තම රැකියා සහ ජීවන කොන්දේසි කෙරෙහි ආන්ඩුවේ කප්පාදු බලපා ඇති අයුරු සෞඛ්‍ය කම්කරුවෙක් විස්තර කරයි

රට මුහුන පා ඇති දරුනුතම ආර්ථික අර්බුදය මධ්‍යයේ,' ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධානයන් මත, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව ක්‍රියාත්මක කරමින් සිටින කප්පාදු හේතුවෙන් තමා මුහුන දෙන දුෂ්කර සේවා කොන්දේසි සහ දැඩි ජීවන බර පිලිබඳව, කොලඹ අක්ෂි රෝහලේ (ඇස් වාට්ටුවේ) සේවයේ නියුතු කම්කරුවෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට කරුනු එලිදරව් කලේය.

තම රෝහලේ අත්‍යවශ්‍ය ඖෂධ සහ උපකරනවල දැඩි ඌනතාවය ගැන විස්තර කරමින් ඔහු මෙසේ පැවසුවේ ය: “ලෙඩ්ඩු 15,000 ක් පමන ලිස්ට් එකේ ඉන්නවා ඇස් කාච නැතිව. අවුරුද්දක් විතර ඇස් කාච නැහැ. පිටින් ගන්න කාචයක් රුපියල් 15,000 ක් 20,000 ක් විතර වෙනවා. සමහර අය පිටින් මිලදී අරගෙන ඇතුලෙන් (රෝහලෙන්) දා ගන්නවා. ඇස්වලට දාන බෙහෙත් වර්ග තුන හතරක් තියෙනවා. ඒවා පිටින් ගන්නේ. රෝහලේ එකම බෙහෙතක්වක් නැහැ. මෙම බෙහෙත් නැතිව දැනට මාස 6 ක් විතර වෙනවා. රෝහලේ රුපියල් 600 ක් වන බෙහෙතක් ෆාමසි එකේ රුපියල් 2,500- 3,000 ක් වෙනවා.“

ලක්ෂ 17 ක් වන රජයේ සේවකයින්ගෙන් අඩක් කපා දැමීම සඳහා වික්‍රමසිංහ ආන්ඩුව ගෙනයන වැඩපිලිවෙල සහ පුරප්පාඩු වන තනතුරුවලට නවකයින් බඳවා නොගැනීම හේතුවෙන් උද්ගත වන තත්වය ගැන ඔහු පැහැදිලි කලේය.

අක්ෂි රෝහලේ, වෛද්‍යවරුන් ඇතුලු සමස්ත සේවක සංඛ්‍යාව 1,500 ක් පමන වන බව පැවසූ ඔහු මෙසේ කීවේය: “සේවක හිඟය ජනවාරිවලින් පස්සෙ සෑහෙන්න බලපාල තියෙනවා. පුරප්පාඩු තවම පුරවල නැහැ. දෙසැම්බර් 31 වන විට හැත්තෑ ගානක් විශ්‍රාම ගිහින් ඉන්නෙ. හිටපු විශේෂඥ වෛද්‍යවරු 30 කින් හෝ 40 කින්, 10 කට වඩා විශ්‍රාම ගිහිල්ල.“

ඉහල යන උද්ධමනය හේතුවෙන් තම වැටුපේ මූර්ත වටිනාකම ඛාදනය වන අයුරු ඔහු මෙසේ පැහැදිලි කලේය:

“අතිකාල පැය 150 ක් ගෙවනවා. මුලු වැටුප අතිකාල සමග රුපියල් 65,000 ක් විතර ලැබෙනවා. මම මුලින් ලෝන් එක ගද්දි බැංකු පොලිය සියයට 9 යි, දැන් සියයට 15.5 ක් වෙලා තියෙනවා. ගිය මාසෙ ඉඳල අලුත් පොලිය අනුව පඩිය කැපිල තියෙනවා.“

දෙමටගොඩ තට්ටු නිවාසයක තම බිරිඳ සහ දරුවන් සිවුදෙනා සමග ජීවත්වන මෙම සෞඛ්‍ය කම්කරුවාගේ, වැඩිමහලු දරුවන් දෙදෙනා පුද්ගලික අංශයේ රැකියාවන් හි නිරතව සිටින අතර, අනෙක් දෙදෙනා 10 වසරේ සහ 8 වසරේ පාසල් අධ්‍යාපනය ලබමින් සිටිති.

