සිසුන් මත් උවදුරෙන් මුදවා ගැනීමේ මුවාවෙන් පාසල් තුලට පොලීසිය මැදිහත් කිරීමේ ආන්ඩුවේ පියවරට එරෙහිවනු!

පාසල් සිසුන් මත් උවදුරෙන් මුදවා ගැනීමේ කඩතුරාව යටතේ පාසල් තුලට පොලීසිය මැදිහත් කිරිමට වික්‍රමසිංහ ආන්ඩුව ගෙන ඇති මර්දනකාරී පියවරට එරෙහි වන ලෙස ගුරු-සිසු-දෙමාපිය ක්‍රියාකාරී කමිටුව රටපුරා දෙමාපියන්ගෙන්, ශිෂ්‍යන්ගෙන් හා ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටී.

'අයිස්' නමින් හැඳින්වෙන 'මෙතම්ෆෙටමයින් (methamphetamine)' මත්ද්‍රව්‍ය භාවිතය පාසල් සිසුන් අතර සීඝ්‍රයෙන් පැතිර යන බවට ආන්ඩුව සහ මාධ්‍ය විසින් ගෙනයන ලද පුලුල් උද්ඝෝෂනයක් මධ්‍යයේ, බස්නාහිර පලාතේ, කුරුනෑගල හා ත්‍රීකුනාමල දිස්ත්‍රික්කයේ පාසල් ගනනාවක ම දරු දැරියන්ගේ බෑග් පරික්ෂා කිරීමට පසුගිය පාසල් වාර අවසානයේ පොලීසිය පාසල් ගේට්ටු අසලට කඩා වැදුනි.

මෙම පොලිස් මෙහෙයුමට එරෙහිව පැනනැගි පුලුල් මහජන විරුද්ධත්වය හමුවේ අඩියක් පිටුපසට ගත් ආන්ඩුව, සිසුන්ගේ බෑග් පරීක්ෂා කිරීමේ කාර්යයෙන් පොලීසිය ඉවත් කරන බව ද, ජනවාරි 02 දා පාසල් ආරම්භයේ සිට, දෙමාපියන්, ගුරුවරුන්, ආදි ශිෂ්‍ය සංගම්වල හා ශිෂ්‍ය නායක-නායිකාවන්ගේ ආධාරයෙන් එය සිදු කරන ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් දුන් බව ද නිවෙිදනය කලේය.

නමුත්, යම් සිසුවෙකු මත්ද්‍රව්‍ය ලඟ තබාගෙන සිටින බවට 'තොරතුරු තහවුරුකර ගැනීමෙන් පසුව පමනක්', පොලිස් නිලධාරීන් විසින් පාසල් සිසුන් පරීක්ෂා කලයුතු බවටත්, එසේ නොමැතිව අහඹුලෙස පරීක්ෂා කිරීම් නොකලයුතු බවටත් පොලිස්පති උපදෙස් දුන් බව දෙසැම්බර් 30 දා සිරස නිව්ස් ෆස්ට් කියා සිටියේ ය.

මෙහි අර්ථය, 'තොරතුරු තහවුරු කර ගැනීමෙන් පසු' යන කඩතුරාව යටතේ පාසල් තුලට පොලිස් කඩාවැදීම් දිගටම සිදුකරගෙන යන බවයි.

ආන්ඩුව මෙම මෙහෙයුම ඉස්මත්තට ගෙන තිබෙන්නේ කිසිදු ලෙසකින් පාසල් දරුවන්ගේ ආරක්ෂාව පිලිබඳ උත්සුකයකින් නොවේ. ඊට ප්‍රතිකූලව ආන්ඩුව උත්සාහ දරන්නේ, ඉහිලිය නො හැකි ආර්ථික හා සමාජ දුෂ්කරතාවයන් වෙතින් මහජන අවධානය වෙනතකට යොමු කර, නිදහස් අධ්‍යාපන කප්පාදුවට එරෙහිව පාසල් ආශ්‍රිතව පැන නැගෙන ගුරු-සිසු අරගල තලා දැමීම සඳහා රාජ්‍ය මර්දන යන්ත්‍රය පාසල් තුලට දිගේලි කිරීමටයි.

ආන්ඩුවේ ඇමතිවරුන් කීප දෙනෙකු තුලින් මේ ප්‍රයත්නය සෘජුවම ප්‍රකාශයට පත්විය.

