරෙහි තම සම්මෝහනය (infatuation), ලියෝ නිකොලායෙවිච්ගේ දෙටු බෑයා වූ සර්ගෙයි නිකොලායෙවිච් කෙරෙහි තම ප්‍රේමය, කුස්මින්ස්කි සමඟ පැවති සබැඳියාව හා තම විවාහය පිලිබඳව කුස්මින්ස්කායා දීර්ඝව විස්තර කරන්නී ය. මේ අතර ලියෝ නිකොලායෙවිච් තම බැදෑනියගේ හැඟීම්, සිතිවිලි මෙන් ම හැසිරීම් පිලිබඳව ද නිරනුකම්පකව සෝදිසියෙන් සිටී. ඇගෙන් තරයේ ප්‍රශ්න කරන ඔහු සුලු කාරනා පවා හාරා අවුස්සමින් ඇයට උපදෙස් දෙයි, අනතුරු අඟවයි, සවිස්තරාත්මකව ලිපි ලියයි, නඩු අසයි, කනගාටුවට පත් වෙයි, සතුටු හා තැවුල් සිත් ඇති කර ගනී.වරෙක යස්නයා පොලියානාවේ සිට චෙරෙමොශිනා වෙත ගිය ‘ටානියා’ නියමිත පරිදි පෙරලා නොඑන වග සැල වූ කල්හි ඔහු ඇයට මෙසේ ලියා යැවී ය:

මා දයාබර මිතුරිය ටානියා! තිස්වැනිදා සිට පුරා දෙදිනක් –තිස් එක්වැනිදා රාත්‍රි භෝජනයෙන් පසුව ඔවුන් ඔබේ ලිපිය රැගෙන ආ ඒ දුක්බර මොහොත වන තුරු ම අප ඔබ එන තෙක් මඟ බලා සිටි අයුරු ඔබට සිතා ගත නොහැක. අපේ සුරතල් කෙල්ලන්ටත්, වැඩිමනත් ඔබට හා දියාකොව් පවුලටත් මා තුල ඇති ආදරයට පින් සිදු වන්ට මම දහතුන පෙරලා දැමුවෙමි. ඔබේ ආපසු පැමිනීම මා කෙතරම් දැඩිව අපේක්ශා කලේ ද යත් පසුගිය දෙදින තුල මට ඔබ ගැන මෙනෙහි කරනු හැර අන් කිසිදු කාර්යයක නිරත වීමට නොහැකි වූ අතර හැම විනාඩියක දී ම කවුලුව අසලට දිව ගොස් කෙල්ලන් රැවටීමි: “ඔවුන් එනවා! ඔවුන් එනවා!!” නමුත්, ඒ සියල්ල නිශ්ඵල විය. පසුව, අප ඔබේ ලිපිය ලද විට, කිසියම් අවාසනාවක් සිදුව ඇති සෙයක් හෝ මා කල යම් අපරාධයක් පඩිසන් දී ඇති සෙයක් මට හැඟුනි. මොනයම් තෘප්තිමත් හැඟීමක් වුව විස වීමට පටන් ගති.

