ජීවන වියදමේ ම්ලේච්ඡ වැඩිවීම්වලට එරෙහිව බංග්ලාදේශයේ මහජන විරෝධතා

මෙය Mass protests in Bangladesh against brutal cost of living increases යන මැයෙන් 2022 ‌ දෙසැම්බර් 15 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.

අගමැතිනි ෂීක් හසීනාගේ අවාමි ලීගය විසින් මෙහෙයවෙන ආන්ඩුව ඉල්ලා අස්විය යුතු යයි ද, උද්ධමනය ඉහල යාම, ඉන්ධන මිල ඉහල යාම සහ ප්‍රචන්ඩ පොලිස් ප්‍රහාරවලට එරෙහිව නව මැතිවරනයක් පැවැත්විය යුතු යයි ද ඉල්ලමින්, දහස් ගනන් මහජනතාව දෙසැම්බර් 10 දා ඩකා හි විරෝධතා දැක්වූහ. මීලඟ මහ මැතිවරනය නිල වශයෙන් 2023 අවසානය දක්වා පැවැත්වීම සිදු වන්නේ නැත. 'ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිෂ්ඨාපනය කිරීම' සඳහා වූ ජාතික විරෝධතා මාලාවේ කොටසක් වන මෙම විරෝධතා පෙලපාලි සංවිධානය කරන ලද්දේ විපක්ෂයේ බංගලාදේශ ජාතිකවාදී පක්ෂය (බීඑන්පී) විසිනි.

හසීනා ආන්ඩුව ඉල්ලා අස්වී, ඉක්මනින් මැතිවරනයක් පවත්වන ලෙස බල කිරීම සඳහා බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂ ආධාරකරුවන් දහස් ගනනක් 2022 දෙසැම්බර් 10 වැනි දින බංග්ලාදේශයේ ඩකා හි රැස්ව සිටින අයුරු. [ඒපී ඡායාරූප/මහමුද් හොසේන් ඕපු] [AP Photo/Mahmud Hossain Opu]

එන්පීයේ උද්ඝෝෂනයට ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිෂ්ඨාපනය කිරීම සමග කිසිදු සම්බන්ධයක් නැත, එමෙන්ම එය බංගලාදේශ මහජනතාව මුහුන දෙන ගැඹුරු වන සමාජ අර්බුදය පිලිබඳ උත්සුකතාවයෙන් මෙහෙයවන්නක්ද නොවේ. 2009 සිට අඛන්ඩව වාර තුනක් බලයේ සිටින හසීනා පරිපාලනයට එරෙහි මහජන අතෘප්තියෙන් වාසි ලබා ගැනීමට දක්ෂිනාංශික බීඑන්පී ය උත්සාහ කරමින් සිටී.

එහෙත් මහජන කෝපය රටේ පාර්ලිමේන්තු රාමුව තුල තබා ගැනීමට බීඑන්පීය අධිෂ්ඨාන කර ඇත. බීඑන්පීය බලයේ සිටියදී විරුද්ධ පක්ෂ සහ කම්කරුවන්ගේ හා දුප්පතුන්ගේ අරගල කුරිරු ලෙස මර්දනය කලේය.

ඉස්ලාමීය මූලධර්මවාදී ජමාත්-ඊ-ඉස්ලාමි සහ තවත් ඉස්ලාමීය කන්ඩායම් කිහිපයක් ඇතුලත් බීඑන්පීය විසින් මෙහෙයවනු ලබන පක්ෂ 20 හි සන්ධානය, පසුගිය මාස දෙක තුල, ඔක්තෝබර් 12 චිතගොං හිදී ආරම්භ කල රැලියේ සිට, රැලි 10 ක් පවත්වා ඇත.

හසීනා ආන්ඩුව ඉල්ලා අස්වීම සහ ඉක්මන් මැතිවරනයක් සඳහා වන ඉල්ලීම් සමග, පසුගිය සෙනසුරාදා ඩකාහි පැවති රැලිය තවත් ඉල්ලීම් අටක් ඉදිරිපත් කලේය. 2018 දී දූෂන චෝදනා මත වසර 17 කට සිරගතව සිටින බීඑන්පී හි සභාපතිනි බෙගම් ඛලීඩා සියා නිදහස් කිරීම ද ඊට ඇතුලත් ය. දෙසැම්බර් 24 වැනිදා රටපුරා විරෝධතා පවත්වන බව ද බීඑන්පී සන්ධානය නිවේදනය කලේය.

