රජයේ රෝහල්වල ගෙවන වාට්ටු ඇති කිරීමේ වැඩ පිලිවෙල පරාජය කරනු!

රජයේ රෝහල් වල ගෙවන වාට්ටු ඇති කිරීමේ ආන්ඩුවේ වැඩ පිලිවෙලට එරෙහිව, සෞඛ්‍ය සේවකයින් අතරද මහජනයා අතරද පලල් උද්ඝෝෂනයක් දියත් කිරීමට, සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුවේ අපි තීන්දු කර ඇත්තෙමු.

ලංකාවේ කම්කරු පන්තිය දිනා ගත් මූලික අයිතියක් වන මහජන සෞඛ්‍ය පද්ධතිය අතුගා දැමීම ඉලක්ක කර ගත් ආන්ඩුවේ කප්පාදු වැඩ පිලිවෙල පරාජය කිරීම සඳහා කම්කරු පන්තියේ ශක්තිය සංවිධානය කිරීමට ඉදිරිපත් වන ලෙස සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව සියලු සෞඛ්‍ය සේවකයින්ගෙන්ද සෞඛ්‍ය සේවය වැනසීම නිසා බැටකන වැඩ කරන ජනයාගෙන්ද ඉල්ලා සිටියි. මෙම ප්‍රකාශනයේ අවසානයේ ඇති දුරකථන අංක හෝ ඊ මේල් මඟින් අප හා සම්බන්ධ වන ලෙස අපි ඉල්ලා සිටිමු.

2023 අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් ජනාධිපති හා මුදල් ඇමතිවන රනිල් වික්‍රමසිංහ සඳහන් කලේ “රජයේ රෝහල් වල ගෙවීමේ වාට්ටු ක්‍රමය නැවත ක්‍රියාත්මක කිරීමට යෝජනා කරන' බව සහ එහි 'පලමු අදියර ලෙස ජාතික හා මූලික රෝහල් වල මෙම ක්‍රමය ස්ථාපනය කෙරෙන' බවයි.

මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම දෙපැත්තකින් එල්ලවන ප්‍රහාරයක් බවට පත්වෙන බව ඔබගේ අවධානයට යොමු කරන්නෙමු. පුද්ගලීකරන වැඩ පිලිවෙල මඟින් සෞඛ්‍ය සේවකයින්ගේ අයිතීන් කප්පාදු කිරීම එක් පසෙකිනුත් රෝහල් වලින් සිය සෞඛ්‍ය පහසුකම් සලසා ගැනීමට වැඩකරන හා දුගී ජනයාට පැවති ඉඩකඩ අහුරා දමමින් එම අයිතිය නැති භංග කිරීම අනෙක් පසිනුත් මෙම ප්‍රහාරය නිසා ඇරඹෙනු ඇත. මෙය ඉතා දුරදිග යන අයුරින් නිදහස් සෞඛ්‍ය සේවය වැනසීමේ ආරම්භයකි.

රජයේ ප්‍රධාන රෝහල් වල පෞද්ගලික වාට්ටු පිහිටුවීම පිලිබඳ යෝජනාව ඉලක්ක කර ඇත්තේ දැනටම අත්‍යවශ්‍ය ඖෂධ සහ උපකරනවල දැවැන්ත හිඟයෙන් ද, ශල්‍යාගාර ඇතුලු ප්‍රධාන පහසුකම් නඩත්තු නොකිරීමෙන් ද දැඩි ලෙස පීඩා විඳින රජයේ රෝහල් ඇතුලු ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය පද්ධතියටයි.

අත්‍යවශ්‍ය ඖෂධ සහ උපකරනවල දැවැන්ත හිඟයෙන් ද, ශල්‍යාගාර ඇතුලු ප්‍රධාන පහසුකම් නඩත්තු නොකිරීමෙන් ද සෞඛ්‍ය කාර්ය මන්ඩලයේ වෛද්‍යවරුන් හා හෙදියන් ඇතුලු විශාල සංඛ්‍යාවක පුරප්පාඩු නොපිරවීමෙන්ද උද්ගත වී ඇති තත්වය මෙයයි.

මෙම ඛාදනය සිදුවෙමින් ඇත්තේ වැඩ කරන ජනයා අතර පුලුල්ව පැතිර පවතින කුසගින්න, මන්දපෝෂනය හා මානසික ආතතීන් නිසා රෝගී වන සංඛ්‍යාවන් වේගයෙන් ඉහල යන තතු තුලය. වයස පහට අඩු දරුවන්ගෙන් සියයට 50ක් මන්දපෝෂනයෙන් පෙලෙන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය වාර්තා කර තිබේ.