“රටේ අනාගතය වන පාසල් දරුවන් අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවීම රට මුහුන දෙන ප්‍රධාන ගැටලුවක් වී ඇතැ“ යි ප්‍රවාහන, මහා මර්ග හා ජන මාධ්‍ය ඇමති බන්දුල ගුනවර්ධන මේ මස 11 දා හෝමාගම විහාරස්ථානයක පැවති උත්සවයක් අමතමින් ප්‍රකාශ කලේ ය. පාසල් යන ගැහැනු දරුවන් අයිස් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වී ඇති බවත් ප්‍රකාශ කල ඇමති ගුනවර්ධන ඒ සම්බන්ධව “ක්‍රියාමාර්ග“ ගැනීමට පොලිස්පතිගෙන් ඉල්ලා සිටි බව වැඩිදුරටත් ප්‍රකාශ කලේ ය.

මත්ද්‍රව්‍ය සම්බන්ධව පැවති නීති දැඩි කරමින් නොවැම්බර් මස ගෙන එන ලද නව පනත් සංශෝධනය ගැන පාර්ලිමේන්තුවේදී කතා කරමින්, අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත, මේ මස 16 දා මෙසේ පැවසීය: “දැන් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5 ක් ලග තබා ගෙන සිටියත් මරන දඩුවම දෙන්න පුලුවන්'. පාසල් දරුවන් මත්ද්‍රව්‍යවලට යොමු වීම වැලැක්වීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව හා අන්තරායකර ඖෂධ පාලන අධිකාරිය සමග ඒකාබද්ධව කටයුතු කරන බව ද ඔහු ප්‍රකාශ කලේ ය.

කෙසේ නමුත්, මත්දුව්‍ය ලඟ තබා ගැනීම සම්බන්ධයෙන් පාසල් සිසුන් පරීක්ෂා කිරීමේ පොලිස් මෙහෙයුමේ ව්‍යාජභාවය දැනටමත් අනාවරනය වී ඇත. මත්ද්‍රව්‍ය පුලුල්ව ව්‍යාප්ත වී ඇතැයි පැවසෙන බස්නාහිර පලාතේ පාසල් 149 ක දහස් සංඛ්‍යාත ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ බෑග් හා ශරීර පරීක්ෂා කිරීමෙන් 'අයිස්' මත් ද්‍රව්‍යයෙන් අංශු මාත්‍රයක් හෝ සොයා ගැනීමට පොලිසියට හැකි වූයේ නැත.

ගුරු-සිසු-දෙමාපිය ක්‍රියාකාරී කමිටුව සමග අදහස් දැක් වූ දෙමාපියෝ, තම දරුවන්ගේ නිදහසට හා අධ්‍යාපන ක්‍රියාවලියට බාධා කරමින් පාසල් තුලට පොලිසිය මැදිහත් කරවීමේ ආන්ඩුවේ පියවර හෙලා දුටුවෝ ය. “මත්ද්‍රව්‍ය බෙදාහරින්නේ දරුවන් ද ? දේශපාලනඥයින් හා පොලීසියේ සහයෝගයකින් තොරව රටේ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය සිදු විය හැකි ද?' යනුවෙන් ඔවුහු යුක්ති යුක්ත ප්‍රශ්න මතු කලහ.

දුම්කොල සහ මධ්‍යසාර පිලිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ, දෙසැම්බර් 26 දා, මාධ්‍ය අමතමින් මෙසේ පැවසීය: 'මෙම ප්‍රවනතාවය (පාසල් සිසුන් අතර පුලුල්ව මත් උවුදුර පැතිර ඇතැයි ගෙනයන ප්‍රචාරය) දෙස බලන විට පෙනී යන්නේ පාසල් සිසුන් අතර මත්ද්‍රව්‍ය භාවිතය අතිශයෝක්තියට නැංවීමේ උත්සාහයක් පවතින බවයි. එය මට පෙනෙන්නේ දේශපාලන අරමුනක් මත සිදුවන්නක් බවයි. නමුත් පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් මෙවැනි ප්‍රචාර සිදු කිරීම වැරදියි.”