මේ ලියුම ව්‍යාජොක්තියක් නොවේ. ලියෝ නිකොලායෙවිච් තම බැදෑනියගේ ඉරනමට ඉතා “සමීපව සහභාගි වුනා” මතු නොව ඇය සමඟ එක ම ජීවිතයක් ගෙවී ය. කුස්මින්ස්කායාගේ ජීවිතයෙහි සියලු පාර්ශ්වයන් වෙත ඔහු ප්‍රවේශ වූයේ පියෙකුගේ නැතිනම් සහෝදරයෙකුගේ ඊර්ශ්‍යාපරවශ කරුනාවෙන්, කැප වීමෙන්, ස්නේහයෙන් හා ආත්ම පරිත්‍යාගශීලී ජීවයෙන් යුතුව ය. ඔහු එසේ කරන ලද්දේ නවකතාවකට වගතුග එක් රැස් කරන ලේඛකයෙකු හැටියට නොව හුදු පුද්ගලයෙකු වසයෙනි. අනෙක් අතට, බැදෑනිය ඔහුට පෙරලා අනර්ඝ වස්තුවක් ප්‍රදානය කලා ය: දරාගත නොහෙන මනෝගතීන් හා සිතිවිලි පවා ඔහුගෙන් වසන් කිරීමට ඈ අපොහොසත් වූවා ය. එසේ ම, උපදෙස් පතා ‘ලියොවොච්කා’ වෙත හැරුනු ඈ ඔහුට ඇවිටිලි කරමින් ද, ඔහුගේ අභිරුචි සිහි තබා ගනිමින් ද කල් ගෙවුවා ය. ඔවුන්ගේ සබඳතාවෙහි අසාමාන්‍ය යමක් ගැබ්ව නොතිබුනු වග කිවමනා නොවේ; පවුලේ සෙසු සාමාජිකයන් හා කිට්ටු ඥාතීන් ද එකිනෙකා වෙත බැඳී සිටියේ එයට නොදෙවැනි සමීපතාවකිනි. වයෝවෘධ බර්ස්, සොෆියා ඇන්ද්‍රියෙව්නා, සර්ගෙයි නිකොලායෙවිච්, දියාකොව් පවුල ආදීහු යස්නයා පොලියානා ජීවන කරලියෙහි හරිමැද සිටියාහු මතු නොවේ; පවුලේ හැම සමාජිකයෙකු හට ම එය විවෘතවූ අතර ඉතා සුලු කාරනා පවා එකිනෙකාට රහසක් නොවී ය. එංගලන්තයෙහි මෙබඳු කියමනක් ඇත: මගේ නිවස මට මාලිගාවකි. යස්නයා පොලියානා වාසස්ථාන නොනෑයින්ට සහ අන්‍ය පන්තීන්හි උදවියට පවා මාලිග හා ජීවන නිකේතන විය. නමුත්, ආගන්තුක සත්කාරය හා ගෞරවය අතින් මෙන් ම අන්‍යොන්‍ය පුද්ගල සබඳතා අතින් ද එහි දොරගුලු නොමසුරුව විවෘත වූයේ පවුලේ සමාජිකයන් හට පමනි. නතාශා හා පියෙරි මතු නොව ඇනතෝලි, දොලොහොව්, පෙත්යා සහ සමස්තයක් හැටියට දහනවවැනි සියවසේ කුලීන වතුයායන්හි පවුල් ජීවිතය චිත්‍රනය කරනුව යුද්ධය හා සාමය කෘතියෙහිලා ඒ සා මනහර රමනීයත්වයක්, ප්‍රබලතාවක් හා අනුපම කලාත්මක සත්‍යයක් ද, ඒ සා අනන්‍ය ප්‍රතිභානමය අන්තර්-දෘශ්ටියක් ද උපයෝග කොට ගැනුනේ එහෙයිනි. කලාත්මක විපරිනාමයෙහිලා අපූර්ව දායාදයක් තොල්ස්තෝයි සතු විය. එසේතුදුවුව, වෙසෙසින් ම, අනාවෘත වූත් පැහැදිලි වූත් නිතැතින් වැටහෙනසුලු වූත් හිතකර කොන්දේසිවලට පින් සිදු වන්ට තෙමේ ම විපරිනාමය වී ගැනුම – රොස්තොව්ලාගේ, ඔබ්ලොන්ස්කිලාගේ, කැරනින්ලාගේ සහ රොන්ස්කිලාගේ සිතිවිලි සිතන්ටත් හැඟීම් හඟින්ටත් ඔහුට සාපේක්ශ වසයෙන් පහසු කාර්යයක් විය. ශ්‍රේශ්ඨ ලේඛකයාගේ දීප්තිමත් ප්‍රතිභානී අන්තර්-දෘශ්ටියෙහි රහස පවතිනුයේ මෙතැනය. මෑත දී, [ඇලෙක්සැන්ඩර්] ෆදීව්ගේ The Rout (පලවා හැරීම) නමැති පැටි නවකථාව ගැන ලිපියක් ලියූ ප්‍රව්දුකින් සහෝදරයා අපේ සමකාලිකයන්, වෙසෙසින් ම, නිර්ධන පන්ති ලේඛකයන් ස්වකීය වීරයන් පූච්චානම් දොඩන, මලානික, තපස්වී නැතහොත් පැතලි විලාසයෙන් ඉදිරිපත් කර තිබීම ගැන –වෙසෙසින් ම, එම වීරයන් සිය පුද්ගල සහ පවුල් ජීවිතය සමඟ නිරූපනය කිරීමට අසමත් වීම ගැන අඳෝනා නඟනුයේ පියෙරි, රොස්තොව් යනාදීන් ඔවුන්ගේ පෞද්ගලික හා පවුල් රුචිඅරුචිකම් සියල්ල ද සහිතව නිරූපනය කරන්ට සමත් වූ තොල්ස්තෝයි ආදර්ශයක් වසයෙන් ගෙනහැර දක්වමිනි. අපේ තරුන ලේඛකයන් නිතර ම තම වීරයන් කරා මිලානව හා ක්‍රියාපටිපාටියක් අතැතිව ප්‍රවේශ වන බව සත්‍යයකි. එහෙත්, මගේ වැටහීම නම්, අපේ කලාකරුවන් තම වීරයන් තොල්ස්තෝයි තරම් චිත්තාකර්ශනීය හා ආශ්චර්යමත් ලෙස ඔවුන්ගේ පෞද්ගලික හා පවුල් ජීවිතය තුල බහාපෙන්වීමෙහිලා කිසිසේත් පොහොසත් නොවනු ඇති බව යි. මක්නිසාදයත්, තොල්ස්තෝයි විසින් වාර්තාගත කෙරුනු පෞද්ගලික හා පවුල් ජීවිත මාදිලිය කලෙක සිට ම අමතකව වී ඇති හෙයිනි; තව ද, මෙකල එය යමෙකුගේ හතර මායිම තුලට වැද්ද ගැනුම තබා ඊට කිට්ටු වීම පවා පහත් ක්‍රියාවක් ලෙස සැලකේ. එහෙයින්, අපේ නූතන කලාකරු, කොතරම් ශ්‍රේශ්ඨ ප්‍රතිභාන ශක්තියකින් හොබනේ වී නමුදු, ස්වකීය අවධියෙහි දී ලියෝ තොල්ස්තෝයිට හැකි වූ පරිදි, තම වීරයන්ගේ පෞද්ගලික ජීවිතය අපට ප්‍රදානය කිරීමෙහිලා සමර්ථ නොවනු ඇත...