මාධ්‍ය වාර්තාවලට අනුව, පසුගිය සති අන්තයේ රැලිය මර්දනය කිරීම සඳහා 32,000 ක් පමන වන පොලිස් බලකායක් ඩකාහි බලමුලු ගැන්විනි. අවාමි ලීගය මීට පෙර බීඑන්පීයට අනතුරු අඟවා තිබුනේ එදිනම, එනම් දෙසැම්බර් 24 දින නගරයේ සිය ජාතික කවුන්සිලය පවත්වන බැවින්, එදින ඩකාහි මහජන විරෝධතා නොපවත්වන ලෙසටය.

මීට පෙර බීඑන්පී විසින් මෙහෙයවන ලද විරෝධතාවලට පාලක පක්ෂයේ මැරයන්ගේ සහාය ඇතිව පොලිසිය විසින් ප්‍රචන්ඩ ලෙස පහර දෙන ලදී. මේ වන විට බීඑන්පී හි විරෝධතාකරුවන් හත් දෙනෙකු පොලිසිය විසින් මරා දමා දහස් ගනනකට තුවාල සිදු කරනු ලැබ ඇත.

දෙසැම්බර් 7 දා, ඩකාහි නයාපල්ටාන් හි පැවති විරෝධතාවකදී “පොලිසියට ප්‍රහාරයක් එල්ල කිරීමට පාක්ෂිකයන් පොලඹවාලීම” සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින බීඑන්පී ලේකම් මිර්සා ෆඛ්රූල් ඉස්ලාම් අලම්ගීර් ඇතුලු තවත් දහස් ගනනක් රඳවාගෙන ඇත. පොලිසිය එදිනම බීඑන්පී මධ්‍යම කාර්යාලය වටලා ඇත.

තීව‍්‍ර වන ආර්ථික අර්බුදයකට මුහුන දී සිටින හසීනා තන්ත‍්‍රය, නැඟී එන මහජන විරෝධය පිලිබඳව දැඩි ලෙස කැලඹී සිටී. මෙම උත්සුකයන් පිලිබිඹු කරමින්, ඩේලි ස්ටාර් පුවත්පතෙහි දෙසැම්බර් 8දා කතුවැකිය අනතුරු ඇඟවූයේ, “බරපතල ගැටුමකින් සහ බීඑන්පීයේ මධ්‍යම කාර්යාලය වැටලීමෙන් එයට [පාලක සංස්ථාපිතයට] ලැබිය හැක්කේ කුමක්ද?” යනුවෙනි.

බීඑන්පීයේ උද්ඝෝෂනයට සමාන්තරව විවිධ ස්ටැලින්වාදී සහ “වාම” සංවිධාන ආන්ඩු විරෝධී විරෝධතා දියත් කර ඇත. ස්ටැලින්වාදී බංග්ලාදේශ කොමියුනිස්ට් පක්ෂය (සීපීබී), සමාජවාදී පක්ෂය සහ විප්ලවවාදී කොමියුනිස්ට් ලීගය ඇතුලු ධනේශ්වර ගැති පක්ෂ හයක් ඇතුලත් වාම ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය දෙසැම්බර් 13 දා ආන්ඩුවේ මර්දනයට එරෙහිව ජාතික විරෝධතාවක් පැවැත්වීය.

බීඑන්පී ඉල්ලීම් ප්‍රතිරාවය කරමින්, සීපීබී ප්‍රධාන ලේකම් රුහින් හොසේන් ප්‍රින්ස් වත්මන් දේශපාලන අර්බුදයට ඇති එකම විකල්පය මධ්‍යස්ථ අන්තර්වාර ආන්ඩුවක් යටතේ මීලඟ මහ මැතිවරනය පැවැත්වීම බව ප්‍රකාශ කර ඇත.

සීපීබී ය සහ ඊට අනුබද්ධ ඇඟලුම් කම්කරුවන්ගේ වෘත්තීය සමිති මධ්‍යස්ථානය වැනි වෘත්තීය සමිති, කම්කරු අරගල යලි යලිත් පාවා දී ඇත. 2020 දී, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් බංග්ලාදේශ ඇඟලුම් කම්හල් වසා දැමූ විට, කම්කරුවන්ගේ වැටුප් සියයට 35 කින් කපා දැමිය යුතු බවට වූ සේවායෝජක ඉල්ලීම්වලට චෞධුරි එකඟ විය.