“පාසල් තුල මත්ද්‍රව්‍ය සෙවීම දරුවන්ට සිදු කරන අනවශ්‍ය හිරිහැරයක්, එමගින් ගුරුවරුන් හා පාසල් පද්ධතිය පිලිබඳව දරුවන්ට පවතින විශ්වාසය බිඳවැටෙන“ බව සන්ඩේටයිම්ස් සමග අදහස් පල කල ශ්‍රි ලංකා මනෝචිකිත්සකවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය කපිල රනසිංහ ප්‍රකාශ කලේ ය. 'පාසල් තුල පවත්නා යල්පැන ගිය විනය පටිපාටීන්ගෙන් ද, ක්‍රීඩා සහ විනෝදාස්වාදය සඳහා අවස්ථා ඌන වීමෙන් ද, දැනටමත් පීඩනයට පත් වී සිටින නව යොවුන් වියේ දරුවන් මෙවැනි මෙහෙයුම් මගින් මත්ද්‍රව්‍ය අත්හදා බැලීමට පෙලඹවීමක් සිදුවන බව වෛද්‍යවරයා පෙන්වා දෙයි.

අනුප්‍රාප්තික ධනපති ආන්ඩු, සමස්තයක් ලෙස ධනපති ක්‍රමය, දරුවන් ට උරුමකර දී ඇත්තේ දැඩි මානසික පීඩාව පමනක් නොවේ. ලංකාවේ වයස අවුරුදු 5 ට අඩු දරුවන්ගෙන් සියයට 43.4 ක් කුමන හෝ පෝෂන ඌනතාවයකින් පෙලෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය පසුගිය දා පලකල වාර්තාවකින් පෙන්වා දී තිබේ. යුනිසෙෆ් වාර්තාවක් කියා සිටින්නේ, ලංකාවේ පවුල්වලින් සියයට 32 ක් ආහාර අනාරක්ෂිතභාවයට ඇදවැටී ඇතිබව සහ සියයට 68 ක් ආහාර වේල් හා ආහාර ප්‍රමානය සීමා කරන බව යි.

දරුවන්ගේ අධ්‍යාපනය මෙන්ම, කායික සහ මානසික සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් ධනපති පාලක පංතිය කරන හඬතැලීම් මුලුමනින්ම ව්‍යාජ ය. 2019 අප්‍රේල් ත්‍රස්ත බෝම්බ ප්‍රහාරය සහ කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් පාසල් වසා දැමු නමුත්, බහුතරයක් දරුවන්ට මාර්ගගතව අධ්‍යාපන කටයුතු සිදු කිරීමට අවශ්‍ය පරිගනක හා අන්තර්ජාල පහසුකම් සම්පාදනය කිරීම පැවති ආන්ඩු විසින් මුලුමනින්ම නොතකා හැරින. මහා ව්‍යාපාරිකයන්ගේ ලාභ උත්පාදන ක්‍රියාවලිය අබාධිතව ඉදිරියට ගෙන යෑම සඳහා, ආර්ථිකය විවෘත කල ලොවපුරා සහචර පාලක පන්තීන් අනුගමනය කල ඔවුහු, වසංගතය ව්‍යසනකාරීව පැතිරෙද්දී, සාපරාධී ලෙස පාසල් විවෘත කිරීමට පියවර ගත්හ.

බලයට පත් ආන්ඩු අධ්‍යාපන වියදම් කප්පාදුව වේගවත් කරමින්, පාසල් නඩත්තු වියදම් මුලුමනින්ම පාහේ පාසල් සංවර්ධන සමිති හරහා දෙමාපියන් වෙත පවරා තිබේ. බොහෝමයක් නාගරික පාසල්වල පහසුකම් හා සේවා ගාස්තු මේ වන විට රුපියල් 5,000 ඉක්මවා ඇත. බහුතරයක් දෙමාපියන්ට මෙම වියදම් දැරිය නො හැක.

අධික තදබදයෙන් යුත් නාගරික පාසල්වල විෂය නිර්දේශ ආවරනය, උත්තර පත්‍ර බැලීම, පාසල් පාදක ඇගයීම්, විභාග ප්‍රතිඵල ඉහල නැංවීම හා කෙලිදෙලෙන් යුත් දරුවන් රැකබලා ගැනීම සීමිත ගුරු මන්ඩලයකට අසීරු කටයුත්තක් වී තිබේ. ඒ තත්වය තුල මනෝ වෛද්‍යවරයා සඳහන් කරන නිර්මානාත්මක, සංස්කෘතික හා ක්‍රීඩා කටයුතු සඳහා දරුවන්ට අවශ්‍ය පහසුකම් මෙන්ම කාලයක් ද ඇත්තේ නැත.