තොල්ස්තෝයි නතාශා නැමති පරිකල්පනරූපය අසමසම ලෙස නිරූපනය කලත් ඔහුගේ Resurrection (පුනරුත්ථානය)[12] නවකතාවෙහි එන විප්ලවවාදීන් කමකට නැත: ඔහු ඔවුන්ට ආගන්තුක වෙද්දී ඔවුහු ඔහුට ආගන්තුක වූහ. නිර්මනාත්මක ක්‍රියාවලිය වනාහි කලාකරු සහ ඔහුගේ ආදර්ශ රූපය යන දෙදෙනා ම සහභාගි වන කාර්යයකි. කුස්මින්ස්කායාගේ විශිශ්ට ස්මෘතිමේ සඳහා සිත් එලවන සාක්ශි සපයයි. අවාසනාවකට, විපරිනාමය පිලිබඳ මේ සරල සත්‍යය දිගින්දිගට ම නොතකා හරිමින් අපේ සමකාලීන ලේඛකයන් බොහෝ දෙනෙකු ස්වකීය කෘති “සමාජ විධානය”[13] අනුව ඉවබව නැතිව, සරලමතිකව ගොතනුයේ, හරියට ම, අතිශය උද්‍යෝගී විචාරකයන් හා උදානමය (lyrical) කාර්යාල කලමනාකරුවන් විසින් මෙකී ඉවබව නැතිකම, අවිදග්ධභාවය, සරලමතිකත්වය හා අනලංකෘත බව ඒවා කෙරෙන් ඉල්ලා සිටිනු ලැබෙන පරිද්දෙනි. එහෙයින්, සරල හා අත්‍යවශ්‍ය සත්‍යයන් කීපයක් මෙවක යලි සිහිපත් කිරීම කිසිසේත් අප්‍රයෝජ්‍ය නොවනු ඇත.

