ආන්ඩුව යූ ටියුබ් ක්‍රියාකාරිකයා අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීමට අනුමැතිය දෙයි

[මෙය 2023 ‌ ජනවාරි 14 වැනි දින Sri Lankan government endorses arrest and detention of YouTuber මැයෙන් පල වූ ලිපියේ පරිවර්තනයයි.]

ජනවාරි 5 වන දින, ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව, යූ ටියුබ් ක්‍රියාකාරිකයෙකු වන සේපාල් අමරසිංහ අත්අඩංගුවට ගත්තේ, ඔහු රටේ “පූජනීය දන්ත ධාතුවට”, “අපහාස” කල බවට චෝදනා කරමිනි. පසු ව දා අත්අඩංගුවට ගත් අමරසිංහ පොලිසියේ ඉල්ලීම මත කොලඹ මහේස්ත්‍රාත් අධිකරනය විසින් ජනවාරි 10 වන දා දක්වාත් පසු ව ජනවාරි 17 දක්වාත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

මහනුවර දලඳා මාලිගාවේ බුදුන්ගේ “දන්ත ධාතුව” තිබෙන බව බෞද්ධයෝ විශ්වාස කරති. අමරසිංහ විසින් ප්‍රකාශයට පත් කරන ලද වීඩියෝ ප්‍රකාශයක ඔහු මෙම පූජාභාන්ඩය [නොවටිනා දෙයක් හැඳින්වීමට භාවිතා කරන කඨෝර සිංහල භාෂාවෙන්] ලබ්බ ලෙස හැඳින්වීම, ඔහුට නඩු පැවරීම සඳහා දඩමීමා කර ගෙන ඇත.

සේපාල් අමරසිංහ [Photo: Facebook]

පූජනීය දලදාව සාම්ප්‍රදායිකව පැරනි සිංහල රජවරුන් විසින් රට පාලනය කිරීමට ඔවුන්ට ඇති අධිකාරියේ ප්‍රධාන සංකේතය ලෙස සලකනු ලැබී ය. 1948 දී බ්‍රිතාන්‍යයන්ගෙන් ශ්‍රී ලංකාව නිල නිදහස ලැබීමෙන් පසු අනුප්‍රාප්තික කොලඹ ආන්ඩු ශ්‍රී ලංකාවේ ධනේශ්වර පාලනය තුල බුද්ධාගමේ ආධිපත්‍යය සාධාරනීකරනය කිරීමට එය භාවිතා කරයි. ඔවුන්ගේ වර්ගවාදී බෙදීම් ප්‍රවර්ධනයට සමගාමී ව, 1956 දී සිංහල භාෂාව ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාව බවට පත් කරන ලද අතර 1972 දී බුද්ධාගම රටේ ප්‍රධාන ආගම ලෙස ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කරන ලදී.

අමරසිංහ අත්අඩංගුවට ගැනීම උසිගන්වනු ලැබුවේ, යූ ටියුබ් ක්‍රියාකාරිකයාගේ යැයි කියනු ලබන “සාපරාධී ප්‍රකාශ” වලට එරෙහි ව පියවර ගන්නා ලෙස ජනාධිපති වික්‍රමසිංහගෙන් ලිඛිත ව ඉල්ලා සිටි මල්වතු, අස්ගිරි මහ නාහිමිවරුන් ඇතුලු බෞද්ධ සංස්ථාපිතය විසිනි. බෞද්ධ සංවිධාන කිහිපයක් සහ ආන්ඩුවේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ද පොලිසියට පැමිනිලි කර පියවර ගන්නා ලෙස ඉල්ලා ඇත.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) අමරසිංහ අත්අඩංගුවට ගැනීම හෙලා දකිමින්, ඔහු වහා නිදහස් කරන ලෙසත්, ඔහු රඳවා තබා ගැනීමට යොදා ගත් කුරිරු නීති අහෝසි කරන ලෙසත් බල කර සිටී. බෞද්ධ සංස්ථාපිතය විසින් ආරම්භ කරන ලද, ප්‍රජාතන්ත්‍ර විරෝධී හා මර්දනකාරී ක්‍රියාමාර්ග මාලාවක් තීව්‍ර කිරීම සඳහා අර්බුදකාරී වික්‍රමසිංහ පාලනය විසින් අමරසිංහ අත්අඩංගුවට ගැනීම ඩැහැගෙන ඇත.