පලවී ඇති වාර්තා අනුව දශලක්ෂ තුනක් පමන ජනයා බෝ නොවෙන රෝග සඳහා ප්‍රතිකාර ලබා ගන්නා අතර දශ ලක්ෂයක් පමන ජනයා සුව කල හැකි අන්ධ භාවයෙන් පීඩා විඳිති. තවත් 10,000ක් පමන ජනයා හෘද සැත්කම් සඳහා පොරොත්තු ලේඛනවල සිටින අතර 10,000ක් පමන පිලිකා රෝගීන් බෙහෙත් හා වෛද්‍ය උපකරනවල හිඟයෙන් තියුනු ලෙස පීඩා විඳිති.

දැනට කෝවිඩ්-19 වසංගතය ආන්ඩුවේ සංඛ්‍යාලේඛන වලින් යට ගසා තිබුනද එයින් හා ඩෙංගු වැනි වසංගතයන්ගෙන් බැට කන රෝගීන්ගේ සංඛ්‍යව අධිකය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ආන්ඩුවට පනවා ඇති ප්‍රධාන කොන්දේසියක් වන්නේ ආන්ඩුව විසින් මහජන සේවාවන්ට වෙන් කරන ප්‍රතිපාදන කපා දමා දැනට පැහැර හැර ඇති නය ආපසු ගෙවීමට මුදල් සපයා ගත යුතු බවයි. අයවැයෙන් සෞඛ්‍ය සේවය සඳහා රුපියල් බිලියන 322ක් වෙන් කරන අතරතුර මිලිටරියට හා පොලිසියට රුපියල් බිලියන 539ක් වෙන් කර ඇත්තේ මේ අනුවයි.

නිදහස් සෞඛ්‍ය සේවය මහජන අයිතියකි. මහජන සෞඛ්‍ය පද්ධතිය පවත්වා ගෙන යාම හා නිසි පරිදි නඩත්තු කිරීම සඳහා මුදල් යෙදවීම ආන්ඩුවේ වගකීමකි. නමුත් පසුගිය දශක ගනනාව තුල අනුප්‍රාප්තික ආන්ඩු විසින් සිදු කල පුද්ගලික රෝහල් ඇති කිරීම හා රසායනාගාර සේවාවන් ආදිය මුදල් ගැරීමේ ව්‍යාපාර බවට පත් කිරීම හරහා සෞඛ්‍යය සඳහා වෙන් කරන ප්‍රතිපාදන ආන්ඩුවේ වැයෙන් සියයට 1 – 2 මට්ටමකට පිරිහෙලිනි. මෙලෙස මහජන සෞඛ්‍ය සේවාව අවම මට්ටමට කප්පාදු කිරීමේ ප්‍රතිඵලවලට දැන් සමස්ත සෞඛ්‍ය පද්ධතිය මුහුනදී සිටියි. එමඟින් කම්කරු හා දුගී ජනයා කිසිම හව්හරනක් නොමැති තැනට පත්කර තිබේ.

කොරෝනා වසංගතයෙන් හා යුක්‍රේනය මැදි කර ගනිමින් ඇමරිකාව හා නේටෝ බලයන් විසින් රුසියාවට එරෙහිව ගෙන යන යුද්ධයෙන් උත්සන්න කෙරුනු ලෝක ආර්ථික අර්බුදය ලංකාව තුල තියුනු ලෙසින් ප්‍රකාශයට පත්ව ඇත. එම ධනපති ආර්ථික කඩා වැටීමේ සියලු බර වැඩ කරන ජනයා මත පටවා මහා සංගතවල හා අන්තර්ජාතික ප්‍රාග්ධනයේ ලාභ ගැරීම දිගටම කරගෙන යාමට ඉඩ සැලසීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ක්‍රියාවට දමන රනිල් වික්‍රමසිංහගේ හා රාජපක්ෂලාගේ ආන්ඩුවේ එල්ලයයි.

සෞඛ්‍ය සේවක අප ඇතුලු සමස්ත මහජන සෞඛ්‍ය පද්ධතිය මත මෙම කඩා වැටෙන ධනපති ආර්ථිකයේ බර පටවමින් එය අතුගා දැමීම මෙම පුද්ගලික වාට්ටු වැඩපිලිවෙලේ අවසාන ඉලක්කයයි. මෙම බරට කර ගැසීම අප සම්පූර්නයෙන් ප්‍රතික්ෂේප කල යුතුය. ලෝකය පුරා ධනපති ආන්ඩුත් එහි කොටසක් ලෙස ලංකාවේ ආන්ඩුවත් මුහුනදී සිටින ආර්ථික කඩා වැටීමට සෞඛ්‍ය සේවක අප හෝ අනෙකුත් වැඩ කරන ජනයා වගකිව යුතු නැත.

ආන්ඩුව මුහුන දෙන ගැඹුරු ආර්ථික අර්බුදයේ මූලික අංගයක් වන විදේශ සංචිත හිඳීයාමට පිලියමක් ලෙසින් ආනයනයන් දැඩිලෙස සීමා කිරීම රෝහල් තුල ඖෂධ හා උපකරනවල හිඟයන් උත්සන්න කර ඇති අතරම, ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තියුනු ලෙස කඩා වැටීම මෙන්ම නොයෙකුත් ආනයන හා අනෙකුත් බදු වැඩි කිරීම හේතුවෙන් වෙලඳපොලේ ඖෂධ හා ඒ් ආශ්‍රිත භාන්ඩවල මිලද අහස උසට නැග ඇත.

