ඉදිරිදර්ශන

නැටෝව ඉවක් බවක් නොමැති ව රුසියාවට එරෙහි යුද්ධය උත්සන්න කරයි

[මෙය NATO recklessly escalates war against Russia මැයෙන් 2023 ජනවාරි 09 පල වූ ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

යුක්‍රේනය තුල ගැටුමේ ශීඝ්‍ර උත්සන්න වීම මගින්, නැටෝව රුසියාවට එරෙහි යුද්ධයේ පාර්ශවකරුවෙකු නොවන බවට කරන ප්‍රකාශය සුනු විසුනු කර දමා ඇත.

නැටෝ මැදිහත්වීමේ පුලුල් නව ව්‍යාප්තියකින් තොර ව එක් සතියක් හෝ ගත නොවේ:

  • දෙසැම්බර් 10 දා, එක්සත් ජනපදය රුසියාව තුල වඩා අභ්‍යන්තරයට යුක්‍රේන ප්‍රහාරවලට නිල වශයෙන් අනුමැතිය දී ඇති බව ප්‍රකාශ කරමින් එක්සත් ජනපද නිලධාරියෙක් ටයිම්ස් ඔෆ් ලන්ඩන් පුවත්පතට පැවසුවේ, “රුසියානුවන්ට [රුසියාවේ දී හෝ ක්‍රිමියාවේ දී] පහර දෙන්න එපා යයි අපි කියෙව් ආන්ඩුව වෙත නොකියමු” යනුවෙනි.
  • දෙසැම්බර් 21 වෙනිදා බයිඩන් පරිපාලනය නිවේදනය කලේ, යුක්‍රේනයට පේට්‍රියට් මිසයිල පද්ධතියක් යවන බවයි; එය මෙතෙක් යවා ඇති වඩාත් ම දියුනු අවි පද්ධතිය වේ.
  • දෙසැම්බර් 29 දා, බයිඩන්, යුද්ධය සඳහා තවත් ඩොලර් බිලියන 50 ක් වෙන් කිරීම නීතිගත කලේ ය. එනම් ගැටුමට එක්සත් ජනපදයේ මැදිහත් වීමේ මට්ටම එක් පෑන් පහරින් දෙගුන කිරීමකි.
  • ජනවාරි 4 සහ 5 යන දිනවල ප්‍රංශය, ජර්මනිය සහ එක්සත් ජනපදය යුක්‍රේනයට යුද ටැංකි සහ සන්නද්ධ සටන් වාහන යවන බව නිවේදනය කලේ ය.
ජර්මනිය නිවේදනය කර ඇත්තේ, මාඩර් පාබල හමුදා සටන් වාහන (ඡායාරූපයේ පෙන්වා ඇති) දුසිම් ගනනක් යුක්‍රේනයට යවන බවයි. [AP Photo]

බයිඩන් සහ අනෙකුත් නැටෝ නායකයින්, එක්සත් ජනපදය හා රුසියාව අතර සෘජු යුද්ධයකට තුඩු දෙනු ඇතැයි කලින් ප්‍රකාශ කල ක්‍රියා මේවා ය.

මාර්තු මාසයේ දී බයිඩන් පැවසුවේ, “අප ප්‍රහාරක උපකරන යැවීමත්, ඇමරිකානු ගුවන් නියමුවන් සහ ඇමරිකානු කාර්ය මන්ඩලය සහිත ගුවන් යානා, යුද ටැංකි සහ දුම්රිය යැවීමත් යන අදහස... තුන්වන ලෝක යුද්ධය නම් වේ.” යනුවෙනි.

“අප නැටෝව සහ රුසියාව අතර යුද්ධයක් පස්සේ පන්නන්නේ නැත” යන ඔහුගේ ප්‍රකාශය තහවුරු කිරීම සඳහා බයිඩන් මැයි මාසයේ නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ කතු වැකියේ පලවුනු ලිපියක් ලිවී ය. එය ප්‍රකාශ කලේ, “අපි යුක්‍රේනයට එහි තම සීමාවෙන් ඔබ්බට ප්‍රහාර එල්ල කිරීමට දිරිගැන්වීමක් හෝ අවසරයක් නොදෙමු”—එම ස්ථාවරය දැන්, එක්සත් ජනපද නිලධාරීන්ගේ මාධ්‍ය ප්‍රකාශවලට දැන් විවෘත ව ම පරස්පර විරෝධී වී ඇත.