එසේ පවසන අතරේ, සසප, බෞද්ධ සංස්ථාපිතයේ දූෂිත පැතිකඩයන් හෙලිදරව් කරන බව පවසන අමරසිංහගේ ලදරු හා අපවාදාත්මක යූ ටියුබ් ප්‍රකාශ වලට සහය නොදක්වයි. අමරසිංහගේ ප්‍රකාශවලින් කිසිවක් සිදු නොවේ. එබඳු ප්‍රකාශ කෝපය අවුස්සමින් මර්දනයකට කඩතුරාවක් නිර්මානය කිරීමට අවස්ථාව සපයන අතර, ලාභ පද්ධතියට මුක්කු ගැසීමට බුදුදහමේ සහ බෞද්ධ සංස්ථාපිතයේ කාර්යභාරය පිලිබඳ ව කිසිවෙකු අධ්‍යාපන ගත කිරීමට අපොහොසත් වේ.

සසප අමරසිංහගේ ධනේශ්වර ගැති දේශපාලනයට විරුද්ධ වේ. ඔහු විවිධ ධනේශ්වර දේශපාලන පක්ෂවලට පිටුබලය දී ඇත: මීට පෙර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස 2019 තේරී පත්වීම අනුමත කල නමුත් පසුව ඔහු බලයෙන් පහ කිරීමේ ව්‍යාපාරයට පසුගිය වසරේ සහාය දුන්නේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නියම කරන ලද කප්පාදු පියවරයන් ක්‍රියාවට නැංවීමේ හැකියාව ඇති එකම පක්ෂය බව අවධාරනය කරමින්, තවත් පාර්ලිමේන්තු තනතුරු දිනා ගැනීමට අපේක්ෂාවෙන් සිටින, ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) නායකත්වය දරන ජාතික ජන බලවේගයට අමරසිංහ දැන් සහාය දක්වයි.

අත්අඩංගුවට ගත් දිනයේ අධිකරන අමාත්‍ය විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කලේ අමරසිංහට එරෙහි ව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි. සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයාට එරෙහි ව උමතු ප්‍රකාශ නිකුත් කරමින් ඔහුට දඬුවම් කරන ලෙස බලකරමින් ආන්ඩු පක්‍ෂය සහ විපක්ෂය එය ප්‍රතිරාවය කලේ ය. ශ්‍රී ලංකාවේ සිංහල බහුතරයක් වෙසෙන ප්‍රදේශවල සියලු ම ධනේශ්වර දේශපාලන පක්ෂ කම්කරු පන්තිය බෙදීමට සහ ධනේශ්වර පාලනය ආරක්ෂා කිරීමට සිංහල-බෞද්ධ වර්ගවාදය ගසාකයි.

මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් මාධ්‍ය විසින් උමතුවක් අවුස්සා ඇති අතර, එය සමාජ මාධ්‍ය මර්දනයක් ඉල්ලා සිටීම සඳහා ආන්ඩුව විසින් පදනමක් ලෙස භාවිතා කරයි. අමරසිංහ අත්අඩංගුවට ගැනීමෙන් පසු දින, ජනාධිපති වික්‍රමසිංහ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ප්‍රධානීන් සමඟ සාකච්ඡාවක් කැඳවා නව නීති සම්පාදනය කිරීමට ඉල්ලා සිටියේ ය.

“ශ්‍රී ලංකාවේ පුවත්පත් සහ විද්‍යුත් මාධ්‍ය සඳහා නීති තිබුනත් සමාජ මාධ්‍ය නියාමනය සඳහා එවැනි නීති රාමුවක් මේ රටේ නැහැ.

“යූ ටියුබ් සහ ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය වේදිකා නියාමනය කිරීම සඳහා දැනට සිංගප්පූරුවේ භාවිතා කරන විදුලි සංදේශ සහ සමාජ මාධ්‍ය පනතට සමාන පනතක් හඳුන්වා දීමට ආන්ඩුව කටයුතු කරමින් සිටිනවා,” යැයි ඔහු ප්‍රකාශ කලේ ය.