පරිවර්තනය : දර්ශන මේදිස්

(අක්ශර වින්‍යාසය පරිවර්තකයාගේ අභිමතය පරිදි ය)


[1]

නිකොලායි ගොගොල්ගේ Evenings on a Farm Near Dikanka (ඩිකන්කා ගඟබඩ ගොවිපලක ගත කල සන්ධ්‍යාවෝ)කෘතියෙහි අඩංගු කෙටිකථාවකි – ද. මේ.

[2]

එම්. ත්සියව්ලොව්ස්කි, සංඥාපනය: ටී. ඒ. කුස්මින්ස්කායා, නිවසේ සහ යස්නයා පොලියානාවේ මගේ ජීවිතය [රුසියානු ග්‍රන්ථය, 1926] –ඒ. වී.; මෙතැන් සිට අදාල කොටස් සිංහලට නඟනුව ෆ්‍රෙඩ්රික් චෝට්ගේ පරිවර්තනයට අමතරව වෙනත් ඉංග්‍රීසි ප්‍රවාචයක් (T. A. Kuzminskaya, Tolstoy As I Knew Him: My Life at Home and at Yasnaya Polyana, tr. N. Segerist et al, Mcmillan, New York, 1948) ද ඇසුරු කෙරින – ද. මේ.

[3]

ස්ත්‍රී සොඬුන් විශයයෙහි යෙදෙන අවවහරකි: “—ladies’ man, admirer” –එෆ්. සී.

[4]

නිකොලායි ගොගොල්ගේ Dead Souls (මලගිය ආත්ම) නවකතාව සිහිගන්වන සැඳැහුමකි – ද. මේ.

[5]

වොරොන්ස්කි මෙහිලා (ව්‍යංගයෙන්)පවසනුයේ දොස්තයෙව්ස්කි පවා ඉඳහිට මෙකී රීතියෙහි එල නෙලා ගත් බවකි.නිදසුනක් ලෙස, ඉවාන් කරමසොව් සිය බාලසොයුරා අමතා වරෙක මෙසේ කියයි: “අලූශා, මගේ කොල්ලෝ! මට ජීවත් වෙන්ට වුවමනා යි. ඒක තර්ක න්‍යායයට පටහැනි වුනත් මම ජීවිතය අත්හරින්නේ නෑ. ද්‍රව්‍යයයන්ගේ දිව්‍යමය පර්යායක් ගැන මා විශ්වාස නොකලත් වසන්තයේ දලු ලා වැඩෙන ඇලෙනසුලු පත්‍රවලටත්, නිල් ගුවන් ගැබටත් සමහර මිනිසුන්ටත් මා එක වගේ ආදරෙයි. එවැනි දෙයට කෙනෙකු ඇලුම් කරන්නේ ඒ මක් නිසා ද කියා නොදැන යි. ඒ ඇලෙනසුලු වසත් දල්ලටත් නිල්වන් අහසටත් මා පෙම් බඳිනවා. එච්චර යි! ඔබ ඒවා සමඟ පෙමින් බැඳෙන්නේ බුද්ධියටවත් තර්කයටවත් අනුකූලව නොවෙයි, ඇතුලාන්තයෙන් –ඔබේ බොක්කෙන්!” (Brothers Karamazov)– ද. මේ.