මෙම හිඟයන් තව තවත් පුලුල් වන අතර රෝහල් නඩත්තු කිරීම සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන කපා හැරීම නිසා රටෙහි ප්‍රධාන ලමා රෝහල, අපේක්ෂා (පිලිකා) රෝහල හා කොලඹ ජාතික රෝහල ඇතුලු රෝහල් ගනනාවක වැඩකටයුතු වල අඩාල වීමට එරෙහිව එම රෝහල් වල සේවකයින් උද්ඝෝෂන දියත් කරමින් තිබේ.

දැනට මෙම රෝහල්වල කටයුතු යම්පමනකින් හෝ පවත්වා ගෙන යන්නේ නොයෙකුත් සංවිධාන හෝ පුද්ගලයන්ගේ ආධාර මඟින් වන අතර එය කිසිසේත්ම මහජන සෞඛ්‍ය පද්ධතිය පවත්වා ගෙන යාමේ ස්ථිරසාර ක්‍රමයක් නොවේ.

ඉන්ධන හිඟය හා විදුලි කප්පාදුවද මහජන සෞඛ්‍ය පද්ධතිය කෙරෙහි සිදුකර ඇති බලපෑම සුලු පටු නොවන අතර තාවකාලික ලෙස පැලැස්තර දමා ඇති මෙම ප්‍රශ්න වඩාත් දරුනු ලෙස ඉස්මතු වීමට නියමිතය. එහි සියලු බර පටවනු ඇත්තේ සෞඛ්‍ය සේවක අප මත මෙන්ම මහජන සෞඛ්‍ය පද්ධතියෙන් සේවය ලබා ගන්නා වැඩ කරන ජනතාව මතය.

රටෙහි සියලු කම්කරුවන් මෙන්ම අපි ද අහස උසට නැග ඇති බඩු මිලෙන් හා ඉහල නොයන වැටුප් වලින් හා දීමනා කප්පාදු වලින් පීඩා විඳින්නෙමු. එපමනක් නොව, සේවක හිඟය නිසා ඉහල ගොස් ඇති වැඩ කන්දරාවෙන් හා ජීව්තයත් මරනයත් අතර දුෂ්කර සටනක් කරන රෝගීන්හට සේවය සැපයීමේදී අත්දකින්නට සිදුව ඇති මානසික පීඩාවන්ට ද අපි ගොදුරුවී සිටින්නෙමු.

මහජන සෞඛ්‍ය පද්ධතියේ අතිශයින්ම මූලික අවශ්‍යතා වන පහත ඉල්ලීම් මත අපගේ සටන වික්‍රමසිංහ - රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව සංවිධානය කල යුතුය;

සෞඛ්‍ය පද්ධතිය සඳහා අවශ්‍ය සියලු ප්‍රතිපාදන බිලියන ගනනින් සම්පාදනය කරනු!

ගෙවන වාට්ටු ක්‍රමය නතර කරනු! සියලු වෛද්‍ය පහසුකම් නොමිලේ සපයනු!

දැනටමත් පුද්ගලීකරනයට එරෙහිව සටනට පිවිසෙමින් ඇති විදුලි සංදේශ, රක්ෂන, ඛනිජ තෙල්, විදුලි බල ආදී ක්ෂේත්‍රවල කම්කරුවන් හා මෙම ආන්ඩුවේ කප්පාදු පිලිවෙතෙන් බැට කන සියලු කම්කරුවන් සමඟ අප ඒ්කාබද්ධ විය යුතු අතර එම වැඩපල වලද ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩ නගා ගැනීමට සහය ලබා දෙමින් සටන සම්මුති විරහිතව ඉදිරියට ගෙන යා යුතු බව අපි යෝජනා කරමු.

කොරෝනා වසංගතය සමඟ වැඩ කන්දරාව ඉහල දමමින් හා නිසි ආරක්ෂනය නොසපයමින් දැවැන්ත පීඩනයකට ලක් කිරීමට එරෙහිව සටනට පිවිස සිටින ලොව පුරා සෞඛ්‍ය කම්කරුවන් සමග ජාත්‍යන්තරව අප සන්ධානගත විය යුතුය. අපගේ සටන සමඟ ඒ්කාබද්ධ වන ලෙසත් ඊට පුලුල් සහය ලබා දෙන ලෙසත් සියලු වැඩ කරන ජනයාගෙන් අපි ඉල්ලා සිටිමු. මහජන සෞඛ්‍ය සේවය ආරක්ෂා කර ගැනීම ඔබේ සටනයි.

ඇමතුමකින් හෝ කෙටි පනිවිඩයකින් අපව අමතන්න: ජංගම දුරකතනය: 0773562327

ඊ මේල් ලිපිනය: healthworkers-sl@wsws.org

Loading