“රුපියල් 65,000 ක වැටුපෙන් ලෝන්වලට 40,000 – 45,000 ක් විතර කැපෙනවා. ඉතිරි වෙන්නෙ රුපියල් 18,000-20,000 ක් විතරයි. පිස්සු හැදිල ඉන්නෙ. පසුගිය මාස 6 ක් තුලයි මෙහෙම තත්වයක් උදා උනේ. මාස 6 කට කලින් ලෝන්වලට රුපියල් 30,000 ක් පමනයි කැපුනෙ. අලුතෙනුත් ලෝන් ගන්නව. රජයේ සේවකයා දුවන්නෙ ලෝන්වලින්. පඩිය නය කරලයි ජීවත් වෙන්නෙ,“ යනුවෙන් ඔහු තමන් මුහුන දී ඇති ආර්ථික දුෂ්කරතාවන් විස්තර කලේය.

වැඩි වැටුප් ඉල්ලීම් ප්‍රතික්ෂේප කල අනුප්‍රාප්තික ආන්ඩු සොච්චම් දීමනාවක් පමනක් ලබා දී ඇත. “ගිය අවුරුද්දේ ජනවාරි ඉඳල කොරෝනා වලට රුපියල් 5,000 ක් විතරක් දුන්නා. දෙසැම්බර්වලින් පස්සෙ කපනව කිව්ව. තව මාස 6 ක් දික් කරනව කියලත් කියනව,“ යැයි ඔහු පැවසීය.

පාසල් යන තම පුතුන් දෙදෙනාට අවශ්‍ය භාන්ඩ ලබා ගැනීමට පවතින අසීරුතාවය ගැන ඔහු මෙසේ විස්තර කලේය: “මගේ ලමයින්වත් කොහොමහරි ඉස්කෝල යවා ගන්න ඕන. තවම ජනවාරියේ පොත් ටික ගත්තෙ නැහැ. සපත්තු බෑග් ගත්තෙ නැහැ. ගිය අවුරුද්දෙ ඒවමයි පාවිච්චි කරන්නෙ. සපත්තු දෙකක් රුපියල් 4,000 යි. බෑග් එකක් රුපියල් තුන්දහස් ගානක්, කලින් ඒක එක්දහස් ගානකටයි තිබුනෙ. මේ මාසෙ සමිතියේ ලෝන් එකක් අරන් තමයි ගැට ගහගන්න සිද්ධ වෙන්න.“

ස්ථීර රැකියාවන් නොමැති කම්කරුවන් සහ අනෙකුත් එදිනෙදා ආදායම් ලබන්නන් ගැන අනුකම්පාවෙන් කතා කල ඔහු, “මම රජයේ වැටුපක් අරගෙනයි ජීවත් වෙන්නෙ. එදා දවසෙ ජීවත් වෙන මනුස්සයෙක් කොහොමද ජීවත් වෙන්නෙ. මොනතරම් අසරනද. රජයේ සේවකයෝ ලක්ෂ 17 යි ඉන්නෙ අනෙක් අය කෝටියකට වඩා ඉන්නවා,“ යැයි ඔහු කීවේය.

සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිතිවල පාවාදීම් නිසාම අක්ෂි රෝහලේ සමිතිවලින් කම්කරුවන් ඉවත් වූ ආකාරය ගැන ඔහු පිලිකුලෙන් කතා කලේය.

ජනතා විමුක්ති පෙරමුනට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට, පොදුජන පෙරමුනට සහ එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ වෘත්තීය සමිති පැවතියද මේවා කම්කරු අයිතිවාසිකම් ගැන දැන් කතා නොකරන බව සඳහන් කල ඔහු මෙසේ කීවේය: “දැන් අපේ අංශයේ රැස්වීමක්වත් තියන්න දෙන්නෙ නැහැ. ජේවීපී එකේ සමිතියටවත් නිදහස් සේවක සංගමයටවත් සේවකයො එන්න දෙන්නෙ නැහැ. කිසිම පක්ෂයකට එන්න දෙන්නෙත් නැහැ.“