ජූනි මාසයේදී ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ප්‍රකාශ කලේ, “අපි යුද්ධයට අවතීර්න නොවෙමු... මේ අනුව—ප්‍රහාරක ගුවන් යානා හා යුද ටැංකි ඇතුලු—ඇතැම් ආයුධ නොසැපයීමට එකඟ වී ඇති අතර ජනාධිපති සෙලෙන්ස්කි මෙම ගිවිසුම ගැන දනී.” යනුවෙනි.

අභ්‍යන්තර ප්‍රකාශනවල දී, රුසියානු හමුදාව විනාශ කිරීමේ අරමුන ඇති ව එක්සත් ජනපදය විසින්, යුක්‍රේන හමුදාව කුලී හමුදාවක් ලෙස ඇත්ත වශයෙන් ම කුලියට ගෙන ඇති බව එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ මූලෝපායඥයෝ පිලිගනිති.

“ඇල් මැරුනු, භූ දේශපාලනික භාෂාවක් කතා කරතොත් තම හමුදා නොයොදවා සහ එක්සත් ජනපද ජීවිතවලට කුඩා අවදානමක් ඇති ව, මෙම යුද්ධය එක්සත් ජනපදයට රුසියාවේ සාම්ප්‍රදායික ආරක්ෂක හැකියාව ඛාදනය කිරීමට හා පරිහානියට පත් කිරීමට ප්‍රමුඛ අවස්ථාවක් සපයයි,” යනුවෙන් යුරෝපීය ප්‍රතිපත්ති විශ්ලේෂන මධ්‍යස්ථානයේ (සීපා) තිමෝති ඈෂ් ලිවී ය.

“රුසියාවේ සාම්ප්‍රදායික මිලිටරි හැකියාවෙන් අඩකට ආසන්න ප්‍රමානයක් විනාශ කිරීම සඳහා එක්සත් ජනපදය සිය ආරක්ෂක අයවැයෙන් සියයට 5.6 ක් වැය කිරීම අතිශයින් ඇදහිය නොහැකි ආයෝජනයක් සේ පෙනේ,” ඈෂ් වැඩිදුරටත් පැවසුවේ, “රුසියාව විනාශ කිරීම සඳහා යුක්‍රේනයට හමුදා බල ඇනි තවදුරටත් යෙදවීමට එක්සත් ජනපද හමුදාව සාධාරන ලෙස ප්‍රාර්ථනා කරනු ඇත.” යනුවෙනි.

රුසියානු රාජ්‍යයේ භෞතික විනාශය නැටෝ ප්‍රතිපත්තියේ ඉලක්කයක් ලෙස වඩ වඩාත් ප්‍රකාශ කෙරෙමින් පවතී. න්‍යෂ්ටික යුද උපදේශක හර්මන් කාන් විසින් ආරම්භ කරන ලද චින්තන පර්ෂදයක් වන හඩ්සන් ඉන්ස්ටිටියුට්හි, ලූක් කොෆී පැවසුවේ “යුක්‍රේනයේ යුද්ධය... අද පෙනී යන පරිදි, රුසියානු සමූහාන්ඩුව (සෝවියට් සංගමයේ නීත්‍යානුකූල අනුප්‍රාප්තිකයා) විසුරුවා හැරීම සනිටුහන් කරනු ඇති” බවයි.

එක්සත් ජනපදය සහ නැටෝව යුද්ධය උසිගන්වා, කල් අද්දා, උත්සන්න කර ඇත. රුසියානු ආන්ඩුව, දැවැන්ත හා ප‍්‍රතිගාමී වරද්දා ගැනීමකින් යුක්‍රේනයට පහර දුන්නේ, එක්සත් ජනපදය හා යුරෝපය සමග ආරක්ෂක ගිවිසුමක් ඇති කර ගැනීමේ අපේක්ෂාවෙනි. ඒ වෙනුවට, එය ව්‍යසනකාරී ප්‍රතිවිපාක සමග නැටෝ උගුලට ඇද වැටුනි.

සෑම තීව්‍ර කිරීමක් සමඟම, එක්සත් ජනපදය සහ නැටෝව ඔට්ටු අල්ලමින් සිටින්නේ, සැලකිය යුතු ප්‍රතිප්‍රහාරයකින් තොර ව අවසන් වතාවට වඩා ඉදිරියට යා හැකි බවයි. පසුගිය මාසයේ නිව් යෝර්ක් ටයිම්ස් මෙම තර්කනය පැහැදිලි කලේ, “යුක්‍රේනයට එරෙහි ව දැනටමත් කර නැති බොහෝ දේ න්‍යෂ්ටික තීව්‍රතාවයෙන් අඩු රුසියාවට කල නොහැකි බවට නිලධාරීන් සහ සිවිල් වැසියන් අතර කියෙව්හි පුලුල් ව පැතිරී ඇති මනෝභාවය” හුවා දක්වමිනි.