සිංගප්පූරුව වසර 60 කට වැඩි කාලයක් තනි පක්ෂයක් විසින් පාලනය කර ඇති අතර, සියලු දේශපාලන විරුද්ධත්වය මැඩ පැවැත්වීම සඳහා පොලිස්-රාජ්‍ය ක්‍රම භාවිතා කරයි. ප්‍රකාශනයේ නිදහස සහ දේශපාලන විරෝධය යටපත් කිරීම සඳහා ප්‍රාන්ත-නගර විසින් අභ්‍යන්තර ආරක්ෂක පනත, දේශද්‍රෝහී පනත සහ මහජන සාමය පිලිබඳ පනත වැනි විවිධ කුරිරු නීති භාවිතා කරයි.

2019 ඔක්තෝබර් මාසයේ සිට සිංගප්පූරුවේ ක්‍රියාත්මක වූ ‘ඔන්ලයින් අසත්‍යයන් හා වංචනික හැසිරවීම් වලින් ආරක්ෂා වීමේ පනත’ යටතේ, අදාල ආන්ඩුවේ අමාත්‍යවරයාට අන්තර්ජාලය හරහා පල කරන ඕනෑ ම තොරතුරක් “අසත්‍ය” බව ප්‍රකාශ කල හැකි අතර පසු ව “මහජන අවශ්‍යතා” මත එය “නිවැරදි කිරීමට” හෝ ඉවත් කිරීමට නියෝග කල හැකි ය.

මෙම පනත යටතේ විශාල දඩ මුදල් සහ දීර්ඝ සිර දඬුවම් නියම කල හැකි ය. වික‍්‍රමසිංහ ශ‍්‍රී ලංකාව තුල ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන එවැනි ක්‍රියාමාර්ග වේ.

කම්කරුවන් හා තරුනයින් වැඩ වර්ජන සහ විරෝධතා සංවිධානය කිරීම සඳහා සමාජ මාධ්‍ය වඩ වඩාත් භාවිතා කරන ආකාරය පිලිබඳ ව ශ්‍රී ලංකාවේ පාලක පන්තිය තියුනු ලෙස කලබලයට පත් ව ඇත. ජාත්‍යන්තර ව ඔවුන්ගේ සගයන් මෙන්ම, කොලඹ පාලන තන්ත්‍රය ද සමාජ මාධ්‍යවලට මුකවාඩම් බැඳීම සඳහා නව ප්‍රජාතන්ත්‍ර-විරෝධී නීති සලකා බලමින් ප්‍රකාශනයේ නිදහසට සහ දේශපාලන විරෝධය දැක්වීමට ඇති අයිතිය යටපත් කරයි.

ජනාධිපති රාජපක්ෂට සහ ඔහුගේ ආන්ඩුවට ඉල්ලා අස්විය යුතු යැයි බලකරමින් පසුගිය වසරේ අප්‍රේල් සහ ජූලි අතර පුපුරා ගිය මහජන විරෝධතා සහ මහා වැඩවර්ජන තුනක් සම්බන්ධීකරනය කිරීමේ ප්‍රධාන මාර්ගය ලෙස සමාජ මාධ්‍ය ක්‍රියා කලේ ය.

අප්‍රේල් 3 දා එවකට ජනාධිපති රාජපක්ෂ විසින් සියලු ම අන්තර්ජාල සේවා සපයන්නන් වෙත සමාජ මාධ්‍ය වාරන නියෝගයක් නිකුත් කල අතර සියලු ම සමාජ මාධ්‍ය වේදිකා වහා ම සහ දින නියමයක් නොමැති ව තහනම් කරන ලදී. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර ව කෝපාන්විත විරෝධතා හමුවේ, රාජපක්ෂට මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී ප්‍රහාරය අවලංගු කිරීමට බල කෙරුනි. අධි උද්ධමනය, ආහාර, ඉන්ධන සහ විදුලිය හිඟය මුල් කරගනිමින් උග්‍ර වූ මහජන උද්ඝෝෂන සහ වැඩ වර්ජන, ආන්ඩුව බිඳ වැටීමටත් ජනාධිපති රාජපක්ෂ රටින් පලා ගොස් ඉල්ලා අස්වීමටත් හේතු විය.

කෙසේ වෙතත්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු පසුගිය වසරේ මහජන නැගිටීම අතරතුර සහ ඉන් පසුව විවිධ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇත. තරිඳු උඩුවරගෙදර, රතිඳු සේනාරත්න (රැට්ටා) සහ තිසර අනුරුද්ධ බන්ඩාර ඒ අතර වෙති.