වැඩ කරනු ලබන ඉරිදා දිනයන්ට විශේෂ ගෙවීම් ඇතුලු ඉල්ලීම් 7 ක් මුල් කර ගනිමින්, 2021 වසර මුලදී දියත් කෙරුනු සෞඛ්‍ය සේවක අරගලය ගැන ඔහු සිහිපත් කලේය. ජනකා විමුක්ති පෙරමුනට, ශ්‍රීලංකා නිදහස් පක්ෂයට, පොදුජන පෙරමුනට සහ එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ සමිති හතරක් විසින් මෙම අරගලය කැඳවනු ලැබින. “අපි දවස් හතම (ඉරිදා ඇතුලුව) වැඩ කරන නිසා ගෙවීමක් කරන්න කියල ඉල්ලුවා. නමුත් අපිට ඉරිදා නිවාඩුවක් විතරයි දුන්නෙ.” තම ප්‍රධාන ඉල්ලීම වූ ඉරිදා ගෙවීම වෙනුවට නිවාඩුව පිලිගන්නා ලෙසට වෘත්තීය සමිති බල කල බවත් මෙම පාවාදීම් හේතුවෙන් කල කිරුනු සමිති සාමාජිකයින් සමිතිවලින් ඉවත් වූ බවත් ඔහු පැවසීය.

කප්පාදු කෙරුනු ඉල්ලීම්වලට සමිති නායකයෝ එකඟවූහ. නිල ඇඳුමට ගෙවන ලද රුපියල් රුපියල් 9,000 වෙනුවට රුපියල් 15,000 ක් ඉල්ලා සිටියද එය වැඩි වූයේ රුපියල් 500 කින් පමනි; මසකට පැය 120 ක් වූ අතිකාල පැය 200 ක් දක්වා වැඩි කරන ලෙස ඉල්ලුවද, පැය 30 කින් පමනක් එය වැඩි කෙරුනි; කෑම වේලේ ගුනාත්මකභාවය වැඩි කරන ලෙස ඉල්ලුවද එයට ප්‍රතිචාර නොලැබිනි.

වෘත්තීය සමිතිවල පාවාදීම පිටුපස පවතින දේශපාලනය පැහැදිලි කල වාර්තාකරු සමාජවාදී සමානතා පක්ෂය මුල් වී ගොඩ නගා ඇති සෞඛ්‍ය ක්‍රියාකාරී කමිටුවේ ප්‍රකාශ ඔහුට ලබා දුනි. වෘත්තීය සමිති විසින් විවිධ මට්ටමේ සේවකයින් භේද කරමින්, පවතින ධනපති ආන්ඩු ආරක්ෂා කිරීමට වැඩ කිරීමට එරෙහිව මෙම ක්‍රියාකාරි කමිටු සියලුම ශ්‍රේනිවල සේවකයින් ඒකාබද්ධ කරමින් සටන් කරන බව පැහැදිලි කලවිට ඔහු එම කමිටුවට සම්බන්ධ වීමට එකඟත්වය පල කලේය.

මෙම සෞඛ්‍ය කම්කරුවා මුහුන දෙන සේවා කොන්දේසි සහ සමාජ-ආර්ථික කොන්දෙසි අනෙකුත් රාජ්‍ය ආයතනවල කම්කරුවන් මුහුන දෙමින් සිටින දරුනු තත්වයන් විදහා පායි.

මෙවර අයවැයෙන් සෞඛ්‍ය සේවයට වෙන් කෙරුනේ රුපියල් බිලියන 322 ක් පමනි. දැනටමත් අත්‍යවශ්‍ය ඖෂධ සහ උපකරනවල දැවැන්ත හිඟයෙන් ද, ශල්‍යාගාර ඇතුලු ප්‍රධාන පහසුකම් නඩත්තු නොකිරීමෙන් ද දැඩි ලෙස පීඩා විඳින රජයේ රෝහල් ඇතුලු ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය පද්ධතිය අනෙකුත් රාජ්‍ය ආයතන මෙන්ම පුද්ගලීකරනයට ගොදුරු කෙරෙමින් පවතී. මෙහි කොටසක් ලෙස රජයේ රෝහල්වල ගෙවීමේ වාට්ටු ක්‍රමය යෝජනා කෙරී ඇත.

ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙලටත්, වෘත්තීය සමිති හා ඒවායේ නිලධරයේ පාවාදීම්වලටත් එරෙහිව තම අයිතීන් සඳහා සටනේදී තීන්දු තීරන ගැනීමේ බලය කම්කරුවන් අතට ගත යුතුයි. මෙය හැකි වන්නේ කම්කරුවන් වෘත්තිය සමිතිවලින් හා ධනපති පක්ෂවලින් බිඳී වැඩපොලවල්වල, හා නිවහන් ප්‍රදේශ වල කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයෙන් ක්‍රියාත්මක වන ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීමෙනි.

Loading