අනෙක් අතින්, දරුවන් කෙරෙහි දෙමාපිය රැකවරනය අඩුවීමට ආර්ථික ගැටලු දරුනු ලෙස බලපා තිබේ. දිනෙන් දින ඉහල යන ජීවන වියදමට මුහුන දීම සඳහා අමතර රැකියාවල නිරත වීමට හා විදේශගත වීමට දෙමව්පියන්ට බල කෙරී තිබේ.

පාසල් දරුවන් හා මහජනයා මුහුන දෙන මෙම දරුනු සමාජ-ආර්ථික කොන්දේසි, ධනපති ක්‍රමයේ නිෂ්පාදිතයකි.

බිලියන සංඛ්‍යාත ලාභ උපයන ජාත්‍යන්තර ජාලයක් ලෙස වර්ධනය වී ඇති මත්ද්‍රව්‍ය වෙලඳාමට, ඒ ඒ රටවල ධනකුවේරයන්, පාතාල නායකයන්, ධනපති දේශපාලනඥයන් සහ පොලීසිය සම්බන්ධ වී සිටින අතර, එම ව්‍යාපාරය නවතාලීම, ධනපති ක්‍රමය ගෝලීය පරිමානව අහෝසි කිරීම සමග බැඳී පවතී. එය ධනපති ආන්ඩු වලට හෝ පොලීසියට ආයාචනා කිරීමෙන් නවතාලිය හැක්කක් නොවේ.

එසේ වුවද, ධනේශ්වර පද්ධතියට බැඳී පවතින වෘත්තීය සමිති, ධනවාදය පිරිසිදුකොට පවත්වාගෙනයාමේ බංකොලොත් වැඩපිලිවෙලම කම්කරු පංතියට තොරොම්බල් කරමින් ධනපති ක්‍රමය රැකදීමේ ව්‍යායාමයේ යෙදී සිටිති. ඒ අනුව, මිලියන 4.3 ක් වන පාසල් දරුවන්ව පරීක්ෂා කිරීම ප්‍රායෝගික නො වන බවත්, ඒ වෙනුවට මත්ද්‍රව්‍ය ගෙන්වන හා බෙදාහරින අය හඳුනා ගන්නැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටැලින් ආන්ඩුවට කියා සිටී. ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) අයත් ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ, හැකිනම් පලමුව පාර්ලිමේන්තුවේ සිටින කුඩු මුදලාලිලාව පරීක්ෂා කරන්නැයි අධ්‍යාපන ඇමති ප්‍රේමජයන්තට පුහු අභියෝගයක් කලේ ය.

මෙම වෘත්තීය සිමිති, රටතුල වාර්ගික බේදකරනයන් ඇවිලවීමේත්, පැන නංවා තිබූ පන්ති සටන් මැඩීමේත් අවස්ථාවක් ලෙස 2019 අප්‍රේල් බෝම්බ ප්‍රහාරය ඩැහැගත්, එවකට පැවති සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව විසින් පාසල් හා විශ්වවිද්‍යාල තුලට හමුදාව හා පොලිසිය යෙදවීමටත්, ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව විසින් වසංගතය තුල පාසල් විවෘත කිරීමටත් පූර්න සහයෝගය දී ඇත.

'මත් උවදුරෙන් දරුවන් මුදා ගැනීමේ' ව්‍යාජ උද්ඝෝෂනය යටතේ පාසල් තුලට පොලීසිය මැදිහත් කිරීම ඇතුලු රාජ්‍ය මර්දන සැලසුම්වලටත්, ආන්ඩුවේ අනෙකුත් ප්‍රහාර වලටත් එරෙහිව, ජාත්‍යන්තර සමාජවාදය මත පාදක වූ කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන සටනක් දියත් කිරීම අත්‍යවශ්‍ය වෙයි.

එම සටන ඉදිරියට ගෙනයාම සඳහා, වෘත්තීය සමිතිවලින් හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ-වාම පක්ෂවලින් බිඳී, සෑම පාසලක් හා නිවහන් ප්‍රදේශයක් ආශ්‍රිතවම ගුරු-සිසු-දෙමාපිය ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගන්නා ලෙස දෙමාපියන්ට හා උසස් පෙල සිසුන්ට කැඳවුම් කර සිටිමු.

Loading