කම්කරුවනි, ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙලට එරෙහි අරගලය කල හැක්කේ කෙසේද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රුදුරු කප්පාදු දශලක්ෂ සංඛ්‍යාත වැඩකරන ජනයාගේ කර මත පටවමින් වික්‍රමසිංහ ආන්ඩුව විසින් එල්ල කරන විසකුරු ප්‍රහාරවලට එරෙහිව, තෙල් සංස්ථාව, වරාය, විදුලි බල මන්ඩලය සහ ජල සම්පාදන හා ජලාපවාහන මන්ඩලය නියෝජනය කරමින් අද දින දියත් කර ඇති විරෝධතා ක්‍රියාමාර්ගවලට අවතීර්නව සිටින දහස් ගනනක් කම්කරුවන් සමග සමාජවාදී සමානතා පක්ෂය එකට සිට ගනී. මෙම සටන, ලෝකය පුරා ධනපති ආන්ඩුවල ප්‍රහාරවලට එරෙහිව වැඩෙන ජාත්‍යන්තර පන්ති අරගලයේ කොටසකි.

අතලොස්සක් වන සුපිරි ධනපතියන්ගේ ලාභ අවශ්‍යතා නොපිරිහෙලා ඉටු කරන මෙරට ධනපති පාලක පන්තිය, ඒ වෙනුවෙන්, රැකියා ලක්ෂ ගනනක් දැනටමත් අතුගා දමා ඇති අතර, ඉන්ධන, ආහාර ඇතුලු අතවශ්‍ය භාන්ඩ මත අධික බර බදු පටවමින්ද අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවාවන්ට ප්‍රතිපාදන කපා දමමින්ද මහජනයාගේ දැඩි වෛරයට පාත්‍රවී සිටී. ආන්ඩුවේ විරුද්ධවාදීන්නට එරෙහිව දියත් කර ඇති මර්දනකාරී මිලිටරි-පොලිස් කඩාපැනීම් හා අත්අඩංගුවට ගැනීම් පෙන්නුම් කරන්නේ නිසැකවම අර්බුදයේ කිඳී සිටින ආන්ඩුව ධනපති ක්‍රමය රැක ගනීමට වියරුවෙන් කැස කවන ආකාරයි.

පසුගිය අයවැයේදී යෝජිත ආන්ඩුවේ ආදායම් බදු ඉහල දමීම්වලට එරෙහිව අද දිනයේ වර්ජනය කැඳවා ඇත. උද්ඝෝෂනය කැඳවා ඇත්තේ “අසාධාරන බදු පනත හකුලා ගන්නා තෙක් සටන් කරමු” යනුවෙන් “අසාධාරන බදු පනතට එරෙහි වරාය, , ඩොක්යාඩ්, එස්ඒජීටී, ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය” වසිනි.

නව බදු අනුපාත වනාහි නොවැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ 2023 කප්පාදු අයවැයේ කොටසකි. රාජ්‍ය අංශයේ රැකියා දහස් ගනනක් විනාශ කිරීම, රජය සතු ව්‍යවසායන් පුද්ගලීකරනය කිරීම, සහනාධාර කප්පාදුව සහ අනෙකුත් ක්‍රියාමාර්ග හරහා අයවැය මගින් ආන්ඩුවේ වියදම් තියුනු ලෙස කප්පාදු කෙරේ. මෙම පියවරයන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (ජාමූඅ) අර්බුදයෙන් බේරීම සඳහා ඩොලර් බිලියන 2.9 ක ඇප නයක් ලබා ගනීමට පැනවූ විධානවලට අනුකූල ව සිදුකෙරේ.

වැඩකරන ජනයා මත අධික බදු පැටවීම සහ විදුලිබලය, ජලය, ඉන්ධන හා පොහොර මත මිල සහනාධාර අවසන් කිරීම, ආන්ඩුවේ කප්පාදු වැඩසටහනට ඇතුලත් වේ. අධ්‍යාපනය හා සෞඛ්‍යය සඳහා කෙරෙන වියදම් පවතින්නේ දංගෙඩිය මත ය. දැඩිලෙස අවශ්‍ය කෙරෙන විදේශ විනිමය සංචිත සම්පාදනය කරගැනීම සඳහා, ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සහ ආන්ඩුවට අයත් සංචාරක හෝටල් විකුනා දැමීමට නියමිත බව, ජනාධිපති වික්‍රමසිංහ ඔහුගේ අයවැය කතාවේ දී නිවේදනය කලේ ය. විකුනා දැමීම පහසු කිරීම සඳහා ලංකා විදුලිබල මන්ඩලය සමාගම් 15කට බෙදීම පිනිස, කැබිනට් මන්ඩලය අනුමැතිය දී ඇත.