අධිකරන ඇමති රාජපක්ෂට අනුව, ආගමට අපහාස කිරීම සම්බන්ධයෙන් දන්ඩ නීති සංග්‍රහයේ 290 වගන්තිය යටතේ සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුති (අයිසීසීපීආර්) පනත යටතේ අමරසිංහට එරෙහි ව නඩු පවරනු ඇති අතර වසර 10 ක් දක්වා දරුනු සිරදඬුවම් පැනවෙනු ඇත.

2019 අප්‍රේල් මාසයේ දී ප්‍රකට ලේඛකයෙකු වන ශක්තික සත්කුමාර, ඔහු විසින් ප්‍රකාශයට පත් කරන ලද කෙටිකතාවකින් බුදුදහම අපකීර්තියට පත් කල බවට චෝදනා කරමින් ඔහු රඳවා තබා ගැනීමට අයිසීසීපීආර් පනත භාවිතා කරන ලදී. සසප සත්කුමාර රඳවා තබා ගැනීමට එරෙහිව සටන් කලේ, කම්කරුවන්ගේ, බුද්ධිමතුන්ගේ සහ කලාකරුවන්ගේ සහයෝගය ඒකරාශී කර ගනිමින්, 2021 මුල් භාගයේ දී ඔහු නිදහස් කිරීමට මග පාදමිනි.

සමාජ මාධ්‍ය නියාමනය කිරීමේ නව නීති සඳහා සැලසුම් සමගින් අමරසිංහ රඳවා තබා ගැනීම සහ තර්ජනයට ලක්කරමින් නඩු පැවරීම, ජාමූඅ විසින් නියම කරන ලද කප්පාදු පියවරයන්ට එරෙහි ව නැගී එන කම්කරු පන්තියේ විරෝධය මැඩපැවැත්වීම සඳහා වික්‍රමසිංහ ආන්ඩුව විසින් ක්‍රියාත්මක කරන දරුනු රාජ්‍ය මර්දනයේ කොටසකි.

කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ වැඩෙන වැඩ වර්ජන හා විරෝධතාවලට බියෙන් වික්‍රමසිංහ, විදුලිය, ඉන්ධන සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර, අත්‍යාවශ්‍ය සේවා නීති යටතේ පවත්වා ගනිමින් රට පුරා හමුදාව සීරුවෙන් තබා ඇත. පසුගිය අගෝස්තු මාසයේ දී, කොලඹ සමාජ ප්‍රහාරයන්ට එරෙහි ව ශිෂ්‍ය විරෝධතා සංවිධානය කිරීම සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගෙන සිරගත කිරීමට ආන්ඩුව සිය කුරිරු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත භාවිතා කලේ ය. ඔහු තවමත් රක්ෂිත බන්ධනාගාරගත ව සිටී.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම සාක්ෂාත් කරගත හැක්කේ සමාජවාදය සඳහා කම්කරු පන්තියේ අරගලයේ කොටසක් ලෙස පමනි. ප්‍රකාශනයේ නිදහස සහ අනෙකුත් මූලික අයිතීන් මත වික්‍රමසිංහගේ තීව්‍ර වන ප්‍රහාරය, කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් වර්ධනය කිරීමේ හදිසි අවශ්‍යතාවය ඉස්මතු කරයි.

සමාජ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම සඳහා කම්කරු පන්තිය බලමුලු ගැන්වීමේ මාධ්‍යයක් ලෙස වැඩබිම්, කම්හල්, වතු, අසල්වැසි ප‍්‍රදේශ සහ ග‍්‍රාමීය ප‍්‍රදේශවල ධනේශ්වර පක්ෂ හා වෘත්තීය සමිති වලින් ස්වාධීනව ක‍්‍රියාකාරී කමිටු ගොඩනැගීමට කම්කරුවන් හා දුගීන් අතර සසප උද්ඝෝෂනය කරන්නේ එබැවිනි.

දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තරව සමාජවාදය සඳහා පුලුල් අරගලයේ කොටසක් ලෙස සමාජවාදී පිලිවෙත්වලට කැපවන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීමේ අරගලයට නායකත්වය දෙන ලෙස සසප කම්කරුවන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටී.

Loading