එහෙත් රුසියාව, වඩ වඩාත් තමන්ගේ පැවැත්මට තර්ජනයක් ලෙස සලකන දෙයකට ප්‍රතිචාර නොදක්වනු ඇතැයි සිතමින් කෙරෙන මේ සූදුව—මිලියන සංඛ්‍යාත මිනිසුන්ගේ ජීවිත සමඟ කරන සූදුවකි.

එහි සියලු ව්‍යසනකාරී ප්‍රතිවිපාක සහිත ව, රුසියාව සමග එක්සත් ජනපදය යුද්ධයක් කරා රැගෙන යාමට බයිඩන් පරිපාලනයට බලය දුන්නේ කවුද? කොන්ග්‍රසය සහ පාලක පන්තියේ පක්ෂ දෙක ම පිලිගත් අප්‍රකාශිත යුද්ධයක්, එයට අවසර දීමේ ඡන්දයක මවා පෑමක් පවා නොමැති ව ක්‍රියාත්මක වෙමින් පවතී.

බයිඩන් ඔහුගේ මාෆියා අව් කන්නාඩි ගලවා දමා, තම ක්‍රියාවන්හි ප්‍රතිවිපාක මොනවාදැයි ලෝකයට පැවසිය යුතු ය. යුද්ධය “සාම්ප්‍රදායික ක්‍රමයට” උත්සන්න වීමක්, යුරෝපය පුරා සිය දහස් ගනනක් හෝ මිලියන ගනනක් මිනිසුන්ට මරන තර්ජනය කරයි. න්‍යෂ්ටික අවි අමෝරා ගැනීමක් ලෝකයේ ප්‍රධාන නගර විනාශ කිරීමට සහ මානව ශිෂ්ටාචාරය අතුගා දෑමීමට තර්ජනය කරයි.

සිය අලුත් අවුරුදු ප්‍රකාශයේ ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෙසේ ලිවී ය: “යුද්ධය එහි දෙවැනි වසරට ඇතුල් වෙද්දී, තීරනාත්මක ජයග්‍රහනයක් ලබාගැනීමේ අවශ්‍යතාව විසින් අවුලුවනු ලබන, අයථා ඉලක්ක හා ව්‍යසනකාරී වැරදි තක්සේරු කිරීම් මත පදනම් වන මිලිටරි ප්‍රහාර තීව්‍ර කිරීමේ තර්කනය නිර්දය ලෙස ඉදිරියට ඇදෙයි.

බයිඩන් පරිපාලනය රුසියාව වෙතින් දැඩි ප්‍රතිචාරයක් ඇවිලවීමට උත්සාහ කරන්නේ ද නැතහොත් පුටින් පාලන තන්ත්‍රය නැටෝව සමග යුද්ධය තීව්‍ර කිරීම මගහරිනු ඇතැයි විශ්වාස කරන්නේ ද යන්න පැහැදිලි නැත. එහෙත්, හිතාමතා ප්‍රකෝප කිරීමක් හෝ රුසියානු පිලිවෙත පිලිබඳ වැරදි තක්සේරුවක් මගින් ගෝලීය ව්‍යසනයක් කරා ධාවනය වන අනතුර නො තකා, ධවල මන්දිරය ක්‍රියා කරයි.

මිලිටරි උත්සන්න වීමේ තර්කනය යුද්ධයේ විෂය පථය සහ භූගෝලීය වපසරිය පුලුල් කරනු ඇත. බෙලරුසියාව සම්බන්ධ වීමට ඇත්තේ තව කොපමන කලක් ද, පසුව පෝලන්තය? මුලු නැගෙනහිර යුරෝපය, ඒජියන් සහ බෝල්ටික් කලාපය, පසුව යුරෝපයේ සෙසු රටවල් සහ ලෝකය ඇදී යනු ඇත. 'තම හමුදා භටයන් ගොඩබැස්සවීම' සඳහා වන ඉල්ලීම් වලට තල්ලුව දෙමින්, රුසියානු ගුවන් ප්‍රහාරයකින් යුක්‍රේනය තුල දැනටමත් යොදවා සිටින එක්සත් ජනපද හමුදා මරා දැමීමට ගතවනු ඇත්තේ තව කොපමන කලක් ද?