නොවැම්බර් අගදී, කම්කරු පක්ෂයේ සභාපති රෂෙඩ් ඛාන් මෙනන් ආන්ඩුවට එරෙහිව ඒකාබද්ධ ක්‍රියාමාර්ග ගන්නා ලෙස විවිධ දේශපාලන පක්ෂවලට ආයාචනා කලේය. තවත් ස්ටැලින්වාදී රූපාකාරයක් වන සහ හසීනාගේ පාලක සන්ධානයේ සාමාජිකයෙකු වන කම්කරු පක්ෂය, ආන්ඩුවේ මර්දනකාරී ක්‍රියාවන්ගෙන් ඈත් වෙමින් තම ආධාරකරුවන් රැවටීමට මංමුලා සහගත ලෙස උත්සාහයක් දරමින් සිටී.

මෙම සියලු ස්ටැලින්වාදී පක්ෂවලට, රටේ ප්‍රධාන ධනේශ්වර පක්ෂ දෙක සමග පෙලගැසීමේ දිගු වාර්තාවක් ඇත. 1983 දී, සීපීබීය හුසේන් මුහම්මද් එර්ෂාඩ්ගේ හමුදා පාලනයට එරෙහිව අවාමි ලීගයේ නායකත්වයෙන් යුත් පක්ෂ 15 ක සන්ධානයට එක් විය. 2006 දී එය බීඑන්පී ට සහය දුන් අතර 2008 සිට එය හසීනාගේ මහා මැතිවරන සන්ධානයේ පාර්ෂවකරුවෙක් විය.

බීඑන්පීය, ස්ටැලින්වාදීන් සහ අනෙකුත් ධනේශ්වර පක්ෂවල නීච දේශපාලන උපාමාරු, උද්ධමනය, රැකියා කප්පාදුව සහ රජය සතු ව්‍යවසායන් පුද්ගලීකරනය කිරීමේ ආන්ඩුවේ පියවරයන් පිලිබඳව වැඩකරන ජනතාවගේ ගැඹුරු මහජන කෝපය පිලිබඳ ඔවුන්ගේ උත්සුකයන් පිලිබිඹු කරයි.

ඔක්තෝම්බර් 10 දින අෂුලියාහි ජැනොරොන් කම්කරුවන් හිඟ වැටුප් ඉල්ලා උද්ඝෝෂන කලහ. නොවැම්බර් 2දා ඔලියෝ ඇපරල් කම්කරුවෝ මාස හතරක නොගෙවූ වැටුප් හේතුවෙන් විරෝධතා දැක්වූහ. දෙසැම්බර් 13දා, ගාසිපූර් හි නිව් ලයින් ඇඟලුම් සමාගමේ කම්කරුවෝ, මාස තුනත් පහත් අතර නොගෙවූ වැටුප් ඉල්ලා විරෝධතා දැක්වූහ.

අඛන්ඩව පොහොර සැපයුම් ඉල්ලා ගොවියෝ ජමාල්පූර්, රංග්පූර් සහ තවත් දිස්ත්‍රික්ක කිහිපයක ද උද්ඝෝෂන පවත්වා තිබුනි.

2009 බලයට පත් වූ දා සිට හසීනාගේ අවාමි ලීගය ප්‍රමුඛ තන්ත්‍රය කම්කරුවන්ගේ හා දුප්පතුන්ගේ සියලු විරෝධතාවන් මැඩීම සඳහා පොලිසිය සහ කුප්‍රකට රැපිඩ් ඇක්ෂන් බැටැලියන් (බංග්ලාදේශ පොලිසියේ අපරාධ හා ත්‍රස්ත මර්දන ඒකකයකි - පරිවර්තක) නිර්දය ලෙස බලමුලු ගන්වා ඇත.

2019 ජනවාරි මාසයේදී, ඇඟලුම් සේවක සේවිකාවන් දහස් ගනනක් වැටුප් වැඩිවීමක් ඉල්ලා වැඩ වර්ජන කල විට පොලිසිය විසින් ඇඟලුම් සේවකයෙකුට වෙඩි තබා ඝාතනය කල අතර විශාල සංඛ්‍යාවකට තුවාල සිදු විය. 2018 දී මත්ද්‍රව්‍යවලට එරෙහිව සටන් කිරීමේ ව්‍යාජය යටතේ, බංග්ලාදේශ පොලිසිය ජනගහනයට එරෙහිව ක්‍රමානුකූල ව්‍යාපාරයක් ගෙන ගොස් 100 කට අධික පිරිසක් මරා දමා 12,000 ක් පමන අත්අඩංගුවට ගෙන ඇත.