කම්කරුවන් මෙම ප්‍රහාරයන්ට එරෙහිව සටන් කිරීමට සිය අධිෂ්ඨානය ගිය අවුරුද්දේ අග පටන් විවිධ ක්ෂේත්‍රවල පැනනැගුනු අරගල වලින් පෙන්නුම් කර ඇත. ප්‍රශ්නය නම් මෙම රුදුරු කප්පාදු පියවරයන්ට එරෙහිව සාර්ථක අරගලයක් සංවිධානය කරන්නේ කෙසේද යන්නයි.

ආදායම් බදු වැඩිකිරීම ආන්ඩුවේ සමස්ත ප්‍රහාර මාලාවෙන් එකකි. 'එම ප්‍රතිසංස්කරන වැඩපිලිවෙල අරාජකවාදී දේශපාලන බලවේග විසින් පටවන බාධාවන් නොතකා මම ක්‍රියාත්මක කරනෙමි' යි වික්‍රමසිංහ පෙබරවාරි 4 දා ජාතිය අමතා කල කතාවේ දී ප්‍රකාශ කලේය. කම්කරු පන්තිය මෙම සමස්ත ප්‍රහාර මාලාවට එරෙහිව ඒකාබද්ධ අරගලයක් දියත් කල යුතු වේ.

කෙසේවතුදු, එය ගනනකට නොගෙන වෘත්තීය සමිති නායකත්වය හිතාමතාම, ආදායම් බද්දට පමනක් මෙම විරෝධතා සීමා කර ඇත්තේ ආන්ඩුවේ සියලු කප්පාදු පියවරයන්ට එරෙහිව රටපුරා ඒකාබද්ධ අරගලයක් වලක්වමිනි.

ආන්ඩුව විසින් මෙම බදු පනත ගෙනඒමෙහිලා කේන්ද්‍රීය වසයෙන් බලපෑ අයිඑම්එෆ් විසින් ඇනවූ රුදුරු කප්පාදු පිලිවෙත් ගැන සමිති නායකයෝ මුනිවත රකිති. මෙම වෘත්තීය සමිතිවලින් බොහොමයක් සම්බන්ධ වී සිටින්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධානයන්ට පිටුබලය දෙන ධනපති විරුද්ධ පක්ෂ සමග ය--එනම්, සමගි ජන බලවේගය (සජබ) හා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පාලක ශ්‍රී ලංකා පොදු පෙරමුනට ය.

ජාමූඅ වෙත කලින් යොමු නො වීම සම්බන්ධයෙන්, සජබ, කලින් පැවති රාජපක්ෂ ආන්ඩුව විවේචනය කල බව, කම්කරුවන් යලි මතකයට නගා ගත යුතු ය. රට ගොඩ ගැනීමේ නමින් කප්පාදු පිලිවෙත් ක්‍රියාත්මක කිරීමේ දී, තම ආන්ඩුවක් වඩා ඵලදායී වනු ඇතැයි ජවිපෙ දැන් විවෘත ව ප්‍රකාශ කරමින් සිටී.

විරෝධතා කැඳවීමට වෘත්තීය සමිති පෙලැඹී ඇත්තේ, කම්කරුවන්ගේ අයිතීන් කෙරෙහි තැකීමක් නිසා නො ව, ඔවුන් අතර අතර වැඩෙන කෝපය නිසාවෙනි. ආන්ඩුවට බලපෑම් දමා එය නමාගෙන ඉල්ලීම් දිනාගත හැකිය යනුවෙන් සමිති වගාදිගා කරන මිත්‍යාව කම්කරුවන් අතර වැඩෙන කෝපය අපසරනය කොට දියකර දැමීමකි.