සෑම නව ආයුධ තොගයක් සමඟම,නැටෝවේ කීර්ති නාමය වඩ වඩාත් අවදානමට ලක්ව ඇත. නැටෝව විසින් පොම්ප කරනු ලබන ආයුධ සඳහා පුහුනුව සහ මඟ පෙන්වීම අවශ්‍ය වනවා පමනක් නොව, දැනටමත් යුක්‍රේනයේ යොදවා ඇති එක්සත් ජනපද හමුදා සංඛ්‍යාවේ වැඩිවීමක් ඇතුලත් පැතිරුනු හා පුලුල් සැපයුම් ජාලයක් අවශ්‍ය වනු ඇත.

රුසියාව පැත්තෙන් ගත් කල, පුටින් ආන්ඩුව “විශේෂ මිලිටරි මෙහෙයුමක්” ක්‍රියාත්මක කරන බවට වන ප්‍රබන්ධය, පුර්න මට්ටමේ යුදමය බලමුලු ගැන්වීමේ යථාර්ථයට පාර කපමින් සිටී. එ පමනක් නොව, නැටෝවේ වර්ධනය රුසියානු මිලිටරිය තුලින් සහ අන්ත ජාතිකවාදී කොටස් වලින් ප්‍රධාන ප්‍රතිප්‍රහාරයක් හෝ නේටෝවට සෘජු ප්‍රහාරයක් සඳහා වන පීඩනය තව දුරටත් තීව්‍ර කරනු ඇත.

නිශ්චිත අවස්ථාවක දී, එක් ගිනි ඇවිලීමක් විසින් තවත් ඇවිලවීමක් උපදවමින්, සම්බන්ධ වූවන්ට එය නැවැත්වීමට අවශ්‍ය වුව ද, පාලනය කර ගත නොහැකි ප්‍රතික්‍රියා දාමයක් නිර්මානය කරයි.

යුද්ධයේ නිර්දය උග්‍ර වීම සෑම රටක ම වැඩෙන සමාජ, දේශපාලන හා ආර්ථික අර්බුදයකින් තල්ලු වෙමින් පවතී. එක්සත් ජනපදය සමාජ වෙඩි බෙහෙත් පීප්පයක් වන අතර, ඇමරිකානු දේශපාලන ක්‍රමය එහි පාදම මත කුනු වෙමින් පවතී.

ඇමරිකාවේ පාලක ප්‍රභූව සහ ධනවත් ඉහල මධ්‍යම පන්තිය යුද උන්මාදයට ග්‍රහනය වී ඇත. පැරනි සෝවියට් සමූහාන්ඩුවේ සම්පත් කොල්ලකෑමෙන්, ඇමරිකානු සමාජය ග්‍රහනය කර ගෙන ඇති දැවැන්ත දේශීය අර්බුදය මැඩපැවැත්විය හැකි බවට ඔවුහු නිෂ්ඵල ලෙස විශ්වාස කරති.

යථාර්ථය නම්, මෙම යුද්ධය සඳහා පුලුල් මහජන සහයෝගයක් නොමැති බවයි. යුක්‍රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි විසින් පසුගිය මාසයේ එක්සත් ජනපද කොන්ග්‍රසය අමතා කල දේශනයට රැස් ව සිටි කොන්ග්‍රස් සභිකයන්ගේ සියලු ප්‍රීති ඝෝෂා සහ කෑගැසීම්, පුලුල් මහජන මතයට කිසිදු බලපෑමක් ඇති කලේ නැත.

එහෙත් ජනගහනයේ පුලුල් ව පැතිරුනු විරුද්ධත්වය, තවමත් සංවිධානාත්මක දේශපාලන ප්‍රකාශනයක් අත් කරගෙන නැත. වෙනස් කල යුත්තේ මෙයයි. ඉදිරියට එන ව්‍යසනය නැවැත්විය හැකි එක ම බලවේගය නම්, අධිරාජ්‍යවාදයට, මිලිටරිවාදයට, ඓතිහාසික ව යල්පැන ගිය ජාතික රාජ්‍ය පද්ධතියට සහ ධනේශ්වර සමාජ පර්යායට එරෙහි අරගලයක එක්සත් වූ ජාත්‍යන්තර කම්කරු පන්තියයි.

Loading