[6]

පුනර්ජන්මය (reincarnation), විපරිනාමය (transformation) හා ප්‍රතිමූර්තිය (re-embodiment) යන තෙවැදෑරුම් අරුත් දනවනු වස් වොරොන්ස්කි භාවිත කරනුයේ තනි රුසියානු වදනක් වුව අදාල සන්දර්භය මත යැපෙමින් සමස්ත පඨිතය පුරා යට කී විචල්‍යයන් මවිසින් පරිහරනය කෙරී ඇත – එෆ්. සී.

[7]

තොල්ස්තෝයි වරෙක ‘ටානියා’ අමතා මෙසේ පවසයි: “...ඔයා හිතන්ඩ එපා, ඔයා අපිත් එක්ක ඉන්නෙ අය කිරීම්වලින් තොරව කියල – ඔයා කරන්නෙ චිත්‍රයකට පෙනී සිටීමයි. මං ඔයාගෙ චරිතයෙ සුදු කළු හැම පැත්තම සටහන් කරමිනුයි ඉන්නෙ.” (උ.ගැ. සින්තියා ඇස්ත්වික්, මහා පුරුෂයෙකුට බිරිඳක්ව, පරි. ලියනගේ අමරකීර්ති, දයාවංශ ජයකොඩි: කොලඹ, 1996, පි. 81)– ද. මේ.

[8]

රුසියාවේ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී අවධිය (1861-95): ලෙනින්ට අනුව,“රැස්නොචින්ට්සි අදියර”– ද. මේ.

[9]

ස්ත්‍රියකට බුද්ධියෙන් කම් කිමැයි තම පියා නිතර විමසූ අන්දම තොල්ස්තෝයිගේ බාල දියනිය ඇලෙක්සැන්ද්‍රා තොල්ස්තෝයා ද විස්තර කලා ය (ඇලෙක්සැන්ඩ්‍රා ටෝල්ස්ටෝයි, ටෝල්ස්ටෝයි ශෝකාන්තය, පරි. ආනන්ද අමරසිරි, සූරිය ප්‍රකාශකයෝ, කොලඹ, 2003, පි. 133)– ද. මේ.

[10]

Church, Cooking, Children– එෆ්. සී.

[11]

මෙහිලා තොල්ස්තෝයි කෙරෙහි බලපෑවේ තිමෝෆි බොන්දාරෙව්ගේ කෘශක ජීවන දර්ශනය යි. මොහුගේ කෘතිය (1888) සංස්කරනය කොට රුස්කොයේ ඩෙලෝ(රුසියානු අභිප්‍රාය)සඟරාවට යැවූ තොල්ස්තෝයි එහි ඉංග්‍රීසි ප්‍රවාචය තෙමේ ම ප්‍රකාශයට පත් කරමින් මෙසේ කියයි: “මනුශ්‍යත්වයේ නියාමද්වය: පුරුශයන් උදෙසා කායික ශ්‍රමය පිලිබඳ නීතිය; ස්ත්‍රීන් උදෙසා දරුවන් වැදීම පිලිබඳ නීතිය” (ලියෝ තොල්ස්තෝයි, “Toil”, සංඥාපනය: Timothy Bondarev, The Truimph of the Farmer or Industry and Parasitism, The Intermediary,1906)– ද. මේ.

[12]

මෙය නවජීවනය (පරි. ආනන්ද අමරසිරි) නමින් සිංහලෙන් උපලබ්ධිත ය – ද. මේ.

[13]

1970 දශකය මුල දී ලංකාව තුල බලයට පැමිනි සමගි පෙරමුනු ආන්ඩුවට කත් ඇදි ස්ටැලින්වාදී කලා විචාරක නඩය මේ සංකල්පය ආනයනය කලේ “යුගයේ අවශ්‍යතාව” නමිනි– ද. මේ.

Loading