බදු පනතට එරෙහිව පමනක් නොව ආන්ඩුවේ සියලු ප්‍රහාරවලට එරෙහිව සටන් වැදීමේ දී කම්කරුවන් සිය අතීත කටුක අත්දැකීම්වලින් පාඩම් ඉගෙන ගැනීම අවශ්‍ය ය. පසු ගිය වසරේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුවට එරෙහි මහජන අරගල පුපුරන තත්වයේදී, වෘත්තීය සමිති අප්‍රේල් 28 සහ මැයි 6 එක් දිනකට සීමා කල මහා වර්ජන දෙකක් කැඳවු බවට ඔබට මතක ඇත. ඒවා සිදු කලේ, අන්තර්වාර පාලනයක් පිලිබද සජබ සහ ජවිපෙ කල ඉල්ලීමට මෙම වර්ජන සීමා කොට දිය කර හැරීමටයි. පෙරටුගාමි සමාජවාදී පක්ෂය ඊට උඩගෙඩි දුන්නේ ය. එම පාවාදීමෙන් ඉඩ ලබාගත් පොදුජන පෙරමුන අපකීර්තිමත් වික්‍රමසිංහ ජනාධිපති පදවියේ පිහිටුවූයේය.

ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහිව අව්‍යාජ අරගලයක් දියත් කිරීමට නම් කම්කරුවන් තම අයිතීන් සඳහා සටන තමන්ගේ අතට ගැනීම අවශ්‍ය ය. මේ සඳහා, සෑම වැඩපොලකම, කම්හලකම හා නිවහන් ප්‍රදේශයක ම, සියලු ධනපති පක්ෂ හා වෘත්තීය සමිතිවලින් ස්වාධීන වූ ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගන්නා ලෙස, සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරුවන්ට යෝජනා කරයි. එවැනි ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස අපි ගම්බද පීඩිතයන්ට ද කැඳවුම් කරමු.

වික්‍රමසිංහ ආන්ඩුව ක්‍රියාවට දමන, ජාමූඅ-විධානිත රුදුරු කප්පාදු පියවරයන්ට එරෙහි ව, තමන්ගේ ම ස්වාධීන දේශපාලන අරගලයක් වර්ධනය කරන ලෙසත්, ගම්බද දුගීන් තම පාර්ශවය වටා රැලි කරගන්නා ලෙසත්, සසප කම්කරු පන්තියෙන් ඉල්ලා සිටී.

කම්කරුවන්ගේ හා ගම්බද පීඩිතයින්ගේ ක්‍රියාකාරී කමිටු වටා, සිය සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරගැනීම සඳහා වන දේශපාලන සටනක් වර්ධනය කල හැකි, පහත දැක්වෙන පිලිවෙත් සසප ඉදිරිපත් කරයි:

•කම්කරු වැටුප් මත පටවන සියලු බදු අහෝසි කරනු!

•ජාමූඅ කප්පාදු න්‍යාය පත්‍රය ප්‍රතික්ෂේප කරනු! වැටුප් කප්පාදු එපා! විශ්‍රාම වැටුප් කප්පාදු එපා!

• සියලු කම්කරුවන්ට ජීවන වියදමට අනුව ඉහල දමන වැටුප්! අධික උද්ධමනයට මුහුන දීම සඳහා ඔබින මට්ටමක් දක්වා විශ්‍රාම වැටුප් ඉහල දමනු!

• කුසගින්න හා මන්දපෝෂනය එපා! සියල්ලන්ට පෝෂ්‍යදායී ආහාර වේලක් සහතික කරනු!

• සියලු විදේශ නය ප්‍රතික්ෂේප කරනු! සුපිරි ධනවතුන්ගේ වත්කම් අත්පත්කර ගනිමින්, ප්‍රධාන බැංකු හා සංගත, කම්කරුවන්ගේ පාලනය යටතේ ජනසතු කරනු!

මිලියන ගනන් දෙනා මුහුන දෙන කුසගින්න හා සාගතය අවසන් කිරීමටත්, රෝහල්වල වෛද්‍ය උපකරන හා ඖෂධ ප්‍රමානත්වත් ලෙස පවත්නා බව සහතික කිරීමටත්, නිෂ්පාදනය හා බෙදාහැරීම තම ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ප්‍රතිසංවිධානය කල යුතු බව කම්කරු පන්තිය හඳුනාගැනීම අවශ්‍ය ය. ගම්බද ගොවීන්ගේ දුක්ඛිත තත්වය අවසන් කිරීම සඳහා, ඔවුන්ගේ නය අහෝසි කොට පොහොර සහනාධාර යලි හඳුන්වා දීම අවශ්‍ය ය.

හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර, මිලිටරිය හා පොලීසිය දිගේලි කරමින්, කම්කරුවන්ගේ හා පීඩිතයන්ගේ ඕනෑ ම විරුද්ධත්වයක් තලා දමන බවට වික්‍රමසිංහ තර්ජනය කර ඇත. දැනට මත් ඔහු, ආන්ඩුවට එරෙහි විරෝධතාකරුවන්ට විරුද්ධ ව, කුප්‍රකට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) යොදාගෙන ඇත. ලංවිම, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සහ ජල සම්පාදන හා ජලාපවාහන මන්ඩලය ආවරනය කරමින්, ඒවායේ වැඩ වර්ජන තහනම් කිරීම සඳහා, පසුගිය දා අත්‍යවශ්‍ය මහජන සේවා පනත (ඊඑස්ඒ) දීර්ඝ කිරීමට ආන්ඩුව ක්‍රියා කලේ ය.

කප්පාදුවට එරෙහි ව, කම්කරු පන්තිය හා පීඩිත මහජනයා නියැලෙන අරගලයක්, ආන්ඩුව හා මර්දනීය රාජ්‍ය යාන්ත්‍රනය සමග ඍජු ගැටුමකට මුහුන දෙනු ඇත. මේ තත්ත්වයේ දී, විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමටත්, පීටීඒ හා ඊඑස්ඒ ඇතුලු සියලු මර්දනීය අනපනත් අවලංගු කිරීමටත්, කම්කරු පන්තිය උද්ඝෝෂනය කිරීම හදිසි අවශ්‍යතාවකි. වැඩකරන ජනයාගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරගැනීමේ උද්ඝෝෂනය, මූලික සමාජ අයිතීන් සඳහා වන අරගලය සමග වෙන් කල නොහැකි ලෙස බැඳී තිබේ.

ධනපති ක්‍රමය තුල කම්කරුවන්ගේ හා දුගීන්ගේ අයිතීන් රක ගත නොහැකිය. සිය ශක්තිය බලමුලු ගැන්වීමටත්, ගම්බද දුගීන් රැලි කරගැනීමටත්, සමාජවාදී පිලිවෙත්වලට කැපවන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කිරීම අවශ්‍ය ය.

ඒ සඳහා බල කේන්ද්‍රයක් ලෙස කම්කරුවන්ගේ හා ගම්බද දුගීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීමේ උද්ඝෝෂනයක් සඳහා ආරම්භකත්වය ගැනීමට සසප පියවර ගත්තේ ය. දිවයින පුරා කම්කරුවන්ගේ හා ගම්බද පීඩිතයින්ගේ ක්‍රියාකාරී කමිටුවල නියෝජිතයන් මත පාදකව, මෙම සම්මේලනය ගොඩනැගෙනු ඇත.

මෙම සටන, දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර ව සමාජවාදය සඳහා වන පලල් අරගලයෙහි ඒකාග්‍ර කොටසකි. කම්කරු පන්තියේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වලට පාලක පන්තිය එල්ල ප්‍රහාරයට එරෙහි පොදු අරගලයක් තුල, ලංකාවේ කම්කරුවන් ලොව පුරා සිය පන්ති සහෝදර සහෝදරයින් සමග එකමුතුවක් ගොඩනගැ ගැනීම අවශ්‍ය ය.

ලංකාවේ කම්කරු පන්තියෙහි සගයන් වන්නේ, රැකියා, වැටුප් හා සේවා කොන්දේසි මත එක හා සමාන ප්‍රහාරයන්ට මුහුන දෙන ලොව පුරා කම්කරුවන් ය. කම්කරුවන්ගේ අරගල ගෝලීය මට්ටමකින් එකමුතු කිරීමට ක්‍රියා මාර්ගය සම්පාදනය කරන, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ආරම්භකත්වය ගෙන ඇති කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය සමග ලංකාවේ කම්කරුවන් සම්බන්ධ විය යුතු ය.

මෙම අරගලයට නායකත්වය දෙන කම්කරු පන්තියේ මහජන විප්ලවවාදී පක්ෂය ලෙස සසප ගොඩනැගීමට එය හා සම්බන්ධ වන ලෙස, අපි කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලමු.

Loading