අනෙකුත් සෑම රටකම මෙන්, බංග්ලාදේශයේ ගැඹුරු වන ආර්ථික අර්බුදය යුක්‍රේනය තුල එක්සත් ජනපද-නැටෝ වක්‍ර යුද්ධයේ සහ දැනට පවතින කොවිඩ්-19 වසංගතයේ බලපෑමේ සෘජු ප්‍රතිඵලයකි.

වසර කිහිපයක විදේශ මුදල් සංචිත වැඩිවීම වාර්තා කිරීමෙන් පසුව, බංග්ලාදේශයේ වත්මන් සංචිත ඩොලර් බිලියන 34.47 දක්වා පහත වැටී ඇත. මේ වසරේ ජුනි මස අවසානයේදී එහි විදේශ නය ඩොලර් බිලියන 94.5 දක්වා ඉහල ගියේය. අගෝස්තු මාසයේදී උද්ධමනය සියයට 9.52 ක් වූ අතර, එය වසර 10 කින් ඉහලම අගය වේ, එය තව දුරටත් ඉහල යමින් පවතී.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) ඔක්තෝබර් ගෝලීය දැක්ම (global outlook) වාර්තාවට අනුව, 2022-23 මූල්‍ය වර්ෂය සඳහා බංග්ලාදේශයේ පුරෝකථනය කරන ලද දල දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සඳහා රජයේ ඉලක්කය වන සියයට 7.5 ලඟා කරගත නොහැකි වනු ඇති අතර, සියයට 6 දක්වා පහත වැටෙනු ඇත. හසීනා ආන්ඩුව මේ වන විට ඩොලර් බිලියන 4.5 ක ජාමූඅ ඇප නය පැකේජයක් ලබා ගැනීමට උත්සාහ කරමින් සිටී, එය මේ වසරේ ආධාර ඉල්ලා සිටින රටවල් අතරින්, පකිස්ථානයට සහ ශ්‍රී ලංකාවට පිටුපසින් දකුනු ආසියාවේ තුන්වන රට වේ.

ලෝක බැංකුව ඔක්තෝම්බර් මාසයේදී වාර්තා කලේ, “[බංග්ලාදේශයේ] ස්වයං රැකියාවන්ගෙන් ලැබෙන ආදායම මෙන්ම වැටුප් [ස්ථීර මාසිකව] ලබන සහ කුලි [ලෙස දෛනිකව] ලබන කම්කරුවන් සඳහා මධ්‍යස්ථ ඉපැයීම්, වසංගතයට පෙර සාමාන්‍යයෙන් වාර්තා වූ මට්ටම්වලට තවමත් ආපසු පැමින නැති බවයි.

අර්බුදයේ බර කම්කරු පන්තිය හා දුගීන් මත පැටවීම සඳහා බංග්ලාදේශ ස්ටැලින්වාදීන්ගේත්, ව්‍යාජ වාම සංවිධානවලත්, වෘත්තීය සමිතිවලත් දේශපාලන සහයෝගය මත රඳා පවතී.

බංග්ලාදේශ කම්කරු පන්තිය සඳහා ඇති එකම විකල්පය නම්, කම්කරු ආන්ඩුවක් සඳහා වන අරගලයේ දී මෙම සියලු රූපාකාරයන්ගෙන් ස්වාධීනව ග්‍රාමීය හා නාගරික දුගීන් පෙලගැස්වීම යි. මෙය දකුනු ආසියාවේත්, ජාත්‍යන්තරවත් සමාජවාදය සඳහා අරගලයේ කොටසක් විය යුතුය.

මෙම විකල්ප සමාජවාදී ඉදිරිදර්ශනය වෙනුවෙන් අරගලය ඉදිරියට ගෙන යාම සඳහා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවක් ලෙස ට්‍රොට්ස්කිවාදී පක්ෂයක් ගොඩනැගීමේ අරගලයට උර දෙන ලෙස අපි බංග්ලාදේශයේ කම්කරුවන් හා තරුනයින්ගෙන් ඉල්ලා සිටිමු.

Loading